සයිබර් කැඩපත් පවුර: බ්ලොග් හරහා සයිබර් අවකාශයේ නිර්මාණ හා සංවාද රැසක්

Some say that blogging is in decline and claim that the days are numbered for this art of web-based writing and sharing of all kinds of content. But not (yet?) in Sri Lanka’s local languages of Sinhala and Tamil, where vibrant blogospheres exist, sustaining their own subcultures and dynamics.

In this article (in Sinhala) written in April 2017 and published in Desathiya magazine of November 2017, I I look around the Sinhala language blogosphere in Sri Lanka, and offer a few glimpses on how the myriad conversations are unfolding. In that process, I also try to demystify blogs — about which popular myths and misconceptions persist in Lankan society (some of them peddled by the mainstream media or uninformed mass media academics).

Sinhala language Blogging in Sri Lanka: An overview by Nalaka Gunawardene, Desathiya magazine, Nov 2017

නෙළුම්යාය සහෘද සමූහය සංවිධානය කළ හොඳම බ්ලොග් සඳහා සම්මාන පිරිනැමීමේ උළෙල තෙවන වරටත් 2017 මාර්තු 25 කොළඹදී පැවැත්වුණා. එහිදී මෙරට බ්ලොග් අවකාශය, පුරවැසි මාධ්‍යකරණය හා ඒ හරහා මතු වන අවස්ථා හා අභියෝග ගැන කතා කිරීමට මට ඇරැයුම් කොට තිබුණා.

2017 ඇරඹෙන විට මෙරට ජනගහනයෙන් 30%ක් පමණ දෙනා නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කළ බව රාජ්‍ය දත්ත තහවුරු කළා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. වෙබ්ගත වන ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයින් ලබන තොරතුරු ඔවුන් හරහා විශාල පිරිසකට සමාජගත වන නිසා.

මේ නිසා වෙබ් අවකාශයේ එක් සුවිශේෂී අන්තර්ගතයන් කොටසක් වන බ්ලොග් ගැන ටිකක් විමසා බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බ්ලොග් යනු තම අදහස් හා මතවාදයන් සෘජුවම වෙබ්ගත කිරීමයි. බ්ලොග් (blog) ඉංග්‍රීසි වදන සෑදී තිබෙන්නේ වෙබ් ලොග්  (web log) යන වදන් දෙක එකතු වීමෙන්. සරල අරුත නම් වෙබ් අවකාශයේ ලියන සටහන් යන්නයි. මේ වචනය බිහි වුණේ 1997දී වුවත් බ්ලොග් ලෙස සැලකිය හැකි වෙබ් ලියවිලි 1994 පටන් පැවතුණා.

බ්ලොග්වලට වචන, රූප, වීඩියෝ හෝ හඬ හෝ මේවායේ මිශ්‍රනයක් යොදා ගත හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ) හැකියාව ඕනැම වෙබ් පාඨකයකුට තිබීමයි. අන්තර්ක්‍රියාකාරී බවයි.

බ්ලොග් ලේඛනය පුරවැසි මාධ්‍යකරණයේ (Citizen Journalism) එක් පැතිකඩක්. පුරවැසි මාධ්‍යකරණය ගැන විවිධ අර්ථ දැක්වීම් හා විග‍්‍රහයන් තිබෙනවා. සරලතම විදියට කිවහොත් මාධ්‍ය ආයතනගතව, වැටුප් ලබමින් මාධ්‍යකරණයේ නියැලෙනවා වෙනුවට එම කාරිය ම නොමිලයේ, පොදු අවකාශයේ උද්යෝගයෙන් කරන අය පුරවැසි මාධ්‍යවේදීන්.

අපේ උරුමයේ කොටසක්

Nelum-Yaya logo

නව සන්නිවේදන තාක්‍ෂණ මෙවලම් ප‍්‍රචලිත හා ලාබදායක වීම නිසා රටේ හා ලෝකයේ තමන් අවට සිදු වන දේ ලිඛිතව හා රූප හරහා හසු කර ගනිමින් ‘සාක්‍ෂි දැරීමේ’ (bearing witness) හැකියාව අද බොහෝ දෙනකුට ලැබී තිබෙනවා. කැමරාවක් සහිත ජංගම දුරකථනයක් (smartphone) මෙයට සෑහෙනවා.

මේ හැකියාව ලැබී තවමත් දශක දෙකක්වත් ගත වී නැහැ. ඓතිහාසිකව මෙසේ සාක්‍ෂි දැරීමේ හා වාර්තා කිරීමේ හැකියාව තිබුණේ ආයතනගත මාධ්‍යවේදීන්ට පමණයි. ඒ සීමිත බලය හරහා ඔවුන්ට යම් ප‍්‍රතාපවත් බවක් හා අධිපති බවක් ද ආරෝපණය වූවා.

පුරවැසි මාධ්‍යකරුවන්ගේ ආගමනය හරහා ඒ යථාර්ථය උඩුකුරු වනවා. අධිපති මාධ්‍යවේදයේ සමහරුන් තමන්ගේ සමාජ තත්ත්වය දියාරු වීම හා නැතිවීම ගැන කැමැති නැහැ. ඔවුන් බ්ලොග් රචකයන් හෙළා දකින්නේ එනිසායි.

පුරවැසි මාධ්‍යකරණයේ එක් මූලික ලක්‍ෂණයක් වන්නේ කිසිදු අවසරයක්, පාලනයක් නැතිව කෙලින් ම අදහස් දැක්වීම. අප අද කාලේ එය ඉන්ටර්නෙට් හරහා කරන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත්ත ද එයට සංකල්පමය වශයෙන් දිගු ඉතිහාසයක් තිබෙනවා.

සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී/ලිපි ලිව්වේ අවසර ලබා ගෙන නොවෙයි. සීගිරි බිතු සිතුවම්වල සිටින අප්සරාවන් ගැන සියවස් ගණනක් පුරා එහි ගිය ඇතැම් දෙනා තමන්ගේ අදහස් හා හැගීම් එහි ලියා තිබෙනවා. සීගිරි කුරුටු ගී/ලිපි ලියූ හැම අයකු ම මීට සියවස් ගණනකට පෙර මෙරට විසූ පුරවැසි මාධ්‍යවේදීන්!

කාශ්‍යප රජු විසින් සීගිරිය රාජධානිය කර ගනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී. දැනට දන්නා පැරණි ම සීගිරි කුරුටු ගී 6 හා 7 වන සියවස්වලට අයත්. බහුතරයක් කුරුටු ගී 8, 9 හා 10 වන සියවස්වල ලියා ඇතැයි ද සුඵ සංඛ්‍යාවක් 11 සිට 13 වන සියවස් අතර කාලයේ ලියැවී ඇතැයි ද පුරා විද්‍යාඥයන් කියනවා.

සීගිරි කුරුටු ගී අසාමාන්‍යයි. කිසිවකුගේ අවසරයක්, අධීක්‍ෂණයක් හෝ අනුදැනුමක් නැතිව නිදහසේ අදහස් පළකොට තිබෙනවා. ඒ සඳහා ලියූ අයගේ තරාතිරම, උගත්කම බලපා නැහැ. (අකුරු ලිවීමේ/කෙටීමේ හැකියාව සීමාකාරී සාධකය වූ බව සැබෑවක්.)

සීගිරි කුරුටු ගී/ලිපි ලියූ අපේ ආදිතමයෝ පුරෝගාමී පුරවැසි මාධ්‍යවේදීන් ලෙස සැළකිය හැකිදැයි සන්නිවේදන විශෙෂඥ මහාචාර්ය රොහාන් සමරජීවගෙන් මා විමසුවා. ඔහු එයට එකඟ වුණා. හේතුව ඔවුන්ට ඉහළින් තීරණ ගන්නා කිසිදු කතුවරයකු හෝ අවසර දෙන්නකු නොසිටි නිසා.

