Indian social and environmental activist Dr Vandana Shiva visited Sri Lanka in June 2014, and delivered a well attended public lecture in Colombo. She also joined the launch of a Sinhala translation of her book ‘Stolen Harvest’, written in 2000.
The translator, Sydney Marcus Dias, sent me a copy recently and I have quoted from it in my latest Ravaya column (in Sinhala) appearing in issue dated 7 Sep 2014.
In this, I urge Lankan agro and green activists to engage in a critical reading of Vandana Shiva and not to blindly hero worship her. There is undoubtedly a crisis in modernized methods of farming that rely on high external inputs (agro-chemicals) promoted for half a century under the Green Revolution. Despite evidence for its economic and ecological unsustainability, however, these remain the basis of state agricultural policies in Sri Lanka.
Why? It is a national level failure of vision and policy making. True, local and global agro companies exploit this weakness, but they are operating within what is legal. This is opportunistic of them, for sure, but I don’t agree with Sydney Marcus Dias or any other activists that there is a huge international conspiracy to destabilize Lankan agriculture and destroy it along with the livelihoods of millions of small scale farmers.
We don’t need global conspirators when our own myopic politicians, misguided by officials and experts, are doing a good job of it on their own!
‘Stolen Harvest’ in English and Soragath Aswenna in Sinhala are both worth a read – and can form the basis of discussion. They are NOT the last word on any of the issues discussed, but certainly good opening thoughts to debate further.
NOTE: By sad coincidence, Sarath Fernando, highly respected Lankan farmer activist and founder of the Movement for National Land and Agricultural Reform (MONLAR), died the same weekend this column appeared in print. In June, Vandana Shiva made an affectionate reference to him as ‘my very dear friend Sarath Fernando’.

ආචාර්ය වන්දනා ශිවා ඉන්දියාවේ සිටින ලෝක ප‍්‍රකට පාරිසරික හා සමාජ ක‍්‍රියාකාරිනියක්. විශේෂයෙන් ගොවිතැන හා ජෛව සම්පත් රැක ගැනීම ගැන දේශීය දැක්මක් හරහා දියුණු වන රටවල අයිතීන් සඳහා ප‍්‍රබල හඬක් මතුකරන විද්වතෙක්.
නිලධාරින් හා ව්‍යාපාරික පිරිස් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉන්දියාවේ ගොවිතැන් මධ්‍යගත කරනු හා වාණිජකරණය කරනු දැක එයින් කැළඹී ඒ ගැන සමාජ ව්‍යාපාරයක් ගොඩනැගූ චරිතයක්.
1952දී උපන් ඇය පන්ජාබ් සරසවියෙන් භෞතික විද්‍යා උපාධිය ලබා පශ්චාත් උපාධි අධ්‍යාපනයට කැනඩාවට ගියා. ක්වන්ටම්වාදය පිළිබඳව ඇගේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ කැනඩාවේ බටහිර ඔන්ටාරියෝ සරසවියෙන්. මෙනයින් බැලූ විට ඇය වෘත්තීය වශයෙන් විද්‍යාඥයකු ලෙස පුහුණුව ලැබූ කෙනෙක්. ඉන්දියාවට ආපසු පැමිණ එරට විද්වත් ආයතනවල කලක් පර්යේෂණ කළා.
1987දී විද්‍යාව, තාක්‍ෂණය හා පරිසරය පිළිබඳ පර්යේෂණ පදනම නම් ආයතනයක් ඇරැඹූ ඇය 1991දී එරට දේශීය බීජ හා ජාන සම්පත් සුරැකීමට නව්ධාන්‍ය (Navdanya, www.navdanya.org) නම් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටවූවා.
නව්ධාන්‍ය සංවිධානය මගින් එරට ජන වී ප‍්‍රභේද 2,000කට අධික සංඛ්‍යාවක් වඳ වී යාමට නොදී රැක ගෙන තිබෙනවා. ඉන්දීය ගොවීන් 70,000කට අධික සංඛ්‍යාවක් එහි සාමාජිකයෝ. (‘ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ ’ මැයෙන් වූ 2014 ජනවාරි 19 කොලම ද බලන්න.)

