සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

This week’s Ravaya column is a follow up to my initial one on Antarctica two weeks ago, සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!. I had such a good response from readers, some of who wanted to know how many Lankans have been to Antarctica.

I asked around, and have found information on three: Marine biologist Dr Nishad Jayasundara (who visited in 2010), youth activist Imalka de Silva (also in 2010) and astronomer Dr Ray Jayawardhana (2010-11). This column is a summary of what they did. It also answers a question: did trail-blazing Lankan biochemist Dr Cyril Ponnamperuma (1924 – 1994), who studied Antarctic meteorites in the 1970s, ever visit the frozen continent himself?

Dr Ray Jayawardhana in Antarctica on snowmobile
Dr Ray Jayawardhana in Antarctica on ski-doo

The Reefs of Taprobane, 2002 edition
The Reefs of Taprobane, 2002 edition
ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව පාදක කර ගෙන ලියූ චාරිකා සටහන් පොත් කිහිපයෙන් පළමුවැන්න වූයේ The Reefs of Taprobane නම් කෘතියයි. 1955 වසරේ මාස කිහිපයක් මයික් විල්සන්, රොඞ්නි ජොන්ක්ලස් හා තවත් කිමිදුම් සගයන් සමඟ ලක් දිවයින අවට මුහුදේත්, රට ඇතුළේත් කළ ගවේෂණ ගැන විචිත‍්‍ර ලෙස ලියා ඇති මෙය මුල් වරට ඉංග‍්‍රීසියෙන් පළ වූයේ 1956දී. (අඩ සියවසකටත් පසුව 2011දී මනෝ ප‍්‍රනාන්දු හා නන්දන එල්ලාවල විසින් සිංහලයට පෙරළා තිබෙනවා.)

එහි සය වන පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ ඔවුන් මාතර තානායමේ ලැගුම් ගත් දිනෙක රැයෙහි, පැහැදිලි අහසත් ඉදිරිපස මහ සාගරයත් මෙනෙහි කරමින් ක්ලාක්ගේ සිතේ පහළ වූ සිතිවිලිවලින්. නිරක්ෂයට අංශක හයක් පමණ උතුරින් පිහිටි මේ ස්ථානය ලක් දිවයිනේ වඩාත් ම දකුණුදිග දෙවුන්දර තුඩුවට ඉතා සමීපයි. මෙතැන සිට ඉන්දියානු සාගරයට පිවිසී දිගට ම දකුණු දෙස බලා යාත‍්‍රා කළොත් යළිත් සැතපුම් දහස් ගණනක් යන තුරු කිසිදු ගොඩබිමක් හමු නොවන බව ක්ලාක් පෙන්වා දෙනවා. (මාලදිවයින් පිහිටා ඇත්තේ අපේ දිවයිනට නිරිත දිගින්.)

එසේ ගිය හොත් ඊළඟට හමු වන එක ම ගොඩබිම දක්ෂණ ධ‍්‍රැවය ද අයත් ඇන්ටාක්ටික් මහාද්වීපයයි. (ශ‍්‍රී ලංකාවේ දකුණු අන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ඍජු දුර කිලෝ මීටර් 10,600ක් පමණ වෙනවා.)

ක්ලාක්ගේ මේ සඳහන මගේ සිහියට ආවේ ශ‍්‍රී ලංකාව හා ඇන්ටාක්ටිකාව අතර සබඳතා මොනවා ද යන්න විමසන විටයි.

ඇන්ටාක්ටිකාවේ පරිසරය රැක ගන්නටත්, එය නිරායුධ කලාපයක් ලෙස දිගට ම පවත්වා ගන්නටත් බි‍්‍රතාන්‍ය ධ‍්‍රැව ගවේෂක රොබට් ස්වෝන් ගෙන යන ව්‍යායාමය ගැන 2012 නොවැම්බර් 18 වනදා කොලමින් මා විස්තර කළා. එය කියවා ප‍්‍රමෝදයට පත් පාඨකයන් කිහිප දෙනකු මගෙන් ඇසුවේ ලාංකිකයන් ඇන්ටාක්ටිකාව සමඟ ඇති සබඳතා මොනවා ද යන්නයි.

ස්වෝන්ගේ විග‍්‍රහයට අනුව ලෝකයේ වෙසෙන බිලියන් 7.3ක් වන හැම මානවයකුට ම ඇන්ටාක්ටිකාවේ එක හා සමාන හිමි කමක් තිබෙනවා. නමුත් ලෝකයේ බහුතරයක් මානවයන් වාසය කරන්නේ සමකයෙන් උතුරට පිහිටි උත්තරාර්ධ ගෝලයේ. අප බොහෝ දෙනෙකුට ඇන්ටාක්ටිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.