Sigiriya Graffiti image courtesy – Kassapa’s Homage to Beauty by Siri Gunasinghe

නූතන පුරවැසි මාධ්‍යකරුවෝ

අද අප දන්නා ආකාරයෙන් වෙබ් අවකාශය (World Wide Web) නිපදවනු ලැබුවේ 1989දී. 1990 දශකය තුළ එය සෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. මුල් යුගයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට, සංශෝධනය හෝ යාවත්කාලීන කරන්නට පරිගණක ශිල්ප දැනුම ඉහළට දැන සිටීම  ඕනෑ වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1990 දශකය අගදී. බ්ලොග් ලිවීමට පරිගණක භාෂා දැනුම ඕනැ නැහැ. සාමාන්‍යයෙන් පරිගණකයක් හසුරුවන්නට හා යම් බසකින් ටයිප් කරන්නට දැන සිටීම ප්‍රමාණවත්. මේ සඳහා නොමිලේ වෙබ් ඉඩ ලබා දෙන සයිබර් වේදිකා බිහි වුණා (Blogger 1999; WordPress 2003).

අද බොහෝ පුවත්පත්වල අන්තර්ගතයට වඩා සාරගර්භ, සන්වාදශීලී අන්තර්ගතයන් බ්ලොග් අවකාශයේ හමු වන බව දිගු කාලීන නිරීක්ෂන මත මගේ වැටහීමයි.

බ්ලොග්කරණය හිතෙන හා ඉඩපාසු තිබෙන වෙලාවට ස්වේච්ඡාවෙන් කරන කාරියක්. එසේම බොහෝ විට බ්ලොග් රචකයන් ප්‍රසිද්ධිය සොයා නොයන, සමහරවිට ආරූඪ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරිහැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.

ශ්‍රී ලංකාවේ මේ වන විට බ්ලොග් ලේඛකයන් කීදෙනකු සිටිනවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. නෙළුම්යාය සංවිධායකයන්ගේ අනුමානය නිතිපතා සක්‍රිය සිංහල බ්ලොග් රචකයන් 400ක් පමණ සිටින බවයි. මගේ වැටහීමට අනුව නම් මෙරට භාවිත වන තිබසින් එකක් යොදා ගනිමින් බ්ලොග් පවත්වාගෙන යන දහසකට වැඩි දෙනකු සිටින බවයි.

මේ සමහරුන් සංඛ්‍යාත්මකව කුඩා පාඨක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අතර කැපී පෙනෙන බ්ලොග් අඩවිවලට දිනකට දහස් ගණනක් පාඨකයන් පැමිණෙනවා. අඩුවෙන් විකිණෙන දිනපතා පත්තරවලට වඩා පාඨක පිරිසක් නිතිපතා කියවන ජනප්‍රිය බ්ලොග් ලේඛකයන් කීප දෙනකු දැන් සිටිනවා. එවැනි බ්ලොග් රචනා සමහරකට දුසිම් ගණන් ප්‍රතිචාර ලැබෙන අතර බොහෝ විට මුල් රචනයට වඩා දිගු පාඨක සංවාද හා විසංවාද දිග හැරෙනවා.

පුරවැසි මාධ්‍යවේදීන් ආධුනිකයන් ද? සමහර ආයතනගත මාධ්‍යවේදීන් තමන් වෘත්තිකයන් බවත්, එතැනට පැමිණීමට පුහුණුවක් හා අභ්‍යාසයක් කලක් ප‍්‍රගුණ කළ බවත් කියමින් පුරවැසි මාධ්‍යවේදීන් හෑල්ලූ කරන්නට තැත් කරනවා. එහෙත් අද වන විට මේ ආධුනික/වෘත්තික බෙදුම බොඳ වී ගිහින්.

2016 හොඳම දේශපාලය බ්ලොග් ලිපිය ලියූ තරිඳු උඩුවරගෙදර, නාලක ගුණවර්ධන අතින් සම්මානය ලබා ගනී

 බ්ලොග් අවකාශයේ විචිත්‍රත්වය

 බ්ලොග් ලේඛකයන් විවිධ සමාජ, අධ්‍යාපනික හා වෘත්තීය පසුබිම්වලින් මතුවනවා. ඔවුන් අතර විවිධත්වය ඉහළයි. පාසල් හා සරසවි සිසුන්, ගුරුවරුන්,  රාජ්‍ය පරිපාලන නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතිවේදීන් හා විශ්‍රාමිකන් ඒ අතර සිටිනවා. ඇතැම් වෘත්තීය මාධ්‍යවේදීන් ද තමන්ට නිල වශයෙන් කීමට නොහැකි දේ පවසන්නට බ්ලොග් කරනවා. මා 2007දී බ්ලොග් ලිවීම  ඇරඹුවේ එම අරමුණින්.

බහුතරයක් අපේ බ්ලොග් ලේඛකයන් ලියන්නේ තම සැබෑ නමින්. එහෙත් ආරූඪ නමින් ලියන අයද සිටිනවා. එයට හේතු තිබෙනවා (උදා: රාජ්‍ය සේවකයන්ට හා තවත් සමහර වෘත්තිකයන්ට රැකියාවෙන් පනවා ඇති සීමා නිසා).

ආරූඪ නමින් ලිවීම ඕනැම ලේඛකයකුට ඇති අයිතියක්. මාර්ටින් වික්‍රමසිංහ හා ඩී බී ධනපාල වැනි දැවැන්තයොත් එසේ කර තිබෙනවා.

නමුත් වෙබ්ගතව අදහස් පළ කරන අයටද රටේ නීති අදාලයි. සාවද්‍ය හා ද්වේශසහගතව යමක් ලිව්වොත් අපහාස නීතිය යටතේ සිවිල් නඩුවක් පැවරිය හැකියි. ආරූඪනම්වලට මුවා වී අභූත චෝදනා හෝ බොරු පතුරවන්නට බැහැ.

බ්ලොග් අවකාශයේ ඉතා හරබර තොරතුරු හා සංවාද රැසක් නිරතුරුව දිග හැරෙනවා. කාලීන සමාජ, ආර්ථික හා දේශපාලනික මාතෘකා ගැන නව මානයන්ගෙන්, නිදහස් හා හරවත් අදහස් රැසක් පළ කැරෙනවා. එයට අමතරව ගද්‍ය හා පද්‍ය ක්ෂේත්‍ර දෙකෙහිම නව නිර්මාණ ලියැවෙනවා. බොහෝ බ්ලොග් වචනවලට සීමා වුවත් සමහරක් බ්ලොග්වල මුල තැන ලැබෙන්නේ ඡායාරූප, කාටූන්, මල්ටිමීඩියා (බහුමාධ්‍ය) නිර්මාණවලටයි.

බ්ලොග් ලේඛකයන් ලියන්නේ ආත්ම තෘප්තියට. එහෙත් ස්වේච්ඡාවෙන් බ්ලොග්කරණ‍යේ නියැලෙන්නන් ගැන සමාජයේ ඇතැම් දුර්මත තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ආධාර බලාපොරොත්තුවෙන් හෝ වාණිජ පරමාර්ථ ඉටු කර ගැනීමේ අරමුණින් යුතුව බ්ලොග්කරණයේ නියැලෙන බවට ඇතැම් පිරිස් විසින් චෝදනා නැගුව ද එම චෝදනාවලට කිසිදු පදනමක් නැහැ.

මෙවර නෙළුම්යාය සම්මාන දිනූ ලේඛකයන් පරාසය දෙස බැලූ විට බ්ලොග් අවකාශයේ විචිත්‍රත්වය පෙනනවා. හොඳම බ්ලොග් රචකයා සඳහා ප්‍රථම ස්ථානය දිනා ගත්තේ නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දුයි. රැකියාවට විදෙස්ගතව සිටින රවි වැනි බ්ලොග් ලේඛකයන් රැසක් සිටිනවා.

දෙවන ස්ථානය දිනූ “සොඳුරු සිත” බ්ලොගය ලියන්නේ මාතර රජයේ පාසලක උද්‍යෝගිමත් විද්‍යා ගුරුවරියක් වන වත්සලා. පන්තිකාමරයේ, පාසලේ හා ගමේ සිදුවීම් සංවේදී හා චමත්කාර ලෙසින් හසු කර ගන්න ඇය සමත්.

තෙවන ස්ථානය දිනූ “ඉකොනොමැට්ටාගේ බොජුන්හල” බ්ලොගය ලියන ඉකොනොමැට්ටා, දත්ත හා කරුණු මනා ලෙස භාවිත කරමින් බොහෝ තත්කලීන දේ විග්‍රහ කරන්නෙක්. නව දැනුම උකහා ගෙන රසවත්ව බෙදා ගන්නෙක්.

