සිවුමංසල කොලූගැටයා #149: සිරිල් පොන්නම්පෙරුමගේ දැවැන්ත සෙවනැල්ල

In this week’s Ravaya column, I pay another tribute to Dr Cyril Ponnamperuma, Lankan biochemist who was one of the best known and most accomplished scientists produced by Sri Lanka.This explores the time he spent in Sri Lanka in the late 1980s, working as Presidential Science Adviser and Director of the Institute of Fundamental Studies (IFS) in Kandy.

See also my English tribute published in 2009: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

Dr Cyril Ponnamperuma at IFS Kandy - Photo by Samanmalee Sugathadasa

Dr Cyril Ponnamperuma at IFS Kandy – Photo by Samanmalee Sugathadasa

‘එයා මොනවද හදල තියෙන්නේ?’

ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1923 – 1994) ගැන 2013 අගොස්තු 11දා මා ලියූ කොලමට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ එයයි.

පොන්නම්පෙරුමයන්ගේ ජෛව රසායනික විද්‍යා පර්යේෂණ ගැන විවාදයක් නැතත්, ඔහු විසිවන සියවසේ මෙරටින් බිහි වූ ශෙෂ්ඨතම විද්‍යාඥයකු යයි මේ ප‍්‍රශ්නය මතු කළ මගේ මිතුරා පිළිගත්තේ නැහැ. ඉංජිනේරුවකු වන ඔහු බොහෝ විට භෞතික ඉදිකිරීම් සළකා බලා එම තක්සේරුවට එළඹුණා විය හැකියි. එකී නිර්ණායකය අනුව බලන විට නම් මේ විද්‍යාඥයා පාලම්, ජලාශ, මහාමාර්ග හෝ වරාය නොතැනූ බව ඇත්තයි.

එහෙත් හැම විද්වතකුගේ ම දායකත්වය එබඳු තනි කෝදුවකින් මනින්නට බැහැ. පොන්නම්පෙරුම මා දකින්නේ විවෘත මනසකින් ලෝකය ගවේෂණය කරන්නට හැකියාවත්, ගැටඵ විසඳන්නට ආත්ම විශ්වාසයත් තිබෙන ගෝල පරපුරක් බිහි කළ නැණ පහනක් හැටියටයි. පර්යේෂණ ලෝකය හා ප‍්‍රතිපත්ති ලෝකය යා කළ මාහැගි පාලමක් ලෙසටයි. මේ කෝණවලින් ඔහුගේ දායකත්වය තව ටිකක් විග‍්‍රහ කරන්නට මා කැමතියි.

පොන්නම්පෙරුම ලොව මුල් පෙළ් දැනුම් ගවේෂකයෙක්, පර්යේෂකයෙක් හා ගුරුවරයෙක් වුණත් ඔහුගේ කුසලතා එයට සීමා වූණේ නැහැ. ඔහු ප‍්‍රතිපත්ති මට්ටමෙන් දේශපාලකයන් සමග විද්වත් ලෙස ගනුදෙනු කරන්නත්, මාධ්‍ය හරහා විද්‍යාත්මක චින්තනය පොදු ජනයාට සමීප කරන්නත් සමතකු වුණා. තනි පුද්ගලයකු තුළ මේ හැකියාවන් සංකලනය වන්නේ කලාතුරකින්.

1984 – 1990 කාලය තුළ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති විද්‍යා උපදේශක ලෙස ජේ. ආර්. ජයවර්ධන හා ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරුන් සමග කටයුතු කළ ඔහු, මූලික අධ්‍යයන ආයතනයේ (IFS) දෙවන අධ්‍යක්‍ෂවරයා ලෙසත් සේවය කළා.

විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වන ලෝකයේ රටවල ආර්ථික හා සමාජ සංවර්ධණ්‍ය නැණවත් සේ යොදා ගැනීම ගැන ඔහුට මුහුකුරා ගිය දැක්මක් තිබුණා. විද්‍යාවේ මූලික පර්යේෂණ (fundamental research) පවා සැබෑ ලොව ප‍්‍රශ්න හා අභියෝග විසදීමට ඉලක්ක කර ගත හැකි බව ඔහු විශ්වාස කළා.

