සිවුමංසල කොලූගැටයා #146: ජාතිවාදියා මානසික රෝගියෙක්දැයි ඇසූ ආචාර්ය ඊ. ඩබ්ලියු. අදිකාරම්

In this week’s Ravaya column (in Sinhala), I explore another facet of the scholar and free thinker Dr E W Adikaram (1905-1985). On 10 Nov 2013, I discussed his contributions as a pioneer in public communication of science in Sinhala. Today, I discuss his uncompromising stand on non-violence (ahimsa) and his debunking of racial segregation of humanity for which there is no biological basis.

I covered this topic in English on 16 Oct 2013: Dr E W Adikaram: Debunking the Delusion of Nationalism

Dr E W Adikaram
Dr E W Adikaram

ආචාර්ය ඊ. ඩබ්ලියු. අදිකාරම් සූරීන් විද්‍යා සන්නිවේදනයට කළ පුරෝගාමී දායකත්වය ගැන අප පසුගිය කොලමකින් (2013 නොවැම්බර් 10) කෙටි විග‍්‍රහයක් කළා. නව විද්‍යා දැනුම සරලව හා විචිත‍්‍රව සිංහල පාඨකයන්ට හා ශ‍්‍රාවකයන්ට ගෙන ඒමට ඔහු දශක ගණනක් ගෙන ගිය ඒකපුද්ගල ප‍්‍රයත්නයන් ප‍්‍රශංසනීයයි.

සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

ඒ බොහොමයක් ඔහු කළේ ප‍්‍රකාශන සමාගම් හා වාණිජමය පදනමකින් තොරව මහජන සේවයක් ලෙසින්. එහෙත් ඊටත් වඩා තීරණාත්මක සමාජයීය මෙහෙවරක් ඔහු ඉටු කළ බව මගේ අදහසයි. එනම් අන්ධ විශ්වාස හා ඇදහිලිවල ගැලී සිටින ලක් සමාජය, මෝහයේ නිද්‍රාවෙන් අවදි කරන්නට ඔහු ගත් උත්සාහයයි.

ජාතිවාදය හා ජාතිකත්වය වැනි සංකල්ප ද ඔහු ප‍්‍රබලව විවේචනය කළා. සිංහල බෞද්ධ සමාජයේ ජනප‍්‍රිය වීම වෙනුවට දිගු කාලීනව ලක් මනස අවධි කිරීමේ අරමුණ උදෙසා ඔහු අභීතව හා අදීනව ක‍්‍රියා කළා.

ආචාර්ය අදිකාරම් කරුණු විමසා බලා, තුලනාත්මකව විග‍්‍රහ කොට අදහස් දක්වන්නට සමතෙක්. තර්ක කිරීමටත් හපන්. තමන්ගේ මතය නොබියව ප‍්‍රකාශ කිරීමට කිසි විටෙක පසුබට වූයේ නැහැ. සමහර වෙලාවට සම්මත සමාජ දැක්මට වෙනස් වූ හෝ ප‍්‍රතිවිරුද්ධ වූ හෝ ස්ථාවරයන්ට එළඹුණා. අන් අයගේ විකල්ප අදහස්වලට ගරු කරන අතර ම තනි ගසක් තනි කරලක් මෙන් තමන්ගේ මතය ඉදිරිපත් කළා.

මෙය වඩාත් කැපී පෙනුණු අවස්ථා දෙකක් මට සිහි වෙනවා. එකක් නම් අවිහිංසාව පිළිබඳ ඔහු ගත් තිරසාර ස්ථාවරය. ලොකු කුඩා කිසිදු සත්වයකුට දැනුවත්ව හිංසාවක් නොකිරීමේ දැඩි අධිෂ්ඨානයක් ඔහුට තිබුණා. ඒ සඳහා ඔහු ප‍්‍රායෝගිකත්වයෙන් ඔබ්බට පවා ගිය අවස්ථා ගැන අදිකාරම් චරිතාපදානයේ සත්‍ය සිදුවීම් හමු වනවා.

මසට සතුන් ඇති කිරීම හා මාංශ භක්ෂණයට එරෙහිව ඔහු ජීවිත කාලය පුරා ම කථා කළා. ශ‍්‍රී ලංකා නිර්මාංශ සංගමය (Sri Lanka Vegetarian Society) හරහා මේ සංකල්පය සමාජයේ ප‍්‍රචලිත කරන්නට බොහෝ සේ කැප වී ක‍්‍රියා කළා. එදිනෙදා කථාබහේ දී පවා ඒ ගැන කෙටියෙන් හෝ සඳහනක් කළා.

මා ඔහු හමු වූ මුල් අවස්ථාවේ අපේ කථාබහට මේ මාතෘකාව ද එක් වුණා. ‘සතුන්ගේ මළකුණු කෑම පිඟානට ළං කර ගන්නට ඔබට පිළිකුල් නැද්ද?’ ඒ ඔහු නිතර ඇසූ ප‍්‍රශ්නයක්.

