සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

I use this week’s Ravaya column (in Sinhala) to address an open letter to newly elected Sri Lanka President Maithripala Sirisena.

Mandela and Maithrii: Emulation must go beyond election campaign!
Mandela and Maithrii: Emulation must go beyond election campaign!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත ලියුමක්

ජනාධිපති මහතාණෙනි,

යුක්තිය, සාධාරණත්වය සහ යහපාලනය උදෙසා පෙනී සිටිමින් ඔබ ලැබූ මැතිවරණ ජයග‍්‍රහණයට සුබ පැතුම්!

බොහෝ බාධක, කම්කටොලූ හා අභියෝග මැද ඔබ ප‍්‍රතිපත්ති ගරුකව මැතිවරණ ව්‍යාපාරය කර ගෙන ගිය සැටි අප බලා සිටියා. එසේම ඔබ මතු කළේ හඬක් නැති සුවහසක් ලක් ජනතාවගේ අහිසංක අපේක්ෂා හා බලාපොරොත්තුයි.

ඔබ දැන් අප රටේ හැම තැනෙකම වෙසෙන සියලු ජනයාගේ ජනපතියි. එහෙත් ඔබ රජකු නොව නිශ්චිත ධූර කාලයකට පත් කර ගත් ජනතා සේවකයකු පමණයි. මැතිවරණය වකවානුවේ පුරවැසි බලය දෙපිලටම මතක් කළ පරිදි, අප මෙරට පුරවැසියන් මිස යටත්වැසියන් නොවේ!

ජනාධිපති මහතාණෙනි,

මා ඔබට මෙසේ අමතන්නේ ගරුසරු නැතිව යයි නොසිතන්න. අතිගරු, උතුමාණෙනි, මැතිතුමනි ආදී අනවශ්‍ය ලෙසින් නිවට යෙදුම් මා කවදත් යොදන්නේ නැහැ. 2012 පටන් ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි හඳුන්වා දුන් උතුම් සම්ප‍්‍රදාය අපට ද ඔබින බව මගේ අදහසයි. ඒ අනුව එරට ජනාධිපතිවරයා ඇමතිය යුත්තේ “Mr President” කියා පමණයි.

වැඩවසම් යුගයේ යල් පැන ගිය යෙදුම් වෙනුවට, ජන සම්මත නායකයකු ඇමතීමේ සුදුසු සිංහල යෙදුමක් අප ද හනික සොයා ගත යුතුයි.

එසේම ගිහියකු වන ඔබ හමුවේ බාල මහලු කිසිවකුත් දණ ගැසීම කළ යුතු ඇයි? අතට අත දීම හෝ ආයුබෝවන් ආචාරය ප්‍රමාණවත් යයි ඔබම නිසි ප්‍රමිතියක් පනවනු ඇතැයි සිතමු.

2009 මැයි මාසයේ අපේ සිවිල් යුද්ධය නිමා වුණු විගස (පැය 24ක් ඇතුළත) ඉංග‍්‍රීසියෙන් මා ලියූ ලිපියක මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගත බලාපොරොත්තු ගැන මා මහත් කැක්කුමකින් යුතුව කතා කළා. (“Memories of War, Dreams of Peace”, Groundviews.org, 2009 මැයි 19)

එහි මා පල කළ සමහර අදහස් මේ මොහොතේ යළි මතු කිරීම වටිනවා.

යුද්ධයේ අමිහිරි දායාදයන් අතර එකිනෙකා සැක කරන ලක් සමාජයක් ද, අප සියලූ දෙනා දෙස ඉමහත් සැකයෙන් බලන ලක් රාජ්‍යයක් ද බිහිව තිබූ බව මා කියා සිටියා. සාමයත් සමග භීතිය, සැකය දුරු කොට සහජීවනය, සුහදත්වය හා අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම් වූ රටක් ඉක්මනින් බිහි වනු ඇතැයි මා පැතුවා.

එහෙත් දැන් අප හොඳින් දන්නා පරිදි, එබන්දක් සිදු වූයේ නැහැ. ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය වෙනුවට ජාතිවාදය හා ආගම්වාදය යළි යළිත් වපුරනු ලැබුවා. එසේම රටේ මහජනයා නිරතුරුව සැක කරන, අපේ පෞද්ගලික දුරකථන කතාබහට හොරෙන් සවන් දෙන, විපක්ෂය හා විකල්ප මතධාරීන් ගැන අසීමිත ලෙස ඔත්තු බලන රහස් පොලිස් රාජ්‍යයක් (surveillance state) බිහි වුණා.

රාජ්‍යයේ (state) තාවකාලික භාරකරුවා පමණක් වන පවතින රජය (government) හේතු සහිතව විවේචනය කිරීම පවා “බරපතල වරදක්” ලෙස හුවා දක්වනු ලැබුවා. පාලකයන් කරන කියන දේ වැඳ ගෙන අසා සිට ඔජ දමා අනුමත නොකරන සියලූ දෙනා “ජාතිද්‍රෝහීන්” යැයි නම් කරනු ලැබුවා.

මර්දනය හමුවේ සමහරුන් රට හැර පණ බේරා ගෙන පලා ගියා. විකල්ප දේශපාලන මත රැගත් වෙබ් අඩවි මෙරට සිට කියවීම අවහිර කරනු ලැබුවා. අපේ සමාජය අතිශයින් ධ‍්‍රැවීකරණය වුණා.

මේ බිහිසුණු ප‍්‍රවණතා මතු වී පැතිරෙනු බලා සිටි ඔබ, අපටත් වඩා ඉතා හොඳින් ඒ අමිහිරි මෑත අතීතය දන්නවා. එහෙත් මේ තීරණාත්මක අවස්ථාවේ ඔබ පරෙස්සම් නොවුවහොත් දැන් ඔබ වටා රොක් වන සමහරුන් ඔබේ පාලන කාලය තුළ ද පවත්වා ගන්නට තැත් කරනු ඇත්තේ එයට සමාන මර්දනයක්.

මගේ 2009 මැයි ලිපිය මා අවසන් කළේ මෙලෙසයි. ‘‘අප‍්‍රිකානු උදාහරණ අපේ රටට ගෙඩි පිටින් ආදේශ කළ නොහැකි වුවත්, මෑත ඉතිහාසයෙන් අපට ආදර්ශ ලද හැකියි. සුදු සමැති පිරිසකගේ සුළුතර පාලනයෙන් මිදුණු සිම්බාබ්වේ දේශයත්, දකුණු අප‍්‍රිකාවත් ඉනික්බිති ගමන් කර ඇත්තේ ප‍්‍රතිවිරුද්ධ දිශාවලටයි. අපේ රටේ අතිශය තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇති මේ මොහොතේ අපේ නායකයන් තෝරා ගන්නේ මුගාබේ මාවතද – මැන්ඩෙලා මාවතද?” (“Would our leaders now choose the Mandela Road or the Mugabe Road for the journey ahead?”)