පර්යේෂණ සඳහා මහජන මුදල් වැය කිරීම දියුණු වන රටකට කළ හැකි ප‍්‍රශස්ත ආයෝජනයක් බවත්, නිවැරදි ප‍්‍රතිපත්ති රාමුවක් තුළ, චින්තනයේ නිදහස පර්යේෂකයන්ට ලබා දෙමින් ඔවුන්ට යම් මග පෙන්වීම් කිරීම ඔහුගේ ක‍්‍රමවේදය වුණා. සාම්ප‍්‍රදායික සරසවි විද්‍යා පීඨ හා රාජ්‍ය පර්යේෂණායතනවලින් වෙනස් වූ IFS හරහා මේ සියල්ල කි‍්‍රයාවට නගන්නට ඔහු වෙර දැරුවා.

1981දී ජයවර්ධන රජය IFS පිහිටු වන විට එයට ගුරු කොට ගත් පර්යේෂණායතන දෙකක් තිබුණා. එකක් නම් ඉන්දියාවේ ටාටා මූලික පර්යේෂණායතනයයි. අනෙක ඊශ‍්‍රායලයේ වයිස්මාන් විද්‍යායතනයයි. දැනුමේ නිම් වළලූ පුඵල් කරන්නට කරන විද්‍යා පර්යේෂණවලින් රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට අදාල සංවර්ධන ගැටඵ විසදීමට ද තැත් කිරීම මේ පර්යේෂණායතනවල ප‍්‍රවේශයයි.

IFS මුල් අධ්‍යක්‍ෂවරයා වූයේ තවත් කීර්තිමත් ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහයි. කොළඹ කුඩා කාර්යාලයකට සීමා වුණු IFS මහනුවර හන්තානේ ඉඩකඩ හා පහසුකම් ඇති පර්යේෂණාගාර සංකීර්ණයක් බවට පත් වූයේ පොන්නම්පෙරුම එහි දෙවැනි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ කාලයේයි.

Institute of Fundamental Studies, Kandy, Sri Lanka

Institute of Fundamental Studies, Kandy, Sri Lanka

රට තුළ බුද්ධි ගලනයක් වීම වැළැක්වීමට ඔහු කළේ තෝරා ගත් විද්‍යාඥයන්ට තමන් දැනට සේවය කරන සරසවිවල සිටින අතර ම IFS සමග ද පර්යේෂණ සබඳතා පවත්වා ගැනීමේ නම්‍යශීලී ක‍්‍රමයක් ඇරඹීමයි. නිලධාරිවාදී කාර්යාලීය වේලාවන්ට වඩා ඔහුට වැදගත් වුණේ කැපවීම හා ප‍්‍රතිඵලයි. හොඳ පර්යේෂණ හා බුද්ධි ගවේෂණ කාර්යාල වේලාව තුළ එක් තැනකට කොටු වී කළ නොහැකි බව ඔහු ජාත්‍යන්තර අත්දැකීමෙන් දැන සිටියා.

රජයෙන් ලැබෙන ප‍්‍රතිපාදන මත පමණක් නොයැපී, ජාත්‍යන්තර මට්ටමෙන් පර්යේෂණවලට තිබෙන අරමුදල් තරගකාරී ලෙසින් හොඳ යෝජනා (proposals) ලියා දිනා ගැනීමේ සම්ප‍්‍රදායට ඔහු  IFS පර්යේෂකයන් යොමු කළා. වැඩ කරන්න  ඕනෑකම හා කැපවීම තිබේ නම් විකල්ප සම්පත් සොයා ගත හැකි බව ඔහු විශ්වාස කළා.

ඔහු කළෙ පොදු අභියෝග ජය ගන්නට සාමූහිකව හා විවිධ කෝණවලින් පර්යේෂණ කරන්නට විවිධ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් දිරිමත් කිරීමයි (multi-disciplinary research).

උදාහරණයකට මෙරට ගොවිතැනේ ප‍්‍රබල සීමාකාරී සාධකයක් වන පොහොර ප‍්‍රශ්නය ගන්න. 1960 ගණන්වල සිට හරිත විප්ලවය හරහා ගොවිබිම්වලට යොදන රසායනික පොහොර හා අනෙකුත් කෘෂිරසායනික මගින් අස්වනු ඉහළ නැංවූවත් එයින් ගොවියාත්, රටත් වඩාත් විදේශවලට ණයගැති වන සැටි ඔහු දුටුවා.

