සිවුමංසල කොලූගැටයා #192: “විද්‍යාඥයන් දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි” – අබ්දුස් සලාම්

Twenty-five years ago, I interviewed the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: theoretical physicist Dr Abdus Salam (1926 – 1996).

Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.

In last week’s Ravaya column (in Sinhala), I profiled the accomplished South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world. This week, I render into Sinhala segments of the two interviews I did with him – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.

Dr Abdus Salam (1926 – 1996)

Dr Abdus Salam (1926 – 1996)

නොබෙල් ත්‍යාගය මුදල් අතින් ලෝකයේ ලොකුම ත්‍යාගය නොවෙයි. එයට වඩා වැඩි මුදලක් දෙන විද්‍යා, කලා හා සාමයික ත්‍යාග තිබෙනවා. එහෙත් සමාජ පිළිගැනීම හා මාධ්‍ය උනන්දුව සළකා බැලූ විට නම් උසස්ම ත්‍යාග වන්නේ නොබෙල් ත්‍යාගයි.

නොබෙල් ත්‍යාගලාභීන් ලෝකපූජිත වනවා. බොහෝ ත්‍යාගලාභීන් එය තමන්ගේ පර්යේෂණ, නිර්මාණ හෝ සමාජ අරගලයන් සඳහා ප‍්‍රබල උපකාරයක් බවට පත් කර ගන්නවා.

නොබෙල් ත්‍යාගලාභියකු මට මුල් වරට හමු වූයේ 1989දී. ඒ වන විට 23 වන වියේ සිටි, අඩු අත්දැකීම් තිබූ මා බලාපොරොත්තු වූයේ බෙහෙවින් ගරු ගාම්භීර චරිතයක්. එහෙත් සැබැවින්ම මට මුණ ගැසුණේ චින්තනය අතින් ගාම්භීර හා උදාර වුවත් චරිත ගතියෙන් ඉතා මිත‍්‍රශීලි හා නිහතමානි කෙනෙක්.

ඔහු තමයි ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). පාකිස්ථානයේ මුල්ම (හා මෑතක් වනතුරු එකම) නොබෙල් ත්‍යාගලාභියා. 1979 භෞතික විද්‍යා ත්‍යාගයේ සමලාභියා. දියුණුවන ලෝකයේම අයින්ස්ටයින් ලෙස හඳුන්වනු ලැබූ විශිෂ්ඨ භෞතික විද්‍යාඥයා.

ඔහුගේ චරිත කථාව පසුගිය කොලමින් මා සැකෙවින් විස්තර කළා. ඔහු ශ‍්‍රී ලංකාවට ආවේ 1989 මැදදී. ඔහුගේ සමීප මිතුරකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ ඇරැයුමින්. මහනුවර මූලික අධ්‍යයන ආයතනයේත්, කොළඹදීත් ප‍්‍රසිද්ධ දේශන කිරීමට අමතරව ඔහු අපේ විද්වතුන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් මුණ ගැසී සාකච්ඡා කළා.

මේ රැස්වීම් අතරතුර ඔහු පැය බාගයක පමණ සම්මුඛ සාකච්ඡාවක් මට ලබා දුන්නා. අප කථා කළේ භෞතික විද්‍යාව ගැන නොවෙයි. (එදත් අදත් ඔහුගේ විෂයය මට ග‍්‍රහණය කර ගන්නට අමාරුයි.) විද්‍යාව හා තාක්‍ෂණය ඔහුගේ හා අපේ රට වැනි රටවල සංවර්ධනයට හරවත් හා තිරසාර ලෙසින් කෙසේ යොදා ගත හැකිද යන්න ගැනයි. ඇත්තටම එය භෞතික විද්‍යාව තරම්ම ඔහුට සමීප මාතෘකාවක්.

එදා මෙදා තුර මට හමු වී ඇති බොහෝ විද්‍යාඥයන්ට වඩා විවෘතව හා විචාරශීලීව විද්‍යාව හා තාක්‍ෂණයේ සමාජයීය බලපෑම්, වගකීම් හා සීමාවන් ගැන සලාම් කථා කළා. අප මේ සංවාදය කළ අවධියේ දියුණු වන රටවල් සිටියේ අදටත් වඩා බොහෝ දුගී බවින් මිරිකී හා පසුගාමීවයි. රටේ ජනතාවට ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය වැනි අවශ්‍යතා සම්පාදනය කිරීමටවත් ඇති තරම් මුදල් නොමැති පසුබිමක විද්‍යා පර්යේෂණ හා ආයතන සඳහා වැඩිපුර මුදල් වෙන් කරන්නේ කෙසේදැයි යන තර්කය ප‍්‍රබලව මතු වුණා.