Which road to take, ponders Mahinda Rajapaksa after war victory - Cartoon by Gihan de Chickera, published in Daily MIrror, 4 June 2009 (2 weeks after Sri Lanka's civil war ended)
Which road to take, ponders Mahinda Rajapaksa after war victory – Cartoon by Gihan de Chickera, published in Daily Mirror, 4 June 2009 (2 weeks after Sri Lanka’s civil war ended)

මෙසේ ලිවීම ගැන එවකට රජයේ මාධ්‍ය ප‍්‍රකාශකයාගේ දෝෂාරෝපණයට ද මා ලක් වුණා. එහෙත් යුද්ධයෙන් පසු අපේ රට යොමු වුණේ මුගාබේ මාවතට බව නොකැමැත්තෙන් වුව ද පිළිගත යුතුයි.

යහපාලනය ගැන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මත ජනාධිපතිවරණය දිනූ ඔබෙන් අප උදක්ම බලාපොරොත්තු වන්නේ ප‍්‍රමාද වී හෝ පශ්චාත් යුද වකවානුවේ රට ගමන් කළ මුගාබේ මාවතෙන් ඉවත්ව හැකි තාක් ඉක්මනට මැන්ඩෙලා මාවත දිශාවට අප රැගෙන යන ලෙසයි.

පවතින ව්‍යවස්ථා රාමුව හා දේශපාලන යථාර්ථය තුළ මෙය කිරීම අසීරු බව අප දන්නවා. එහෙත් මැතිවරණ ව්‍යාපාරයේදී මැන්ඩෙලා හා මහත්මා ගාන්ධිගේ රූපයන් සංවේදී ලෙස භාවිත කරමින් ඔබ ජන හදවත් තුළ දැල්වූ අපේක්ෂා නිවී යන්නට නම් ඉඩ දෙන්න එපා! (1994දී චන්ද්‍රිකා ජනපතිනිය ගැන අප සමහරෙක් මෙලෙසම තැබූ බලපොරොත්තු දෙතුන් වසරකට පසු දිය වී ගිය ආකාරය අපට මතකයි.)

ඔබට මේ දිනවල බොහෝ උපදෙස් හා ඉල්ලීම් ලැබෙනවා ඇති. ඒ ගොඩට මා එකතු කරන්නේ එකම එකක් පමණයි. එනම් නෙල්සන් මැන්ඩෙලා රූපය ඔබේ මැතිවරණ ප‍්‍රචාරණයට යොදා ගත් තැනින් නොනැවතී, මැන්ඩෙලා දැක්ම, ප‍්‍රතිපත්ති, පූර්වාදර්ශයන් හා පරමාදර්ශය හැකි තාක් අපේ දේශපාලනයට හා සමාජයට සමීප කරවන ලෙසයි.

මෙය ජන නායකයකුට ලෙහෙසියෙන් හෝ තනිව හෝ කළ හැකි දෙයක් නොවෙයි. එහෙත් මැන්ඩෙලා මෙන්ම ඔබ ද නැවත ධුර කාලයකට තරග නොකරන්නට ඔබ දිවුරුම් දුන් දිනයේම ප‍්‍රතිඥා දීම මේ දිශා වෙනසේ පෙර මග නිමිත්තක් සේ මා සළකනවා.

Maithripala Sirisena's campaign poster that acknowledged his inspiration from Gandhi and Mandela
Maithripala Sirisena’s campaign poster that acknowledged his inspiration from Gandhi and Mandela

 

අතිශයින් බෙදී තිබූ දකුණු අප‍්‍රිකාවේ සියලූ ජාතීන් හා විවිධ දේශපාලන මතධාරීන් එක් රැස් කරගෙන දේදුනු ජාතියක් බිහි කරන්නට මැන්ඩෙලා වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ද කැප වුණා. එහෙත් එයට සමාන්තරව අතීත අසාධාරණයන්ට හා හිංසාවන්ට ලක් වූ අයට කල් ගත වී හෝ සාධාරණය හා සහන ලබා දෙන්නට සත්‍යය හා සංහිඳියා කොමිසම හරහා පියවර ගත්තා.

මර්දනකාරී යුගයකින් වඩාත් නිදහස් යුගයකට පිවිසි විගස බලාපොරොත්තු හා ඉල්ලීම් රැසක් මතු වනවා. එම සංක‍්‍රාන්තියේදී ප‍්‍රතිවිරුද්ධ මත දරණ, ආවේගශීලී අනුගාමිකයන් හා සහෘදයන් සමග සාවධානව සාකච්ඡා කරමින්, එහෙත් සිය මූලික අරමුණු පාවා නොදෙමින් මැන්ඩෙලා ගිය ගමන විසි වන සියවසේ දිරිය ජිවිතයක කථාවයි.

වෛරීය දේශපාලනය හෝ මමත්ව දේශපාලනය වෙනුවට මැන්ඩෙලා කළේ සාමූහික වගකීම හා කැපවීම ඔස්සේ රටේ සියලූ පුරවැසියන්ට රට ගොඩනැංවීමට අවස්ථාව උදා කර දීමයි. නැති වී ගිය අභිමානය නැවත ඇති කිරීමයි. ඊනියා ජාතිපේ‍්‍රමය වෙනුවට සැබෑ ජාතිමාමකත්වයක් සෙමෙන් බිහි වන්නට සුදුසු ප‍්‍රතිපත්තිමය හා නීතිමය රාමුවක් රටේ බිහි කිරීමයි.

මැන්ඩෙලාගේ සන්නිවේදන දැක්ම හා ප‍්‍රවේශය ගැන මා මේ කොලමින් කිහිප වතාවක් සාකච්ඡා කොට තිබෙනවා. 2013 ඔක්තෝබර් 21දා මා ලියූ පරිදි:

“නිදහස පතා අරගල කළ වෙනත් විප්ලවකරුවන් බොහෝ විට තැත් කළේ මුඵමනින් තමන්ගේ මතයට හැකි තාක් ජනයා හැකි ඉක්මනින් නතු කර ගන්නයි. එහෙත් උද්වේගකර කථා හා වචන හරඹයන්ට වඩා නූතන මාධ්‍ය හරහා ජන මනසට සැහැල්ලූ ලෙසින් සමීප විය හැක්කේ කෙසේ ද යන්න මැන්ඩෙලා සොයා බැලූවා. මේ නිසා මැන්ඩෙලා පරමාදර්ශීය ජන නායකයකු වනවාට අමතරව සූක්‍ෂම ජන සන්නිවේදකයකු ද වනවා.”

“බලයට පත්වන බොහෝ රාජ්‍ය නායකයන් සුලබව කරන දෙයක් නම් රාජ්‍ය බලය යොදා ගෙන ජාතික මෙන් ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා හරහා දිගට හරහට රටවැසියන් ඇමතීමයි…. ඕනෑ නම් මැන්ඩෙලාටත් එබන්දක් කළ හැකිව තිබුණා. එහෙත් ටෙලිවිෂන් හරහා නිතර නිතර පෙනී සිටින දේශපාලකයන් ජනතාවට ඉක්මනින් එපා වන බව ඔහු තේරුම් ගත්තා.”

