Disasters & media response: මාධ්‍ය මූලික වගකීම් අතපසු කොට ආධාර එකතු කිරීම වැරදියි!

My comments (in Sinhala) on mass media’s role in disaster response, published by Ravaya broadsheet newspaper on 4 June 2017.

Summary: In the aftermath of all recent disasters in Sri Lanka, private broadcast media houses have been competing with each other to raise and deliver disaster relief. All that is well and good – except that news coverage for their own relief work often eclipses the journalistic coverage of the disaster response in general. In such a situation, where does corporate social responsibility and charity work end and opportunistic brand promotion begin? I argue that media houses must be free to embark on relief efforts, but ideally they should do so having fulfilled their primary responsibility of reporting on and critiquing the post-disaster realities. Sri Lanka’s media reporting of disasters is often superficial, simplistic and incident-driven, which needs to improve to become more investigative, reflective and sustained beyond the immediate news cycle of a disaster. Without fixing these deficiencies, media houses getting into aid collection and donation is a sign of wrong priorities.

මාධ්‍ය මූලික වගකීම් අතපසු කොට ආධාර එකතු කිරීම වැරදියි!

නාලක ගුණවර්ධන, විද්‍යා ලේඛක හා මාධ්‍ය පර්යේෂක

Cartoon by Namal Amarasinghe, Daily Mirror, 31 May 2017

සොබාවික උවදුරු මානව සමාජයන්ට හානි කරන විට එයට ආපදා යයි කියනවා. ආපදාවකට පෙර, ආපදාව දිග හැරෙන විට ආ ඉන් පසුව ටික කලක් යන තුරු ප්‍රශස්ත සන්නිවේදනවලට මාහැඟි මෙහෙවරක් ඉටු කළ හැකියි. ජන මාධ්‍යවලට මේ සඳහා ලොකු විභවයක් මෙන්ම වගකීමක් ද තිබෙනවා.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන සුනාමි වැනි ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය වැදගත්. ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට තීරණාත්මක කාර්ය භාරයක් හිමි වනවා.

ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි. මේවායේ නිල තොරතුරු හා විග්‍රහයන් තිබෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරන කේන්ද්‍රය වැනි ආයතනවලට වඩා කඩිනමින් හා කාර්යක්ෂමව තොරතුරු ජනගත කරන්න මාධ්‍ය (හා සමාජමාධ්‍ය) වලට ධාරිතාව තිබෙනවා.

ගංවතුර හා නායයාම් වැනි ආපදා දිග හැරෙන විට දෙස් විදෙස් මූලාශ්‍රවලින් අලුත්ම තොරතුරු ලබා ගෙන, ඒවා සරලව හා නිරවුල්ව මාධ්‍ය ග්‍රාහකයන්ට ලබා දීම හරහා බොරු භීතිකා අවම කර ගන්නා අතර ජීවිත බේරන්න පවා මාධ්‍යවලට හැකියි.

ඉන් පසු මාධ්‍යවල වැදගත්ම කාරිය නම් ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම මාධ්‍ය ආවරණය සැපයීමයි. විපතට පත් වූවන් බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිර යාම ගැන අනතුරු ඇඟවීම්  ආදි බොහෝ තොරතුරු මාධ්‍යවලට බෙදා හැරිය හැකියි. මේවා පොදු උන්නතියට සෘජුවම අදාලයි.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම්, තහවුරු කර ගත් සාක්ෂි මත ඒවා වාර්තා කිරීමයි.

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa, May 2016

ආපදා පිළිබඳ තොරතුරු වාර්තාකරණයෙන් හා විග්‍රහයෙන් ඔබ්බට ගොස් විපතට පත් වූවන්ට ආධාර එකතු කිරීම හා බෙදා හැරීම වැනි ක්‍රියාවල මාධ්‍ය නිරත විය යුතු ද? මෙය බෙහෙවින් විවාදාත්මක කරුණක්. මෑත වසරවල කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ආපදා සිදු වූ පසුව සමාජ සත්කාරයන් ලෙස ආධාර එකතු කොට බෙදා දීමට විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රවේශ වනු අප දුටුවා. මෙවරද ඔවුන් එය පටන් අරන්.

