සිවුමංසල කොලූගැටයා #265: 21 සියවසට තවමත් නොපිවිසි අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

A popular TV programme genre in Sri Lanka that is being mass produced on the cheap is tele-dramas or television serials. Therein lies a problem: the local tele-drama industry is trapped in a vicious circle of low budgets and low production values. An estimated 5,000 to 6,000 Lankans who earn their living from this industry – as actors, script writers, directors and technical crew – are desperately searching for ways to break free.

So far, many have opted for the protectionist path. The Tele Makers Guild (TeleMG, http://telenisasl.org), an industry alliance, has been lobbying for the taxing of imported tele-dramas. They claim these are flooding the local market and undercutting their business.

In this week’s Ravaya column (appearing in the print issue of 24 April 2016), I discuss problems and challenges facing the tele-drama production industry of Sri Lanka.

As a viewer, I am opposed to cultural protectionism because it reduces my choice. So when TeleMG invited me as keynote speaker at their annual meeting held in early April, I urged them pursue the path of professionalism instead. Their big challenge, I said, is to make better shows with the existing budgets. That requires lots of creativity and resourcefulness.

I have written on this topic in English here:

Protectionism or professionalism: Choice for teledrama industry

(Echelon magazine, May 2016 issue)

See also related columns:

30 Oct 2011: සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

 13 Feb 2012: සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු!

 5 October 2014: සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ

ටෙලිවිෂන් මාධ්‍යයට ලැදි මා ටෙලිවිෂන් නරඹන්නේ (අනුපිළිවෙළින්) සරල රසවින්දනයට හා කාලීන තොරතුරු දැන ගැනීමට. මේ අවශ්‍යතා සපුරාලන  ඕනෑම දෙස් විදෙස් නාලිකාවක් මා නරඹනවා. විදෙස් ගත වන විට නොතේරෙන භාෂාවලින් පවා සිත් ගන්නා සුලූ ටෙලිවිෂන් වැඩසටහන් බලනවා.

Tele Makers Guild of Sri Lanka - logo
Tele Makers Guild of Sri Lanka – logo

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) සිය 22 වන සංවත්සර සභාවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීමට අපේ‍්‍රල් මස මුලදී මට ඇරයුම් කළා.

ඇරයුම් කළ පිරිසගේ තාවකාලික ප‍්‍රමෝදයට හේතු වන උද්්‍යාගපාඨ හෝ සටන් පාඨ කියා ඔවුන් අබියස වීරයකු වීම මගේ සිරිත නොවෙයි. ඒ නිසා මේ කර්මාන්තය ගැන කෙටියෙන් මුත් අවංක විග‍්‍රහයක් කිරීමට මා තැත් කළා. එදා කී දේ හා කියන්නට වේලාව මදි වූ දේ අද ලිපියෙන් මා බෙදා ගන්නට කැමතියි.

ශ‍්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය සමස්තයක් ලෙස විචාරයක් කිරීමට තරම් පර්යේෂණාත්මක දැනුමක් මට නැහැ. එහෙත් දේශීයව නිර්මාණය වන ටෙලිවිෂන් අන්තර්ගතය රස විඳීමට කැමති, බොහෝ විට එම අපේක්ෂා ඉටු නොවීමේ අත්දැකීම සතු ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයකු ලෙසයි මා අදහස් දැක්වූයේ.

ටෙලිඩ‍්‍රාමා හා ටෙලිප්ලේ යන ඉංග‍්‍රීසි යෙදුම් ද සැලකිල්ලට ගෙන ‘ටෙලිනාට්‍ය’ වචනය බිහි කළේ එම ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු වූ ධම්ම ජාගොඩයි. 1980 හා 1990 දශකවලදී ටෙලිනාට්‍ය මෙරට වඩාත්ම ජනප‍්‍රිය වැඩසටහන් ගණය බවට පත්වූවා. එයට දායක වුණේ කතා රසයෙන්, රංගනයෙන් හා නිෂ්පාදන ගුණාංගවලින් උසස් වූ ප‍්‍රසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය ගණනාවක්.

ශීඝරයෙන් වෙනස් වන ජන සමාජයක ආකල්ප හා රසඥතාව විවිධාකාරයි. මීට පරම්පරාවකට පෙර මෙන් එකම අච්චුවේ නිර්මාණ  ඕනෑ එකක් බාර ගන්නට අද පේරක්ෂකයන් සූදානම් නැහැ.

එසේම වාණිජකරණය ද අත්මිදිය නොහැකි ලෙස ටෙලිවිෂන් කර්මාන්තය පුරා විහිද පවතිනවා. පේ‍්‍රක්ෂකයන්ට නොමිලයේ බලන්නට විකාශ කරන නාලිකා සිය වියදම සම්පාදනය කරගන්නේ දැන්වීම් හා අනුග‍්‍රාහකයන් හරහා.

ඇන්ටෙනාවකින් හසු කරගත හැකි ජාතික මට්ටමේ (දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට පෙනෙන) ටෙලිවිෂන් නාලිකා දුසිමකට වඩා (භාෂා 3න්ම) මෙරට තිබෙනවා. මේ අතරින් සිංහලෙන් නිෂ්පාදිත හෝ සිංහලට හඬ කැවූ හෝ ටෙලිනාට්‍ය පෙන්වන නාලිකා 9ක් පමණ වනවා.

මේ සියල්ලම හසු කර ගත්තද තමන්ට රසවිඳීමට හැකි තරමේ ටෙලිනාට්‍ය තව දුරටත් බිහි වන්නේ නැතැයි මැසිවිල්ලක් සංවේදී පේ‍්‍රක්ෂකයන් අතරින් මතු වනවා. නාලිකා ගණන වැඩි වූවත්, ටෙලිනාට්‍ය පෙන්වන ගුවන් කාලය ඉහළ ගියත් පේ‍්‍රක්ෂකයන්ට ලැබෙන විවිධත්වය හා ගුණාත්මකබව දියුණු වී නැත්තේ ඇයි?

Image from www.freepress.net

දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයට වින කරන සාධක මොනවාද? ටෙලිනිස සභාපති අනුර මාධව ජයසේකර ප‍්‍රධාන සාධක තුනක් සඳහන් කරනවා.

  1. කේබල් ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් ^YouTube& හරහා විකල්ප රසාස්වාදන අවස්ථා පේ‍්‍රක්ෂකයන්ට මතුව ඒම.
  1. සිංහලෙන් හඬ කැවූ විදෙස් ටෙලිනාට්‍ය බොහෝ නාලිකාවල විකාශය වීම හා පේ‍්‍රක්ෂකයන් ඒවාට ආකර්ෂණය වීම.
  1. දේශීයව නිපදවන ටෙලිනාට්‍යවලට අසාධාරණ අඩු මිලක් ගෙවීමට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ටෙලිවිෂන් නාලිකා ගෙන යන ප‍්‍රතිපත්තිය.

තාක්ෂණයේ ප‍්‍රගමනය හා ගෝලීයකරණයට එරෙහිව කළ හැකි කිසිවක් නැහැ. විශේෂයෙන් තරුණ පරපුර නව සන්නිවේදන තාක්ෂණයට ලැදියි. ඔවුන් ඒ හරහා විදෙස් සිනමා හා ටෙලි නිර්මාණ නරඹනවා. ඒවායේ ආභාසයද ලබනවා. එසේම ටිකෙන් ටික තමන්ගේම නිර්මාණද වෙබ්ගත කරනවා.

මේ ප‍්‍රවණතාව තවමත් මුල් අදියරේ පැවතියත් ටෙලිවිෂන් නාලිකා මුළුමනින්ම නොතකා කෙළින්ම YouTube වෙත තම නිර්මාණ මුදාහරින ලාංකිකයන් සිටිනවා.

ඒ අතර ගප්පියා (www.youtube.com/user/gappiya) yd JehanR (www.youtube.com/user/jehanr) වැනි අය මේ වන විට පේ‍්‍රක්ෂක ජනාදරය දිනා ගෙන සිටිනවා.

විදෙස් නාට්‍ය මෙහි පැමිණීම හා හඬ කවා විකාශය වීම ගැන පේ‍්‍රක්ෂකයකු ලෙස මා සතුටුයි. මෙය අද ඊයේ නොව 1980 ගණන්වල ටයිටස් තොටවත්තයන් ඇරඹූ සම්ප‍්‍රදායක්.

විශ්ව සාහිත්‍ය කෘතීන් පරිවර්තන හරහා හෝ හඳුනා ගැනීම හොඳ නම් විදෙස් ටෙලිනාට්‍ය හඬ කවා මෙරට පෙන්වීමේ වරදක් ඇත්ද? මෙය තර්ක කළ හැකි කරුණක්. නමුත් චාරයක්, සීමාවක් නැතිව හඬ කැවීම් කිරීම දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයටත්, පේ‍්‍රක්ෂකයාටත් අහිතකරයි.

ටෙලිවිෂන් නාලිකා කියන්නේ හඬ කැවූ විදෙස් නාට්‍ය වඩාත් ජනප‍්‍රිය බවයි. මෙය මැනීමට භාවිත කරන ටෙලිවිෂන් තක්සේරු ක‍්‍රම (TV Ratings) දෙකක් මෙරට තිබෙනවා. ඒ දෙකෙහිම පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් නැහැ.

විදෙස් නාට්‍යවලට පේ‍්‍රක්ෂකයන් ලැදිවීම තේරුම් ගත හැකියි. ඉන්දියාව හා කොරියාව වැනි රටවල වැඩි වියදමක් දරා වඩා ඉහළ නිෂ්පාදන මට්ටමකින් නිම කරන ටෙලිනාට්‍ය සමග ඍජුව තරග කරන්නට දේශීය ටෙලිනාට්‍යවලට බැහැ.

දේශීය ටෙලිනාට්‍ය එක් අංගයකට (විනාඩි 20-22) නාලිකා විසින් ගෙවන ගණන රු. 90,000 සිට 200,000ක් පමණ වනවා. බහුතරයක් නාට්‍යවලට ගෙවන්නේ පරාසයේ අඩුම ගණනයි. නාලිකා කළමනාකරුවන් කියන්නේ ටෙලිනාට්‍ය බොහොමයක් තත්ත්වයෙන් බාල නිසා මීට වඩා ගෙවිය නොහැකි බවයි.

