සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

Anti-government demonstrators crowd Cairo's Tahrir Square in February 2011
Anti-government demonstrators crowd Cairo’s Tahrir Square in February 2011

In this week’s Ravaya column (in Sinhala), published in the issue dated 4 January 2015, I pose a topical question: are there necessary and sufficient conditions for a spontaneous people’s uprising in Sri Lanka similar to what happened in the collective phenomenon known as the Arab Spring?

I address this because both the ruling party and opposition politicians in Sri Lanka have been loosely referring to Arab Spring during their current campaigns running up to the Presidential Election scheduled for 8 January 2015.

In this column, I briefly chronicle what happened in the Middle East and North Africa during 2010-11, and then explore the many factors that triggered or sustained the complex series of events. I discern three key factors: demographics (especially a low median age with large youthful populations); democracy deficit; and proliferation of information and communications technologies ranging from easy access to trans-boundary satellite television broadcasts, mobile phones and Internet.

I argue that while Sri Lanka of today has achieved the ICT factor in good measure, the other two factors fall short. With a median age of 31 years (in 2012), ours is no longer a youthful population and the demographic impetus for uprisings has passed. And while there are serious concerns about governance, the country’s democratic deficit is only partially present.

Thus, it is very unlikely that an Arab Spring style uprising could happen in Sri Lanka. So both the ruling coalition and opposition parties relax — and should let go of this much-hyped prospect.

Arab-Spring-women-Egypt

ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද? ඒ සඳහා අවශ්‍ය සාධක ප‍්‍රමාණවත් පමණින් පෙළගැසීමක් මෙරට හමු වේද?

අරාබි වසන්තය (Arab Spring) හරියට ‘සීතල යුද්ධය’ (Cold War) නැතහොත් ගෝලීයකරණය (Globalization) වැනි පුළුල් යෙදුමක්. එකිනෙකට යම් තරමකින් බැඳුණු සිදුවීම් මාලාවකට හා ප‍්‍රවාහයකට යොදනු ලබන්නා වූත් මාධ්‍ය විසින් ජනප‍්‍රිය කරන ලද්දා වූත් සංකල්පයක්.

අරාබි වසන්තය ගැන නිරවුල් අවබෝධයක් නොමැතිව එය ගෙඩි පිටින් ශ‍්‍රී ලංකාවට අදාල කරන්නට පාලක පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ද ඇතැම් දේශපාලකයන් උත්සාහ කරනු මෑත කාලයේ අපට අසන්නට ලැබුණා.

ඔවුන්ගේ ප‍්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ නවීන සන්නිවේදන තාක්‍ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ ජනයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන කලහකාරී අරගලයක් හරහා පවත්නා රජයක් වෙනස් කිරීම අරාබි වසන්තය ලෙස ඔවුන් තේරුම් ගන්නා ආකාරයයි. නමුත් සැබෑ තත්ත්වය මීට වඩා සංකීර්ණ මෙන්ම සියුම් ද වනවා.

අරාබි වසන්තය ආකාරයේ ජනතා අරගල හා නැගී සිටිම් මැදපෙරදිග, උතුරු අප‍්‍රිකාවේ හා සමහර නැගෙනහිර යුරෝපීය රටවල සිදු වුවත් වෙනත් රටවල සිදු නොවීමට සීමාකාරී සාධක මොනවාද?

Arab Spring යෙදුම මුල් වරට භාවිත කළා යයි සැළකෙන්නේ අමෙරිකාවේ ජෝර්ජ් වොෂිංටන් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාක් ලින්ච් (Marc Lynch) විසින් 2011 ජනවාරි 6 වනදා. ජාත්‍යන්තර සබඳතා හා ලෝක විත්ති ගැන කථාබහ කරන Foreign Policy සඟරාවේ ලිපියක් ලියමින්. http://foreignpolicy.com/2011/01/06/obamas-arab-spring/

