සිවුමංසල කොලූගැටයා #167: ඩෙංගු මර්දනයට දේශීය පෙළ ගැස්මක්

The world’s fastest growing vector-borne disease is dengue, which has recorded a 30-fold increase over the last 50 years. Dengue is mostly transmitted by a mosquito species named Aedes aegypti, which breeds in water containers in and around homes. It is thus closely linked to environmental factors and human behavior.

In this week’s Ravaya column (in Sinhala), I discuss strategies for dengue control in Sri Lanka — including the use of an organic insecticide developed by a Lankan innovator.

I covered similar ground in English recently in two columns:

25 April 2014: When Worlds Collide #104: Dengue Control sans Chemicals?

18 April 2014: When Worlds Collide #103: Combating Dengue, a ‘Silent Disaster’

Dengue carrying mosquito: Aedes aegypti

Dengue carrying mosquito: Aedes aegypti

ජාතික මදුරු මර්දන සතිය නැවත වරක් අපේ‍්‍රල් 2-8දිනවල පැවැත්වුණා. අපේ‍්‍රල් 7වනදාට යෙදුණු ලෝක සෞඛ්‍ය දිනය සඳහා මේ වසරේ තේමාව වූයේ වාහකයන්ගෙන් පැතිරෙන රෝගයි (vector-borne diseases).

ගෝලීයකරණය සමග වඩාත් ව්‍යාප්ත වන වෙළඳාම් හා සංචාර හරහාත්, නාගරීකරණය හා දේශගුණ විපර්යාස වැනි සංසිද්ධීන් නිසාත් විෂබීජ වාහකයන්ගේ පැතිර යාම වඩාත් උත්සන්න වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

රෝග වාහකයන් අතර උකුණන්, මකුනන් ආදි සතුන් ද සිටියත් වඩාත් ම හානිකර වන්නේ විවිධ මදුරු විශේෂයි. ඇති කරන මරණ සංඛ්‍යාව අනුව බැලූ විට භයානක ම වාහකයා මැලේරියා රෝග වාහක ඇනෝෆිලීස් මදුරුවන්. 2010දී මැලේරියාව නිසා ලෝකයේ මරණ 660,000ක් සිදු වුණා (බහුතරය අප‍්‍රිකානු ළමයින්).

නමුත් අද ලෝකයේ වඩාත් සීඝ‍්‍රයෙන් පැතිරෙන හා වඩාත් ම ප‍්‍රබල මහජන සෞඛ්‍ය තර්ජනය එල්ල කරන වාහක රෝගය වන්නේ ඩෙංගු රෝගයයි. ගෙවී ගිය අඩ සියවස තුළ එය වැළඳුණු ජන සංඛ්‍යාව 30ගුණයකින් වැඩි වී තිබෙනවා.

ඩෙංගු රෝගය බොහෝ කොට පතුරුවන්නේ ඊඩිස් ඊජිප්ටායි (Aedes aegypti) නම් මදුරු විශේෂයයි. නිවෙස්වල හා ගෙවතුවල ජලය එකතු වන තැන්වල ඉක්මනින් බෝවන මේ මදුරුවාගේ පැතිරීම මිනිස් චර්යාවන්ට හා පාරිසරික සාධකවලට සෘජුවම සම්බන්ධයි.

1960දශකය මුලදී ඩෙංගු රෝගය වාර්තා වූයේ ලොව රටවල් 9කින් පමණයි. වාර්ෂිකව රෝගීන් 15,000ක් පමණ සිටියා. මේ වන විට (2013) අඩු තරමින් රටවල් 100ක වාර්ෂිකව රෝග තත්ත්වයන් මිලියන 390ක් පමණ වාර්තා වන බව ලෝක රතු කුරුස හා රතු අඩසඳ සම්මේලනය (IFRC) කියනවා.

ඩෙංගු වැනි රෝග ලක්‍ෂණ විටින් විට වාර්තාව තිබුණත් මුල් වරට ශ‍්‍රී ලංකාවේ ඩෙංගු රෝගය විද්‍යාත්මකව තහවුරු කෙරුණේ 1962දී. මුල් කාලයේ එය පැතිර ගියේ සෙමින්. එහෙත් මුල් වරට 1988දී එය වසංගත තත්ත්වයකට පත් වුණා. ඩෙංගු රෝගය බහුලව හමුවන ලෝකයේ රටවල් 30අතරට දැන් ශ‍්‍රී ලංකාව එකතු වී තිබෙනවා.

