සිවුමංසල කොලූගැටයා #179: දියේ ගිලෙන ජීවිත බේරා ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I look at how to prevent death and disability caused by drowning in Sri Lanka.

Around 1,200 people die every year in Sri Lanka from drowning — several times the number of deaths from dengue fever, but this distributed tragedy gets much less public and media attention.

Most victims are children and young adults, and some die while trying to save another from drowning. Most of these deaths are preventable – if only adequate safety precautions are taken.

I quote extensively from a Sinhala book (Protect Your Children from Accidents) written by consultant surgeon Dr. Wijaya Godakumbura.

For same advice in English, see his Nov 2013 article: Accidents are preventable Drowning, the silent killer, by Dr. Wijaya Godakumbura

Drowning - HELP!

අපේ රට දුපතක් වුවත් බොහෝ දෙනකුට හරි හැටි හෝ කොහෙත්ම පිහිනීමේ හැකියාව නැහැ. එසේ නොතිබියදීත් මුහුදේ හෝ අභ්‍යන්තර ජලාශවල ස්නානයට යාමෙන් බොහෝ ගිලීම් අනතුරු සිදු වනවා.

විශේෂයෙන්ම (මතුපිටට හරි හැටි නොපෙනෙන) ගැඹුරු තැන්, දිය පහරවල්, දියසුළි ගැන නොදැනුවත් වීමත්, බීමත්ව සිටියදී දියට බැසීමත් නිසා පිහිනීමේ හැකියාව ඇති අය පවා ගිලී මිය යන්නට පුළුවනි.

ශ‍්‍රී ලංකාවේ වසරකට 1,200ක් පමණ දෙනා දියේ ගිලී මිය යනවා. මුහුද, ගංගා, දිය ඇලි, ජලාශ, වැව් හා ළිං ආශ‍්‍රිතව මේ අවාසනාවන්ත අකල් මරණ සිදු වනවා. වැඩිපුර මිය යන්නේ අවුරුදු 15-35 අතර වයස්වල පිරිමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන්නේ ලොව පුරා අහම්බෙන් හා අනපේක්‍ෂිතව සිදු වන මරණ සඳහා හේතුවන සාධක අතරින් දියේ ගිලීම තුන්වන තැන ගන්නා බවයි.

ලෝකය පුරා වසරකට දියේ ගිලීමෙන් මිය යන සංඛ්‍යාව ලක්‍ෂ හතරක් පමණ වන බවත්, මිය යා නොදී බේරා ගන්නා තවත් සමහරුන්ට දරුණු ශාරීරික හා මානසික දුබලතා ඇති වන බවත් WHO කියනවා. ලෝක මට්ටමෙන් දියේ ගිලෙන අයගෙන් තුනෙන් දෙකක් පමණ පිරිමින්. වැඩි දෙනකු ළමයින් හා තරුණයන්.

ජාතික වෙරළාරක්‍ෂක සේවයේ අධ්‍යක්‍ෂ රෙයර් අද්මිරල් ආර්. සී. විජේගුණරත්න මෑතදී මාධ්‍යවලට පවසා තිබුණේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිපුර රැස් වන ස්ථානවලට ජීවිතාරක්‍ෂකයන් පත් කිරීමට සැළසුම් කරන බවයි. දැනට මොවුන් සිටින්නේ සීමිත වෙරළ ස්ථාන කිහිපයක පමණයි.

Model Life Saving Post at Wellawatta - image courtesy Sri Lanka Coastguard website

Model Life Saving Post at Wellawatta – image courtesy Sri Lanka Coastguard website

අභ්‍යන්තර ජලාශවල දියේ ගිලීම් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවත් සංඛ්‍යා ලේඛනවලින් පෙනෙනවා. අනතුරුදායක ස්ථාන හඳුනා ගෙන විධිමත් ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා නම් තාක්‍ෂණික උපදෙස් දීමට වෙරළාරක්‍ෂක හමුදාව සූදානම් යයි ඔහු කියනවා.

සියළු පිහිනුම් තටාකවල ජීවිතාක්‍ෂකයකු සේවයේ රැුඳී සිටීම නීතියෙන් අනිවාර්යයි. එහෙත් එය ප‍්‍රායෝගිකව සිදු වන්නේ නැහැ.

Cover of Dr Godakumbura's book

Cover of Dr Godakumbura’s book

2012දී ‘අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න’ නම් ග‍්‍රන්ථය ලියූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර පෙන්වා දෙන්නේ දියේ ගිලීම මුළුමනින් වළක්වා ගත හැකි අනතුරක් බවයි. එහෙත් නිසි දැනුම, අවබෝධය හා අවධානය නැති නිසා හැම වසරකම දහසකට වඩා ලාංකිකයන් ගිලී මිය යනවා.

‘‘මෙය ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව මෙන් කිහිප ගුණයකි. කණගාටුවට කරුණ නම් වැඩිපුර මිය යන්නේ ළමයින් හා තරුණයන් වීමත්, සමහරුන් මිය යන්නේ තවත් අයකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමෙන් වීමත්ය. මේ බොහෝ මරණ වළක්වා ගත හැකිය. එහෙත් දැනට (2012 මාර්තු දක්වා) ලංකාවේ මේ ගැන පුද්ගල උනන්දුව හා වැළැක්වීමේ උපාය මාර්ග අල්පවීම පුදුම සහගත මෙන්ම කණගාටුදායකය.’’

23 Sep 2012: සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

ශ‍්‍රී ලංකාවේ දියේ ගිලීම් බහුතරයක් සිදු වන්නේ ගංගා, වැව් හා මුහුද වැනි විවෘත ජලාශවල බවත්, සීමිත ගිලීම් සංඛ්‍යාවක් බැම්මක් නැති ළිං හා පිහිනුම් තටාකවල ඇති වන බවත් වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

දියේ ගිලීමට ආසන්නව සිට බේරා ගන්නා අයගෙන් දළ වශයෙන් 70%ක් සම්පූර්ණ සුවය ලබනවා. 5%කට සදාකාලික මොළයේ ආබාධ සහිතව ජීවත් වන්නට වනවා. ඉතිරි 25% මිය යනවා.

දියේ ගිලීමකදී පෙනහළු ජලයෙන් පිරෙනවා. එවිට රුධිරයට නිතිපතා අවශ්‍ය ඔක්සිජන් ලබා ගත නොහැකි වනවා. මොළයට යන රුධිරයේ ඔක්සිජන් අඩු වී, පළමුව සිහිය නැති වී දෙවනුව හදවත නවතිනවා.

දියේ ගිලූණු කෙනකු ගොඩට ගත් පසු හැම තත්පරයම තීරණාත්මක නිසා රෝහලකට ගෙන යන තුරු ප‍්‍රථමාධාර දිය යුතුයි. ගොඩගත් වහා ම ගිලූණු තැනැත්තා හුස්ම ගන්නවා දැයි සොයා බලා එසේ නොකරයි නම් පෙනහළුවල ජලය ඉවත් වන්නට සළස්වා කෘත‍්‍රිම ශ්වසනය (මුඛයෙන් මුඛයට) Cardio Pulmonary Resuscitation (CPR) සහ හදවත් ස්ථම්බනය කළ යුතුයි. ජීවිතාරක්‍ෂකයෝ මෙය හොඳින් දන්නවා.

ඔවුන් කෙනකු ළඟ නැතිනම් තරමක් දුරට හෝ ඒ ප‍්‍රථමාධාර දීමට අසල සිටින අය තැත් කළ යුතු යයි වෛද්‍ය ගොඩකුඹුර කියනවා. ඒ සඳහා මූලික ප‍්‍රථමාධාර දැනුමත් හා පුහුණුවක් තිබිය යුතුයි. මේ හැකියාව පුළුල් කිරීමෙන් වසරකට දියේ ගිලෙන ජීවිත රැසක් බේරා ගත හැකියි.

කුඩා කාලයේදී ළමුන්ට පිහිනීමේ පුහුණුව ලබාදීම වැදගත් පියවරක්. එය අවුරුදු 2දී වුවද කළ හැකියි. මෙයට පිහිනුම් තටාකම අවශ්‍ය නැති බවත්, වෙනත් නොගැඹුරු ජලාශ පවා යොදා ගත හැකි බවත් වෛද්‍ය ගොඩකුඹුර කියනවා. වැව් පොකුණුවල උණ බම්බු ආධාරයෙන් පිහිනුම් පුහුණුව දෙන ක‍්‍රමයක් (අපට වඩා දුප්පත්) බංගලාදේශයේ කැරෙන බව ඔහු පෙන්වා දෙනවා.

අද අපේ රටේ සිය ගණනක් පාසල්වල පිහිනුම් තටාක ඉදිකර ඇතත් ජීවිතාරක්‍ෂාව ගැන නිසි අවධානයක් යොමු වේද? මේ පහසුකම් යොදා ගෙන පාසලේ සියළු දරුවන්ට මූලික පිහිනීමේ හැකියාව ලබා දෙයිද? ඔහු මෙබදු ප‍්‍රශ්න මතු කරනවා.

Dr Wijaya Godakumbura - after saving thousands of lives by inventing safe bottlelamp, he has turned to preventing drowning

Dr Wijaya Godakumbura – after saving thousands of lives by inventing a safe bottlelamp, he has turned to preventing drowning

ජලයට බැස විනෝද වීමේදී දියේ ගිලෙන හා මිය යන අයගෙන් 25-50%ක් පමණ මත්පැන් පානය කර ඇති බව හෙළි වී තිබෙනවා. සමබරතාව, සම්බන්ධීකරණය, නිරීක්‍ෂණය හා ක්‍ෂණිකව ක‍්‍රියා කිරිමේ හැකියාව මත්පැන් මගින් තාවකාලිකව මොට කරන නිසා ගිලෙන්න යන විට පණ බේරා ගන්නට අමාරු වනවා.

‘මත්පැන් බී රිය පැදවීමට විරුද්ධ වන්නා සේම පිහිනීම් හා ජල ක‍්‍රීඩා කරන තැන්වල ද මත්පැන් භාවිතයට සම්බාධක පැනවිය හැකි නම් අකාල මරණ සමහරක් වළක්වා ගත හැකි’ යයි වෛද්‍ය ගොඩකුඹුර නිර්දේශ කරනවා.

ගංගා හා ජලාශවල ගමන් කරන හැම යාත‍්‍රාවකම ජීව කබා (life jackets) පැළඳීම අනිවාර්ය කළ යුතුයි. හදිසි අනතුරකදී යාත‍්‍රාව දියබත් වුවත් නොගිලී දිය මතු පිට පාවෙමින් සිටීමටත් බේරා ගන්නා තුරු පණ රැක ගැනීමටත් එය මහෝපකාරි වනවා.

දෙමව්පියන් හා අන් වැඩිහිටියන්ගේ නිසි අවධානය නැති වීමෙන් ගෙදර තුළදී පවා දරුවන්ට දියේ ගිලීමේ අනතුරු සිදු විය හැකියි. කුඩා දරුවකු නෑවීමේදී වතුර බේසමක් හෝ බාල්දියක් තුළ පුරවා ගන්නා වතුරේ ගිලී මිය ගිය ඉතා අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී ඇතැයි වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

අප නිවෙස් හා ගෙවතුවල අදිසි අන්තරායන් ගැන මනා අවබෝධයක් හෝ තක්සේරුවක් නොමැතිවීම මේ අනතුරුවලට හේතුවයි.

‘‘අපේ රටේ නීතියට අනුව සියලූම ළිං වටා බැම්මක් බැඳ තිබිය යුතුයි. එහෙත් පෞද්ගලික ගෙවතුවල හා ගොවි බිම්වල මෙය හරිහැටි කරන්නේ නැහැ. අනපේක්‍ෂිත ලෙසින් බඳු ළිංවලට වැටී, දියේ ගිලී මරණයට පත් වන හෝ සදාකාලිකව ආබාධිත වන දරුවන් හා වැඩිහිටියන් සංඛ්‍යාවක් සිටිනවා. එබඳු අනතුරුදායක ළිං හිමියන්ට විරුද්ධව නීති ක‍්‍රියාත්මක විය යුතුයි‘‘ ඔහු තව දුරටත් කියනවා.

දියේ ගිලීම වැළැක්වීමේ සිව් වැදෑරුම් ක‍්‍රම:

  • බලාපොරොත්තු නොවූ අන්දමින් දියට වැටීම වැළැක්වීම (ළිං වටා තාප්ප, බෝට්ටු පෙරළීම වැළැක්වීම ආදිය)
  • ඔවුන් සහ හිතාමතා ම දියට බට අය ගිලීම වැළැක්වීම (ජීව කබා සහ වෙනත් පාවෙන උපකරණ භාවිතය, අනාරක්‍ෂිත ස්ථානවල ස්නානය නොකිරීම ආදිය)
  • තමාට අනතුරක් ඇති නොවන අන්දමට ගිලෙන්නට යන අය ගොඩට ගැනීම.
  • ගිලීම නිසා ශ්වසනය අඩපණ වී මරණාසන්න වූ විට වහා කෘත‍්‍රිම ශ්වසනය සහ හෘද ස්ථම්බනය ලබා දී රෝහලට ගෙනයාම.

දියේ ගිලීම් වළක්වා ගැනීමට පවුල්, ප‍්‍රජා හා ජාතික මට්ටමින් පියවර රැසක් ගත හැකියි. අවදානම් ස්ථාන අවම කිරීම ඉන් ප‍්‍රධානයි.

  • අනාරක්‍ෂිත ළිං හා වෙනත් විවෘත වලවල් එක්කෝ වසා දමන්න.
  • නැත්නම් ළිං වටා තාප්පයක් හා ඊට උඩින් (දැලක් වැනි) ආවරණයක් යොදන්න.
  • ළමුන්ට පිහිනීම පුහුණු කරන්න. එහෙත් එම හැකියාව මත ම විශ්වාසය නොතබා සුපරික්‍ෂාකාරි වීමට දෙමව්පියන් වග බලා ගත යුතුයි.
  • අනාරක්‍ෂිත තැන්වල නෑමෙන් සහ අනෙක් අය බේරා ගැනීමට දියට පැනීමෙන් වළකින්න. කඹයක් හෝ රිටක් වැනි දෙයකින් ගිලෙන්නට යන අය ගොඩ ගැනීමට උත්සාහ කරන්න.
  • පිහිනුම් තටාකයකදී එක් මොහොතකට වුව ද කුඩා දරුවන් ගැන අවධානය නැති නොකරන්න.
  • තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වන්නේ නම්, පිහිනුම් තටාකය වටා ආවරණයක් ගොඩ නගන ලෙස අනෙක් දෙමව්පියන් සමග එකතු වී ඉල්ලා සිටින්න.
  • කෘති‍්‍රම ශ්වසනය සහ හදවත් ස්ථම්බනය අධ්‍යනය කරන්න. ඒ සම්බන්ධ දර්ශන පෙන්වන ලෙස ටෙලිවිෂන් සමාගම්වලින් සමූහ වශයෙන් ඉල්ලා සිටින්න.
Rip currents - image courtesy Wikipedia

Rip currents – image courtesy Wikipedia

පිහිනීමට හැකි වූ පමණින් හැම ජලාශයක් හා මුහුදු වෙරළක්ම ඒ සඳහා සුදුසු වන්නේ ද නැහැ. සමහර විට ඉතා හොඳින් පිහිනීමේ හැකියාව ඇති අය පවා හදිසි දියවැල් සමග පොර බැඳීමට නොහැකිව ගිලී මිය ගිය අවස්ථා තිබෙනවා.

Rip currents නමින් හඳුන්වන මුහුදු රළ විශේෂය බොහෝ දියේ ගිලීම්වලට හේතු වන්නක්. මුහුදු පත්ලේ භූමි ස්වභාවය හා රළ පහරේ ස්වභාවය මත මෙබඳු දිය දහරාවල ප‍්‍රබලත්වය අඩු වැඩි විය හැකියි. පිහිනීමට දත්තකු පවා විනාඩියක් තුළ අඩි 200ක් පමණ දුරක් ගසා ගෙන යාමට ඒවාට හැකියි.

එබන්දක් සිදුවන තැනෙක ඉනවටක් දියේ බැස සිටින්නකු පවා ආරක්‍ෂිත නැති බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. එම ආකාරයේ දිය දහරකට ගසා යන කෙනෙකු එයට එරෙහිව පිහිනන්නට තැත් කොට එනිසාම අධික විඩාවට පත් වී අවසානයේ මුහුදේ ගිලී මිය යනවා. එබඳු අවස්ථාවක පැත්තකට පිහිනීම කළ හැකි එකම දෙයයි. මුහුදු වෙරළට යන සෑම කෙනෙකුම මේ දිය දහරා ගැන දැනුවත් වීම වැදගත්.

Advertisements

සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

This is the text of my (Sinhala language) column in Ravaya newspaper of 23 September 2012. I review two new books, both of much public interest, and written by two senior professionals who have been passionately committed to public safety for decades.

Protect Your Child from Injury (in Sinhala) is written by Dr Wijaya Godakumbura, while Traffic Signs, Road Markings and Traffic Signals is authored by T Perinpanayagam, a retired senior police officer.

T Perinpanayagam (left) and Dr Wijaya Godakumbura: Life-long commitment to safety


මේ සාහිත්‍ය මාසයයි. කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සතියයි. මේ නිසා මෑතදී මට හමුවූ පොත් දෙකක් ගැන අද කථා කරනවා.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ අළුත් පොත් සිය ගණනක් එළි දකිනවා. (මගේ 2011 කොලම් අතරින් 44ක් අඩංගු පොතක් ද ඒ අතර වනවා.) අතිශයින් විවිධ වූ රසිකත්වයකට හා පාඨක සමුහයකට දායාද කැරෙන මේ පොත් අතර නිර්මාණාත්මක මෙන්ම දැනුම වඩන පොත් ද තිඛෙනවා. පොතක අගය තීරණය වන්නේ එය පාඨකයන්ට සමීප වන ආකාරයටයි.

ඇතැම් පොත් චින්තන විප්ලවයන් කරන අතරේ තවත් පොත් ඉතා ප්‍රායෝගික ලෙසින් ජීවිතය අර්ථවත්, සාරවත් කර ගන්නට අත්වැලක් සපයනවා. හැම පොතකට ම ජීවිත බේරන්නට බැහැ. එබඳු පොත් ලියැවෙන්නේ ඉඳහිටයි. ගෙවී ගිය සති කිහිපය තුළ දිවි සුරකින දැනුම කැටි කර ගත් හරවත් පොත් දෙකක් එළි දක්වන උත්සවයන් මෙහෙයවීමේ වරම මට ලැබුණා. ඒවා ලියා ඇත්තේ මා අගය කරන, පොදු උන්නතියට කැපවුණු වෘත්තිකයන් දෙදෙනකු විසින්.

එයින් එක ලේඛකයෙක් දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ වෛද්‍යවරයෙක් හා නව නිපැයුම්කරුවෙක්. අනෙක් ලේඛකයා සිය කැපවීම නිසා ජනාදරයට පත් වූ හා ජාත්‍යාන්තර පිළිගැනීමක් ලද පොලිස් නිලධාරියෙක්.

Protect Your Child from Injury – Book by Dr Wijaya Godakumbura

සුදීප ආරක‍ෂිත කුප්පි ලාම්පුවේ (www.safebottlelamp.org) නිපැයුම්කරුවා හා ප්‍රවර්ධකයා ලෙස ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජෝති විජය ගොඩකුඹුර මා මීට පෙර හඳුන්වා දී තිඛෙනවා (2012 ජනවාරි 15 කොලම). වසර 45ක් තිස්සේ මාධ්‍ය හරහා සෞඛ්‍ය දැනුම ඛෙදා දෙන ඔහු 1971දී ලියූ “වෛද්‍යවරයෙක් කථා කරයි” නම් කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වුණා. දශක හතරකට පසු ඔහු ලියූ දෙවන සිංහල පොත නම් කර ඇත්තේ “අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න” කියායි.

වාර්ෂිකව ලොව පුරා මිලියන් 5.5ක් (ලක‍ෂ 55 ක්) දෙනා විවිධ අනතුරුවලින් මිය යන අතර ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යාව 12,000ක් පමණ වනවා. වැඩි වශයෙන් පුවත් වාර්තාකරණයට හසු වන්නේ මෙයින් සියයට 22ක් පමණ වන මාර්ග අනතුරුයි. එයට අමතරව දියේ ගිලීම්, පිලිස්සීම්, වැටීම්, විෂවීම්, මිනිමැරුම්, සියදිවි නසා ගැනීම් හා වෙනත් හදිසි අනතුරු නිසා නිකරුණේ හා අකාලයේ බොහෝ ජීවිත විනාශ වන සැටිත්, ඒ අතරින් ළමා ජීවිතවලට සිදුවන අනතුරු වැඩියෙන් ම ඛේදජනක වන සැටිත් වෛද්‍ය ගොඩකුඹුර සංඛ්‍යා ලේඛන දක්වමින් විස්තර කරනවා.

ළමයින්ට අනතුරු වීමේ හැකියාව වැඩියි. ඔවුන්ගේ අනතුරු හඳුනා ගැනිමේ හැකියාව අඩු අතර කුතුහලය හා හැම දෙයක් ම ගවේෂණය කිරීමේ ආසාව ඉහළයි. මේ සංයෝගය ඇතැම් විට මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන බව ඔහු කියනවා.

“ඔවුහු දණ ගෑම, ගස් මතට නැගීම, පටු ස්ථාන අතරින් රිංගා යෑම, ගේට්ටුව මත පැද්දීම, තරප්පු අත්වැල දිගේ පහතට ලිස්සා යාම, දිවීම වැනිදේට ආශා කරති. යමක් අල්ලා ගැනීමේ සහ එය මුඛය තුළට දැමීමේ හැකියාව කුඩා කාලයේදීම වර්ධනය වන හෙයින් වස ශරිරගතවීමේ ප්‍රවණතාවයක් තිබේ. ආවරණයක් නැති ළිඳකට දණ ගා යන බිළිඳා, තම සෙවනැල්ල දැක එය අල්ලන්නට උත්සාහ කරයි. ගිනිදැල් දැකීමෙන් ආශ්වාදයක් ලබන හෙයින් යමක් දැල්වීමට අවස්ථාවක් ලදහොත් ඔවුන් එසේ කිරීමට ඉඩ ඇත.”

මෙකී නොකී විවිධාකාරයේ අනතුරු වීමේ හැකියාව අප හැමගේ ගෙදර, වත්ත පිටියේ, මහමඟ, කඩමණ්ඩිවල හා කාර්යාලවල එමට තිඛෙනවා. ඩෙංගු මදුරු උවදුර ගැන රජයට හා පළාත් පාලන ආයතනවලට දොස් තබන අප, ගෙදරදොරේ වෙනත් දිසි හා අදිසි අනතුරුවලින් අපේ දරුවන් බේරා ගන්නට කළ හැකි සියල්ල කරනවා ද? අනතුරුවලින් ජීවිත හානි සිදුවූ විට අසීමිත ලෙස කඳුළු සළන අපේ ටෙලිවිෂන් නාලිකා, අනතුරු වැළැක්වීමට පුළුල් ලෙස ජාතික සංවාදයක් ඇති කරන්නට සෑහෙන ගුවන් කාලයක් කැප කරනවා ද?

සෑම දිනක ම වළක්වා ගත හැකිව තිබු හදිසි අනතුරක් වළක්වා නොගත් හෙයින් දරුවකු අහිමිවීම නිසා ලෝකයේ පවුල් 2,000ක් අධික මානසික පීඩාවට පත් වන බවත්, දරුවන් පස් වැනි වියට පා තබන විට ඔවුන්ගේ ජීවත්වීමට ඇති විශාලතම බාධකය හදිසි අනතුරු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) උපුටා දක්වමින් වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

අනතුරු දෙආකාරයි. “හිතාමතා ම කෙරෙන” හා “ඉබේ සිදුවන” (නොහොත් හදිසි අනතුරු) වශයෙන්. එහෙත් ගැඹුරට සිතීමේදී කිසිදු අනතුරක් ඉබේ සිදු නොවන බවත්, හදිසි අනතුරු සිදු වනවා නොව “සිදු වන්නට බොහෝ දෙනා ඉඩ හරින” බවත් ඔහු තර්ක කරනවා.

මෙයට ප්‍රධාන හේතු වන්නේ නොදන්නාකම හා නොසැලකිල්ලයි. “මේ බව වටහා ගෙන තමාගේ නොදන්නාකම හෝ නොසැලකිල්ල නිසා තමාගේ හෝ වෙනත් අයකුගේ දරුවකුව අනතුරක් වීමට ඉඩ නොතැබීම අප සැමගේ වගකීමයි,” ඔහු අවධාරණය කරනවා.

අනතුරුවලින් සියයට 95ක ම ළමා මරණ සිදු වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළු අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලයි. එමෙන්ම සෑම එක් මරණයකට ම සාපේක‍ෂව දහසක් දෙනා අනතුරුවලට මුහුණ පා දිවි ගලවා ගන්නවා. එහෙත් ඒ ඇතැම් දෙනා සදහට ම දුබලතා, සමේ කැලැල් හෝ මෝළයේ ආබාධ සමඟ ජීවත් වනවා.

ළමයින් අනතුරුවලින් බේරා ගැනීම දෙමවුපියන්ගේ හා සෙසු වැඩිහිටියන්ගේ වගකීමක් වන අතර එයට තුඩු දෙන සමාජ හා ආර්ථීක සාධක ගැන සමස්ත සමාජයට හා රජයට ද වගකීමක් පැවරෙනවා. උදාහරණ නම් ක්‍රීඩා පිට්ටනි නැතිකමින් මහ පාරේ සෙල්ලම් කරන ළමයින්, මහමාර්ග හා දුම්රිය මාර්ග අයිනේ (මිදුලක් නැතිව) නිවාස පිහිටා තිබීම, තාප්ප රහිත ළිං, වැටක් රහිත තරප්පු පේලි, අඩු මිළැති අනාරක‍ෂිත කුප්පි ලාම්පු භාවිතය.

වෛද්‍ය ගොඩකුඹුර කියන්නේ නැතිබැරිකම ළමා අනතුරුවලට විවිධාකාරයෙන් දායක වන බවයි. උදා: ළමයින් හට සුපරික්‍ෂාව ලබා දීමට අපහසුවීම හා දැනුම, තොරතුරු හා සේවා ලබා ගැනීමට අඩු ආදායම්ලාභීන්ට අවස්ථා හිඟ වීමයි.

අනතුරු වළක්වා ගැනීමේ දශක ගණනක සිය දැනුම හා අත්දැකීම් වෛද්‍ය ගොඩකුඹුර මේ පොතේ සරලවත් තර්කානුකූලවත් කැටි කොට තිබෙනවා. ඔහු එය තුන් ආකාරයකට වර්ග කරනවා. අනතුරක් මුළුමනින් ම වළක්වා ගැනීම ප‍්‍රාථමික ක‍්‍රියා මාර්ගයයි. යම් හෙයකින් අනතුරක් වූ විට ශාරිරික අනතුරු අවම කිරීම (උදා: ආසන පටි හා හෙල්මට් භාවිතය) ද්විතීය ක‍්‍රියා මාර්ගයයි. අනතුරකින් ශාරිරික හානි වූ විට ඵල විපාක අවම කිරීම තෘතීය ක‍්‍රීයා මාර්ගයයි (උදා: ප‍්‍රථමාධාර නොපමාව ප‍්‍රතිකාර දීම, නිසි පුනරුත්ථාපනය).

මේ පොතේ මා දකින සුවිශේෂත්වය නම් අනතුරු වළක්වා ගන්නට, එක් එක් අයට ගත හැකි ලොකු හා කුඩා පියවර නිරවුල්ව ඉදිරිපත් කර තිබීමයි. මෙය දුවන ගමන් කළ මාධ්‍ය වාර්තාවක් නොවෙයි. කලක් තිස්සේ මහත් ඕනෑකමින් හා ක‍්‍රමීය මට්ටමින් අධ්‍යයනය කොට, මනසින් හා හදවතින් කරන විග‍්‍රහයක්.

බෝවන රෝග වළක්වා ගන්නට රජය හා සමාජය දක්වන උනන්දුව අනතුරු වැළැක්වීමට ලැබී නැති බවත්, අනතුරුවලින් ආරක්‍ෂිත සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සියළු තොරතුරු දැනටමත් සෞඛ්‍ය හා අනෙකුත් අදාල බලධාරීන් සතුව ඇති බවත් කතුවරයා පෙන්වා දෙනවා.

Book on Traffic Signals, Road Signs and Traffic Lights, by T Perinpanayagam

අනතුරුවලින් සංඛ්‍යාත්මකව වැඩි ප‍්‍රතිශතයකට වග කියන මාර්ග අනතුරු ගැන සිය ජීවිත කාලය පුරා මහත් කැපවීමෙන් ක‍්‍රියා කරන විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටී. පෙරින්පනායගම් මහතාගේ නවතම කෘතිය ”රථවාහන සංඥ, මාර්ග සළකුණු හා ආලෝක සංඥ” නමින් පසුගියදා ප‍්‍රකාශයට පත් වුණා.

වෛද්‍ය ගොඩකුඹුර මෙන් ම පෙරින්පනායගම් මහතා ද දිවි සුරකින්නට සිය දිවිය කැප කළ, තම ක්‍ෂෙත‍්‍රයේ ගැටළු හා අභියෝග මනා සේ අධ්‍යයනය කොට, මහත් ඕනෑකමින් සන්නිවේදනය කරන්නෙක්.

අපේ මහාමාර්ගවල කලක සිට පැවත එන රථවාහන සංඥ හා මාර්ග සළකුණු මෙන් ම අළුත් ඒවා ද දැන් දක්නට ලැබෙනවා. ඒ ගැන අළුතින් රිය පදවන්නට පටන් ගන්නා අයටත් කලක් තිස්සේ රිය පදවන හැමටත් නිරවුල් හා පැහැදිලි දැනුමක් ලබා දීම මේ කතුවරයාගේ අරමුණයි.

නමුත් හුදෙක් රියදුරන්ට පමණක් නොවෙයි. මහමග ඇවිදින, බයිසිකල් හා මෝටර් සයිකල් පදවන සැමටත් අදාළ ප‍්‍රායෝගික දැනුම හා උපදෙස් මෙහි අඩංගුයි. එපමණක් නොවෙයි රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට හා මාර්ග සළකුණු පිහිටුවීම හා නඩත්තු කිරීම කරන පළාත් පාලන ආයතන සහ (මාර්ග අධිකාරිය වැනි) සෙසු රාජ්‍ය ආයතනවලටත් වැදගත් වන සංකල්පමය නිරවුල් බව මේ පොතෙන් සැකෙවින් හා සරලව ලබා දෙනවා.

1957දී උප පොලිස් පරික්‍ෂකයකු ලෙස ශ‍්‍රී ලංකා පොලිසියට බැඳුණු පෙරින්පනායගම් මහතා 1993-1997 කාලය තුළ රථවාහන පරිපාලනය පිළිබඳ මෙරට මුල් ම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කොට විශ‍්‍රාම ගියා. රථවාන පොලිස් නිලධාරීන් පළඳින විශේෂිත සුදු ඇඳුම, තොප්පිය හා සුදුපටිය 1987දී ඔහු විසින් නිර්මාණය කරන ලද්දක්.

ආරක්‍ෂිත මහාමාර්ග හා ප‍්‍රවේශම්කාරී මාර්ග භාවිතය ගැන ඔහුගේ උනන්දුව පොඩියක්වත් අඩු වී නැහැ. මාර්ග හා රථවාහන පුහුණු අධ්‍යාපන ආයතනයේ සභාපති හැටියටත්, දෙස් විදෙස් විද්වත් සමිති සමාගම් ගණනාවක ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් ඔහු සිය ක්‍ෂෙත‍්‍රයේ සක‍්‍රියව නිරතව සිටිනවා.

2011-2020 කාලය මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. එයට දේශීය වශයෙන් අනුබල දෙන්නේ WHO සංවිධානයයි. ශ‍්‍රී ලංකාවේ දිනකට මාර්ග අනතුරු 150ක් සිදු වන අතර එයින් ජීවිත අහිමි වන සංඛ්‍යාව 6 දෙනෙකු පමණ වන බවත්, 1977-2007 දක්වා 30 වසරක කාලය තුළ මාර්ග අනතුරු නිසා ලාංකිකයන් 40,000කට වැඩි පිරිසක් මිය ගිය බවත් WHO දේශීය නියෝජිත ආචාර්ය එෆ්. ආර්. මේථා පොතට පණිවුඩයක් ලියමින් කියනවා.

මේ පොත් දෙකේ ම කතුවරුන් අපට මතක් කරන්නේ අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට ඔබ්බෙන් තවත් සමාජ බලපෑම් රැසක් ද ඇතිවන බවයි. දිවි ගලවා ගෙන ආබාධිත වන අය, නැවතත් රැකියාවක් කිරීමේ වරම අහිමි වන අය නිසා ඔවුන්ගේ පවුල්වලට, සමාජයට හා ආර්ථිකයට ඇති වන විපාක එක එල්ලේ ගණන් බැලීම පවා අපහසුයි.

සියළුම අනතුරුවලින් තොරවු රටක් හෝ සමාජයක් හෝ නැහැ. එහෙත් පොදු හා පෞද්ගලික පියවර තුළින්, දැනුවත්වීම හා අවධි වූ සිහියෙන් ක‍්‍රියා කිරීම හරහා අනතුරු අවම කරගත් දියුණු රටවල් මෙන් ම දියුණු වන රටවල් ද තිබෙනවා.

වෛද්‍ය ගොඩකුඹුර හා පෙරින්පනායගම් වැනි විද්වතුන්ගේ දැනුමෙන් හා දැක්මෙන් ලක් සමාජය නිසි ඵල නෙළා ගන්නට නම් රාජ්‍ය, විද්වත්, පෞද්ගලික හා ස්වෙච්ඡ සංවිධාන ඒ උතුම් අරමුණු වටා ඒකරාශි විය යුතුයි. ඒ සඳහා ඇස් හා මනස විවර කරවන මේ පොත් දෙක, සෑම ගෙදරක ම තිබිය යුතුයි.