ශිවා කියන්නේ ‘‘බීජ යනු ආහාරදාමයේ මුල් පුරුකයි. බීජ අද තත්ත්වයට පත් වූයේ සියවස් ගණනක් පුරා ගොවීන් සොබාවිකව ඒවා දෙමුහුම් කරමින් වගා කිරීම නිසයි. බීජවල ඓතිහාසික හා සදාචාරාත්මක භාරකරුවන් වූයේ ගොවි ප‍්‍රජාවයි. ඔවුන් බීජවලින් වෙන් කැරෙන ඕනෑම පිළිවෙතක් හෝ ක‍්‍රියාමාර්ගයක් ගොවි විරෝධීයි. දේශීය බීජ ප‍්‍රභේද සුරකින්නට, හුවමාරු කර ගන්නට, අලෙවි කරන්නට, තව වැඩි දියුණු කරන්නට ගොවීන්ට පරම අයිතියක් තිබෙනවා. ඒ අයිතිය පාවා දීමට හෝ කප්පාදු කිරීමට ඉඩ නොදිය යුතුයි!’’
දේශීය හා බිම් මට්ටමෙන් වැඩ කරන අතරේ ජාත්‍යන්තර තලයේ ද දියුණු වන රටවල අයිතීන් හා ප‍්‍රමුඛතා ගැන ඇය හඬක් නගිනවා. පසුගිය ජුනි මාසයේ ඇය ශ‍්‍රී ලංකාවට ද පැමිණියා. ඇගේ ප‍්‍රකට ඉංග‍්‍රීසි කෘතියක් වන Stolen Harvest (2000) ‘සොරාගත් අස්වැන්න’ නමින් සිඞ්නි මාකස් ඩයස් විසින් සිංහලට පෙරළා තිබෙනවා.
‘සොරාගත් අස්වැන්න’ කෘතියේ මූලික තර්කය නම් වාණිජකරණයට ලක් වූ නවීන ගොවිතැන සොබාදහමින් හා දුප්පතුන්ගෙන් ආහාර සොරා ගන්නා බවයි. සමාජ සාධාරණත්වය හා පාරිසරික තිරසාරත්වය ස්ථාපිත කරන්නට නම් ආහාර ප‍්‍රජාතන්ත‍්‍රවාදය (Food democracy) අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දෙනවා.
ශිවා මේ පොත ඉංග‍්‍රීසියෙන් ලියුවේ 2000දී. මේ දක්වා ඇය ලියා ඇති පොත් 20න් එකක්. පසේ සරුබව සහතික කිරීමත්, බීජ රැක ගැනීමත් හරහා සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රම මගින් ආහාර බෝග වැවීම ඇය කැමති පිළිවෙතයි. ගොවි බිමට බැහැරින් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායන යෙදීම හරහා පරිසරයත්, සෞඛ්‍යයත්, ගොවි අර්ථිකයත් යන තුනම විකෘති වන බව ඇය තේරුම් ගත්තේ දශක ගණනාවකට පෙරයි.
දියුණු වන රටවල ආණ්ඩු හරිත විප්ලවයේ ප‍්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යන්නේ ඔවුන්ට දියුණු රටවලින්, ජාත්‍යන්තර ආධාර ආයතනවලින් හා ගෝලීයකරණය වූ කෘෂි සමාගම්වලින් කැරෙන බලපෑම් නිසා යයි ඇය කියනවා. ඒ නිසා රටේ ප‍්‍රතිපත්ති නිවැරදි කර ගන්නට සංවාද හා අරගල කරන අතර ගෝලීය ප‍්‍රවණතාවන්ට ද සංවිධානාත්මකව ප‍්‍රතිරෝධය දැක්විය යුතු යැයි ඇය විශ්වාස කරනවා. ගෝලීයකරණයට ඇය විරුද්ධ එය ටික දෙනෙකුට පමණක් වාසි ගෙන දෙන ක‍්‍රියාදාමයක් නිසයි.
වන්දනා ශිවාට චිත්තාකර්ශනීය පෞරුෂයක් හා සිත් ගන්නා සුලූ කථා විලාසයක් තිබෙනවා. ඇය තර්ක හා සාධක සහිත චෝදනා මතු කරන්නේ ගැඹුරු එහෙත් ප‍්‍රසන්න අයුරින්. නිතර ඇගේ මුවෙහි සිනහවක් තිබෙනවා. ප‍්‍රතිමල්ලවයන්ට වාග් ප‍්‍රහාර එල්ල කරන්නේ ද්වේෂයෙන් නොව සාධාරණ කෝපයකින් හෝ සාවඥව හෝ බව පෙනෙනවා. ජාත්‍යන්තර තලයේ විවාදවලට වඩාත් ගැලපෙන ශෛලිය මෙයයි. ඇය කියන දෙයට කිසිසේත් එකඟ නොවන අය පවා ඇයට සවන් දෙන්නේ එනිසායි.