මුල් යුගයේ ඇන්ටාක්ටිකාවට ගියේ ඒ සඳහා විශේෂිත ශාරිරික පුහුණුව ලැබූ ධ‍්‍රැව ගවේෂකයන් පමණයි. එහෙත් 1957-58 ජාත්‍යන්තර භූ භෞතික වර්ෂයෙන් ඇරැඹි විද්‍යාත්මක ගවේෂණ නිසා විවිධ විද්‍යා කේෂත‍්‍රයන්ට අදාළ නොයෙක් රටවල විද්‍යාඥයන්ට ද එහි යාමේ අවස්ථාව සැලසුණා.

පසුගිය දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන්ට අමතරව තරුණ නායකයන්, ව්‍යාපාරික නායකයන් ආදීන් සඳහා ද කෙටි කාලීන (සති 2 – 3) ඇන්ටාක්ටික් සංචාරයන් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එහෙත් පෞද්ගලික මට්ටමේ දේශ සංචාරකයන්ට සිය කැමැත්තෙන් එහි ගොඩ බසින්නට බැහැ. සංවිධානාත්මක ඇන්ටාක්ටික් චාරිකාවට, නිසි ක‍්‍රමවේදයක් හරහා ඉල්ලූම් කොට, සුදුසුකම් ලබා එබදු චාරිකාවක නිරත විය යුතුයි.

1986දී මුල් වතාවට දක්ෂිණ ධ‍්‍රැවයට පයින් ගිය ගමනින් පසු රොබට් ස්වෝන් තවත් බොහෝ වාර ගණනක් ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. 1990 දශකයේ රටවල් 25ක තරුණ තරුණියන් 35 දෙනෙකු ස්වේච්ඡවෙන් සම්බන්ධ කර ගෙන ඔහු ඇන්ටාක්ටිකාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ උත්සාහයක යෙදුණා.

2008දී ඇන්ටාක්ටිකාවේ මුල් ම අධ්‍යාපනික කඳවුර ස්වෝන්ගේ 2041 සංවිධානය ඇරඹුවා. ඒ හරහා හැම වසරක ම තරඟකාරීව තෝරා ගන්නා තරුණ තරුණියන් පිරිසක් (ලෝකයේ විවිධ රටවලින්) සති දෙක හමාරකට ඇන්ටාක්ටිකාවට රැගෙන යනවා. එයින් පසු ගෝලීය මට්ටමේ පාරිසරික හා බලශක්ති ගැටළුවලට දේශීය මට්ටමින් විසඳුම් සෙවීමේ ක‍්‍රියාකාරිකයන් වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

“ඇන්ටාක්ටිකාවට ටික දිනෙකට හෝ යාම මුළු ජීවිතය ම වෙනස් කරන අසාමාන්‍ය අත්දැකීමක්. මා ලද ඒ අත්දැකීම තරුණ හා ව්‍යාපාරික නායකයන්ටත් ලබා දීම හරහා ඔවුන්ගේ දැක්ම හා චරියාව වඩාත් පුළුල් වනු ඇතැයි මා සිතනවා,” ලෙස ස්වෝන් එය විග‍්‍රහ කරනවා.

මේ දක්වා මට සොයා ගත හැකි වූ තොරතුරුවලට අනුව ලාංකිකයන් තිදෙනකු 2010-2011 වතිකානුවේ ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. එහෙත් ඔවුන් මේ ගැන මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සාහ කර නැති නිසා ඒ තොරතුරු තවමත් අප‍්‍රකටයි.

රොබට් ස්වෝන් කොළඹදී කළ දේශනය අවසානයේ ඔහුගේ 2041 සංවිධානය හරහා ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණිය ඉමල්කා ද සිල්වා සභාවට හඳුන්වා දුන්නා. ඇයට මේ වරම හිමි වූයේ 2010දී ඇය අමෙරිකාවේ සරසවි සිසුවියක ලෙස සිටින අතරයි. 2041 සංවිධානයේ මූලිකත්වයෙන් තරගකාරී ලෙස තෝරා ගත් තරුණ තරුණියන් ගණනාවක් 2010 මාර්තු 5 – 18 කාලයේ ඇන්ටාක්ටිකාවේ කල් ගත කළා. මෙය අතිශයින් විචිත‍්‍ර මතකයන් ඉතිරි කළ හා මනස විවර කළ අපූරු අත්දැකීමක් වූ සැටි ඉමල්කා කෙටියෙන් විස්තර කළා.

