සිවුමංසල කොලූගැටයා #257: 21 වන සියවසේ අපේ මාධ්‍ය පරිභෝජන රටා වෙනස් වන සැටි

CPA Study on consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka - Jan 2016
CPA Study on consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka – Jan 2016

In this week’s Ravaya column (appearing in issue of 14 February 2016), I discuss key findings of the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka. It was launched on 27 January 2016 by the non-profit research and advocacy group, the Centre for Policy Alternatives (CPA).

The report draws on a survey of 1,743 randomly selected men and women, interviewed in Sinhala or Tamil language during June-July 2015. They were asked about mobile phone use and web access. The survey was conducted by Social Indicator, CPA’s survey research unit.

As the launch media release noted, “From the use of Facebook to smartphones, from news on TV to news via SMS, from how information read digitally is spread to others who are offline, the report offers insights into how content is produced, disseminated and discussed in Sri Lanka’s most densely populated province and home to the country’s administrative and business hubs.”

I was one of the launch speakers, and my presentation was titled: Information Society is Rising in Sri Lanka: ARE YOU READY?

Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo
Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo

අපේ රටේ වඩාත්ම පුළුල්ව භාවිත වන සන්නිවේදන මාධ්‍යය කුමක්ද?

විටින් විට සරසවිවලදී හා වෙනත් මහජන සභාවන්හිදී මා කරන දේශනවලදී මේ ප‍්‍රශ්නය මතු කරනවා. සභාවේ සිටින අයගේ දැනුම හා ආකල්ප ගැන හොඳ ඉඟියක් ඔවුන් මෙයට පිළිතුරු දෙන ආකාරයෙන් මට ලද හැකියි.

නිවැරදි පිළිතුර රේඩියෝ බවට තර්ක කරන අය මට තවමත් හමු වනවා. ඔවුන්ගේ දැනුම දශක එක හමාරකට වඩා පැරණියි.

වසර 2000 පමණ වන තුරු මෙරට නිවෙස්වල බහුලවම හමු වූයේ රේඩියෝ යන්ත‍්‍ර බව ඇත්තයි. එහෙත් ඉනික්බිති ටෙලිවිෂන් යන්ත‍්‍ර එම තැන හිමි කර ගත්තා.

වසර තුනකට වරක් නිවාස 25,000ක පමණ විශාල දීපව්‍යාප්ත නියැදියක් හරහා රජයේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කරන ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂණවල ප‍්‍රතිඵල හරහා මෙය මනාව තහවුරු වනවා.

මෙවන් රාජ්‍ය සමීක්ෂණයකින් මතු වන සොයා ගැනීම් පවා සමහරුන් ප‍්‍රශ්න කරනවා. ‘සමීක්ෂණවලින් මොනවා සොයා ගත්තත් අපේ ගම්වල තාමත් වැඩි දෙනෙක් භාවිත කරන්නේ රේඩියෝව තමයි’ කියමින් රොමැන්ටික් ලෝකවල ජීවත් වන අය සිටිනවා.

2012 ජන සංගණනයේදී එක් ප‍්‍රශ්නයක් වූයේ නිවසේ තිබෙන සන්නිවේදන මෙවලම් ගැනයි. මුළු රටම සමීක්ෂාවට ලක් කළ මෙයින් හෙළි වූයේ රටේ නිවෙස්වල දැන් වැඩිපුරම ඇති සන්නිවේදන මෙවලම ජංගම දුරකතනය බවයි. (78.9%). එයට ආසන්නව දෙවැනි තැන ගන්නේ ටෙලිවිෂන් (78.3%). රේඩියෝව ලබා ඇත්තේ තෙවන ස්ථානයයි (68.9%).

මේ සංඛ්යා ලේඛන වාර්ෂිකව වෙනස් වනවා. අලූත්ම දත්ත හා විශ්ලේෂණ හරහා අපේ දැනුම යාවත්කාලීන කර ගැනීම ඉතා වැදගත්. නැතිනම් පිළුණු වූ දැනුම හරහා වැරදි නිගමන හා රොමාන්ටික් තර්කවලට එළැඹීමේ අවදානමක් තිබෙනවා.

සන්නිවේදන තාක්ෂණයන් හා සේවාවන් සමාජයක ප‍්‍රචලිත වීම ගැන රාජ්‍ය පර්යේෂණායතනවල සමීක්ෂණ හා අලෙවිකරණ දත්ත හරහා යම් අවබෝධයක් ලද හැකියි. මෙය මා දකින්නේ සන්නිවේදනයේ සැපයුම් පැත්ත (supply side of communications) හැටියටයි.

එහෙත් මෙහි ඉල්ලූම් පැත්ත හෙවත් ජන සමාජයේ විවිධ පුද්ගලයන් මේවා කිනම් භාවිතයන් සඳහා යොදා ගන්නවාද යන්න විමර්ශනය කිරීම වඩාත් අසීරුයි (demand side). එවන් ගවේෂණවලදී කිසිදු සන්නිවේදන මාධ්‍යයක් ගැන පූර්ව මතයක් හෝ නිගමනයක් හෝ තබා නොගෙන විවෘත මනසකින් තොරතුරු එක් රැස් කිරීම අත්‍යවශ්‍යයි.