පසුව මෙයට විකල්ප යෙදුම් ද සමහරුන් භාවිත කරන්නට පටන් ගත්තා. එනම් ඉස්ලාමීය වසන්තය (Islamic Spring). හේතුව කලක් පැවති පාලනතන්ත‍්‍ර ඇද වැටුණු රටවල් ගණනාවකම එම තැනට ඒ වෙලේම හෝ ටික කලකින් හෝ පත් වූයේ ඉස්ලාමීය දේශපාලන පක්‍ෂ නිසා. මීට අමතර අරාබි පිබිදුම, අරාබි උද්ඝෝෂණ, අරාබි ජන අරගල ආදි නම් ද භාවිත වනවා.

කලක් තිස්සේ මැදපෙරදිග රටවල කැකෑරෙමින් තිබුණු ජනතා දුක් ගැනවිලි හා තරුණ අසහනයන් අන්තිමේදී පුපුරා ගියේ ටියුනීසියාවේ සිඩි බවුසිඞ් (Sidi Bouzid) නම් නගරයේදී.

Tarek al-Tayeb Mohamed Bouazizi
Tarek al-Tayeb Mohamed Bouazizi

මොහමඞ් බවුඅසීසි Tarek al-Tayeb Mohamed Bouazizi නම් 26 හැවිරදි තරුණ වීදි වෙළෙන්දකු 2010 දෙසැම්බර් 17 වනදා ප‍්‍රසිද්ධියේ ගිනි තබා ගත්තා. ඔහු එය කළේ නගර සභාවේ දුෂිත නිලධාරින් තමන්ට දිගින් දිගටම අල්ලස් ඉල්ලා කළ හිරිහැර හා පොලිසියේ අඩන්තේට්ටම්වලට විරෝධය පෑමටයි. රෝහල් ගත කරනු ලැබූ ඔහු 2011 ජනවාරි 4 වනදා මිය ගියා.

මේ තරුණයාගේ අත්දැකීමට සමාන හිරිහැර ලද තවත් බොහෝ දෙනා තම විරෝධය පළ කිරීමට මෙය අවස්ථාව කර ගත්තා. ඒ සමග නගරයේ වීදි කලබල හට ගත්තා. මේ සිදුවීම් ස්මාට්ෆෝන් ජංගම දුරකථන හරහා වීඩියෝ ගත කළ ජනයා ඒවා රට පුරා සිටින තමන් හඳුනන අයත් සමග බෙදා ගත්තා.

1987 සිට අයෝමය හස්තයකින් වියුනීසියාව පාලනය කළ ජනාධිපති අබිදීන් බෙන් අලීගේ රජය යටතේ රට පුරාම මෙබඳු දුෂණ හා අක‍්‍රමිකතා ඉහවහා ගොස් තිබුණා. එක් නරගයක එයට එරෙහිව විරෝධතා මතු වනු දුටු සෙසු ජනයා ද එයට එක් වුණා. මෙය ස්වයංසිද්ධියක් මිස කිසිවකු සංවිධානගතව සැළසුම්ගතව කළ දෙයක් නොවෙයි.

ටියුනිසියාව මධ්‍යම ආදායම් ඇති රටක් වුව ද බොහෝ දෙනා දුගී බවින් මිරිකී නිලධාරිවාදට හසු වී පීඩිතව සිටියා. මේ නිසා තරුණ අරගලයට බොහෝ ජනයාගේ ආශිර්වාදය හා සහාය ලැබුණා. රටපුරා වීදි කැළඹීම් හා විරෝධතා මැද අතිශයින් දුෂිත බෙන් අලී හා ඔහුගේ පවුලෙ උදවිය සෞදි අරාබියට පළා ගියා. ඒ 2011 ජනවාරි 14 වනදා.