ඇන්ටාක්ටිකාවට තවත් ලාංකික තරුණ තරුණියන් යවන්නටත්, එයින් ලබන අසාමාන්‍ය අත්දැකීම් මෙරට බෙදා ගන්නටත්, තරුණ පාරිසරික සංවිධානයක් ඇරැඹීමට ඉමල්කා අදහස් කරනවා. 2041 සංවිධානයෙන් ඇන්ටාක්ටික් චාරිකා සඳහා ඉල්ලූම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://2041.com/antarctic-expeditions

Nishad Jayasundara
Nishad Jayasundara
ඉමල්කා ඇන්ටාක්ටිකාවට ළඟා වන්නට ටික දිනකට පෙර, 2010 ජනවාරියේ ලාංකික සාගර ජීව විද්‍යාඥ නිෂාඞ් ජයසුන්දර පර්යේෂකයකු ලෙස එහි ගියා. අමෙරිකාව විසින් ඇන්ටාක්ටිකාවේ පවත්වා ගෙන යන මැක්මර්ඩෝ පර්යේෂණ කඳවුරට (McMurdo Station) ඔහු ගියේ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවකු ලෙසයි.

නිෂාඞ්ගේ කණ්ඩායම අධ්‍යයනය කළේ ඇන්ටාක්ටිකාවේ මහා අයිස් තට්ටු යට අධික ලෙස ශීතල පරිසරයකට ස්වභාවිකව හැඩ ගැසී ජීවත් වන මසුන් විශේෂ ගැනයි. 1967දී ඇන්ටාක්ටිකා පර්යේෂණ කළ ඔහුගේ සරසවියේ ම විද්‍යාඥයන් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6ක් තරම් අඩු උෂ්ණත්වයක දිවි ගෙවන මසුන් විශේෂ තුනක් සොයා ගත්තා. මේ මසුන්ට අංශක 6ට වඩා වැඩි උණුසුම දරා ගත නොහැකියි.

ගෝලීය උණුසුම් වීමත් සමඟ ටිකෙන් ටික ධ‍්‍රැව ප‍්‍රදේශවල ද උණුසුම ඉහළ යත් ම මේ මසුන් වැනි ශීතලට ලැදි සතුන්ට කුමක් වේ ද? නිෂාඞ් ගැඹුරින් විමසන්නේ මේ ප‍්‍රශ්නයට පිළිතුරයි.

2010 අගදී හා 2011 මුලදී තවත් ලාංකික විද්‍යාඥයෙක් ඇන්ටාක්ටිකාවේ දින 37ක් ගත කළා. ඔහු දැන් කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය රේ ජයවර්ධනයි. විශ්වයේ වෙනත් තාරකා වටා අපේ පෘථිවිය බඳු ග‍්‍රහලෝක සෙවීමේ දිගු කාලීන පර්යේෂණවල නියැලී සිටින රේ, වසර 25ක් තිස්සේ මගේ මිතුරෙක්.

1986 හැලීගේ වල්ගා තරුව නැවත දිස් වූ විට ඔහුත් මාත් ඇතුළු තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ (Young Astronomers’ Association) සාමාජික පිරිසක් එය නරඹන්නට මාතරට චාරිකා කොට නවාතැන් ගත්තේ ද මාතර තානායමේයි. එදා හැලී නරඹන විට ආතර් සී. ක්ලාක් එම ස්ථානය ගැන ලියා තිබූ කරුණු අප දැන සිටියේ නැහැ. එමෙන් ම යම් දිනෙක තමන් ඇන්ටාක්ටිකාවට යනු ඇතැයි රේ පවා සිතන්නට නැතිව ඇති!

රේ 2011 ඇක්ටාක්ටිකාවට ගියේ අමෙරිකානු නාසා ආයතනයේ හා එරට ජාතික විද්‍යා පදනමේ අනුග‍්‍රහයෙන්. ඔහු ඇතුළු අට දෙකනුගෙන් සමන්විත පර්යේෂක පිරිසක් උල්කාපාත එකතු කිරීමේ නිරත වුණා.

 Ray Jayawardhana
Ray Jayawardhana
උල්කාපාත පෘථිවියේ විවිධ තැන්වලට නිතිපතා ඇද හැලෙනවා. (බොහෝ ඒවා ප‍්‍රමාණයෙන් කුඩා නිසා හානියක් කරන්නේ නැහැ.) මිනිස් ජනාවාස නැති, වර්ෂාපතනය හා හිමපතනය සීමිත ඇන්ටාක්ටිකාවේ වැටෙන උල්කාපාත වඩාත් නිරුපද්‍රිතව සුරැකී තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ වසර මිලියන් හා බිලියන් ගණනකට ඉහත තත්ත්වය පිළිබඳව තොරතුරු උකහා ගත හැකියි.