හතරවන ස්ථානය දිනූ “Transylvania” ද්විභාෂික බ්ලොගය ලියන කැනඩාවේ නිවැසි වෛද්‍ය රුවන් එම්. ජයතුංග, මනෝචිකිත්සාව පිළිමඳ විශේෂඥයෙක්. මෙරට ප්‍රබන්ධ සාහිත්‍යයේ චරිත හා දේශපාලන චරිත මනෝවිශ්ලේෂන කෝණයෙන් විද්වත්ව විග්‍රහ කරන්නට සමතෙක්.

බ්ලොග් සම්මාන දිනූ ලේඛකයන් අතර උතුරේ රජයේ රෝහල්වල යුද්ධ කාලයේත් ඉන් පසුවත් සේවය කළ වෛද්‍ය බෝධිනී සමරතුංග ද වනවා. “අනිත් කොන” බ්ලොගය හරහා බෙදා ගැනෙන ඇගේ අත්දැකීම් අනුවේදනීයයි. ඇගේ දැක්ම මානව හිතවාදීයි.

2016 වසරේ හොඳම ඉංග්‍රීසි බ්ලොගය සඳහා සම්මාන දිනූ සුභා විජේසිරිවර්ධන, මෙරට සිටින ඉතා කුසලතා සම්පන්න තරුණ සමාජ ක්‍රියාකාරිනියක්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන අලුත් විදියට සිතන හා ලියන ලේඛිකාවක්.

නෙළුම්යාය (http://nelumyaya.com) සංස්කාරක හා ‘කොළඹ ගමයා’ නමින් බ්ලොග් ලියන අජිත් ධර්මකීර්ති කියන්නේ මෑත වසරවල සිංහල බ්ලොග් අවකාශය විවිධත්වයෙන් හා සහභාගිත්වයෙන් බෙහෙවින් පුළුල් වී ඇති බවයි. නව පන්නයේ නිර්මාණාත්මක සාහිත්‍යයක් දැන් බ්ලොග් හරහා මතු වී තිබෙනවා.

සම්මාන දුන් නිමිති දෙස බලන විටද මෙය පැහැදිලියි: අතීතකාම, ඉතිහාසය, කෙටිකථා, පරිවර්තන, ප්‍රහසන, නවකතා, විද්‍යා ප්‍රබන්ධ, විද්‍යා හා තාක්ෂණ, සංගීතය, සංචාරක හා ඡායාරූප, සාහිත්‍ය කලා විචාර ආදිය ඒ අතර වනවා. ඉස්සර පත්තරවලින් මතු වූ නවක ලේඛකයෝ දැන් බ්ලොග් අවකාශයෙන් මතු වනවා. මේ නව යථාර්තය වියපත් කතුවරුන් හෝ පණ්ඩිතයන් දකින්නේ නැහැ.

Among leading Sri Lankan bloggers – L to R Subha Wijesiriwardena, Ajith Perakum Jayasinghe, Dr Ruwan M Jayatunge

බ්ලොග් උපසංස්කෘතියක්

බොහෝ බ්ලොග් රචකයන් ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවල පිළිගැනීම හෝ ආවරණය පතන්නේ ද නැහැ. බ්ලොග් යනු උප සංස්කෘතියක්. එයටම ආවේණික ජවයක් හා ගතිගණ සමුදායක් එහි තිබෙනවා. එහෙත් එන්න එන්නම රසබර හා හරබර අන්තර්ගතය වැඩියෙන් බිහි වන බ්ලොග් අවකාශය වැඩි ලාංකික පාඨක පිරිසක් වෙත ගෙන යා යුතු යැයි ධර්මකීර්ති මතු කරන තර්කයට මා එකඟයි.

බ්ලොග් අවකාශයට ඔබ මුල් වරට පිවිසෙන්නේ නම් එහි අගමුල හඳුනා ගැනීම තරමක අභියෝගයක්. හැම බ්ලොග් එකකම නිතිපතා අලූත් රචනයක් හෝ එකතු කිරීමක් සිදු වන්නේ නැහැ. අලුතින් බ්ලොග් රචනයක් හෙවත් පෝස්ටුවක් එකතු වූ බ්ලොග් ලැයිස්තු ගත කරමින් ගතික ලෙස නිරතුරු යාවත්කාලීන වන මාර්ගෝපදේශක වෙබ් අඩි තිබෙනවා. මේවාට බ්ලොග් කියවනයන් (blog syndicators, blog aggregators) යයි කියනවා.

ලාංකික බ්ලොග් කියවනයක් මුලින්ම බිහි වූයේ 2005 අප්‍රේල් මාසයේ. කොත්තු (www.kottu.org) නම් වන එහි ස්වයංක්‍රීයව අලුත්ම බ්ලොග් පෝස්ටුවල හෙඩිම හා මුල් වැකිය පෙන්වනවා. කැමැති අයට එතැනින් ක්ලික් කොට මුලු බ්ලොග් එකම කියැවීමට යා හැකියි. මීට අමතරව දැන් සතුටු වැස්ස, ලාංකීය සිතුවිලි, ටොප් සිංහල බ්ලොග් වැනි කියවනයන් කිහිපයක් තිබෙනවා. මේ එකක්වත් සියලු ලාංකික හෝ සිංහල බ්ලොග් ආවරණය නොකළත් අලුත් බ්ලොග් නිර්මාණ ගැන ඉක්මනින් දැන ගැනීමට මෙවැන්නකට පිවිසීම ප්‍රයෝජනවත්.

තනි පුද්ගලයන් පවත්වාගෙන යන බ්ලොග්වලට අමතරව සමූහයකගේ ලියවිලි හා වෙනත් නිර්මාණ පළකරන, බ්ලොග් ද තිබෙනවා. කලා-සංස්කෘතික හා දේශපාලනික ප්‍රශ්න විචාරයට ලක් කරන බූන්දි අඩවියත් (www.boondi.lk), කාලීන සමාජ හා දේශපාලන සංවාදයන්ට වේදිකාවක් සපයන විකල්ප අඩවියත් (www.vikalpa.org) කැපී පෙනෙන උදාහරණයි.

සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රබල භූමිකාවක් හිමි කර ගත්, W3Lanka නමින් ද්විභාෂික බ්ලොග් අඩවියක් කරන, අජිත් පැරකුම් ජයසිංහ කියන්නේ අපේ බ්ලොග්කරණය තවමත් මූලික අදියරයක පවතින බවයි. තව යා හැකි හා යා යුතු දුර බොහෝයි.

Among leading Lankan bloggers in Sinhala – L to R – Ajith Dharmakeerthi, Dr Bodhini Samaratunga, Priyantha Hewage alias Maathalan

ලාංකික බ්ලොග් අවකාශය  වසරක් පාසා පුළුල්වෙමින් ඇතත් බ්ලොග් ලේඛකයන්ට සමාජ පිළිගැනීමක් තවමත් බිහි වී නැහැ. ඔවුන්ට ‘බ්ලොග්කාරයෝ’ යැයි කීම හරහාම යම් අවතක්සේරුවක් සිදු වනවා. එකම ලිපිය පත්තරයක, සඟරාවක පළ වූ විට ලැබෙන සමාජ ප්‍රතිචාරය එය බ්ලොග් එකක පළවූ විට තවමත් ලැබෙන්නේ නැහැ.

මෙයට එක් හේතුවක් නම් බොහෝ දෙනකු බ්ලොග් ගැන නොදැනීම හෝ වෙනත් වෙබ් ප්‍රකාශන සමග බ්ලොග් පටලවා ගැනීමයි. 2015 නෙළුම්යාය සම්මාන උළෙලේදී  මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කීවේ මෙරට ප්‍රධාන ප්‍රවාහයේ සමහර පුවත්පත් කර්තෘවරුන් බ්ලොග් ගැන අසාවත් නැති බවයි.

ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බ්ලොග් ලේඛකයන් දෙදෙනාගෙන් එක් අයෙක් (අනෙක් බ්ලොග් ලේඛක මන්ත්‍රීවරයා බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා.). ‘බ්ලොග් ලිවීම රස්තියාදුකාර වැඩක්. එය ඔබේ වෘත්තීය තත්ත්වයට ගැළපෙන්නේ නැහැ’ යයි ‘සතර දිගන්තය’ නමින් බ්ලොගයක් ලියන පරණවිතානයන්ට ඇතැම් සහෘදයන් අවවාද කොට තිබෙනවා!