එහෙත් මහජන උද්ඝෝෂණ නතර වූයේ නෑ. වසර 25කට ආසන්න කාලයක් රට පාලනය කළ අලිගේ RCD පක්‍ෂය තහනම් කිරීමට ජනයා බලපෑම් කළා. එය පිළිගත් එරට අධිකරණය RCD තහනම් කොට එහි සම්පත් රාජ සන්තක කළා. එසේම අලූතෙන් පත්වූ රජය අලි යටතේ ක‍්‍රියාත්මක වූ බිහිසුනු රහස් පොලිසිය වසා දැමුවා. 2011 ඔක්තෝබරයේ පැවති මැතිවරණයෙන් එන්නඩා ව්‍යාපාරය නම් වූ දේශපාලන කණ්ඩායම බහුතර ආසන දිනා රජයක් පිහිටවූවා.

Ripple that started in Tunisia had a domino effect...well, sort of. | Cartoon by Saieb Khalil; courtesy - doroob.com
Ripple that started in Tunisia had a domino effect…well, sort of. | Cartoon by Saieb Khalil; courtesy – doroob.com

ටියුනීසියාවෙන් ඇරැඹුණු මේ ජනරැල්ල දින හෝ සති කිහිපයක් ඇතුළත ජෝර්දානය, කුවේට්, ඊජිප්තුව, ඇල්ජීරියාව, යේමනය, බහරේන් හා සිරියාව වැනි රටවලට ද ව්‍යාප්ත වුණා.

උද්ඝෝෂණකරුවන් මේ හැම රටකම පාහේ යොදා ගත් ක‍්‍රමෝපායන්ගේ යම් සමානකම් තිබුණා. එනම් වැඩවර්ජන, වීදි උද්ඝෝෂණ, පෙළපාලි, මහජන රැස්වීම් හා ප‍්‍රසිද්ධ ස්ථානවල දිවා රාති‍්‍ර රැඳී සිටිමින් සත්‍යග‍්‍රහ කිරීම ආදියයි. සමහර රටවල ප‍්‍රචණ්ඩත්වයට පෙරළුනත් අනෙක් තැන්වල කලහයන්ට වඩා ප‍්‍රබලව මතුව ආයේ ජන ඒකරාශිවීම් හා සාමකාමී විරෝධතායි.

යම් තීරණාත්මක අවස්ථාවන්හිදී ඇතැම් රටවල පොලිසිය හා හමුදා සිය සහෝදර ජනතාවට පහර දී ජන විරෝධතා විසුරුවා හැරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම හරහා අධිපතිවාදී පාලකයන් බල විරහිත තත්ත්වයකට පත් වුණා. සමහර පාලකයන් එවිට කළේ ජන විරෝධය ඇතුළතින්ම බෙදීම් ඇති කොට ඔවුනොවුන් ඇණකොටා ගන්නා තැනට පත් කිරීමයි. (උදාහරණ සිරියාව).

අරාබි වසන්තය හමුවේ පාලකයන් හදිසියේ වෙනස්වීම සිදු වූයේ ටියුනීසියාව, යේමනය, ලිබියාව හා ඊජිප්තුව යන රටවල පමණයි. ජන උද්ඝෝෂණ හමුවේ රාජ්‍ය පාලන ප‍්‍රතිසංස්කරණ කිරීමට හා වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවකට යොමු වීමට කුවේටය, මොරොක්කෝව, ලෙබනනය, ඕමානය, ජෝර්දානය යන රටවල නායකයෝ ක‍්‍රියා කළා.

තවත් රටවල කෙටි හෝ දිගු කාලීන දේශපාලන අස්ථාවරවීම හෝ සිවිල් යුද්ධ හට ගත්තා. අරාබි වසන්තය ටික කලෙකින් අරාබි සිසිරයක් (Arab Winter) බවට පත් වූ සිරියාව, ඊජිප්තුව වැනි රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා අරගල තවමත් සිදුවනවා. සිරියාවේ සිවිල් යුද්ධය රට දෙපසකට ධ‍්‍රැවීකරණය කළ ඉමහත් මානුෂික ව්‍යසනයක් බවට ඉක්මනින් පත් වුණා. මෙහි අවසානයක් තවමත් දකින්නට නැහැ.