මෙරට ඩෙංගු රෝග විකාශනය ගැන පර්යේෂණ වාර්තාවක් සම්පාදනය කළ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පී. ඞී. එන්. එන්. සිරිසේන හා වෛද්‍ය එෆ්. නූර්දින් කියන්නේ මුලදී නගරබදව හමු වූ ඩෙංගු රෝගය මේ වන විට අර්ධ නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ද පැතිරෙමින් ඇති බවයි. http://tiny.cc/DengSL

තවමත් වැඩිපුර ඩෙංගු රෝගීන් හමු වන්නේ බස්නාහිර පළාතෙන් වුවත් (2007සමස්ත රෝග තත්ත්වයන්ගෙන් 44.9%) උතුරුමැද, වයඹ, සබරගමුව පළාත්වල ද ඩෙංගු රෝග සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස ඉහල ගොස් තිබෙන බව ඔවුන් කියන්නේ නිල සෞඛ්‍ය දත්ත අනුවයි.

එසේම 2009දී යුද්ධය අවසන් වූ පසු උතුරු හා නැගෙනහිර පළාත්වල ද ඩෙංගු බහුලව වාර්තා වනවා. විශේෂයෙන් යාපනය හා මඩකලපුව නගරවල. මෙයට හේතුව ලෙස පර්යේෂකයන් දකින්නේ යුද්ධය නිමාවෙන් පසු උතුරු-දකුණු ගමන් බිමන් බහුල වීමයි.

මේ අතර දේශගුණ විපර්යාස නිසා හට ගන්නා අකල් වැසි, ආන්තික කාලගුණ තත්ත්වයන් ආදිය නිසා ද ඩෙංගු මදුරුවන් පැතිරීමට ඇති ඉඩ වැඩි වනවා. ඉදිරියේදී ඩෙංගු මර්දන වැඩසටහන් සකස් කරන විට මේ දේශගුණ විපර්යාස සැලකිල්ලට ගත යුතු යයි සිරිසේන හා නූර්දීන් නිර්දේශ කරනවා.

ඩෙංගු රෝගයට එරෙහිව එන්නතක් හෝ වයිරස්-විරෝධ බෙහෙතක් (antiviral drug) තවමත් නිපදවා නැති නිසා තිබෙන හොඳම ආරක්‍ෂණ උපක‍්‍රමය නම් රෝග වාහකයන්ගේ පැතිරීම සීමා කොට අවම කිරීමයි.

ඩෙංගු යනු වළක්වා ගත හැකි රෝගයක් බවත්, උතුරු හා දකුණු අමෙරිකානු මහාද්වීපවල දැඩි මහජන සෞඛ්‍ය පියවර මගින් ඩෙංගු තුරන් කර ගැනීමට සමහර රටවලට හැකි වූ බවත් IFRC සංවිධානය පෙන්වා දෙනවා.

ඩෙංගු මදුරුවන් බෝවීම අවම කිරීමට මනා සේ පාරිසරික පිවිතුරු බව හා ප‍්‍රවේශම්කාරී බව අත්‍යාවශ්‍යයි. ඩෙංගු මදුරුවන් බිත්තර දමා, කීටයන් බිහි වී පරිනත වන්නේ ජල මාධ්‍යයේයි. පිරිසිදු ජලය මෙන් ම කාබනික ද්‍රව්‍ය මුසු වූ ජලයේ ද මෙය සිදුවිය හැකියි. පර්යේෂකයන් මෑතදී සොයා ගෙන ඇත්තේ කිවුල් දියේ පවා ඔවුන්ට බෝවිය හැකි බවයි.

ඩෙංගු කාරක වෛරසය ජානමය වශයෙන් අනුවර්තනය වීමට සමත් බවත්, වාහක මදුරු විශේෂ ද කෙටි කලකින් නව පාරිසරික තත්ත්වයන්ට හැඩ ගැසෙන බවත් පර්යේෂකයන් දැන් තේරුම් අරන්. ඒ අනුව ඩෙංගු මර්දන උපක‍්‍රම ද අළුත්ම පර්යේෂණ දැනුමට අනුව කලින් කලට වෙනස් කර ගත යුතු යයි ඔවුන් කියනවා.

ඩෙංගු මර්දනයට මේ දක්වා මෙරටත්, වෙනත් බොහෝ රටවලත් යොදා ගන්නේ මදුරු නාශක රසායන ද්‍රව්‍යයි. මේවා ධූමකාරක යන්ත‍්‍ර හරහා ගෙවතු හා ගේ දොරවලට මුදා හරිනවා. මෙය ප‍්‍රතිඵල ගෙන දුන්න ද දිගට ම පවත්වා ගත යුතු ක‍්‍රියාදාමයක්.

එක ම ප‍්‍රදේශයක නිශ්චිත කාල වකවානුවකට වරක් එම රසායන යෙදීම හරහා මදුරු ගහන පාලනය කළ හැකියි. එහිදී තීරණාත්මක වන්නේ පොදු හා පෞද්ගලික ස්ථානයන්හි මදුරුවන්ට බෝවීමට උපකාරවන ජලය එකතු වන අපද්‍රව්‍ය, රඳවනයන් හා ස්වාභාවික තැන් සොය සොයා ඉවත් කිරිමයි. මෙය ද යළි යළිත් කළ යුත්තක්. දිගට ම පවත්වා ගත යුතු නිරන්තර ආරක්‍ෂක පියවරක්.