පරිනාමයේ මුල් කාලයේ මාංශ භක්ෂණයට අපේ වර්ගයා තුළ ඇති වූ නැඹුරුව ටිකෙන් ටික දුරු කළ යුතු බවත්, මානව ප‍්‍රචණ්ඩත්වය පිටු දැකීමේ හොඳම දිගු කාලීන උපක‍්‍රමය එය බවත් ඔහු අවංකව විශ්වාස කළා.

ඔහුගෙ විග‍්‍රහය: ‘තමන්ගේ ආහාරය සඳහා හෝ වෙනත් අවශ්‍යතා සඳහා හෝ මිනිසුන් සතුන් මරන්නේ එම සත්වයන් කෙරේ, ආදරයත්, දායවත් නැතිකම නිසා. මේ සත්ව ඝාතන මුල් කර ගෙන මිනිසාගේ හිත ගොරෝසු වෙනවා ආදරය, දයාව, කරුණාව තුරන් වෙලා, කෲරකම වර්ධනය වෙනවා. මිනිසාගේ පැවැත්මට ගස් කොළන් අවශ්‍ය වන නිසාත්, මිනිසා පාථිවියේ පහළ වූයේ අනෙක් සතුන්ට වඩා පසු කාලයකදී නිසාත් මිනිසාට පෘථිවියේ තනි අයිතියක් හෝ විශෙෂ අයිතියක් ගැන කථා කරන්නට බැහැ. ’

Dr  E W Adikaram

අදිකාරම් සූරීන් මිය යන්නට තෙවසරකට පමණ පෙර පුවත්පත් ලිපියක් ලිවීමට ඔහු හමු වන්නට ගිය සැටි විද්‍යා ලේඛක එස්. එම්. බන්දුසීලයන් සිහිපත් කරනවා. එතැනදීත් මේ මාතෘකාව මතු වෙලා.

‘ලංකාවෙ සිටින ලොකු ම ත‍්‍රස්තවාදියා කවුදැයි ඔබ දන්නවා ද?’ ආචාර්ය අදිකාරම් අසනවා.

1983 වන විට උතුරේ යුද්ධය ඇරැඹී තිබුණු හෙයින් බන්දුසීලයන් ප‍්‍රභාකරන්ගේ නම සඳහන් කරනවා. එතකොට ආචාර්ය අදිකාරම්ගේ උත්තරය වූයේ ප‍්‍රභාකරන්ටත් වඩා අතිවිශාල ජීවිත හානියකට දිනපතා නායකත්වය දෙන කෙනකු රටේ සිටින බවයි. එවකට ධීවර ඇමතිවරයාගේ නම කියමින් මේ ‘මහා පරිමාණ සත්ව ඝාතනයට’ එරෙහිව ඔහු කථා කරනවා.

ආචාර්ය අදිකාරම්ගේ හැටි එහෙමයි. තැනේ හැටියට සැර බාල කිරීමක් හෝ ඇඟ බේරා ගෙන කථා කිරීමක් ඔහුට තිබුනේ නැහැ!

අදිකාරම් සූරීන් ඊටත් වඩා ප‍්‍රබල ලෙස විවේචනය කළ සමාජ සංකල්පයක් වූයේ ජාති, කුල, ගෝත‍්‍ර වශයෙන් මානව පවුල කොටස් කිරීමයි. මේ ගෝත‍්‍රවාදයට කිසිදු ජෛව විද්‍යාත්මක පදනමක් නැති බවත්, එය හිතෙන් මවා ගත් හා සංස්කෘතියෙන් වඩාත් තියුණු කළ බෙදීම් සමුදායක් බවත් ඔහු සාධක හා තර්ක සහිතව පෙන්වා දුන්නා.

ආචාර්ය අදිකාරම් තව දුරටත් මෙසේ අසනවා: ‘‘කුරුල්ලෝ ජාති වශයෙන් එකිනෙකට වෙනස් වෙති. උකුස්සා හා පරෙවියා අතරත්, වටුවා හා මොනරා අතරත් ස්වාභාවික වෙනසක් තිබේ. සිංහලයා හා දෙමළා අතරත්, ඉංගී‍්‍රසිකාරයා හා ජර්මන්කාරයා අතරත් එවැනි වෙනසක් තිබේ ද?’’

සැබැවින් නොපවතින ‘ලේබල්’ අලවා ගෙන ඒ අනුව පිල් බෙදී කුලල් කා ගැනීම උන්මාදයක් හෙවත් මානසික රෝගයක් බවත් ඔහු ප‍්‍රසිද්ධියේ කියා සිටියා. 1958 මැදදී ‘සිළුමිණ’ පුවත්පතට ඔහු ලියූ ලිපියක හෙඩිම වූයේ ‘ජාතිවාදියා මානසික රෝගියෙක් නොවේ ද?’ යන්නයි. මේ තර්කානුකූල විවේචනය එතැන් සිට විවිධ අවස්ථාවල පත‍්‍රිකාවක් හා දේශනයක් හැටියට යළි යළිත් ඔහු ප‍්‍රතිරාවය කළා.