හිම මත ගමන් කරන ස්කී-ඩූ (Ski-doo) නම් වාහනවල නැඟී, ප‍්‍රවේශමෙන් ඇන්ටාක්ටික් හිම අතර ගවේෂණය කළ මේ පිරිස සති පහක් තුළ උල්කාපාත 900ක් එකතු කළා. මේ එකතුව පර්යේෂකයන්ට වසර ගණනක් විශ්ලේෂණය කළ හැකි දැනුම් නිධානයක්.

‘‘මා භූ විද්‍යාඥයකු නොවූවත් ඉක්මනින් ම මේ සෙවිල්ලට මා හුරු වුණා. පරිසරයේ අනෙකුත් ගල් කැබලි අතර උල්කාපාත වෙන් කර හඳුනා ගන්නට යම් ලකුණු තිබෙනවා,’’ රේ කියනවා.

ඇන්ටාක්ටිකාවේ ගත කළ සති කිහිපය ශාරීරික හා මානසික දෙඅතින් ම අභියෝගාත්මක වූ බව ඔහු සිහිපත් කරනවා. එහි යන්නට පෙර ශරීර සෞඛ්‍යය හා සවිමත් බව පිළිබඳ පරීක්ෂණවලින් සමත් විය යුතුයි. ඇන්ටාක්ටික් ගිම්හානයේ මාස හතරකටවත් වඩා එක දිගට හිරු පායා තිබෙනවා. මෙය මුලදී අමුත්තක් වූවත්, ඉක්මනින් සිය දින චර්යාව එයට හැඩගස්වා ගන්නට පර්යේෂකයෝ සමත් වුණා.

නාසා ආයතනය ඇන්ටාක්ටික් උල්කාපාත අධ්‍යයනය කිරීම ඇරඹුවේ 1970 ගණන්වලදී. එහිදී පුරෝගාමී පර්යේෂයකු වූයේ කීර්තිමත් ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1924 – 1994). 1970 දශකය අගදී ඇන්ටාක්ටිකාවෙන් ගෙනා උල්කාපාතවල තිබී ඇමයිනෝ අම්ල සොයා ගැනීමට මුල් වීමෙන් ඔහු විද්‍යා ලෝකයේ තවත් මං සළකුණක් වාර්තා කළා.

ඇමයිනෝ අම්ල යනු ජීවයේ පදනම වන ප්‍රෝටීන් සෑදී ඇති සංඝටකයයි. උල්කාපාතාවලට ඇමයිනෝ අම්ල ආවේ කෙසේ ද? ඇන්ටාක්ටිකාවේදී පෘථිවියේ ජීව ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා උල්කාපාතවල හමු වන්නේ පිටසක්වලින් ආ ද්‍රව්‍ය බවට තීරණය කළ හැකියි. පෘථිවියේ හමු නොවන ඇමයිනෝ අම්ල දෙකක් උල්කාපාතාවල හඳුනා ගත් පොන්නම්පෙරුම, සිය ජීවිතයේ අවසානය දක්වා විශ්වයේ ජීවය ගැන පර්යේෂණ කරමින් සිටියා.

මහාචාර්ය පොන්නම්පෙරුමත් ඇන්ටාක්ටිකාවට ගියා ද?

මේ ප‍්‍රශ්නය මා දැන් අමෙරිකාවේ වෙසෙන ඔහුගේ දියණිය රෝෂිණීට යොමු කළා. ඇගේ උත්තරය: ඔහු එහි ගියේ නැතත්, එබඳු චාරිකාවල නිරත වූ පර්යේෂකයන් සමඟ ඉතා සමීපව වැඩ කළා. විශේෂයෙන් ඇන්ටාක්ටිකාවේ මුල් ම උල්කාපාත සෙවීමේ නිරත වූ ජපන මහාචාර්ය ෂීරෝ අකබෝරි සමඟ කලක් තොරතුරු හා සාම්පල හුවමාරු කර ගත්තා. පොන්නම්පෙරුම උල්කාපාත සොයා අයිස්ලන්තය හා ග‍්‍රීන්ලන්තයට නම් ගිය බව රෝෂිණී කියනවා.

ඇන්ටාක්ටිකාවට ගිය මුල් ම ලාංකිකයා කවුද?

මේ දක්වා මතු කළ තොරතුරුවලට අනුව නිෂාඞ් ජයසුන්දර, ඉමල්කා ද සිල්වා හා රේ ජයවර්ධන ඒ අනුපිළිවෙළින් එහි ගොස් තිබෙනවා. එහෙත අප කිසිවකුත් නොදන්නා තවත් පර්යේෂකයන් ඉතා නිහඬව මේ චාරිකාවේ යෙදී ඇත් ද? මා සිටින්නේ විමසිල්ලෙන්.