ඊජිප්තුවේ ජන උද්ඝෝෂණ හමුවේ වසර 30ක් එරට පාලනය කළ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වූවත් දේශපාලන ස්ථාවර බවක් තවමත් එරටට ලඟා වී නැහැ. 2011 ජනවාරි – පෙබරවාරි වකවානුවේ කයිරෝ නුවර සාමකාමී ජන උද්ඝෝෂණවලට සහභාගී වූ වෘත්තික මට්ටමේ මගේ මිතුරන් දෙදෙනෙකු මේ වන විට මහත් කළකිරීමට හා ඉච්ඡා භංගත්වයට පත්ව සිටිනවා. හරිහැටි දැක්මක් හා ඉලක්කයකින් තොරව පාලකයන් පලවා හැරීමෙන් පමණක් රටක යහපාලනය ළඟා කර ගත නොහැකි බව ඔවුන් දැන් පිළිගන්නවා.

Replace autocracy with democracy or theocracy? Changing the top isn't that easy! Cartoon by Clay Bennett on 1 February 2011. Cartoon courtesy timesfreepress.com
Replace autocracy with democracy or theocracy? Changing the top isn’t that easy!
Cartoon by Clay Bennett on 1 February 2011. Cartoon courtesy timesfreepress.com

එසේම ඒකාධිපතිවාදී සිවිල් පාලකයන් ඉවත් වූ සමහර රටවල එම හිදැසට හමුදා පාලකයන් හෝ ආගමික අන්තවාදීන් රිංගා ගැනීම ද ජනහිතවාදී ප‍්‍රතිඵලයක් නොවෙයි. කෙතරම් අඩුපාඩු හා විෂමතා තිබුණත් පිරිසිදු මැතිවරණයකින් ආණ්ඩු වෙනස් කිරීමේ සම්ප‍්‍රදාය මේ අරගලවාදී මාවත් සියල්ලට වඩා වටිනවා.

Arab Spring Timeline: A detailed review of major events looking back at three years of Arab Uprisings across the region.

අරාබි වසන්තය 2011-2012 වකවානුවේ උච්ච වුව ද එයට තුඩු දුන් පසුබිම් සාධක වසර හෝ දශක ගණනක් පුරා කෙමෙන් හා සෙමින් ගොඩනැගුණු බව දැන් පර්යේෂකයන් පිළි ගන්නවා. මේ සියළු හේතු නිසා අරාබි වසන්තය හුදෙක් හදිසි හා ස්වයංසිද්ධි (spontaneous) ආකාරයේ සිදුවීම් නොව දිගු කාලීන සමාජ ප‍්‍රවාහයන් පිටාර ගැලීමක් ලෙස වටහා ගැනීම වැදගත්. (මෙය අරාබි වසන්තයට පමණක් නොව වෙනත් බොහෝ අරගලවලට ද පොදු වූ ක‍්‍රියාදාමයක්. උදාහරණයකට ශ‍්‍රී ලංකාවේ 1971 හා 1988-89 තරුණ කැරළිවලටත් තිස් වසරක බෙදුම්වාදී යුද්ධයටත් තුඩු දුන් සමාජ – ආර්ථික හා දේශපාලන සාධක කලක් තිස්සේ පැන නැගී ආ ඒවායි.)

July 2014 status map by The Economist magazine
July 2014 status map by The Economist magazine

රටකින් රටකට සමාජයීය, ආර්ථික හා දේශපාලන යථාර්ථයන් වෙනස්. එකම තාක්‍ෂණය හෝ දේශපාලන මූලධර්මය වුව ද රටින් රටට අදාල වන්නේ වෙනස් ආකාරයටයි. එබඳු විවිධත්වයක් තුළ අරාබි වසන්තය මතු වී විවිධ මට්ටම්වලට දිග හැරී ගිය රටවලට මුළුමනින්ම නොවුවත් සැළකිය යුතු තරමකට පොදු වූ තීරණාත්මක සාධක තුනක් තිබුණා.