බ්ලොග් අවකාශයේ හිමිකරුවන්, දොරටු පාලකයන් හෝ වෙනත් අධිපතියන් නැහැ. බෙහෙවින් අධිපතිවාදී අපේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවලට බ්ලොග් නොපෑහෙන්නේත් ඒ නිසා විය හැකියි. ඔඩොක්කු මාධ්‍යවේදීන් බහුල අධිපති මාධ්‍යවලට වඩා ජනතාවාදී සමාජ හිතකාමී මෙහෙවරක් අද සමහර ප්‍රමුඛ බ්ලොග් ලේඛක ලේඛිකාවන් ඉටු කරනවා. 2015 ජනාධිපතිවරණ සමයේදී අප මෙය දුටුවා.

Desathiya Nov 2017 issue: Are we ready for new media?

හොඳ උදාහරණයක් නම් 2014 වසරේ හොඳම සිංහල බ්ලොග් ලේඛකයා ලෙස පිදුම් ලද මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ. ඔහුටම ආවේණික පොදු ජන වහරක් යොදා ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික මාතෘකා ගැන ගැඹුරු එහෙත් පණ්ඩිත නොවූ විග්‍රහයන් ඔහු ලියනවා. විටෙක හාස්‍යය හා උපහාසයත්, තවත් විටෙක ශෝකය හා වික්ෂිප්ත බවත් ඔහුගේ බ්ලොග් රචනා තුළ හමු වනවා. යථාර්ථය උඩුකුරු යටිකුරු වූ වත්මන් ලක් සමාජය එහි සාමාන්‍ය මිනිසුන්ට ග්‍රහණය වන සැටි ගැන එය කැඩපතක්.

මේ කෙටි විග්‍රහයේ උදාහරණ ලෙස දැක්විය හැකි වූයේ බ්ලොග් කිහිපයක් පමණයි. බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නේ මෙයයි: ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරිසරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත්‍රත්වය හා ගතිසොබා හඳුනා ගන්න. ප්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමනවලට එළැඹෙන්න.

එසේම පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි සමග බ්ලොග් අඩවි පටලවා නොගන්න. හොඳ පත්තර හා කැලෑ පත්තර අතර වෙනස මෙන් වෙබ් අවකාශයේද හැම ආකාරයේම ප්‍රකාශන ඇති බව සිහි තබා ගන්න.

 

සිවුමංසල කොලූගැටයා #273: තොරතුරු නීතිය සඳහා අරගලයේ පුරෝගාමියෝ හා නියමුවෝ

Parliament of Sri Lanka - Photo by Kolitha de Silva, from Wikimedia Commons
Parliament of Sri Lanka – Photo by Kolitha de Silva, from Wikimedia Commons

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy.

In this week’s Ravaya column (appearing in the print issue of 3 July 2016), I recall the key pioneers, promoters and enablers. The long journey deserves greater documentation and analysis, but I hope this quick tribute initiates such chronicling.

See also earlier columns related to RTI:

26 June 2016:  සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

22 November 2015: සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

දශක දෙකට වැඩි කලක් ගෙන ගිය බුද්ධිමය හා දේශපාලනමය අරගලයක ප්‍රතිඵලයක් ලෙස තොරතුරු දැන ගැනීම පිළිබඳ නීතිය (RTI Law) 2016 ජුනි 24දා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වූවා.

ඒ සමග තොරතුරු නීතියක් හඳුන්වා දෙන ලෝකයේ 108 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා.

මෙය යහපාලන රජයේ පොරොන්දුවක් ඉටු කිරීමක්. එමෙන්ම 2015 අප්‍රේල් මාසයේ 19 වන සංශෝධනයෙන් ව්‍යවස්ථාවට එක් කරන ලද තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමක්.

මේ මොහොතේ අප වැඩි අවධානය යොමු කළ යුත්තේ දිනා ගත් තොරතුරු අයිතිය තහවුරු කිරීමට හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටයි. එසේ ඉදිරිය දෙස බලන අතර අප මෙතෙක් ආ ගමන දෙස හැරී බැලීම ද වටිනවා.

තොරතුරු අයිතිය දිනා ගන්නට විවිධාකාරයෙන් දායක වූ සියලු දෙනාට ලක් සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුයි. අද මා තැත් කරන්නේ එයින් ප්‍රමුඛයන් කිහිප දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර අගය කිරීමටයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය පිළිබඳ සංවාදයේ හා ක්‍රියාවලියේ පිය සටහන් කෙටියෙන් වුවද ලේඛනගත කිරීමේ හොඳ උත්සාහයක් විකල්ප වෙබ් අඩවිය ගෙන තිබෙනවා. බලන්න: http://www.vikalpa.org/?p=27152

එයට අනුව මේ උත්සාහය ඇරඹුණේ 1994දී. 1994 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණට සහාය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන කිහිපයක් කළ ඉල්ලීම්වලට අනුව එවකට මාධ්‍ය (තොරතුරු), සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක ‘ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්ති’ ගැන කැබිනට් පත්‍රිකාවක් 1994 පිළියෙළ කළා.

විකල්ප වෙබ් අඩවිය කියන්නේ එහි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළි ගන්නා බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණය ලබා දෙන බවත් සඳහන් වූ බවයි. තොරතුරු අයිතියට දේශපාලන මට්ටමේ ප්‍රතිඥාවක් මෙරට ලැබුණු මුල් වතාව එයයි.

මා දන්නා තරමට තොරතුරු අයිතිය මෙරට නිල ලේඛනයක මුල්වරට යෝජනා කරනු ලැබුවේ 1996 මැයි මාසයේ. ඒ මාධ්‍ය නිදහස හා භාෂණ නිදහසට බලපාන නීති සංශෝධනය කිරීම ගැන උපදෙස් දීමට පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාවෙයි.

එම කමිටුව ප්‍රවීණ නීතිඥ ආර්. කේ. ඩබ්ලියු. ගුණසේකරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ නිසා වඩාත් ප්‍රකටව ඇත්තේ ගුණසේකර කමිටුව ලෙසයි. එහි සෙසු සාමාජිකයන් වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය රොහාන් එද්රිසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ලූෂන් රාජකරුණානායක, ජාවඩ් යුසූෆ්, වික්ටර් ගුණවර්ධන හා සූරියා වික්‍රමසිංහයි.

භාෂණ නිදහසට ව්‍යවස්ථාමය සහතික වීම් නමැති දෙවන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වුණා. (ඉංග්‍රීසි මුල් කෘතියෙන් පරිවර්තනය මගෙන්): ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තොරතුරු දැන ගැනීමේ අයිතිය නිශ්චිත වශයෙන් සඳහන් කර නැතත්, එහි භාෂණ නිදහස පිළිබඳ අයිතීන් විග්‍රහ කරද්දී අධිකරණය එයට තොරතුරු නිදහසද අඩංගු වන බව නිර්ණය කර තිබේ. එසේ වුවද තොරතුරු අයිතිය වඩාත් විස්තරාත්මකව නීතිගත කිරීම වැදගත් හා අවශ්‍ය යයි අපි අදහස් කරමු. (1980දී ශ්‍රී ලංකාව අපරානුමත කොට ඇති) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ තොරතුරු අයිතිය විග්‍රහ කර ඇත්තේ ඕනෑම මාධ්‍යයක් හරහා තොරතුරු ඉල්ලීමට, ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියක් ලෙසයි. හැකි තාක් සීමා කිරීම්වලින් තොරව මෙම අයිතිය ලබා දිය යුතුය.’

අවාසනාවකට ගුණසේකර කමිටු වාර්තාවේ බොහෝ වැදගත් නිර්දේශ අඩංගු වුවත් එයින් බහුතරයක් ක්‍රියාත්මක වූයේ නැහැ. එයට අවශ්‍ය දේශපාලන කැපවීම හීන වී ගිය නිසා විය යුතුයි.

2014 නොවැම්බරයේ ගුණසේකරයන් වියෝ වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ මෙහෙවර ඉහළින් අගය කළා. ‘අද දක්වාත් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳ මූලිකම හා වැදගත්ම ලේඛනය වන්නේ 1996 නිකුත් වූ ගුණසේකර කමිටු වාර්තාවයි.’ එහි සඳහන් වුණා.