මෙකී නොකී සාධක රැසක් නිසා ටෙලිනාට්‍ය කර්මාන්තය එක තැන පල් වෙමින් තිබෙනවා. කර්මාන්තයේ පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව නිරත වන 5,000ක් පමණ දෙනාගේ ජීවිකාවට මේ සංකීර්ණ ප‍්‍රශ්න ඍජුවම බලපානවා.

පේ‍්‍රක්ෂකයන් ලෙස අප මේ ගැන සානුකම්පිත විය යුතුයි. එසේ වුවද ප‍්‍රශ්නයට විසඳුම් යථාර්ථවාදී හා ප‍්‍රායෝගික වීම වැදගත්.

ටෙලිනිස ඉල්ලීම මත විදෙස් චිත‍්‍රපට ටෙලිනාට්‍ය හා ටෙලි දැන්වීම් සඳහා ආනයන බද්දක් 2006දී පසුගිය රජය හඳුන්වා දුන්නා. වැඩිම බදු පැනවුණේ ඉන්දියාවෙන් එන නිර්මාණවලටයි. පසුව (දෙමළ ජාතික මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම නිසා) ආනයනිත දෙමළ වැඩසටහන්වල බද්ද ඉවත් කරනු ලැබුවා.

මෙය ආරක්ෂණවාදී (Protectionist) බද්දක්. ලක් රජයද අත්සන් කර තිබෙන ලෝක වෙළඳ සම්මුතීන්ට පටහැනි පියවරක්. එසේම :2015දී මේ බද්ද අහෝසි කරන තුරු) මේ බදු හරහා 2006-2014 කාලය තුළ ටෙලිවිෂන් නාලිකාවලින් රුපියල් බිලියනයකට වඩා රජය එකතු කළ බවට අනුමාන කැරෙනවා.

මේ මුදල් දේශීය සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තවලට යොමු කිරීමේ අරමුණක් තිබුණා. එහෙත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ රන්මිණිතැන්න නම් ටෙලි සිනමා ගම්මානයක් ඉදි කිරීම හැරුණු විට මේ මුදල් කෙසේ වැය කළාදැයි පැහැදිලි වගවීමක් නැහැ.

බදු පනවා තරගකාරීත්වය යම් තරමකට හෝ අවහිර කළද දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයේ නිෂ්පාදනවල සැලකිය යුතු ගුණාත්මක දියුණුවක් දක්නට නැහැ.

Somaweera Senanayake
Somaweera Senanayake

ටෙලිනාට්‍ය කර්මාන්තය බරපතළ සෝදාපාළුවකට ලක්ව ඇති බව ක්ෂේත‍්‍රයේම ප‍්‍රවීණයන් පිළි ගන්නවා. සම්මානලාභී නවකතාකරු හා ටෙලිනාට්‍ය තිර රචක සෝමවීර සේනානායක ටෙලිනිස පුවත් සඟරාවේ කියන පරිදි ”ඉතා කෙටි කාලයක් තුළ නිර්මාණශීලී ගුණයෙන්ද දේශීයත්වයෙන්ද ජනප‍්‍රියත්වයෙන්ද ඉහළ තලයකට පැමිණි සිංහල ටෙලිනාට්‍ය කලාව නිකම්ම නිකම් ටෙලි බවට පත් වූයේ කෙසේද? එකල අප සාකච්ඡා කළේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීම ගැනය. අද සමහරුන් සාකච්ඡා කරනුයේ ටෙලියක් ගහන ආකාරය ගැනය. මෙම ටෙලි ගැහිල්ලත්, කඩය ඉදිරිපිට කුණු කාණුව අසල කොත්තු රොටි ගැහිල්ලත් අතර වෙනසක් නැත.”

ඔහු මෙයට එක් ප‍්‍රධාන හේතුවක් ලෙස දකින්නේ කලාවක් නොව කර්මාන්තයක් බවට පත්වීමයි. එහෙත් වෙනත් රටවල සිනමා හා ටෙලි කලාවන් කර්මාන්ත ලෙස ද තුලනයක් සහිතව පවතිනවා.

වාණිජ්‍යත්වය පැවතියද බටහිර රටවල් අප රටේ තරම් ඔවුන්ගේ ටෙලිනාට්‍ය කලාව විනාශ කොට නැති බව සේනානායකයන්ද පිළිගන්නවා. එයට හේතුව? එම රටවල පේ‍්‍රක්ෂක සංවිධාන හා පාරිභෝගික සංවිධාන බලවත් නිසා. ඔහේ  ඕනෑ දෙයක් හදලා පෙන්වන්න බැහැ! මහජන මතය ප්‍රබලව මතු වනවාග

සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ බර්ට‍්‍රම් නිහාල් 2003දී දිනමිණ සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කීවා. ”වර්තමානයේ කලාවක් විදිහට නම් ටෙලිනාට්‍ය ප‍්‍රචලිත වෙලා නැහැ. මාධ්‍ය භාවිතයේ අසංතුලනය හා අනුචිතභාවය නිසා ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක නියෝජනය ක‍්‍රමයෙන් ඈත් වන බවක් නම් පෙනෙනවා. අපට පූර්ණ කලා නිර්මාණයක් කරන්න බැරි වුවත් රූපවාහිනි මාධ්‍යයේ තිබෙන සීමාවලින් උපරිම ප‍්‍රයෝජන ගත හැකියි.”

Bertram Nihal asks: where is professionalism in Sri Lanka's teledrama industry?
Bertram Nihal asks: where is professionalism in Sri Lanka’s teledrama industry?

ටෙලිනිස උදක්ම ඉල්ලා සිටින්නේ රාජ්‍ය මැදිහත් වීමක්. රාජ්‍ය පාලනය යටතේ පවතින රූපවාහිනී හා ෂඔභ නාලිකා ප‍්‍රමිතියක් සහිත ටෙලිනාට්‍ය බිහි කිරීමට උදවු උපකාර කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

එහෙත් දිගු කලක් තිස්සේ අනවශ්‍ය ලෙස දේශපාලන පත්වීම් ලබා දුන් අයගෙන් කාර්ය මණ්ඩල අතිරික්තයක් ඇති වී තිබෙන මේ ආයතන දෙකෙහි මාස්පතා පඩි ගෙවා ගැනීමේ දැවැන්ත අභියෝගයක් තිබෙනවා. ඒ නිසා හොඳ දේ ප‍්‍රවර්ධනය කරනු වෙනුවට ජනප‍්‍රිය වැඩසටහන්ම පෙන්වා දැන්වීම් ආදායම උපරිම කරගන්නට මේ ආයතන ද්විත්වයට සිදුව තිබෙනවා. මෙය ලෙහෙසියෙන් ලෙහාගත හැකි ගැටයක් නොවෙයි.

රාජ්‍ය-කේන්ද්‍රීය මානසිකත්වයට නතු වී සිටිනු වෙනුවට තම ක්ෂේත‍්‍රයේ වෘත්තීයභාවය වැඩි කිරීමට ටෙලිනිස ඇතුළු ටෙලි කර්මාන්තයේ සියලූදෙනා දැනට වඩා ඇප කැපවිය යුතුයි. මේ ගැන එම ක්ෂේත‍්‍රයේ මීට වඩා සංවාද හා පෙළගැසීම් අවශ්‍යයි.

ටෙලිනාට්‍ය මෙන්ම සමස්ත ටෙලිවිෂන් කර්මාන්තයේම වෘත්තීයභාවය අඩුවීමට හේතු ගණනාවක් තිබෙනවා. පුහුණු ශ‍්‍රමයේ හිඟයක් හා හරිහැටි පුහුණුව ලබා ගැනීමේ දුෂ්කරතා රැසක් පවතිනවා. නොයෙක් පාඨමාලා ඇතත් ප‍්‍රමිතියක් නැහැ. එකිනෙකා පරයා අඩු මුදලට වැඩ කිරීමට යාම (under-cutting) නිසා කර්මාන්තයේම වෘත්තීය ප‍්‍රමිතීන් හෑල්ලූ වෙලා.

අද මේ ක්ෂේත්‍රයේ ඉන්නා බහුතරයක් ටෙලිනිර්මාණකරුවෝද නැතිනම් ටෙලි කම්කරුවෝද යන ප‍්‍රශ්නය නොකැමැත්තෙන් වුවද මතු කළ යුතුයි. (මේ වචනය මහාචාර්ය තිස්ස කාරියවසම් මුලින්ම යොදා ගත් බව මගේ වැටහීමයි.)

බර්ට‍්‍රම් නිහාල් කියන්නේ ටෙලි කර්මාන්තයේ වෘත්තීයභාවය ඉහළ දැමීමට සාමූහික හා දිගු කාලීන ප්රයත්නයක් නොගෙන අන් කුමක් කළත් එතරම් රතිඵල නොලැබෙනු ඇති බවයි.

මගේ මතය ක්ෂේතරය තුළ පවතින විසමතා හා අඩුපාඩු හදා නොගෙන තරගකාරී විදෙස් නිර්මාණවලට ආරක්ෂණවාදී බදු ඉල්ලා සිටීම හෝ මෙගා නාට්යවලට සීමා පැනවීම තාවකාලික, පැලැස්තර රතිකර්ම පමණක් බවයි.

ටෙලිනාට්‍ය යනු හුදෙක් නළු නිළියන් හා අධ්‍යක්ෂවරුන් පමණක් නොවෙයි. ප‍්‍රශස්ත නිර්මාණයකට දායක වන ශිල්පීන් වර්ග රාශියක් සිටිනවා. කර්මාන්තයක් ලෙස දියුණු වීමට නම් කතා පිටපත් රචකයන්, කැමරා ශිල්පීන්, හඬ ශිල්පීන්, වීඩියෝ සංස්කාරකයන්, වේශ නිරූපණ ශිල්පීන්, සංගීත ශිල්පීන්, කලා අධ්‍යක්ෂවරුන් වැනි බොහෝ මට්ටම්වල කුසලතා වර්ධනය විය යුතුයි.