මෙසේ කරන්නට මාධ්‍ය සමාගම්වලට නිදහසක් තිබෙනවා. එය පැවතිය යුතුයි. මගේ මතය නම් තම මූලික වගකීම් සියල්ල ඉටු කළ පසු, ඉඩක් හා කාලයක් ඉතිරිව තිබේ නම් තමන් ද ආධාර එකතු කොට බෙදීමට මාධ්‍ය යොමු වුණාට කමක් නැතැයි කියායි.

මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා, එකී මාධ්‍ය ආයතනයේ ප්‍රධාන වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

ආපදා පිළිබඳ මෙරට මාධ්‍යකරණයේ ලොකු අඩුපාඩු තිබෙනවා. ප්‍රධාන දුර්වලකමක් නම් තනි ආපදා සිදුවීම් ගැන බහුලව වාර්තා කළත් ඒවාට තුඩු දෙන සමාජ-ආර්ථීක හා පාරිසරික ප්‍රවාහයන් ගැන ඇති තරම් විමර්ශන නොකිරීමයි.

එසේම ආපදාවක ප්‍රවෘත්තිමය උණුසුම දින කිහිපයකින් පහව ගිය පසු බොහෝ මාධ්‍යවලට එය අමතක වනවා. ආපදාවෙන් බැට කෑ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්න හා ආපදාවට පසුබිම් වූ සාධක තව දුරටත් පැවතීම ගැන මාධ්‍ය පසුවිපරමක් කරන්නේ  කලාතුරකින්. පුවත්පත් යම් පමණකට කළත් විද්‍යුත් මාධ්‍ය මෙය බොහෝ දුරට නොතකා හරිනවා.

මාධ්‍යකරණයේ මේ මූලික අඩුපාඩු හදා ගන්නේ නැතිව මාධ්‍ය ආයතන සිය පිරිස් බලය හා මූල්‍යමය හැකියාවන් ආපදා ආශ්‍රිත සමාජ සුබසාධන ක්‍රියාවලට යොමු කරනවා නම් ඔවුන්ගේ ප්‍රමුඛතා ඇත්තේ වැරදි තැනකයි.

ජනතාවගේ ලේ, කඳුලු හා අකල් මරණවලින්ම නඩත්තු වන ටෙලිවිෂන් නාලිකා දෙක තුනක් මෙරට තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ත්‍රාසජනක හා සන්වේගදායක පුවත් පමණයි. නාලිකා අතර බිහිසුනු රේටින් (ජනප්‍රියතාව ශ්‍රේණිගත කිරීමේ) බලු පොරය මෙයට ප්‍රධාන හේතුවක්. සියලු ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශයන් රේටින්වලින් නිදහස් කළ යුතු යයි මා විශ්වාස කරනවා.

එසේම සමාජ සුබසාධනයට යොමු වන මාධ්‍ය, එතැනදී තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට භාවිත නොකළ යුතුයි. මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි.

”මේවා කරන්නේ අපේ ගුවන් කාලයෙන්, අපේ පරිශ්‍රමයෙන් හා සම්පත්වලින්. ඒ ගැන කාටවත් කැක්කුමක් ඇයි?” සමහර මාධ්‍ය ආයතන ප්‍රශ්න කළ හැකියි.

රාජ්‍ය හා පෞද්ගලික රේඩියෝ ටෙලිවිෂන් නාලිකා සියල්ල භාවිතා කරන්නේ මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. මේ නිසා හිතුමතේ තම සන්නාම ප්‍රවර්ධනය කරමින් වටිනා ගුවන්කාලය එයට වෙන් කිරීම, ආපදා මාධ්‍යකරණය වඩාත් ප්‍රශස්තව කිරීමට තිබෙන වගකීම පැහැර හැරීමක්.

See also, 3 Oct 2016: සිවුමංසල කොලු ගැටයා #286: ආපදා අවස්ථාවල මාධ්‍ය වගකීම හා ප්‍රමුඛතාව කුමක් විය යුතු ද?

සිවුමංසල කොලු ගැටයා #286: ආපදා අවස්ථාවල මාධ්‍ය වගකීම හා ප්‍රමුඛතාව කුමක් විය යුතු ද?

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa
Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa

What is the role of mass media in times of disaster? I have written on this for many years, and once edited a regional book on the subject (Communicating Disasters: An Asia Pacific Resource Book, 2007).

The question has come up again after Dr Ranga Kalansooriya, Director General of the Lankan government’s Department of Information, wanted the media to give preeminence to its watchdog function and pull back from supplying relief in the aftermath of disasters.