මදුරු නාශනය සඳහා දිගු කලක් තිස්සේ මෙරටත්, ලොව බොහෝ රටවලත් යොදා ගත්තේ DDT නම් විෂ රසායනිකයයි. DDT ජනාවාස ඇති ප‍්‍රදේශවල පුළුල්ව ඉසීමේ යෙදුණු මුල් ම ආසියානු රට බවට ශ‍්‍රී ලංකාව පත්වූයේ 1945 අගදී. DDTවල පාරිසරික හා සෞඛ්‍යමය විපාක ගැන දැන ගත් පසු බොහෝ රටවල් එය භාවිතය නතර කළා.

13 January 2013: සිවුමංසල කොලූ ගැටයා #100: නිහඬ වසන්තයේ අඩසියවසක යශෝරාවය

මදුරු මර්දනය සඳහා කෘති‍්‍රම රසායන නොවන දේශීය උපක‍්‍රම තිබේ ද?

K M Wijepala with his organic products - Photo by Janaka Sri Jayalath

K M Wijepala with his organic products – Photo by Janaka Sri Jayalath

තනිකර ම පැළැටි සාරයන් යොදා ගෙන මදුරු මර්දනයට සාර්ථක දේශීය විසඳුමක් නිපදවීමට නුවර එළියේ විජය ඇග්‍රො ප‍්‍රඩක්ට්ස් සමාගමේ කේ. එම්. විජේපාල මහතා සමත්ව සිටිනවා. (මීට පෙර මා හඳුන්වා දුන්නේ ඔහු නිපදවූ කාබනික පොහොර ගැනයි. එයට අදාල වට්ටෝරුව ඔහු නොමිළයේ ගොවින්ට ලබා දෙනවා.)

9 Sep 2012: සිවුමංසල කොලූ ගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

26 January 2014: සිවුමංසල කොලූ ගැටයා #153: කාබනික ගොවිතැන: උද්‍යොගපාඨවලින් ඔබ්බට?

මදුරු මර්දනය සඳහා උපක‍්‍රම දෙකක් ඔහු යෝජනා කරනවා.

පළමුවැන්න – ඔවුන්ගේ ප‍්‍රජනන (බෝවීමේ) ක‍්‍රියා අවහිර කිරීම. කීටයන් අවධියේ ම ඔවුන් සිටින තැන් සොය සොයා විනාශ කිරීම.

දෙවැන්න – ඔවුන් මිනිස් අප සමීපයට ඒම වැළැක්වීම. ඒ සඳහා ඔවුන් අප වෙතින් පළවා හරින (repellant) ආකාරයේ රසායනික සිරුරේත් ගෙදර දොරෙත් භාවිත කිරීම.

කලක් අත්හදා බැලීම් කොට ඔහු නිපදවා ඇති OK (Organic King) නම් මදුරු නාශක ද්‍රාවණය මේ උපක‍්‍රම දෙකට ම යොදා ගත හැකියි. එය කොහොඹ ගසේ සාරයෙන් තනා ගන්නා නිසා සෙසු ජීවීන්ට හා මිනිසුන්ට විස නැහැ. (වැරදීමකින් ටිකක් පෙවුනත් කිසිදු හානියක් නැතැයි ඔහු කියනවා!)

වතුර ලීටර් 16කට ධණ ද්‍රාවණයේ මිලි ලීටර් 50ක් මිශ‍්‍ර කර ගෙවත්තේ ඉසීම සති දෙකකට සෑහෙන බවත්, කාමරයක් තුළට මදුරුවන් ඒම පළවා හරින්නට සතියකට වරක් ටිකක් ඉසීම ප‍්‍රමාණවත් බවත් ඔහු කියනවා.

දියරයෙන් බිඳක් ඇඟිල්ලට ගෙන කන් පෙති පිටුපස තවරා ගැනීම හරහා පැය 3-4ක් කිසි මදුරුවකු තමාට ළං වීම වළක්වනවා. වාහන තුළ සුවඳ විහිදුවන විලවුන්කාරකයට බින්දු කිහිපයක් එකතු කළොත් වාහනයට මදුරුවන් ඒම ද වළකිනවා.

‘මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීම අවශ්‍යයි. බෝවීම අවහිර කරන්නේ ඒ සඳහායි. ඒ අතර කෙසේ හෝ බිහි වන මදුරුවන් අපට ළං වීම වළක්වා ගැනීම ද කළ යුතුයි.’ විජේපාල මහතා කියනවා.