කතා රචකයන් උදාහරණයකට ගනිමු. ටෙලිනාට්‍ය නිෂ්පාදනය දියුණු ජපානය, කොරියාව, දකුණු අප‍්‍රිකාව වැනි රටවල එහි විශේෂඥභාවය බොහෝ ඉදිරියට ගොස් තිබෙනවා.

යම් කතාවක සැකිල්ල හා වස්තුව (story plot) නිර්මාණය කරන්නා බොහෝ විට දෙබස් ලියන්නේ නැහැ. දෙබස් රචනයටම සමත් ශිල්පීන් සමග සාමූහිකව පිටපත ලියනවා.

අපේ ටෙලිනාට්‍යවල කතා රචනය බොහෝ විට පටු සමාජ දැක්මකට කොටු වෙලා. 1970 හා 1980 සමාජ යථාර්ථයන්ගෙන් ඔබ්බට යා නොහැකිව එක තැන පල් වනවා. ඔවුන්ට අනුව ගම සදාකාලිකවම සුන්දරයි. නගරය දරුණුයි. විවෘත ආර්ථිකය බිහිසුණුයි. ධනවතුන් සියල්ලෝම පාපතරයෝ. මේවැනි සරල ලඝු කිරීම් අපේ ටෙලිනාට්‍යවල බහුලයි.

ටෙලිනාට්‍ය රචකයන් අතර කාන්තාවන් කීදෙනකු සිටිනවාද? තිරයේ පෙනෙන නාමාවලිවලට අනුව නම් ඉතා සුළු පිරිසක්. මේ පසුබිම තුළ කාන්තා ප‍්‍රශ්න අපේක්ෂා හා සිතුම් පැතුම් ටෙලිනාට්‍යවල මතු වන්නේ පුරුෂ දෘෂ්ටි කෝණයක් හරහායි. මෙයද ටෙලිනාට්‍යවල වෘත්තීය බව සීමා කරනවා.

අපේ උපහාසාත්මක ටෙලිනාට්‍ය පවතින්නේද පහත් මට්ටමක. පේ‍්‍රක්ෂකයා හිනස්සන්න, කිති කවන්න හැකි සියුම් ක‍්‍රම  ඕනෑ තරම් තිබෙනවා. එහෙත් අප බොහෝ විට දකින්නේ ගොරහැඬි, ග‍්‍රාම්‍ය මට්ටමේ හාස්‍යය මිස සංවේදී හා තියුණු උපහාසය නොවෙයි. ව්‍යාංගාර්ථ, අපහාසයන් හා කුණු රසය නම් එමට තිබෙනවා.

ටෙලිනාට් කර්මාන්තයට මේ සිදු වෙමින් පවතින්නේ චිත්රකතාවලට අත් වූ ඉරණමට සමාන හිරු බැස යාමක්ද?

චිත‍්‍රකතා මාධ්‍යය දේශීයකරණය වී පාඨකයන්ගේ සිත්වල දිගු කල් රැුඳුණු කතා රැසක් 1960 දශකයේ බිහි වූවා මෙන්ම මුල් වටයේ නැවුම් හා නිර්මානශීලී ටෙලිනාට්‍ය රැල්ලත් අප කුල්මත් කළා. එහෙත් අධික වාණිජකරණය නිසා චිත‍්‍රකතා කර්මාන්තය ඇද වැටුණු පරිදිම ටෙලිවිෂන් නාලිකා හසුරුවන්නන්ගේ හා ඇතැම් නිෂ්පාදකයන්ගේ ගිජුබව නිසා ටෙලිනාට්‍ය කර්මාන්තයද අර්බුදයකට ලක්ව තිබෙනවා.

16 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

ටෙලිනාට්‍ය කර්මාන්තය ප‍්‍රමාද වී හෝ 21 සියවසට පිවිසීම වැදගත්. අතීතකාමය හා අතීත උන්මාදය හරහා නව්‍යකරණය කරන්න නොහැකියි. එසේ නොකරන තාක් කල් පේ‍්‍රක්ෂක අපට සිදු වන්නේ දුරස්ථ පාලකයෙන් අපේ අමනාපය පළ කිරීම පමණයි!

සිවුමංසල කොලූගැටයා #167: ඩෙංගු මර්දනයට දේශීය පෙළ ගැස්මක්

The world’s fastest growing vector-borne disease is dengue, which has recorded a 30-fold increase over the last 50 years. Dengue is mostly transmitted by a mosquito species named Aedes aegypti, which breeds in water containers in and around homes. It is thus closely linked to environmental factors and human behavior.

In this week’s Ravaya column (in Sinhala), I discuss strategies for dengue control in Sri Lanka — including the use of an organic insecticide developed by a Lankan innovator.

I covered similar ground in English recently in two columns:

25 April 2014: When Worlds Collide #104: Dengue Control sans Chemicals?

18 April 2014: When Worlds Collide #103: Combating Dengue, a ‘Silent Disaster’

Dengue carrying mosquito: Aedes aegypti
Dengue carrying mosquito: Aedes aegypti

ජාතික මදුරු මර්දන සතිය නැවත වරක් අපේ‍්‍රල් 2-8දිනවල පැවැත්වුණා. අපේ‍්‍රල් 7වනදාට යෙදුණු ලෝක සෞඛ්‍ය දිනය සඳහා මේ වසරේ තේමාව වූයේ වාහකයන්ගෙන් පැතිරෙන රෝගයි (vector-borne diseases).

ගෝලීයකරණය සමග වඩාත් ව්‍යාප්ත වන වෙළඳාම් හා සංචාර හරහාත්, නාගරීකරණය හා දේශගුණ විපර්යාස වැනි සංසිද්ධීන් නිසාත් විෂබීජ වාහකයන්ගේ පැතිර යාම වඩාත් උත්සන්න වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

රෝග වාහකයන් අතර උකුණන්, මකුනන් ආදි සතුන් ද සිටියත් වඩාත් ම හානිකර වන්නේ විවිධ මදුරු විශේෂයි. ඇති කරන මරණ සංඛ්‍යාව අනුව බැලූ විට භයානක ම වාහකයා මැලේරියා රෝග වාහක ඇනෝෆිලීස් මදුරුවන්. 2010දී මැලේරියාව නිසා ලෝකයේ මරණ 660,000ක් සිදු වුණා (බහුතරය අප‍්‍රිකානු ළමයින්).

නමුත් අද ලෝකයේ වඩාත් සීඝ‍්‍රයෙන් පැතිරෙන හා වඩාත් ම ප‍්‍රබල මහජන සෞඛ්‍ය තර්ජනය එල්ල කරන වාහක රෝගය වන්නේ ඩෙංගු රෝගයයි. ගෙවී ගිය අඩ සියවස තුළ එය වැළඳුණු ජන සංඛ්‍යාව 30ගුණයකින් වැඩි වී තිබෙනවා.

ඩෙංගු රෝගය බොහෝ කොට පතුරුවන්නේ ඊඩිස් ඊජිප්ටායි (Aedes aegypti) නම් මදුරු විශේෂයයි. නිවෙස්වල හා ගෙවතුවල ජලය එකතු වන තැන්වල ඉක්මනින් බෝවන මේ මදුරුවාගේ පැතිරීම මිනිස් චර්යාවන්ට හා පාරිසරික සාධකවලට සෘජුවම සම්බන්ධයි.

1960දශකය මුලදී ඩෙංගු රෝගය වාර්තා වූයේ ලොව රටවල් 9කින් පමණයි. වාර්ෂිකව රෝගීන් 15,000ක් පමණ සිටියා. මේ වන විට (2013) අඩු තරමින් රටවල් 100ක වාර්ෂිකව රෝග තත්ත්වයන් මිලියන 390ක් පමණ වාර්තා වන බව ලෝක රතු කුරුස හා රතු අඩසඳ සම්මේලනය (IFRC) කියනවා.

ඩෙංගු වැනි රෝග ලක්‍ෂණ විටින් විට වාර්තාව තිබුණත් මුල් වරට ශ‍්‍රී ලංකාවේ ඩෙංගු රෝගය විද්‍යාත්මකව තහවුරු කෙරුණේ 1962දී. මුල් කාලයේ එය පැතිර ගියේ සෙමින්. එහෙත් මුල් වරට 1988දී එය වසංගත තත්ත්වයකට පත් වුණා. ඩෙංගු රෝගය බහුලව හමුවන ලෝකයේ රටවල් 30අතරට දැන් ශ‍්‍රී ලංකාව එකතු වී තිබෙනවා.

මෙරට ඩෙංගු රෝග විකාශනය ගැන පර්යේෂණ වාර්තාවක් සම්පාදනය කළ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පී. ඞී. එන්. එන්. සිරිසේන හා වෛද්‍ය එෆ්. නූර්දින් කියන්නේ මුලදී නගරබදව හමු වූ ඩෙංගු රෝගය මේ වන විට අර්ධ නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ද පැතිරෙමින් ඇති බවයි. http://tiny.cc/DengSL

තවමත් වැඩිපුර ඩෙංගු රෝගීන් හමු වන්නේ බස්නාහිර පළාතෙන් වුවත් (2007සමස්ත රෝග තත්ත්වයන්ගෙන් 44.9%) උතුරුමැද, වයඹ, සබරගමුව පළාත්වල ද ඩෙංගු රෝග සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස ඉහල ගොස් තිබෙන බව ඔවුන් කියන්නේ නිල සෞඛ්‍ය දත්ත අනුවයි.

එසේම 2009දී යුද්ධය අවසන් වූ පසු උතුරු හා නැගෙනහිර පළාත්වල ද ඩෙංගු බහුලව වාර්තා වනවා. විශේෂයෙන් යාපනය හා මඩකලපුව නගරවල. මෙයට හේතුව ලෙස පර්යේෂකයන් දකින්නේ යුද්ධය නිමාවෙන් පසු උතුරු-දකුණු ගමන් බිමන් බහුල වීමයි.