As Dr Rohan Samarajiva, who was present at the event, noted, “Some of his comments could even be interpreted as suggestive of a need to prohibit aid caravans being organized by the media. But I do not think this will happen. The risks of being seen as stifling the natural charitable urges of the people and delaying supplies to those who need help are too high…”

Ranga raised a valid concern. In the aftermath of recent disasters in Sri Lanka, private broadcast media houses have been competing with each other to raise and deliver disaster relief. All well and good – except that coverage for their own relief work often eclipsed the journalistic coverage of the disaster response in general. In such a situation, where does corporate social responsibility and charity work end and opportunistic brand promotion begin?

For simply raising this concern in public, some broadcast houses have started attacking Ranga personally. In my latest Ravaya column (in Sinhala, appearing in the print issue of 2 October 2016), I discuss the role and priorities of media at times of disaster. I also remind Sirasa TV (the most vocal critic of Ranga Kalansooriya) that ‘shooting the messenger’ carrying unpalatable truths is not in anybody’s interest.

Dr Ranga Kalansooriya, journalist turned government official, still speaks his mind
Dr Ranga Kalansooriya, journalist turned government official, still speaks his mind

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය අද මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනුම මෙන්ම අත්දැකීම් ද බහුල විද්වතෙක්.

කිසි දිනෙක නිවුස් රූම් එකක් දැකලාවත් නැති පොතේ ගුරුන් මාධ්‍ය විශේෂඥයන් යයි කියා ගන්නා රටක ප්‍රවෘත්ති කලාවේ සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගිකත්වය ද එක් තැන් කරන රංග වැනි අය දුර්ලභයි.

මෑතදී ආපදා කළමනාකරණ කේන‍ද්‍රය (DMC) සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවකදී රංග කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.(එම වැඩමුළුවට මටද ඇරැයුම් කර තිබුණත් ප්‍රතිපත්තිමය හේතුවක් මත මා එහි ගියේ නැහැ. ඒනිසා ඔහුගේ ප්‍රකාශය මා දැනගත්තේ මාධ්‍ය වාර්තාවලින් හා එතැන සිටි මහාචාර්ය රොහාන් සමරජීව හරහා.)

ආපදාවක් සිදු වූ විටෙක මාධ්‍යවල කාර්ය භාරය කුමක්දැයි සාකච්ඡා කරන විට රංග විවෘත අදහස් දැක්වීමක් කළා. ආපදාව පිළිබඳ තොරතුරු වාර්තාකරණයෙන් හා විග්‍රහයෙන් ඔබ්බට ගොස් විපතට පත් වූවන්ට ආධාර එකතු කිරීම හා බෙදා හැරීම වැනි ක්‍රියාවල මාධ්‍ය නිරත විය යුතු දැයි ඔහු ප්‍රශ්න කළා.

මෙයට පසුබිම වන්නේ මෑත වසරවල කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ආපදා සිදු වූ පසුව සමාජ සත්කාරයන් ලෙස ආධාර එකතු කොට බෙදා දීමට විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් යොමු වීමයි.

රංග කළ ප්‍රකාශය සංවාදයකට නිමිත්තක් වී තිබෙනවා. මාධ්‍ය ප්‍රතිව්‍යුහකරණය ගැන අවධාන යොමු වී ඇති මේ කාලයේ මෙබඳු සංවාද අවශ්‍යයි.

Communicating Disasters - 2007 book co-edited by Nalaka Gunawardene & Frederick Noronha
Communicating Disasters – 2007 book co-edited by Nalaka Gunawardene & Frederick Noronha

ආපදා අරභයා මාධ්‍ය කාර්යභාරය කුමක්ද? මේ ගැන මා දේශීයව හා ජාත්‍යන්තරව වසර 20කට වඩා සංවාද කොට තිබෙනවා. 2004 සුනාමියෙන් මාස 18ක් ඉක්ම ගිය පසු මේ ගැන එක්සත් ජාතීන්ගේ ආසියානු කලාපීය සන්නිවේදක රැස්වීමක් මෙහෙවීමෙන් හා කලාපීය ග්‍රන්ථයක් (Communicating Disasters: An Asia Pacific Resource Book, 2007) සංස්කරණයෙන් ලත් අත්දැකීම් මා සතුයි.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය ගැන මීට පෙර අප කථා කොට තිබෙනවා.

ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීමයි. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇඟවීම්  ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කර ගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. කැමති මාධ්‍යවලට එයට නිදහස තිබිය යුතුයි. මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා මාධ්‍යයේ ප්‍රධාන සමාජ වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

උදාහරණයක් ගනිමු. 2016 මැයි මස මැදදී රෝනු සුළිසුළඟ (Cyclone Roanu) සමග පැමිණි මහ වැසි නිසා මහා කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ රැසක ජලගැලීම්, ගංවතුර හට ගත්තා. නායයාමට ඉඩ ඇති සමහර ප්‍රදේශවල බරපතළ නායයෑම් සිදු වුණා.

Satellite image of storm clouds over Sri Lanka and India, 15 May 2016
Satellite image of storm clouds over Sri Lanka and India, 15 May 2016

මේ ආපදා හමුවේ DMC දැක් වූ ප්‍රතිචාරය රජය තුළින්මත්, විපත පත් මහජනතාව අතරත් දැඩි විවේචනයට ලක් වුණා. නිසි සූදානමක් හා සම්බන්ධීකරණයක් නොතිබූ බව පැහැදිලියි.

ආපදා ප්‍රතිචාරයේ නිල වගකීම දරණ රාජ්‍ය තන්ත්‍රය දුර්මුඛව, අකර්මන්‍යව සිටින අතරේ ඒ හිදැස පිරවීමට ඉදිරිපත් වූයේ හමුදාව, ස්වේච්ඡා ආයතන මෙන්ම එවේලේ ස්වකැමැත්තෙන් (spontaneously) එක් වූ පුරවැසි කණ්ඩායම්.

විපතට පත් වූවන් බේරා ගන්නට, ආධාර බෙදන්නට හා වෙනත් සහනසේවා සපයන්නට මේ පිරිස් නොමසුරුව පෙරට ආවා. මේ අතර මාධ්‍ය ආයතන ගණනාවක් ද සිටියා.

පුළුල් පෙදෙසක් හරහා පැතිරී මහා පරිමානයක හානි සිදුව තිබුණා. DMC වඩාත් සූදානම්ව හා කාර්යක්ෂමව සිටියා යැයි මොහොතකට උපකල්පනය කළත් මෙම ආපදාවට සියලු ප්‍රතිචාර ලබා දෙන්නට එයට හැකි වන්නේ නැහැ.

ආපදා ප්‍රතිචාරය  හා කළමනාකරණය රාජ්‍ය ආයතනයක ඒකාධිකාරයක් නොවිය යුතුයි. රාජ්‍ය මැදිහත්වීම හා නිල තීරණ ගැනීම අත්‍යවශ්‍ය තැන්හිදී (උදා: අන්තරාදායක තැන්වලින් ජනයාට තාවකාලීකව ඉවත් වන්නට යයි කීම) ඔවුන් මුල් තැන ගන්නා අතර අන් අවස්ථාවල පහසුකම් සළසන්නා (Facilitator) වීමයි වැදගත්.

Sri Lankans wade through a road submerged in flood waters in Colombo, 18 May 2016 (Photo by Eranga Jayawardena, AP)
Sri Lankans wade through a road submerged in flood waters in Colombo, 18 May 2016 (Photo by Eranga Jayawardena, AP)

අකාර්යක්ෂම, අසංවේදී හා අධිනිලධාරීවාදී රාජ්‍ය ආපදා ප්‍රතිචාර හමුවේ විපතට පත් පුරවැසියන්ට පිහිට වීමට පෙරට ආ සියලු රාජ්‍ය නොවන පාර්ශවයන්ට අපේ ප්‍රණාමය හිමි වනවා. මේ අතර මාධ්‍ය ආයතනද සිටිනවා.

ආපදා පිළිබඳ මෙරට මාධ්‍යකරණයේ අඩුපාඩු තිබෙනවා. ප්‍රධාන දුර්වලකමක් නම් සිදුවීම් ගැන බහුලව වාර්තා කළත් ඒවාට තුඩු දෙන සමාජ-ආර්ථීක හා පාරිසරික ප්‍රවාහයන් ගැන ඇති තරම් විමර්ශන නොකිරීමයි.

එසේම ආපදාවක ප්‍රවෘත්තිමය උණුසුම දින කිහිපයකින් පහව ගිය පසු බොහෝ මාධ්‍යවලට එය අමතක වනවා. ආපදාවෙන් බැට කෑ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්න හා ආපදාවට පසුබිම් වූ සාධක තව දුරටත් පැවතීම ගැන මාධ්‍ය පසුවිපරමක් කරන්නේ  කලාතුරකින්. පුවත්පත් මෙය යම් පමණකට කළත් විද්‍යුත් මාධ්‍ය නොතකා හරිනවා.