ලොව පුරා සමාජ සාධාරණයට අරගල කරන ක‍්‍රියාකාරිකයෝ ශිවාගේ හිතමිතුරෝ. ශ‍්‍රී ලංකාවේද ඇගේ සහෘදයන් සිටිනවා. ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) ආරම්භක සරත් ප‍්‍රනාන්දු එයින් එක් අයෙක්. ඇය කොළඹ ජූනි මස කළ දේශනයේදී ඔහු ගැන මහත් ලෙන්ගතුව කථා කළා.

සොරාගත් අස්වැන්න පරිවර්තක සිඞ්නි මාකස් ප‍්‍රනාන්දු ඇගේ තවත් අනුගාමිකයෙක්. ගුරු වෘත්තියේ නියැලෙන අතරම ලේඛන කලාවේත්, සමාජ ව්‍යාපාරවලත් නිරත වන ඔහු පරිසර සංරක්‍ෂණය, කාබනික ගොවිතැන හා අන්තර්-ආගමික/වාර්ගික සහෝදරත්වය ප‍්‍රවර්ධනය කිරීමට දශක ගණනක සිට වෙහෙස වන්නෙක්.
පොතේ අගට තමන්ගේ ම පරිච්ෙඡ්දයක් එක් කරමින් ශ‍්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය යළි කියැවීමට ඔහු තැත් කරනවා. එහිදී ඔහු උදාහරණයට ගන්නේ කලක් ඉගැන්වීමේ යෙදුණු ආනමඩුව ප‍්‍රදේශයයි. පුත්තලම දිස්ත‍්‍රික්කයේ වියලි කලාපීය මේ ප‍්‍රදේශයට ඔහු මුලින් යන විට එහි හේන් ගොවිතැන ඉතා සශ‍්‍රීකව තිබූ සැටිත්, දශක තුනක් තුළ ඒ තත්ත්වය මුලූමනින් වෙනස් වී ඇති සැටිත් ඔහු විස්තර කරනවා.
ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ සාම්ප‍්‍රදායික යැපුම් මට්ටමේ මිශ‍්‍ර හේන් වගාව වෙනුවට හරිත විප්ලවය විසින් දිරි ගන්වන ලද ඒකීය වගා ක‍්‍රමය ඔස්සේ ගොවිතැන් හේන් තුළ කව්පි, මුං, බඩ ඉරිඟු වැනි බෝග පමණක් වගා කිරිමට යොමු වීමයි.

‘‘මුල් යුගයේදී අක්කරයකට බුසල් 30-35 පමණ අස්වැන්නක් ලබා දුන් ඒ බෝග පසුව බුසල් 10-12කට අඩු වී මේ වන විට ඒ වගාවන් නැත්තටම නැති වී තිබේ. එකම භූමිය නැවත නැවත වල්නාශක හා කෘමිනාශක යොදමින් වගා කිරීම නිසා මේ වන විට එම ප‍්‍රදේශයේ හේන් වගාකළ බිම් නිසරු කෙනතු බවට පත් වී තිබේ. මෙම තත්ත්වය සමස්ත සමාජ ආර්ථික ජීවිතයම වෙනසකට ලක් කර ඇති ආකාරය ද විමසිල්ලට ලක් කළ යුතු වේ’’ යයි ඔහු කියනවා.
ග‍්‍රාමීය ගොවිතැන කඩා වැටීම නිසා එයින් ජීවිකාව සපයා ගත් බොහෝ දෙනා අතරමංව ඉච්ඡාභංගත්වයට පත් වෙලා. පිරිමින්ගෙන් බහුතරයක් මේ නිසා මත්පැනට ලොල් වී සිටින බවත්, රජයේ ඉල්ලූම්පත‍්‍ර පුරවන විට රැකියාව ‘ගොවිතැන’ ක’ව ද තව දුරටත් ගොවිකමේ නියැලෙන්නේ නැති බවත් ඩයස් කියනවා. මත්පැන් ප‍්‍රචලිත වීමත් සමග ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය හා අසාර්ථක පවුල් පරිසරයන් ද වැඩි වී තිබෙනවා.