මේ අතර දේශගුණ විපර්යාස නිසා හට ගන්නා අකල් වැසි, ආන්තික කාලගුණ තත්ත්වයන් ආදිය නිසා ද ඩෙංගු මදුරුවන් පැතිරීමට ඇති ඉඩ වැඩි වනවා. ඉදිරියේදී ඩෙංගු මර්දන වැඩසටහන් සකස් කරන විට මේ දේශගුණ විපර්යාස සැලකිල්ලට ගත යුතු යයි සිරිසේන හා නූර්දීන් නිර්දේශ කරනවා.

ඩෙංගු රෝගයට එරෙහිව එන්නතක් හෝ වයිරස්-විරෝධ බෙහෙතක් (antiviral drug) තවමත් නිපදවා නැති නිසා තිබෙන හොඳම ආරක්‍ෂණ උපක‍්‍රමය නම් රෝග වාහකයන්ගේ පැතිරීම සීමා කොට අවම කිරීමයි.

ඩෙංගු යනු වළක්වා ගත හැකි රෝගයක් බවත්, උතුරු හා දකුණු අමෙරිකානු මහාද්වීපවල දැඩි මහජන සෞඛ්‍ය පියවර මගින් ඩෙංගු තුරන් කර ගැනීමට සමහර රටවලට හැකි වූ බවත් IFRC සංවිධානය පෙන්වා දෙනවා.

ඩෙංගු මදුරුවන් බෝවීම අවම කිරීමට මනා සේ පාරිසරික පිවිතුරු බව හා ප‍්‍රවේශම්කාරී බව අත්‍යාවශ්‍යයි. ඩෙංගු මදුරුවන් බිත්තර දමා, කීටයන් බිහි වී පරිනත වන්නේ ජල මාධ්‍යයේයි. පිරිසිදු ජලය මෙන් ම කාබනික ද්‍රව්‍ය මුසු වූ ජලයේ ද මෙය සිදුවිය හැකියි. පර්යේෂකයන් මෑතදී සොයා ගෙන ඇත්තේ කිවුල් දියේ පවා ඔවුන්ට බෝවිය හැකි බවයි.

ඩෙංගු කාරක වෛරසය ජානමය වශයෙන් අනුවර්තනය වීමට සමත් බවත්, වාහක මදුරු විශේෂ ද කෙටි කලකින් නව පාරිසරික තත්ත්වයන්ට හැඩ ගැසෙන බවත් පර්යේෂකයන් දැන් තේරුම් අරන්. ඒ අනුව ඩෙංගු මර්දන උපක‍්‍රම ද අළුත්ම පර්යේෂණ දැනුමට අනුව කලින් කලට වෙනස් කර ගත යුතු යයි ඔවුන් කියනවා.

ඩෙංගු මර්දනයට මේ දක්වා මෙරටත්, වෙනත් බොහෝ රටවලත් යොදා ගන්නේ මදුරු නාශක රසායන ද්‍රව්‍යයි. මේවා ධූමකාරක යන්ත‍්‍ර හරහා ගෙවතු හා ගේ දොරවලට මුදා හරිනවා. මෙය ප‍්‍රතිඵල ගෙන දුන්න ද දිගට ම පවත්වා ගත යුතු ක‍්‍රියාදාමයක්.

එක ම ප‍්‍රදේශයක නිශ්චිත කාල වකවානුවකට වරක් එම රසායන යෙදීම හරහා මදුරු ගහන පාලනය කළ හැකියි. එහිදී තීරණාත්මක වන්නේ පොදු හා පෞද්ගලික ස්ථානයන්හි මදුරුවන්ට බෝවීමට උපකාරවන ජලය එකතු වන අපද්‍රව්‍ය, රඳවනයන් හා ස්වාභාවික තැන් සොය සොයා ඉවත් කිරිමයි. මෙය ද යළි යළිත් කළ යුත්තක්. දිගට ම පවත්වා ගත යුතු නිරන්තර ආරක්‍ෂක පියවරක්.

මදුරු නාශනය සඳහා දිගු කලක් තිස්සේ මෙරටත්, ලොව බොහෝ රටවලත් යොදා ගත්තේ DDT නම් විෂ රසායනිකයයි. DDT ජනාවාස ඇති ප‍්‍රදේශවල පුළුල්ව ඉසීමේ යෙදුණු මුල් ම ආසියානු රට බවට ශ‍්‍රී ලංකාව පත්වූයේ 1945 අගදී. DDTවල පාරිසරික හා සෞඛ්‍යමය විපාක ගැන දැන ගත් පසු බොහෝ රටවල් එය භාවිතය නතර කළා.

13 January 2013: සිවුමංසල කොලූ ගැටයා #100: නිහඬ වසන්තයේ අඩසියවසක යශෝරාවය

මදුරු මර්දනය සඳහා කෘති‍්‍රම රසායන නොවන දේශීය උපක‍්‍රම තිබේ ද?

K M Wijepala with his organic products - Photo by Janaka Sri Jayalath
K M Wijepala with his organic products – Photo by Janaka Sri Jayalath

තනිකර ම පැළැටි සාරයන් යොදා ගෙන මදුරු මර්දනයට සාර්ථක දේශීය විසඳුමක් නිපදවීමට නුවර එළියේ විජය ඇග්‍රො ප‍්‍රඩක්ට්ස් සමාගමේ කේ. එම්. විජේපාල මහතා සමත්ව සිටිනවා. (මීට පෙර මා හඳුන්වා දුන්නේ ඔහු නිපදවූ කාබනික පොහොර ගැනයි. එයට අදාල වට්ටෝරුව ඔහු නොමිළයේ ගොවින්ට ලබා දෙනවා.)

9 Sep 2012: සිවුමංසල කොලූ ගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

26 January 2014: සිවුමංසල කොලූ ගැටයා #153: කාබනික ගොවිතැන: උද්‍යොගපාඨවලින් ඔබ්බට?

මදුරු මර්දනය සඳහා උපක‍්‍රම දෙකක් ඔහු යෝජනා කරනවා.

පළමුවැන්න – ඔවුන්ගේ ප‍්‍රජනන (බෝවීමේ) ක‍්‍රියා අවහිර කිරීම. කීටයන් අවධියේ ම ඔවුන් සිටින තැන් සොය සොයා විනාශ කිරීම.

දෙවැන්න – ඔවුන් මිනිස් අප සමීපයට ඒම වැළැක්වීම. ඒ සඳහා ඔවුන් අප වෙතින් පළවා හරින (repellant) ආකාරයේ රසායනික සිරුරේත් ගෙදර දොරෙත් භාවිත කිරීම.

කලක් අත්හදා බැලීම් කොට ඔහු නිපදවා ඇති OK (Organic King) නම් මදුරු නාශක ද්‍රාවණය මේ උපක‍්‍රම දෙකට ම යොදා ගත හැකියි. එය කොහොඹ ගසේ සාරයෙන් තනා ගන්නා නිසා සෙසු ජීවීන්ට හා මිනිසුන්ට විස නැහැ. (වැරදීමකින් ටිකක් පෙවුනත් කිසිදු හානියක් නැතැයි ඔහු කියනවා!)

වතුර ලීටර් 16කට ධණ ද්‍රාවණයේ මිලි ලීටර් 50ක් මිශ‍්‍ර කර ගෙවත්තේ ඉසීම සති දෙකකට සෑහෙන බවත්, කාමරයක් තුළට මදුරුවන් ඒම පළවා හරින්නට සතියකට වරක් ටිකක් ඉසීම ප‍්‍රමාණවත් බවත් ඔහු කියනවා.

දියරයෙන් බිඳක් ඇඟිල්ලට ගෙන කන් පෙති පිටුපස තවරා ගැනීම හරහා පැය 3-4ක් කිසි මදුරුවකු තමාට ළං වීම වළක්වනවා. වාහන තුළ සුවඳ විහිදුවන විලවුන්කාරකයට බින්දු කිහිපයක් එකතු කළොත් වාහනයට මදුරුවන් ඒම ද වළකිනවා.

‘මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීම අවශ්‍යයි. බෝවීම අවහිර කරන්නේ ඒ සඳහායි. ඒ අතර කෙසේ හෝ බිහි වන මදුරුවන් අපට ළං වීම වළක්වා ගැනීම ද කළ යුතුයි.’ විජේපාල මහතා කියනවා.

OKමදුරු හා කෘමි නාශකයට ශ‍්‍රී ලංකා පේටන්ට් බල පත‍්‍රයක් 2013දී පිරි නැමුණා. කාර්මික පර්යේෂණායතනය (ITI) එහි බලපෑම් ගැන ස්වාධීනව පර්යේෂණ කොට තහවුරු කොට තිබෙනවා. සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් ද මෙරට අලෙවියට හා භාවිතයට සුදුසු රසායනිකයක් හැටියට එය නිල වශයෙන් අනුමත කොට තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය මෑතදී මෙරට මදුරු නාශක නිපදවන්නන්ගේ රැස්වීමකටතමා කැඳවූ බවත්, ධණ ද්‍රාවණයේ පාරිසරික වාසි ගැන ඔවුන් පැහැදී සිටින බවත් විජේපාල මහතා කියනවා.

OK යනු මදුරුවන්ට පමණක් නොව බෝගවලට හානි කරන කෘමි පලිබෝධකයන්ටත් එරෙහිව ක‍්‍රියා කරන ස්වාභාවික රසායනික සංයෝගයක්. පරිසර හානි නොකර පලිබෝධකයන් පමණක් මර්දනයට මෙබදු කාබනික කෘමි නාශක හැකි තාක් යොදා ගැනීම කාලීන අවශ්‍යතාවයක්.

OK logo

විජේපාල මහතා සුළු ව්‍යාපාරිකයෙක්. කෘෂි රසායනික නිපදවා අලෙවි කරන විදේශ හා දේශීය මහා සමාගම් සමග තරගයට තම නිෂ්පාදන ප‍්‍රචාරණය කරන්නට ඔහුට මුදල් නැහැ. එහෙත් තම නිෂ්පාදනවල කාර්යක්‍ෂමතාව පිළිබඳව පර්යේෂණාත්මක සහතිකත්, පාරිසරික හිතකරභාවය නම් වූ අමතර වාසියත් ඔහු හුවා දක්වනවා.