IFS පර්යේෂකයන්ට ඔහු දුන් ඉලක්කයක් වූයේ මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර මෙරට ම නිපදවා ගන්නා ක‍්‍රම දියුණු කිරීමයි. වාතයෙන් නයිට‍්‍රජන් සංශ්ලේෂණය කරන (රනිල කුලයේ) ශාක වැඩිපුර වැවීමත්, එප්පාවල ෆොස්ෆේට් නිධිය වඩා කාර්යක්‍ෂම ලෙස පොහොර බවට පත් කිරීමත් සොයා බලනු ලැබුවා.

මෙබඳු ගවේෂණ සඳහා කෘෂි විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා භෞතික විද්‍යාඥයන් පමණක් නොව සමාජ විද්‍යාඥයන් ද හවුල් කර ගැනීම පොන්නම්පෙරුමගේ දර්ශනයේ කොටසක් වුණා. කෙතරම් අනගි විසඳුමක් විද්‍යාඥයන් සොයා ගත්ත ද අවසානයේ එය ගොවීන්ට ප‍්‍රායෝගිකව යොදා ගත හැකි වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළා.

මෙරට මැණික් ගැරීම් සාම්ප‍්‍රදායිකව කෙරුණේ රත්නපුරය කේන්‍ද්‍රකොට ගත් සබරගමු පළාතේ හා මධ්‍යම පළාතේ ප‍්‍රදේශවලයි. මැණික් ඉල්ලම් පිහිටීම විද්‍යානුකූලව සිතියම් ගත කිරීමේ උත්සාහයක් හරහා මේ සාම්ප‍්‍රදායික කර්මාන්තයට යම් පදනමක් ලබා දෙන්නට IFS පර්යේෂණයක් උත්සාහ කළා. ඒ අතර මැණික් කැපීමට රොබෝ අතක් නිපද වූ තරුණ ඉංජිනේරුවකුට අවශ්‍ය දිරි ගැන්වීම හා ප‍්‍රතිපාදන ලබා දී එය ලෝක මට්ටමේ නව නිපැයුමක් බවට පත් කරන්නට ද පොන්නම්පෙරුම මූලික වූණා.

මෙබඳු උදාහරණ රාශියක් තිබෙනවා. සමාජ පසුබිම හා වයසින් අඩු බව නොතකා හොඳ අදහස් ඇති  ඕනෑ ම පර්යේෂකයකුට අතහිත දීමට ඔහු සැදී පැහැදී සිටියා.

Dr Cyril Ponnamperuma (right) and artist George Keyt

Dr Cyril Ponnamperuma (right) and artist George Keyt

විද්‍යාව හා කලාව බද්ධ කිරීම හරහා ද දැනුමේ නව මානයන් සොයා යා හැකි බව පොන්නම්පෙරුමගේ අදහස වුණා. මේ නිසා ජෝර්ජ් කීට් වැනි සම්මානනීය කලාකරුවන්, ප‍්‍රවීණ නර්තන ශිල්පීන් IFS වෙත ගෙන්වා ඔවුන් මුණ ගැසීමට පර්යේෂකයන්ට අවස්ථාව උදා කළා. ජපන් රජය IFS පර්යේෂණාගාර සංකීර්ණය තනා පරිත්‍යාග කරන විට IFS තුළ ජපන් සෙන් උද්‍යානයක් (Japanese Zen Garden) ද ඉදි කිරීමට ඔහු කි‍්‍රයා කළා.

IFS ආයතනය මහජනයාට විවෘත කරන දින පැවැත්වීමට ද පාසල් සිසුන් ගෙන්වා විද්‍යා පර්යේෂණ ගැන ඔවුන් දැනුවත් කරන වැඩසටහන් කිරීමට ද ඔහුගේ විද්‍යාව ජනතාව අතරට ගෙන යාමේ ප‍්‍රයන්තයේ අංගයන් වුණා. රටේ දක්‍ෂම සිසුන් වෘත්තික ක්‍ෂෙත‍්‍ර (වෛද්‍ය, ඉංජිනේරු හා නීති) වලට ඇදී යන පසුබිමක විද්‍යා පර්යේෂණ සඳහා හොඳ මොළ ඇද ගන්නේ කෙසේද යන්න ඔහු නිතර මෙනෙහි කළා.

ධූරානුක‍්‍රමවලට කොටු වී සිටි මෙරට පර්යේෂණ ක්‍ෂෙත‍්‍රයේ ක‍්‍රමවේදය වෙනස් කොට තරුණ පර්යේෂකයන්ට හා දක්‍ෂ සිසුන්ට පවා සංවාදමය අවකාශය විවර කැරෙන ආකාරයේ කෙටි සම්මන්ත‍්‍රණ (Research colloquium) නිතිපතා පැවැත්වූවා. මේවායේදී මුල් තැන ලැබුණේ විචාරශීලී දැනුම ගවේෂණයට මිස පර්යේෂකයන්ගේ පැටිකිරියට නොවෙයි.

