සිවුමංසල කොලූගැටයා #239: ශ‍්‍රී ලංකාවේ ස්මාට් නගර බිහි කරන්නට අප සූදානම්ද?

Smart city visualisation
Smart city visualisation

The term ‘smart city’ refers to urban systems, and not to the smartness of residents. In fact, there is no universal definition of smart cities: it can mean smart utilities, smart housing, smart mobility or smart design.

Smart cities use information and communications technologies (ICTs) as their principal infrastructure. These become the basis for improving the quality and performance of urban services, reducing costs and resource consumption, and for engaging citizens more effectively.

ICTs – ranging from automatic sensors to data centres — would create ‘feedback loops’ within the complex city systems. If processed properly, this flow of data in real time can vastly improve the design of “hard” physical environment and the provision of “soft” services to citizens.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 4 Oct 2015), I explore the concept of smart cities, which the new government of Sri Lanka wants to develop.

It is a formidable task. India in 2014 announced an ambitious programme to create 100 smart cities. Under this, state capitals, as well as many tourist and heritage cities are to receive funding for upgrading their infrastructure. But Prime Minister Modi and his technocrats have been struggling since then to explain just what they mean by smart cities.

I argue that smart cities need empowered people and engaged city administrators. I have argued in earlier in this column, concrete and steel do not a city make. Likewise, ICT enabled smart infrastructure alone will not create smart cities – unless the human factor is well integrated.

Smart City illustration by Times of India
Smart City illustration by Times of India

ස්මාට් නගර ගැන කතාබහක් මතුවෙමින් තිබෙනවා. යෝජිත බස්නාහිර මෙගා නගරය (Western Regional Megapolis) ස්මාට් නගර ආකෘතියේ එකක් වනු ඇතැයි ද කියනවා.

ඒ අතර නගර සැලසුම් අමාත්‍ය රවුෆ් හකීම් සැප්තැම්බර් මුලදී කීවේ මහනුවර මෙරට මුල්ම ස්මාට් නගරය කිරීමට තමන්ට ඕනෑ බවයි.

ස්මාට් නගර යනු මොනවාදැයි හරිහැටි දැනගෙන මේ සංවාද කිරීම වැදගත්.

ඉංග‍්‍රීසියෙන් Smart Cities කියන්නේ ඩිජිටල් තාක්ෂණය හෙවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සූක්ෂම ලෙස යොදා ගනිමින් නාගරික සේවාවල තත්ත්වය හා ප‍්‍රමිතිය උසස් කරන නාගරික ප‍්‍රදේශවලටයි.

ඒ හරහා සම්පත් හා බලශක්ති පරිභෝජනය කාර්යක්ෂම කර ගන්නා අතර වියදම් අඩු කර ගන්නවා. නාගරික කළමනාකරණය විද්වත් පදනමක් මත කරන ගමන් ජනතා සහභාගීත්වය ද වැඩි කරනවා. අප කවුරුත් පතන්නේ මෙවැනි නගර තමයි!

Smart Cities යන්නට වඩා සුදුසු සිංහල යෙදුම කුමක්ද?

මීට සති කිහිපයකට පෙර මේ ප‍්‍රශ්නය මා ෆේස්බුක් ජාලයේ මතු කළා. යෝජනා ගණනාවක් ලැබුණා. සූක්ෂ්ම නගර, බුද්ධිමත් නගර හා සවිඥානික නගර ආදී වශයෙන්.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නුවණැති නගර යන්නත්, ආචාර්ය සුමනසිරි ලියනගේ දැනුමැති නගර යන යෙදුමත් යෝජනා කළා. මේ අතර රෙන්ටන් ද අල්විස් කීවේ උදාර නගර හෝ නැණැති නගර උචිත බවයි. ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල සිතන්නේ ප‍්‍රබුද්ධ නගර වඩා හොඳ බවයි.

බ්ලොග් ලේඛක අජිත් පැරකුම් ජයසිංහ සංවාදයට එක් වෙමින් කීවේ මෙයයි: ‘‘ස්මාට් කියන වචනය දැන් බොහෝ දුරට සිංහල වෙලා නිසා මෙයට වෙනත් වචනයක් හදන්න උත්සාහ නොකර ස්මාට් පුරවර කියන යෙදුම හොඳයි.’’

ස්මාට් නගර ගැන පුළුල්ව සංවාද කිරීම අවශ්‍යයි. පණ්ඩිත යෙදුමක් වෙනුවට කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි සම්මත සිංහල වචනයක් එකඟ විය හැකි නම් හොඳයි. එතෙක් ස්මාට් නගර හා ස්මාට් පුරවර යන්න මා යොදා ගන්නවා.