ඩෙංගු මර්දනයට ජෛව පාලනය සඳහා විදේශවලින් බැක්ටීරියා (BTI) ගෙන්වීමට තිබූ නිල උනන්දුව හා මහජන මුදල් යෙදවීම මෙබදු දේශීය විසඳුමකට ලැබෙයි ද?

විජේපාල මහතාගේ GOLF නම් වූ කාබනික පොහොර ගැන මීට සති කිහිපයකට පෙර ට්විටර් සමාජ මාධ්‍යයේ මා සඳහන් කළ විට එක් ප‍්‍රතිචාරයක් වූයේ ‘‘ඔය පොහොරවල ගුණාගුණ ගැන විද්වත් පර්යේෂණ කොට ජාත්‍යන්තර සඟරාවක නිබන්ධන පළ කොට ඇත්ද?’’ යන්නයි.

තවම එබන්දක් සිදුව නැහැ. විජේපාල යනු ශාස්ත‍්‍රාලීය උගතකු නොව ප‍්‍රායෝගිකව අත්දැකීම් රැසක් ලැබූ, ගැටළු විසඳීමට යොමු වූ නව නිපැයුම්කරුවෙක්. ඔහුගේ විසඳුම් තව දුරටත් පර්යේෂණ හරහා විමර්ශනය කිරීම හා වැඩි දියුණු කිරීම අපේ විද්වතුන්ට කළ හැකි දෙයක්.

එහෙත් සර්ව සම්පූර්ණ පර්යේෂණ ප‍්‍රතිඵල ලැබෙන තුරු ඩෙංගු මදුරු මර්දනය කල් දැමිය නොහැකියි. ළඟ එන නිරිතදිග මෝසම් වැසි සමග නැවතත් ඩෙංගු රෝග වාහකයන් ප‍්‍රබල ලෙස බෝවනවා. එහිදී එය මර්දනයට දෙස් විදෙස් හැම උපක‍්‍රමයක් ම පෙළ ගැස්වීම ඉතා වැදගත්.

(OK කෘමි නාශක කොළඹ ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරයේ පිහිටුවා ඇති කාබනික ආහාර අලෙවි සැලෙන් ද නුවරඑළියේ විජය ඇග්‍රො ප‍්‍රඩක්ට්ස් සමාගමේ කාර්යාලයෙන් ද ලබා ගත හැකියි. විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය. එසේම ඒ සඳහා බෙදාහරින්නන් තව සොයා ගන්නට ද ඔවුන්ට අවශ්‍යව තිබෙනවා.)

 

සිවුමංසල කොලූගැටයා #135: එගොඩහ යන්නෝ මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ?

Boatman photo

යුද්ධය බරපතල ලෙසින් සිදු වන 2007 කාලෙදි මම ටිකක් භයානක වැඩක් කළා. කොළඹ පැවති දකුණු ආසියාතික සමාජ කි‍්‍රයාකාරිකයන් හා මාධ්‍යවේදීන්ගේ වැඩමුඵවක් අමතා ආරම්භක දේශනය කරමින් මා කීවේ ඔවුන් බොහෝ දෙනකුත්, මාත් ‘බෝම්බකරුවන්’ බවයි!

කොයි වේලේ කොතැනක බෝම්බ පිපිරේදැයි ලක් සමාජය බියෙන් සිටි, ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසු වූ එම වකවානුවේ එබන්දක් පැවසීමත් අවදානම් සහගතයි. ඒත් මා අදහස් කළේ මනස් බෝම්බ. මා එය ඔවුන්ට පැහැදිලි කළා.

ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987)  වරක්  කීවේ ‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. ඒවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ ඒවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’

කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

ඒ අරුතින් ගත් කල මාධ්‍ය හරහා ලියන කියන දේ මා දකින්නේ මනසේ පුපරා යන කාල බෝම්බ තනා මුදා හැරීමක් හැටියටයි. භෞතික බෝම්බ වගේ නොවෙයි, මනස් බෝම්බ පුපුරා යන සැටි එකවර අපට පෙනෙන්නේ නැහැ. සමහර විට අදහසක් මනසට කිදා බැස ගත් බව, එය ග‍්‍රහණය කර ගත් අය පවා සවිඥානිකව වටහා නොගන්නට පුඵවන්.

මනස් කාලබෝම්බ උපමිතිය මා වැන්නවුන් කරන කාරිය මැනවින් හසු කර ගන්නවා වුවත් එය ටිකක් බිහිසුණුයි. පශ්චාත් යුධ සමාජයක් (කලක් තිස්සේ ආවඩනු ලැබූ) කලහකාරී ආවේග සමනය කර ගන්නට තැත් කරන අද වැනි කාලයක මීට වඩා සාමකාමී උපමිතියක් ඇත්දැයි මා කල්පනා කළා.

එවිට මගේ මනසට ආවේ පාලම් හා ඔරුපාරු  පිළිබඳ සිතුවිල්ල. මේ සියල්ලෙන් කරන්නේ දෙගොඩක් නැතහොත් දෙඉවුරක් යා කිරීම. සිවුමංසල කොලූගැටයා හරහා මා කරන්නෙත් සංකල්පීය වශයෙන් හෝ සමාජයීය වශයෙන් බෙදුණු දෑ යා කරන්නට තැත් කිරීම.

වත්මන් ලක් සමාජය නොයෙක් අයුරින් විනිවිද දැකිය හැකියි. ඓතිහාසිකව හෝ ජෛව විද්‍යාත්මකව හෝ උරුම වූ ලේබල් අපේ බොහෝ දෙනා සිය ජීවිත කාලය පුරා අලවා ගෙන සිටිනවා. උපතේදී අහම්බෙන් හිමි වූ ජාතිය, ආගම, කුලය ආදී ලේබල් ගැන විවෘතව සිතන්නේත් ප‍්‍රශ්න කරන්නේත් ඉතා ටික දෙනයි.

උපතෙන් පසුව සමාජ ආර්ථික හේතු සාධක නිසා අප වැටුණු ගොඩවල් ද තිබෙනවා. සිංහල පමණක් දත් අය, දෙමළ පමණක් දත් අය මෙන්ම ද්විභාෂික හා ඉඳහිට ති‍්‍රභාෂික අය ද අප අතර සිටිනවා.

උපතෙන් ලද ලේබල් මෙන් ම මෙකී දෙවැනි ආකාරයේ නැඹුරුවීම් ද අපට  ඕනෑ නම් උත්සාහයෙන් වෙනස් කර ගත හැකියි. අවම වශයෙන් අප අයත් නොවන අනෙකුත් (පිටස්තරයන් හෙවත් ‘අනෙකා’ ලෙස අප දකින) පිරිස් ගැන අපේ දැනුම හා අවබෝධය වැඩි දියුණු කර ගත හැකියි.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් දිවයිනක් වූ පමණට අප දුපත් මානසිකත්වයට සීමා විය යුතු නැහැ. දැනුම හා සංකල්ප මට්ටමෙන් වැඩෙන්නට නම් අපේ සමීප දෙයින් හා අපට හුරුපුරුදු දෙයින් ඔබ්බට අප නෙත් යොමු කළ යුතුයි. චිත්ත ගවේෂණය පුඵල් කළ යුතුයි. මේ කොලම හරහා මා උත්සාහ කරන්නෙත් එබඳු චාරිකාවලට අපේ පාඨකයන් යොමු කරන්න.

මෑතදී නිකුත් වූ මගේ දෙවැනි කොලම් එකතුවේ පසු කවරයට කෙටි වදනක් ලියමින් තරුණ ලේඛක දිලීප අබේසේකර මෙහෙම කියනවා.

‘‘ලෝකය තිබෙන්නේ ලංකාවේය කියා තවමත් සිතා ඉන්නා අපට සිවු මංසල කොලූ ගැටයා කලාතුරකින් හමු වෙන ජාතියේ කෙනෙකි. එහෙත් මෙහෙ වගේම ද? මෙහෙ වගේ දේවල්වලට එහෙ මොනව ද කරන්නේ? ඇත්තට ම මෙහෙට වඩා එහෙ වෙනස්දැයි අපට ම තෝරා බේරා ගන්නට ඔහු කරුණු ගෙන හැර පාන්නේ ය. ඉරිදාට රාවයේ සිවුමංසල කොලූ ගැටයා කියවන මා දන්නා බොහෝ දෙනකු සුබවාදී හුස්මකින් සදුදාට මුහුණ දෙනු පෙනේ.’’

හැබැයි එහෙ මෙහෙ යා කරන වැඬේ ලේසි නැහැ. ඇසදිසි මානයෙන් එහා කොයි දේ ගැනත් සැකයෙන් බලන්නට පොළඹවන අද කාලේ එය ලොකු අභියෝගයක්.

මා ලියන දේ කරුණු හා තර්ක මත පදනම් වූවත් මා හුදෙක් දැනුම බෙදන්නකු නොවෙයි. (දැනුම  ඕනෑ නම් අද කාලේ ඉන්ටර්නෙට් හරහා එය ලබා ගත හැකි මූලාශ‍්‍ර තිබෙනවා.) මට පතුරුවන්නට මතවාදයක් ද නැහැ. මා ලියන්නේ මගේ පාඨකයන්ගේ මනස කිති කවන්නට, පොඩියක් විවර කරන්නට හා යම් දේ ගැන ඔවුන්ට වැඩිදුර සිතන්නට පෙළඹවීමට පමණයි.

යුද්ධය හමාර වීමෙන් පසු දිගට හරහට පාරවල් හා පාලම් හදනවා. භෞතික සංවර්ධනයට නිසි යටිතල පහසුකම් අවශ්‍යයි. (අන්තවාදී හරිතවේදියෝ මොනවා කිව්වත් හැමදාම ගල් යුගයේ හිටියා වගේ ඉන්න බැහැ!)