මේ විසමතා හමුවේ පවුල් බර දැරීමට කාන්තාවන් එක්කෝ මැදපෙරදිග – නැත්නම් ඇගලූම් කම්හල්වලට රැකියා සොයා යනවා. මවුවරුන් විදේශගත වූ පවුල්වල දරුවන් බලා කියා ගන්නට කිසිවකු නැති වීමෙන් බරපතල ප‍්‍රශ්න මතු වනවා. රටේ සංවර්ධනයට යයි කියමින් රජය ගන්නා මහා පරිමානයේ විදෙස් ණය වාරික හා පොලිය ගෙවන්නේ මේ ගැමි කතුන් උපයා මෙරටට එවන විදේශ විනිමයෙන්.
‘‘මේ වන විට මේ ප‍්‍රදේශවල වෘත්තීය මට්ටමෙන් ගොවිතැනේ යෙදෙන තරුණයකු සොයා ගැනීම ඉතා දුර්ලභය. ගොවිතැනේ නියැලෙනු දැකිය හැක්කේ ප‍්‍රධාන ජලාශ යටතේ ඉතා සුළු පිරිසකි. එයින් ද බහුතරයක් රජයේ හෝ වෙනත් වෘත්තීන්හි යෙදෙන පිරිසක් අර්ධ කාලීනවය. මේ අය කුඹුරට බහින්නේ තෙල්ටැංකි පිටේ බැඳ ගෙනය’’ ඔහු කියනවා.
මහා පරිමාන සංවර්ධන යෝජනා ක‍්‍රමවලින් ජනතාවට ඉතිරි වී ඇත්තේ දරිද්‍රතාව, විරැකියාව හා සාගින්දර පමණක් බවත්, ගමේ ආර්ථිකය මේ වන විට පවත්වා ගෙන යන්නේ විදේශ රැකියා කරන මවුවරුන්, වෙළඳ කලාපවල රැකියාවන්හි යෙදන තරුණියන් සහ තවමත් හමුදා සේවයේ රැඳී සිටින තරුණයන්ගෙන් බව ඔහු පෙන්වා දෙනවා. ප‍්‍රදේශයේ සාර්ථකම ව්‍යාපාර ලෙස ඉතිරිව තිබෙන්නේ කෘෂි රසායන වෙළඳාම, මැදපෙරදිග රැකියා ඒජන්සි, කොමියුනිකේෂන් හා සෞඛ්‍ය/රසායනාගාර සේවා ආදිය පමණයි.
ඩයස්ගේ නිර්දේශයට මාත් එකඟයි. ‘‘රටේ ග‍්‍රාමීය ආර්ථිකය යළි ගොඩනැගීමට නම් වහා සළු ගොවීන්ගේ කාර්ය සඵලමත් කළ යුතුය. ඒ සඳහා අසාර කනතු බවට පත් වූ ගොවිබිම්වල පස යළි සුවපත් කළ යුතුය…ඒ සඳහා දැවැන්ත ආකල්පමය වෙනස්කම් සහ භෞතික වෙනස්කම් රැසක් කළ යුතුය.’’
මේ දැක්ම ආචාර්ය රේ විජේවර්ධනයන්ගේ චින්තනයටත් සමගාමීයි. (ගිය වසරේ කොලම් තුනක් හරහා මා ඉදිරිපත් කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාව බලන්න.) එහෙත් අපට සිදු වී ඇති සමස්ත කෘෂි වින්නැහියට තනිකරම බහුජාතික කෘෂි සමාගම්වලට පමණක් දොස් තැබීම නම් පිළිගත නොහැකියි.
18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන
25 August 2013: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ
29 Sep 2013: සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?
විජේවර්ධනයන් පෙන්වා දුන් පරිදි වැරදි කෘෂි ප‍්‍රතිපත්තිවලට හෙතුව මංමුලා වූ අපේම පොතේ උගතුන්. බටහිර රටවල සමශීතෝෂ්ණ දේශගුණයට සරිලන ගොවිතැන් ක‍්‍රම උසස් අධ්‍යාපනයට හදාරන ඔවුන්, ඝර්ම කලාපීය අපේ රටට සරිලන පරිදි ඒවා සකස් කර නොගැනීම අපේ විනාශයට මුල් වූ බව ඔහු විග‍්‍රහ කළා. අන්තිමේදී දේශපාලකයන් නොමග යවා ඇත්තේ ද මේ උගතුන් විසින්.
