සිවුමංසල කොලූගැටයා #149: සිරිල් පොන්නම්පෙරුමගේ දැවැන්ත සෙවනැල්ල

In this week’s Ravaya column, I pay another tribute to Dr Cyril Ponnamperuma, Lankan biochemist who was one of the best known and most accomplished scientists produced by Sri Lanka.This explores the time he spent in Sri Lanka in the late 1980s, working as Presidential Science Adviser and Director of the Institute of Fundamental Studies (IFS) in Kandy.

See also my English tribute published in 2009: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

Dr Cyril Ponnamperuma at IFS Kandy - Photo by Samanmalee Sugathadasa
Dr Cyril Ponnamperuma at IFS Kandy – Photo by Samanmalee Sugathadasa

‘එයා මොනවද හදල තියෙන්නේ?’

ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1923 – 1994) ගැන 2013 අගොස්තු 11දා මා ලියූ කොලමට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ එයයි.

පොන්නම්පෙරුමයන්ගේ ජෛව රසායනික විද්‍යා පර්යේෂණ ගැන විවාදයක් නැතත්, ඔහු විසිවන සියවසේ මෙරටින් බිහි වූ ශෙෂ්ඨතම විද්‍යාඥයකු යයි මේ ප‍්‍රශ්නය මතු කළ මගේ මිතුරා පිළිගත්තේ නැහැ. ඉංජිනේරුවකු වන ඔහු බොහෝ විට භෞතික ඉදිකිරීම් සළකා බලා එම තක්සේරුවට එළඹුණා විය හැකියි. එකී නිර්ණායකය අනුව බලන විට නම් මේ විද්‍යාඥයා පාලම්, ජලාශ, මහාමාර්ග හෝ වරාය නොතැනූ බව ඇත්තයි.

එහෙත් හැම විද්වතකුගේ ම දායකත්වය එබඳු තනි කෝදුවකින් මනින්නට බැහැ. පොන්නම්පෙරුම මා දකින්නේ විවෘත මනසකින් ලෝකය ගවේෂණය කරන්නට හැකියාවත්, ගැටඵ විසඳන්නට ආත්ම විශ්වාසයත් තිබෙන ගෝල පරපුරක් බිහි කළ නැණ පහනක් හැටියටයි. පර්යේෂණ ලෝකය හා ප‍්‍රතිපත්ති ලෝකය යා කළ මාහැගි පාලමක් ලෙසටයි. මේ කෝණවලින් ඔහුගේ දායකත්වය තව ටිකක් විග‍්‍රහ කරන්නට මා කැමතියි.

පොන්නම්පෙරුම ලොව මුල් පෙළ් දැනුම් ගවේෂකයෙක්, පර්යේෂකයෙක් හා ගුරුවරයෙක් වුණත් ඔහුගේ කුසලතා එයට සීමා වූණේ නැහැ. ඔහු ප‍්‍රතිපත්ති මට්ටමෙන් දේශපාලකයන් සමග විද්වත් ලෙස ගනුදෙනු කරන්නත්, මාධ්‍ය හරහා විද්‍යාත්මක චින්තනය පොදු ජනයාට සමීප කරන්නත් සමතකු වුණා. තනි පුද්ගලයකු තුළ මේ හැකියාවන් සංකලනය වන්නේ කලාතුරකින්.

1984 – 1990 කාලය තුළ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති විද්‍යා උපදේශක ලෙස ජේ. ආර්. ජයවර්ධන හා ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරුන් සමග කටයුතු කළ ඔහු, මූලික අධ්‍යයන ආයතනයේ (IFS) දෙවන අධ්‍යක්‍ෂවරයා ලෙසත් සේවය කළා.

විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වන ලෝකයේ රටවල ආර්ථික හා සමාජ සංවර්ධණ්‍ය නැණවත් සේ යොදා ගැනීම ගැන ඔහුට මුහුකුරා ගිය දැක්මක් තිබුණා. විද්‍යාවේ මූලික පර්යේෂණ (fundamental research) පවා සැබෑ ලොව ප‍්‍රශ්න හා අභියෝග විසදීමට ඉලක්ක කර ගත හැකි බව ඔහු විශ්වාස කළා.