මෙරට බස්නාහිර පළාතේ වැසියන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය හා නව මාධ්‍ය භාවිත කරන සැටි ගැන කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල ජනවාරි 27දා නිකුත් වුණා. සමීක්ෂණය කළේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයට (Centre for Policy Alternatives, CPA) අනුයුක්ත ජනමත විමසීම් අංශය වන Social Indicator ආයතනයයි. මෙහි ප්‍රතිඵල සන්නිවේදනයට සම්බන්ධ සැමගේ අවධානයට ලක් විය යුතුයි.

බස්නාහිර පළාත මේ සමීක්ෂණයට යොදා ගැනීම තේරුම් ගත හැකියි. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 43%ක් දායක කරන මේ පළාත වැඩියෙන්ම ජනගහනය, මාධ්‍ය කර්මාන්ත හා තාක්ෂණ භාවිතය සංකේන්ද්‍රණය වී ඇති ප‍්‍රදේශයයි. එසේම ආදායම් මට්ටම් ද සාපේක්ෂව වැඩි නිසා නව තාක්ෂණයන් හා වෙළෙඳපොළ ප‍්‍රවණතා මුලින් ප‍්‍රචලිත වන්නේත් මේ පළාතේයි.

බස්නාහිර පළාත තුළ මාධ්‍ය භාවිතය අධ්‍යයනයෙන් දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ඒ ගැන ඉදිරි ප‍්‍රවණතා ගැන ඉඟියක් ලද හැකියි. මෙවන් සමීක්ෂණ දීපව්‍යාප්තව කිරීමට CPA අදහස් කරනවා.

2015 ජුනි-ජූලි වකවානුවේ ක්ෂේත‍්‍ර දත්ත එකතු කළ මේ සමීක්ෂණයට බස්නාහිර පළාත පුරාම විහිදුණු පුද්ගලයන් 1,743ක් සම්බන්ධ කරගනු ලැබුවා. සමීක්ෂණයට සහභාගි වන්නන් තෝරා ගැනීමට නිර්ණායක දෙකක් යොදා ගත්තා. එනම් ඔවුන් ජංගම දුරකතන භාවිත කිරීම හා ඉන්ටර්නෙට් පරිශීලනය කිරීමයි.

සිංහල හෝ දෙමළ බසින් සමීක්ෂකයන් අසන ප‍්‍රශ්නාවලියකට පිළිතුරු සටහන් කර ගත් අතර පිරිමි 55.8%ක් හා ගැහැනු 44.2%ක් සහභාගි වූවා. ඔවුන් තෝරා ගනු ලැබුවේ අලෙවිකරණ සමීක්ෂණ (market research) කිරීමේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව අහඹු ලෙසයි.

කාලීන තොරතුරු දැන ගැනීමට හා ඒවා අන් අය සමග බෙදා ගැනීමට කුමන සන්නිවේදන මාධ්‍ය භාවිත කරනවාද යන්න මෙහිදී සොයා බැලූණා. සමීක්ෂණයට සම්බන්ධ වූවන්ගෙන් අති බහුතරයක් (97.4%) එදිනෙදා පුවත් ගැන අතිශයින් හෝ තරමක් දුරට හෝ උනන්දුවක් දක්වන බව කීවා.

ඔවුන් බහුතරයකගේ වඩාත්ම ජනප‍්‍රිය පුවත් මූලාශ‍්‍රය වූයේ පෞද්ගලික ටෙලිවිෂන් සේවාවන්. ඉන් පසු වැඩිපුරම සඳහන් කෙරුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හා සෙසු ඉන්ටර්නෙට් ප‍්‍රභවයන්.

මෙම පිළිතුරු වයස් කාණ්ඩ අනුව විග‍්‍රහ කළ විට වයස 18-24 පරාසයේ අයට නම් වඩාත්ම ප‍්‍රමුඛ පුවත් මූලාශ‍්‍රය වූයේ ෆේස්බුක්. දෙවැනි තැනට පුද්ගලික ටෙලිවිෂන් හා තෙවැනි තැනට සෙසු ඉන්ටර්නෙට් ප‍්‍රභවයන්.

පුවත්වල විශ්වසනීයත්වය ගැන ද ප‍්‍රශ්න කරනු ලැබුවා. ප‍්‍රතිචාරකයන් 63.1%ක් කීවේ විශ්වාස කළ හැකි පුවත් ප‍්‍රභවයන් එකකට වඩා තමන් දන්නා බවයි. සියලූ පුවත් මාධය තමන්ට එක හා සමාන බව කී 25.3%ක්ද කිසිදු මාධ්‍යයක් විශ්වාස නොකළ 10%ක්ද සිටියා.

සමීක්ෂණයට පාත‍්‍ර වූ අයගෙන් 50%ක්ම කීවේ ගෙවී ගිය වසර තුළ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ ඉන්ටර්නෙට් හරහා හෝ තමන් දැන ගත් සමාජයීය හෝ දේශපාලනික තොරතුරක් ගැන තමන් වැඩිදුර සොයා බැලූ හා දැනුවත් වූ බවයි.

එවන් තොරතුරක් ගැන කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තාදැයි අසනු ලැබුවා. එහිදී ඉන්ටර්නෙට් හරහා ලද තොරතුරක් ගැන ක‍්‍රියාත්මක වූ සංඛ්‍යාව 22.9%ක් වූ අතර, ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයකින් ලද තොරතුරක් නිසා යම් පියවරක් ගත් සංඛ්‍යාව මුළු නියැදියෙන් 20.8%ක් වුණා.