ලෝකයේ රටවල් 30ක් පමණ තමන්ගේ ම ඇන්ටාක්ටික් පර්යේෂණාගාර පවත්වා ගෙන යනවා. (විස්තර: http://en.wikipedia.org/wiki/Research_stations_in_Antarctica) ඉන්දියාව 1981දීත්, චීනය 1985දීත්, පාකිස්ථානය 1991දීත් ඇන්ටාක්ටික් පර්යේෂණ දියත් කළා. සමහරක් රටවල් වසර පුරා පර්යේෂකයන් එහි රඳවන අතර, බහුතරයක් එය කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග‍්‍රීෂ්ම කාලයේ පමණයි.

ආසියාතික රටක් සමඟ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවටත් ක‍්‍රමානුකූලව ඇන්ටාක්ටික් පර්යේෂණවලට දායක විය හැකි ද?

Stanford University Fish Research group in Antarctica 2010
Stanford University Fish Research group in Antarctica 2010

සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!

In this week’s Sunday column in Ravaya newspaper (in Sinhala), I’ve written about polar explorer Sir Robert Swan’s 2041 campaign to preserve the Antarctica as the world’s last great wilderness.

I covered similar ground in an English column on 11 Nov 2012: When Worlds Collide #41: Hands Off Antarctica! Protecting the Last Great Wilderness

Follow-up column on 2 Dec 2012: සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

Robert Swan and his 2041 campaign for Antarctica

අප බොහෝ දෙනෙකුගේ දැක්ම හා ආකල්ප අපේ වටපිටාව මඟින් පෝෂණය වනවා. මානවයින්ගෙන් බහුතරයකට තමන්ගේ ගම, පළාත හෝ වැඩි ම වුව හොත් උපන් රටෙන් ඔබ්බට පුළුල් වූ චින්තනයක් නැහැ. එහි වරදක් නොමැති වුවත් ඉඳහිට හෝ අප ටික දෙනෙකුවත් ග‍්‍රහලෝකයේ මටිටමින් සිතීම අවශ්‍යයි.

පටු මානව බෙදීම්වලින් සීමා නොවූ මෙබඳු ග‍්‍රහලෝකමය දැක්මක් අත්දැකීමක් මනා සේ ලබන දෙපිරිසක් සිටිනවා. එනම් අජටාකාශගාමීන් හා ධ‍්‍රැව ගවේෂකයන්. අපේ ලෝකයේ පුළුල් චිත‍්‍රය ග‍්‍රහණය කර ගන්නා ඔවුන් වැඩි දෙනෙකු ඉන්පසු ලෝක සාමය, න්‍යෂ්ටික අවිහරණය, පරිසර සංරක්ෂණය වැනි උදාර අරමුණු වලට සිය ජීවිතය කැප කරනවා.

මා විවිධ අවස්ථාවල අමෙරිකානු හා රුසියානු අජටාකාශගාමීන් කිහිප දෙනෙකු හමු වී තිබෙනවා. ධ‍්‍රැව ගවේෂකයකු මා මුල් වරට හමු වුයේ මීට දින කිහිපයකට පෙරයි. ඔහු 56 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික ශ‍්‍රීමත් රොබට් ස්වෝන් (Sir Robert Swan).

ධ‍්‍රැව ගවේෂණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අධික ශීතල, දේශගුණ විසමතා ඇතුළු ආන්තික පාරිසරික තත්ත්වයන් නිසා. උත්තර ධ‍්‍රැවය (ආක්ටික් හිම කඳු) හා දක්ෂිණ ධ‍්‍රැවය පිහිටි ඇන්ටාක්ටිකා අයිස් මහද්වීපය ගවේෂණය කිරීමේ සියවසකට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

මේ වකවානුව තුළ රොබට් ස්වෝන්ගේ පුරෝගාමී වික‍්‍රමය වූයේ කිසිදු යාන්ත‍්‍රික උපකාරයකින් තොරව ධ‍්‍රැව දෙකට ම පා ගමනින් ඇවිද ගෙන යාමයි. 1986 ජනවාරියේ කුඩා කණ්ඩායමක් සමග ඔහු කිලෝමිටර් 1,400ක් ඇන්ටාක්ටිකාව හරහා ගමන් කොට දක්ෂීණ ධ‍්‍රැවයට ළගා වුණා. 1989 මැයි මාසයේ ආක්ටික් අයිස් අතරින් උත්තර ධ‍්‍රැවයටත් පයින් ම ගියා.