OKමදුරු හා කෘමි නාශකයට ශ‍්‍රී ලංකා පේටන්ට් බල පත‍්‍රයක් 2013දී පිරි නැමුණා. කාර්මික පර්යේෂණායතනය (ITI) එහි බලපෑම් ගැන ස්වාධීනව පර්යේෂණ කොට තහවුරු කොට තිබෙනවා. සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් ද මෙරට අලෙවියට හා භාවිතයට සුදුසු රසායනිකයක් හැටියට එය නිල වශයෙන් අනුමත කොට තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය මෑතදී මෙරට මදුරු නාශක නිපදවන්නන්ගේ රැස්වීමකටතමා කැඳවූ බවත්, ධණ ද්‍රාවණයේ පාරිසරික වාසි ගැන ඔවුන් පැහැදී සිටින බවත් විජේපාල මහතා කියනවා.

OK යනු මදුරුවන්ට පමණක් නොව බෝගවලට හානි කරන කෘමි පලිබෝධකයන්ටත් එරෙහිව ක‍්‍රියා කරන ස්වාභාවික රසායනික සංයෝගයක්. පරිසර හානි නොකර පලිබෝධකයන් පමණක් මර්දනයට මෙබදු කාබනික කෘමි නාශක හැකි තාක් යොදා ගැනීම කාලීන අවශ්‍යතාවයක්.

OK logo

විජේපාල මහතා සුළු ව්‍යාපාරිකයෙක්. කෘෂි රසායනික නිපදවා අලෙවි කරන විදේශ හා දේශීය මහා සමාගම් සමග තරගයට තම නිෂ්පාදන ප‍්‍රචාරණය කරන්නට ඔහුට මුදල් නැහැ. එහෙත් තම නිෂ්පාදනවල කාර්යක්‍ෂමතාව පිළිබඳව පර්යේෂණාත්මක සහතිකත්, පාරිසරික හිතකරභාවය නම් වූ අමතර වාසියත් ඔහු හුවා දක්වනවා.

ඩෙංගු මර්දනයට ජෛව පාලනය සඳහා විදේශවලින් බැක්ටීරියා (BTI) ගෙන්වීමට තිබූ නිල උනන්දුව හා මහජන මුදල් යෙදවීම මෙබදු දේශීය විසඳුමකට ලැබෙයි ද?

විජේපාල මහතාගේ GOLF නම් වූ කාබනික පොහොර ගැන මීට සති කිහිපයකට පෙර ට්විටර් සමාජ මාධ්‍යයේ මා සඳහන් කළ විට එක් ප‍්‍රතිචාරයක් වූයේ ‘‘ඔය පොහොරවල ගුණාගුණ ගැන විද්වත් පර්යේෂණ කොට ජාත්‍යන්තර සඟරාවක නිබන්ධන පළ කොට ඇත්ද?’’ යන්නයි.

තවම එබන්දක් සිදුව නැහැ. විජේපාල යනු ශාස්ත‍්‍රාලීය උගතකු නොව ප‍්‍රායෝගිකව අත්දැකීම් රැසක් ලැබූ, ගැටළු විසඳීමට යොමු වූ නව නිපැයුම්කරුවෙක්. ඔහුගේ විසඳුම් තව දුරටත් පර්යේෂණ හරහා විමර්ශනය කිරීම හා වැඩි දියුණු කිරීම අපේ විද්වතුන්ට කළ හැකි දෙයක්.

එහෙත් සර්ව සම්පූර්ණ පර්යේෂණ ප‍්‍රතිඵල ලැබෙන තුරු ඩෙංගු මදුරු මර්දනය කල් දැමිය නොහැකියි. ළඟ එන නිරිතදිග මෝසම් වැසි සමග නැවතත් ඩෙංගු රෝග වාහකයන් ප‍්‍රබල ලෙස බෝවනවා. එහිදී එය මර්දනයට දෙස් විදෙස් හැම උපක‍්‍රමයක් ම පෙළ ගැස්වීම ඉතා වැදගත්.

(OK කෘමි නාශක කොළඹ ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරයේ පිහිටුවා ඇති කාබනික ආහාර අලෙවි සැලෙන් ද නුවරඑළියේ විජය ඇග්‍රො ප‍්‍රඩක්ට්ස් සමාගමේ කාර්යාලයෙන් ද ලබා ගත හැකියි. විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය. එසේම ඒ සඳහා බෙදාහරින්නන් තව සොයා ගන්නට ද ඔවුන්ට අවශ්‍යව තිබෙනවා.)

 

Advertisements
Posted in Agriculture, Communicating development, Communicating research, Eco-friendly living, Environment, Health, Humanitarian emergencies, Innovation, public interest, Ravaya Column, Sri Lanka, Sustainable Development, urban issues. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 2 Comments »

සිවුමංසල කොලූගැටයා #153 කාබනික ගොවිතැන: උද්‍යොග පාඨවලින් ඔබ්බට?