කුමක්ද මේ ක‍්‍රියාමාර්ගය? 61.5%ක් දෙනා පවුලේ අය හා හිතමිතුරන් දැනුවත් කිරීමට ඉන්ටර්නෙට් හරහා ලද තොරතුරු යොදා ගෙන තිබෙනවා. ඒ අතර 16.5%ක් දෙනා වෙබ්ගත සංවාදවලට සහභාගි වී තිබෙනවා.

මේ සොයා ගැනීම ඉතා වැදගත්. 2015 ජූනි නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) නිල දත්තවලට අනුව මෙරට සමස්ත ඉන්ටර්නෙට් ගිණුම් සංඛ්‍යාව මිලියන 4.3යි. සමහර ගිණුම් එක් අයකුට වඩා භාවිත කරන නිසා ඉන්ටර්නෙට් පරිශීලනය කරන සංඛ්‍යාව මිලියන 6ක් හෝ ජනගහනයෙන් 28%ක් පමණ යැයි අපට ඇස්තමේන්තු කළ හැකියි.

Hand holding a cell phone under social media icons on blue background Vector file available.

මෙය තවමත් සංඛ්‍යාත්මකව සුළුතරයක් බව ඇත්තයි. එහෙත් ඉහත සොයා ගැනීම තහවුරු කරන පරිදි ඉන්ටර්නෙට් ඍජුව භාවිත කරන අය ලබා ගන්නා තොරතුරු හා අදහස් ඔවුන් විසින් තම තමන්ගේ සමීපතයන් හා පෞද්ගලික ජාලයන් සමග බෙදා ගැනෙනවා. මේ හරහා වෙබ්ගත අන්තර්ගතය එහි සෘජුව නොගැවසෙන විශාල පිරිසක් අතරට ද කාන්දු වනවා.

විශේෂයෙන් ගුරුවරුන්, මාධ්‍යවේදීන්, පර්යේෂකයන් වැනි අයගේ තොරතුරු විකාශය කිරීමේ (information amplification) විභවය ඉහළයි. ගමක හෝ ප‍්‍රජාවක එක් අයකු ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් පිවිසීම කළොත් කාලීන තොරතුරු එම ගමටම ගලා යාමේ හැකියාව ඉහළයි.

ඉන්ටර්නෙට් සුළුතරයකගේ සුපිරි මාධ්‍යයක්ය කියමින් එය ගැන එතරම් නොතකන පණ්ඩිතයන් නොදකින යථාර්ථය මෙයයි!

CPA සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 77.3%ක්ම ඉන්ටර්නෙට් පිවිසියේ තම ස්මාට්ෆෝන් හරහා. මෙය දීපව්‍යාප්ත TRC සංඛ්‍යා ලේඛනය වන 83%ට සමීපයි.

අලූත් තොරතුරක් ලද විට එය බෙදා ගැනීම මානව ගති සොබාවක්. මේ පුරුද්දට ජංගම දුරකතන හා ඉන්ටර්නෙට් භාවිතය හරහා ලොකු තල්ලූවක් ලැබෙනවා.

සිත් ගන්නා පුවතක් හෝ ලිපියක් හෝ ඊමේල් මගින් ලදහොත් එය අන් අය සමග ත්‍බදා ගන්නට කැමති බව සමීක්ෂණයේ ප‍්‍රතිචාරකයන් 55.9%ක් කියා තිබෙනවා. ඒ සඳහා ඊමේල් (23.6%), සමාජ මාධ්‍ය (18.4%) හෝ ඒ දෙකම (13.9%) යොදා ගන්නවා.

වැදගත් හෝ සිත් ගන්නා යමක් ඔබේ ජංගම දුරකතනයට ලැබුණොත් කුමක් කරනවාද? මේ ප‍්‍රශ්නයට 24.2%ක් දෙනා කීවේ එක්කෝ කෙටි පණිවුඩයක් (SMS) හෝ ක්ෂණික පණිවුඩ යෙදුමක් (Instant Messaging, IM) හරහා බෙදා ගන්නා බවයි. 16.6% කීවේ එම තොරතුර සමාජ ජාල හරහා ‘ෂෙයාර්’ කරන බවයි. මේ දෙකම කරන බව කී පිරිස 16.2%ක් ද සිටියා.

මෙසේ පුළුල්ව බෙදා ගැනීමේ හොඳ නරක දෙකම තිබෙනවා. සමබර තොරතුරු මෙන්ම අසත්‍ය හෝ අන්තවාදී තොරතුරු ද ඉක්මනින් පැතිර යා හැකියි.

ප‍්‍රතිචාරකයන් 37.2%ක් කීවේ යම් පුවතක් ඍජුව වෙබ් අඩවියක පළ වී තිබී දැන ගන්නවාට වඩා එම පුවතම මිතුරන්/සහෘදයන් මගින් ඊමේල් හෝ සමාජ මාධ්‍ය හෝ හරහා ලද හොත් තමන් එය වඩාත් විශ්වාස කරන බවයි.

එසේම 51.1%ක් දෙනා කීවේ මින් පෙර තමන් කිස්සේත් විශ්වාස නොකළ පුවතක්, තම මිතුරකු විසින් සමාජ මාධ්‍යයක් හරහා බෙදා ගත් විට එම පුවත ගැන මුලින් දැක්වූ අවිශ්වාසය පසෙක ලා තමන් එය නැවත සලකා බැලිය හැකි බවයි.

මෙසේ සහෘදයන් විසින් යමක් ෂෙයාර්කිරීම හරහා එහි විශ්වසනීයත්වය වැඩි කර ගැනීම ඉන්ටර්නෙට් මාධ්‍ය පුරාම දැකිය හැකි ප‍්‍රවණතාවක්.