‘‘දියසේන නොවන තැනැත්තා දියසේන යයි සිතා ගෙන දියසේන වශයෙන් හැසිරෙන විට ඔහු මානසික රෝගියකු වෙයි නම්, ඇත්ත වශයෙන් ම නැති සිංහල ජාතියක්, නැති දෙමළ ජාතියක්, නැති ඉංගී‍්‍රසි ජාතියක් ඇතැයි සිතා ගෙන මම සිංහලයෙක්මි, මම දෙමළෙක්මි, මම ඉංගී‍්‍රසිකාරයෙක්මි යයි හැසිරෙන තැනැත්තා මානසික රෝගියකු නොවන්නේ කෙසේ ද?’’

එයට එකඟ වූ පිරිස් මෙන් ම ඒ නිසා කැළඹීමට පත් වූ අය ද බොහෝ සිටි බව ඔහු ලියා තිබෙනවා. 1983 ජාතිවාදි කළු ජූලි කලහයෙන් පසු එම ලිපිය ඉංග‍්‍රීසියට පෙරලා වඩාත් පුළුල් පාඨක පිරිසක් අතර බෙදා හරිනු ලැබුවා. එහි අන්තර්ගතය හා තර්ක එදාටත් වඩා අදට අදාළයි.

Isn’t the Nationalist a Mental Patient? http://tiny.cc/EWA

1984 වසරේ ‘මානව’ විද්‍යා ප‍්‍රකාශනයේ 3 වන කලාපයට ආචාර්ය අදිකාරම් සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියක් හරහා ද මේ අදහස් නව පාඨක පිරිසකට හඳුන්වා දෙනු ලැබුවා. එවකට වෛද්‍ය ශිෂ්‍ය (දැන් වෛද්‍ය විශේෂඥ) අරුණ දෙවන්මිනි රබෙල් ලියූ එහි මාතෘකාව ‘ඔබයි, ජාතියයි, ජාතිවාදයයි’.

ජාතිවාදයේ සුලමුල ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ගේ විග‍්‍රහයට ලක් වූයේ මේ අයුරින්: ‘‘ජාතිවාදය හෝ වෙනත් මොන යම් ආකාරයක බෙදීමක් හෝ ඇති වෙලා තිබෙන්නේ මිනිසා තුල පවතින ආත්මාර්ථකාමී භාවය නිසා. මේ හේතුවෙන් අනෙකා පරයා නැගිටින්නට යාමේදී මිනිසා තුල කෲරකමක් ඇති වෙනවා. මේ කෲරකම හා ආත්මාර්ථකාමීකම නිසා ම තමයි අද මිනිසා ජාති, කුල, රටවල් ආදි වශයෙන් වර්ගවලට බෙදිලා කටයුතු කරන්නේ.’’

‘‘ලොකු රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනිසුන් ලක්ෂ ගණනක් මැරීම සඳහා පරමාණු ආයුධ තැනීම ආදී ලොකු උමතු කි‍්‍රයාවල යෙදෙනවා. ලංකාව වැනි කුඩා රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනි මැරීම, කැති පොලූවලින් ඇන කොටා ගැනීම, තමන්ගේ නොවන භාෂාවකින් ලියන ලද නාම පුවරුවල තාර ගෑම ආදී කුඩා උමතු කි‍්‍රයාවල යෙදෙනවා.’’

මානව නියෝජිතයා හැටියට ගිය වෛද්‍ය ශිෂ්‍යයාගේ ජාතිය ගැන සමීපව ප‍්‍රශ්න කරන අදිකාරම් සූරීන් එය හුදු සිතින් මවා ගත් මනෝරූපයක් පමණක් බව කෙටි වේලාවකින් පෙන්වා දෙනවා. මේ ප‍්‍රශ්න හමුවේ නිරුත්තර වූයේ මානව නියෝජිතයා පමණක් නොවේ යයි ආචාර්ය අදිකාරම් සිනාසෙමින් පවසනවා.

Maawana Sinhala science mag, issue 3 - interview with Dr E W Adikaram in racism
Maawana Sinhala science mag, issue 3 – interview with Dr E W Adikaram in racism

ආගමික වතාවත් හා පුද පූජා ගැන කිසිදු විශ්වාසයක් නොතැබූ ඔහු සැබෑ බෞද්ධයන්ට එය චින්තනයෙන් හා චර්යාවෙන් කි‍්‍රයාත්මක කරන සැටි පෙන්වා දුන්නා. පෙනුමට හා අන්ධානුකරණයට ආගම් ඇදහීම ඔහු කිසි විටෙක පිළිගත්තේ නැහැ. ‘ජීවිතයට එක් වතාවක් පන්සිල් ගත්තාම හොඳට ම ඇති’ යැයි ඔහු කළ විග‍්‍රහය සමහර බෞද්ධයන්ට ඇල්ලූවේ නැහැ.

එසේ ම යමක් පැරණි හා දේශීය වූ පමණට ම එය අවිචාරවත්ව හා මුඵමනින් පිළිගත යුතු නැතැයි ආචාර්ය අදිකාරම් ප‍්‍රසිද්ධියේ කියා සිටි දෙයක්. ආකාශ වස්තූන් විසින් අපේ ඉරණම තීරණය කරනවා යයි කියන ජ්‍යෙතිෂයත්, හස්තරේඛා කියැවීමෙන් කෙනකුගේ ගති සොබා සහ අනාගතය දැකිය හැකි යයි කියන ගුප්ත ශාස්ත‍්‍රයත් ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කළා.

හස්තරේඛා කියැවීම වරක් ඔහු උපහාසයට ලක් කළේ මෙසේයි. ‘‘ඉඳහිට කෙනකුගේ රැකියාව හෝ කර්මාන්තය කුමක්දැයි අත් පිරික්සීමෙන් හොඳට අනුමාන කළ හැකියි. උදාහරණ හැටියට පොල් කැඞීමට ගස් නගින කෙනකුගේ දෑතේ කරගැටවලින්!’’

අපේ ඉතිහාසය, බුදුදහම හා සංස්කෘතිය ගැන පර්යේෂණාත්මක දැනුමක් හා පෙරදිග උරුමයන් පිළිබඳ ලොකු අවබෝධයක් තිබූ මේ වියතා මෙසේ විවෘත මනසකින් ප‍්‍රශ්න විග‍්‍රහ කිරීම විශේෂ වැදගත්කමක් ගන්නවා. ඔහුට බටහිරට ගැති වූ මානසිකත්වයක් තිබුණා යයි කිසිවකුටත් කිව නොහැකියි. අපේ උරුමයන් අතරින් වර්තමානයට අදාල දේ උකහා ගෙන ඉතිරිය ප‍්‍රවේශමින් පසෙක තැබිය යුතු බවට අදිකාරම් සූරීන්ගේ ලිපි ලේඛන අතර උපදෙස් හා විග‍්‍රහයන් හමු වනවා.

ආචාර්ය අදිකාරම්ගේ ඇතැම් දැඩි ස්ථාවරයන් ප‍්‍රායෝගික නොවූ බව මගේ අදහසයි. මුඵමනින් ම නිර්මාංශ ආහාරයට යොමු වීම පුද්ගල මට්ටමෙන් ගත යුතු තීරණයක් මිස රාජ්‍ය හෝ සාමයික හෝ මට්ටමෙන් පුරවැසියන් මත බලෙන් පැටවිය යුත්තක් නොවෙයි. එසේ ම සත්ත්ව පාලනය හා ධීවර කර්මාන්තය අද වන විට සැළකිය යුතු පිරිසකට ජීවිකාව හා ආදායම් මාර්ග සපයනවා. (1990 දශකය මුලදී බෞද්ධ භික්ෂූන් පිරිසකගේ බල කිරීම පිට අභ්‍යන්තර ධීවර කර්මාන්තයට රාජ්‍ය අනුබලය නතර කිරීම නිසා එම ක්‍ෂෙත‍්‍රයත්, ප්‍රෝටීන් ආහාර ප‍්‍රභවයකුත් කලකට අඩාල වූ සැටි අපට මතකයි.)

එහෙත් අදිකාරම් දුම්පානයට හා මත්පැනට එරෙහිව ගත් සාරධර්මීය ස්ථාවරය නම් ඊට වඩා වැඩි ජන පිරිසක් අතරට සමීප වූවා යයි කිව හැකියි.

අදිකාරම් චරිතාපදානයක් පළ වී ඇත්දැයි පාඨකයන් කිහිප දෙනකු මගෙන් විමසුවා. ජයන්ත විජේවික‍්‍රම නම් මහතකු ඔහු ගැන ලියූ පොතක් මා කියවා තිබෙනවා. දෙනගම සිරිවර්ධන මාධ්‍යවේදියා වසර කිහිපයකට පෙර අදිකාරම් කථාව කොටස් වශයෙන් විදුසරට රචනා කළා. එයට අමතරව එතුමන්ගේ සිතිවිලි පති‍්‍රකා කාණ්ඩ කිහිපයක් ලෙස පොත් හැටියට මුද්‍රණය කොට අලෙවි කැරෙනු මෙවර කොළඹ පොත් ප‍්‍රදර්ශනයේදි මා දුටුවා.

www.facebook.com/E.W.Adikaram

සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to scholar and free thinker Dr E W Adikaram (1905-1985), a Lankan pioneer in public communication of science in Sinhala.

I also recall with gratitude how, a few months before his death at age 80, he advised and guided me through a challenging science writing assignment on the history and science of comets.

Dr E W Adikaram (1905-1985)
Dr E W Adikaram (1905-1985)

2013 සැප්තැම්බර් 15දා කොලමින් මානව විද්‍යා සඟරාවේ පුරෝගාමී මෙහෙවර ගැන අපි කථා කළා. එයට ප‍්‍රතිචාර දැක් වූ සමහර පාඨකයන් ඉල්ලා සිටියේ විද්‍යා සන්නිවේදනයේ තවත් පුරෝගාමීන් හා පෙරගමන්කරුවන් ගැනත් විටින් විට සිහිපත් කරන ලෙසයි.

ආචාර්ය ඊ. ඩබ්ලියු. අදිකාරම් සූරීන් (1905 – 1985) අප බොහෝ දෙනෙකු වඩා හොඳින් හඳුනන්නේ දාර්ශනිකයකු, ප‍්‍රතිපත්තිගරුක අවිහිංසාවාදියකු හා බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ ශාස්ත‍්‍රවේදියකු හැටියටයි. ඔහු සිංහලෙන් විද්‍යාව ප‍්‍රචලිත කිරීමට දශක ගණනාවක් පුරා තනි පුද්ගලයෙකුගේ මට්ටමින් කළ දායකත්වය ඔහුගේ අනෙකුත් වැදගත් සමාජ මෙහෙවරට සාපේක්ෂව මෙරට අඩු ඇගයීමකට ලක් වූවා යැයි කිව හැකියි.

1933දී ඔහු ලන්ඩන් සරසවියෙන් ආචාර්ය උපාධිය සඳහා ලියූ මුල් යුගයේ ලාංකික බුදුසමයේ ඉතිහාසය පිළිබඳ නිබන්ධනය, අද දක්වාත් එම ක්ෂේත‍්‍රයේ අගනා පර්යේෂණ කෘතියක් ලෙස සැලකෙනවා. 1933 – 1945 කාලයේ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම යටතේ පාලනය වූ පාසල් කිහිපයක විදුහල්පති මෙන් ම ආරම්භකයා ලෙසත් ක‍්‍රියා කළ ඔහු, මෙරට අධ්‍යයන ක්ෂෙත‍්‍රයේ ද නොමැකෙන නමක් සනිටුහන් කළා.

ඉන්දියානු දාර්ශනික ජේ. ක‍්‍රිෂ්ණමූර්තිගේ චින්තනය කියවා පැහැදුණු අදිකාරම් වයස 40දී සිය ජීවිතයේ ගමන් මග වෙනස් කළා. ඒ දක්වා දැරු තනතුරු සියල්ලෙන් ඉවත් වූ ඔහු දිගු කලකට ආධ්‍යාත්මික චාරිකාවක් සඳහා ඉන්දියාවට ගියා.

1947දී ක‍්‍රිෂ්ණමූර්ති මුල්වරට හමු වූ තැන් පටන් ඔහු සමඟ සමීප මිතුදමක් ගොඩ නඟා ගත්තා. ආමිස පූජා පෙරටු කර ගත් සංවිධානාත්මක ආගම් හා වතාවත් සියල්ල ප‍්‍රතික්ෂේප කොට ආධ්‍යාත්මික ගුණ වගාවට මුළු අවධානය ම යොමු කිරීමේ ක‍්‍රිෂ්ණමූර්ති චින්තනය පිළි ගත් ආචාර්ය අදිකාරම්, එය මෙරට ප‍්‍රචලික කිරීමට ජීවිතයේ ඉතිරි කාලය කැප කළා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිෂ්ණමූර්ති කේන්ද්‍රය, තරුණ සිතිවිලි සමාජය හා ලංකා නිර්මාංශ සංගමය හරහා ඔහු උදක් ම උත්හාස කළේ වඩාත් අවිහිංසාවාදී වූත්, විචාරශීලි වූත් ලක් සමාජයක් බිහි කිරීමටයි. විද්‍යාව, කලාව හා දර්ශනවාදය යන තුනෙහි සංකලනයක් හරහා නූතනත්වය හා සාරධර්ම මනාව තුලනය කර ගත් සමාජයක් බිහි කළ හැකි යයි ඔහු විශ්වාස කළා. විද්‍යා සන්නිවේදනයේ ඔහු නිරත වූයේ මෙකී පුළුල් දාෂ්ටිමය රාමුව තුළ පිහිටා ගෙනයි.