Go organic! That call is heard increasingly in Sri Lanka, which has been late to get on this bandwagon. Much of the island nation’s organically produced fruit, spices and vegetables was exported to high-paying overseas markets until recently. But concerned with health effects of agrochemical residues in the good, more Lankans are now looking for organic products.

Is this an upper middle class fad, or can organic food become the mainstream? What about the significant price difference? What assurance of quality and where are the certification schemes?

In my latest Ravaya column (in Sinhala), I survey the small but rapidly growing organic produce market in Sri Lanka, and raise some questions that need regulatory and consumer attention.

Sri Lanka is evolving its own demand for organic produce, as seen at the Good Market in Colombo and Battaramulla - image courtesy Good Market Facebook page

Sri Lanka is evolving its own demand for organic produce, as seen at the Good Market in Colombo and Battaramulla – image courtesy Good Market Facebook page

කෘත‍්‍රිම (රසායනික) පොහොර හෝ කෘමිනාශක, වල්නාශක වැනි කෘෂි රසායනික හෝ යොදා නොගෙන සොබාවික ක‍්‍රමයට බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මෙය අළුත් ක‍්‍රමයක් නොවෙයි. වසර දහස් ගණනක් පුරා පෙර අපර දෙදිග ම භාවිතා වූ අත්දුටු ක‍්‍රමයක්. මෑත දශකයන්ගේ කෘෂි රසායනික භාවිතයට ඇබ්බැහි වීම නිසා අපෙන් ඈත් වූ කාබනික ගොවිතැනේ අගය දැන් යළිත් වැටහී තිබෙනවා.

ගිය වසර අගදී කොළඹ සම්බෝධි විහාර භූමියේ සෙත්සුව මැදුර නම් වූ කාබනික ආහාර අලෙවි සැලක් ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවා. එය සම්බෝධි විහාරයේ හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ (GMOA) සාමුහික ප‍්‍රයත්නයක්. මාධ්‍ය වාර්තාවලට අනුව ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ සද්කාරියට දායක වීම පිණිස රසායනික පොහොර භාවිතයෙන් වැළකී ආහාර බෝග වවන ලෙසයි.

වස විසෙන් තොර ආහාර වැවීම හා පරිභෝජනය ගැන රටේ ඉහළ ම මට්ටමින් අවධානය යොමු වීම හොඳ ප‍්‍රවණතාවක්. එහෙත් රටේ නායකයා යහපත් දෙයක් කරන්නට යැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටීම පමණක් සෑහෙන්නේ නැහැ.

අපේ ගොවිතැන මෙතරම් විස භාවිතයට යොමු වුණේ අඩ සියවසකට වැඩි කලක් අපේ ම රජයන් පවත්වා ගෙන යන කෘෂි ප‍්‍රතිපත්ති නිසායි. ඒ නිසා ගොවීන්ගේ හෘද සාක්ෂියට හා බුද්ධියට ආයාචනා කරන අතර මේ ජාතික ප‍්‍රශ්නයට තුඩු දුන් සාධක හඳුනා ගෙන රාජ්‍ය මට්ටමින් හා සමාජයීය මට්ටමින් ප‍්‍රතිකර්ම යෙදීම ද අත්‍යවශ්‍යයි.

(මා මීට පෙර ද මේ කොලමින් කියා ඇති පරිදි) කෘෂි රසායනිකවලට ඇබ්බැහිවීම හරියට මත්ද්‍රව්‍යවලට පුද්ගලයකු ඇබ්බැහි වූවා වැනියි. කලකට පසු එය නැතිව ම බැරි වනවා. එයින් අත්මිදීමට අවංක උත්සාහයක් හෝ  ඕනෑකමක් නැති වෙනවා. රටක් හැටියට අපට සිදුව ඇත්තේ එයයි.

කලක් තිස්සේ පැවතුණු දැඩි ඇබ්බැහිකමකින් මිදීමට පුද්ගලයකුට මෙන් ම ප‍්‍රජාවකටත් ලොකු ආයාසයක් හා තල්ලූවක් අවශ්‍යයි. දුම්කොළවලට ඇබ්බැහි වූවන් බොහෝ දෙනකු එහි මාරාන්තික විපාක දැන දැනත් එය නතර නොකරන්නේ දැන් අතහැරිය නොහැකි තරම් එහි එල්බ ගෙන සිටින නිසයි.  ඕනෑ ම ඇබ්බැහිකමක් දුරලන්නට ආයාචනාවලට සමාන්තරව ප‍්‍රතිපත්තිමය, නියාමක හා වෙළඳපොල මට්ටමේ පියවර ද අවශ්‍යයි.