මාධ්‍ය අන්තර්ගතයේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත් අංගයක්. මෑතක් වන තුරු එය සදහා අප බොහෝ දෙනකු යොදා ගත්තේ අදාල මාධ්‍ය ආයතනයෙහි සමස්ත කෙරුවාව හා අදාල ලේඛකයාගේ මීට පෙර ක‍්‍රියාකලාපය ආදී සාධකයි. සහෘදයන් විසින් නිර්දේශ කරනු ලැබීම දැන් ප‍්‍රබල සාධකයක්ව තිබෙනවා.

එහෙත් යමක් ලියූ තැනැත්තා තවමත් බොහෝ දෙනකුට වැදගත්. පුවත්පතක හෝ ඉන්ටර්නෙට් ප‍්‍රභවයක පුවතක් හෝ ලිපියක් ලියූ ලේඛකයාගේ නම තමන් සැළකිල්ලට ගන්නා බව 63.2%ක් දෙනා කියනවා.

2015දී තීරණාත්මක ජාතික මැතිවරණ දෙකක් මෙරට පැවැත් වුණා. මැතිවරණ කාලයේදී වැඩිම විශ්වාසයක් තිබෙන තොරතුරු මූලාශ‍්‍රය කුමක්ද?

වැඩිම පිරිසක් (40.3%ක්) මැතිවරණ කාලයේදී වඩාත්ම විශ්වාස කළේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකායි. ඉතිරි අයගෙන් 18.3%ක් කීවේ ඉන්ටර්නෙට් බවයි. තවත් 16%ක් ෆේස්බුක් මුල් තැනට පත් කළා. පත්තර හා රේඩියෝ ගැන මහජන විශ්වාසය බෙහෙවින් අඩු වෙලා!

මහජනතාව සමග සබඳතා පැවැත්වීමට රජයේ ඇමතිවරුන් නිල වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම අවශ්‍ය බව 42.2%ක් දෙනා විශ්වාස කරනවා. තවත් 26.2%ක් දෙනා එය තරමක් දුරට හෝ අවශ්‍ය යයි කියනවා. (මෙහිදී කතා කරන්නේ දේශපාලන ප‍්‍රතිරූප වර්ධනය නොව අමාත්‍යාංශවල මහජන තොරතුරු හා සේවා සැපයීමට සෙසු ක‍්‍රමවේදයන්ට අමතරව සමාජ මාධ්‍ය ද යොදා ගැනීම ගැනයි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි රජය මෙය සියලූ රාජ්‍ය ආයතනවලට අනිවාර්ය කොට තිබෙනවා.)

දේශීය භාෂාවලින් වෙබ් අන්තර්ගතය සීමිත වීම පෙර තරම් දරුණු නොවූවත් තවමත් බලපාන සාධකයක්. සිංහලෙන් හා දෙමළෙන් තොරතුරු හා වෙබ් අඩවි වැඩි වේ නම් තමන් ඉන්ටර්නෙට් භාවිතයද වැඩි කරන බව සමීක්ෂණයට පාත‍්‍ර වූවන්ගෙන් 57.1%ක් දෙනා කියා සිටියා.

එසේම 60.4%ක් කීවේ තමන්ට දත්ත භාවිතය වෙනුවෙන් වැඩිපුර ගෙවීමේ හැකියාවක් තිබේ නම් ඉන්ටර්නෙට් භාවිතය වැඩි වනු ඇති බවයි.

L to R - Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016
L to R – Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016

දැනට පවත්නා ඉන්ටර්නෙට් වේගයන්වල මදකමද සමහරුන්ගේ මැසිවිල්ලට හේතුවක්. යම් ඉහළ මිලක් ගෙවා තමන්ට වඩා වේගවත් ඉන්ටර්නෙට් සේවා ලද හැකි නම් එය සලකා බලන බව 30.8%ක් දෙනා කීවා. තවත් 42.5%ක් සමහරවිට එසේ කරනු ඇතැයි කීවා.

ඊමේල් හා වෙබ් ප‍්‍රභවයන්ට අමතරව SMS පුවත් සේවාවන්ට මිලක් ගෙවා බැඳී ඇති පිරිස සමීක්ෂණයේ ප‍්‍රතිචාරකයන් අතරින් 34.8%ක් වූවා.

මේ සමීක්ෂණයේ ප‍්‍රතිඵල විවිධ අයුරින් විග‍්‍රහ කළ හැකියි. එය එළි දැක්වීමේදී මා කීවේ මෙවන් සමීක්ෂණ දත්ත පොදු අවකාශයේ බෙදා ගැනීම වැදගත් බවයි. අලෙවිකරණ පර්යේෂණායතන කරන බොහෝ සමීක්ෂණ ප‍්‍රකාශයට පත් වන්නේ නැහැ.

එසේම වයස 18-24 පරාසයේ ජන කාණ්ඩයේ මාධ්‍ය භාවිතය සෙසු සමාජයට වඩා සැලකිය යුතු ලෙසින් වෙනස් වීම සමීප අධ්‍යයනයට ලක් කළ යුතු බව මා අවධාරණය කළා.