එසේ ම ජෛව විද්‍යා, භෞතික විද්‍යා හා සමාජ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් නිතර එකට මුණ ගැසී සාමීචි කරන සංවාදශීලී වාතාවරණයක් ඔහු ඇති කළා. මේවා අද කාලේ සුලබ වූවත් මීට වසර 25කට පෙර මෙරටට අඵත් හා අමුතු අත්දැකීම් වුණා.

එය යම් තරමකට IFS තුළ ස්ථාපිත කළත් විද්‍යා උපදේශක ලෙස මෙරට විද්‍යා අධ්‍යාපනය, පර්යේෂණ පිළිවෙත් හා විද්‍යා පර්යේෂණායතන පරිපාලනය නවීකරණය කරන්නට ඔශු ගත් උත්සාහයන් එතරම් දුර ගියේ නැහැ. එයට හේතුව අඵත් යමක් කරන්නට, හොඳ වැඩක් කරන්නට යන  ඕනෑ ම කෙනෙකුට ලක් සමාජයේ මතු වන ප‍්‍රතිරෝධයයි. පොන්නම්පෙරුම පිටස්තරයකු ලෙස දුටු අපේ සමහර විද්‍යාඥයන් ඔහු යෝජනා කළ හැම දේට ම සංවාදයකින් තොරව විරුද්ධ වුණා.

එහෙත් පොන්නම්පෙරුම විවර කළ නව මගෙහි ගිය එවකට තරුණ වියේ සිටි පර්යේෂකයෝ ගතානුගතිකත්වයෙන් හා වැඩවසම්බවින් මිදී කි‍්‍රයා කරන්නට පටන් ගත්තා.

පොන්නම්පෙරුමගේ ලොකු ම දායකත්වය ලෙස මා දකින්නේ ඔහු මුල් වී තැනූ ආයතන හෝ ඔහු දිරිගැන් වූ පර්යේෂණ නොවෙයි. විවෘත මනසක් ඇති හා අභිමානයෙන් යුතුව ලෝක මට්ටමේ පර්යේෂණ අපේ රට තුළ ම කිරීමට හැකි පර්යේෂක පරපුරක් බිහි කිරීමයි. ඔහුගේ සෙවනේ හැදුණු මහාචාර්ය රොහාන් සමරජීව වැනි විද්වතුන් අද සිය පර්යේෂණායතනය (LIRNEasia) හරහා ඉදිරියට ගෙන යන්නේ ඒ සම්ප‍්‍රදායයි.

තමා ලංකාවේ සිටින  ඕනෑම විටෙක දුරකථනයෙන් ඇමතීමට ඔහු මාධ්‍යවේදීන්ට ඉඩ සළසා තිබුණා. මේ විවෘත බවෙන් වැඩිපුර ප‍්‍රයෝජන ගත්තේ Daily News පත‍්‍රයේ ටී. සබාරත්නම් හා මායි.

පොන්නම්පෙරුම ඉතා නිරහංකාර චරිතයක් බව ටික කලකින් මා තේරුම් ගත්තා. අද මෙන් ජනාධිපති උපදේශකයන් දුසිම් ගණන් නොසිටි එකල ජනාධිපති විද්‍යා උපදේශක යනු ගාම්භීර තනතුරක්. එහෙත් පොන්නම්පෙරුමට කිසි දිනෙක තනතුරේ මාන්නයක් තිබුණේ නැහැ.

ඔහු ගමන් කළෙ සාමාන්‍ය පෙළේ කුඩා ජපන් මෝටර් රථයකයි. කොළඹ සිටින විට IFS අගනුවර කාර්යාලයේ ම කාමරයක නවාතැන් ගත්තා. කොළඹ-නුවර ගමන නිතර කරන නිසා මෙය වඩාත් ඉක්මනින් කළ හැකි ක‍්‍රමයක් තිබේදැයි ඔහු සොයා බැලූවා. රේ විජේවර්ධන විසින් දිය මත ගොඩ බැස්විය හැකි ආකාරයේ කුඩා ගුවන් යානයක් සැළසුම් කොට නිර්මාණය කළේ මේ සඳහායි. කොළඹ බේරේ වැවෙන් පිටත් වී නුවර වැවේ ගොඩ බෑ හැකි ඒ ගුවන් යානය නියමුවකු හා තනි මගියකුට පමණක් යා හැකි කුඩා එකක්. තාක්‍ෂණික අතින් අවශ්‍ය ප‍්‍රමිතීන් සියල්ල එය සපුරා ගත්ත ද යම් හේතුවක් නිසා භාවිතයට ගත නොහැකි වූවා.