පර්යේෂණ සඳහා මහජන මුදල් වැය කිරීම දියුණු වන රටකට කළ හැකි ප‍්‍රශස්ත ආයෝජනයක් බවත්, නිවැරදි ප‍්‍රතිපත්ති රාමුවක් තුළ, චින්තනයේ නිදහස පර්යේෂකයන්ට ලබා දෙමින් ඔවුන්ට යම් මග පෙන්වීම් කිරීම ඔහුගේ ක‍්‍රමවේදය වුණා. සාම්ප‍්‍රදායික සරසවි විද්‍යා පීඨ හා රාජ්‍ය පර්යේෂණායතනවලින් වෙනස් වූ IFS හරහා මේ සියල්ල කි‍්‍රයාවට නගන්නට ඔහු වෙර දැරුවා.

1981දී ජයවර්ධන රජය IFS පිහිටු වන විට එයට ගුරු කොට ගත් පර්යේෂණායතන දෙකක් තිබුණා. එකක් නම් ඉන්දියාවේ ටාටා මූලික පර්යේෂණායතනයයි. අනෙක ඊශ‍්‍රායලයේ වයිස්මාන් විද්‍යායතනයයි. දැනුමේ නිම් වළලූ පුඵල් කරන්නට කරන විද්‍යා පර්යේෂණවලින් රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට අදාල සංවර්ධන ගැටඵ විසදීමට ද තැත් කිරීම මේ පර්යේෂණායතනවල ප‍්‍රවේශයයි.

IFS මුල් අධ්‍යක්‍ෂවරයා වූයේ තවත් කීර්තිමත් ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහයි. කොළඹ කුඩා කාර්යාලයකට සීමා වුණු IFS මහනුවර හන්තානේ ඉඩකඩ හා පහසුකම් ඇති පර්යේෂණාගාර සංකීර්ණයක් බවට පත් වූයේ පොන්නම්පෙරුම එහි දෙවැනි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ කාලයේයි.

Institute of Fundamental Studies, Kandy, Sri Lanka
Institute of Fundamental Studies, Kandy, Sri Lanka

රට තුළ බුද්ධි ගලනයක් වීම වැළැක්වීමට ඔහු කළේ තෝරා ගත් විද්‍යාඥයන්ට තමන් දැනට සේවය කරන සරසවිවල සිටින අතර ම IFS සමග ද පර්යේෂණ සබඳතා පවත්වා ගැනීමේ නම්‍යශීලී ක‍්‍රමයක් ඇරඹීමයි. නිලධාරිවාදී කාර්යාලීය වේලාවන්ට වඩා ඔහුට වැදගත් වුණේ කැපවීම හා ප‍්‍රතිඵලයි. හොඳ පර්යේෂණ හා බුද්ධි ගවේෂණ කාර්යාල වේලාව තුළ එක් තැනකට කොටු වී කළ නොහැකි බව ඔහු ජාත්‍යන්තර අත්දැකීමෙන් දැන සිටියා.

රජයෙන් ලැබෙන ප‍්‍රතිපාදන මත පමණක් නොයැපී, ජාත්‍යන්තර මට්ටමෙන් පර්යේෂණවලට තිබෙන අරමුදල් තරගකාරී ලෙසින් හොඳ යෝජනා (proposals) ලියා දිනා ගැනීමේ සම්ප‍්‍රදායට ඔහු  IFS පර්යේෂකයන් යොමු කළා. වැඩ කරන්න  ඕනෑකම හා කැපවීම තිබේ නම් විකල්ප සම්පත් සොයා ගත හැකි බව ඔහු විශ්වාස කළා.

ඔහු කළෙ පොදු අභියෝග ජය ගන්නට සාමූහිකව හා විවිධ කෝණවලින් පර්යේෂණ කරන්නට විවිධ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් දිරිමත් කිරීමයි (multi-disciplinary research).