නමුත් කොන්කී‍්‍රට් හෝ ලෝහමය පාලම් විතරක් මදි. අපේ සමාජය තුළත්, අපේ රට හා පුඵල් සෙසු ලෝකය අතරත් මානසික හා චින්තනමය මට්ටමෙන් නිසි පරිදි යා කැරෙන මනෝ පාලම් ද (bridges inside our minds) අවශ්‍යයි.

මේ දෙක සමාන්තරව සිදු නොවුණොත් කොන්කී‍්‍රට් පාලම් ගොඩක් මැද වුවත් අප සංකල්පීය වශයෙන් බෙදී, හුදකලා වී දිගට ම සිටිනු ඇති.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ ප‍්‍රබලව පෙනුණු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශෙෂයෙන්ම නවකථා හා චාරිකා සටහන්) සිංහලයට පරිවර්තනය කිරීම දැන් මහා පරිමානයෙන් සිදුවන සැටියි. පරිවර්තනවල නිවැරදි බව හා භාෂා අගය ගැන මා තක්සේරු කර නැහැ. නමුත් මේවා බිහි වන්නේ වෙළඳපොල ඉල්ලූමක් ඇති නිසයි. අපේ පාඨකයන් තමන්ට හුරු බසින් වුවද මේ දුපතෙන් එහා යථාර්ථයන් හා මායා ලෝකයන් (ෆැන්ටසි) ගැන උනන්දු වන බව එයින් අපට සිතා ගත හැකියි.

එහෙත් පරිවර්තනවලට ඔබ්බට යන සංසන්දනාත්මක හා තුලනාත්මක විග‍්‍රහයන් දුර්ලභයි. අපේ සිංහල පුවත්පත්වල විදේශ විත්ති විචාර හැටියට තවමත් බහුලව පළ වන්නේ වම-දකුණ දෙපිළට බෙදී ලෙස ඇණ කොටා ගත් සීතල යුද්ධය කාලේ මල බැඳුණු තර්කයි. සීතල යුද්ධය (1990) අවසන් වී වසර 23ක් ගත වීත් අපේ ‘විදේශ පුවත් විචාරකයන්ගේ’ ඇස් ඇරී නැහැ.

තොරතුරු සමාජය, ජනපි‍්‍රය සංස්කෘතිය, ගෝලීයකරණය, නව මාධ්‍ය හා වෙනත් විසි එක් වන සියවසේ ප‍්‍රබල ප‍්‍රවාහයන් ගැන අපේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහා අපට ලැබෙන්නේ ද පිඵණු  වූ හෝ අන්තගාමී වූ හෝ විග‍්‍රහයන්.

Sivu Mansala Kolu Getaya - two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene
Sivu Mansala Kolu Getaya – two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene

මේ අඩුපාඩු හා හිදැස් වසන්නට තනි ප‍්‍රකාශනයකට හෝ තනි ලේඛකයකුට හෝ පමණක් බැහැ. එහෙත් සිවුමංසලේ සිට අවට පිරික්සමින්, විවිධ ප‍්‍රශ්න මතු කරමින් අප තැත් කරන්නේ යම් තරමකටවත් ඒ විචාරශීලී දිශාවට අපේ සමාජය යොමු කරවන්න.

නිසි පාලම් ඇති තරම් බිහි වන තුරු බලා නොසිට මට හැකි පරිද්දෙන් ටික දෙනෙකුවත් එගොඩ මෙගොඩ ගෙන යනවා. මේ අරුතින් බැලූ විට මා ඔරුපාරු පදවන්නකු වගෙයි.

මගේ ඔරුවේ ගමන් කරද්දී පොඩි පසුබිම් කථනයක් ද තිබෙනවා! මා සමග ටික වේලාවක් ගමනේ යෙදෙන මගීන්ට (පාඨකයන්ට) මා එගොඩ හා මෙගොඩ ගති සොබා කියා දෙනවා. ගමන් කරන ප‍්‍රවාහයේ යම් විසිතුරු ද පාඨකයන් දකිනවා.

එගොඩට වඩා මෙගොඩ හොඳ යයි මා කිසි විටෙක කියන්නේ නැහැ. මා ගමන් කරන දිශාවට අනුව එගොඩ හා මෙගොඩ නිරතුරු වෙනස් වනවා.

එමෙන්ම මගීන්ට/පාඨකයන්ට මගේ අදහස් බලහත්කාරයෙන් පටවන්න තැත් කරන්නේ නැහැ. එමෙන් ම මට මුදලක් ගෙවා මගේ ඔරුවේ ප‍්‍රචාරණය කැරෙන අන් අයකුගේ අදහස් ද නැහැ. සියඵ අදහස් සංවාදයට විවෘතයි.

ඔහේ යනවා වෙනුවට කථා සාමීචියේ යෙදෙමින්, ඔවුනොවුන් අතර සංවාද කරමින් විවෘත වූත් ප‍්‍රබෝධජනක වූත් මනසකින් ගමනේ යෙදෙනවා දකින්නට මා කැමතියි. ඒ නිසා ඔරුකාරයාගේ උපමිතිය මට හොදින් ගැලපෙනවා.

හොඳ දෙයක් ගැන යහපත් ප‍්‍රතිචාර දැක්වීම අපේ බොහෝ අයගේ සිරිතක් නොවේ. මට ස්තුති හෝ ප‍්‍රශංසා කරන පාඨක ප‍්‍රතිචාර ද ලැබෙතත් බහුතරයක් ප‍්‍රතිචාර එන්නේ මා ලියූ දෙයකින් කලබලයට හෝ කෝපයට හෝ පත් වූ අයගෙන්. සමහරුන් මහත් ආවේගශීලී වනු දැකිය හැකියි. අන්ධ භක්තිය හා ඇදහිලි මත තමන්ගේ සියඵ මතවාද ගොඩ නංවා ගෙන සිටින අයට පුංචි පහේ ප‍්‍රශ්න කිරීමක්වත් දරා ගන්නට අමාරු වගෙයි.

මතවාද පතුරුවන්නෝ තැත් කරන්නේ මිනිසුන්ගේ ඔලූගෙඩි විවෘත කොට තමන්ගේ මතය එයට වත් කොට ආයෙත් වසා සීල් තබන එකයි. මාවෝ සේතුං වරක් ජනතාවගේ මනස සමාන කළේ පාලකයන්ට  ඕනෑ දෙයක් ලිවිය හැකි හිස් සුදු කඩදාසිවලට.

එහෙත් ඇත්තට ම අප කළ යුත්තේ පාඨකයන්ගේ මනස විවෘතව පවත්වා ගැනීම. කිසිදු තනි ප‍්‍රවාහයකට එහි අරක් ගෙන මනස සින්නක්කර ගන්නට ඉඩ නොතැබීම. බහුවිධ අදහස් හා තර්ක විතර්කවලට ඔලූගෙඩි ඇතුලේ වගේ ම සමාජයේ හැම තැන ම පොදු අවකාශයේත් නිදහස රැක ගැනීම.

යම් දිනෙක නිසි පාලම් බිහි වී, ඔරු පාරු භාවිතය අනවශ්‍ය වීම සමාජ පරිනාමයේ සොබාවයි. සමහර විට අනාගතයේදී කොලූගැටයාගේ ඔරුවටත් ඉල්ලූමක් හෝ අදාල බවක් නැති විය හැකියි. මෙරට සියඵ හෝ බොහෝ මාධ්‍ය මා කරන දේ ම කරන්නට ගත් විට මා මේ පාරුව නවතා දමනවා. පාලම්වලින් එතෙර කළ හැකි මහා පරිමානයෙන් තනි පුංචි ඔරුකරුවකුට එගොඩ මෙගොඩ යා කළ නොහැකි නිසා…

එතෙක් කල් ඔහොම යං! එගොඩහ යන්නෝ – මෙගොඩහ එන්නෝ තව කවුරු ද ඉන්නේ?

සිවුමංසල කොලූගැටයා #95: ඩිජිටල් තාක්ෂණයෙන් ජන උරුමය රකින මෝජි රීබා

In this week’s Ravaya column (in Sinhala), I write about an Indian friend of mine: Moji Riba, filmmaker and cultural anthropologist, who lives and works in India’s north-eastern Arunachal Pradesh.

It’s an isolated remote and sparsely populated part of the country that is home to 26 major tribal communities,. Each one has its own distinctive dialect, lifestyle, faith, traditional practices and social mores. They live side by side with about 30 smaller communities.

A combination of economic development, improved communications, the exodus of the young and the gradual renunciation of animist beliefs for mainstream religions threatens Arunachal’s colourful traditions. “It is not my place to denounce this change or to counter it,” says Moji. “But, as the older generation holds the last link to the storehouse of indigenous knowledge systems, we are at risk of losing out on an entire value system, and very soon.”

For the past 15 years, he has been documenting it on video and photos. Read my English blogposts about him in Nov 2008 and Jan 2009.

I caught up with him in Delhi last week, which inspired this column.

Moji Riba has been working since 1997 to document Arunachal Pradesh's rich cultural heritage. Image courtesy Rolex Awards
Moji Riba has been working since 1997 to document Arunachal Pradesh's rich cultural heritage. Image courtesy Rolex Awards

ගෝලීයකරණය නැතහොත් Globalization ගැන අපේ ඇතැම් දෙනකු කථා කරන්නේ සැකයෙන් හා බියෙන්. එසේ කලබල වන අය මේ සංසිද්ධිය හරිහැටි තේරුම් ගෙන නැහැ.

ගෝලීයකරණය යනු හැම සමාජයක් හා ආර්ථිකයක් ම එක අච්චුවේ පිටපත් බවට පත් කිරීම නොවෙයි. වෙළඳ සබඳතා, දේශ සංචාරයන්, කලාපීය සහයෝගිතාව හා තොරතුරු තාක්ෂණය ආදී ක්ෂෙත‍්‍රවලදී ස්වාධීන රටවල් තමන්ගේ අනන්‍යතාව රැක ගනිමින් යම් මට්ටමකින් ඒකාබද්ධ වීමයි.