ඔවුන් පත්තර කියවන්නේ, රේඩියෝ හා ටෙලිවිෂන් සමග බද්ධ වන්නේද ඩිජිටල් ස්මාට්ෆෝන් හරහායි. එසේම ඔවුන් නිශ්ක්‍රිය මාධ්‍ය පාරිභෝගිකයන් නොවෙයි. ඔවුන් බොහෝ දෙනකු මාධ්‍යවලට එසැනින් ප්‍රතිචාර දක්වනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම වෙබ් අන්තර්ගතයන්ද විචාරයට ලක් කරනවා. තමන්ගේම මාධ්‍ය නිර්මාණ (මීම්, කෙටි වීඩියෝ ආදිය) නිපදවා වෙබ් හරහා බෙදා ගන්නවා.

ඉදිරි වසරවලදී මෙරට මාධ්‍ය ග්‍රාහකයන් ලෙස වඩාත් ප්‍රබල වන්නේ මේ පිරිසයි. අපේ ගතානුගතිකයන් කැමති වූවත් නැතත් අනාගතය මේ තරුණ තරුණියන් අතින් හැඩ ගැසෙනවා. ඔවුන්ගේ ගති සොබා දැන ගනීම හා ඔවුන්ට සමීප වන මාර්ග සොයා ගැනීම දේශපාලන පක්ෂ, සිවිල් සමාජ හා සමාගම් යන සියලු පාර්ශවයන්ට එක සේ වැදගත්.

සම්පූර්ණ CPA වාර්තාව මෙතැනින්: www.bit.ly/mediasurveywp

සිවුමංසල කොලූගැටයා #230: ජාතික ආරක්ෂාවට යයි කියා රජය පුරවැසියන්ගේ ඔත්තු බැලීම හරිද?

The July 21 Statement on Freedom of Expression and Media Freedom, issued by 10 media associations and advocacy groups in Sri Lanka for the attention of political parties contesting in General Election 2015, included this recommendation:

Privacy and Surveillance: The state should respect and protect the privacy of all citizens. There should be strict limits to the state surveillance of private individuals’ and entities’ telephone conversations and electronic communications. In exceptional situations, such surveillance should only be permitted with judicial oversight and according to a clear set of guidelines.”

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 2 August 2015), I have expanded on this by exploring the extent of state electronic surveillance in Sri Lanka.

It is a murky field where evidence is not easily found, and I rely heavily on the published accounts by leading national and international media groups: Freedom on the Net Report on Sri Lanka; Reporter Sans Frontiers (RSF) report on countries under state surveillance: Sri Lanka section; and investigative articles published by Sri Lanka’s Groundviews.org.

I also look at the legal provisions for surveillance and gaps in legal protection for privacy in Sri Lanka. All this points out to an overbearing state that spies on private citizens as and when it pleases, all on the pretext of national security. We need clearer guidelines and judicial oversight to restrain the state from turning into Big Brother.

Are we being watched by our government without our knowledge or consent? Is it legal?
Are we being watched by our government without our knowledge or consent? Is it legal?

භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස සඳහා දේශපාලන පක්ෂවලට ප‍්‍රමුඛතා දහයක් ඉදිරිපත් කරන්නට ජූලි 21 වනදා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීනී සීතා රන්ජනී මෙසේ කීවා.

‘‘පසුගිය වකවානුවේ (2014 අග දක්වා) අප බොහෝ දෙනකුගේ දුරකථන සංවාද හා ගමන් බිමන් සියල්ල සොයා බලන බව අපට තේරුණා. අප දුරකථන මගින් කතා කොට මාධ්‍යවේදී පුහුණු වැඩමුළු සැලසුම් කර අදාල තැනට යන විට කොහෙන්දෝ එකවර මතු වන විරෝධතාවලට අප මුහුණු දුන්නා. අප රැස්වන තැන්, යොදා ගන්නා සම්පත්දායකයන් ආදී හැම තොරතුරක්ම කෙසේ හෝ මේ උදවිය කල් තබා දැන සිටියා. මෙය හැකි වුණේ අප නිරතුරු ආවේක්ෂණයට ලක් වූ නිසායි.’’

මෙය බරපතල තත්ත්වයක්. රාජ්‍ය ආවේක්ෂණ (state surveillance) අත්දැකීම අඩු වැඩි පමණින් ලද තවත් බොහෝ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් හා දේශපාලකයන් මෙරට සිටිනවා. ගෙවී ගිය දශකයේදී මෙරට රජය විසින් පුරවැසියන් ආවේක්ෂණය කිරීම බොහෝ සෙයින් පුළුල් වූ බවට ඉඟි තිබෙනවා.

See: Freedom on the Net: Sri Lanka Report 2014

යුද්ධය පවතින විට ජාතික ආරක්ෂාව සඳහා යම් පුද්ගලයනගේ හා කණ්ඩායම්වල කතාබහ ආවේක්ෂණය කළත් යුද්ධය නිමා වීමෙන් පසුවත් වසර ගණනක් එය දිගටම පවත්වාගෙන යාම කෙසේ සාධාරණීකරණය කළ හැකිද?

එසේම අපරාධකරුවන්, කැරලිකරුවන් හෝ වෙනත් නීති විරෝධී ක‍්‍රියාවල නිරත වූවන්ගේ සැලසුම් කල් තබා අනාවරණය කර ගන්නට යයි කියා කරන ආවේක්ෂණ විපක්ෂ දේශපාලකයන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා සරසවි ඇදුරන් දක්වා දිගු වූයේ ඇයි? ජාතික ආරක්ෂාව නම් සංකල්පය පවත්නා රජයේ ආරක්ෂාව ලෙසින් පටු ලෙස විග‍්‍රහ කිරීම නිසාද?

Do you know who is watching you?
Do you know who is watching you?