පොන්නම්පෙරුමගේ සමහර අදහස් ප‍්‍රායෝගික වූයේ නැහැ. දඹල පර්යේෂණායතනයක් ඇරඹුවත් එය කල් පවත්වා ගන්නට බැරි වුණා. මහනුවර-පේරාදෙණිය ප‍්‍රදේශවල තිබෙන විවිධ විද්‍යාත්මක ආයතන ඒකරාශී කොට ‘විද්‍යා රාජපුර’ ලෙස නම් කිරීමට ඔහු ගෙනා යෝජනාව ද කි‍්‍රයාත්මක කළ නොහැකි වුණා. ඔහුගේ තවත් සමහර දුරදර්ශී සංකල්පයන් කි‍්‍රයාවට නැගුණේ 1990 ඔහු මෙරටින් නික්මී වසර කිහිපයක් ගත වුවාට පසුවයි.

අමෙරිකාවේදී පොන්නම්පෙරුමයන්ගෙන් උගත් හෝ ඔහු ලියූ පර්යේෂණ නිබන්ධවලින් දැනුම සරු කර ගත් පර්යේෂකයන් දහස් ගණනක් ලොව පුරා සිටිනවා. එබඳු අය ජපානය, ඉන්දියාව, ඉතාලිය, කැනඩාව, අමෙරිකාව හා බ‍්‍රසීලය වැනි රටවලදී මට මුණ ගැසී තිබෙනවා. ඒ සමහරකුට පොන්නම්පෙරුමගේ නම හරිහැටි උච්චාරණය කරන්නට අමාරු වුවත් ඔහු ඉතිරි කර ගිය දැනුම් සම්භාරය හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ගැන ඉතා කෘතඥ පූර්වකව කථා කරනවා.

මේ යශෝරාවය භෞතික ඉදිකිරීම්වලට වඩා දහස් වාරයක් වටිනවා. යම් දිනෙක ග‍්‍රහකයක් හෝ ග‍්‍රහලොවක් මත ආවාටයක් පොන්නම්පෙරුම ලෙස නම් කැරෙනු ඇතැයි මා පතනවා. විශ්වයත් අපත් අතර සබඳතා ගවේෂණය කළ අපේ කොල්ලාට ලැබිය හැකි ඉහළ ම ගෞරවය එයයි.

See also:

සිවුමංසල කොලූගැටයා #129: විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

Remembering Dr Cyril Ponnamperuma: Inspirational maverick of Sri Lankan science

Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990

Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990

Advertisements
Posted in Biographical, Citizen science, Communicating development, Communicating research, Education, Education for Sustainable Development, Environment, food, Japan, public interest, Ravaya Column, Science communication, Science for development, science journalism, Sri Lanka, Sustainable Development. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »

සිවුමංසල කොලූගැටයා #67: විකල්ප ඉතිහාසය 2 – ජපන් ආක‍්‍රමණය සාර්ථක වූවා නම්…

In this week’s Ravaya column, published on 20 May 2012, I continue exploring alternative history scenarios for Sri Lanka, a quest started a couple of weeks ago.

I speculate WHAT IF there was a different outcome of the Battle of Ceylon, or the Easter Sunday Japanese air raid of Ceylon on 5 April 1942, exactly 119 days after the Pearl Harbour attack in Hawaii?

What if Ceylon fell to Japanese rule, just like Burma, Malaya and Singapore did? How might that have changed the course of World War Two, and the future of the then British colony of Ceylon?

“අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසට අත නොතබනු!”