අපේ රටේ කාබනිකව වවන ලද එලවළු හා පලතුරු මෑතක් වනතුරු වැඩිපුර ම පිටරට යවනු ලැබුවා. එහෙත් කෘෂි රසායනික අධිභාවිතයේ හා අනිසි භාවිතයේ බරපතල සෞඛ්‍ය විපාක හඳුනා ගැනීම සමග කාබනික ආහාර බෝග සඳහා දේශීය වෙළඳපොල ඉල්ලූම ද මතු වෙමින් තිබෙනවා.

මෙය හුදෙක් මධ්‍යම පාංතික විලාසිතාවක් ද? නැතහොත් වස විසෙන් තොර ආහාරපාන මිලියන් 20කට වැඩි සියළු ලක්වැසියන්ට ලබා දෙන්නට හැකි ද? වෙළඳපොල ආර්ථිකය තුළ මේ සඳහා රජයකට කෙතරම් බලපෑම් කළ හැකි ද?

The Good Market (Sri Lanka) Logo

The Good Market (Sri Lanka) Logo

පාර්ලිමේන්තු සංකීර්ණයට යන මාර්ගයේ බත්තරමුල්ලේ පිහිටි දියත උයන නම් පොදු ස්ථානයේ බ‍්‍රහස්පතින්දාට නූතන පන්නයේ පොලක් පැවැත් වෙනවා. Good Market නම් වූ එතැන අලෙවි කැරෙන්නේ සුළු පරිමාන ආහාරපාන හා වෙනත් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍යයි. බොහෝ ඒවා ගෘහස්ථව නිපදවා තිබෙනවා. කෘෂි රසායනික නොයොදා ගෙවතුවල වැවූ එලවළු හා පළතුරු ඒ අතර විශේෂයි.

බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා 2013 නොවැම්බර් මෙරටට ආ වෙලේ මේ Good Marketහි කාබනික ආහාර වවන්නෝ ඔහුට විශේෂ අලෙවියක් කළා. ඔහු තමන්ගේ ආහාරපාන ගැනත් පරිසරය ගැනත් ඉතා සැලකිලිමත් වන කෙනෙක්. ලොව කොතැන ගියත් කෑමට ගන්නේ කාබනිකව වැවූ එළවලූ, පළතුරු හා ධාන්‍යන්, සොබාවික ලෙස සත්ත්ව පාලනය කොට ලබා ගත් මස් වර්ගත් පමණයි.

තමන්ගේ අරක්කැමියා හා කාර්ය මණ්ඩලය සමග සංචාරය කරන චාල්ස් කුමරුට මේ අන්දමට කෑමබීම සම්පාදනය කර ගැනීම ප‍්‍රශ්නයක් නොවෙයි. එහෙත් ඔහුගේ රටේත්, අපේ රටේත් සාමාන්‍ය ජනයාට එය තවමත් ලොකු අභියෝගයක්.

Prince Charles visits the Good Market and meets organic producers of Sri Lanka - Nov 2013 in Colombo

Prince Charles visits the Good Market and meets organic producers of Sri Lanka – Nov 2013 in Colombo – Photo courtesy Good Market Facebook page

එයට හේතුව කාබනිකව වවන ආහාරවල මිල අනෙකුත් ආහාරවලට වඩා අවම වශයෙන් සියයට 30 – 40ක් වැඩි වීමයි. ඉහළ මධ්‍යම පාංතිකයින් ටික දෙනෙකුට මේ මිල ප‍්‍රශ්නයක් නොවුවත් අන් අයට ඒ අමතර වියදම නිතිපතා දරා ගැනීමට අමාරුයි. කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි.

මේ මූලික වෙළඳපොල යථාර්ථය නොදැන හෝ නොදැක අප සැම කාබනික ආහාර පමණක් පරිභෝජනය කළ යුතු යැයි අපේ සමහර පරිසරවේදීන් කියන්නේ මේ පොළවේ පය ගසා ගෙන ද? නැතිනම් වෙනත් හරිත ලෝකයක කොටු වෙලා ද?

ඕනෑ ම සමාජයීය ප‍්‍රශ්නයකට නිර්දේශ කරන විසඳුම් ප‍්‍රායෝගික විය යුතුයි. ‘පාන් නැති නම් කේක් කාපල්ලා’ ආකාරයේ නිර්දේශ යථාර්ථවාදී නොවනවා සේ ම අසංවේදියි.

තවත් සමහර පරිසරවේදීන් කියන්නේ වහා ක‍්‍රියාත්මක වන පරිදි කෘෂිරසායන මෙරටට ගෙන්වීම හා භාවිතය තහනම් කළ යුතු බවයි. එවිට වෙනත් විකල්ප නැති නිසා සියළු ගොවිතැන් කාබනිකව කැරෙනු ඇතැයි ඔවුන් සිතනවා.