1. පළමුවැන්න ජනගහන සාධකයයි (demography). ජන සංයුතිය සළකන විට ජනගහනයේ මධ්‍යන්‍ය වයස (median age) අඩු වීමයි. මුළු රටෙන් බාගයක්ම ළමුන් හා තරුණ තරුණියන් වීම අරාබි වසන්තය පැන නැගුණු බොහෝ රටවල දක්නට ලැබුණා (ටියුනීසියාව මධ්‍යන්‍ය වයස අවුරුදු 29, ඇල්ජීරියාව 27.1යි, ඊජිප්තුව 24යි, සිරියාව 21.5යි).

අයිතීන් ඉල්ලමින් හා අසාධාරණයට එරෙහිව උද්ඝෝෂණ කිරිමේ නැඹුරුව වැඩිම වන්නේ තරුණ ජන කොටස අතරයි. තරුණයන් බහුල ජනගහනයකට ඇති තරම් අධ්‍යාපනික හා රැකියා අවස්ථා නොමැතිවීමත්, රටේ සුළුතරයක් පමණක් වරප‍්‍රසාද ලබමින් ඉසුරුමත් වන අතර බහුතරය දුගී දුකින් පීඩිත වීමත් මේ රටවල දැකිය හැකි වුණා.

2. දෙවැනි සාධකය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ ගුණාංග වන නීතියේ ආධිපත්‍යය, අදහස් ප‍්‍රකාශනයේ නිදහස, විකල්ප දේශපාලන මත දැරීමේ අවකාශය ආදිය සෝදාපාලූවට ලක් වී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හිදැසක් හෙවත් පරතරයක් (democratic deficit) පැවතීමයි. එයට සමාන්තරව මහා පරිමාණ දුෂණ, වංචා, පවුල්වාදය, පක්‍ෂවාදය හා වෙනත් විසමතා හරහා සුදුස්සාට සුදුසු තැන නොලැබී යාමත්, තරුණ අසහනය මතු වී ඒමත් සිදු වනවා. මේ සියල්ල අරාබි වසන්තය පැන නැගුණු රටවල සැළකිය යුතු අන්දමට තිබුණා.

සමහර රටවල් කලින් කලට මැතිවරණ පැවැත්වුවත් ඒවා නිදහස් හෝ අපක්‍ෂපාත වූයේ නැහැ. එසේම අදහා ගත නොහැකි තරම් ඉහළ ප‍්‍රතිශතයන් ලබා එකම පාලකයා හෝ ඔහුගේ ගජ මිතුරු පිරිස යළි යළිත් බලයට පත් වීම සුලබව සිදු වුණා. මේ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව හරහා සැබෑ යහ පාලනයක් බිහි කළ හැකිය යන්න විශ්වාස කළ තරුණ පිරිස ටිකෙන් ටික අඩු වුණා.

හුදෙක් බලයේ සිටින රජය පමණක් නොව සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ගැනම තරුණයන් අතර විශ්වාසය බිඳී යාමක් ද දැකිය හැකි වුණා. එනම් අධිකරණය, සරසවි පාලකයන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ජනමාධ්‍ය ආදිය ද පාලකයන්ගේ පටු උවමනාකම්වලට නතු වී පොදු උන්නතිය නොතකා හරින බවට තරුණ පිරිස අතර ප‍්‍රබල හැඟීමක් පැවතුණා.

3. තෙවැනි සාධකය නම් නවීන සන්නිවේදන තාක්‍ෂණයන්ගේ ආගමනය හරහා තොරතුරු ගලනයත්, අන්තර් පුද්ගල සබඳතා වඩාත් ලෙහෙසි හා බහුලවීමත්. මෙය ජංගම දුරකථන බොහෝ සේ ප‍්‍රචලිත වී ඇමතුම් ගාස්තු ලාබදායක වීමේ සිට ඉන්ටර්නෙට් භාවිත කරන ජන ප‍්‍රතිශතය ඉහල යාම දක්වා විහිදුණු පරාසයක්.