මාධ්‍යකරණයේ මේ මූලික අඩුපාඩු හදා ගන්නේ නැතිව මාධ්‍ය ආයතන සිය පිරිස් බලය හා මූල්‍යමය හැකියාවන් ආපදා ආශ්‍රිත සමාජ සුබසාධන ක්‍රියාවලට යොමු කරනවා නම් ඔවුන්ගේ ප්‍රමුඛතා කොතැනදැයි අප ප්‍රශ්න කළ යුතුයි.

එසේම සමාජ සුබසාධනයට යොමු වන මාධ්‍යල එතැනදී තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට භාවිත නොකළ යුතුයි. මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි.

”මේවා කරන්නේ අපේ ගුවන් කාලයෙන්, අපේ පරිශ්‍රමයෙන් හා සම්පත්වලින්. ඒ ගැන කාටවත් කැක්කුමක් ඇයි?” සමහර මාධ්‍ය ආයතන ප්‍රශ්න කළ හැකියි.

රාජ්‍ය හා පෞද්ගලික රේඩියෝ ටෙලිවිෂන් නාලිකා සියල්ල භාවිතා කරන්නේ මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. මේ නිසා හිතුමතේ තම සන්නාම ප්‍රවර්ධනය කරමින් වටිනා ගුවන්කාලය එයට වෙන් කිරීම, ආපදා මාධ්‍යකරණය වඩාත් ප්‍රශස්තව කිරීමට තිබෙන වගකීම යම් තරමකට පැහැර හැරීමක් යැයි තර්ක කළ හැකියි.

තවත් මානයක් මා මෙහිදී දකිනවා. මාධ්‍යවලට සමාජයක පෙර ගමන්කරුවා විය හැකියි. අහිතකර ප්‍රවණතා අන්ධානුකරණය කරනු වෙනුවට අභීතව සමාජය හරි මගට යොමු කළ හැකියි.

අපේ දේශපාලකයන් හැම පොදු කටයුත්තක්ම අතිශයෝක්තිමය සංදර්ශනාත්මක වැඩක් බවට පත් කර ගන්නවා. හැමදේම “අහවල්තුමාගේ උතුම් සංකල්පයක් මත, සිදු කරනවා”ලු…

මහජන මුදලින් පාරක්, පාලමක්, ගොඩනැගිල්ලක් තනන විට මුල්ගලේ සිට විවෘත කිරීම දක්වා තමන්ගේ නම් හා රූප යොදා ගනිමින් පාරම් බානවා. රාජපක්ෂ රෙජීමය මහජනතාවට තිත්ත වීමට එක් හේතුවක් වූයේත් මේ සංදර්ශනකාමයයි.

හොඳ වැඩක් කොට නිහඬව හා නිහතමානීව එහි ප්‍රතිඵල අත් විඳීමට හැකි සමාජයක් කරා යා හැකි නම් කෙතරම් අපූරුද? එහෙත් ආපදා වැනි කණගාටුදායක අවස්ථාවල පවා සමාජ සුබසාධනය වටා සංදර්ශනාත්මක පම්පෝරියක් ද මුදා හැරීම නිර්ලජ්ජිත දේශපාලකයන් කරනවා. එහෙත් මාධ්‍ය ආයතන එම රැල්ලටම හසු විය යුතුද?

මෙලොව හා එලොව හිත සුව පිණිස පුද්ගලිකව සමාජ සුබසාධනයේ නියැලෙන මාධ්‍යවේදීන් ද සිටිනවා. ගිය සතියේ මා සහභාගී වූ වැඩමුලුවකට ආ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ආඩම්බරයෙන් කීවේ තම ප්‍රදේශයේ නැති බැරි අයට තමා මේ දක්වා නිවාස 48ක් සාදා දී ඇති බවයි. මෙය යහපත් වැඩක් වුවත්, මාධ්‍යවේදියාගේ කාර්යභාරයට අයත් වේදැයි එහි සිටි අනෙක් මාධ්‍යවේදීන් වාදවිවාද කළා.