Smart Cities image

ස්මාට් නගරවලට තනි නිර්වචනයක් නැහැ. නගරයක් ‘ස්මාට්’ වන්නේ යටිතල සැලසුම් පහසුකම්, ප‍්‍රවාහන සේවාවන් හෝ සැලසුම්කරණය අතින් විය හැකියි. පොදු සාධකය වන්නේ සංකීර්ණ පද්ධතිවල ක‍්‍රියාකාරීත්වය නිරතුරුව හා සජීවී ලෙසින් නිරික්සමින් නඩත්තු කිරීමේ තීරණ හා පියවර ක්ෂණිකව ගනිමින් සිටීමයි.

මෙයට ඉංග‍්‍රීසියෙන් feedback loop යයි කියනවා. නිරතුරු ප‍්‍රතිශෝෂණය හරහා ප‍්‍රමිතීන්ට අනුකූලව සේවා ප‍්‍රශස්තව පවත්වා ගැනීම යයි අපට සිංහලෙන් කිව හැකියි.

තාක්ෂණික හෝ පාරිභාෂික යෙදුම්වලට වඩා වැදගත් වන්නේ සංකල්පීය නිරවුල් බවයි. කොන්ක‍්‍රීට් හා වානේ ගොඩක් එක් තැන් කළ පමණට කිසිදිනෙක ස්මාට් නගර බිහි වන්නේ නැහැ. ප‍්‍රවේශම් විය යුතු තැනත් එතැනයි. ජනතා සිතුම් පැතුම් නොතකා තැනූ හම්බන්තොට වැනි නගර ස්මාට් නගරවල විරුද්ධ පදය වැනියි.

ස්මාට් නගරවල මුඛ්‍ය අරමුණ එහි සියලූ නේවාසික වැසියන්ට හා එයට පිටතින් පැමිණෙන අයට ආයාසය හා වියදම් අඩු කාර්යක්ෂම සේවා සපයාදීමයි. නගරයක විසීම හෝ නගරයකට යම් කාරියක් සඳහා යාම වදයක් නොවී ප‍්‍රමෝදයක් බවට පත් කිරීමයි.

නාගරීකරණය නොනැවතී ඉදිරියට යන ලෝක ව්‍යාප්ත සංසිද්ධියක්. 2010දී අප වැදගත් කඩඉමක් පසු කළා. ලෝක ඉතිහාසයේ මුල් වතාවට ලොව ජනගහනයෙන් අඩක් (50%) නගරවල වෙසෙන බව සංඛ්‍යා ලේඛන තහවුරු කළා.

කලාපීය වශයෙන් ගත් විට දකුණු ආසියාවේ දැනට නාගරික ජන ප‍්‍රතිශතය 30%යි. එහෙත් එය සීග‍්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඉදිරි දශකවල (2050 වනවිට) ඉන්දියාවේ පමණක් නාගරික ජනගහනය තවත් මිලියන 404ක් එකතු වෙතැයි ගණන් බලා තිබෙනවා.

මේ සඳහා වැඩිපුර දායක වන්නේ ග‍්‍රාමීය පෙදෙස්වලින් නගරවලට ඇදී එන ජන සංක‍්‍රමණයයි. පහසුකම් හා අවස්ථා සොයාගෙන එසේ පැමිණීම තහනම් කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලට බැහැ. කළ හැකි එකම දෙය එය දරාගන්නට සැලසුම් හා ආයෝජන කිරීමයි.

14 Sep 2015: World Bank Report on Leveraging Urbanization in South Asia

ස්මාට් නගර සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නේ දත්ත මත පදනම් වී සජීව ලෙසින් තීරණ ගන්නටග ඉන්ටර්නෙට් පරිනාමයේ ඊළඟ අදියර නම් ස්වයංක‍්‍රීයව අවට පරිසරය නිරීක්ෂණය කරමින්, දත්ත රැස් කරමින්, ඒවා එසැනින් හා නිරතුරුව ඉන්ටර්නෙට් හරහා යම් නිශ්චිත කේන්ද්‍රයකට සපයන සංවේදක (Sensors) ප‍්‍රචලිත වීමයි. මෙය දැනටමත් ඇරැඹී තිබෙනවා.

ඉදිරි වසර කිහිපයේ මේ ප‍්‍රවණතාව අධිවේගීව වර්ධනය වනු ඇති. ඉන්ටර්නෙට් මාධ්‍යය ස්වයංක‍්‍රීයව අපේ ලෝකය ගැන සංවේදී වීම හඳුන්වන්නේ Internet of Things (IOT) කියායි. මෙහි මූලික පදනම මුළුමනින් යන්ත‍්‍ර අතර කැරෙන සන්නිවේදනය හෙවත් තොරතුරු හුවමාරුවයි. (Machine-to-machine communications, M2M).