තොරතුරු අයිතිය දිනා ගන්නට වසර 20ක් පුරා පෙරමුණු කිහිපයක බුද්ධිමය අරගලයක් හා උත්සාහයන් සිදු වුණා. සැමදෙනා අතර සැම විට සම්බන්ධීකරණයක් නොතිබුණත්, පොදු අරමුණක් ලෙස තොරතුරු අයිතිය නීතිමය වශයෙන් පිළිගැනීම වෙනුවෙන් ඔවුන් කැපවී සිටියා.

No more with us: L to R - Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne
No more with us: L to R – Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne

මා ඔවුන් කාණ්ඩ කිහිපයකට බෙදා හඳුනා ගන්නවා.

  1. ප්‍රගතිශීලී නීතිඥයන් හා විනිසුරුවරුන්

තොරතුරු අයිතියට අදාළ ප්‍රඥාන්විත නඩු තීන්දු ලබා දීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු (1941-2009) වැදගත් භූමිකාවක් ඉටු කළා. මෙරට භාෂණ නිදහස හා නීතිය ගැන කළ විග්‍රහයක ආචාර්ය අසංග වැලිකල ගිය වසරේ සිහිපත් කළේ විමල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව :1996- නම් මූලික අයිතිවාසිකම් නඩුවේදී ප්‍රනාන්දු විනිසුරුවරයා දුන් තීන්දුවයි.

භාෂණ නිදහස තුළ තොරතුරු ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියද ගැබ්ව තිබෙන බවට මේ තීන්දුව තර්ක කළා. එහෙත් නඩු තීන්දු හා නඩු වාර්තා පමණක් මානව අයිතීන් තහවුරු කිරීමට නොසෑහෙන බව වැලිකල පෙන්වා දෙනවා. මන්ද සෑම විනිසුරුවරයාම ලිබරල් දැක්මකින් නීති විග්‍රහ නොකරන නිසා.

තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් හා එයටම වෙන් වූ පනතක් ලෙස නීතිගත වීම අවශ්‍ය වූයේ එබැවින්. තොරතුරු අයිතිය වෙනුවෙන් විවිධ අවස්ථාවල මතවාදීව පෙනී සිටි නීතිවේදීන් අතර ජයන්ත ද අල්මේදා ගුණරත්න, එස්.ජී. පුංචිහේවා, ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු, ක්‍රිෂාන්ත වැලිඅමුණ, ජගත් ලියනආරච්චි හා කේ. ඩබ්ලිව්. ජනරංජන සිටිනවා.

ගුණසේකර කමිටුවේ සාමාජිකයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, 2015දී තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ සභාපතිවරයා වුණා. විසි වසරකට පසුව හෝ එම කමිටු නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඔහුට නායකත්වය දීමට හැකිවීම සුවිශේෂ සිද්ධියක්.

  1. මාධ්‍යවේදීන් හා කතුවරුන්

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට පමණක් නොව සමස්ත සමාජයටම එක ලෙස උපකාර වන්නක්. එහෙත් එහි වැදගත්කම කල් තබා හඳුනා ගත් පුරෝගාමීන් අතර මාධ්‍යවේදීන් ගණනාවක්ම සිටියා.

මෙරට සිටි ප්‍රවීණතම ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ වික්ටර් ගුණවර්ධන (1927-2002) ගුණසේකර කමිටුවේ සාමාජිකයකු ද වූවා. පැරණි සන්ඩේ ටයිම්ස් පත්‍රයේ කතුවරයාව සිට පසුව මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ ඔහුට මාධ්‍ය නීතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණා. තොරතුරු නීතිය මෙරටට අවශ්‍ය හා වැදගත් ඇයිද යන්න ගැන පොදු අවකාශයේ මුලින්ම හඬ නැගූවන් අතර ඔහු සිටියා.

ගුණසේකර කමිටුවේ සිටි අනෙක් මාධ්‍යවේදියා ලූෂන් රාජකරුණානායක. තීරු ලිපි රචකයකු ලෙස තවමත් සක්‍රීය ඔහු මුල් යුගයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේද මූලිකයෙක් වුණා.

සමහර මාධ්‍යවේදීන් තම මාධ්‍ය හරහා තොරතුරු  අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටියා. සන්ඩේ ටයිම්ස් වත්මන් කර්තෘ සිංහ රත්නතුංග එයින් එක් අයෙක්. ඔහු මාධ්‍ය නිදහස හා සමාජයීය වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ (1998) ද මූලිකයෙක්.

ඔහුගේ තවත් දායකත්වයක් නම් මානව හිමිකම් පිළිබඳ තීරු ලිපියකට දිගු කලක් තිස්සේ තම පත්‍රයේ ඉඩ දීමයි. එය ලියන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන දශක දෙකක් පුරා තොරතුරු අයිතිය ප්‍රවර්ධනය කළ අයෙක්. සම්මත වූ තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමට ද ඇය දායක වූවා.

තොරතුරු අයිතියට දැඩි අවධානය යොමු කළ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු නම් රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන්. රටේ දැනටමත් පවතින වත්කම් හා බැරකම් නීතිය හරහා පොදු උන්නතියට අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකි බවත්, එහෙත් එය ලැබීමට නිලධාරිවාදී බාධා මතු වන බවත් ඔහු බොහෝ අවස්ථාවල පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය හා ශාස්ත්‍රීය මූලාශ්‍රවලින් ගවේෂණාත්මක ලෙස තොරතුරු සොයා ගෙන, සමාජ-ආර්ථීක-දේශපාලනික ප්‍රශ්න ගැන කාලීන විග්‍රහයන් කිරීමේ පූර්වාදර්ශ රැසක් වික්ටර් අයිවන් අපට ලබා දෙනවා.

මාධ්‍ය නිදහස සඳහා සක්‍රීයව පෙනී සිටින මාධ්‍ය සංවිධාන අතර තොරතුරු නීතිය කලක් තිස්සේ ප්‍රමුඛතාවක් වී පැවතියා. එම උද්ඝෝෂණවලට නායකත්වය දුන් හා සහභාගි වූ සැම නමින් සඳහන් කිරීමට මෙහි ඉඩක් නැහැ. එහෙත් ප්‍රබලව හා දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටි වරුණ කරුණාතිලක, සුනන්ද දේශප්‍රිය, ශාන් විජේතුංග, රංග කලන්සූරිය ආදීන් අප සිහිපත් කළ යුතුයි.

නව මාධ්‍ය හරහා තොරතුරු අයිතිය ගැන මෑත වසරවල හඬ නැංවූවන් අතර සම්පත් සමරකෝන්, සජීව විජේවීර හා සංජන හත්තොටුව සිටිනවා.

L to R - Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Sarawanamuttu
L to R – Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Saravanamuttu
  1. පර්යේෂකයන් හා බුද්ධිමතුන්

තොරතුරු අයිතිය සඳහා නීතිවේදීන් හා මාධ්‍යවේදීන් ගෙන ගිය දිගු අරගලයට සරසවි ඇදුරන් හා සරසවිවලින් බැහැර පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් ගණනාවකගේ ද දායකත්වය ලැබුණා.

මාධ්‍ය පර්යේෂක තිලක් ජයරත්න (1943-2012) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වනවා. රාජ්‍ය මාධ්‍යයක් (ගුවන් විදුලි සංස්ථාව) හරහා ජනතාවට තොරතුරු ලබා දීමට හැකි තාක් උත්සාහ ගත් ඔහු පසු කලෙක මාධ්‍ය ප්‍රතිසංස්කරණවල මූලික අවශ්‍යතාව ගැන පුළුල්ව ලිපි ලේඛන රචනා කළා. ඔහු තොරතුරු අයිතිය දුටුවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණවල එක් පියවරක් ලෙසයි.