ජනතාවට නිතර දෙවේලේ බණ කියනු වෙනුවට මැන්ඩෙලා කළේ තමන්ටම තර්කානුකූලව සිතා තීරණ ගැනීමේ පුද්ගල නිදහස උදා කිරීමයි. ඒ සමගම සාමූහික වගකීම් හා යුතුකම් ගැන සියුම් ලෙස සිතන්නට සැලැස්වීමයි.

රටක් හදන්නට ජන නායකයන් පමණක් නොව ඔවුන්ට විචාරශීලීව පන්නරය දෙන එඩිතර බුද්ධිමතුන් හා කලාකරුවන් ද අත්‍යවශ්‍යයි. 2013 ජූලි 28දා මා ලියූ පරිදි: “නෙල්සන් මැන්ඩෙලාගේ හා දකුණු අපි‍්‍රකාවේ වාසනාවට නැඞීන් ගෝඩිමර්, ඩෙස්මන්ඞ් ටූටූ වැනි නිවහල් මතධාරීන් ගණනාවක් වර්ණභේදවාදය පිටු දකින්නට හා ඉන් පසු නව දේශයක් බිහි කරන්නට ඒකරාශී වුණා. මැන්ඩෙලා දේශපාලන ගනුදෙනු කරමින් පාක්‍ෂිකයන් සතුටු කරන්නට කෙටිකාලීන පියවර ගන්නට යන විට ඔහුව දේශපාලන මඩගොහොරු හා බොරුවලවලින් බේරා ගත්තේ මෙබදු විචාරශීලි සහෘදයන්.”

අවස්ථාවාදී එහෙයියන්ගෙන් හා වන්දිභට්ටයන්ගෙන් ඔබ්බට යන විචාරශීලී සහෘදයන් පිරිසක් ඔබට ද ඉක්මනින්ම ලැබේවා යයි උදක්ම පතමු!

Maithripala Sirisena manifesto cover
Maithripala Sirisena manifesto cover

ජනාධිපති මහතාණෙනි,

21 වන සියවසේ ජන නායකයන් යනු නරපති මානසිකත්වය පෙරදැරි කර ගත් වැඩවසම් අධිපතිවාදීන් නොවේ. ඔවුන් ක‍්‍රියා කරන්නේ උත්පේ‍්‍රරක හැටියටයි. රසායන විද්‍යාවේ උත්පේ‍්‍රරක (catalyst) ලෙස හදුන්වන්නේ අන්තර්ක‍්‍රියා හට ගැනීමට දායක වී සෙමෙන් පසෙකට වන ආකාරයේ සංසිද්ධියක්.

රටේ සියලූ ආයතන, තන්ත‍්‍ර හා තීරණ තමා වටා කේන්ද්‍ර කර ගත් “මමයි රජා” නායකත්වයක් වෙනුවට අදට ගැළපෙන්නේ සියුම්ව හා සංවේදීව ක‍්‍රියා කරන නායකත්වයක්.

ඔබ දැන් පත්ව සිටින තනතුරේ ඉමහත් බලතල නිසා හිස උදුම්මා නොගෙන, කොයි කාගේත් හොඳ හිත දිනා ගෙන එහෙත් තීරණාත්මකව ප‍්‍රතිසංස්කරණ කිරීමට ඔබට හැකි වේවා යැයි මා පතනවා. ඒ සඳහා ජේ.ආර්.ට තිබුණු තියුණු දැක්මත්, විජේතුංගට තිබූ නිර්ව්‍යාජ ගැමි ගුණයත්, චන්ද්‍රිකාට පැවති එඩිතර භාවයත් ඔබට ලැබේවා!

ඔබේ දින සියයේ වැඩපිළිවෙළ ගැන අප සිටින්නේ අවදියෙන්. ඔබට සුබ පතන මා වැනි නිදහස් මතධාරීන් ඔබට වරදින විට එසැණින් එයට ප‍්‍රතිචාර දක්වන්නට සමාජ මාධ්‍ය යොදා ගනු ඇති. අප එය කරන්නේ කිසිදු අගතියකින් තොරව, කිසිදු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අනුගත නොවී සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළිත් මෙරට තහවුරු කරන්නයි.

එබඳු විසම්මුති හා විවේචන දරා ගත හැකි මහත්මා ගුණය ඔබට ඇතැයි මා සිතනවා. එසේම ඔබ වටා දැනටමත් රොක්ව සිටින වන්දිභට්ටයන්ගෙන් ප‍්‍රවේශම් වන ලෙස ද මා ඔබෙන් ප‍්‍රසිද්ධියේම ඉල්ලා සිටිනවා.

ජන සම්මතයෙන් තේරී පත් වන ජන නායකයන් ජනතාවට එපා කරවන්නේ ඔහු හෝ ඇය වටා සිටින වන්දිභට්ට පිරිසයි. මේ බව ඔබ හොඳාකාරවම දන්නවා. අඩු තරමින් ජනාධිපති චරිත දෙකකට මෙය සිදුවනු ඔබ සමීපව දුටුවා.

මේ ඔබේ දේශපාලන ජීවිතයේත් අපේ රටේත් මැන්ඩෙලා මොහොතයි (Mandela Moment). ඉතිහාසයේ මෙබඳු මොහොතක් විවරව පවතින්නේ සීමිත කාලයකට පමණයි. එය වැළඳ ගෙන, මිලියන් 21ක සියලූ ලක් ජනයා ප‍්‍රමාද වී හෝ 21 වන සියවසට කැඳවාගෙන යන්නට ඔබට දිරිය, විරිය හා දීඝායු ලැබේවා.

මෙයට,

කිසිදා ඔබට කීකරු නොවන,

සිවුමංසල කොලූ ගැටයා/නාලක ගුණවර්ධන

See also:

21 July 2013: සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

28 July 2013: සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ

20 Oct 2013: සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

 

සිවුමංසල කොලූගැටයා #177: වැඩවසම් ජන සන්නිවේදනය හා සමාජ මාධ්‍ය අභියෝගය

In this week’s Ravaya column (in Sinhala), I revisit the on-going debate on social media and social accountability, this time from the perspective of freedom of expression.

Unless a user takes consistent precautions, everything published online is ultimately traceable to the point of origin. However, for most practical purposes, options of anonymity and pseudonymity are still available on the web – and widely used by users, for a variety of reasons. Contrary to what some misinformed people say, there is nothing legally or morally wrong with this practice.

Of course, the facilities can be misused, most notably in spreading hate speech and deliberate falsehoods. But this reality, by itself, is not a sufficient argument against online anonymity or pseudonymity. Indeed, as I argue in this column, being able to conceal one’s real identity is a safe way for social activists and public intellectuals to express their views living in countries with repressive regimes and/or intolerant societies.