Sir Robert Swan, polar explorer
මේ චාරිකාවලින් පසුව ධ‍්‍රැව ප‍්‍රදේශ සංරක්ෂණය කිරීමේ වැදගත්කම හොඳාකාර තේරුම් ගත් ඔහු පාරිසරික ක‍්‍රියාකාරිකයකු වුණා. දැනට දශක දෙකකට වැඩි කාලයක් ඔහු කරන්නේ ලොව පුරා සංචාරය කරමින් පිවිතුරු බලශක්තිය, දේශගුණික විපර්යාස ඇතුළු පාරිසරික තේමා ගැන දේශන කිරීමයි.

ඔහු වඩාත් උනන්දු වන්නේ ඇන්ටාක්ටිකාව පිළිබදවයි. උත්තර ධ‍්‍රැවයට සමීප පෙදෙස්වල එස්කිමෝවරුන් සිටියත් ඇන්ටාක්ටිකාවේ නිත්‍ය මානව ජනාවාස නැහැ. එහි ඇත්තේ විද්‍යා පර්යේෂණාගාර පමණයි. 1957දී ඇරඹුණු මේ පර්යේෂණ කටයුතු දැන් වඩාත් පුළුල වී තිබෙනවා. ඇන්ටාක්ටික් ගිම්හානයේදී විවිධ රටවලින් පැමිණෙන 4,000කට අධික විද්‍යාඥ හා සහායක පිරිසක් සති හෝ මාස කිහිපයක් එහි ගත කරනවා.

ඇන්ටාක්ටිකාව අප සිතනවාට වඩා විශාලයි. බිම් ප‍්‍රමාණයෙන් වර්ග කිමී මිලියන් 14ක්. එනම් ඕස්ටේ‍්‍රලියාව මෙන් දෙගුණයක්! මෙයින් 98% වැසී තිබෙන්නේ කිමී 1.6ක් පමණ ගැඹුරට විහිදෙන අයිස් තට්ටුවකින්. ලෝකයේ මිරිදිය සම්පත්වලින් 70%ක් ම ඇත්තේ මේ අයිස් මහාද්වීපයේයි.

ඇන්ටාක්ටිකාව අසාමාන්‍ය හා විශ්මයජනක තැනක්. එය ලෝකයේ සීතල අධිකතම හා සුළං කුණාටු බහුලතම භූමියයි. එපමණක් නොව වියලි බව අධිකතම ස්ථානයයි. සාමාන්‍යයෙන් අප කාන්තාරයක් දැඩි සේ උණුසුම් යයි සිතනවා. එහෙත් කතරක නිර්වචනය අහසින් ලැබෙන ජල ප‍්‍රමාණය ඉතා අඩු වීමයි. මෙනයින් බලන විට වසරකට මිලි මීටර් 200කට අඩු වර්ෂාපතනයක් හා හිමපතනයක් ලබන ඇන්ටාක්ටිකාව ඇත්තට ම සීතල කාන්තාරයක් (cold desert).

ඇන්ටාක්ටිකාවේ ඓතිහාසිකව ජනාවාස බිහි වූයේ නැහැ. නූතන යුගයේ මුල් වරට මිනිස් ගවේෂකයන් එහි පා තැබුවේ 1895දී. එතැන් පටන් ටිකෙන් ටික මේ මහා අයිස් මහාද්වීපය ගවේෂණයට විවිධ රටවල දේශාටකයන් යොමු වුණා.

ඇන්ටාක්ටිකාවේ මැද පිහිටි දක්ෂිණ ධ‍්‍රැවයට මුලින් ම ළඟා වීමේ බි‍්‍රතාන්‍ය හා නෝර්වීජියානු තරඟයකින් ජය ගත්තේ රෝල්ඞ් අමන්ඞ්සන් (Roald Amundsen) නම් නෝවීජියානු ගවේෂකයා 1912 ජනවාරියේ.

එහෙත් ඇන්ටාක්ටිකාව ඉනික්බ්ති දශක කිහිපයක් අත් හැර දමා තිබුණා. 1957-58 කාලයේ ලෝක භූ භෞතික වර්ෂය නම් ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගිතාවය යටතේ ඇරැඹුණු විද්‍යාත්මක පර්යේෂණාගාර අද වඩාත් පුළුල් මට්ටමින් පවත්වාගෙන යනවා. ඇමෙරිකාව හා යුරෝපීය රටවලට අමතරව ජපානය, ඉන්දියාව වැනි රටවලටත් ඇන්ටාක්ටික් පර්යේෂණාගාර තිබෙනවා.