සලාම් මෙය විග‍්‍රහ කළේ ක‍්‍රමීය විශ්ලේෂණයකින් හා දිගු කාලීන දැක්මකින්. දියුණු රටවල් හා නොදියුණු රටවල් අතර ප‍්‍රධානතම වෙනස නම් දියුණු රටවල් විද්‍යා හා තාක්‍ෂණය ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම බව ඔහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නා.

ගෙවී ගිය වසර 25 තුළ සමාජ ආර්ථික යථාර්ථය බෙහෙවින් වෙනස් වී ඇතත් අපේ සංවාදයේ කොටස් තවමත් අදාල යයි මා සිතනවා. ඒ නිසා උධෘත කිහිපයක් මෙන්න.

Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972

Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972

නාලක: දියුණුවන රටවලට ඉක්මනින් විසඳා ගත යුතු අවශ්යතා හා ගැටළු තිබෙනවා. විද්යවේ රතිඵල එන්නේ කාලයාගේ ඇවෑමෙන්. ඉතින් විද්යාවෙන් සංවර්ධන රශ්න විසඳන්නේ කෙලෙසද?

සලාම්: රටක් සංවර්ධන සැළසුම් හදන විට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් සිතිය යුතුයි. අඩුතරමින් වසර 20-25ක් පමණ ඉදිරි දැක්මක් අවශ්‍යයි. දකුණු කොරියාව, ඉරානය, වෙනසියුලාව වැනි රටවල් කිහිපයක් විද්‍යාව හා තාක්‍ෂණය හරහා ආර්ථික සංවර්ධනය තියුණු කර ගැනීමේ ක‍්‍රමෝපායයන් හඳුනාගෙන ඒ සඳහා මහජන මුදල් වැඩියෙන් යොදන්නට පටන් ගෙන තිබෙනවා. විද්‍යාවන් අතරින් තේරීමක් කිරීමත් වැදගත්. ජාතික ධනය ඉපදවිය හැකි භූ විද්‍යාව හා භෞතික විද්‍යාවන්, රටේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය හැකි වෛද්‍ය විද්‍යා හා අණුක ජිව විද්‍යාවන් (molecular biology) සඳහා මුල් තැන දිය යුතු යයි මා සිතනවා.

බොහෝ රටවල සංවර්ධන හා ආර්ථික රතිපත්ති සම්පාදනයට විද්යාඥයන් සම්බන්ධ නැහැ. ඔවුන් කෙසේ දායක විය යුතුද?

රටක දැවෙන සමාජ, ආර්ථික ප‍්‍රශ්න විසඳීමේදී තමන්ට වැදගත් කාර්යභාරයක් තිබෙන බව බොහෝ විද්‍යාඥයන් තවමත් වටහා ගෙන නැහැ. එසේම ඔවුන් දේශපාලන ක‍්‍රියාදාමයෙන් දුරස්ථව සිටිනවා. මා සිතන්නේ මෙය වෙනස් විය යුතු බවයි. තම වෘත්තීය ගරුත්වය රැක ගන්නා අතර විද්‍යාඥයෝ රට කරවන දේශපාලකයන් සමග නිරතුරු සංවාද කළ යුතුයි. පර්යේෂණවලට යොදවන මහජන මුදල්වලින් කෙටි හෝ දිගු කාලීන ප‍්‍රතිලාභ ලැබෙන බව හා ලැබෙන සැටි පෙන්වා දිය යුතුයි.

කියන්නේ අද කාලේ හොඳ පර්යේෂණ කොට ඒවා පිළිගත් විද්වත් සඟරාවල පළ කිරීම පමණක් මදි?

කොහෙත්ම සෑහෙන්නේ නැහැ. තමන්ගේ හොඳ පර්යේෂණවල ප‍්‍රතිඵල අපතේ නොයාමට නම් විද්‍යාඥයෝ ජාතික ප‍්‍රතිපත්ති හා පොදු උන්නතිය පිළිබඳ කතිකාවක යෙදිය යුතුයි. එසේම විද්‍යාවේ අහිතකර බලපෑම් ගැන අවංකව තක්සේරුවකට සූදානම් විය යුතුයි.

නවීන විද්යාව හා තාක්ෂණය අද ලෝකයේ බොහෝ රශ්නවලට දායක වී ඇතැයි කෙරෙන චෝදනාව එතකොට සනාථ වනවා නේද?

චෝදනා එල්ල කිරීමක් හෝ බාර ගැනීමක් හෝ ගැන නොවෙයි මා කථා කරන්නේ. අප කවුරුත් අපේ වෘත්තීමය ක‍්‍රියාවල වගකීමට මුහුණ දිය යුතුයි. බොහෝ විට තනි විද්‍යාඥයකු ගේ තනි පර්යේෂණයක දිගු කාලීන ප‍්‍රතිඵල කෙසේ ඇතිවේදැයි එක්වරම කියන්නට අමාරුයි. පෙනිසිලින් ප‍්‍රතිජීවකය සොයාගත් විද්‍යාඥයා ඒ නිසා ජීවිත රැසක් බේරා ගන්නට දායක වුණා. එහෙත් කලක් යන විට මේ හරහා ජනගහන වර්ධනය වඩාත් සීඝ‍්‍ර වුණා. එයට ප‍්‍රතිජීවක සොයා ගත් විද්‍යාඥයන්ට සෘජුව දොසක් කිව නොහැකියි.

එහෙත් විද්‍යාවේ භාවිතයන් නිසා මතුවන පසු කාලීන ප‍්‍රතිඵල ගැන විද්‍යා ප‍්‍රජාව ලෙස අප සාමුහිකව වගකීමක් දරනවා. පරමාණුවේ ස්වභාවය සොයා ගෙන කළ මූලික භෞතික විද්‍යා පර්යේෂණ නිසා ලෝකයේ හා විශ්වයේ ස්වභාවය ගැන අප බොහෝ දේ දැන ගත්තා. එහෙත් ඒ දැනුම නිසාම භයානක න්‍යාෂ්ටික අවි ද බිහි වුණා. න්‍යෂ්ටික අවි සමග ජීවත්වීමට අද ලෝකයට සිදුව තිබෙනවා.

සංවර්ධනය අර්ථ දැක්වීම පිළිබඳ පොදු එකඟතාවයක් නැහැ. දළ ජාතික නිෂ්පාදිතය (GNP) වැඩි කිරීම පමණක් සංවර්ධනය කියන්නේ?

මෙය විශාල සංවාදයක්. මේ සංවාදයේ මෑතක් වන තුරු ප‍්‍රබලව මතු වූයේ ආර්ථික විද්‍යාඥයන්ගේ මතවාද පමණයි. 20 වන සියවසේ බොහෝ රටවල සංවර්ධන ප‍්‍රතිපත්ති සකස් කොට ඇත්තේ වැඩිපුරම ආර්ථික විද්‍යාඥයන්ට උවමනා හැටියටයි. මේ නිසා විසමතා රැසක් මතුව තිබෙනවා. මේවා වෙනස් කිරීමට නම් සෙසු විද්‍යාඥයෝ සංවර්ධන සංවාදවල පිවිස නිරතුරුව දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි.

මගේ සහෝදර විද්‍යාඥයන් බොහෝ දෙනකු තම රටේ දළ ජාතික නිෂ්පාදන සංඛ්‍යා ලේඛනවත් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ මේවා ඔවුන්ගේ වෘත්තීයට අදාල නැත කියායි. මේ ආකල්පය නිසා විද්‍යාඥයන් ස්වයං පිටුවහල්වීමක් කර ගෙන තිබෙනවා.

තමන්ට සමාජයේ තීරක මට්ටමේ බලපෑමක් කළ නොහැකි යයි මැසිවිලි නගන විද්‍යාඥයෝ තමන් කෙතරම් රටේ ජාතික සංවාදවලට සම්බන්ධ වී ඇත්දැයි මොහොතක් මෙනෙහි කළ යුතුයි.

ආර්ථික විද්යාඥයෝ නම් ඇති තරම් දේශපාලන තන්තරයට සමීපයි නේද?

ඒ අය තමයි ලොකුම ප‍්‍රශ්නය! ආර්ථික විද්‍යාඥයෝ දේශපාලකයන්ට නිතර කියන්නේ භෞතික විද්‍යා, ජීව විද්‍යා වැනි ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් රටට විදයම් අධික කරන, එහෙත් එයට සමානුපාතික ප‍්‍රතිලාභ ගෙන නොදෙන පිරිසක් බවයි. එසේම අප වැනි විද්‍යාඥයෝ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයනු වෙනුවට හුදෙක් දැනුමේ ප‍්‍රවර්ධනය සඳහා පමණක් පර්යේෂණ කරන බවයි.

ආර්ථික විද්යාඥයන්ගේ මේ පටු දැක්ම වෙනස් කළ හැකිද?

එසේ කරන්නනට මට ලොකු ඕනෑකමක් තිබෙනවා. එයට ඔවුන් සමග අප නිතර සංවාද කළ යුතුයි. දේශපාලන ක‍්‍රියාදාමය ගැන සෙසු විද්‍යාඥයන්ට වඩා හොඳ අවබෝධයක් ආර්ථික විද්‍යාඥයන්ට තිබෙනවා. එයින් අන් විද්‍යාඥයන් ආදර්ශ ගත යුතුයි. පැත්තකට වී අපේ පාඩුවේ පර්යේෂණ කළාට පමණක් මදි.