While I myself have always expressed my views online under my own name — and sometimes received vitriol and threats as a result — I defend the right for anyone to remain anonymous or use pseudonyms.

Social Media: Handle with care and caution!
Social Media: Handle with care and caution!

සමාජ මාධ්‍ය හා පොදුවේ වෙබ්ගත සන්නිවේදනවලට නැගෙන එක් බරපතල චෝදනාවක් නම් නිර්නාමිකව හෝ ආරූඨ නම්වලට මුවා වී හෝ යම් අය ඒ හරහා අසත්‍යයන් පතුරුවන බවත්, අපහාසාත්මක ප‍්‍රචාර කරන බවත්.

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක් අනිසි ලෙස යොදා ගත හැකියි. නිර්නාමික කැලෑ පත්තර, තර්ජනාත්මක ලියුම් හා දුරකථන ඇමතුම් ආදිය දශක ගණනක් තිස්සේ සිදු වන දේවල්. විවෘතව හා සංවරව සංවාදයක්ට එළඹීමේ පෞරුෂය නැති සුළුතරයක් මෙබඳු අකටයුතුකම් කළ පමණින් ලිවීමේ කලාව, තැපෑල හෝ දුරකථන සේවා සමස්තයක් ලෙස අපවාදයට ලක් වූයේ නැහැ.

එසේ නම් ටික දෙනෙකු වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා එබඳුම නොමනා හැසිරීමක යෙදෙන විට සමස්ත මාධ්‍යයටම හා වේදිකාවටම දොස් ක’ම තර්කානුකූල හෝ සාධාරණ නැහැ.

මෙතැනදී මතු වන්නේ අළුත් තාක්‍ෂණයක් ගැන නොදන්නාකම නිසා හට ගන්නා සැකය හා භීතියයි. නැතහොත් අළුත් ර්‍ණබිල්ලන්” තනා ගැනීමට අපේ සමාජයට ඇති නොතිත් ආසාව ඉස්මතු වීමයි.

දැනුවත් වූ හා ප‍්‍රවේශම්කාරි සමාජ මාධ්‍ය භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව කියන්නේ සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවා ගත් අනන්‍යතා (pseudonymity) හෝ හරහා ද්වේශසහගත ලෙස තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප‍්‍රවණතා වැඩිවෙමින් පවතින බවයි. සංජන කියන්නේ නියාමනය නොව සයිබර් සාක්‍ෂරතාවය හා දැනුවත්බව තීව‍්‍ර කිරීම අත්‍යවශ්‍ය බවයි.

නිර්නාමිකව හෝ ආරූඨනාමිකව සන්නිවේදනය කිරීම වරදක් ලෙස පෙනුනත් එහි සමාජයීය වාසි ද තිබෙනවා.

කියන දෙයට වඩා කියන්නා කෙරෙහි අවධානය යොමු කිරීමත්, තර්කයට ප‍්‍රතිතර්ක ඉදිරිපත් කරනු වෙනුවට තර්ජන හෝ මැර ප‍්‍රහාර එල්ල කිරීමත් අද අපේ සමාජයේ සුලබ ප‍්‍රවණතාවක්.

රජය පමණක් නොව අන්තවාදී වෙනත් කණ්ඩායම් ගණනාවක් ද විකල්ප මත ඉවසීමට නොහැකිව හා විවේචන දරා ගත නොහැකිව විරුද්ධ මතධාරීන්ට හිරිහැර කරන අපේ රටේ වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන විට සමහරුන් වෙනත් නමකින් පෙනී සිටීමට සාධාරණ හේතු තිබෙනවා.

මේ පසුබිම තුළ බොහෝ වියතුන් හා වෘත්තිකයන් මුළුමනින් නිහඬ වෙද්දී ටික දෙනෙකු අවදානමට මුහුණ දෙමින් සිය නමින්ම පොදු අවකාශයේ සන්නිවේදනය කරනවා. එසේ කිරීමට නොහැකි එහෙත් පොදු උන්නතිය අරභයා පෙනී සිටීමට රිසි අන් අයට ඇති එක් ප‍්‍රවේශයක් නම් නිර්නාමිකව හෝ ආරූඨනාමිකව බ්ලොග් අඩවියකින්, නැතහොත් සමාජ මාධ්‍ය වේදිකාවකින් කාලීන මත දැක්වීමයි. මෙය ඔවුන්ට ඇති අයිතියක්. මා දන්නා බහුතරයක් එබඳු අය සංවේදීව, සංවරව හා තුලනාත්මකව සන්නිවේදනය කරනවා.

typewriter

විකල්ප මත ඉවසීමේ හා ඒවාට මතවාදීවම පිළිතුරු දීමේ කුසලතාවය නැති බොහෝ පාලකයන් තැත් කරන්නේ විකල්ප මතධාරීන් හොඳින් නැත්නම් නරකින් නිහඬ කිරීමටයි. එහිදී ඔවුන් කවුදැයි හඳුනා ගැනීම අවශ්‍ය වනවා. නිර්නාමික වූ විට එය සොයා ගැනීම වඩා අසීරුයි.

1965-1989 කාලය තුළ කොමියුනිස්ට් රුමේනියාවේ ඒකාධිපති පාලකයාව සිටියේ නිකොලොයි චෞචෙස්කු (Nicolae Ceaușescu). නැගෙනහිර යුරෝපීය රාජ්‍ය අතරින් අතිශයින්ම දරුණු හා මර්දනකාරි පිළිවෙත් අනුගමනය කළේ ඔහුගේ පාලනය බව පිළි ගැනෙනවා. වසර 25ක් පමණ සමස්ත රුමේනියාවම ඔහුගේ රහස් පොලිසියේ ඔත්තු බැලීමට හා හිංසනයට නතුව තිබුණා.

මේ මර්දනයේ එක් පැතිකඩක් වූයේ පාලකයා හා ඔහුගේ පවුලේ උදවිය ගැන කිසිදු විවේචනයක්, ප‍්‍රශ්න කිරීමක් කළොත් එය රාජ්‍ය විරෝධී යයි සළකා දැඩි දඬුවම් කිරීමයි. බහුතරයක් අහිංසක ජනයා මේ යකඩ සපත්තුවට පෑගී මිරිකී සිටි අතර නිර්භීත කලාකරුවන් හා උගතුන් අතලොස්සක් යටිබිම්ගත දේශපාලනයක් හරහා විකල්ප අදහස් රහසේ සංසරණය කළා.

එවකට රුමේනියාවේ තුවක්කුවක් හිමි කර ගන්නවාට වඩා යතුරු ලියනයක් ලබා ගැනීම අමාරු වුණා. චෞචෙස්කුගේ එක් අවනීතියක් වූයේ රටේ සියළුම යතුරු ලියන (ටයිප්රයිටර්) ලියාපදිංචි කළ යුතු බවයි. අත්අකුරින් ලියූ ලේඛනවල රචකයා සොයා ගැනීම වඩා පහසු නිසා යතුරු ලියනවලට අවසර දුන්නේ ඉතා සීමිතවයි. අවසරලත් හැම යතුරු ලියනයක්ම පොලිසියට ගෙන ගොස්, එහි අකුරු රටාව ලේඛනගත කරනවා. ඇඟිලි සළකුණු සටහන් කරනවාට සමාන අයුරකින්.