ගෝලීයකරණයේ අංගයන් යොදා ගෙන අපේ සාංස්කෘතික උරුමයන් හා දායාදයන් රැක ගත හැකියි. අද මා කථා කරන්නේ එබඳු ප‍්‍රයත්නයක යෙදී සිටින ඉන්දියානු මිතුරකු ගැන.

ඔහුගේ නම මෝජි රීබා (Moji Riba). වයස 40යි. ඔහු උපන්නේ හා හැදුනේ වැඩුනේ ඉන්දියාවේ අරුණාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ. එය මහා නගරයක් හෝ ප‍්‍රකට ප‍්‍රාන්තයක් නොවෙයි. තිබෙන්නේ ඉන්දියාවේ ඊසානදිග කෙළවරේ. චීනය, බුරුමය හා භූතානය සමඟ දේශසීමා තිබෙන මේ ප‍්‍රාන්තය භූමියෙන් ශ‍්‍රී ලංකාවටත් වඩා විශාලයි (වර්ග කිලෝ මීටර් 83,743). එහෙත් 2011දී ජනගහණය මිලියන් 1.4යි. ජන ඝනත්වය ඉතා අඩු, කඳුකර ප‍්‍රදේශවලින් බොහෝ විට සැදුණු අරුණාචල් ප‍්‍රාන්තයේ වැඩි කොටසක් හිමාල කඳුවැටියෙන් වැසී තිබෙනවා.

ජන සංඛ්‍යාව සාපේක්ෂව අඩු වූවත් ජන විවිධත්වය අතින් අරුණාචල් ප‍්‍රාන්තය ඉන්දියාවේ පමණක් නොව මුළු ආසියාවේ ම ඉහළින් සිටිනවා. එකිනෙකට වෙනස් භාෂා 30ක් හා උප භාෂා (dialects) දුසිම් ගණනක් එහි තිබෙනවා. මෙයට හේතුව තමන්ට ම ආවේණික සංස්කෘතීන් ඇති සුළු ජන කොටස් රැුසක් මේ ප‍්‍රදේශයේ සහස‍්‍ර ගණනක් තිස්සේ ජීවත් වීමයි.

අරුණාචල් ප‍්‍රාන්තයේ හමු වන්නේ ඉන්දියාවේ මහා හින්දු සංස්කෘතික ප‍්‍රවාහයට බෙහෙවින් වෙනස් වූ, වඩාත් බුරුම හා ටිබෙට් ආභාෂය ලද සංස්කෘතීන් ගොන්නක්. මේ සෑම එකකට ම ආවේණික ජන කලා ශිල්ප, සිරිත් විරිත්, ඇදහිලි හා ගති පැවතුම් තිබෙනවා. ඒකීය ඉන්දියානු ජනරජය තුළ මෙබඳු සංස්කෘතීන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට එරට ව්‍යවස්ථාවෙන් ම ඉඩ සලසා තිබෙනවා.

එසේ වූවත් නවීකරණය සමඟ මේ සමහර ජන කොටස්වල අළුත් පරම්පරා සාම්ප‍්‍රදායික උරුමයන් දිගට ම පවත්වා ගන්නට එතරම් උනන්දු නැහැ. මෙය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා දැකිය හැකි ප‍්‍රවණතාවක්. පුද්ගල මට්ටමෙන් විග‍්‍රහ කරන විට පරම්පරා උරුමයන් ඉදිරියට ගෙන යාමට කිසිවකුට බල කළ නොහැකියි. එහෙත් අරුණාචල් ප‍්‍රාන්තයේ අතිශය විචිත‍්‍ර වූත්, ලොව කිසිදු තැනෙක හමු නොවන්නා වූත් ජන උරුමයන් රැක ගැනීමේ අවශ්‍යතාව මානව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා.

ජන සංස්කෘතියක් යනු සජීව හා ගතික දෙයක්. කෞතුකාගාර ගත කරන්නට බැහැ. එය යම් තරමකින්වත් හසු කර ගත හැක්කේ ශ‍්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය හරහායි. මේ බව මනාව තේරුම් ගත් මෝජි, 1997දී සිය ප‍්‍රාන්තයේ ජන කලා, සිරිත් විරිත්, නැටුම් හා අනෙකුත් පැතිකඩ නවීන ඩිජිටල් ඡයාරූප හා වීඩියෝ හරහා වාර්තා කිරීමේ පෞද්ගලික මට්ටමේ ව්‍යාපෘතියක් ඇරඹුවා.

‘‘නවීකරණයත් සමඟ ආ ප‍්‍රවාහයන් නිසා මගේ පරම්පරාවේ බොහෝ දෙනා සාම්ප‍්‍රදායික උරුමයෙන් පිටතට පා වී යන හැටි මා දකිනවා. ඒ අය ගැන විනිශ්චයක් දීමට මට ඕනෑ නැහැ. නමුත් අපේ වැඩිහිටියන්ගේ පරම්පරාවේ හමු වන ස්පර්ශ කළ නොහැකි උරුමය (intangible heritage) අප ඩිජිටල් ක‍්‍රම මඟින්වත් ලේඛනගත නොකළොත් ඒවා සදහට නැසී යාමේ අවදානමක් තිබෙනවා’’ ඔහු කියනවා.

කලබලකාරී නවීකරණය වෙනුවට වඩාත් සියම් හා සුපරීක්ෂාකාරී ලෙසින් නවීන ලෝකයේ තමන්ට ගැලපෙන දේ පමණක් ළං කර ගැනීමට සංවේදී බව හා විචක්ෂණ ගුණය මෝජිට තිබෙනවා. ඔහු ඉන්දියාවේ අංක එකේ මාධ්‍ය සරසවිය ලෙස සැලකෙන නවදිල්ලියේ ජමීලා මිලියා ඉස්ලාමියා සරසවියෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලැබූ අයෙක්. මේ තරම් උගත්කමක් හා පුහුණුවක් ලබන බොහෝ ඉන්දියානුවන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ආයතනවල රැකියා ලබා ගෙන මහ නගරවල පදිංචි වනවා. එහෙත් මෝජි නගරයෙන් නවීන සන්නිවේදන තාක්ෂණය දැනුම හා කුසලතා ගෙන තම ගම් පළාතට ගියා.

Surrounded by young monks, Moji Riba films rituals celebrating Buddha's birth at Galden Namgyal Lhatse monastery. Tawang, Arunachal Pradesh, India, 2008 (Photo courtesy Rolex Awards)
Surrounded by young monks, Moji Riba films rituals celebrating Buddha’s birth at Galden Namgyal Lhatse monastery. Tawang, Arunachal Pradesh, India, 2008 (Photo courtesy Rolex Awards)

සංස්කෘතික පර්යේෂණ හා ලේඛනගත කිරීමේ කේන්ද්‍රය (Centre for Cultural Research and Documentation, CCRD) අරඹමින් තවත් ඔහු වැනි ම කිහිප දෙනෙකු සමඟ ප‍්‍රාන්තයේ ජන සංස්කෘතිය ගැන වීඩියෝ වාර්තා චිත‍්‍රපට නිපදවීම ඇරඹුවා.

‘‘මගේ ප‍්‍රාන්තයේ සංස්කෘතික උරුමය මා දකින්නේ ඉලාස්ටික් පටියක් හැටියටයි. අපට යම් සීමා තුළ මේ පටිය විස්තාරණය කළ හැකියි. කාලයේ හා නවීකරණයේ ප‍්‍රවාහයන් නිසා අතීතයේ සිට පැවත ආ උරුමයන් ඒ අයුරින් ඉදිරියට ගෙන යාමට අමාරුයි. එහෙත් අඩු තරමින් ඒ ගැන විස්තරාත්මක ලේඛනගත කිරීමක් අප කරනවා’’ යැයි ඔහු කියනවා.

මෝජි මට මුලින් හමු වූයේ 2003දී නේපාලයේ කත්මණ්ඩු නුවරදී. මා සංවිධානය කළ දකුණු ආසියාතික ටෙලිවිෂන් හා වීඩියෝ පුහුණු වැඩමුළුවකට ආ මේ නිහඬ තරුණයා හැම දෙනාගේ ප‍්‍රසාදය හා ගෞරවය දිනා ගත්තා. ඔහු නිපද වූ වාර්තා චිත‍්‍රපට කිහිපයක් මා දැක තිබෙනවා.

මේවා දුවන ගමන් කළ ටෙලිවිෂන් වාර්තා නොවෙයි. සති හෝ මාස ගණන් මහත් ඉවසීමෙන් හා කැපවීමෙන් කේෂත‍්‍රයේ රූපගත කොට සියුම් ලෙසත්, සෞන්දර්යාත්මක ලෙසත් සංස්කරණය කළ ඩිජිටල් කලා කෘති හැටියට මා දකිනවා. 1997-2008 කාලය තුළ එබඳු වාර්තා චිත‍්‍රපට 35ක් පමණ ඔහු අධ්‍යක්ෂණය කළා.

ඒවායින් සමහරක් මානව විද්‍යා හා සංස්කෘතික උරුමය ගැන තේමාගත වූ චිත‍්‍රපට උළෙලවලත්, ඉන්දියාවේ දුර්දර්ශන් ජාතික ටෙලිවිෂන් නාලිකාවේත් තිරගත වී තිබෙනවා. විශාල පේ‍්‍රක්ෂක සමූහයකට ඉලක්ක කරනවා වෙනුවට මේ නිර්මාණ වඩාත් ගැලපෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් දේශනාගාර, විද්වත් රැස්වීම් ආදියේ පෙන්වන්නටයි.

‘‘අප මේ චිත‍්‍රපට හරහා උත්සාහ කරන්නේ සංක‍්‍රාන්ති කාලයක සිටින අපේ ප‍්‍රාන්තයේ විවිධ ජන කොටස් තමන්ගේ සංස්කෘතික උරුමය, ස්වභාවික පරිසරය හා සමාජ-ආර්ථික සංවර්ධනය යන සාධක තුන තුලනය කර ගන්නා හැටි වාර්තාගත කරන්නයි. එහිදී අපේ මතවාදයන් ඒ වාර්තාකරණයට අප එකතු කරන්නේ නැහැ,’’ මෝජි කියනවා.