සන්නිවේදන තාක්‍ෂණය නිසාම කලාපීය වශයෙන් හා ජාත්‍යන්තර මූලාශ‍්‍රවලින් එන ටෙලිවිෂන් පුවත් විකාශයන් වඩා පහසුවෙන් නැරඹීමේ හැකියාව රටේ බහුතරයක් ජනයාට ලැබීම ද ලෝකය ගැන ඔවුන්ගේ අවබෝධය අලූත් කළා. තමන්ට සමාන වෙනත් රටවල වඩාත් විවෘත හා ජනසම්මත සමාජවල ජනයා දිවි ගෙවන්නේ කෙසේ ද යන්න ඔවුන් දිනපතාම වාගේ ටෙලිවිෂන් හරහා දුටුවා.

මැද පෙරදිග ජනමතයට අල්ජසීරා අරාබි ටෙලිවිෂන් නාලිකා හරහා ද ඉංග‍්‍රීසි දත් අයට CNN, BBC හරහා ද ලෝකය ගැන දැන ගැනීමේ අවකාශය තිබුණා. ඉන්ටර්නෙට් හරහා විකිලීක්ස් වැනි හෙළිදරව් සිදු වූ විට තම රටේ පාලකයන්ගේ අසාධාරණකම් හා දුෂණ ගැන තොරතුරු පළමුවරට රටේ ජනයා දැන ගත්තා.

Huffington Post (May 2011): The Role of Al Jazeera in Arab Spring

World Affairs (July/Aug 2011): Did WikiLeaks Inspire Arab Spring?

එසේම ජංගම දුරකථන හරහා හසු කර ගන්නා ඡායාරූප හා වීඩියෝ පුද්ගලයන් අතර හුවමාරු වීම හා ඒවායෙන් සමහරක් වෙබ්ගත කොට සෙසු ජනයා නැරඹීම හරහා ජන උද්ඝෝෂණ ඊජිප්තුව වැනි විශාල රටවල විවිධ ප‍්‍රදේශවලට ඉක්මනින් පැතිර යාමට උපකාර වුණා.

twitterarabspring

අරාබි වසන්තයේදී සමාජ මාධ්‍ය (social media) සැළකිය යුතු කාර්යයක් ඉටු කළ බව සැබෑවක්. එහෙත් එය සමහරුන් සිතන තරම් සරල හෝ රේඛීය සංසිද්ධියක් නොවෙයි. අධිපතිවාදී පාලකයන් බලයෙන් පෙරළා දැමීමට වඩා සමාජ මාධ්‍යවල සංවාද බහුතරයක් ගොඩ නැගුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිදැස ගැන ජනතාවගේ (විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ) සංවාද සිදු කිරීමට බව එම රටවල අදාල කාලයන්හි සමාජ මාධ්‍ය අන්තර්ක‍්‍රියා මිලියන් ගණනක් විශ්ලේෂණය කළ පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා.

New Internationalist: The role of social networking in the Arab Spring

NPR, October 2013: What Did The Arab Spring Cost? One Estimate Says $800 Billion

එහෙත් සමාජ මාධ්‍ය මත පමණක් යැපීමෙන් තොරව බහුවිධ සන්නිවේදන උපක‍්‍රම යොදා ගන්නට විශේෂයෙන්ම ඊජිප්තුවේ ජන උද්ඝෝෂණයට නායකත්වය දුන් සරසවි සිසුන් හා සෙසු ක‍්‍රියාකාරිකයන් වග බලා ගත්තා. මෙයට හේතුව ඉන්ටර්නෙට් හා ජංගම දුරකථන වැනි සේවා අදාල ටෙලිකොම් සමාගම්වලට බල කිරීම හරහා ඉක්මනින් අඩාල කිරීමට හෝ නතර කිරීමට හෝ පාලකයන්ට හැකි බව සිසුන් දැන සිටීමයි.