Dialog CEO Hans Wijesuriya: “No surveillance program in Sri Lanka, but telecoms have to comply”’. The Republic Square, 28 September 2013

මහා පරිමාණ ආවේක්ෂණය වෙත ගෙවී ගිය දශක දෙක තුනක් තිස්සේ මෙරට පැවති සියලූ රජයන් යොමු වීම සිවිල් අයිතිවාසිකම් පැත්තෙන් බලන විට මහත් අහිතකර ප‍්‍රවණතාවක්.

මෙය පුරවැසියන් නොදැනුවත්ව, අධිකරණ අධීක්ෂණයකින් තොරව දිගටම සිදුවීමට එරෙහිව ඇති තරම් සමාජ ප‍්‍රතිවිරෝධයක් මතු නොවීමද තැති ගත යුතු මට්ටමේ කාරණයක්. අප මේ තරමට දැන් සමාජයක් ලෙස උදාසීන වී සිටිනවාද?

2014 දෙසැම්බර් 25 වනදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ශ‍්‍රී ලංකාවේ එවකට උත්සන්න වෙමින් තිබූ ජනාධිපතිවරණ කැම්පේන් ගැන දීර්ඝ ලිපියක් පළ කළා. විවිධ දේශපාලන චරිත සමග සාකච්ඡා කිරීමෙන් පසු ලියැවුණු එහි එක් තැනෙක හිටපු ධීවර අමාත්‍ය (දැන් සෞඛ්‍ය අමාත්‍ය) දොස්තර රාජිත සේනාරත්න උපුටා දක්වමින් කියන්නේ නොවැම්බර් 21 වනදාට පෙර පොදු විපක්ෂ අපේක්ෂකයා ගැන කතාබහ ඉතා රහසිගතව සිදු කරන ලද බවයි.

With Viber's help, opposition politicians dodged Rajapaksa regime's surveillance in late 2014
With Viber’s help, opposition politicians dodged Rajapaksa regime’s surveillance in late 2014

හොරෙන් අසා සිටීමට ලක් නොවන ආකාරයේ (චන්ද්‍රිකා?) දුරකථන භාවිත කරමින්, සංකේත බසින් තමා ඇතුළු පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කිරීම සැලසුම් කළ බව ඔහු කියනවා. ඉන්ටනෙට් හරහා කටහඬ හා ලිඛිත පණිවුඩ හුවමාරු කර ගත හැකි වයිබර් (Viber) නම් මෘදුකාංගයද මේ පිරිස යොදාගෙන තිබෙනවා.

මෙතරම් ප‍්‍රවේශම්කාරී වීමට හේතුව බොහෝ විපක්ෂ දේශපාලකයන් මෙන්ම ඇතැම් (එවකට) ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ද ගිය රජය විසින් දැඩි ලෙස ආවේක්ෂණයට ලක් කර තිබූ නිසායි. මේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද වරක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා.

රජයන් විසින් සිවිල් ජනයා ආවේක්ෂණය මුල් යුගයේ කරනු ලැබුවේ දුරකථන සංවාදවලට දුරකථන හුවමාරු (phone exchange) හරහා රහසිගතව සවන් දීමෙන්. එහෙත් පරිගණක හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග වඩාත් සූක්ෂමව, පුළුල්ව හා ස්වයංක‍්‍රීය ලෙසින් දුරකථන සංවාද පමණක් නොව ඊමේල්, ස්කයිප් කතාබහ හා ඉන්ටර්නෙට් හරහා කරන බොහෝ හුවමාරු කිසිවකුට නොදැනී ආවේක්ෂණය කළ හැකිව තිබෙනවා.

Internet surveillance: not just in China...
Internet surveillance: not just in China…

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධිත පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් තුළට හොර රහසේ පිවිසී එහි දත්ත හා පණිවුඩ හීන්සීරුවේ පිටස්තර පාර්ශ්වයකට ලබා දීමේ ඔත්තු බලන ක‍්‍රම දියුණු කොට තිබෙනවා.

පරිගණක හෝ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකුට මේ ගැන වැටහීමක් නැහැ. රජයට පමණක් නොව ටෙලිකොම් සමාගම්වලටද මේ හැකියාව තිබෙනවා.

ආවේක්ෂණ තාක්ෂණයන් හා සේවාවන් අධික මිලකට අලෙවි කරන තාක්ෂණ සමාගම් ලෝකයේ තිබෙනවා. බොහෝ විට ඔවුන්ගේ ගැනුම්කරුවන් වන්නේ රාජ්‍ය බුද්ධි අංශ හා අපරාධ පරීක්ෂණ පොලිසි ආදියයි.

ඉතාලියේ මිලාන් නුවර පිහිටි මෙබඳු එක් සමාගමක් ‘හැකිං ටීම්’ (Hacking Team) නම් වනවා. 2013දී දේශසීමා විරහිත වාර්තාකරුවෝ (RSF) නම් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් ක‍්‍රියාකාරී සංවිධානය ප‍්‍රසිද්ධ චෝදනාවක් කළා. එනම් හැකිං ටීම් මගින් සපයන ආවේක්ෂණ පහසුකම් යොදා ගනිමින් මර්දනකාරී ආණ්ඩු භාෂණ නිදහස හා මාධ්‍ය නිදහසට තර්ජනය වන ලෙස මාධ්‍යවේදීන්, විකල්ප මතධාරීන් හා වෙබ් ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව ක‍්‍රියා කරන බවයි.