මේ හැම සංවේදකයටම එයට ආවේණික වූ අංකයක් (IP Address) තිබෙන නිසා එය නිශ්චිතව හඳුනා ගත හැකියි. සංවේදක ප‍්‍රමාදයකින් තොරව සජීවී ලෙසින් සපයන දත්ත හරහා යම් තැනෙක, යම් ප‍්‍රවාහයක අලූත්ම තත්ත්වය දුර සිට නිරීක්ෂණය කළ හැකියි. (මේ සංවේදක CCTV කැමරා සමග පටලවා නොගන්න. අප මෙහිදී කතා කරන්නේ ක්ෂුද්‍ර පරිපථ මට්ටමේ සියුම් උපාංග ගැනයි.)

මෙබදු සංවේදක දැනටමත් විශාල පරිමාණයෙන් දකුණු කොරියාව, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය හා ජර්මනිය වැනි රටවල නවීන නගරවල හා සමහර කර්මාන්තවල භාවිත වනවා.

සංවේදකවලට අමතරව හැම වස්තුවකටම එයට ආවේණික අනන්‍යතාවක් ලබාදීම ද තාක්ෂණික ප‍්‍රගමනයේ තවත් අරමුණක්. මේ සඳහා බාර්කෝඞ්, QR කෝඞ් ආදී තාක්ෂණ දැනටමත් බහුලව යොදා ගන්නවා.

නගරයක පොදු අවකාශයේ ඇති හැම ලයිට් කණුවක්, ටෙලිෆෝන් කනුවක්, කසල බාල්දියක්, පොදු දුරකතනයක් ආදිය මෙසේ සංවේදක හරහා අනන්‍යතාවට ලක් කළ විට ඒවායේ තත්ත්වය දුර සිට විමර්ෂනය කළ හැකියි. ක‍්‍රියාකාරීත්වයේ ගැටලූවක් මතු වූ විට හරියටම ප‍්‍රශ්නකාරී තැන ඉක්මනින් හඳුනා ගත හැකියි. ඉලක්කගතව ප‍්‍රශ්න කඩිනමින් විසඳිය හැකියි.

බලශක්ති අරපිරිමැසුම, පාරිසරික තත්ත්වය නිරීක්ෂණය, කසල කළමනාකරණය, ප‍්‍රවාහන පද්ධති ප‍්‍රශස්තිකරණය ආදී බොහෝ භාවිතයන්ට මේ තාක්ෂණය දැනටමත් සමහර දියුණු රටවල නගර යොදා ගන්නවා. අලූතෙන් බිහි වන ස්මාට් නගර මුල පටන්ම නිර්මාණය කැරෙන්නේ මේ තාක්ෂණය පදනම් කර ගෙනයි.

South Korea's Songdo is one of the world's first smart cities
South Korea’s Songdo is one of the world’s first smart cities

උදාහරණයක් නම් දකුණු කොරියාවේ සොංඩෝ (Songdo) ස්මාට් නගරය. අගනුවර සෝල් සිට කි.මි. 65ක් නිරිතදිගින් හෙක්ටාර් 600ක විසිරුණු මේ නගරය මුළුමනින්ම ස්වයං-සංවේදක මගින් නිරීක්ෂණය කැරෙන හා කළමනාකරණය කැරෙන ස්ථානයක්. තවමත් ඉදි වෙමින් පවතින මෙය ව්‍යාපාරික, නේවාසික හා පොදු පහසුකම් රැසකින් සමන්විත වනු ඇති.

එය මතු වන්නේ ඉන්චොන් (Incheon) නුවරට ආසන්නව මුහුද ගොඩ කර තනා ගත් බිම් පෙදෙසකයි. 2015 අගවන විට නිම කිරීමට නියමිත මෙහි වියදම ඩොලර් බිලියන 40ක්. තනිකරම පෞද්ගලික අංශයේ ආයෝජනයක්.

මෙසේ මුල සිටම සැලසුම් කොට අලූතෙන් ගොඩ නගන නගර ‘ස්මාට්’ කිරීම සාපේක්ෂව වඩා පහසුයි. එහෙත් ඓතිහාසිකව අක‍්‍රමිකවත් ලෙස වර්ධනය වූ හා අවුල් සහගතව පවතින නගරවලටත් නව තාක්ෂණයන් නැණවත්ව යොදා ගෙන ස්මාට් වීමට හැකියි.

පවතින නගර ස්මාට් නගර බවට පරිවර්තනය කිරීමේ දැවැන්ත ප‍්‍රතිසැලසුම්කරණ ව්‍යාපෘති අරඹා තිබෙනවාට උදාහරණ ගණනාවක් තිබෙනවා. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්, ස්පාඤ්ඤයේ බාසෙලෝනා, ස්වීඩනයේ ස්ටොකෝම්, ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ටා කෲස් ඒ අතර වනවා.