විකල්ප ඉතිහාසයන් ගැන විද්‍යා ප‍්‍රබන්ධ කථා ස්වරූපයෙන් පරිකල්පනය කළ හැකිදැයි 2012 මැයි 6දා කොලමින් මා ඇසූ පැනයට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ එයයි. මා බලාපොරොත්තු වූ පරිදි ම ලංකාවේ ඉතිහාසය ශුද්ධ ලේඛනයක් සේ සළකන ඇතැම් දෙනා ඒ ගැන විවෘත මනසකින් විමසනවාට හෝ එය පාදක කර ගෙන නිර්මාණශීලිව කථා ගොතනවාට හෝ නොකැමති බව පෙනෙනවා. ඒ සමග ම එයට අනුබල දෙන ප‍්‍රතිචාර කිහිපයකුත්, “සිංහල පාඨකයන්ට ඕවා වැඩක් නැහැ” යන උදාසීන අවවාදයත් ලැබුණා.

ඉතිහාසය ගැන තනි විග‍්‍රහයකට මා එකග නොවන නිසාත්, ඉතිහාසගත පදනමක සිට පරිකල්පනය කිරිමේ නිර්මාණාත්මක නිදහස ගැන මා විශ්වාස කරන නිසාත් විකල්ප ඉතිහාස ගවේෂණයේ තව පියවරක් අද තබනවා.

මින් පෙර හැම කොලමකින් ම මා දැක් වූ අදහස් මෙන් ම මෙහි අන්තර්ගතය ද සංවාදයට විවෘතයි. එහෙත් ඉතිහාසයේ “උරුමක්කාරයන්” හැටියට පෙනී සිටින කිහිප දෙනෙකුගේ අධිපතිවාදය මා පිළි ගන්නේ නැහැ.

2012 අපේ‍්‍රල් 8දා මගේ කොලමේ තේමාව වූයේ 1942 අපේ‍්‍රල් මාසයේ ශ‍්‍රී ලංකාවට එල්ල වූ ජපන් ගුවන් ප‍්‍රහාරය හා එහිදී සිදු වූ සන්නිවේදන අවුලයි. වචන 1,300ක විග‍්‍රහය තුළ තනි වැකියක් ලෙස මා කියා තිබුණේ “යටත් විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පක්ෂ වීම” යන්නයි. මේ වචන 16 ගැන හිතමිතුරු පාඨක දෙපලක් මගේ බ්ලොග් අඩවිය හරහා දින ගණනක් වාද විවාද කළා. මෙබදු සංවාද ඇති වනවාට මා කැමතියි. http://tiny.cc/EastAt

ඒ ඔස්සේ තවත් කරුණු සෙවූ මට දැන ගන්නට ලැබුණේ එවකට මෙරට දක්ෂිනාංශිකයන් පවා ජපන් නියෝජිතයන් සමග ගනුදෙනු පවත්වා ඇති බව. 1978 විධායක ජනාධිපති වූ ජේ. ආර් ජයවර්ධන 1979දී ජපානයේ නිල සංචාරයක නිරත වෙමින් හෙළිදරව්වක් කළා. තෝකියෝවේ අධිරාජ මාලිගාවේ භෝජන සංග‍්‍රහයකදී ඔහු කීවේ 1940-42 වකවානුවේ මෙරට ජපන් පාලනයකට නතු වුව හොත් කළ හැකි දේ ගැන තමන් රහසිගතව ජපන් නියෝජිතයන් සමග සාකච්ඡ කළ බවයි. ජපන් පාලනයකින් පසු ලංකාවට නිදහස ලබා ගැනීමේ යම් ප‍්‍රතිඥාවක් තමන් ජපන් නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වූ බවත් ජේ. ආර්. කියා සිටියා!

මේ නිසා මෙරට වාමාංශික මෙන් ම දක්ෂිණාංශික ජන නායකයන් ද ජපන් ආක‍්‍රමණයක හැකියාව තක්සේරු කරමින් සිටි බව සිතා ගත හැකියි. මේවා ගැන විවෘතව කථා කිරීම කිසිවකුට අපහාස කිරිමක් හෝ යම් දේශපාලන සම්ප‍්‍රදායයකට නිගරු කිරීමක් හෝ නෙවෙයි. ඉතිහාසයේ අභියෝගවලට විවිධ පුද්ගලයන්, ජන සමාජ හා රටවල් මුහුණ දෙන එකිනෙකට වෙනස් ආකාරයන් ඔස්සේ ඔවුන්ගේ අනාගතය තීරණය වෙනවා.