නීති ක්ෂේත්‍රයේ පර්යේෂකයන් ලෙස ආචාර්ය රොහාන් එද්රිසිංහ හා ආචාර්ය අසංග වැලිකල තොරතුරු නීති සම්පාදනයට හා ප්‍රවර්ධනයට බෙහෙවින් දායක වුණා. දේශපාලන විද්‍යාඥ හා මානව හිමිකම් ක්‍රියාකාරික ආචාර්ය පාකියසෝති සරවනමුත්තු හා සන්නිවේදන සංවර්ධනය සඳහා යුනෙස්කෝවේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් ක්‍රියා කළ විජයානන්ද ජයවීර තොරතුරු නීති සංවාදවල වැදගත් භූමිකාවක් තවමත් ඉටු කරනවා.

සන්නිවේදන විශේෂඥ හා නව මාධ්‍ය පර්යේෂක මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥයකු ද වනවා. ඔහු තොරතුරු නීති කෙටුම්පත් විචාරයට ලක් කරන අතර නව සන්නිවේදන තාක්ෂණයන් හරහා තොරතුරු අයිතිය වඩාත් තහවුරු කර ගන්නා ක්‍රමවේද ගැන අප දැනුවත් කරනවා.

වෙරිටේ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගිහාන් ගුණතිලක මෑත වසරවල තොරතුරු අයිතිය විග්‍රහ කරමින් මෙරට පළවූ හොඳම අත්පොතක කතුවරයායි. තොරතුරු අයිතියේ ඉතිහාසය හා සංකල්පීය පරාසය ඔහු හොඳින් පහදා දෙනවා. http://unesdoc.unesco.org/images/0024/002441/244113E.pdf

තොරතුරු අයිතියේ සංවාදයට බුද්ධිමය තලයක කොටුවීමට ඉඩ නොදී එය සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා සමාජගත කළ කිහිප දෙනෙක්ද සිටිනවා. පුරවැසි බලය ප්‍රකාශකයකු වන ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ හා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් සූරියා වික්‍රමසිංහ ඒ අතර කැපී පෙනෙනවා.

L to R - Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan
L to R – Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan

4. දේශපාලකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ

අවසන් වශයෙන් තොරතුරු නීතිය සැබෑ කර ගැනීමට දේශපාලනමය කැප වීම තීරණාත්මකව බලපෑවා.

2001-2004 රජය යටතේ තොරතුරු නීතියක් කෙටුම්පත් කොට එයට කැබිනට් අනුමැතියද ලැබ තිබුණා. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එම 2003 කෙටුම්පතට නායකත්වය දුන්නේ එවකට හා දැන් යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

ඉනික්බිති එළැඹි 2005-2014 අඳුරු දශකය තුළ තොරතුරු නීතියක් ගෙන ඒමට උත්සාහයන් කිහිපයක් කෙරුණා. 2010දී එවකට අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ ගත් උත්සාහයත්, 2010 සැප්තැම්බර් හා යළිත් 2011 ජුනි මාසයේ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා (දැන් කතානායක) ගත් උත්සාහයත් පසුගිය රජය විසින් ව්‍යර්ථ කරනු ලැබුවා.

මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන 2016 ජුනි 24 වනදා සම්මත කර ගත් තොරතුරු නීතිය දශක දෙකකට වැඩි කලක් එම සංකල්පය වෙනුවෙන් පෙනී සිටි සැමගේ සාමූහික ජයග්‍රහණයක්.

දැන් අභියෝගය නම් එය රැක ගනිමින් මනාව ක්‍රියාත්මක කිරීමයිග තොරතුරු අයිතිය සවිමත් වන්නේ පුරවැසි අප එය භාවිත කරන තරමටයි!

සිවුමංසල කොලූගැටයා #215: සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ

Nelum Yaya bloggers award ceremony 2014
Nelum Yaya bloggers award ceremony 2014

April 2015 marks 20 years of commercial Internet connectivity in Sri Lanka. Nearly a quarter of our 21 million population is estimated to get online, most of them using mobile devices.

Blogging — as an activity of self-expression using the web – is being pursued by a few thousand people, and many thousands more participate as readers or discussants. Some blogs offer serious political and social commentary, while others have become platforms for nurturing new talent in prose, verse, photography, videography or graphic art. Bloggers fit into a larger new media ‘ecosystem’ called citizen journalism, which is constantly evolving. Although not well studied by media researchers, this phenomenon is now a part of our public sphere.

In this week’s Ravaya column (in Sinhala, published in issue of 12 April 2015), I report on the winners and speeches of the recently held Nelum Yaya blog awards ceremony that recognized outstanding Sinhala language bloggers of 2014.

See also:

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards
Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards

නෙළුම්යාය සහෘද සමූහය සංවිධානය කළ 2014 හොඳම සිංහල බ්ලොග් සඳහා සම්මාන පිරිනැමීමේ උළෙල මාර්තු 26 වැනිදා මාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත් වුණා. එහිදී මෙරට බ්ලොග් අවකාශය, පුරවැසි මාධ්‍යකරණය හා ඒ හරහා මතු වන අභියෝග ගැන කතා කිරීමට මටද ඇරැුයුම් කොට තිබුණා.

මෙරටට වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා හඳුන්වා දුන්නේ 1995 අපේ‍්‍රල් මාසයේ. එයට විසි වසරක් පිරෙන මේ වන විට මෙරට ජනගහනයෙන් 22%ක් පමණ නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරනවා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. මේ නිසා වෙබ් අවකාශයේ එක් සුවිශේෂී අන්තර්ගත කොටසක් වන බ්ලොග් ගැන ටිකක් විමසා බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බ්ලොග් (blog) ඉංග‍්‍රීසි වදන සෑදී තිබෙන්නේ වෙබ් ලොග් (web log) යන වදන් දෙක එකතු වීමෙන්. සරල අරුත නම් වෙබ් අවකාශයේ ලියන සටහන් යන්නයි. මේ වචනය බිහි වුණේ 1997දී වුවත් බ්ලොග් ලෙස සැලකිය හැකි වෙබ් ලියවිලි 1994 පටන් පැවතුණා.

වෙබ් අවකාශය අද අප දන්නා ආකාරයෙන් (World Wide Web) නිපදවනු ලැබුවේ 1989දී. 1990 දශකය තුළ එය සෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. මුල් යුගයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට, සංශෝධනය හෝ යාවත්කාලීන කරන්නට පරිගණක ශිල්ප දැනුම ඉහළට දැන සිටීම ඕනෑ වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1990 දශකය අගදී බ්ලොග් ලිවීම පහසු වන, නොමිලේ වෙබ් ඉඩ ලබා දෙන සයිබර් වේදිකා බිහිවීමෙන් පසුවයි (Blogger 1999; WordPress 2003). වෙබ් අඩවි තැනීමට අවශ්‍ය කිසිදු HTML ශිල්ප දැනුමක් නැති මා වැනි අයටත් විනාඩි කිහිපයක් ඇතුළත අලූත් යමක් ලියා වෙබ් අවකාශයට එකතු කරන්නට හැකියාව ලැබුණේ එවිටයි.

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප‍්‍රකාශනයක්. එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ) අන්තර් ක‍්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡාවෙන් කරන කාරියක්. එසේම බොහෝ විට බ්ලොග් රචකයන් ප‍්‍රසිද්ධිය සොයා නොයන, සමහරවිට ආරූඪ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත‍්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරිහැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.

ශ‍්‍රී ලංකාවේ මේ වන විට බ්ලොග් රචකයන් – ලේඛකයන් කීදෙනකු සිටිනවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. නෙළුම්යාය සංවිධායකයන්ගේ අනුමානය සිංහල බ්ලොග් රචකයන් 300ක් පමණ සිටින බවයි.

මේ ක්ෂේත‍්‍රය කලක සිට සමීපව අධ්‍යයනය කරන මා මිත‍්‍ර චානුක වත්තේගම කියන්නේ මෙරට භාවිත වන තිබසින් එකක් යොදා ගනිමින් බ්ලොග් පවත්වාගෙන යන සිය ගණනක් (සමහර විට දහසකට වැඩි) දෙනා සිටින බවයි.

මේ සමහරුන් සංඛ්‍යාත්මකව ඉතා කුඩා පාඨක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අතර කැපී පෙනෙන බ්ලොග් අඩවිවලට දිනකට දහස් ගණනක් පාඨකයන් පැමිණෙනවා. එවැනි බ්ලොග් රචනා සමහරකට දුසිම් ගණන් ප‍්‍රතිචාර ලැබෙන අතර බොහෝ විට මුල් රචනයට වඩා දිගු පාඨක සංවාද හා විසංවාද දිග හැරෙනවා.