ඉන්දියාව මුහුණ දි සිටින දැවැන්ත නාගරිකකරණ අභියෝගයට ප‍්‍රතිචාර දක්වමින් 2014 මැදදී අගමැති නරේන්ද්‍ර මෝඩිගේ රජය ප‍්‍රකාශ කළේ එළැඹෙන වසර කිහිපයේදී ස්මාට් නගර 100ක් ඇති කිරීමට ඉන්දියාව පියවර ගන්නා බවයි. ප‍්‍රාන්තවල අගනගර, සංචාරකයන්ට වැදගත් ඓතිහාසික නගර ආදිය මේ ලැයිස්තුවට අයත්. ඒ අතර අලූතින්ම සැලසුම් කොට මුල සිටම බිහි කරන නගරත් කිහිපයක් තිබෙනවා. http://smartcities.gov.in/

එහෙත් වසරකට පසුව මේ ස්මාට් නගර සඳහා නිශ්චිත ඉදිරි දැක්මක් ප‍්‍රකාශ කිරීම ඉන්දීය නිලධාරීන්ට අපහසු වී තිබෙනවා. අතිශයින් සංකීර්ණ නාගරික කළමනාකරණ ගැටලූවලට තනිකර තාක්ෂණික විසඳුම් නැහැ. සමාජ විද්‍යාත්මක උපදෙස් මත, ජනතා සිතුම් පැතුම්වලට සංවේදීවෙමින් ක‍්‍රමයෙන් කළ යුතු වෙනස්කම් රැසක් තිබෙනවා.

India's proposed smart cities
India’s proposed smart cities

හරිහැටි මූලික පහසුකම් පවා නොමැතිව ජීවත්වන මිලියන ගණන් ජනයා ඉන්දියානු නගරවල සිටිනවා. ස්මාට් නගර බිහි කිරීමේ අරමුණ සාර්ථක වන්නේ සානුකම්පිතව හා සංවේදීව නාගරික සංවර්ධනය කළ හොත් පමණයි. ඉන්දියාවේ සබුද්ධික හා සක‍්‍රීය සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් නිසා රජයකට හිතුමතේ ක‍්‍රියා කරන්නට බැහැ.

ස්මාට් නගරයක මූලිකම ගුණාංගය නම් ඉහළ කාර්යක්ෂමතාවයි. කාර්යක්ෂම නගර සැලසුම් කරන්නට හා කළමනාකරණය කරන්නට නම් නේවාසික ජනයා සහ දිනපතා නගරයට ඇදී එන ජනයාගේ චර්යා රටා සමීපව හඳුනාගත යුතුයි.

නගරයක වැඩිපුර ජනයා ගැවසෙන්නේ කුමන ස්ථානවල කිනම් වේලාවකද? සතියේ දිනවල හා සති අන්ත දිනවල වෙනස්කම් මොනවාද? මහාමාර්ග, බස් හා දුම්රිය නැවතුම් පොළවල්, කඩපිල් හා සාප්පු සංකීර්ණ මෙන්ම උද්‍යාන හා වෙනත් විවෘත ස්ථානවල දවසේ පැය 24 ගෙවී යන්නේ කුමන ජන රාශිගත වීම් අනුවද?

මෙකී නොකී තොරතුරු හැකිතාක් දැන ගැනීම සැලසුම්කරණයට උපකාර වනවා. මේවා ගැන දළ හැගීමක් නාගරික ජනයාට ඇතත් සැලසුම්කරණයට නිශ්චිත දත්ත හා ඒවායේ විචල්‍ය පරාසය (වෙනස් වන සැටි) දැනගැනීම අවශ්‍යයි.

මේ සඳහා මෙතෙක් යොදාගත්තේ විටින් විට කරන සමීක්ෂණයි. එහෙත් සමීක්ෂණවලට සංකීර්ණ පද්ධතියක සියලූ විස්තර හසු කර ගන්න බැහැ. මේ නිසා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ යොදාගනිමින් දැන් නව දත්ත විශ්ලේෂණ ක්ෂේත‍්‍රයක් බිහිවී තිබෙනවා.

ඉංග‍්‍රීසියෙන් Big Data යයි කියන මෙයට මහා දත්ත විශ්ලේෂණය යයි අපට කිව හැකියි. මේ ගැන වෙනම කොලමකින් ඉදිරි සතියක කතා කරමු.

ස්මාට්, සංවේදී හා සානුකම්පිත යන ගුණාංග සියල්ල කැටිකරගත් විට තමයි සැබෑ ස්මාට් නගර බිහිවන්නේ.

 

සිවුමංසල කොලූගැටයා #185: සංස්කෘතීන් යා කරන සාහිත්‍ය පාලම්

This week in my Ravaya column (in Sinhala), I discuss the role of literary translations in connecting cultures – both within Sri Lanka (across different linguistic groups) and linking Lanka with the rest of the world.