අපේ‍්‍රල් 8දා මා විස්තර කල පරිදි ජපන් ආක‍්‍රමණය ගැන පැය 12ක පමණ අනතුරු ඇගවීමක් ලැබුණේ ඉන්දියානු සාගරයට ඉහළින් නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි කැනේඩියානු ගුවන් නැවියකුගෙන්. එය නොලැබී යාමෙන් හෝ ලැබීමෙන් පසුව වුවත් ආරක්ෂක සුදානමේ දුර්වලකමකින් හෝ 1942 අපේ‍්‍රල් ජපන් ආක‍්‍රමණය සාර්ථක වූවා යයි මොහොතකට සිතන්න. ඉන්දියානු සාගරයේ බල තුලනය ඉතා සියුම්ව පැවති ඒ අවස්ථාවේ ලංකා දුපත අල්ලා ගැනීමට හොඳ ඉඩක් ජපන් හමුදාවට තිබුණා.

සිංගප්පුරුව දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් හමුදා අතට පත් වුයේ 1942 පෙබරවාරි 15 වනදා. ඔවුන් එය සියොනන්තෝ ලෙස නැවත මේ නම් කර වසර තුනකට වැඩි කාලයක් දරදඩු පාලනයක් ගෙන ගියා. එම පාලනය බිඳ වැටුණේ 1945 අගෝස්තුවේ ජපානය යටත් වීමෙන් පසුවයි.

එවකට සිංගප්පුරුවේ රදවා තිබු මිත‍්‍ර පාක්ෂික හමුදා හා යුද්ධ අවිවලට වැඩි ප‍්‍රමාණයක් ලංකාවේ තිබු බව වාර්තාගතයි. ලංකාවේ සාගර බල පදනම යොදා ගනිමින් ජපන් හමුදා සමස්ත ඉන්දියානු සාගරය හා මැදපෙරදිගට බලය පතුරුවා හැර දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කරන්නට පවා හැකියාවක් තිබුණා.

එසේ වූවා නම් අපේ ඉතිහාසය කෙලෙස වෙනස් විය හැකිව තිබුණා ද? පෘතුග‍්‍රිසි, ලන්දේසි හා බි‍්‍රතාන්‍ය පාලකයන්ට අමතරව ජපන් ආඥාදායකත්වයකට ද නතු වීමෙන් පසු මෙරට සාමාන්‍ය ජනතාවගේ හා දේශපාලන නායකයන්ගේ ආකල්ප හා ක‍්‍රියාකලාපය කෙසේ වෙනස් වෙයි ද?

එසේ නම් මෙරට රඳවා සිටි සියළු මිත‍්‍ර පාෂික හමුදා නිලධාරින් හා හමුදා භටයන් ජපානයේ යුධ සිරකරුවන් බවට පත් වනවා. සිවිල් පරිපාලනයේ නිරතව සිටි සියළු දෙනා ජපන් හමුදා පාලනයකට නතු වනවා. මෑත ඉතිහාසයේ කිසි විටෙක පුර්ණ හමුදා පාලනයකට යටත් වී අත්දැකීම් නැති ලාංකිකයන්ට මෙහි ඵල විපාක එක්වර සිතා ගන්නටත් අමාරුයි.

මගේ බ්ලොග් අඩවියේ සංවාදයට පිවිසුණු එක් පාඨකයකු පෙන්වා දී ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ තමන් යටත් කර ගත් ආසියාතික රටවල සාමාන්‍ය ජනතාවට ජපන් හමුදා ඉතා කෲර ලෙස සළකා ඇති බවයි. බුරුමය, මලයාව, සිංගප්පුරුව වැනි රටවල් වසර කිහිපයක් නිර්දය ජපන් පාලනයකට නතු වී සිටියා.

එවකට ජපන් හමුදාවල තිබුණු එක ම ඉලක්කය හා අරමුණ වුයේ අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, සෝවියට් දේශය ප‍්‍රමුඛ වු මිත‍්‍ර පාක්ෂික රටවල් පරදවා ජර්මනිය හා ඉතාලියන් සමග ලෝකයේ ප‍්‍රබලතම රට බවට පත්විමයි. මේ සඳහා යන ගමනේදී ඕනෑ ම කැපවීමක් මෙන්ම විනාශකාරී ක‍්‍රියාවක් කිරිමට ඔවුන් නැඹුරුව සිටියා.