Sri Lanka's floods in Colombo suburbs, May 2016 - Photo by Uchinda Padmaperuma, from Facebook
Sri Lanka’s floods in Colombo suburbs, May 2016 – Photo by Uchinda Padmaperuma, from Facebook

මේ සියල්ල මෙසේ වෙනත්, සමාජ සුබසාධන කටයුතුවල යෙදීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය මා පිළිගන්නවා. අවශ්‍ය වන්නේ ප්‍රමුඛතා හා වගකීම් හරිහැටි තෝරා බේරා ගෙන කළමනාකරණය කිරීම පමණයි. එසේම එකතු කරන මහජන ආධාර සියල්ලට වග විය යුතුයි.

ඒ අතර කාලීනව හා සමාජයීයව වැදගත් ප්‍රශ්නයක් ඇසූ රංග කලන්සූරිය ඉලක්ක කර ගෙන පෞද්ගලිකව ඔහුට වාග් ප්‍රහාර එල්ල කිරීම නම් පිළිගත නොහැකියි. ඔහුගේ මතයට විකල්ප මත හූවා දැක්වීමෙන් නතර නොවී ඔහුගේ මානසික සෞඛ්‍යය පවා ප්‍රශ්න කරන තැනකට සිරස මාධ්‍ය ආයතනය යොමු වීම කණගාටුදායකයි.

සිරස පන්න පන්නා රංග කලන්සූරියට පහරදීම මා දකින්නේ තමන් අසන්නට නොකැමති විග්‍රහයක් ගෙනා අයකු ගැන කිපී, ඔහුට සියලු වැර දමා ප්‍රහාරයක් දියත් කිරීමක් ලෙසයි.

‘Don’t shoot the messenger’ හෙවත් අමිහිරි පුවතක් රැගෙන එන පණිවුඩකරුවාට වෙඩි නොතබන්න යයි ප්‍රකට ඉංග්‍රීසි කියමනක් තිබෙනවා.

2009 ජනවාරියේ පන්නිපිටියේ සිරස මැදිරි සංකීර්ණයට සංවිධානාත්මක මැර ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් ප්‍රසිද්ධ අවකාශයේ පෙනී සිටිමින් මා හුවා දැක්වූයේත් මෙයයි.

ගෙවී ගිය ගනඳුරු දශකයේ (2005-2014) අධිකතම ඝනාන්ධකාරය පැවති 2009 වසරේ එබඳු ප්‍රසිද්ධ ස්ථාවරයක් ගැනීම පවා අවදානම් සහගත වූවා. එහෙත් ඒ අවදානම ගනිමින්, සිරසට එල්ල වූ ප්‍රහාරය සමස්ත මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාරයක් බව 2009 ජනවාරි 7 වනදා මගේ බ්ලොග් එක හරහා කියා සිටියා.

7 January 2009: Attack on Sirasa TV: Who wants to create a headless Sri Lankan nation?

”දකුණු ආසියාව පුරා පැතිර යන ඉතා අහිතකර ප්‍රවණතාවක් නම් දිරවා ගන්නට නොහැකි පුවත් හා මතයන් ගෙන එන මාධ්‍යවලට පහර දී ඔවුන් නිහඬ කිරීමට තැත් කිරීමයි. ඒ හරහා සෙසු මාධ්‍යවලටද හීලෑවීමට බරපතළ අනතුරු ඇඟවීමක් කිරීමයි.”

මා ඉංග්‍රීසියෙන් පමණක් ලියු යුගයේ කළ එම ප්‍රකාශය පසුව ප්‍රකාශන නිදහස ගැන ක්‍රියාත්මක වන විදෙස් ආයතන පවා උපුටා දක්වා තිබුණා.

එදා සිරසට ප්‍රහාර එල්ල කළ විට කී වැකියම අද සිරස රංගට (වාග්) ප්‍රහාර දෙන විටත් කීමට මට සිදු වනවා. ඔබට දිරවා ගත නොහැකි යමක් රංග කීවා නම් එහි හරය මෙනෙහි කරන්න. එසේ නැතිව එය ප්‍රකාශ කළ පුද්ගලයා ඉලක්ක නොකරන්න.

පොදු අවකාශයේ අප කරන කියන සියල්ල සංවාදයට විවෘතයි. එහෙත් එම සංවාද සංයමයෙන්, තර්කානුකූලව හා බුද්ධිගෝචරව කිරීමේ වගකීම අප කාටත් තිබෙනවා.

Nalaka Gunawardene blog post condemning  military style attack on Sirasa TV complex in Jan 2009
Nalaka Gunawardene blog post condemning
military style attack on Sirasa TV complex in Jan 2009