බහුජාතික සමාගම් දියුණුවන රටවල ආර්ථික හා සංවර්ධන ක‍්‍රියාදාමයට ඇඟිලි ගසන බව සැබෑවක්. මෙය 1960, 1970 දශකවල සිට පැන නැගී ආ ප‍්‍රවණතාවක්. මුල් යුගයේ පාරිසරික හා කෘෂි ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි විවේචනයට සහේතුකව ලක් වූයේ මේ සමාගම්.
එහෙත් තව දුරටත් බහුජාතික සමාගම් හුදෙක් බටහිර රටවල හිමිකාරිත්වයට නතු නැහැ. අද ඉන්දියානු, මැලේසියානු, සිංගප්පූරු, චීන හා කොරියානු බහුජාතික සමාගම් ද තිබෙනවා. ලොව පුරා රටවල ගනුදෙනු කරන ඔවුන් සමහරකගේ ක‍්‍රියාකලාපය මීට වඩා අපේ විමර්ශනයට ලක් විය යුතුයි.
එසේම හරිහැටි දේශීය ප‍්‍රතිපත්ති හා පරිපාලනය පවත්නා රටවල නම් බාහිරින් එන ආධාර ආයතන හෝ විදෙස් සමාගම්වලට කළ හැකි බලපෑම සීමිතයි. ‘ළඟ එන කෘෂි රසායන සුනාමිය’ මැයෙන් කොලමක් ලියමින් 2013 මාර්තුවේ මා පෙන්වා දුන්නේ කුමන්ත‍්‍රණවාදී තර්ක හා චෝදනා කරමින් සිටිනවාට වඩා අපේ ප‍්‍රතිපත්ති, නීති, රෙකුලාසි හා නියාමන තන්ත‍්‍රය විධිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.
17 March 2013: සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’
වන්දනා ශිවා ජනතාවාදී විද්‍යාඥවරියක්. එහෙත් ඇය කියන හැම දෙයක්ම අප වන්දනාමාන කළ යුතු නැහැ. ඇය එබන්දක් බලාපොරොත්තු වන්නේ ද නැහැ. ඇය මතු කරන අතිශයින් වැදගත් කරුණු හා තර්ක විචාරශිලීව වැඩිදුර විවාදයට ලක් කිරිම අවශ්‍යයි. සිඞ්නි මාකස් ඩයස්ගේ පරිවර්තනය හරහා මේ සංවාදය මතු කර ගත හැකියි.
අවසාන විනිශ්චයේදී අප පත්ව සිටින ව්‍යසනයෙන් ගොඩ ඒමට නම් එයට තුඩු දුන් දෙස් විදෙස් සාධක නිරවුල්ව හඳුනාගත යුතුයි. දුෂ්ටයන් හා බිල්ලන් සොයමින් මුළු කාලයම වැය නොකර අපේ විද්වතුන්, නිලධාරින් හා ගොවීන් ද මේ අර්බුදයට අඩු වැඩි පමණන් දායක වී ඇති බව අප පිළිගත යුතුයි.
සුළු ගොවියා අපේ විශේෂ අවධානයට ලක් විය යුතු වුවත් ඔවුන් රොමැන්තික් ලෙස පුදසුනක තබා වන්දනාමාන කිරීම අවශ්‍ය නැහැ. රටේ නීතිරීති හා මානව ධර්මතා ගොවීන්ටත් එක සේ අදාලයි. ජනතාවට දැන දැනම වස විස කවන අපේ සමහර සුළු ගොවීන් ගැන මා සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා.
27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?
3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!
අද අපට අවශ්‍ය විවෘත හා ආවේගශීලී නොවූ සංවාදයක්. එහිදී ගොවීන්, කෘෂි පර්යේෂකයන්, ගොවි සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, කෘෂි සමාගම් හා රාජ්‍ය ආයතන සියල්ලට හඬක් තිබිය යුතුයි.
එබඳු සංවාදයක් සිදු කළ හැකි හා කාටත් පිළිගත හැකි අපක්‍ෂපාත වේදිකාවක් ලෙස මාධ්‍යවලට ක‍්‍රියා කළ හැකි ද?

* * * * *
“සොරාගත් අස්වැන්න“ වැඩි විසතර සඳහා විමසන්න:
තෝතැන්න පබ්ලිෂින් හවුස්, උස්වැව පාර, ආණමඩුව.
දු.ක. – 0322263446 / 0773054058
thothanna@yahoo.com
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය,
අංක 83/12, පෙරේරා මාවත, කොටුවේගොඩ, රාජගිරිය.