Buring the Typewriter by Carmen Buganකාමන් බියුගන් Carmen Bugan ලේඛිකාව 2011දී ලියූ Burying the Typewriter: Childhood Under the Eye of the Secret Police නම් මතක පොතෙහි රුමේනියාවේ ප‍්‍රාදේශීය විරුද්ධ මතධාරියකු වූ තම පියා රහසිගතව යතුරු ලියනයක් සඟවා ගෙන සිටි අන්දම විස්තර කරනවා.

භාවිත කිරීමෙන් පසු පොළව යට වළලන තරම් ‘භයානක’ මෙවලමක් බවට අහිංසක යතුරු ලියනය පත් වූ සැටි ඇය කියනවා. රටේ ජනතාවගෙන් හැම තිදෙනෙකුගෙන් එක් අයකුම රහස් පොලිසියට තොරතුරු සපයමින් මිතුරන්, අසල්වැසියන් හා පවුලේ සාමාජිකයන් වුව ද පාවා දුන් අන්දම කියවන විට මර්දනයේ තරම අපට පෙනී යනවා.

යතුරු ලියනයකට වඩා පරිගණකයක අනන්‍යතාවය තහවුරු කළ හැකි හා අක්මුල් සොයා යා හැකි තාක්‍ෂණික ක‍්‍රම තිබෙනවා. මේ නිසා ඉන්ටර්නෙට් ඇතුළු ඩිජිටල් මාධ්‍යවල නිර්නාමික වීම සාපේක්‍ෂයි.

ලක් සමාජය සමාජ මාධ්‍ය තවමත් හරිහැටි යොදා නොගන්නේ තාක්‍ෂණික සීමාවන්ට වඩා ආකල්පමය සීමාවන් නිසා බව මගේ අදහසයි. අපට ඓතිහාසිකව හා සාංස්කෘතිකව උරුම වී ඇත්තේ වැඩවසම් රටාවේ ජන සන්නිවේදනයක්.

රජු හා යතිවරුන් කේන්‍ද්‍ර කර ගත් මේ සන්නිවේදනයේදී සෙසු ජනයා කළේ වැඳ ගෙන ‘‘එහෙයි ස්වාමීනි’’ කියමින් අසා සිටීම පමණයි. ප‍්‍රභූන්ට හා උගතුන්ට පවා විවෘතව මත දැක්වීමට හා රාජ/යති මතවලට එකඟ නොවීමට ඉඩක් තිබුණේ නැති තරම්.

Carmen Bugan reading the files made about her family's life
Carmen Bugan reading the files made about her family’s life

1931 සර්ව ජන ඡුන්ද බලය හා 1948 දේශපාලන නිදහස ලැබී දශක ගණනක් ගෙවී ඇතත් අප මානසිකව තවමත් ඉන්නේ වැඳ ගෙන කියන දෙයක් අසා සිටීමේ නැඹුරුවකයි.

අඩු වැඩි වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ ජනමාධ්‍ය කරන්නේ ද මේ වැඩවසම් සන්නිවේදනයට ලූණු ඇඹුල් ටිකක් දමා, තෙම්පරාදුකර පවත්වා ගෙන යාමයි. විසංවාදයට හා ගවේෂණාත්මක මාධ්‍යකරණයට ඉඩ සීමා වී ඇත්තේ එනිසායි. රජු හා යති මට්ටමට අමතරව මාධ්‍ය දොරටු පාලකයන් (හිමිකරුවන් හා කතුවරුන්) පිරිසක් ද දැන් බිහිව සිටිනවා. මේ හැමගෙන් මතුව එන්නේ අධිපතිවාදයයි.

අධිපතිවාදයක් නැති සමාජ මාධ්‍යවලට මේ අධිපතිවාදීන් හැම දෙනකුම එරෙහි වීම හා චෝදනා නැගීම අපට තේරුම් ගත හැකියි. කණගාටුවට කරුණ නම් පර්යේෂණාත්මකව හා විචාරාශීලීව සමාජ ප‍්‍රශ්න විග‍්‍රහ කරනු ඇතැයි අප අපේක්‍ෂා කරන සරසවි ඇදුරන් හා සෙසු උගතුන් බහුතරයක් ද මේ කුමන්ත‍්‍රණවාදයන් ම ප‍්‍රතිරාවය කිරීමයි.

සමාජ මාධ්‍ය හරහා කැරෙන සන්නිවේදන අතිශයින් විවිධාකාර නිසා ඒවායේ ගති සොබාවන් පොදු ගුණාකාර කිහිපයකට ලඝු කිරිම සුදුසු නැහැ. මානව සමාජයේ මතවාදී, භාෂාමය හා වෙනත් විවිධත්වයන් එහි පිළිබිඹු වනවා.

එහෙත් පොදුවේ ගත් විට සමාජ මාධ්‍යවලට ආවේණික යම් ගතිගුණ ද තිබෙනවා. එකක් නම් සරල හා සැහැල්ලූ ලෙසින් ගැඹුරු කරුණු පවා සංවාදයට ලක්වීම. මවා ගත් බොරු ගාම්භීරකම්වලට උද්දච්චගතිවලට එහි තැනක් නැහැ. එසේම සංශයවාදය, හාස්‍යජනක බව හා කියන්නට ඇතිදේ කෙලින්ම කීම එහි තවත් ගුණයක්.

සමාජයීය, ආර්ථික, දේශපාලනමය හා වෙනත් කාලීන ප‍්‍රශ්න ගැන සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි බසින් මෙන්ම මිශ‍්‍රිත භාෂා හරහා ද සමාජ මාධ්‍ය තුළ කථා කැරෙනවා. මේවා නොදත් හෝ නොදුටුවා සේ සිටින අය කියන්නේ සමාජ මාධ්‍ය ඕපාදුප තෝතැන්නක් කියායි.

සමාජ මාධ්‍ය අඳබාලයන්ගේ සාමීචි කථා ලෙස හෙළා දැකීම ස්වයංමුලාවක්. අද අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල තව දුරටත් ලෙහෙසියෙන් හමු නොවන ආකාරයේ ගවේෂණාත්මක, ස්වාධීන හා අදීන සංවාද සමාජමාධ්‍ය වේදිකා මත නිතර සිදු වනවා.

අපේ අධිපති මාධ්‍ය ව්‍යංගයෙන්, බයෙන් බයෙන් මෙන් කථා කරන ආගම්වාදය, අධික හමුදාකරණය වැනි මාතෘකා ගැන සමාජ මාධ්‍යවල විවෘතව සංවාද ඇති වනවා.