Inspiration for this column came in part from the Colombo International Book Fair 2014 (Sep 10-16), and the launch of a book (translated from Sinhala to English) a few days earlier, where I was asked to serve as compere.

Translations are like bridges, but I caution that poor translations offer hazardous connections to readers. I also argue that more Sinhala and Tamil books should be rendered into Sinhala, especially for the benefit of second and third generation Lankan diaspora members many of who are no longer reading in their parents’ mother tongue.

Photo0256

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අලෙවිය වැඩි පොත් වර්ගයක් වන්නේ සිංහලට පරිවර්තනය කළ සාහිත්‍ය කෘතීන්.

භාෂා හා සංස්කෘතින් අතර සන්නිවේදනය සඳහා පරිවර්තන අවශ්‍යයි. ඒවා දෙගොඩක් යා කරන පාලම් වගෙයි. එහෙත් හැම පාලමක්ම එක වගේ නොවනවා සේම හැම පරිවර්තනයක්ම එක සමාන හෝ එක ලෙස සාර්ථක හෝ වන්නේ නැහැ.

හොඳට කළ පරිවර්තන පරම්පරා ගණනක් පවතින්නට මනා සේ තැනූ සවිමත් පාලම්වලට සම කළ හැකියි. නමුත් සමහර පරිවර්තන යන්තමින් ඇටවූ ඒදණ්ඩක් හෝ යන්නට බිය සිතෙන විදියේ සංගිලි පාලමක් වගෙයි. තවත් සමහර ඒවා සටකපට කොන්ත‍්‍රාත්කරුවන් විසින් නිසි ප‍්‍රමිතියකින් තොරව අඩු වියදමින් තනන ලද පාලම්වලට සමානයි. කොයි මොහොතේ කඩා වැටෙයි ද ගසාගෙන යයි ද යන සැකයක් මතු වනවා.

පරිවර්තනය සුවිශේෂී කලාවක්. පරිවර්තනයක් යනු එක් බසකින් තව බසකට ලේඛනයක් පෙරැලීම පමණක් නොවෙයි. මුළු මහත් සංස්කෘතියක්ම එය නොදන්නා කෙනෙකුට හඳුන්වා දීමත් එහිදී කැරෙනවා.

හැම බසකම එයට ආවේණික වූ වචන, යෙදුම් හා උපමා තිබෙනවා. මේවා සමහරක් පරිවර්තනය කිරීම දුෂ්කරයි. එසේ කළත් මුල් අර්ථය තව දුරටත් රැඳී තිබෙන්නේ නැහැ.

මේ නිසා දක්‍ෂ පරිවර්තකයකු කරන්නේ එයට ආසන්න අරුත ඇති වචනයක්, යෙදුමක් හෝ කියමනක් පරිවර්තන බසෙන් සොයා ගෙන භාවිත කිරිමයි. මේ සඳහා වාග් විද්‍යාත්මක දැනුමට අමතරව භාෂා දෙකෙහිම සංස්කෘතික පසුබිම ගැන ද හොඳ දැනුමක් තිබිය යුතුයි.

ද්විභාෂිකත්වය පුළුල්ව හා ගැඹුරින් විග‍්‍රහ කළ හැකියි. ද්විභාෂිකත්වය යනු හුදෙක් භාෂා දෙකක් කියැවීමට හා ලිවීමට හැකි වීම හා වචන සමුදායක් දැන සිටීම පමණක් නොවෙයි. එකී භාෂාව මවු බස ලෙස යොදා ගන්නා ජනයාගේ සංස්කෘතික හා ඓතිහාසික පසුබිම, සාමයික නැඹුරුව හා වත්මන් දේශපාලනික ප‍්‍රවණතා ආදිය ද දැන සිටීම වැදගත්.

San Francisco Bridge

උදාහරණයකට රුසියානු විප්ලවයට පෙර ලියැවුණු සාහිත්‍ය කෘතීන් හා විප්ලවයෙන් පසු ලියැවුණු කෘතීන් අතර වෙනසට දේශපාලනික හේතු තිබෙනවා. පළමුවන හා දෙවන ලෝක යුද්ධ මෙන්ම සීතල යුද්ධය ද (1945-1989) බටහිර ලෝකයේ ජන සන්තානයට ලොකු බලපෑම් ඇති කළා. දකුණු අප‍්‍රිකාවේ යටත් විජිත හා වර්ණභේදවාදී ඉතිහාසය නොදැන මැන්ඩෙලා හෝ ස්ටීව් බීකෝගේ කෘතියක් හරියට පරිවර්තනය කළ නොහැකියි.

මේ පසුබිම් සාධක අවබෝධ කොට නොගෙන ශබ්දකෝෂ මත පමණක් පදනම් වී වචනාර්ථ පරිවර්තන කළොත් පරිවර්තිත කෘතිය කියවන පාඨකයන්ට ලොකු අවැඩක් සිදුවනවා.