ජ්‍යෙෂ්ඨ පාසල්වල විද්‍යාව විෂයය සිංහලෙන් ඉගැන්වීම ඇරැඹුණේ 1957දී. එයට සමාන්තරව (විෂය මාලාවට ඍජුව අදාළ) පෙළපොත් මෙන් ම අතිරේක විද්‍යා කියැවීම් පොත් ගණනාවක් ද එළි දුටුවා. ඉංග‍්‍රීසියෙන් විද්‍යා අධ්‍යාපනය ලැබු විද්වතුන් කිහිප දෙනෙකු පුරෝගාමී ලෙස සිංහලෙන් විද්‍යා පොතපත ලිවීමට පටන් ගත්තා. මේ අය අතර අදිකාරම් සූරීන් කැපී පෙනුණු බව සිංහල විද්‍යා සාහිත්‍යයේ ඉතිහාසය ගැන ගවේෂණාත්මකව ලියූ ලිපියක විද්‍යා ලේඛක අසෝක ඩයස් සඳහන් කරනවා. (විදුසර, 1990 නොවැම්බර් 5).

ආචාර්ය අදිකාරම්ගේ ‘විද්‍යා කථා’ නම් ප‍්‍රකට විද්‍යා සාහිත්‍ය කෘතිය මුල් වරට පළ වූයේ 1952දී. එක් එක් පන්ති සඳහා ‘සාමාන්‍ය විද්‍යාව’ නම් පොත් පෙළක් ද ඔහු රචනා කළා.

සරල සිංහලෙන් කරුණු පැහැදිලි කිරීමට අමතරව ජායාරූප යොදා ගැනීම ද ඔහු කළ බව අසෝක කියනවා. උදාහරණයකට 1954දී පළ වූ 8 වැනි පන්තියට සාමාන්‍ය විද්‍යාව පොතේ රෝගකාරක විෂබීජයක් 10,000 වාරයක් විශාල කොට පෙන්වන රූපයක් අඩංගු වුණා.

1950 දශකයේදී ආචාර්ය අදිකාරම් තවත් පුරෝගාමී ප‍්‍රකාශන කටයුත්තකට යොමු වුණා. එනම් විද්‍යා දැනුම හා තොරතුරු සඳහාම වෙන් වූ වාරික ප‍්‍රකාශනයක් මුල්වරට සිංහලෙන් පළ කිරීමයි. ඔහුගේ සංස්කාරක්තවයෙන් බිහි වූ ‘නවීන විද්‍යා’ සඟරාව එම්. ඞී. ගුණසේන සමාගම මගින් පළ කිරීම ඇරැඹුණේ 1950 ජූලි මාසයේදී.

1950-55 වකවානුවේ නිතිපතා පළ වූ මේ සඟරාව විටින් විට නතර වෙමින්, යළිත් නව පණ ලබමින් 1970 ගණන් දක්වාම පවත්වා ගෙන යනු ලැබුවා. රීඩර්ස් ඩයරස්ට් සඟරා ප‍්‍රමාණයේ හුරුබුහුටි හැඩයෙන් යුත් මේ සඟරා පිටපත් පාසල් පුස්තකාලයේ දී මා කියැවුයේ 1973-4දී පමණ. නමුත් සිංහල විද්‍යා සඟරාවල ඉතිහාසය ගැන 1990දී විදුසරට ලිපියක් ලියූ ප‍්‍රභාත් වීරරත්න කියන්නේ සොයා ගත හැකි වූ ආකාරයට අවසන් ‘නවීන විද්‍යා’ කලාපය පළවී ඇත්තේ 1972දී බවයි.

Dr E W Adikaram Stamp issued in 1988
Dr E W Adikaram Stamp issued in 1988

විද්‍යාත්මක සංකල්ප සරලව පහදා දෙන අතරම විදු ලොව අළුත් පුවත් ද ගෙන ඒමට ‘නවීන විද්‍යා’ කතුවරයා ක‍්‍රියා කළා. බොහෝ ලිපි ලියනු ලැබුවේ ද ඔහු විසින්මයි. විශේෂයෙන් තාරකා විද්‍යාව හා ජීව විද්‍යා මාතෘකාවලට ඔහු වැඩි අවධානයක් යොමු කළා.

මීට අමතරව 1959 පටන් ‘විද්‍යා’ නමැති තවත් සඟරාවක් ද ආචාර්ය අදිකාරම් පටන්ගත් බව වාර්තාගතයි. එය කොපමණ කලක් පැවතියා දැයි පැහැදිලි නැහැ. නමුත් 1966 ජූනි මාසයේ වෛද්‍ය බුද්ධදාස බෝධිනායකගේ සංස්කාරකත්වයෙන් ඇරැඹි ‘විද්‍යා’ සඟරාව ඊට වෙනස්.

ආචාර්ය අදිකාරම් මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම රේඩියෝ මාධ්‍යය හා සජීව දේශන හරහා ද විද්‍යාත්මක දැනුම හා චින්තනය ප‍්‍රවර්ධනය කළා. 1955 ජූනි 20 වනදා ශ‍්‍රී ලංකාවට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ රේඩියෝ විස්තර කථනයට සහභාගි වූ ඔහු, සාකච්ඡා වැඩසටහන් හරහා කාලීන මාතෘකා සංවාදයට ලක් කළා.