උදාහරණයකට මෙරට ගොවිතැනේ ප‍්‍රබල සීමාකාරී සාධකයක් වන පොහොර ප‍්‍රශ්නය ගන්න. 1960 ගණන්වල සිට හරිත විප්ලවය හරහා ගොවිබිම්වලට යොදන රසායනික පොහොර හා අනෙකුත් කෘෂිරසායනික මගින් අස්වනු ඉහළ නැංවූවත් එයින් ගොවියාත්, රටත් වඩාත් විදේශවලට ණයගැති වන සැටි ඔහු දුටුවා.

IFS පර්යේෂකයන්ට ඔහු දුන් ඉලක්කයක් වූයේ මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර මෙරට ම නිපදවා ගන්නා ක‍්‍රම දියුණු කිරීමයි. වාතයෙන් නයිට‍්‍රජන් සංශ්ලේෂණය කරන (රනිල කුලයේ) ශාක වැඩිපුර වැවීමත්, එප්පාවල ෆොස්ෆේට් නිධිය වඩා කාර්යක්‍ෂම ලෙස පොහොර බවට පත් කිරීමත් සොයා බලනු ලැබුවා.

මෙබඳු ගවේෂණ සඳහා කෘෂි විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා භෞතික විද්‍යාඥයන් පමණක් නොව සමාජ විද්‍යාඥයන් ද හවුල් කර ගැනීම පොන්නම්පෙරුමගේ දර්ශනයේ කොටසක් වුණා. කෙතරම් අනගි විසඳුමක් විද්‍යාඥයන් සොයා ගත්ත ද අවසානයේ එය ගොවීන්ට ප‍්‍රායෝගිකව යොදා ගත හැකි වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළා.

මෙරට මැණික් ගැරීම් සාම්ප‍්‍රදායිකව කෙරුණේ රත්නපුරය කේන්‍ද්‍රකොට ගත් සබරගමු පළාතේ හා මධ්‍යම පළාතේ ප‍්‍රදේශවලයි. මැණික් ඉල්ලම් පිහිටීම විද්‍යානුකූලව සිතියම් ගත කිරීමේ උත්සාහයක් හරහා මේ සාම්ප‍්‍රදායික කර්මාන්තයට යම් පදනමක් ලබා දෙන්නට IFS පර්යේෂණයක් උත්සාහ කළා. ඒ අතර මැණික් කැපීමට රොබෝ අතක් නිපද වූ තරුණ ඉංජිනේරුවකුට අවශ්‍ය දිරි ගැන්වීම හා ප‍්‍රතිපාදන ලබා දී එය ලෝක මට්ටමේ නව නිපැයුමක් බවට පත් කරන්නට ද පොන්නම්පෙරුම මූලික වූණා.

මෙබඳු උදාහරණ රාශියක් තිබෙනවා. සමාජ පසුබිම හා වයසින් අඩු බව නොතකා හොඳ අදහස් ඇති  ඕනෑ ම පර්යේෂකයකුට අතහිත දීමට ඔහු සැදී පැහැදී සිටියා.

Dr Cyril Ponnamperuma (right) and artist George Keyt
Dr Cyril Ponnamperuma (right) and artist George Keyt

විද්‍යාව හා කලාව බද්ධ කිරීම හරහා ද දැනුමේ නව මානයන් සොයා යා හැකි බව පොන්නම්පෙරුමගේ අදහස වුණා. මේ නිසා ජෝර්ජ් කීට් වැනි සම්මානනීය කලාකරුවන්, ප‍්‍රවීණ නර්තන ශිල්පීන් IFS වෙත ගෙන්වා ඔවුන් මුණ ගැසීමට පර්යේෂකයන්ට අවස්ථාව උදා කළා. ජපන් රජය IFS පර්යේෂණාගාර සංකීර්ණය තනා පරිත්‍යාග කරන විට IFS තුළ ජපන් සෙන් උද්‍යානයක් (Japanese Zen Garden) ද ඉදි කිරීමට ඔහු කි‍්‍රයා කළා.