2011 ජනවාරි 28 වනදා ඊජිප්තුව ගෝලීය ඉන්ටර්නෙට් සබඳතාවලින් කපා හරින්නට මුබාරක් රජය ක‍්‍රියා කළත් ඒ වන විට එබඳු අවහිරයකින් නතර කළ නොහැකි තරමට ජන උද්ඝෝෂණ ප‍්‍රබල වී තිබුණා.

අරාබි වසන්තය නම් සංකීර්ණ සිදුවීම් මාලාව දේශපාලනික, සමාජ විද්‍යාත්මක හා තාක්‍ෂණික වැනි දෘෂ්ටිකෝණ කිහිපයකින් විග‍්‍රහ කළ හැකියි. එහි විචල්‍යයන් (වෙනස් වන සාධක) විශාල සංඛ්‍යාවක් තිබූ නිසා එම සිදුවීම් තනි ආකෘතියකට සම්පිණ්ඩනය කිරීමට බැහැ. අවශ්‍ය වූ ප‍්‍රධාන සාධක තුනම එක මොහොතේ එක රටක සමපාත වූ විට ජන උද්ඝෝෂණ හට ගත් බව සැබෑයි. එහෙත් එබඳු අවස්ථාවල පවා ඒවා විකාශනය වූයේ හා අවසන් වූයේ එකිනෙකට වෙනස් ආකාරයෙන්.

640x392_56371_257994

අරාබි වසන්තයට තුඩු දුන් ප‍්‍රධාන සාධක තුන ඇති පමණින් ශ‍්‍රී ලංකාවේ හමු වේද?

සන්නිවේදන තාක්‍ෂණ සාධකය (ටෙලිවිෂන්, ජංගම දුරකථන, ඉන්ටර්නෙට්) නම් සපුරා ගෙන තිබෙනවා. එහෙත් 2012 ජන සංගනනයට අනුව දැන් අපේ ජනගහනයේ මධ්‍යන්‍ය වයස අවුරුදු 31යි. එනිසා ජනගහන සාධකය තව දුරටත් තරුණ අරගල ජනනය කිරීමට හිතකර පසුබිමක් සපයන්නේ නැහැ. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රීය හිදැසක් පවතින බව සැබෑ වූවත් එය ජන උද්ඝෝෂණ බිහි වීමට තරම් ප‍්‍රබල ද යන්නත් විවාදාත්මකයි.

මේ සියුම් යථාර්ථයන් හරිහැටි සළකා නොබලා මෙරට අරාබි වසන්තයක් ගැන කථා කිරීම තේරුමක් නැති හා අනවශ්‍ය ලෙස අවධානය වෙනතකට යොමු කරවන ක‍්‍රියාවක්.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ නායකයකු හා එම විෂය ගැන ලොව පිලිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග 2014 මැද මා ටෙලිවිෂන් සාකච්ඡාවක් කළා. සන්නිවේදන තාක්ෂණනන් ප්‍රචලිත වීමෙහි දේශපාලනික විපාක මොනවාදැයි මා ඇසුවා.

ටැන්ඩන් කියන්නේ අරාබි වසන්තය අවාසනාවකට මෙන් අරාබි සිසිරයකට පෙරැලූනත් සිසිරය සදා කල් නොපවතින බවයි. සිසිරය හමාර වී යළි කෙදිනක හෝ වසන්තය එළඹෙනු ඇති බවත්, මර්දනකාරී හා ඒකාධිපති පාලනයන් දිගු කලක් අල්ලාගෙන සිටිය ද එය ඉතිහාසයේ ජනතාවාදී ප‍්‍රවාහයන්ට එරෙහිව රැඳී තිබෙන්නේ සීමිත වකවානුවකට පමණක් බවද ඔහුගේ මතයයි.

Dr Rajesh Tandon, in conversation with Nalaka Gunawardene on YATV, June 2014
Dr Rajesh Tandon, in conversation with Nalaka Gunawardene on YATV, June 2014

See also my recent other columns on elections, digital democracy and social media:

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව