ෆේස්බුක් පිවිසෙන සැවොම පිළිපැදිය යුතු කොන්දේසි (Facebook’s Community Standards): සිංහල අනුවාදයක්

This is an annotated Sinhala language adaptation of Facebook’s Community Standards as they stood on 25 March 2018. Note this is not a verbatim translation and also not an officially sanctioned translation. It has been adapted and annotated as a public service by Nalaka Gunawardene, new media analyst and activist.

Facebook’s Community Standards: https://www.facebook.com/communitystandards/

 

ෆේස්බුක් පිවිසෙන සැවොම පිළිපැදිය යුතු කොන්දේසි මාලාව

[සිංහල අනුවාදය කළේ නාලක ගුණවර්ධන විසිනි: මෙය අමතර විග්‍රහයන්ද සහිත අනුවාදයක් මිස සෘජු පරිවර්තනයක් නොවේ.]

ෆේස්බුක් වේදිකාවට පිවිසෙන, එය භාවිත කරන සැවොම පිළිපැදීමට එකඟ වන කොන්දේසි සමුදායක් තිබෙනවා. ඒවා ෆේස්බුක් පරිපාලකයන් හඳුන්වන්නේ ෆේස්බුක් ප්‍රජාවගේ සම්මත ප්‍රමිතීන් (Community Standards) ලෙසයි.

කර්කශ හෝ දරදඬු නොවූ සැහැල්ලු පරිසරයක් ලෙස ෆේස්බුක් වේදිකාව පවතිනවා දකින්නට ඔවුන් කැමති නිසා, මේවා ‘නීති’ හෝ ‘කොන්දේසි’ කියා නම් නොකළත්, ෆේස්බුක් සේවාව භාවිත කරන සැම පුද්ගලයකුම මෙන්ම සැම ආයතනයක්ම මේවාට අනුගත වන බවට ගිනුමක් ඇරඹීමේදීම එකඟ වී තිබෙනවා. මේවා නොතකා ක්‍රියා කරන අයගේ ගිනුම් අත්හිටුවීමට නැතිනම් ඉවත් කිරීමට වේදිකා පරිපාලනයට අභිමතය තිබෙනවා.

ඔබ ෆේස්බුක් ගිනුම ඇරැඹූ වේලේ මේවා විස්තරාත්මකව කියවා නොබැලුවා නම්, දැන්වත් එසේ කරන්න. මෙහි පහත දැක්වෙන්නේ 2018 මාර්තු 25 වනදා වන විට ෆේස්බුක් ප්‍රකාශයට පත් කොට තිබූ ප්‍රජා ප්‍රමිතීන්ගේ පැහැදිලිකිරීම් සහිත අනුවාදයක් (annotated adaptation). මෙහි මූලාශ්‍රය: https://www.facebook.com/communitystandards/

 

ප්‍රජා ප්‍රමිති සම්පාදනයේ පසුබිම

ෆේස්බුක් වේදිකාව හරහා වෛරය පැතිරවීමට, සයිබර් හිරිහැර කිරීමට හෝ කිසිදු ආකාරයක ප්‍රචන්ඩත්වයක් ඉස්මතු කිරීමට මේ ප්‍රමිතීන් ඉඩ දෙන්නේ නැහැ. මේ ප්‍රමිතීන් සම්පාදනය කරන්නට ලොව වටා වෙසෙන පර්යේෂකයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා ෆේස්බුක් භාවිත කරන්නන් රැසකගේ දායකත්වය ලබා ගෙන තිබෙනවා.

මේ ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණය මෙන්ම මානව සහායද යොදා ගැනෙනවා. ස්වයංක්‍රීය මෘදුකාංග විසින් අනුචිත අන්තර්ගතයන් යම් ප්‍රමාණයක් ඉක්මනින්ම ඉවත් කැරෙනවා. එයට හසු නොවී රැඳී පවතින, එහෙත් ප්‍රමිතියට අනුගත නොවන අන්තර්ගතයන් විමර්ශනයට ෆේස්බුක් විසින් මානව අධීක්ෂකයන් සිය ගණනක් යොදා ගනු ලබනවා.

එහෙත් නිතිපතා අලුතින් එකතු වන බිලියන් ගණනක් අන්තර්ගතයන් සියල්ල මේ විමර්ශන මට්ටම් දෙකෙන් මුලුමනින්ම හසු කර ගැනීමට අමාරුයි. මේ නිසා අනුචිත යමක් ෆේස්බුක්හි පළ වී තිබෙනු දුටුවොත්, එය රහසිගතව වාර්තා කරන මෙන් භාවිත කරන ඔබෙන් ෆේස්බුක් පරිපාලනය විවෘත ඉල්ලීමක් කරනවා.

එසේ පැමිණිලි කරනු ලබන අන්තර්ගතයන් සැබැවින්ම ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන්ට නොගැලපේදැයි විමසා බලා, ඒවා ඉවත් කිරීමට හෝ දිගටම පැවතීමට තීරණ ගනු ලබනවා. මේ තීරණය හැකි තාක් ඉක්මනින් ගන්නට ෆේස්බුක් උත්සාහ කරනවා. එහෙත් භාෂා විවිධත්වය නිසා එයට යම් කාලයක් ගත විය හැකියි.

ප්‍රමිතීන්ට අනුගත නොවන අන්තර්ගතය දිගින් දිගටම පළ කරන ෆේස්බුක් ගිනුම්වලට මුලින් අනතුරු ඇඟවීමක් කොට, ඉන් පසු ඒවා සහමුලින්ම තහනම් කරනු ලබනවා.

 

පූර්විකාව

ෆේස්බුක් වේදිකාවේ අභිප්‍රාය නම් ලොව වටා ජනයා නවීන වෙබ් සන්නිවේදන තාක්ෂණය හරහා එකිනෙකාට සම්බන්ධ කිරීම හා ඔවුන් අතර විවෘත වූත් සුහද වූත් හුවමාරු කර ගැනීම් සිදුවනු දැකීමයි.

එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වූ, අතිශයින් විවිධාකාර වූ අය ෆේස්බුක් වේදිකාවට පිවිසෙනවා. නිතිපතා මෙහි කථාබහ කැරෙන දේත්, බෙදා ගැනෙන දේත් අතිශයින් විවිධාකාරයි; විචිත්‍රයි. අන් අයගේ දෘෂ්ටිකෝණවලින් ලොව දකින්න, අලුත් මානයන් ග්‍රහනය කරන්න මේ වේදිකාව ඔබට උදවු වනවා.

ෆේස්බුක් වෙත එන සැවොම බියකින් හෝ සැකයකින් තොරව, ආරක්ෂිත පරිසරයක මේ වේදිකාව පරිහරණය කරනු දැකීම අපේ අරමුණයි. මේ සඳහා ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන් අපි සම්පාදනය කළා. ෆේස්බුක් වේදිකාවේ කුමන අන්තර්ගතයන් ප්‍රකාශ කළ හැකිද, බෙදා ගත හැකිද යන්නත්, ඒ සීමා ඉක්මවා යන යමක් දුටුවොත් එයට එරෙහිව පැමිණිලි කළ හැකි ආකාරයත් මේ ප්‍රමිතීන්වලින් පැහැදිලි කරනවා.

Helping to Keep You Safe: From Facebook’s Community Standards, captured on 25 March 2018

ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව

  • ෆේස්බුක් තුළ යම් කෙනකුට ඉලක්කගතව හෝ සමස්ත ප්‍රජාවකට පොදුවේ හෝ තර්ජන කිරීමට ඉඩ තබන්නේ නැහැ. එවන් තර්ජන දුටු තැන වහාම ඉවත් කරනු ලබනවා.
  • එසේම සොරකම් කිරීම්, දේපල අලාබහානි කිරීම් හෝ මූල්‍යමය හානි කිරීම් පිළිබඳ තර්ජනද දුටු තැන ඉවත් කැරෙනවා.
  • තමා තමන්ටම හානි කර ගැනීම හෝ දිවි නසා ගැනීම පිළිබඳ ෆේස්බුක්හි කථා කරන්නට ඉඩක් නැහැ. එවන් දේ සිදු වූ පසු ගත් රූප බෙදා ගන්නටද බැහැ. එසේම කිසිම ආකාරයක ස්වයං හානි කර ගැනීම, තමා තමන්ටම තුවාල කර ගැනීම හෝ ආහාර ගැනීමේ රෝගාබාධ (eating disorders) ගැන කථා කිරීමටද ඉඩක් නැහැ. හේතුව එවන් කථාබහ නිසා අනුකාරක ක්‍රියාවන්ට සමහරුන් පෙළෙඹිය හැකි නිසා. එහෙත් සිරුරේ ඇතැම් කොටස් වෛද්‍ය උපදෙස් අනුව වෙනස් කර ගැනීම (body modification) තහනම් මාතෘකාවක් නොවෙයි. මෙවන් අත්දැකීම් ලද පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළි කරන හෝ ඔවුන් ඉලක්ක කරන හෝ සියලුම අන්තර්ගතයන් ඉවත් කැරෙනු ඇති. එහෙත් මේ සමාජ ප්‍රශ්න ගැන පොදුවේ කථාබහ කළ හැකියි.
  • ත්‍රස්තවාදී ක්‍රියා හෝ අපරාධවල හෝ නිරතවන කිසිදු සංවිධානයකට ෆේස්බුක් පිවිස එහි ගිනුම් ඇරඹීමට ඉඩ තබන්නේ නැහැ. එසේම එවන් ක්‍රියාවලට අනුබල දෙන ප්‍රකාශ හා රූපද ඉවත් කැරෙනවා. එහෙත් මේ සමාජයීය අභියෝග ගැන පොදුවේ සංවාද කිරීමට ඉඩ තිබෙනවා. එසේ කරන විට වින්දිතයන් ගැන සංවේදී වන්නට යයි ඉල්ලා සිටිනවා.
  • සයිබර් හිරිහැර කිරීම්වලට ෆේස්බුක් වේදිකාවේ ඉඩක් නැහැ. කිසිදු ෆේස්බුක් සාමාජිකයකු ඉලක්ක කරමින් ඔහුට/ඇයට අවමන් කිරීම, ලැජ්ජා කරවීම හෝ කිසිම ආකාරයකින් පහත් කොට සැළකීම මේ වේදිකාව ඉවසන්නේ නැහැ. මේ යටතේ, පුද්ගලයන් අපහාසයට හෝ අපකීර්තියට පත් කිරීමට විකෘති කරන ලද රූප; යමකු හිරිහැරයට ලක් වීම හසු කර ගන්නා ඡායාරූප හෝ වීඩියෝ දර්ශන; යම් අයකු බ්ලැක්මේල් කිරීමට මුදා හරින අන්තර්ගතය යනාදිය ඉවසනු නොලැබෙයි. එසේම දිගින් දිගටම යමකු සමග ෆේස්බුක් මිතුරු වීමට පණිවුඩ යැවීමද හිරිහැරකාරී ක්‍රියාවක් ලෙස සැළකෙනවා. (එහෙත් පුවත් මවන, පොදු ප්‍රතිරූපයක් තිබෙන ප්‍රසිද්ධ චරිත පිළිබඳ මහජන විවේචනවලට නම් ඉඩ තිබෙනවා. මීළඟ කොටස බලන්න.)

    From Facebook Community Standards, captured on 25 March 2018: Public figures get a different level of protection
  • තම වෘත්තීය ක්‍රියා නිසා නිතර මහජන අවධානයට ලක් වන, පොදු ප්‍රතිරූපයක් තිබෙන, පුවත් මවන පුද්ගලයන් සම්බන්ධයෙන් විවෘතව කථා කිරීමට හා ඔවුන් ඕනෑ තරම් විවේචනය කිරීමට ෆේස්බුක් වේදිකාවේ ඉඩ තිබෙනවා. ඔවුන්ගේ ක්‍රියා හා ප්‍රකාශ විවේචනය කළ හැකියි. එහෙත් එවන් චරිතවලට පවා තර්ජන එල්ල කිරීමට හෝ ඔවුන් ඉලක්ක කොට වෛරී ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එසේ කළොත් ඒවා ඉවත් කරනු ඇති.
  • ලිංගික ප්‍රචන්ඩත්වය හා උපයෝජනය (sexual violence or exploitation) ප්‍රවර්ධනය කරන මෙන්ම එවන් ක්‍රියා ගැන තර්ජන අඩංගු සියලු දේ වහාම ඉවත් කැරෙනවා. වින්දිතයන් සුරැකීම පිණිස ඔවුන්ගේ රූප හෝ විඩියෝ කිසිවක් බෙදා ගැනීමටද ඉඩ දෙන්නේ නැහැ. එසේම විරසක වූ පසු පලිගැනීම සඳහා මුදා හරින කිසිදු රූපයකට හෝ විඩියෝවකට (images/videos shared in revenge) ඉඩ තබන්නේ නැහැ. ෆේස්බුක්හි අවසර නොදෙන ලිංගික අන්තර්ගතය අතර බාලවයස්කරුවන් සම්බන්ධතා සියල්ල, ලිංගික සේවා ප්‍රවර්ධනය, රූපගත කළ ලිංගික ක්‍රියා ආදිය ඇතුළත්. අදාල අවස්ථාවල එවන් දේ පිළිබඳව පොලීසි දැනුවත් කරනවා. [ලිංගික සේවා යටතේ වාණිජ ලිංගික වෙළඳාම හෙවත් ගණිකා වෘත්තිය, සම්බාහන මෙන්ම ලිංගික ක්‍රියා හසු කර ගත් වීඩියෝ දර්ශන ද ඇතුළත් වනවා.]
  • කිසිදු පුද්ගලයකුට, කිසිදු සත්ත්වයකුට හෝ කිසිදු ආයතනයකට භෞතික හානියක් නැතහොත් මූල්‍යමය හානියක් කිරීමට ෆේස්බුක් යොදා ගැනීමට ඉඩ නොතබන්නෙමු. ෆේස්බුක් වේදිකාවේ ප්‍රකාශිත හෝ බෙදා ගත් අන්තර්ගතයක් යම් අපරාධයකට සම්බන්ධ යයි පෙනී ගිය විට හෝ, මහජන ආරක්ෂාවට තර්ජනයක් යයි පෙනෙන විට හෝ අදාල පොලීසි සමග ෆේස්බුක් වේදිකා පරිපාලකයන් සහයෝගයෙන් ක්‍රියා කරනවා. එසේම අපරාධ ක්‍රියා වීරත්වයෙන් සළකන ප්‍රකාශවලට ෆේස්බුක්හි ඉඩක් නැහැ.
  • දැනටමත් නීතියෙන් තහනම් කර හෝ නියාමනය කර ඇති ගිනි අවි, පතරොම්, මත් ද්‍රව්‍ය හෝ වට්ටෝරුවක් අවශ්‍ය කැරෙන ඖෂධ (prescription drugs, marijuana, firearms or ammunition) කිසිවක් ෆේස්බුක් හරහා ප්‍රචාරනය, අලෙවිය හෝ ඉල්ලා සිටීමට ඉඩ දෙන්නේ නැහැ. මත්පැන්, දුම්කොළ භාණ්ඩ හෝ වැඩිහිටි උපකරණ (alcohol, tobacco or adult products) විකිණීමට හෝ මිළට ගැනීමට හෝ ෆේස්බුක් හරහා සන්නිවේදනය කරනවා නම් තමා වෙසෙන රටේ බලපාන නීතිවලට මුළුමනින්ම අනුකූල විය යුතුයි. එහෙත් නියාමනය කැරෙන කිසිවක් වෙළඳාම සඳහා ෆේස්බුක්හි මූල්‍යමය පහසුකම් භාවිතයට ඉඩ නොදෙයි.

 

ආචාරශීලී හැසිරීමට දිරිමත් කිර්‍රිම

ෆේස්බුක් වේදිකාවට එන සාමාජිකයන් තමන්ගේ තොරතුරු මෙන්ම මතවාදයන්ද බෙදා ගන්නවා, ප්‍රවර්ධනය කරනවා. එයින් සමහරක් ඔබේ පෞද්ගලික විශ්වාස හෝ මතවාදයන්ට වෙනස් හෝ විරුද්ධ විය හැකියි.

මෙවන් බහුවිධ අදහස් මතුවීම හරහා වැදගත් සංවාද හට ගත හැකියි. එහෙත් ඇතැම් අවස්ථාවල බහුජන යහපත තකා සමහර ආන්දෝලනාත්මක කරුණු පිළිබඳ සංවාද දිස් වන්නේ ෆේස්බුක් වේදිකාවේ සිටින කා හටද යන්න යම් තාක් දුරට සීමා කරන්නත් ෆේස්බුක් පරිපාලනයට සිදු වනවා.

නිරුවත් රූප/නග්නබව (Nudity)

සමහරුන් නිරුවත් රූප බෙදා ගන්නේ කලා කෘතීන් ලෙස හෝ ශාස්ත්‍රීය විවාදයකට නිමිත්තක් ලෙස. එහෙත් ලොව පුරා විසිර සිටින ෆේස්බුක් සාමාජිකයන් අතරින් ඇතැමුන්ගේ සාරධර්ම සමග එය ගැටිය හැකි නිසා, එවන් රූප යම් සීමාවලට යටත් කැරෙනවා. මෙයින් අදහස් වන්නේ නග්නබව මුළුමනින්ම වාරණය කැරෙන බවක් නොවෙයි.

නග්න බව පිළිබඳ තනි ගෝලීය ප්‍රමිතියක් නැහැ. එක් රටක් හා සමාජයක් තුළ වුවත් ඒ ගැන විවිධාකාර මත පැවතිය හැකියි. මේ හැම ආකාරයකම ආකල්ප දරන අය ෆේස්බුක් සාමාජිකයන් අතර සිටින නිසා, මේ සම්බන්ධයෙන් වඩාත් සීරුවෙන් ක්‍රියා කිරීමට ෆේස්බුක් පරිපාලනයට සිදු වනවා.

ප්‍රජනක අවයවවල, මුළුමනින් නිරාවරණය වූ තට්ටම්වල (fully exposed buttocks) හා ලිංගික ක්‍රියාවල රූපවලට හෝ විඩියෝවලට ෆේස්බුක්හි අවසර නැහැ. කාන්තා පියයුරුවල තනපුඩු නිරාවරණය වූ රූපද සාමාන්‍යයෙන් ඉවත් කැරෙනවා. නමුත් මව්කිරි දෙන අවස්ථාවල රූප සහ පියයුරු පිලිකාවලින් පසු ගත් රූපවලට (breasts with post-mastectomy scarring) නම් ඉඩ ලැබෙනවා.

එසේම නග්නබව නිරූපනය කරන සිත්තම්, මූර්ති හා වෙනත් කලා කෘතීන්ගේ රූප ෆේස්බුක් හරහා බෙදා ගන්නට නම්  ඉඩ තිබෙනවා. හාස්‍යය, උපහාසය හෝ අධ්‍යාපනික අරමුණක් වෙනුවෙන් නග්නබව යොදා ගන්නට ද අවසර ලැබෙනවා.

නග්නබවට සාධාරණ ඉඩක් දෙන්නේ කුමන අවස්ථාවලද යන්න ගැන දැනට පවතින ෆේස්බුක් ප්‍රමිතීන් සංවාදයට හා සංශෝධනයට විවෘතයි. මේ ගැන විද්වත් සාකච්ඡාවලට ෆේස්බුක් පරිපාලනය සූදානම්.

Facebook Community Standards, as at 25 March 2018: Hate Speech defined

වෛරී ප්‍රකාශ (Hate Speech)

ෆේස්බුක් වේදිකාව කිසිසේත් වෛරී ප්‍රකාශ ඉවසන්නේ හෝ ඒවාට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මෙය කොන්දේසි විරහිත ප්‍රතික්ෂේප කිරීමක්.

මෙහිදී වෛරී ප්‍රකාශ (Hate Speech) ලෙස අර්ථ දක්වන්නේ පහත සඳහන් සාධක එකක් හෝ කිහිපයක් හෝ පදනම් කර ගෙන යම් කෙනකුට හෝ සමස්ත ප්‍රජාවකට එල්ල කැරෙන ද්වේශ සහගත ප්‍රකාශයන්:

  • වර්ගය (race);
  • ජනවර්ගත්වය හෙවත් ජාතිය (ethnicity);
  • ජාතිකත්ව සම්භවය (national origin);
  • ආගම (religious affiliation);
  • ලිංගික නැඹුරුව (sexual orientation);
  • ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා එම අනන්‍යතාවය (sex, gender or gender identity);
  • ආබාධිත තත්ත්වයන් හෝ බරපතල රෝග තත්ත්වයන් (serious disabilities or diseases).

මෙම සාධකවලට අදාල වන කණ්ඩායම් කිසිවකට එරෙහිව වෛරය පතුරුවන පුද්ගලයන්ට හා සංවිධානවලට ෆේස්බුක් වේදිකාවේ කිසිදු ඉඩක් නැහැ. අපේ අනෙකුත් ප්‍රමිතීන් කඩවීම සම්බන්ධයෙන් මෙන්ම මෙවන් වෛරී ප්‍රකාශ කරන්නන් ගැනත් අපේ සාමාජිකයන් අපට වාර්තා කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

ෆේස්බුක් වේදිකාව සංවාදවලට හා විසංවාදවලට සැම විට විවෘතයි. අනේකවිධ අදහස්, ආයතන හා සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරීමට ඔබට මෙහි ඉඩ තිබෙනවා.

සමහරුන් වෙනත් අයකු ජනනය කළ වෛරී ප්‍රකාශ හුදෙක් ඒවා අධ්‍යයනය කිරීම සඳහා හෝ මහජනයා දැනුවත් කිරීමට පමණක් ෆේස්බුක් හරහා බෙදා ගන්නා අවස්ථා තිබිය හැකියි. එවන් විට, එසේ කරන බව පැහැදිලිව සඳහන් කළොත් එවන් උධෘතයන් ඉවත් කරන්නේ නැහැ.

මෙම මාතෘකා හා සමාජ කණ්ඩායම් ගැන ද්වේශසහගත නොවී, ඒ වෙනුවට හාස්‍යය හා උපහාසය දනවන හෝ සමාජ විචාරයන් මතු කැරෙන ආකාරයේ හෝ අදහස් දැක්වීමට ද ෆේස්බුක් වේදිකාවේ ඉඩ තිබෙනවා.

අපේ විශ්වාසය නම් මෙවන් අදහස් දැක්වීම් වඩාත් වගකීම් සහගත වන්නේ තමන්ගේ සැබෑ අනන්‍යතාවෙන් එය කරන විටදී බවයි. මේ නිසා ෆේස්බුක් වෛරී ප්‍රකාශ කඩඉම ඉක්මවා නොයන, එහෙත් ආන්දෝලනාත්මක හෝ ඇතැම් විට අසංවේදී විය හැකි අදහස් ප්‍රකාශ කිරීමේදී තම සැබෑ නමින්ම එය සිදු කරන්න. එහෙත් සැම විටම ඔබ පළ කරන අදහස් බහුවිධ පුද්ගලයන්  කියවන බවත් සිහි තබා ගන්න.

වෛරී ප්‍රකාශ වේදිකා පරිපාලනය විසින් මුළුමනින් ඉවත් කරන අතර, මීට අමතරව ඔබට අප්‍රියජනක නැතහොත් අප්‍රසන්න අන්තර්ගතයන් ද නොදැක සිටීමට ඉඩ සළසන පෙරහන් ක්‍රමවේද අප නිර්මාණය කොට තිබෙනවා (tools to avoid distasteful or offensive content). මෙම මෙවලම් ගැන මෙතැනින් වැඩි විස්තර ලබා ගන්න: https://www.facebook.com/help/359033794168099/

ඔබ අවට සිටින්නන් වෛරී ප්‍රකාශ ගැන දැනුවත් කිරීමටද ෆේස්බුක් යොදා ගත හැකියි. නිවැරදි තොරතුරු මෙන්ම විකල්ප හා සමබර විග්‍රහයන් (Counter-speech) හරහා ඔබට වෛරී ප්‍රකාශවලට ප්‍රතිප්‍රකාශ සැපයීමේ අවස්ථාවක් ද තිබෙනවා.

ප්‍රචන්ඩත්වය හා වෙනත් බිහිසුනු අන්තර්ගතය

ප්‍රචන්ඩත්වය අනුමත කරන, ප්‍රවර්ධනය කරන හෝ වර්ණනා කරන කිසිදු අන්තර්ගතයකට ෆේස්බුක් වේදිකාවේ ඉඩක් නැහැ. එවැනි ප්‍රකාශ හා රූප ගැන දැන ගත් විගස ඒවා ඉවත් කරනවා.

නමුත් ප්‍රචන්ඩත්වය හා වෙනත් බිහිසුනු ක්‍රියා (උදා: මානව හිමිකම් කඩ කිරීම හා ත්‍රස්තවාදී ක්‍රියා ආදිය) ගැන විද්වත් කථාබහට හා වාද විවාදවලට ෆේස්බුක් වේදිකාවේ අවකාශ තිබෙනවා. එවන් සංවාදවලදී උදාහරණ පෙන්වීමටත් ඔබට ඉඩ තිබෙනවා. එහෙත් එසේ කරන විට ප්‍රචන්ඩත්වයට කිසි විටෙක අනුබල දීමක් හෝ එය වර්ණනා කිරීමක් හෝ සාධරණීකරණය කිරීමක් නොකළ යුතුයි.

සමාජ ප්‍රශ්න පිළිබඳව ෆේස්බුක් වේදිකාවේ කැරෙන සාකච්ඡා හා විවාදවලදී, ප්‍රචන්ඩත්වය ගැන උදාහරණ ලෙස යම් බිහිසුනු රූප පෙන්වීම අවශ්‍ය නම් එසේ කිරිමට පෙර යම් අනතුරු ඇඟවීමක් කරන්න. ෆේස්බුක් වේදිකාවේ අනේකවිධ ජනයා සැරිසරන බැවින් එයින් ඇතැමකුට එවන් බිහිසුනු රූප මානසික පීඩා ඇති කළ හැකි බැවින්.

 

ඔබේ ගිනුමේ හා පෞද්ගලික තොරතුරුවල රහසිගතභාවය

ඔබේ ෆේස්බුක් ගිනුමට සයිබර් ආරක්ෂාව සැපයීමටත්, ගිනුම සම්බන්ධ තොරතුරුවල රහස්‍ය බව රැකීමට අපි බොහෝ වෙහෙස ගන්නවා. ෆේස්බුක් ගිනුමක් අරඹන විට ඔබ, ඔබේ සැබෑ නමින්/ අනන්‍යතාවයෙන් එසේ කිරීමට එකඟ වනවා. එසේම වෙනත් අයකුගේ පෞද්ගලික තොරතුරු, ඔවුන්ගේ අවසරයෙන් තොරව ඔබේ ෆේස්බුක් ගිනුමේ පළ නොකිරීමටත් ඔබ එකඟ වනවා.

ඔබට ෆේස්බුක් ගිනුම් එකකට වඩා  තිබේ යයි (multiple personal profiles) අපට පෙනී ගියොත්, අමතර ගිනුම් වසා දැමීමේ අභිමතය ෆේස්බුක් පරිපාලනයට තිබෙනවා. එසේම තමන් නොවන වෙනත් පුද්ගලයකු සේ පෙනී සිටිමින් පවත්වා ගෙන යන ගිනුම් ඉවත් කැරෙනවා.

ඔබේ ආයතනය, සමාගම, සංවිධානය, සුරතල් සත්වයා හෝ ප්‍රියතම ප්‍රබන්ධ චරිතය වෙනුවෙන් ෆේස්බුක්හි යමක් ඇරැඹීමට ඕනෑ නම් Facebook profile වෙනුවට Facebook page එකක් පටන් ගන්න. Profile එකක් හා පිටුවක් අතර වෙනස හඳුනා ගන්න. ඒ සඳහා පිවිසුම මෙතැනින්: https://www.facebook.com/pages/create

සයිබර් වංචනික ක්‍රියා හා අනපේක්ෂිතව ලැබෙන පණිවුඩ (Fraud and Spam)

ඔබ අපට ලබා දෙන දත්ත හා තොරතුරු ආරක්ෂිතව පවත්වා ගන්නට අපි සෑම උත්ස්සහයක්ම ගන්නවා. දත්ත අනවසරයෙන් පිටවීමක් වාර්තා වූ විගස ඒ ගැන විමර්ශනය කරනවා. යම් ෆේස්බුක් ප්‍රෝෆයිලයක හෝ පිටුවක ආරක්ෂාවට හිතාමතාම යමකු හානි කර තිබේ යයි පෙනෙන විට අප ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කිරීමට අදාල පොලීසියට භාර කරනවා.

බොරු තොරතුරු දක්වමින්, ෆේස්බුක් භාවිත කරන්නන් මුලා කොට ඒ හරහා ඉක්මනින් ජනප්‍රිය වීමට (likes, followers හෝ  shares ගොඩ වැඩි කර ගැනීමට) කරන උත්සාහයන්ට ඉඩ තබන්නේ නැහැ.

එසේම යමකුගේ නිසි අවසරයෙන් තොරව, වාණිජමය අරමුණු සඳහා ඔහුට/ඇයට ෆේස්බුක් හරහා ප්‍රචාරන පණිවුඩ යැවීමෙන් වළකින්න.

මියගිය පවුලේ සාමාජිකයන්ගේ හෝ මිතුරන්ගේ ෆේස්බුක් ගිනුම්වල ඉරණම

තව දුරටත් ජීවතුන් අතර නැති පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් ගැන ෆේස්බුක් වේදිකාවේ ඔබට කථා කළ හැකියි. යමකුගේ මරණය පිළිබඳව ලිඛිත සාක්ෂියක් ලද විට අදාල තැනත්තාගේ ෆේස්බුක් ගිනුම සුරක්ෂිත කොට, ආවර්ජනාත්මක තැනක් බවට පත් කැරෙනවා. මේ ගැන වැඩි විස්තර මෙතැනින්: https://www.facebook.com/help/150486848354038

එසේම මිය ගිය ෆේස්බුක් සාමජිකයකුගේ ෆේස්බුක් ගිනුම අක්‍රිය කොට, එය වසා දමන්න යයි පවුලේ සමීප සාමාජිකයකුට (මරණයේ ලිඛිත සාක්ෂි සමග) ඉල්ලා සිටීමට හැකියි.

From Facebook Community Standards, as at 25 March 2018: Position on Intellectual Property uploaded to Facebook

ෆේස්බුක් හි ඔබේ බුද්ධිමය දේපල සුරැකීම

ඔබට වැදගත් හා වටිනා බොහෝ දේ ඔබ ෆේස්බුක් හරහා බෙදා ගන්නා බව අප දන්නවා. ඔබ එසේ ෂෙයා කරන, බෙදා ගන්නා සියල්ලේ බුද්ධිමය අයිතිය මුළුමනින්ම ඔබ සතුයි. ඒවා දකින්නේ කවුද යන්න ඔබට පෞද්ගලිකත්ව මට්ටම් (privacy settings) හරහා නිර්නය කළ හැකියි.

නමුත් යමක් ෆේස්බුක් හරහා ෂෙයා කිරීමට පළමු ඒ ගැන මදක් සිතන්න. එහි බුද්ධිමය අයිතිය හිමි ඔබට නොව වෙනත් අයකුට නම් ප්‍රශ්න මතු විය හැකි බව දැන සිටින්න.

ප්‍රකාශන අයිතීන්, වෙළඳනාම හා වෙනත් නීතිමය වශයෙන් සීමා කරන ලද සාධකවල (copyrights, trademarks and other legal rights) එම සීමාවන්ට ගරු කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ ගැන වැඩි විස්තර මෙතැනින්: https://www.facebook.com/help/399224883474207

 

ෆේස්බුක් අවභාවිතයන් ගැන වාර්තා කිරීම/පැමිණිලි කිරීම

ෆේස්බුක් වේදිකාවට අදාල ඉහත විස්තර කළ ඕනෑම ප්‍රමිතියක් කඩ වනු ඔබ දුටුවොත් ඒ ගැන වාර්තා කිරීමට හෙවත් රහසිගතව පැමිණිලි කිරීමට ඔබට හැකියි. ඒ සඳහා වැඩි විස්තර මෙතැනින්: https://www.facebook.com/help/www/181495968648557

එසේ ලැබෙන සියලු පැමිණිලි එකින් එක විමර්ශනය කොට, අපේ ප්‍රජා ප්‍රමිතීන් සැබැවින්ම උල්ලංගනය කර තිබෙන අන්තර්ගතයන් ඉවත් කිරීමට ෆේස්බුක් පරිපාලනය ක්‍රියා කරනවා.

මීට අමතරව විටින්විට අපට රජයන්ගෙන් ඉල්ලීම් ලැබෙනවා, ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන් කඩ නොකළත් දේශීය නීතීන් උල්ලංගනය කරන යම් අන්තර්ගතයන් ඉවත් කරන ලෙස. එවන් අවස්ථා එකින් එක (case-by-case) සළකා බලා, සැබැවින්ම අදාල රටේ නීතියක් කඩ වී ඇතැයි තහවුරු වන විටදී පමණක් අදාල අන්තර්ගතයන් එකී රටට පමණක් නොපෙන්වීමට අප පියවර ගන්නවා (we may make it unavailable only in the relevant country or territory).

මේ කරුණු ද අවධානයට ලක් කරන්න:

  • පැමිණිලි කළ පමණටම යම් අන්තර්ගතයක් ඉවත් කරන්නේ නැහැ. අපේ ප්‍රජා ප්‍රමිතියක් පැහැදිලිව කඩ වී ඇතැයි තහවුරු විය යුතුයි.
  • පැමිණිලි කළ පාර්ශවයෙන් අපේ විමර්ශකයන් ඇතැම් විට වැඩි විස්තර හෝ විග්‍රහයන් ඉල්ලා සිටීමට හැකියි.
  • පැමිණිල්ලකට පාදක වූ යම් අන්තර්ගතයක් පිළිබඳව මුලින් ෆේස්බුක් පරිපාලයන ගන්නා තීරණයක්, පසුව ලැබෙන අමතර තොරතුරු හෝ අවබොධය මත පදනම් වී වෙනස් කිරීමට හැකියාව තිබෙනවා.
  • යමක් ගැන පැමිණිලි කරන පිරිස වැඩි වූ පමණට අදාල පැමිණිල්ලේ වැදගත්කම අඩු හොව් වැඩි වන්නේ නැහැ. එසේම යම් අන්තර්ගතයකට එරෙහිව යළි යළිත් පැමිණිලි ලැබුණද එය ප්‍රජා ප්‍රමිතීන්ට අනුකූල වන තාක් කල් ඉවත් කිරීමක් සිදු කැරෙන්නේ ද නැහැ.
  • ප්‍රජා ප්‍රමිතීන් කඩ කිරීම යළි යළිත් කරන ෆේස්බුක් ගිනුම් හිමියකුට අනතුරු ඇඟවීම් කිහිපයකින් පසුව තව දුරටත් එසේම කඩ කිරීම් කරයි නම්, ඔහු/ඇය/එම කණ්ඩායම සතුව තිබෙන ෆේස්බුක් ක්‍රියාකාරිත්වය සීමා කිරීමට හෝ මුළුමනින් ෆේස්බුක් වේදිකාවෙන් තනහම් කිරීමට ඉඩ තිබෙනවා. මේ ගැන ෆේස්බුක් පරිපාලනයේ අභිමතය පරිදි තීරණ ගනු ඇති.

 

අවසාන වශයෙන් මතක් කිරීමක්:

ෆේස්බුක් යනු ගෝලීය වේදිකාවක්. එහි නිරූපනය වන්නේ අපේ ලෝකයේ සංස්කෘතික විවිධත්වයයි. ඔබ පෞද්ගලිකව නොරිසි හෝ කැලඹීමට පත්වන ඇතැම් දේ ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන්ට අනුකූල වීමට ඉඩ තිබෙනවා. ඔබට එවන් දේ ෆේස්බුක් හි නොදැක සිටීමට ඔබේ සෙටින් හදා ගත හැකියි (customised settings). ඔබ අප්‍රිය කරන, ඔබ විරෝධය දක්වන යමක් නොදැක ෆේස්බුක් වේදිකාවේ සැරිසරන්නට මේ හරහා ඔබට ඉඩකඩ ලැබෙනවා.

 

https://www.facebook.com/communitystandards/

From Facebook Community Standards, as at 25 March 2018: How to report abuse to Facebook Administrators

 

සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Nelson Mandela whose 95th birthday was on 18 July 2013 — which was marked worldwide as Nelson Mandela Day.
See also my English essay published earlier this week:

Waiting for My Own Mandela…not any longer!

(Note: The two cover similar ground, but I don’t translate myself.)

President Nelson Mandela at UN General Assembly Oct 1995 - UNDPI Photo by G  Kinch

‘‘පිටසක්වල බුද්ධිමත් ජීවීන් රැගත් යානයක් පැමිණ ඔබේ ලෝකයේ නායකයා වෙතට අප යොමු කරන්න යැයි ඉල්ලා සිටියොත් මා නොපැකිලාව කියන්නේ නෙල්සන් මැන්ඩෙලා හමු වන්නට කියායි. ඔහු තරම් අපේ මානව සංහතියේ ඉදිරි දැක්ම හා අපේක්‍ෂා සංකේතවත් කළ තවත් නූතන නායකයකු මට නම් සිතා ගන්නට බැහැ.’’

මා එසේ (ඉංගී‍්‍රසියෙන්) ලිව්වේ මීට දශකයකට පමණ පෙර. එය කියවූ බොහෝ දෙනෙකු එයට එකඟ වූයේ දකුණු අපි‍්‍රකානු නායකයා වැනි පරමාදර්ශී චරිතයක් මුඵ ලෝකයේ ම දායාදයක් වන නිසායි. සියඵ මතවාද පසෙක දමා අප නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් එක් සිත් වන්නේ එබැවින්.

මැන්ඩෙලා ජනාධිපති සිටියදී වරක් ඔහුට සජීව ලෙස සවන් දීමේ අවස්ථාව මට ලැබුණා. ඒ 1995 ඔක්තෝබරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර එජා මූලස්ථානයේ පැවැත් වූ රාජ්‍ය නායක මහ සමුඵවේදී. ලෝක ව්‍යාප්තව තරගකාරී මට්ටමින් පිරිනැමෙන මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලබා මා ඒ දිනවල සිටියේ එජා සංවිධානය අධ්‍යයනය කරමින් හා වාර්තා කරමින්.

1995 ඔක්තෝම්බර් 22-24 තෙදින තුළ රාජ්‍ය නායකයන් හා ආණ්ඩු නායකයන් 150කට අධික සංඛ්‍යාවක් එහි පැමිණියා. ඒ අතර කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, පලස්තීන නායක යසර් අර්ෆත් ආදී විචිත‍්‍ර චරිත සිටියත් මා ඉතා  ඕනෑකමින් සවන් දුන්නේ නෙල්සන්  මැන්ඩෙලාටයි.

මෙබඳු විශෙෂ අවස්ථාවල හැම රාජ්‍ය නායකයාට ම ලැබෙන්නේ විනාඩි 5ක් පමණයි. අන් බොහෝ නායකයන් සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ති‍්‍රක කථා කරද්දී තමන්ට ලැබුණු තත්පර 300න් මැන්ඩෙලා උපරිම ප‍්‍රයෝජන ගත් සැටි මට මතකයි.

එය දාර්ශනික වූත්, කාව්‍යමය වූත් කථාවක්. සියඵ දකුණු අප‍්‍රිකානුවන්, සියඵ අපි‍්‍රකානුවන් මෙන් ම දුප්පත් හා අසරණ ලෝකයේ සැම තැනෙක ම වෙසෙන සියඵ දෙනා වෙනුවෙන් ඔහු කථා කළා. එසේ කථා කිරීමේ සදාචාරමය අයිතියක් ඔහුට තිබූ බවට විවාදයක් නැහැ.

නිව්යෝක්හි ගත කළ සති කිහිපයේ මගේ කාමර සගයා වූයේ එවකට 25 හැවිරිදි වූ, දකුණු අපි‍්‍රකානු විද්යුත් මාධ්‍ය සංස්ථාවේ (SABC) නිෂ්පාදක ඩාන්ටේ මෂීලේ (Dante Mashile). 1990දී වර්ණභෙදවාදී ප‍්‍රතිපත්ති අත් හිටු වන විට ඔහුට වයස 20යි. මේ නිසා කඵ සමක් සහිතව ඉපදීම නිසා ම සිය මවු රටේ විදින්නට සිදු වූ අවමන් හා අසාධාරණකම් ගැන අත්දැකීම් හා මතකයන් ඔහුට තිබුණා.

මැන්ඩෙලා ඇතුඵ ANC (African National Congress) පාක්‍ෂිකයන්ගේ දශක ගණනක අරගලය නිසා නොවන්නට තමා වැන්නකුට කිසි දිනෙක SABC නියෝජනය කරමින් පිටරටකට යන්නට හෝ තමන්ගේ කුසලතාවන්ට සරිලන රැකියාවක නිරත වන්නට හෝ ඉඩ නොලැබෙන බව ඩාන්ටේ පුන පුනා කී දෙයක්.

1994 වසර ඩාන්ටේගේ රටේ මෙන් ම මගේ රටේත් දේශපාලන සංධිස්ථානයක් සනිටුහන් කළා.

1994.04.27දා පැවැත් වූ, දකුණු අපි‍්‍රකාවේ සියඵ වැඩිහිටියන්ට සර්වජන ඡුන්ද බලය හිමි වූ මුල් ම මහ මැතිවරණයෙන් ANC ජයග‍්‍රහණය කළා. එහි නායකයා හැටියට මැයි 10දා නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකානු ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ ඇරඹුවා.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ එදා මෙදා තුර අපේක්‍ෂකයකු ලද ඉහළ ම ඡුන්ද ප‍්‍රතිශතය (62%) ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති බවට පත් වූයේ ඊට මාස කිහිපයකට පසු 1994 නොවැම්බර් 12දා.

1995 ඔක්තෝබර් වන විටදීත් මේ නායකයන් දෙපළ ගැන අපේක්‍ෂා රැසක් ඩාන්ටේ හා මා වැනි තරුණයන් තුළ පැවතුණා. නිව්යෝක් නුවර වැස්ස හා සීතල මැද්දේ හිමිදිරියේ අපේ දෙරටේ නායකයන් එජා සමුඵව අමතනු අසන්නට අප පෙළ ගැසුණේ ඒ නිසායි. ලෝක ඉතිහාසයේ එතෙක් පැවති ලොකු ම නායක හමුවට දැඩි ආරක්‍ෂක රැකවරණ යොදා තිබුණා.

1994-1999 වකවානුවේ පස් අවුරුදු ධූර කාලයක් නිමා කළ මැන්ඩෙලාට ලෙහෙසියෙන් ම තවත් ධූර කාලයකට නීතමය අවසරය තිබුණා. ජන ප‍්‍රසාදය ද පැවතුණා. එහෙත් බොහෝ අපි‍්‍රකානු නායකයන් මෙන් බලලෝභීව තනතුරේ එල්ලී සිටිනු වෙනුවට ඔහු ගෞරවනීය ලෙස විශ‍්‍රාම ගියා.

ඒ වන විට මුඵ ලෝකයට ම ආදර්ශයක් වන ඉතා ප‍්‍රගතිශීලි නව ව්‍යවස්ථාවක් හා තවත් ජන හිතකාමී රාජ්‍ය ප‍්‍රතිපත්ති රාශියක් ඔහු හඳුන්වා දී තිබුණා. ජනපි‍්‍රයත්වය සඳහා සිල්ලර වැඩ කරනවා වෙනුවට දිගු කාලීනව හිතකර ක‍්‍රමීය වෙනස්කම් කිරීමත්, ඒ සඳහා අවශ්‍ය බහු විධ මත සන්ධානයන් ගොඩ නැගීමත් මැන්ඩෙලාගේ සුවිශෙෂී නායකත්වයේ සළකුණක්.

අඩ සියවසක් තිස්සේ වර්ණභේදවාදී රාජ්‍ය තන්ත‍්‍රයට පෑගී, මිරිකී සිටි බහුතරයක් දකුණු අපි‍්‍රකානුවන් තමන්ගෙන් ඉක්මන් ප‍්‍රතිඵල බලාපොරොත්තු වන බව මැන්ඩෙලා දැන සිටියා. එමෙන්ම ඓතිහාසික අකටයුතුකම් හා අසාධාරණයන් ගැන කල්ගත වී හෝ විභාග කිරීමත්, යුක්තිය ඉටු කිරීමත් අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තා.

එසේ වුවත් දකුණු අපි‍්‍රකාව නිජබිම කර ගත්, බුද්ධිමත් හා කාර්යශූර සුදු හම ඇති විශාල පිරිසක් සිටින බවත්, නව දේශය ගොඩ නැංවීමේදී ඔවුන්ගේ අත්දැකීම් හා දක්‍ෂතා නැතිව බැරි බවත් මැන්ඩෙලා දුරදක්නා නුවණින් වටහා ගත්තා.

මුඵ ලෝකයේ ම ප‍්‍රශංසාවට ලක් වූයේ දශක ගණනක් කඵ ජනයා හිංසනයට හා පීඩනයට ලක් කළ සුදු දකුණු අපි‍්‍රකානුවන් (රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක හමුදා හා පොලිස් නිලධාරීන්, වර්ණභෙදවාදය සාධාරණීකරණය කළ අවස්ථාවාදී විද්වතුන්) සියඵ දෙනාට සමාව දීමේ අසාමාන්‍ය කි‍්‍රයාදාමයයි.

රාජ්‍ය බලය හා පාර්ලිමේන්තු බහුතරය යොදා ගෙන සුදු දකුණු අපි‍්‍රකානුවන්ගෙන් පළි ගැනීමට මැන්ඩෙලාට  ඕනෑ තරම් අවකාශ තිබුණා. වර්ණභෙදවාදය යටතේ දැඩි කොන්කිරීම් හා වද දීම්වලට ලක් වූ ANC පාක්‍ෂිකයන් සමහරුන් ද බල කර සිටියේ එබන්දක් කළ යුතු බවයි.

එහෙත් වෛරීය හෝ ද්වේශ සහගත මාර්ගයක් වෙනුවට සමාව දෙමින් පාඩම් උගැනීමේ මාර්ගයට (forgive, but not forget) අමාරුවෙන් වුවත් මේ විශාල රට යොමු කරන්නට මැන්ඩෙලා සමත් වුණා.

ඔහුගේ නායකත්වය යටතේ මේ ආදර්ශවත් මානුෂීය පිළිවෙත් කි‍්‍රයාත්මක කරන්නට තවත් දේශපාලන හා සමාජ නායකයන් ගණනාවක් ඉදිරිපත් වීම තීරණාත්මක ලෙස බලපෑවා. 1984 නොබෙල් සාම ත්‍යාගය ලද, වර්ණභෙදවාදයට ජීවිත කාලය ම එරෙහි වූ කේප්ටවුන්හි ආච්බිෂොප්වරයා ලෙස කටයුතු කළ ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu) ඒ අතර කැපී පෙනුණා. දකුණු අපි‍්‍රකාවේ සත්‍යය සෙවීමේ හා සංහිදියාවේ කොමිසමේ ප‍්‍රධානියා ලෙස 1995-98 කාලයේ ඔහු දැඩි සංයමයකින් යුතුව මෑත ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් විමර්ශනය කළා. (South African Truth and Reconciliation Commission)

මැන්ඩෙලා කිසි දිනක මුණ ගැසී කථා නොකළත් ඔහුගේ කථාව ලොවට කී හා ඔහුගේ අරගලයට සහාය දුන් ලේඛකයන් දෙදෙනකු හදුනා ගන්නට මට අවස්ථාව ලැබුණා. මේ දෙදෙනා ම සමේ වර්ණයෙන් සුදු වීම ඔවුන්ගේ කාර්යයට කිසිසේත් බාධාවක් වූයේ නැහැ.

කි‍්‍රස්ටිනා ස්කොට් (Christina Scott) කැනඩාවේ උපත ලබා පසු කලෙක දකුණු අපි‍්‍රකාවට සංක‍්‍රමණය වූ ලේඛිකාවක් හා රේඩියෝ මාධ්‍යවේදිනියක්. ඇය, මැන්ඩෙලා ගැන චරිතාපදානයක් රචනා කළා. ඔහුගේ ජීවිත කථාව හා නිදහසේ අරගලය ගැන සරල ඉංගී‍්‍රසියෙන් කියැවෙන ඒ කෘතිය සඳහා විවිධ අවස්ථාවල ඇය මැන්ඩෙලා හා ඔහුගේ කාර්ය මණ්ඩලය සමග තොරතුරු ගවේෂණය කළා.

මැන්ඩෙලා හා ANC ගැන 1960 දශකය මැද සරසවි සිසුවකුට සිටින කාලයේ පටන් මහත්  ඕනෑකමින් වාර්තා කරන අනෙක් මිතුරා නම් අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෂෙක්ටර් (Danny Schechter). වර්ණභේදවාදයට එරෙහි අරගලය බටහිර මාධ්‍ය වලින් දිගට ම වාර්තා කිරීමේ දී ඔහු ඉමහත් සේවයක් කර තිබෙනවා. South Africa Now නම් ටෙලිවිෂන් කාලීන පුවත් වැඩසටහනක් වසර තුනක් (1988-1991) සතිපතා නිෂ්පාදනය කළ ඔහු මැන්ඩෙලා ගැන ගවේෂණාත්මක වාර්තා චිත‍්‍රපට පහක් ද නිපදවා තිබෙනවා.

ඩැනී කියන්නේ මැන්ඩෙලා සිය දිගු ජීවිතය පුරා යථාර්ථයේ අභියෝගවලට ප‍්‍රතිචාර දක්වමින් පරිනාමය වූ බවයි. තරුණ වියේ රාජ්‍ය හිංසනයට එරෙහිව ඔහු යටිබිම්ගත විප්ලවවාදියකු වුණා. මර්දනකාරී රාජ්‍යයට එරෙහිව සැළසුම් හා ආක‍්‍රමණ කළා. ඉනික්බිති දේශපාලන සිරකරුවකු ලෙස ඔහු වඩාත් තර්කානුකූලව හා සානුකම්පිත ලෙසින් සිය රටේ ගැඹුරට කිදා බැස ගත් බෙදීම්වලට මුල අවබෝධ කර ගෙන විසඳුම් ගවේෂණය කළා.

ප‍්‍රතිපත්තිගරුක එහෙත් ප‍්‍රායෝගික නායකයකු ලෙස මැන්ඩෙලා විවිධ මතධාරී කැරලිකරුවන් හා කි‍්‍රයාකාරිකයන් ඒකරාශී කළා. ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂා බිඳ වැටෙන්නට නොදී දිගු ගමනක් ගියා. අන්තිමේ දී මුඵ ලෝකයේ ම සම්මානනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියකු හා සදාදරණීය පරමාදර්ශී චරිතයක් බවට පත් වුණා.

ඩැනී කියන හැටියට: ‘‘මැන්ඩෙලා අංග සම්පුර්ණ මිනිසෙකු නොවෙයි. ඔහුගේ චරිතයේ දුර්වල තැන් තිබුණා. ඔහු සමහර විට නාහෙට නාහන කෙනෙක්. යම් අවස්ථාවල ඔහුගේ ස්ථාවරයන්හි පරස්පර විරෝධතා ද තිබුණා. එහෙත් ඔහුගේ අවංක බව හා කැපවීම පිළිබඳ නම් කිසිවකුත් කිසි විටෙක සැක කළේ නැහැ. තම පාක්‍ෂිකයන්ගේ පමණක් නොව විරුද්ධවාදීන්ගේ පවා ගෞරවයට ඔහු ලක් වූයේ මෙසේ විවෘත මනසකින් සත්‍ය ගරුක වීම නිසා යයි මා සිතනවා.’’

මැන්ඩෙලා තමාට වන්දනාමාන කරන වන්දිභට්ට පිරිසක් (cult) බිහි වන්නට ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට තම චින්තනය හා ඉදිරි දැක්ම ප‍්‍රවර්ධනය කරන ලෝක ව්‍යාප්ත පදනමක් (Nelson Mandela Foundation) හා ජාතියේ මතකය සුරකින ආයතනයක් (Nelson Mandela Centre of Memory) බිහි කරන්නට අනුගාමිකයන් හා අනුග‍්‍රාහකයන් යොමු කළා.

වසර 40ක් පමණ තිස්සේ දකුණු අපි‍්‍රකාවේ සමාජයීය හා දේශපාලන ප‍්‍රවණතා විග‍්‍රහ කරන ඩැනී ෂෙක්ටර් කියන්නේ මැන්ඩෙලා ඇතුඵ ANC පරමාදර්ශවාදීන්(idealists) කලක් තිස්සේ සිහින මැවූ සර්ව සාධාරණ හා සමානාත්මතාවය රජයන දකුණු අප‍්‍රිකාවක් තවම බිහි වී නැති බවයි. සුදු ධනපතියන් පමණක් වෙනුවට සුදු, කඵ හා දුඹුරු ධනපතියන්ට දුගී ජනයා සූරාකෑමට මාර්ගය සැළසුවා යයි ඇතැම් දෙනා මැන්ඩෙලාට දොස් කියනවා.

එහෙත් මහා විනාශයක් අභිමුඛව සිටි සුවිසල් රටක් 1994 මැයි මාසයේ බාර ගෙන, වසර 5ක් තුළ එය දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමට පත් කිරීම ඔහුගේ ලොකු ජයග‍්‍රහණයක්.

දකුණු අපි‍්‍රකාව යනු අපි‍්‍රකා මහාද්වීපයේ විශාලතම ආර්ථිකයයි. අද එය දියුණු වන ලෝකයේ ප‍්‍රබල ආර්ථිකයන් අතර ප‍්‍රමුඛයි. එහෙත් දුගී දුප්පත්කම, අපරාධ හා ප‍්‍රචණ්ඩත්වය හා වෙනත් බොහෝ සමාජයීය හා සංවර්ධනාත්මක අභියෝග රැසක් ඔවුන් හමුවේ තිබෙනවා.

මැන්ඩෙලා විශ‍්‍රාම ගියේ ක‍්‍රමීය විපර්යාසයන් සිදු කොට, ආයතනික ව්‍යුහයක් ඇති කිරීමෙන් පසුවයි. ඔහුගෙන් පසුව බලයට පත් වූ නායකයන්ට ඔහුට තරම් පුඵල් චින්තනයක් හා අධිෂ්ඨාන ශක්තියක් නැති වීම නිසා යම් පසුබෑමක් හට ගත් බව ඇත්තයි. එහෙත් වෛරීය දේශපාලනය හා බෙදුම්වාදී අන්ත ජාතිකවාදය වෙනුවට කොයි කවුරුනුත් හවුල් කරගෙන යන දිගු ගමනකට මුල පිරීම ගැන මැන්ඩෙලාට සුදු-කඵ හැම දකුණු අපි‍්‍රකානුවෙක් ම ප‍්‍රණාමය දක්වනවා.

පසුගිය දශකය තුළ මා තුන් වතාවක් දකුණු අප‍්‍රිකාවේ සංචාරය කොට තිබෙනවා. සුදු-කඵ-දුඹුරු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් රැසක් මුණ ගැසී කථා බහ කොට තිබෙනවා. තම රටේ බරපතල සමාජ හා ආර්ථික ප‍්‍රශ්න ඇතත් ඔවුන් හැම දෙනකු ම අනාගතය පිළිබඳ අපේක්‍ෂා සහගතයි.

යටත්විජිතවාදයෙන් හෝ සුඵතර සුදු පාලනයකින් හෝ නිදහස් වූ වෙනත් අපි‍්‍රකානු රටවල් ගිය මගට වඩා සමබර වූත්, තිරසාර වූත් මාර්ගයකට තම රට යොමු කළේ මැන්ඩෙලා බව ඔවුන් පිළි ගන්නවා. මැන්ඩෙලා ඉතා අමාරුවෙන් පීලි මාරු කොට, මහා ව්‍යසනයක් මග හරවා යොමු කළ සහජීවන මාර්ගයේ දිගට ම යාම බහුවාර්ගික, බහු ආගමික රටක් හැටියට දකුණු අපි‍්‍රකාවට ඇති හොඳම විකල්පය බව ඔවුන් දන්නවා.

1995 මැන්ඩෙලා ලියූ ස්වයං චරිතාපදානයට ඔහු දුන් නම Long Walk to Freedom (නිදහසට ගිය දිගු ගමන). ඒ ගමන වර්ණභේදවාදය හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වීමෙන් පමණක් නතර නොවන බව ඔහු නිතර මතක් කළා.

ඔහුගේ එක් ප‍්‍රකට ප‍්‍රකාශයක් වූයේ මෙයයි. ‘‘නිදහස කරා යන කිසිදු ගමනක් ලෙහෙසි වන්නේ නැහැ. අප ප‍්‍රාර්ථනා කරන කඳු මුදුනට ළගා වීමට පෙර මරණයේ සේයාව පතිත වූ බියකරු නිම්න හරහා අපට යළි යළිත් ඇවිදින්නට සිදුවනු ඇති….’’

දකුණු අපි‍්‍රකානුවන්ට තව බොහෝ දිග ගමනක් යන්නට තිබෙනවා.