එක් බසෙකින් තව බසකට යාන්ත‍්‍රිකව පරිවර්තනය කරන පරිගණක මෘදුකාංග දැන් තිබෙනවා. වෙන භාෂා ගැන මට තක්සේරු කළ නොහැකියි. එහෙත් ඉංග‍්‍රීසියෙන් සිංහලට මේ යාන්ත‍්‍රික පරිවර්තන පවතින්නේ ප‍්‍රාථමික මට්ටමකයි. ඒවායින් වචනයෙන් වචනයට කැරෙන පරිවර්තනය තේරුම් ගැනීම අසීරුයි! අද කාලේ නිකුත්වන සමහර සිංහල පරිවර්තන කර ඇත්තේ මිනිසුන් ද පරිගණක ද කියා සැකයක් ඇති වනවා.

විදෙස් පොත් රැසක් (බොහෝ විට ඉංග‍්‍රීසිය හරහා) සිංහලට පරිවර්තනය වෙතත් එය ප‍්‍රතිවිරුද්ධ දිසාවට සිදු වන්නේ කලාතුරකින්. එබඳු පොතක් දොරට වැඞීමේ උත්සවයට පසුගියදා මා සම්බන්ධ වුණා.

රන්ජිත් ධර්මකීර්ති ලේඛකයා හා නාට්‍යවේදියා 1991දී රචනා කළ ‘සත්මහල’ නවකථාව පී. වත්තේගම විසින් Mansion නමින් ඉංග‍්‍රීසියට පෙරළා තිබෙනවා. ද්විභාෂික උගතකු හා විශ‍්‍රාමික රාජ්‍යසේවා නිලධාරියකු වන වත්තේගමයන් මේ පරිවර්තනයට තමා පිවිසි ආකාරය හා මුහුණදුන් අභියෝග ගැන පැහැදිලි කළා.

පරිවර්තකයාට තමන් අමතන පාඨක සමූහය ගැන යම් හැඟීමක්, වැටහීමක් තිබිය යුතුයි. සිංහලෙන් ඉංග‍්‍රීසියට නවකථාවක් පරිවර්තනය කරන විට එය කියැවීමට වැඩිපුර ඉඩක් ඇත්තේ මෙරට සිටින සිංහල නොකියවන, එහෙත් රට ගැන අවබෝධයක් ඇති පාඨකයන්ද? නැතහොත් අපේ යථාර්ථයෙන් වඩාත් දුරස්ථ වූ විදේශික පාඨකයන්ද? මෙය තෝරා ගැනීම වැදගත්.

වත්තේගම මහතා සිංහලෙන් ඉංග‍්‍රීසියට පරිවර්තනය කිරිමේදී මතු වන අභියෝග කිහිපයක් සඳහන් කළා. සිංහල ජන ජීවිතයට හා ජනවහරට ආවේනික වූ ආමන්ත‍්‍රණ, ආහාරපාන නම් හා සමහරක් යෙදුම් වචනාර්ථයෙන් ඉංග‍්‍රීසියට (හෝ වෙනත් බසකට) පෙරළීමේ තේරුමක් නැති බව ඔහු කියනවා.

එසේම කෙනකු අමතන විට සිංහලෙන් යොදන වචන දුසිමකටත් වැඩියි. එය තරාතිරම, ආවේගය හා අවස්ථාවට අනුව වෙනස් වනවා. එහෙත් ඉංග‍්‍රීසියෙන් ඇත්තේ හදම නම් තනි වචනය පමණයි. වචනාර්ථය නිවැරදි වුවත් තැනට ගැලපෙන හැඟීම ජනිත කළ හැකි ද යන ප‍්‍රශ්නය මතුවනවා. (මෙයින් අදහස් වන්නේ ඉංග‍්‍රීසිය පොහොසත් නැති බවක් නොවෙයි. ඉංගී‍්‍රසියෙන් සමහර තනි වචන හරි හැටි පහදා දෙන්නට සිංහලෙන් වචන කිහිපයක් හෝ මුළු වැකියක්ම ඕනෑ වන අවස්ථා ද තිබෙනවා.)

Dr Harshana Rambukwella
Dr Harshana Rambukwella

විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල අද කලාතුරකින් හමු වන ගණයේ ද්විභාෂික වියතෙක්. ඔහු සිංහලෙන් නිකුත් වන නිර්මාණාත්මක කෘති කියවනවා. සිංහල සාහිත්‍ය සම්මාන විනිශ්චය මඩුලූවල සිටිනවා. විදෙස් සාහිත්‍යය හා මෙරට සාහිත්‍යය තුලනාත්මකව දැකීමේ හැකියාව ඔහුට තිබෙනවා.