රටේ ආර්ථික වර්ධනය හා අධිවේගී සංවර්ධන ක‍්‍රියාදාමය උදාහරණයකට ගනිමු. ආර්ථික විද්‍යාත්මක දත්ත හා විග‍්‍රහයන් සඳහා මේ රටේ නිල මුලාශ‍්‍ර මහ බැංකුව හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. ඒවායෙන් නිකුත් කැරෙන සමහර දත්ත හා විශ්ලේෂන පිළිබඳ විචාරශීලී ප‍්‍රශ්න කිරීම් මෑතදී මුලින්ම මතුව ආයේ බ්ලොග් ලියන හෝ ට්විටර් හරහා පොදු උන්නතිය ගැන කථා කරන ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් වෙතින්. සරසවි ඇදුරන්ට වඩා පෞද්ගලික මට්ටමේ ආර්ථික දත්ත විශ්ලේෂණ සමාගම් අද සමාජ මාධ්‍ය හරහා නිල සංඛ්‍යාලේඛන හා විග‍්‍රහයන් සියුම් ලෙස පරීක්‍ෂාවට ලක් කරනවා.

ට්විටර් හා බ්ලොග් හරහා මා නෙත් යොමා සිටින ලක් විද්වතුන් කිහිප දෙනකු සිටිනවා. ටෙලිකොම් හා තොරතුරු තාක්‍ෂණ විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව (@samarajiva), මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලියු. ඒ. විජේවර්ධන (@waw1949), මොරටුව සරසවියේ මහාචාර්ය අජිත් ද අල්විස් (@ajith_de_alwis) හා ස්වාධීන හා ආර්ථික විශ්ලේෂක දේශාල් ද මෙල් (@deshald) ඒ අතර වනවා.

මෙරට ආර්ථිකය රජය කියන තරම් වේගයෙන් වර්ධනය වන අතරම ඇති නැති පරතරය ද වඩාත් තීව‍්‍ර වී ඇති බව සංඛ්‍යාත්මක සාක්‍ෂි සහිතව මුලින් පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය සංවාදවලයි. එසේම ආර්ථික වර්ධන වේගය ගැන රජයේ නිල ප‍්‍රතිශතයන් තතු දත් විද්වතුන් මුලින්ම සැකයට පාත‍්‍ර කළේත් සමාජ මාධ්‍ය හරහායි.

එය ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් වූයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයකු 2013 දෙසැම්බර් සංඛ්‍යාලේඛන පිම්බීම පිළිබඳව සිය දෙපාර්තමේන්තුවට ප‍්‍රසිද්ධියේ චෝදනා කළ පසුවයි.

සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට එය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.

ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍ය ‘බැලූම්ගලක්’ සේ ප‍්‍රයෝජනවත් විය හැකියි. සමාජයේ අළුතෙන් මතුව එන ප‍්‍රශ්න, රුචි අරුචිකම්, ප‍්‍රවණතා ආදිය කල් තබා දැන හඳුනා ගන්නට සමාජ මාධ්‍ය සංවාදවලට ඇස් කන් යොමා සිටීම වැදගත්.

 

සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the role of mainstream and social media in the immediate aftermath of serious communal riots in Aluthgama, Beruwala and Dharga Town in Sri Lanka on 15 June 2014.

For over 48 hours, there was little coverage of the incidents in newspapers, or on radio and TV. This gap was partly filled by social media and international media reports – but only to the extent they have outreach in the island. Those who rely on local newspapers, radio and TV had to settle for ‘radio silence’ while media gatekeepers hesitated and held back.

I covered the same ground in my English column last week:
When Worlds Collide #112: Social Media ‘Candles’ for Mainstream Media Blackouts

Only candid voices in Sri Lanka's mainstream media these days come from political cartoonists!
Only candid voices in Sri Lanka’s mainstream media these days come from political cartoonists!

‘‘කොහොමද වැඬේ? අන්න ඔහේලා ආවඩපු සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!’’

අළුත්ගම හා බේරුවල ප‍්‍රචණ්ඩත්වය ඇති වී පැය 48ක් ඉක්ම යන්නට කලින් මා අමතා මෙසේ කීවේ සරසවියක ඇදුරුකමක් දරන උගතෙක්.

ඔහුගේ ‘‘චෝදනාව’’ වූයේ අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හා ඡායාරූප ට්විටර් (Twitter) හා ෆේස්බුක් (Facebook) වැනි ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා අධිවේගීව සංසරණය වන බවත්, ඒ හරහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වෙනත් ප‍්‍රදේශවලටත් පැතිර යා හැකි බවත්. අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ ප‍්‍රකාශ තවත් බොහෝ දෙනකු මෑත දිනවල කරනු මා ඇසුවා.

අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සිදු වූ ජුනි 15 ඉරිදා සිට පැය 24 – 48ක් ගත වන තුරු ප‍්‍රධාන ප‍්‍රවාහයේ බොහෝ මාධ්‍ය එය වාර්තා කළේ ඉතා අඩුවෙන් හා සුපරීක්‍ෂාවෙන්. එයට හේතුව විය හැක්කේ එම පුවත සැලවීමෙන් වෙනත් ප‍්‍රදේශවල ද කලහකාරි ක‍්‍රියා ඇති වේය යන සැකයයි.

මීට අමතරව රජයෙන් නිල වශයෙන් හෝ නිල නොවන මට්ටමින් මාධ්‍යවලට බලපෑම් එල්ල වූවා ද යන්න දන්නේ අදාල මාධ්‍ය කතුවරුන් හා හිමිකරුවන් පමණයි. එබන්දක් වූවා යයි කිසිවකුත් ප‍්‍රසිද්ධියේ කියා නැති නිසා ඒ ගැන අනුමාන කිරීමේ තේරුමක් නැහැ.

පුවත් පැතිර යා හැකි මාර්ග ගණනාවක් අද මෙරට තිබෙනවා. ජංගම දුරකථන ව්‍යාප්තිය නිසා බහුතරයක් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිතා කිරීමේ හැකියාව ලබා තිබෙනවා. මිලියන් 20.5ක් වන ලාංකික ජනගහනයට ජංගම දුරකථන ගිනුම් මිලියන 20ක් පමණ හා ස්ථාවර දුරකථන මිලියන් 2.7ක් පමණ තිබෙනවා.

මෑත වසරවල ඇමතුම් ගාස්තු පහළ වැටීම නිසාත්, SMS ඊටත් වඩා අඩු වියදම් සහිත වීම නිසාත් අද පෙරට වඩා දුරකථන හරහා ලාංකිකයන් සන්නිවේදනය කරනවා. රටේ එක් තැනෙක ප‍්‍රබල සිදුවීමක් ඇති වූ විට මාධ්‍ය එය වාර්තා කළත්, නැතත් දුරකථන හරහා පෞද්ගලික මට්ටමින් පැතිර යාමේ ඉඩ පෙර කවරදාකටත් වඩා අද ඉහළයි.