ඇන්ටාක්ටිකාව අයිති කාට ද? 1959දී රටවල් 12ක් මූලික වී සම්මත කර ගත් ඇන්ටාක්ටික් ගිවිසුම (Antarctic Treaty, www.ats.aq) නම් ජාත්‍යන්තර නීතිය යටතේ එය කිසිදු තනි රටකට අයිති නොවන, ලෝකයටම පොදු බිම් ප‍්‍රදේශයක්. විද්‍යාවට හා සාමයට කැපවුණු මහාද්වීපයක්. ඇමෙරිකාව හා සෝවියට් දේශය නිරත වී සිටි සීතල යුද්ධයේ උච්ච අවධියකදී ඒ දෙරටත් එකඟ වෙමින් ඇන්ටාක්ටික් ගිවිසුම ඇති කර ගැනීම රාජ්‍ය තාන්ත‍්‍රික කේෂත‍්‍රයේ සුවිශේෂී සිද්ධියක්. 1962දී බල පැවැත්වීම ඇරඹි මේ ගිවිසුමට අද රටවල් 50ක් අත්සන් තබා සිටිනවා.

ඇන්ටාක්ටිකාවට යන විවිධ රටවල පර්යේෂකයන් සාමූහිකව ගවේෂණවල යෙදෙන්නේ මේ ගිවිසුමේ රාමුව තුළයි. ඒ අනුව ඇන්ටාක්ටිකාව හමුදා කටයුතුවලට යොදා ගැනීම හා ඛනිජ සම්පත් වාණිජ මට්ටමින් උකහා ගැනීම සපුරා තහනම්.

1991දී මේ ගිවිසුමේ පාරිසරික සන්ධානයක් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී සම්මත වුණා (Madrid Protocol). ඒ අනුව මුළු ඇන්ටාක්ටිකාව ම පාරිසරික රක්ෂිත කලාපයක්. එහි පර්යේෂණ කිරීමට පවා පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තා අවශ්‍යයි. එහි සියළු ජීවීන්ට (සතුන් හා පැළෑටි) රැකවරණය සැළසෙනවා.

මේ මැඞ්රිඞ් සන්ධානය වසර 50ක් බල පවත්වනවා. එය නැවත විමර්ශනයට නියමිත 2041දී. අද ලෝකයේ ඛනිජ සම්පත් පිළිබඳ ගිජු බවක් දක්වන ඇතැම් රටවල් සන්ධානය විමර්ශනය කරන විට එහි සැර බාල කොට ඇන්ටාක්ටික් ඛනිජ සම්පත් ඩැහැ ගැනීමට උත්සාහ කරනු ඇතැයි රොබට් ස්වෝන් ඇතුළු සමහර පරිසරවේදීන්ට බියක් තිබෙනවා.

මේ නිසා ඇන්ටාක්ටික් පාරිසරික රැකවරණය සදහට ම පවත්වා ගන්නට ඔහු 2041 නම් ස්වේච්ඡ පදනමක් අරඹා තිබෙනවා. ග‍්‍රීන්පීස් වැනි ලෝක පාරිසරික ක‍්‍රියාකාරී සංවිධාන ද කලෙක සිට ඇන්ටාක්ටිකාවේ සාමූහික අයිතිය හා පරිසර සුරැකුම ගැන උද්ඝෝෂණ කළත්, එම තේමාවට කැප වූ සංවිධානය ලෙස 2041 කැපී පෙනෙනවා. www.2041.com

”ඇන්ටාක්ටිකාව අද ලෝකයේ ඉතිරි වී තිබෙන විශාල ප‍්‍රමාණයේ අවසාන ස්වාභාවික ප‍්‍රදේශයයි. එය රැක ගැනීම හා මානව සංහතියට පොදු බිමක් ලෙස පවත්වා ගැනීම අපට තිබෙන අභියෝගයයි,” ස්වෝන් කියනවා.

1985 දෙසැම්බර් – 1986 ජනවාරි මාස වල ස්වෝන් ඇතුළු කණ්ඩායම හිම කතර හරහා දිගු ගමනක යෙදුනේ කිසිදු වාහනයක හෝ සත්වයන්ගේ හො උපකාරයක් නැතිවයි. ටික දිනෙකින් තමන්ගේ ඇස් වලට වර්ණය වෙනස් වූ බවත්, පිටතට නිරාවරණය වූ මුහුණු සම පුපුරා ලේ ගලන්නට වූ බවත් ඔහු කියනවා. 20 වන සියවස මුල දී මේ දුෂ්කර චාරිකාවේ යෙදුණු පුරෝගාමී ධ‍්‍රැව ගවේෂකයන්ට එබන්දක් සිදු වී නැහැ. මේ වෙනසට හේතුව කුමක් ද?