‘සමාජ සංක‍්‍රාන්තිය පරිවර්තනය කිරිම’ මැයෙන් ඔහු කළ දේශනයේ සාහිත්‍ය කෘති පරිවර්තනයේ අපූර්වත්වය මෙන්ම අභියෝග ගැනත් මැනවින් විග‍්‍රහ කළා. දෙආකාරයක පරිවර්තන තිබෙනවා යයි ඔහු කියනවා. එකක් නම් මුල් කෘතියට බොහෝ සමීපව එයට හැකි තාක් සම වන්නට කැරෙන පරිවර්තනයි. අනෙක නම් වඩාත් නිදහස්ව කැරෙන පරිවර්තනයයි. මේ දෙවැන්නට අනුවාදයක් කියන්නටත් හැකියි.

පරිවර්තන හා අනුවාදයන් වෙනස් වන්නේ කෙසේද? අපට බොහෝ විට හමුවන්නේ සමීප පරිවර්තනයන්. අනුවාදයන් කිරීම වඩාත් දුෂ්කර නිර්මාණශීලි කාරියක්. ප‍්‍රකට උදාහරණයක් ලෙස ප‍්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ ලියූ ලෙ මිසරාබ්ල (Les Misérables) නවකථාව ඇසුරෙන් අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන් රචනා කළ ‘මනුතාපය’ දැක්විය හැකියි. මනුතාපය කථාව දිග හැරෙන්නේ 19 වන සියවසේ ප‍්‍රංශයේ වුවත් එහි කථා චරිත හා දෙබස් සිංහල ඌරුවට හැඩ ගසා තිබෙනවා. එය කියවන විට පිටස්තර සංස්කෘතියක කථාවක් යැයි සිතන්නේත් නැති තරම්.

ආචාර්ය රඹුක්වැල්ල පරිවර්තන දකින්නේ සංස්කෘතියකින් සංස්කෘතියකට සංක‍්‍රමණය වීමක් හැටියට. භෞතිකව අක්මුල් උදුරා ගෙන රටකින් රටකට සංක‍්‍රමණය වීම (migration) මෙන්ම සියුම් බවක් හා සංකීර්ණ බවක් එහි ගැබ් වනවා. එය කඩිමුඩියේ සාර්ථකව කළ හැකි දෙයක් නොවෙයි.

සිංහලෙන් හා දෙමලෙන් ලියැවෙන ස්වතන්ත‍්‍ර නිර්මාණවලින් වඩාත් හොඳ (සම්මානලාභී හෝ වෙළඳපොල ජනප‍්‍රියත්වයට පත්) කෘතීන් ඉංග‍්‍රීසියට පරිවර්තනය කිරීම හරහා අපේ නිර්මාණ සාහිත්‍යය ලොවට හඳුන්වා දිය හැකියි.

Ariyawansa Ranaweera
Ariyawansa Ranaweera

2013දී මෙරට සිංහල නවකථා 105ක් මුල් වරට ප‍්‍රකාශිත බවත්, එයින් කිහිපයක් ගුණාත්මකව ඉහළ මට්ටමක පවතින බවත් ප‍්‍රවීණ ලේඛක ආරියවංශ රණවීරගේ මතයයි. ‘‘එහෙත් ඒවා ඉංග‍්‍රිසියට පරිවර්තනය කිරීමට තරම් ද්විභාෂා කුසලතාව ඇති පරිවර්තකයන් සොයා ගැනීම ප‍්‍රශ්නයක්. මෙයට විසඳුම කුමක්දැයි මා දන්නේ නැහැ’’ ඔහු කියා සිටියා.

1950 දශකය අගදී තීරණය කරනු ලැබ 1960 දශකයේ සිට ක‍්‍රියාත්මක වන මෙරට ස්වභාෂා අධ්‍යාපන ප‍්‍රතිපත්තිය යටතේ ඉංග‍්‍රීසි බසට ලැබුණේ අඩු ප‍්‍රමුඛතාවක්. මේ නිසා ඉංග‍්‍රීසියට නුහුරු හා (ඇතැම් විට) එය හෙළා දකින පරම්පරා දෙකක් තුනක් මෙරට බිහිව සිටිනවා.

1960 ගණන්වල ඉපිද 1970-80 දශකවල පාසල් ගිය මගේ පරම්පරාවත් මීට අයිතියි. (ජාතිකවාදී ප‍්‍රතිපත්ති ඉන්දියාවේ ද නිදහසෙන් පසු පෙරට ආවත් ඔවුන් කිසිදා ඉංග‍්‍රීසි කොන් කළේ නැහැ.) මේ ඓතිහාසික සාධකය නිසා ද්විභාෂාමය හැකියාව හා ලෝකය ගැන පුළුල් වූ ආකල්ප ඇත්තවුන් අද මෙරට සිටින්නේ ටික දෙනයි.