එබඳු පෞද්ගලික තොරතුරු හුවමාරුවේදී අතිශයෝක්ති, විකෘති වීම් හා ප‍්‍රබන්ධකරණය ද එයට එක් වීමේ ඉඩ තිබෙනවා. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය නිසි වේලාවට රටට ම තොරතුරු බෙදා දුන්නා නම් දුරකථන හා නව මාධ්‍ය හරහා යම් සන්නිවේදන සිදු වීමෙන් ඇතිවන සමාජ හානිය සමනය කර ගත හැකිව තිබුණා.

Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka
Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka

සමාජ මාධ්‍ය තවමත් අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා.

එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි. එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පමණක් ගිනුම් හිමියන් මිලියන් එක හමාරකට වඩා මෙරට සිටිනවා. එහෙත් එහි බොහොමයක් සාමීචි සංවෘතව සිදු වන නිසා මිතුරු ඇරැයුම් ලත් අයට පමණක් ඒවා ග‍්‍රහණය වනවා.

නමුත් ට්විටර් වේදිකාව කාටත් විවෘතයි. මෙරට ට්විටර් භාවිත කරන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ නැහැ. 2013 මැදදී එක් ඇස්තමේන්තුවක් වූයේ 14,000ක් පමණ බවයි. මේ වන විට එය විසි දහසකට වැඩි විය හැකියි. එක ට්විටර් පණිවුඩයක් (ට්වීට් එකක්) අකුරු හෝ වෙනත් සංකේත 140කට සීමා වනවා. එබඳු සීමාවක් තුළ වුව ද සූක්‍ෂම හා ව්‍යක්ත ලෙස පණිවුඩ දිය හැකියි.

ට්විටර් මාධ්‍යයේ ගිනුමක් විවෘත කළ විට තමන් කැමති අන් ට්විටර් භාවිත කරන්නන් කියන කරන දේ ස්වයංකී‍්‍රයව නිරික්සිය හැකියි (follow). ක‍්‍රීඩා, චිත‍්‍රපට හෝ වෙනත් ක්‍ෂෙත‍්‍රවල නමක් දිනා ගත් ප‍්‍රකට පුද්ගලයන් හා දේශපාලන නායකයන්ගේ ට්විටර් අනුගාමික සංඛ්‍යාව වැඩියි.

උදා: 2014 ජුනි 22දා වන විට මහේල ජයවර්ධනට අනුගාමිකයන් 110,000ක්, කුමාර් සංගක්කාරට ලක්‍සයක් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුමට අනුගාමිකයන් 38,000ක් පමණ සිටියා. අනුගාමිකයන් වැඩි දෙනකු සිටින අයකු කියන දේ වඩා ඉක්මනින් ප‍්‍රතිරාවය වී පැතිරෙන්නට ඉඩකඩ වැඩියි.

සමාජ මාධ්‍යවලට ආවේණික වූ විශ්වාසය තක්සේරු වීමේ ක‍්‍රමවේද තිබෙනවා. ඒ අනුව අනුගාමික සංඛ්‍යාව පමණක් නොව ට්වීට් පණිවුඩ ප‍්‍රතිරාවය කැරෙන වාර ගණන හා ආකර්ෂණය වන පාඨක අවධානය ආදී සාධක සැළකිල්ලට ගෙන කෙනකුගේ ට්විටර් බලපෑම (influence) ස්වයංකී‍්‍රයව ගණන් බැලෙනවා. මහජන විශ්වාසය (trust) යන්න හැමට ම දිනා ගත හැකි ගුණයක් නොවෙයි.

අළුත්ගම සිදුවීම්වලට රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ එවකට බොලීවියාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් නිකුත් කළ කෙටි පණිවුඩ කිහිපයක්. ජනාධිපතිවරයා (හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය) ජුනි 15 වනදා ඉංග‍්‍රීසියෙන් ට්විට් පණිවුඩ 2ක් ද, ජුනි 16 වනදා සිංහලෙන් ට්වීට් 2ක් හා දෙමළෙන් ට්වීට් 3ක් ද නිකුත් කළා.

සිංහල ට්වීට් පණිවුඩ වූයේ ‘‘නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවකුට ඉඩ නොතබන අතර, මා සියළු දෙනාගෙන් සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි’’. දෙවැනි පණිවුඩය ‘‘අලූත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරික්‍ෂණයක් පවත්වනු ලැබේ’’

මෙරට ජන ගහනයෙන් ඉන්ටර්නෙට් භාවිත කරන 20-25%ක ප‍්‍රමාණයට පමණක් ග‍්‍රහණය වන මේ පණිවුඩ එබඳු අවස්ථාවක රජයේ නිල ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රමාණවත් නොවූ බව මගේ අදහසයි. රටේ 75-85% ගෘහස්ථයන්ගේ හමුවන ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය හරහා ද කෙටියෙන් වුවත් සන්සුන්ව සිටීමේ ආයාචනයක් කළ හැකිව තිබුණා. මෙබඳු අවස්ථාවල ඉහළ මට්ටමේ, වගකිවයුතු කෙනකුගේ කට හඬින්ම පණිවුඩයක් ඇසීමට අද සමාජය පුරුදු වී සිටිනවා (ආපදාවක් වූ විට විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරන්නා සේ).

සමාජ මාධ්‍ය හරහා ජුනි 16-17 දිනවල තොරතුරු හා ඡායාරූප ගලා ගියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ඒ ගැන මුනිවත රකිමින් සිටි පසුබිම තුළයි. මීට පරම්පරාවකට හෝ දෙකකට පෙර නම් ඕනෑකමින් පුවත් අන්ධකාරයක් (media blackout) ටික දිනකට හෝ පවත්වා ගැනීමට හැකි වුණා. මන්ද තැපෑල හැරුණ විට පෞද්ගලික මට්ටමින් තොරතුරු හුවමාරුවට අවශ්‍ය තරම් දුරකථන හා වෙනත් මාධ්‍ය නොතිබීම නිසා.

එහෙත් 21 වන සියවසේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් වෙතින් එවන් පුවත් අන්ධකාරයක් මතු වූ විට ජනතාව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් වෙත යොමු වනවා.

Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror
Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror

First Post (India): 17 June 2014: Social media breaks Sri Lankan media’s shameful silence

ප‍්‍රමිතියක් සහිතව සමබරව පුවත් සන්නිවේදනයට පුහුණුව ලැබූ මාධ්‍යවේදීන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිටියත් මේ විකල්ප සන්නිවේදනයට යොමු වන බොහෝ දෙනකුට එබන්දක් නැහැ. එනිසා තොරතුරු විකෘති වීමට ඉඩ වැඩියි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අත්‍යවශ්‍යම වූ මොහොතක නිහඬවීමේ අවදානම මෙයයි.

අලූත්ගම සිදුවීම් ගැන වෙබ් අඩවි, ෆේස්බුක් හා ට්විටර් හරහා කම්පාවට පත් රටවැසියන් අදහස් දැක්වූවා. මෙය ඔවුන් අදහස් ප‍්‍රකාශනයට තමන්ට ඇති පුරවැසි අයිතිය යොදා ගැනීමක්.