ආපසු මිනිස් වාසයට පැමිණි විගස එයට හේතුව ඔවුන් තේරුම් ගත්තා. එනම් දක්ෂිණ ධ‍්‍රැවයට ඉහල වායුගෝලයේ ඇති වූ ඕසෝන් සිදුරයි. 20 වන සියවසේ දශක ගණනක් පුරා විවිධ කාර්මික රසායන ද්‍රව්‍ය වායු ගෝලයට මුදා හැරීම නිසා ටිකෙන් ටික ක්ෂීන වූ ඕසෝන් වියන හරහා හිරුගේ සිට එන හානිකර පාරජම්බුල කිරණ මිහි මතට වැටීමට පටන් ගත්තා. මේ තත්වය වඩාත් උග‍්‍ර වූයේ දක්ෂිණ ධ‍්‍රැවය ආසන්න ප‍්‍රදේශවලයි.

රොබට් ස්වෝන් ඇතුළු ගවේෂක කණ්ඩායම මේ අළුතින් ක්ෂීන වූ ඕසෝන් වියන හරහා එන හානිකර කිරණ වල බලපෑම සෘජුව අත් වින්දා. ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර සොයා ගනු ලැබුවේ ඊට මාස කිහිපයකට පෙර 1985 මුලදී බි‍්‍රතාන්‍ය ඇන්ටාක්ටික් පර්යේෂක පිරිසක් විසින්.

ඊට තෙවසරකට පසු ස්වෝන් ආක්ටික් හිම කඳු අතරින් උත්තර ධ‍්‍රැවයට පයින් යන විට ඊට වෙනස් ආකාරයේ අභියෝගයකට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් උත්තරාර්ධ ගෝලයේ උණුසුම උච්ච වන්නේ වසරේ මැද කාලයේ. එවිට යම් තරමකට ආක්ටික් අයිස් වාර්ෂිකව දිය වනවා. (යලිත් සීත සෘතුවට ඒවා තැන්පත් වනවා.) එහෙත් පොතේ හැටියට අයිස් දියවීමට නියමිත ජූනි මාසයට වඩා දෙමසක් පමණ කලින් ආක්ටික් අයිස් දියවන බව ඔහුට පෙනී ගියා. මේ නිසා සැළසුම් කර තිබූ ගමන් මාර්ගය විටින් විට වෙනස් කිරීමට ඔහුගේ කණ්ඩායමට සිදු වුණා.

මේ අත්දැකීම් නිසා අද අප ග‍්‍රහලෝක මට්ටමින් මුහුණ පා සිටින පාරිසරික ප‍්‍රශ්න ගැන හොඳ ප‍්‍රායෝගික අවබෝධයක් ඔහු ලබා ගත්තා. එහෙත් ඔහු අන්තවාදී හරිතවේදියකු නොවෙයි.

“අප බිහි වන්නට කලින් අපේ පෘථිවිය වසර බිලියන ගණනක් පැවතුණා. අප වඳ වී ගිය දිනෙකත් මේ ග‍්‍රහලෝකය පවතිනු ඇති. අපට තිබෙන අභියෝගය මිහිතලය මත අපේ වර්ගයාගේ හා අපෙන් අනතුරට පත්ව සිටින අනෙක් ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමයි,” ඔහු කියනවා.

ස්වෝන් පිවිතුරු බල ශක්තිය ගැන ලොව පුරා දේශපාලන හා ව්‍යාපාරික නායකයන් දැනුවත් කිරීමේ අරමුණින් දේශන හා සංචාර කරනවා. “පරිසරයට සහජයෙන් නැඹුරු වූ ටික දෙනෙකු අතර මෑතක් වන තුරු කෙරුණු සංරක්ෂණ ව්‍යායාමය, අප සමාජ හා ආර්ථික ප‍්‍රධාන ප‍්‍රවාහයේ කොටසක් කළ යුතුයි. තිරසාර සංවර්ධනය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගන්නට හැකි වන්නේ හැම දෙනා ම එහි කොටස් කරුවන් වූවොත් පමණයි,” ඔහු කියනවා.

මෙබඳු පුළුල් දැක්මක් වැඩි දෙනෙකුට ලබා දීමේ අරමුණින් 2003 සිට වාර්ෂිකව ඔහු කෙටි කාලයන් සඳහා ඇන්ටාක්ටිකාවට තරුණ පිරිස් හා ව්‍යාපාර කළමණාකරුවන් කැඳවා ගෙන යනවා.

ලොකු කුඩා හැම ව්‍යාපාරිකයා ම එක කෝදුවෙන් මැන සැකයට පාත‍්‍ර කරන, ආර්ථික වර්ධනයට ගන්නා රාජ්‍ය ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා මාර්ග මුළුමනින් ප‍්‍රතික්ෂේප කරන මනෝ ලෝකයක ජීවත් වන අපේ ඇතැම් හරිතවේදීන්ට මෙබඳු තතු දන්නා, මහ පොළොව හරිහැටි හඳුනන පාරිසරික ක‍්‍රියාකාරිකයන් හොඳ ආදර්ශයක්.

Composite satellite image of Antarctica