ඉංග‍්‍රීසියෙන් මුල් කෘති ලියන අපේ රටේම ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ සිංහල හා දෙමළ පාඨකයන් හඳුනා ගන්නේ ද දේශීය පරිවර්තන හරහායි. එයට උදාහරණ ලෙස වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් වනාන්තර හා වැදි ජනයා ගැන ලියූ පොත්, ඔහුගේ දියනිය ක‍්‍රිස්ටීන්ගේ ප‍්‍රබන්ධ කථා, Grass For My Feet ලියූ ජී. විජයතුංගගේ කෘතීන් ආදිය මෙන්ම වඩාත් මෑත කාලයේ බිහි වූ ලාංකික ප‍්‍රබන්ධකරුවන්ගේ කෘතීන් ද සඳහා කළ හැකියි.

සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය දෙකක් ලෙස පැහැදිලිව බෙදුණු අපේ ජන සමාජයේ එකිනෙකා වඩා හොඳින් හඳුනාගන්නට ද පරිවර්තනවලට උපකාර විය හැකියි. එහෙත් සිංහලෙන් දෙමළට හා දෙමළෙන් සිංහලට සෘජුව කැරෙන පරිවර්තන සංඛ්‍යාව ඉතා සීමිතයි. මෙයට හේතුව මේ භාෂා දෙකෙහිම නිපුනත්වය ඇති ලේඛකයන් හා පරිවර්තකයන් හිගවීමයි. එසේම එබඳු නිර්මාණ සඳහා අපේ රටේ වෙළඳපොළ ඉල්ලූමක් සෑහෙන තරමට බිහිව නැතැයි සිතෙනවා.

මේ නිසා දෙවැනි හොඳම විසඳුම ලෙස ඉංග‍්‍රීසි පරිවර්තන හරහාවත් සිංහල හා දෙමළ නිර්මාණාත්මක සාහිත්‍යය අනෙකාට සමීප වන්නේ නම් එය හොඳ දෙයක් බව එදින සංවාදයේදී කියැවුණා.

ජාතික භාෂා 19ක් හා ප‍්‍රාදේශීය භාෂා දුසිම් ගණනක් කථා කැරෙන ඉන්දියාවේ වෙනස් වූ ජන කොටස්වල නිර්මාණ සාහිත්‍යය එකිනෙකා හඳුනා ගන්නේ බොහෝ විට ඉංග‍්‍රිසි පරිවර්තන හරහායි. ඉන්දීය සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රය සමීපව අධ්‍යයනය කරන ලාංකික ලේඛක නීල් විජේරත්න මෙය උදාහරණ සහිතව පෙන්වා දී තිබෙනවා.

කණගාටුවට කරුණ මෙයයි. යුද්ධයෙන් පසු දිගට හරහට පාලම් ඉදි කැරෙන මේ සමයේ, අපේ රටේ භාෂා තුන අතර අදහස් හුවමාරුව වැඩි කරන්නට හරිහැටි පරිවර්තන කැරෙන්නේ ඉතා අඩුවෙන්.

මෙරට සිංහල හා දෙමළ සාහිත්‍යය ඉංග‍්‍රීසියට පරිවර්තනය වීමේ තවත් වාසියක් මා දකිනවා. එනම් ඩයස්පෝරාවේ සාංස්කෘතික අවශ්‍යතාවකට ප‍්‍රතිචාර දැක්වීමයි. සිංහල හෝ දෙමළ පසුබිමක් ඇති ලාංකික සම්භවයෙන් යුත් ජනයා ලක්‍ෂ 15-20ක් පමණ මෙරටින් පිට ජීවත් වනවා. සමහරුන් සදහටම රට හැරදා ගොස් තිබෙන අතර අනෙක් අය රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා විදේශගතව සිටිනවා. දිගු කලක් විදෙස්ගතව සිටින ලාංකිකයන්ගේ ඊලඟ පරම්පරාවට බොහෝ විට මවු බස එතරම් හෝ කොහෙත්ම හෝ කථා කිරීමට – ලිවීමට නොහැකියි.

විශේෂයෙන් බටහිර රටවල වෙසෙන මේ ඩයස්පෝරා දෙවැනි පරපුරට අපේ නිර්මාණ ගෙන යා හැකි එකම මාර්ගය ඉංග‍්‍රීසි පරිවර්තනයි. එහි විභවය හා අවශ්‍යතාවය පැවතියත් එය වෙළඳපොල යථාර්තයට බද්ධ කරන්නේ කෙසේද? මුද්‍රිත පොත් පිටපත් වෙනුවට විද්්‍යුත් පොත් (e-books) මෙයට උපකාර වේද?

අපේ ප‍්‍රකාශකයන් මේ ගැන ටිකක් විමසිලිමත් වන්නේ නම් හොඳයි.