RSF report on countries under state surveillance: Sri Lanka

2015 ජූලි මස මුලදී හැකිං ටීම් සමාගමේ පරිගණකවලට ද යම් කිසිවකු අනවසරයෙන් පිවිසී (හැක් කොට) ඔවුන්ගේ දත්ත අතිවිශාල සමුදායක් (400GB) ඕනෑම කෙනකුට බලා ගත හැකි වන්නට ඉන්ටර්නෙට් ජාලයට මුදා හරිනු ලැබුවා. මේ සමාගම ලෝකයේ කිනම් රජයන්ට කුමන ආවේක්ෂණ උපකරණ හා සේවා සපයා ඇත්ද යන්න ගැන මෙතෙක් රහසිගතව තිබූ තොරතුරු රැසක් මේ හරහා අනාවරණය වුණා.

මේ අනුව ලොව පුරා විසිර සිටින පොලිසි, මිලිටරි, මධ්‍යම රජයන් හා පළාත් රජයන් 70කට වැඩි ගණනකට ඔවුන් අවේක්ෂණ තාක්ෂණයන් ලබා දී යූරෝ මිලියන් 40කට වඩා උපයා ගෙන තිබෙනවා.

Hacking Team Emails Expose Proposed Death Squad Deal, Secret U.K. Sales Push and Much More

Groundviews: Going beyond mainstream media in the public interest
Groundviews: Going beyond mainstream media in the public interest

මේ ඔස්සේ ගවේෂණය කළ මෙරට පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක් වන ග‍්‍රවුන්ඞ්වීව්ස් (Groundviews.org), මෙම ඉතාලි සමාගම 2013-14 කාලයේ ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවාවලට ද සිය සේවා අලෙවි කිරීමට ඊමේල් ගණනාවක් හුවමාරු කරගෙන ඇති බව සොයා ගත්තා.

විශේෂයෙන් ඕනෑම ආරක්ෂිත පරිගණකයකට හොරෙන් පිවිසී ඔත්තු බැලිය හැකි Remote Control System (RCS) නම් තාක්ෂණය ගැන මෙරට සිට ඔවුන්ගෙන් විමසා තිබුණා. 2014 මාර්තුවේ ඔවුන්ට මෙරටින් යවන ලද එක් ඊමේල් පණිවුඩයක් කීවේ ‘ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය, සරසවියක් ද සමග එක්ව විද්‍යුත් ආවේක්ෂණ හා සෙවීමේ ක‍්‍රමයක් පිහිටුවීමට සැලසුම් කරන’ බවයි.

මේ සරසවිය කුමක්ද යයි පැහැදිලි නැහැ (කොළඹ හෝ මොරටුව විය යුතුයි). එසේම ගිය රජය විසින් මෙම තාක්ෂණය මිලට ගත්තා ද යන්න ඊමේල් හුවමාරුවෙන් හරිහැටි කිව නොහැකියි. එහෙත් කිසිදා නොතිබූ තරම් දැවැන්ත ආවේක්ෂණ ප‍්‍රයත්නයක් සඳහා සැලසුම් කළ බව නම් පෙනෙනවා.

Hacking the hackers: Surveillance in Sri Lanka revealed

Sanjana Hattotuwa
Sanjana Hattotuwa

ඩිජිටල් හා සයිබර් මාධ්‍ය හරහා අප ලෙහෙසියෙන් සන්නිවේදනය කරන අතර පෞද්ගලිකත්වය රැක ගැනීමට වගකීමෙන් හා අරපරීක්ෂාවෙන් ක‍්‍රියාකළ යුතුයි. ඩිජිටල් ක‍්‍රියාකාරී හා ග‍්‍රවුන්ඞ්වීව්ස් කතුවර සංජන හත්තොටුව මෙය යළි යළිත් අවධාරණය කරනවා.

ඉතාලි ආවේක්ෂණ තාක්ෂණය කෙසේ වෙතත්, 2010-12දී චීන ටෙලිකොම් සමාගම්වලට මෙරටට උපකරණ සැපයීමට ඉඩදීම හරහා ආවේක්ෂණ හැකියාව ලැබෙන්නට ඇතැයි සංජන අනුමාන කරනවා. මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තවමත් නීතිගතව නැති නිසා විස්තර සොයා යෑම අපහසුයි.

2012 පෙබරවාරි 16 වනදා විග‍්‍රහයක් පළ කරමින් සංජන කීවේ හුවාවෙයි (Huawei) හා ZTE නම් චීන සමාගම් මෙරටට ඩොලර් මිලියන ගණන් වටිනා විදුලි සංදේශ උපකරණ සපයන බවයි. බටහිර රටවලට ඉන් පෙර සපයන ලද උපකරණ හරහා නොදැනීම සයිබර් ඔත්තු බැලීමට චීන රජයට ආධාර කළා යැයි මේ චීන සමාගම් දෙකටම බරපතල චෝදනා එල්ල වී තිබුණා.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ADSL ඉන්ටර්නෙට් බෙදාහැරීම් පද්ධතිය Huawei තාක්ෂණය යොදා ගන්නවා. අහිංසක ලෙස පෙනුණත් මේ හරහා හොර රහසේ ග‍්‍රාහකයන්ගේ පෞද්ගලික ඊමේල්, ස්කයිප් හා අනෙක් හුවමාරුවලට ප‍්‍රවේශම්වීමේ හැකියාව මෙරට බුද්ධි අංශවලට දැනටමත් ලැබී ඇත්ද? සංජන හත්තොටුව මේ ගැන වසර කිහිපයක සිට අනතුරු අඟවනවා.