සමාජ ප‍්‍රශ්න විසඳීමට සීමා, තහංචි හා දණ්ඩන යෙදීම කලක සිට අපේ රටේ ජනප‍්‍රිය පුරුද්දක්. තහනම් කිරීම හරහා ප‍්‍රශ්න සැබෑවට විසඳෙනවා වෙනුවට ඒ වටා නීත්‍යනුකූල නොවූ වෙළඳාමක් සිදු වීම ඇරඹෙනවා. කළුකඩ සම්ප‍්‍රදාය කියන්නේ එයටයි.

නූතන ජන සමාජයන්ගේ මිනිසුන් කන බොන සැටි රාජ්‍යයට පාලනය කරන්නට නොහැකියි. වෙළඳපොලේ ආහාර හිඟයක් පවතින කාලවලට පමණක් යම් සලාක ක‍්‍රම අනුගමනය කළ හැකියි. (බිඳ වැටුණු සෝවියට් දේශයේත්, වෙළඳපොල ක‍්‍රමයට විවෘත වන්නට පෙර මහජන චීනයේත් සාමාන්‍ය ජනයා එදිනෙදා මිලට ගන්න ආහාරපාන මොනවාද හා කොපමණක් ද යන්න නිලධාරි තන්ත‍්‍රයක් දැඩි සේ පාලනය කළා. අද ඒ රටවලත් එබන්දක් කැරෙන්නේ නැහැ.)

රාජ්‍යයට කළ හැක්කේ සමබර ආහාරවේලක හා නිසි පෝෂණයේ වැදගත්කම ගැන ජන සමාජය දැනුවත් කරන අතර දිගුකාලීනව සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කිරීමට හැකි යැයි මනාව තහවුරු වූ ආහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ලබා දීමයි.

එහෙත් එය සෞඛ්‍ය විද්‍යාත්මක පදනමකට එහා ගියොත් ප‍්‍රශ්නයක් වනවා. නිර්මාංශ ආහාරයේ වැදගත්කම පිළිගෙන එය සියයට සියයක් හෝ යම් තරමක් ප‍්‍රගුණ කරන අය අප අතර සිටිනවා. එසේ ම මස්මාළු කෑමට කැමති අය ද සිටිනවා. මේ දෙපිරිසට ම තමන් රිසි සේ ආහාර සම්පාදනයට ශිෂ්ට සමාජයක ඉඩ තිබිය යුතුයි. යමක් තහනම් කිරීම හෝ බලෙන් ජනතාව මත පැටවීම වැඩවසම් සමාජ ලක්ෂණයක් මිස නූතන යුගයට ගැලපෙන සිරිතක් නොවෙයි.

සෙත්සුව මැදුරට සමාන්තරව healthysrilanka.lk නමින් අළුත් වෙබ් අඩවියක් ද අරඹා තිබෙනවා. කාබනික ආහාර පමණක් නොව ශරීර සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් සියළු ආහාරපාන මිලට ගැනීම හා සම්පාදනය ගැන ප‍්‍රායෝගික උපදෙස් එහි තිබෙනවා. දැනට ඉංග‍්‍රීසියෙන් පමණක් අන්තර්ගතය ඇති එහි සිංහල හා දෙමළ බසින් ද සන්නිවේදන සිදු වනු ඇතැයි අප පතනවා.

රටක් කාබනික ආහාරවලට වඩාත් නැඹුරු වන විට ඒ වටා වෙළඳපොල විභවයක් ගොඩ නැෙඟනවා. එවිට එයට අදාල ප‍්‍රමිතීන් හා සහතික කිරීම් ක‍්‍රමවේදයන් (certification schemes) බිහි විය යුතුයි. හේතුව එළවලූවක් හෝ පළතුරක් බැලූ බැල්මට කාබනික යැයි පාරිභෝගිකයකුට කිව නොහැකි වීමයි. යම් අමතර මිලක් ද ගෙවා සෞඛ්‍ය සම්පන්න අරමුණින් කාබනික ආහාරයක් (ධාන්‍ය, එලවළු, පලතුරු, කිරි) මිලට ගෙන පරිභෝජනය කරන විට එහි බොරුවක් හෝ වංචාවක් නැතැයි සහතික විය යුතුයි.

කාබනික ආහාර ඇත්තට ම එසේ වවන ලද බවට සහතික කරන ක‍්‍රමවේදයන් යුරෝපා රටවල හා ජපානයේ හමු වනවා. ඒ රටවලට කාබනික ආහාර යවන අපේ රටේ ගොවීන් ද එම ප‍්‍රමිතිවලට අනිවාර්යයෙන් අනුකූල වනවා.