වාර්තා චිත‍්‍රපටයක් නිපදවීමට පැය ගණනක් පටිගත කළ රූප රාමුවලින් අවශ්‍ය කොටස උකහා ගත් පසු ඉතිරිය බොහෝ විට සංරක්ෂණය වන්නේ නැහැ. එහෙත් මෝජි වසර 15ක් පුරා පටිගත කළ හැම පටයක් ම ප‍්‍රවේශමින් සංරක්ෂණය කරනවා.

මේ ගැන වඩාත් ගැඹුරින් පර්යේෂණ කරන්නට 2004දී අරුණාචල් ප‍්‍රාන්ත අගනගරය වන ඉතානගර්හි රාජීව් ගාන්ධි සරසවියේ ජන සන්නිවේදන අංශයත් සමඟ එක් වී ඩිප්ලෝමා පාඨාමාලාවක් ද ඔහු ආරම්භ කළා. ඔහුගේ කාලය ඉගැන්වීමට, පර්යේෂණවලට හා කේෂත‍්‍ර මට්ටමේ රූපගත කිරීම්වලට බෙදී යනවා.

Riba teaches Hage Komo the basic camera skills that will allow the young Apatani to film an interview with his father and an animist priest, thus recording his tribe's oral history (Photo courtesy Rolex Awards)
Riba teaches Hage Komo the basic camera skills that will allow the young Apatani to film an interview with his father and an animist priest, thus recording his tribe's oral history (Photo courtesy Rolex Awards)

මෑතක් වන තුරු අරුණාචල් ප‍්‍රාන්තය විදේශික සංචාරකයන්ට අවසර නැතිව ඇතුළු විය නොහැකි, සීමා වූ ප‍්‍රදේශයක් ලෙස පැවතියා. එහෙත් දැන් චන්ද්‍රිකා ටෙලිවිෂන් විකාශයන්, ජංගම දුරකථන සේවාවන් හා ගමනාගමන පහසුකම් ආදිය පුළුල් වීමත් සමඟ සමාජ නවීකරණය වේගවත් වෙලා.

මේ නිසා ජන කලා හා සංස්කෘතික ලේඛනගත කිරීමේ අමුතු ආකාරයේ ව්‍යාපෘතියක් මෝජි 2009දී යෝජනා කළා. තෝරා ගත් ගම්මාන 15ක දක්ෂ ගැමි තරුණ තරුණියන් 15 දෙනකුට ඩිජිටල් වීඩියෝ තාක්ෂණය භාවිතය පුහුණු කරනවා. (අද කාලේ මේවා මැජික් නොවේ. ලෙහෙසියෙන් උගත හැකියි).

ඉන්පසුව ඔවුන්ට ඩිජිටල් වීඩියෝ කැමරා දී වසරක් පුරා තම ගම්මානයේ චාරිත‍්‍ර වාරිත‍්‍ර, උත්සව, වැඩිහිටියන්ගේ මතකයන් හා ආවේණික දෑ පටිගත කරන්නට සලස්වනවා. හැම ගමකින් දළ වශයෙන් වීඩියෝ පැය 300ක් පමණ එකතු වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. අවසානයේ මේ සියල්ල ප‍්‍රාන්ත කෞතුකාගාරයේ හා සරසවියේ ද අනුදැනුම ඇතිව පොදු තැනෙක සංරක්ෂණය කොට පර්යේෂකයන්ට අධ්‍යයනය කරන්නට ලබා දෙනවා.

එකිනෙකට වෙනස් භාෂා කථා කරනා ජන කොටස් සැමගේ විශ්වාසය දිනා ගෙන ඔවුන්ගේ සහයෝගයෙන් කරන මේ ව්‍යාපෘතියෙන් වසර කිහිපයක ඇවෑමෙන් වීඩියෝ පැය 4,000ක් පමණ එකතු වීමට නියමිතයි. මෙය කාල කැප්සියුලයක් (time capsule) ලෙස මෝජි හඳුන්වනවා. ජන සංස්කෘතිය නිතිපතා පරිණාමය වන නිසා අපට කළ හැක්කේ අද දවසේ එහි ගති සොබා හසු කර ගැනීම පමණක් බව ඔහු දන්නවා.

ජීවිතයේ උපතේ සිට මරණය දක්වා හැම අවස්ථාවකට ම ආවේණික සිරිත් විරිත් ඔවුන්ට තිබෙනවා. දරුවකුගේ උපත, අස්වනු නෙළීම, විවාහ මංගල්‍යයන්, මළවුන් සිහි කිරීම ආදිය ඒ අතර සුවිශේෂයි. මේ සිද්ධීන් හැම ජන කොටසකට ම පොදු වූවත් ඔවුන් ඒවා සමරන ආකාරය එකිනෙකට වෙනස්. එක් මහ ජාතියක් සංඛ්‍යාත්මකව හමු නොවන අරුණාචල් ප‍්‍රාන්තයේ හැම දෙනා ම සුළු ජාතියක්.

මේ අසාමාන්‍ය සංස්කෘතික ව්‍යායාමය ඔහු නම් කරන්නේ කඳුකරයේ ඇස (Mountain Eye) ව්‍යාපෘතිය ලෙසයි. ශාස්ත‍්‍රීය වටිනාකමක් ඇති මෙබඳු කටයුතුවලට බොලිවුඞ් ආකර්ෂණය හෝ වෙළඳපොළ විභවයක් නැති නිසා අවශ්‍ය වියදම ඉන්දියාව තුළින් සොයා ගැනීම ලොකු අභියෝගයක්.

ස්විට්සර්ලන්තයේ රෝලෙක්ස් ඔරලෝසු සමාගම සුවිශේෂි පර්යේෂණ හා ගවේෂණවලට අනුග‍්‍රහය දක්වන්නට තරගකාරී මට්ටමින් තෝරා ගන්නා රෝලෙක්ස් ත්‍යාගයක් (Rolex Award for Enterprise) 2008දී මෝජි රීබාට ප‍්‍රදානය කළා. එයින් ලැබුණු ත්‍යාග මුදලත්, ලෝක මට්ටමේ ප‍්‍රසිද්ධියක් යොදා ගෙන සුපුරුදු නිහඬ රටාවට මෝජි තමන්ගේ ව්‍යාපෘතිය පෙරට ගෙන යනවා.

ජන සංස්කෘතිය කෞතුකාගාර හෝ සරසවිවලට කොටු වන්නට ඉඩ නොතබා ඔහු එය තරුණයින් වඩාත් ගැවසෙන කැෆේ, සිනමා ශාලා හා සාප්පු සංකීර්ණවලට චිත‍්‍රපට ගෙන යනවා. පාසල් දර්ශන සංවිධානය කරනවා. අරුණාචල් භාෂා 9කින් ගැයෙන් ගීත ඇතුළත් CD තැටියක් නිපදවා බෙදා හරිනවා.

අරුණාචල් ප‍්‍රාන්තයේ ආවේණික ජන සංස්කෘතිය අද මුහුණ පා සිටින්නේ හුදෙක් ඉන්දියාවට පිටතින් සිට ගලා එන ප‍්‍රවාහයන්ට පමණක් නොවෙයි. රට තුළම සංඛ්‍යාත්මකව බහුතරයක් වූ හින්දි බස කථා කරන මහා සංස්කෘතියේ ප‍්‍රබල බලපෑමත්, ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා එන වෙළඳ පොළ හා ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑමත් ඔවුන්ට ඍජුව ම එල්ල වී තිබෙනවා.

මෙවැනි ප‍්‍රවාහයන් හමුවේ ඇතැම් දෙනා හූල්ලමින් හා දෙස් තබමින් කල් ගත කළත් මෝජිගේ ප‍්‍රතිචාරය බෙහෙවින් වෙනස්. ළිඳට වැටුණු මිනිසකු ළිං කටින් ම ගොඩ ආ යුතු සේ ඔහු කරන්නේ නව සන්නිවේදන තාක්ෂණයන් යොදා ගෙන තම ජනයාගේ උරුමය රැක ගන්නට තැත් කිරීමයි. ඔහු මෙය පෞද්ගලික ජීවිතයේදීත් ක‍්‍රියාත්මක කරනවා. හින්දි හා ඉංග‍්‍රීසි භාෂා ව්‍යක්ත ලෙස හසුරුවන්නට උගත් ඔහු වයස විසි ගණන්වල සිය මවුබස වන ගැලෝ භාෂාව (Galo) උගත්තා. දැන් ඔහු එය සිය ලාබාල පුතුන් දෙදෙනාට කුඩා වයසේ සිට උගන් වනවා.

‘‘අපේ දරුවන්ට ගීයක් ගයන්න කී විට ඔවුන් ගයන්නේ හින්දි නැතහොත් ඉංග‍්‍රීසි ගීත. අප දැන් තැත් කරන්නේ තමන්ගේ ම බසින් සින්දු කීමේ අමතර හැකියාව අළුත් පරම්පරාවේ හැමට ලබා දෙන්නයි,’’ මෝජි කියනවා.

‘‘විසි එක් වන සියවසේ සුළු ජන කොටස්, ගෝත‍්‍රික හා ආදිවාසී පිරිස් පසුගාමීව හෝ මුළුගැන් වී සිටිය යුතු යැයි මා විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ප‍්‍රධාන ප‍්‍රවාහයට නතු නොවී අපේ සුවිශේෂි අනන්‍යතාව රැක ගනිමින් නවීකරණය වන්නට හැකියි,’’ මෝජී රීබාගේ දර්ශනය එයයි.
http://tiny.cc/MojiR1

Hage Komo gets video instructions from Moji Riba, who is enlisting local young people to capture the oral histories, languages and rituals of their tribes for his project. Komo films his father gathering bamboo in a grove outside Hari Village. (Photo courtesy Rolex Awards)
Hage Komo gets video instructions from Moji Riba, who is enlisting local young people to capture the oral histories, languages and rituals of their tribes for his project. Komo films his father gathering bamboo in a grove outside Hari Village. (Photo courtesy Rolex Awards)