අභ්‍යවකාශ තරණය, සාගර ගවේෂණය, න්‍යෂ්ටික තාක්ෂණය, පරිගණක විද්‍යාව ආදි ක්ෂේත‍්‍ර ඉක්මනින් හා ප‍්‍රබලව මතු වෙමින් තිබු 1960 හා 1970 දශකයන්හිදී ඔහු මේ නව දැනුම විචාරශීලිව ග‍්‍රහණය කර ගන්නට ලක් සමාජයට මාහැඟි අත්වැලක් සැපයුවා.

ආචාර්ය අදිකාරම් මට මුණගැසුණේ දෙවතාවයි. ඒ ඔහුගේ ජීවිතයේ අන්තිම මාස කිහිපයේදී. වසර 76කට පසු නැවතත් 1986දී දිස්වීමට නියමිත වූ සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව ගැන ඓතිහාසික, විද්‍යාත්මක හා වෙනත් තොරතුරු මෙන් ම මතකයන් ද රැස් කරමින් ‘කල්පනා’ සඟරාවට විස්තරාත්මක කවරයේ කථාවක් (විශෙෂාංග ලිපි එකතුවක්) මා සම්පාදනය කරමින් සිටියා.

එවකට මා උසස් පෙළ විද්‍යා සිසුවකු හැටියට අත ගැසුවේ ලෙහෙසි කාරියකට නොවෙයි. එහෙත් ඒ උත්සාහයේදී මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, එඞ්වින් ආරියදාස වැනි වියතුන්ගෙන් මෙන්ම ආචාර්ය අදිකාරම්ගෙන් ද නොමඳ සහයක් ලැබුණා.

1985-86ට පෙර හැලීගේ වල්ගාතරුව දිස්වූයේ 1910දී. එය කුඩා දරුවන් ලෙස දුටු හා තවමත් මතකයන් තිබූ වැඩිහිටියන් සොයා ගෙන යද්දී ඒ ගැන ඉතා පැහැදිලි ආවර්ජනා ලබා දුන්නේ ආචාර්ය අදිකාරම්. 1905දී උපන් ඔහු හැලීගේ වල්ගාතරුව දැක්කේ ලාබාල වියේදී වුවත් මනා බුද්ධියක් හා සියුම් නිරීක්‍ෂණ ශක්තියක් තිබූ නිසා එය හොඳ හැටි ධාරණය කළා.

ඔහු කී හැටියට: ‘‘1910යේ හැලීගේ වල්ගා තරුව පායපු හැටි මට හොඳට මතකයි. ඒ වන විට මගේ වයස අවුරුදු පහක් විතර ඇති. මෙහෙම වල්ගාතරුවක් එනවාය කියන රාවය හොදින් පැතිරී ගිහින් තිබුණා. දවසක් පාන්දර ම මගේ මිත්තණිය මාව නින්දෙන් අවදි කළා වල්ගාතරුව පෙන්වන්න. ඈ මා කැඳවාගෙන ගියේ අපේ ගෙදර අසල තිබූ කුඩා කඳුවැටියට. උදෑසන 4ට – 5ට විතර අහසේ වල්ගාතරුව දිස් වූ බව මට මතකයි. මුල් දවස්වල කුඩාවට තිබුණු වල්ගාතරුව දිනෙන් දින ම විශාල වෙමින් දීප්තියෙන් වැඩි වුණා. පහුවෙන කොට එය ඉර බැස ගිය පසු සැන්දෑ අහසේත් දිස් වෙන්න පටන් ගත්තා. අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා විහිදෙන්නාක් මෙන් වූ හැලීගේ වල්ගාතරුව චමත්කාර ජනක දර්ශනයක් වුණා.

‘‘හැබැයි අපේ වැඩිහිටියෝ, ළමා අපට වැඩිවෙලා වල්ගාතරුව බලන්නට ඉඩ දුන්නේ නැහැ. එයින් යම් හානියක් වේය කියා වෙන්ට ඇති. ඒත් කුඩා අපි හැකි සෑම විට ම කළේ එළිමහනට ගිහින් වල්ගාතරුව බැලීමයි….’’

An image of Halley's Comet, taken on 29 May 1910 by Professor Edward Emerson Barnard at Yerkes Observatory
An image of Halley’s Comet, taken on 29 May 1910 by Professor Edward Emerson Barnard at Yerkes Observatory

1985 නොවැම්බරය වන විට ආචාර්ය අදිකාරම් 80 හැවිරිදිව සිටියත් තවමත් තීක්‍ෂණ බුද්ධියකින් හා සංවේදී මනසකින් යුතු බව ඔහු හා කථාබහ කරන විට හොදාකාර පෙනී ගියා. අතීතාවර්ජනය සටහන් කරගෙන, ඔහුට වැඩිපුර කරදර නොකර මා පිටත්ව යන්නට හදන විට මේ විෂය ගැන මෙතෙක් මා රැස් කරගත් තොරතුරු ගැන ඔහු සුහදව ප‍්‍රශ්න කළා.