අජිත් පැරකුම් ජයසිංහ හා මාතලන් වැනි ප‍්‍රමුඛ පෙළේ සිංහල බ්ලොග් රචකයන් හරවත් ලෙස මේ සිදුවීම් විග‍්‍රහ කළා. සුචරිතවාදී නොවී, අනවශ්‍ය ලෙස හැඟීම්බර නොවී ජාතීන් හා ආගම් අතර සමගිය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන ඔවුන් කථා කළා.

ට්විටර් යොදා ගනුනේ Breaking News මට්ටමේ අළුත් තත්ත්ව වාර්තා බෙදා ගන්නයි. ප‍්‍රචණ්ඩත්වයට ලක් වූ ප‍්‍රදේශ හා අවට සිටත්, වෙනත් තැන්වල සිටත් නොයෙක් දෙනා තොරතුරු ට්වීට් කළා.

මේ අතර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ගණනාවක් ද සිටියා. සමහරුන් මෙරට සිට ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අයයි. සිද්ධියක සැබෑ තොරතුරු තහවුරු කර ගෙන පමණක් වාර්තා කිරීම ඔවුන්ගේ මූලික විනය හා ආචාර ධර්මවල කොටසක්. මා නම් ට්විටර් හරහා ප‍්‍රතිරාවය කළේ මෙබඳු විශ්වාස කටයුතු මූලාශ‍්‍රවලින් ආ පුවත් පමණයි. මෙරට සිටින විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සිය ෆේස්බුක් පිටු හරහා අලූත්ගම සිදුවීම්වලට අදාල ක්‍ෂෙත‍්‍ර ඡායාරූප රැසක් මුදා හැරියා.

සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව මේ ගැන කීවේ ‘‘ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය කුමන හෝ හේතුවක් නිසා අලූත්ගම ගැන නිහඬව සිටියා. ඒවායේ සේවය කරන සමහර මාධ්‍යවේදීන් සිදුවීම වූ ප‍්‍රදේශයට ගොස් තොරතුරු රැස් කළත් ඒවා ප‍්‍රකාශ කිරීමට මුල් දෙදින තුළ ඉඩක් තිබුණේ නැහැ. ඒ තොරතුරු සමහරක් සමාජ මාධ්‍ය දිගේ ගලා ගියත් බහුතරයක් අපේ ජනතාව සිදුවීම් ගැන දැන ගත්තේ කල් ගත වීයි.’’

ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අමන්ත පෙරේරා කීවේ තොරතුරු දැන ගන්නට තිබූ ප‍්‍රධානතම මූලාශ‍්‍රය බවට සමාජ මාධ්‍ය පත්වූයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය මුළුගැන්වුණු නිසා බවයි.

ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර බෙදීම බොඳ වී ගොස් බිඳ වැටුණු බව මගේ වැටහීමයි. එය හොඳ ප‍්‍රවණතාවක්. අපේ ජන සමාජයට අවශ්‍ය කඩිනමින් නිවැරදි හා සමබර තොරතුරු දැන ගැනීමටයි. එය කුමන හෝ මාධ්‍යයක් හරහා ලැබේ නම් එයට ඉක්මනින් මහජන පිළිගැනීමක් ගොඩ නැගෙනවා. තොරතුරු අන්ධකාරයක් පවත්වා ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහය කර ගත්තේ තමන්ටම හානියක්.

Stand Up Against Racismප‍්‍රචණ්ඩත්වය, ජාතිවාදය හා ආගම්වාදයට එරෙහිව ජනමතය ප‍්‍රකාශ කරන හා සාමකාමී ජනයා එක්සත් කරන තැනක් බවට ද සයිබර් අවකාශය පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය රට ගිනි තබනවා යයි චෝදනා කරන්නෝ නොදකින අනෙක් පැත්ත මෙයයි.

තව දුරටත් ප‍්‍රභූන්ට හා ඉසුරුබර උදවියට පමණක් සීමා නොවූ ඉන්ටර්නෙට් භාවිතය වඩාත් සමාජගත වෙත්ම ජාතීන් අතර සහජීවනය, සමාජ සාධාරණය හා යහපාලනය වැනි සාරධර්ම සඳහා පොදු ජනතාව දැනුවත් කරන්නට හා පෙළ ගස්වන්නට සමාජ මාධ්‍ය යොදා ගත හැකියි. මෙය අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය වැනි රටවල දැනටමත් සිදු වන්නක්.

අවසාන විනිශ්චයේදී සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් යනු සන්නිවේදනයට ඉඩ සලසන වේදිකා පමණයි. වේදිකාවට පිවිසෙන අය වියරුවෙන් හා අසංවරව මොර දෙන අවස්ථා තිබෙනවා. එහෙත් වාචාලයන්ට දේශපාලන වේදිකා උරුම කොට දී සංවේදී හා සංවර වූවන් බැස ගියා සේ සයිබර් අවකාශය ද අන්තවාදී ටික දෙනකුට ඉතිරි කොට සෙසු අප ඉක්ම නොයා යුතුයි. මේ සයිබර් වේදිකා හුදී ජන යහපතට හා යහ පාලනයට හැකි තාක් යොදා ගත යුතුයි.

සිහි තබා ගත යුතු අනෙක් කරුණ නම් විවෘතව අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ගලා යාමට බාධක රැසක් පවතින අප සමාජයේ සාපේක්‍ෂව අළුතින් මතුව ආ ඉන්ටර්නෙට් වැනි මාධ්‍යයක් අනවශ්‍ය රාජ්‍ය නියාමනයට හෝ වාරණයට නතු වීම වළක්වා ගත යුතු බවයි.

අසභ්‍ය හා අපහාසාත්මක දේ සමාජගත වීම වැළැක්වීමට යයි කියමින් ඇතැම් ඉන්ටර්නෙට් වෙබ් අඩවිවලට පිවිසිම අවහිර කිරීම (website blocking) ඇරඹුණේ 2007දී. එහෙත් මේ වන විට ස්වාධීන දේශපාලන විග‍්‍රහයන් හා මතවාද රැගත් වෙබ් අඩවි ගණනාවක් ද අවහිර කරනවා. අධිකරණ අධීක්‍ෂණයකින් තොරව, හරිහැටි නීතිමය රාමුවක් නොමැතිව කරන මෙය සයිබර් වාරණයක්.

සමාජ මාධ්‍ය සංවරව හා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නැති වූ විට අපේ පොදු යහපතට යයි කියමින් ඕනෑවට වඩා නියාමනයක් හා වාරණයක් කරන්නට රාජ්‍ය තන්ත‍්‍රය ඉදිරිපත් වීමේ අවදානමක් ඇති නිසයි.

See also: 30 Years Ago: How ICTs Are Changing Sri Lanka

BqQN4IxCIAEKHnW.jpg large