මා මෙසේ කියන්නේ ඉතා හොදින් තහවුරු වූ ඓතිහාසික වාර්තා අනුවයි. මෙහිදී අප සිහි තබා ගත යුත්තේ එසේ ආක‍්‍රමණකාරී වූයේ ස්වභාවයෙන් ම සියුම් හා සංවේදී ජපන් ජනයා නොව යුධ කාමයෙන් හා ජාතිකත්වයෙන් උමතු වී සිටි ජපන් හමුදා බවයි. මේ නිසා ලංකාව එදා ජපන් ආක‍්‍රමණයට නතු වූවා නම් අපේ රට කබලෙන් ලිපට වැටෙන්නට ඉඩ තිබුණා.

ජපන් සමාජය හා ජපන් රට ගැන මගේ ලොකු පැහැදීමක් තිබෙනවා. මට ජපන් මිතුරන් රැසක් සිටිනවා. වසර විස්සකට සිට මා අවස්ථා ගණනාවක් ජපානයේ සංචාරය කොටල ජපන් සරසවිවල දේශන පවත්වාල ජපන් චිත‍්‍රපට උළෙලවල ජුරි සභිකයකු ලෙස කටයුතු කොට තිබෙනවා. දෙවන ලෝක යුද්ධය හා එහිදී ජපන් හමුදා කළ හිරහැර ගැන අද දක්වා ජපන් ජාතිකයන් සමාව භජනය කරනවා. මේ නිසා අද අප දන්නා හිතමිතුරු ජපානය හා 1942 බලකාමී ජපන් හමුදා ක‍්‍රියා කලාපය පටලවා නොගත යුතුයි.

ශ‍්‍රි ලංකාවේ 1970 ගණන්වල සිට පදිංචිව මෙරට ඉතිහාසය ගැන ගවේෂණාත්මකව පොතපත ලියන බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් බොයිල් මගේ විමසීමට ප‍්‍රතිචාර දක්වමින් මෙසේ කීවා: “ජපනුන් ලංකාව අල්ලා ගත්තා නම් දහස් ගණනක් මිත‍්‍ර පාක්ෂික හමුදා ඔවුන්ගේ යුධ සිරකරුවන් බවට පත් වනවා. බි‍්‍රතාන්‍ය පාලකයන් සමග වෙළඳ, සිවිල් හෝ වෙනත් සබඳතා පවත්වා ගෙන ගිය ලාංකිකයන් දහස් ගණනක් ද ඔවුන්ගේ සැකයට හා හිරිහැරවලට ලක් වනවා. සිංගප්පුරුවේදී කළ විදියට රටවැසියන්ට හා යුද්ධ සිරකරුවන්ට දරුණු ලෙස සැලකීම සිදු වූවා නම් ජපන් පාලනයෙන් මෙරට මුදවා ගන්නට යටිබිම්ගත කැරැල්ලක් ඇරඹිය හැකිව තිබුණා ද? එබන්දකට නායකත්වයක් දිය හැකිව තිබුණේ කාට ද? වඩාත් රණකාමී හෝ සාමකාමී වාතාවරණයක් බිහි වී කවදා කුමන පදනමක් මත ලංකාවේ ස්වාධිනත්වය ලබා ගනීද? මේවා ගැන අපට කළ හැක්කේ පරිකල්පනය පමණයි.”

සිංගප්පුරුව ජපන් පාලනයට යටත් වීමේ 70 වන සංවත්සරය මේ වසරේ ඔවුන් සමරනවා. මේ අරභයා ලියැවුණු ලිපි හා නිෂ්පාදිත වාර්තා වැඩසටහන් දෙස බලන විට පෙනී යන්නේ ජපනුන් සිංගප්පුරුව අල්ලා ගත් සතියේ හා ඉනික්බිති සිදු වූ මිනිස් ඝාතන, බලහක්කාරකම් හා අසාධාරණ දේපල අත්පත්කර ගැනීම ගැන 70 වසරකට පසුවත් සිංගප්පුරු වැසියන් තුළ කම්පනයක් හා පිළිකුලක් පවතින බවයි. එහෙත් තම කුඩා දුපතට වඩා විශාල බල අරගලයකට හසු වී තමන්ගේ එදිනෙදා ජිවිතය හා ඉතිහාසගත ඉරණම වෙනස් වූ ආකාරය ගැන ඔවුන් උපේක්ෂා සහගතව ආවර්ජනය කරනවා.

මීට සියවස් පහකට පෙර පෘතුගීසි ආගමනයටත් කලින් අපේ දිවයින චීන බල පරාක‍්‍රමයට නතු වී නම් අපේ අද දවස කුමක් විය හැකි ද? මේ ගැන තවත් කොලමකින් විපරම් කරමු!