ඉතිහාසය, බුදුදහම, පාලි හා සංස්කෘත යන විෂය ක්‍ෂෙත‍්‍රවලට අමතරව ඔහු සිය ලන්ඩන් බී. එ්. උපාධියට ගණිතය හා තාරකා විද්‍යාව හදාරා තිබූ හා සිංහලෙන් තාරකා විද්‍යාව ගැන මුල් යුගයේ ලියූ කෙනකු හැටියට ඔහුගේ උපදෙස් කැමැත්තෙන් ම ලැබෙන විට මා එය මහත්  ඕනෑකමින් භාර ගත්තා.

1950දී තමා ලියා පළ කළ ‘අහස’ නම් පොත් පිංචක වල්ගාතරු ගැන කොටස මට පෙන් වූ ඔහු, ලිපිය ලියා ගෙන යළිත් තමා වෙත ගෙන ආවොත් යම් වරදක් තිබුණොත් පෙන්වා දිය හැකි බවත් කීවා.

Kalpana magazine cover - Feb 1986
Kalpana magazine cover – Feb 1986

මූලාශ‍්‍ර දුසිම් ගණනක තිබූ තොරතුරු සරලව හා තර්කානුකූලව ගොනු කරමින් ‘වල්ගාතරු – එදා, අද සහ හෙට’ මැයෙන් ප‍්‍රධාන ලිපිය කෙටුම්පත් කළ මම දින හතරකට පසුව නැවතත් ආචාර්ය අදිකාරම් හමු වීමට ගියා. ඔහු සාවධානව අසා සිටියදී මා එය හඩ නගා කියෙව්වා. විටින් විට වචනයක්, කරුණක් ගැන ඔහු ප‍්‍රශ්න කළා.

පැය තුනක් තිස්සේ ආචාර්ය අදිකාරම් සමග ප‍්‍රධාන ලිපිය වඩාත් හරවත් හා ඔපවත් කළ පසු මා සදාකල් සිහි රැදන පාඩමක් උගත්තා. විද්‍යා ලිපියක් වුවත්, මොන ලිපියක් වුවත් ලියන විට ලොකු ලොක පණ්ඩිත (පාරිභාෂික) වචන වෙනුවට හැකි තරම් එදිනෙදා වහරේ හමු වන වචන යොදා ගැනීම වඩාත් වැඩදායක බවයි. එදා සිට අද දක්වාත් මා කරන්නේ එයයි.

‘‘ඔය වල්ගාතරු කියන සිංහල වචනයත් වැරදියි,’’ ඔහු අන්තිමේදී පෙන්වා දුන්නා. ‘‘ ඕකෙ තේරුමක් නැහැ. මේ ආකාශ වස්තුවට අප දන්නා ආකාරයේ වල්ගයක් නැහැ. එය කිසිසේත්ම තරුවකුත් නොවෙයි’’

‘‘එතකොට ධූමකේතුව කියන වචනය?’’ මා ප‍්‍රශ්න කළා. ඔහුගේ උත්තරය: ‘‘ඒකත් එහෙමයි. එහි දුමක් ඇත්තේත් නැහැ. ඒක කේතුවක් (කොඩියකුත්) නොවෙයි.’’

මම: ‘‘ඉතින් ඔය වචන දෙක ම දොස් සහිත නම් වඩා සුදුසු වචනයක් යෝජනා කළ හැකි ද?’’

ආචාර්ය අදිකාරම්: ‘‘ ඕනෑ නැහැ. දැන් පෙරේරා කියන පුද්ගලයාට සිල්වා කිව්වයි කියලා වෙනසක් වෙන්නේ නැහැනෙ. ඔය වචන දෙක ම භාවිතා කළාට කමක් නැහැ. නමුත් ඒවා යෙදෙන අවස්ථාවල ඒ ගැන නිවැරදි අවබෝධය දීමයි වඩා වැදගත්.’’

ආචාර්ය අදිකාරම්ගේ හැටි එහෙමයි! ඔහු තර්ක කිරීමේ ගජ සමතෙක්. එහෙත් හැම වාද විවාදයකදී ම ඉතා සන්සුන්ව හා ආචාරශීලීව අදහස් දැක්වීමත්, අන් හැමගේ අදහස්වලට ගරු කිරීමත් ඔහු ජීවිත කාලය පුරා ම කළා.

අපේ ඒ දෙවන හමු වීමෙන් මාසයක් ගත වන්නට පෙර 1985 දෙසැම්බර් 28 වනදා ආචාර්ය අදිකාරම් මිය ගියා. කල්පනා කර්තෘ ගුණදාස ලියනගේ සූරීන් පසුව තහවුරු කර ගත් අන්දමට එතුමන් අභාවප‍්‍රාප්ත වන්නට පෙර අවසන් වරට කථා කළ මාධ්‍ය නියෝජිතයා වූයේ මායි.

See also: E W Adikaram Facebook Page