IFS ආයතනය මහජනයාට විවෘත කරන දින පැවැත්වීමට ද පාසල් සිසුන් ගෙන්වා විද්‍යා පර්යේෂණ ගැන ඔවුන් දැනුවත් කරන වැඩසටහන් කිරීමට ද ඔහුගේ විද්‍යාව ජනතාව අතරට ගෙන යාමේ ප‍්‍රයන්තයේ අංගයන් වුණා. රටේ දක්‍ෂම සිසුන් වෘත්තික ක්‍ෂෙත‍්‍ර (වෛද්‍ය, ඉංජිනේරු හා නීති) වලට ඇදී යන පසුබිමක විද්‍යා පර්යේෂණ සඳහා හොඳ මොළ ඇද ගන්නේ කෙසේද යන්න ඔහු නිතර මෙනෙහි කළා.

ධූරානුක‍්‍රමවලට කොටු වී සිටි මෙරට පර්යේෂණ ක්‍ෂෙත‍්‍රයේ ක‍්‍රමවේදය වෙනස් කොට තරුණ පර්යේෂකයන්ට හා දක්‍ෂ සිසුන්ට පවා සංවාදමය අවකාශය විවර කැරෙන ආකාරයේ කෙටි සම්මන්ත‍්‍රණ (Research colloquium) නිතිපතා පැවැත්වූවා. මේවායේදී මුල් තැන ලැබුණේ විචාරශීලී දැනුම ගවේෂණයට මිස පර්යේෂකයන්ගේ පැටිකිරියට නොවෙයි.

එසේ ම ජෛව විද්‍යා, භෞතික විද්‍යා හා සමාජ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් නිතර එකට මුණ ගැසී සාමීචි කරන සංවාදශීලී වාතාවරණයක් ඔහු ඇති කළා. මේවා අද කාලේ සුලබ වූවත් මීට වසර 25කට පෙර මෙරටට අඵත් හා අමුතු අත්දැකීම් වුණා.

එය යම් තරමකට IFS තුළ ස්ථාපිත කළත් විද්‍යා උපදේශක ලෙස මෙරට විද්‍යා අධ්‍යාපනය, පර්යේෂණ පිළිවෙත් හා විද්‍යා පර්යේෂණායතන පරිපාලනය නවීකරණය කරන්නට ඔශු ගත් උත්සාහයන් එතරම් දුර ගියේ නැහැ. එයට හේතුව අඵත් යමක් කරන්නට, හොඳ වැඩක් කරන්නට යන  ඕනෑ ම කෙනෙකුට ලක් සමාජයේ මතු වන ප‍්‍රතිරෝධයයි. පොන්නම්පෙරුම පිටස්තරයකු ලෙස දුටු අපේ සමහර විද්‍යාඥයන් ඔහු යෝජනා කළ හැම දේට ම සංවාදයකින් තොරව විරුද්ධ වුණා.

එහෙත් පොන්නම්පෙරුම විවර කළ නව මගෙහි ගිය එවකට තරුණ වියේ සිටි පර්යේෂකයෝ ගතානුගතිකත්වයෙන් හා වැඩවසම්බවින් මිදී කි‍්‍රයා කරන්නට පටන් ගත්තා.

පොන්නම්පෙරුමගේ ලොකු ම දායකත්වය ලෙස මා දකින්නේ ඔහු මුල් වී තැනූ ආයතන හෝ ඔහු දිරිගැන් වූ පර්යේෂණ නොවෙයි. විවෘත මනසක් ඇති හා අභිමානයෙන් යුතුව ලෝක මට්ටමේ පර්යේෂණ අපේ රට තුළ ම කිරීමට හැකි පර්යේෂක පරපුරක් බිහි කිරීමයි. ඔහුගේ සෙවනේ හැදුණු මහාචාර්ය රොහාන් සමරජීව වැනි විද්වතුන් අද සිය පර්යේෂණායතනය (LIRNEasia) හරහා ඉදිරියට ගෙන යන්නේ ඒ සම්ප‍්‍රදායයි.

තමා ලංකාවේ සිටින  ඕනෑම විටෙක දුරකථනයෙන් ඇමතීමට ඔහු මාධ්‍යවේදීන්ට ඉඩ සළසා තිබුණා. මේ විවෘත බවෙන් වැඩිපුර ප‍්‍රයෝජන ගත්තේ Daily News පත‍්‍රයේ ටී. සබාරත්නම් හා මායි.