නෙළුම්යාය (http://nelumyaya.com) සංස්කාරක (හා ‘කොළඹ ගමයා’ නමින් බ්ලොග් ලියන) අජිත් ධර්මකීර්ති කියන්නේ මෑත වසරවල සිංහල බ්ලොග් අවකාශය විවිධත්වයෙන් හා සහභාගිත්වයෙන් වඩාත් පුළුල් වී ඇති බවයි. විවිධ මාතෘකා යටතේ දේශපාලන, සමාජයීය, ආර්ථික හා වෙනත් කාලීන විග‍්‍රහයන් බ්ලොග්වල නිතර පළ වනවා. එසේම නිර්මාණාත්මක සාහිත්‍යයක්ද දැන් බ්ලොග් හරහා මතුවී තිබෙනවා. කෙටිකතා, කවි, සංචාරක සටහන්, විහිළු කතා, හමුදා කතා මෙන්ම ඡායාරූප, කාටුන් හා කෙටි වීඩියෝ ද බ්ලොග් අවකාශයේ හමු වනවා.

Ajith Dharmakeerthi, Editor of Nelum Yaya - - Photo by Randika Ahangama
Ajith Dharmakeerthi, Editor of Nelum Yaya – – Photo by Randika Ahangama

‘ඉතාමත් නිර්මාණශීලී බ්ලොග් රචකයන් සිටියත් ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළින් ඉඩ දුන්නේ පිළිගැනීමක් ඇති මාධ්‍යකරුවන්ට පමණයි. මෙතැනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සීමිත පාඨක පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සූදානමක් පෙනෙන්නට තිබුණේ නැහැයැ’යි බ්ලොග් සම්මාන උළෙලේදී ඔහු කියා සිටියා.

ඇත්තටම බොහෝ බ්ලොග් රචකයන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල පිළිගැනීම හෝ ආවරණය පතන්නේ ද නැහැ. බ්ලොග් යනු උප සංස්කෘතියක්. එයටම ආවේණික ජවයක් හා ගතිගණ සමුදායක් එහි තිබෙනවා.

එහෙත් එන්න එන්නම රසබර හා හරබර අන්තර්ගතය වැඩියෙන් බිහි වන බ්ලොග් අවකාශය වැඩි ලාංකික පාඨක පිරිසක් වෙත ගෙන යා යුතුයැ’යි ධර්මකීර්ති මතු කරන තර්කයට නම් මා එකඟයි.

බ්ලොග් අවකාශයට ඔබ මුල් වරට පිවිසෙන්නේ නම් එහි අගමුල හඳුනා ගැනීම තරමක අභියෝගයක්. හැම බ්ලොග් එකකම නිතිපතා අලූත් රචනයක් හෝ එකතු කිරීමක් සිදු වන්නේ නැහැ. අලූතින් බ්ලොග් රචනයක් හෙවත් පෝස්ටුවක් එකතු වූ බ්ලොග් ලැයිස්තු ගත කරමින් ගතික ලෙස නිරතුරු යාවත්කාලීන වන මාර්ගෝපදේශක වෙබ් අඩි තිබෙනවා. මේවාට බ්ලොග් කියවනයන් (blog syndicators, blog aggregators) යයි නමක් යෙදෙනවා.

Kottu.org Screenshot taken on 7 April 2015 - courtesy http://readme.lk/
Kottu.org Screenshot taken on 7 April 2015 – courtesy http://readme.lk/

ලාංකික බ්ලොග් කියවනයක් මුලින්ම බිහි වූයේ මීට දශකයකට පෙර. 2005 අපේ‍්‍රල් මාසයේ. කොත්තු (http://www.kottu.org) නම් වන එහි ස්වයංක‍්‍රීයව අලූත්ම බ්ලොග් පෝස්ටුවල හෙඩිම හා මුල් වැකිය පෙන්වනවා. කැමැති අයට එතැනින් ක්ලික් කොට මුලු බ්ලොග් එකම කියැවීමට යා හැකියි. කොත්තු නිර්මාණය කර මහජන සේවාවක් ලෙසින් පවත්වා ගෙන යන්නේ බරට ඉංග‍්‍රීසි බ්ලොග්කරණයේ පුරෝගාමියකු වන ඉන්දි සමරජීවයි.

මීට අමතරව දැන් සතුටු වැස්ස http://blogs.sathutu.com, ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk, ටොප් සිංහල බ්ලොග් http://topsinhalablog.com, අඹ ගහ යට http://ambagaha.blogspot.com වැනි කියවනයන් කිහිපයක් තිබෙනවා. මේ එකක්වත් සියලූ ලාංකික හෝ සිංහල බ්ලොග් ආවරණය නොකළත් අලූත් බ්ලොග් නිර්මාණ ගැන ඉක්මනින් දැන ගැනීමට මෙවැන්නකට පිවිසීම ප‍්‍රයෝජනවත්.

තනි පුද්ගලයන් පවත්වාගෙන යන බ්ලොග්වලට අමතරව සමූහයකගේ ලියවිලි හා වෙනත් නිර්මාණ පළකරන, බ්ලොග් ද තිබෙනවා. කලා-සංස්කෘතික හා දේශපාලනික ප‍්‍රශ්න විචාරයට ලක් කරන බූන්දි අඩවියත් www.boondi.lk, කාලීන සමාජ හා දේශපාලන සංවාදයන්ට වේදිකාවක් සපයන විකල්ප අඩවියත් www.vikalpa.org කැපී පෙනෙන උදාහරණයි.

Ajith Perakum Jayasinghe - Photo by Randika Ahangama
Ajith Perakum Jayasinghe – Photo by Randika Ahangama

සිංහල බ්ලොග් අවකාශයේ ප‍්‍රබල භූමිකාවක් හිමි කරගත් W3Lanka www.w3lanka.com නමින් ද්විභාෂික බ්ලොග් අඩවියක් කරන, අජිත් පැරකුම් ජයසිංහ කෙටි දේශනයක් කරමින් කීවේ අපේ බ්ලොග්කරණය තවමත් මූලික අදියරයක පවතින බවයි.

ඔහු දන්නා තරමට අපේ පූර්ණකාලීන බ්ලොග් ලේඛකයන් නැහැ (පූර්ණ කාලීන මුද්‍රිත ලේඛකයන් පවා අපට ඉන්නේ කී දෙනාද?). ජීවිකාවට කාලය හා ශ‍්‍රමය කැප කරන අතර ඉතිරි වන විවේකය යොදා ගෙනයි අපේ ඇත්තෝ බ්ලොග් ලියන්නේ. එහෙත් බටහිර රටවල දැන් හොඳ පිළිගැනීමක් ලද ප‍්‍රමුඛ බ්ලොග් ලේඛකයන්ට එයින්ම ජීවත් විය හැකියි (වෙබ් දැන්වීම් ආකෘතිය හරහා).

අමෙරිකාවේ බ්ලොග්කරණය ඊළඟ අදියරට ගෙන යෑමට මූලික වූයේ ආරියානා හෆිංටන් Arianna Huffington නම් බ්ලොග් ලේඛිකාවයි. හෆිංටන් පෝස්ට් නමින් ඇය ඇරඹූ සමූහ බ්ලොග් ප‍්‍රකාශනය මේ වන විට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග කරට කර තරග වදින, ව්‍යාපාරික මට්ටමේ මාධ්‍යයක් බවට පත් වෙලා. (එහෙත් ස්වේච්ඡාවෙන් හා විනෝදයට බ්ලොග් ලියන බොහෝ දෙනකු බටහිර රටවල තවමත් සිටිනවා.)

සිංහල බ්ලොග් අවකාශය (හා දෙමළෙන්, ඉංග‍්‍රීසියෙන් ලියැවෙන ලාංකික බ්ලොග්) වසරක් පාසා පුළුල්වෙමින් ඇතත් බ්ලොග් ලේඛකයන්ට සමාජ පිළිගැනීමක් තවමත් බිහි වී නැහැ. ඔවුන්ට ‘බ්ලොග්කාරයෝ’ යැයි කීම හරහාම යම් අවතක්සේරුවක් සිදු වනවා. එකම ලිපිය පත්තරයක, සඟරාවක පළ වූ විට ලැබෙන සමාජ ප‍්‍රතිචාරය එය බ්ලොග් එකක පළවූ විට තවමත් ලැබෙන්නේ නැහැ.