Are Chinese Telecoms acting as the ears for the Sri Lankan government?

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර ගැනීම අසීරු වුවත් වඩා හොඳින් ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර කියා දෙන පෝස්ටර් පෙළක් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් 2012දී භාෂා තුනෙන්ම නිකුත් කරනු ලැබුවා.

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර...
තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර…

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත (1996දී සංශෝධිත) හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යම් පටු පරාසයක් තුළ විද්‍යුත් ආවේක්ෂණය හා අනවසරයෙන් පණිවුඩ/දත්ත ග‍්‍රහණය කිරීම වරදක් යයි පිළි ගන්නවා. එහෙත් නීතිය ක‍්‍රියාත්මක කරන රජයේ ආයතනවලට අවශ්‍ය අවස්ථාවන්හිදී එසේ කිරීමට ඉඩකඩ තිබෙනවා. (ඒ කියන්නේ පාඨක ඔබ හෝ මා එය කළොත් නීති විරෝධියි. එහෙත් රජය කළොත් එසේ නැහැ!).

එසේ ආවේක්ෂණය කරන විට කුමන විනයක්, සීමාවක් හෝ ක‍්‍රමවේදයක් රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතුද යන්න නීතිවලින් කියා නැහැ. ජාතික ආරක්ෂාවයටතේ සිත් සේ ක‍්‍රියා කිරීමේ ඉඩ තිබෙනවා වගෙයි.

ඕනෑම කෙනකුට පෞද්ගලිකත්වයක් තිබෙනවා. එයට මානව අයිතියක් ද තිබෙනවා. පොදු අවකාශයේ ඉතා ප‍්‍රකට ජීවිත සතු කලාකරුවන්, ක‍්‍රීඩකයන් හා දේශපාලකයන්ට ද මේ අයිතිය තිබිය යුතුයි. එය ස්ව-කැමැත්තෙන් පසෙක ලීම පුද්ගල අභිමතයක්. එහෙත් එසේ නොකරන තුරු රටේ ආණ්ඩුවට හෝ වෙනත් පිරිසකට (උදා: පැපිරාට්සි ආකාරයේ ඡායාරූප ශිල්පීන්) පෞද්ගලික ජීවිතවල ඔත්තු බැලීම සදාචාර සම්පන්න නැහැ. බොහෝ රටවල මෙය නීති විරෝධියි.

අපේ ආණ්ඩුකරම ව්යවස්ථාවෙන් පිළිගැනෙන හා සහතික කරන මූලික මානව අයිතිවාසිකම් අතර පෞද්ගලිකත්වය (privacy) රැක ගැනීමට ඇති අයිතිය ඇතුළත් නැහැ. එහෙත් සෑම කෙනකුටම එම අයිතිය හිමි බව ශිෂ්ඨ සමාජවල පුළුල්ව පිළි ගැනෙනවා.

නීතියෙන් නොවුවත් සමාජ සම්මතයට අනුව කෙනකුගේ පෞද්ගලික සිතුම් පැතුම්, ලියුම් හා අනෙකුත් සන්නිවේදනයන් පොදු අවකාශයට අයත් නැහැ. එසේම රාජ්‍යයට හෝ රාජ්‍යයේ තාවකාලික භාරකරු ලෙස කටයුතු කරන ආණ්ඩුවකට පුරවැසියන්ගේ පෞද්ගලික සන්නිවේදනවලට පිවිසෙන්නට හා ඒ හරහා තොරතුරු එක් රැස් කරන්නට සදාචාරමය අයිතියක් නැහැ.

මේ සම්මතය බිඳ වැටෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. යුද බිමෙහි ක‍්‍රියාන්විත සේවයේ නිරතව සිටින හමුදා සෙබලූන් හා ඔවුන්ගේ පවුල් අතර සන්නිවේදන හමුදා බලධාරීන්ගේ ආවේක්ෂණයට ලක් විය හැකියි. දැනවුත්ව හෝ නොදැනුවත්ව යුද බිමේ සැබෑ තොරතුරු හෝ හමුදා රහස් හෝ පිටත යාමට ඉඩක් ඇති නිසා. එසේම සමහර රටවල සිරකරුවන් ලබන හා යවන සන්නිවේදන ද විමර්ශනයට ලක් කැරෙනවා.

එහෙත් හමුදා සේවයේ හෝ සිරභාරයේ හෝ නොසිටින සෙසු පුරවැසියන්ට සිය පෞද්ගලිකත්වය රැක ගැනීමට සෑම අයිතියක්ම තිබෙනවා.

Edward Snowden on the right to privacy
Edward Snowden on the right to privacy

‘අපි නීතිගරුක මිනිස්සු. අපට සඟවන්න දෙයක් නැහැ. ආණ්ඩුව අපේ කතාබහ-ලියුම් කියුම් හොරෙන් ඇසුවත් බැලූවත් අපට බිය වන්නට දෙයක් නැහැ’ යයි ඇතැමෙක් කිව හැකියි. මෙය අනුවණකාරී තර්කයක්. හරියට ‘අපට භාෂණ නිදහසක් කුමටද? අපට කියන්නට කිසි දෙයක් නැහැ’ වැනිම පරාජිත ප‍්‍රකාශයක්.

ජූලි 21 ප්‍රකාශයේ ආවේක්ෂණය වැලැක්වීම ගැන නිර්දේශය මෙයයි: “තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂණයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන ආවේක්ෂණය කිරීම රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි ආවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.”