පොන්නම්පෙරුම ඉතා නිරහංකාර චරිතයක් බව ටික කලකින් මා තේරුම් ගත්තා. අද මෙන් ජනාධිපති උපදේශකයන් දුසිම් ගණන් නොසිටි එකල ජනාධිපති විද්‍යා උපදේශක යනු ගාම්භීර තනතුරක්. එහෙත් පොන්නම්පෙරුමට කිසි දිනෙක තනතුරේ මාන්නයක් තිබුණේ නැහැ.

ඔහු ගමන් කළෙ සාමාන්‍ය පෙළේ කුඩා ජපන් මෝටර් රථයකයි. කොළඹ සිටින විට IFS අගනුවර කාර්යාලයේ ම කාමරයක නවාතැන් ගත්තා. කොළඹ-නුවර ගමන නිතර කරන නිසා මෙය වඩාත් ඉක්මනින් කළ හැකි ක‍්‍රමයක් තිබේදැයි ඔහු සොයා බැලූවා. රේ විජේවර්ධන විසින් දිය මත ගොඩ බැස්විය හැකි ආකාරයේ කුඩා ගුවන් යානයක් සැළසුම් කොට නිර්මාණය කළේ මේ සඳහායි. කොළඹ බේරේ වැවෙන් පිටත් වී නුවර වැවේ ගොඩ බෑ හැකි ඒ ගුවන් යානය නියමුවකු හා තනි මගියකුට පමණක් යා හැකි කුඩා එකක්. තාක්‍ෂණික අතින් අවශ්‍ය ප‍්‍රමිතීන් සියල්ල එය සපුරා ගත්ත ද යම් හේතුවක් නිසා භාවිතයට ගත නොහැකි වූවා.

පොන්නම්පෙරුමගේ සමහර අදහස් ප‍්‍රායෝගික වූයේ නැහැ. දඹල පර්යේෂණායතනයක් ඇරඹුවත් එය කල් පවත්වා ගන්නට බැරි වුණා. මහනුවර-පේරාදෙණිය ප‍්‍රදේශවල තිබෙන විවිධ විද්‍යාත්මක ආයතන ඒකරාශී කොට ‘විද්‍යා රාජපුර’ ලෙස නම් කිරීමට ඔහු ගෙනා යෝජනාව ද කි‍්‍රයාත්මක කළ නොහැකි වුණා. ඔහුගේ තවත් සමහර දුරදර්ශී සංකල්පයන් කි‍්‍රයාවට නැගුණේ 1990 ඔහු මෙරටින් නික්මී වසර කිහිපයක් ගත වුවාට පසුවයි.

අමෙරිකාවේදී පොන්නම්පෙරුමයන්ගෙන් උගත් හෝ ඔහු ලියූ පර්යේෂණ නිබන්ධවලින් දැනුම සරු කර ගත් පර්යේෂකයන් දහස් ගණනක් ලොව පුරා සිටිනවා. එබඳු අය ජපානය, ඉන්දියාව, ඉතාලිය, කැනඩාව, අමෙරිකාව හා බ‍්‍රසීලය වැනි රටවලදී මට මුණ ගැසී තිබෙනවා. ඒ සමහරකුට පොන්නම්පෙරුමගේ නම හරිහැටි උච්චාරණය කරන්නට අමාරු වුවත් ඔහු ඉතිරි කර ගිය දැනුම් සම්භාරය හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ගැන ඉතා කෘතඥ පූර්වකව කථා කරනවා.

මේ යශෝරාවය භෞතික ඉදිකිරීම්වලට වඩා දහස් වාරයක් වටිනවා. යම් දිනෙක ග‍්‍රහකයක් හෝ ග‍්‍රහලොවක් මත ආවාටයක් පොන්නම්පෙරුම ලෙස නම් කැරෙනු ඇතැයි මා පතනවා. විශ්වයත් අපත් අතර සබඳතා ගවේෂණය කළ අපේ කොල්ලාට ලැබිය හැකි ඉහළ ම ගෞරවය එයයි.

See also:

සිවුමංසල කොලූගැටයා #129: විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

Remembering Dr Cyril Ponnamperuma: Inspirational maverick of Sri Lankan science

Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990
Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990