Karunaratne Paranavithana
Karunaratne Paranavithana

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ දෙනකු බ්ලොග් ගැන නොදැනීම හෝ වෙනත් වෙබ් ප‍්‍රකාශන සමග බ්ලොග් පටලවා ගැනීමයි. නෙළුම්යාය සම්මාන උළෙලේදී මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන කීවේ මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර පුවත්පත් කර්තෘවරුන් බ්ලොග් ගැන අසාවත් නැති බවයි!

‘සතර දිගන්තය’ http://satharadiganthaya.blogspot.com නමින් කලක් බ්ලොග් රචනයේ යෙදුණු පරණවිතානයන්ටද මේ ගැන පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. ‘බ්ලොග් ලිවීම රස්තියාදුකාර වැඩක්. එය ඔබේ වෘත්තීය තත්ත්වයට ගැළපෙන්නේ නැහැ’ යයි ඇතැම් සහෘදයන් ඔහුට අවවාද කොට තිබෙනවා!

බ්ලොග් අවකාශය තුළ අන්තර්ගතය නියාමනයට වත්මන් රජයට කිසිදු අදහසක් නැති බවට මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහතික වූවා. බ්ලොග්කරණය යම් ප‍්‍රමිතීන්ට යටත් කරන්න යැ’යි එම සභාවේම එක් කථිකයකු කළ ඉල්ලීම ඔහු කාරුණිකව බැහැර කළා.

පසුගිය රජය පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට ක‍්‍රියා කළ බවට උදම් අනන අතර විචාරශීලීව වෙබ් අවකාශයේ සන්නිවේදනය කිරීමට අකුල් හෙළුෑ බව අප දන්නවා. ගෙවී ගිය වසර කිහිපය තුළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) අණ පරිදි සමහර දේශපාලන වෙබ් අඩවි හා බ්ලොග් මෙරට තුළ කියැවීම අවහිර කළත් දැන් මේ තහංචි ඉවත් කර තිබෙනවා.

‘මෙබඳු තාක්ෂණික අවහිරකිරීම් මින් මතු සිදු වන්නට අප ඉඩ තියන්නේ නැහැ. අදහස් ප‍්‍රකාශනයේ අයිතිය සීමා නොකරන මාධ්‍ය ප‍්‍රතිපත්තියක් අප පවත්වා ගන්නවා’ යැයි පරණවිතානයන් කළ ප‍්‍රකාශය වැදගත්.

බ්ලොග් අවකාශයේ හිමිකරුවන්, දොරටු පාලකයන් හෝ වෙනත් අධිපතියන් නැහැ. බෙහෙවින් අධිපතිවාදී අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට බ්ලොග් නොපෑහෙන්නේත් ඒ නිසා විය හැකියි. සම්මාන උළෙලේදී මා කීවේ ඔඩොක්කු මාධ්‍යවේදීන් බහුල අධිපති මාධ්‍යවලට වඩා ජනතාවාදී සමාජ හිතකාමී මෙහෙවරක් අද සමහර ප‍්‍රමුඛ බ්ලොග් ලේඛක ලේඛිකාවන් ඉටු කරන බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අප මෙය දුටුවා.

 

Blogger of the Year 2014 Priyantha Hewage gets his Award - Photo by Randika Ahangama
Blogger of the Year 2014 Priyantha Hewage gets his Award – Photo by Randika Ahangama

මෙයට හොඳ උදාහරණයක් නම් 2014 වසරේ හොඳම සිංහල බ්ලොග් ලේඛකයා ලෙස පිදුම් ලද මාතලන් හෙවත් ප‍්‍රියන්ත හේවගේ. ඔහුටම ආවේණික පොදු ජන වහරක් යොදා ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික මාතෘකා ගැන ගැඹුරු එහෙත් පණ්ඩිත නොවූ විග‍්‍රහයන් ඔහු ලියනවා. විටෙක හාස්‍යය හා උපහාසයත්, තවත් විටෙක ශෝකය හා වික්ෂිප්ත බවත් ඔහුගේ බ්ලොග් රචනා තුළ හමුවනවා. යථාර්ථය උඩුකුරු යටිකුරු වූ වත්මන් ලක් සමාජය එහි සාමාන්‍ය මිනිසුන්ට ග‍්‍රහණය වන සැටි ගැන එය හොඳ කැඩපතක් http://maathalan.blogspot.com.

තවත් උදාහරණයක් නම් වසරේ හොඳම බ්ලොග් පෝස්ටුවට (ලිපිය) මුල් තැන දිනූ දසයා බ්ලොග් ලේඛක සඳුන් දසනායක. හීන් සැරෙන් ටිකිරි ටොකු දීමේ කලාව මැනවින් ප‍්‍රගුණ කොට ඇති මේ ලේඛකයා බරපතල සමාජ විශ්ලේෂණ සරල හා සුගම බසින් ගෙන එනවා. සම්මාන දිනූ ‘ආඩම්බරකාර අපේ තාත්තා’ ලිපිය ගෙවී ගිය අඳුරු දශකයේ ලාංකික සමාජයේ ඛේදවාචකය ඇඟට පතට නොදැනී නිර්දය ලෙස විවේචනය කිරීමක්. http://iamdasaya.blogspot.com

බ්ලොග්වල හමු වන්නේ කාලීන විමර්ශන පමණක් නොවෙයි. ගද්‍ය හා පද්‍ය නිර්මාණ ද වැඩි වැඩියෙන් දැන් පළ වෙනවා. තමන්ගේ නිර්මාණයක් පත්තරයක පළ කරවා ගන්නට හඳුනන හෝ නොහඳුනන කෙනකු පසුපස යෑම දැන් අවශ්‍ය නැහැ. සම්මාන උළෙල ඇමතූ බන්දුල නානායක්කාරවසම් කලාකරුවා කීවේ ඉතා ප‍්‍රශස්ත මට්ටමේ පද්‍ය නිර්මාණ දැන් අපේ බ්ලොග්වල නිතර කියවිය හැකි බවයි.

රත්නපුරේ බට්ටි (ඩබ්ලියු. ඒ. කාන්ති) අමානුෂික පොලිස් ප‍්‍රහාරයට ලක් වූ අවස්ථාවේ එම සිදුවීම වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය ජාල හරහා රටට පෙන්වූයේ පුරවැසි මාධ්‍යකරුවෙක්. එය පාදක කර ගෙන ‘බට්ටි’ නමින් නිසඳැස් කවියක් ලියූ දමිත් ගුණවර්ධනට වසරේ හොඳම බ්ලොග් කවියට සම්මානය පිරිනැමුණා.

Yashodha Sammani Premaratne (Bassi) - second best verse in blog award
Yashodha Sammani Premaratne (Bassi) – second best verse in blog award

නිසඳැස් කවි සඳහා දෙවැනි ස්ථානය ලබා සම්මාන දිනුවේ බස්සී නමින් බ්ලොග් ලියන යසෝධා සම්මානි පේ‍්‍රමරත්න. නූතන ලාංකික කාන්තාවගේ ජීවන අරගලය ගැන හෘදයාංගම ලෙස ගද්‍ය හා පද්‍ය හරහා විවරණය කරන ඇගේ බ්ලොග් අඩවිය ඈ හඳුන්වා දෙන්නේ ‘රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්’ හැටියට. http://bassigenawathana.blogspot.com

මේ කෙටි විග‍්‍රහයේ උදාහරණ ලෙස දැක්විය හැකි වූයේ බ්ලොග් කිහිපයක් පමණයි. බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නේ මෙයයි: ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරිසරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත‍්‍රත්වය හා ගති සොබා හඳුනා ගන්න. එසේ ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමනවලට එළැඹෙන්න.

එසේම පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි සමග බ්ලොග් අඩවි පටලවා නොගන්න. හොඳ පත්තර හා කැලෑ පත්තර අතර වෙනස මෙන් වෙබ් අවකාශයේද හැම ආකාරයේම ප‍්‍රකාශන ඇති බව සිහි තබා ගන්න.

More winners at Nelum Yaya bloggers award ceremony 2014
More winners at Nelum Yaya bloggers award ceremony 2014