එබඳු ප‍්‍රමිතීන් හා සහතික වීමේ ක‍්‍රම (standards and certification) දේශීය වෙළඳපොලට ද අවශ්‍යයි.

කාබනිකව වගා කර ගත් ආහාර ලොව බොහෝ රටවල මිලෙන් තරමක් හෝ සැලකිය යුතු වශයෙන් වැඩි බව සත්‍යයක්. එහෙත් අපේ රටේ මේ වෙළඳපොල විසමතා වඩාත් තීව‍්‍ර වන්නේ කෘෂි රසායනිකවලට ලැබෙන සහනාධාර නිසයි. මහජන මුදල්වලින් මහා පරිමාණ පොහොර සහනාධාරය පවතින තුරු මෙරට කාබනික ගොවිතැනට හරිහැටි ස්ථාපිත වන්නට ඉඩක් නැති බව සුළුතරයක් වන කාබනික ගොවීන් දන්නවා. අප එය විස්තරාත්මකව මේ කොලමින් පෙන්වා දී තිබෙනවා.

K M Wijepala exhibits his organic fertiliser suited for any  crop  - Photo by Janaka Sri Jayalath

K M Wijepala exhibits his organic fertiliser suited for any crop – Photo by Janaka Sri Jayalath

නව නිපැයුම් පිළිබඳ මා රූපවාහිනි නාලිකාවේ 2012 ඉදිරිපත් කළ “මාලිමා” වැඩසටහනට වරක් පැමිනි කේ. එම්. විජේපාල මහත්තයා නුවරඑළියේ ඔහුගේ සමාගම හරහා මුළුමනින් ජෛවීය ද්‍රව්‍ය යොදා තනන කාබනික පොහොර, වල්නාශක, කෘමිනාශක හා අනෙකුත් කෘෂි රසායන අලෙවි කරනවා. එ් සියල්ල ඔහු කලක් තිස්සේ අත්හදා බලා සොයා ගත් වට්ටෝරුවලට අනුව නිෂ්පාදිතයි.

ගොඩ හා මඩ  ඕනෑම බෝගයකට යෙදිය හැකි GOLF (Gold Organic Lanka Fertilizer) නම් කාබනික පොහොරක් ඔහු නිපදවා තිබෙනවා. ශාක වර්ධනයට අවශ්‍ය සියළු මුලද්‍රව්‍ය අඩංගු මේ පොහොර තනා ගන්නා සැටි මාලිමා තුළින් ඔහු පෙන්වා දුන්නා. එයට අමුද්‍රවය ලෙස ගන්නේ එළඟිතෙල්, මීපැණි, මෝරතෙල් ගුලි, කොහොඹ තෙල්, තල්/පොල්/කිතුල් පැණි හා බියර් ආදී ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ. මේවා ජලයේ මුසු කිරීමේ නිසි අනුපාතයන් දැක්වෙන වට්ටෝරුවට ලාංකික ජේටන්ට් බලපත‍්‍රයක් ලබා ගෙන තිබෙනවා. http://tiny.cc/Malima10

මේ පොහොර යෙදීමෙන් රසායනික පොහොරවලට සමාන හෝ වැඩි අස්වනු ලබා ගත හැකි බව තේ පර්යේෂණායතනය (TRI), කාර්මික පර්යේෂණායතනය (ITI) හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්වාධිනව තහවුරු කර තිබෙනවා.

මේ කාබනික පොහොර ගෙදරදී ම තනා ගැනීමට අනුපාත හා පියවර කියා දෙන උපදෙස් පත‍්‍රිකාවක් මෙරට ගොවීන්ට නොමිළයේ ලබා දෙන්නට විජේපාල මහත්තයා ඉදිරිපත්ව සිටිනවා. (එ් සඳහා ලිපිනය ලියු, මුද්දර ගැසු කවරයක් යවන්න: විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය).

රසායනික පොහෙර වෙළඳාමේ නියුතු බහුජාතික හා දේශීය සමාගම් සමඟ තරඟකාරීව අලෙවිකරණයට ඔහු ලැහැස්තියි. ඔහු කියන හැටියට මේ ජෛවීය පොහොර ප‍්‍රචලිත කරන්නට තිබෙන ලොකු ම බාධකය රසායනික පොහොරවලට ලැබෙන රාජ්‍ය සහනාධාරයයි.

Malima: Episode 10 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

පොහොර සහනාධාරය යටතේ 90%ක් සහන මිලට රසායනික පොහොර ලැබීමට දිගු කලක් තිස්සේ හුරු වූ ගොවීන් දැන් එය අයිතිවාසිකමක් ලෙස සලකනවා. වස විස ගොවිතැනට වැට බැඳීමට අවංක උවමනාවක් ඇත්නම් මහා පරිමානයේ පොහොර සහනාධාරයට එළිපිට ම එරෙහි වන්න.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