රටේ දේශපාලන, සමාජයීය හා සංස්කෘතික ප‍්‍රශ්නවලදී පුරවැසියන් හා විද්වතුන් ලෙස විද්‍යාඥයන් සම්බන්ධ විය යුතු යුතුයි. මා පකිස්ථානයේත්, තුන්වන ලෝකයේ අන් සැම රටකමත් විද්‍යාඥයන්ට කලක සිට දෙන අවවාදය මෙයයි.

එහෙත් විද්යාඥයෝ හා ඔවුන්ගේ විද්වත් සංගම් කියන්නේ දේශපාලකයන් තමන්ට සවන් නොදෙන බවයි. බීරි අලින්ට වීනා වාදනය කොට ඵලක් තිබේද?

එහෙම කියලා අත හරින්න බැහැ! විද්‍යාඥයන් වන අප මීට වඩා ව්‍යක්ත හා සූක්‍ෂම ලෙස අපේ විෂය ක්‍ෂෙත‍්‍රයන් සමාජගත කළ යුතුයි. ප‍්‍රතිප්තිත සම්පාදකයන්ට බණ දේශනා නොකර ඔවුන් මුහුණ දෙන දෛනික අභියෝග ද හඳුනා ගත යුතුයි. කළ හැකි හා කළ යුතු ඉතාම හොඳ පියවරට වහා ඉඩක් නැතිනම් ඊළඟට හොඳම පියවර කුමක්ද (second best policy options) ආදි වශයෙන් නම්‍යශීලී විය යුතුයි.

ප‍්‍රතිපත්ති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම දියණුවන රටවල සැම විටම තර්කානුකූල හා සාක්‍ෂිමත පමණක් පදනම් වූවක් නොවෙයි. එය විකාරරූපී විය හැකියි. කෙටි කාලීන අරමුණු මත පදනම් විය හැකියි. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් ඇති රටවල ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයන් ටික දෙනෙකුට පමණක් ඉතිරි කොට අපට මුළුගැන් වී සිටිය නොහැකියි. ටිකෙන් ටික හෝ විද්වතුන් වන අප එම සංවාදවලට ප‍්‍රවේශ වී ඒවා වඩාත් තර්කානුකූල හා තිරසාර මට්ටමට වෙනස් කළ යුතුයි. එසේ නැතිව පර්යේෂණවලට හෝ උසස් අධ්‍යාපනයට වැඩිපුර ප‍්‍රතිපාදන ඉල්ලා උද්ඝෝෂණ කිරීම පමණක් මදි. පර්යේෂණවලට ප‍්‍රතිපාදන වැඩි කිරීම ද අවශ්‍යයි.

එයට මුදල් ජාතික භාණ්ඩාගාරයේ නැත්නම්, ණය වී හෝ මුදල් සොයා ගත යුතුද?

ණය ගන්නවාට වඩා රටක තිබෙන මහජන මුදල් කෙසේ යොදනවා ද යන්නයි වැදගත්. ලෝකයේ ඉසුරුබර රටවල් සාමුහික ලෙසත්, දියුණුවන රටවල් සාමුහික ලෙසත් ගෙන මා ඔවුන්ගේ මහජන මුදල් ප‍්‍රතිපාදන බෙදා හරින සැටි ගැන අධ්‍යයනය කළා. පොදුවේ ගත් විට මේ දෙපිරිසම අධ්‍යාපනයට එක හා සමාන ප‍්‍රතිශතයක් වෙන් කරනවා. ආරක්‍ෂක කටයුතු හා හමුදා වියදම් සඳහා ද ගෝලීය උතුරු හා දකුණු ප‍්‍රතිපාදන ප‍්‍රතිශතයක් ලෙස සමීපයි.

එහෙත් සෞඛ්‍ය, විද්‍යා පර්යේෂණ වැනි ක්‍ෂෙත‍්‍රවලදී එසේ නැහැ. ගෝලීය උතුරේ රටවල් තම වැසියන්ගේ සෞඛ්‍ය සඳහා යොදන මුදල් ප‍්‍රතිශතයෙන් තුනෙක් එකයි දකුණේ රටවල් වෙන් කරන්නේ. විද්‍යා පර්යේෂණ සඳහා දකුණේ රටවල් සොච්චමක් වැය කරන විට උතුරේ රටවල් (හමුදාමය නොවන සිවිල් පර්යේෂණ සඳහා) එමෙන්ම හත් අට ගුණයක් වෙන් කරනවා.

අද ලෝකයේ ඇති නැති පරතරටය ඓතිහාසික සාධක තිබෙනවා. එහත් ඒවා තව දුරටත් ප‍්‍රබල වීමට මෙසේ විද්‍යාවට හා පර්යේෂණවලට දකුණේ රටවල නිසි තැනක් නොලැබීමත් දායක වන බව මගේ විග‍්‍රහයයි.

Nalaka Gunawardene's interview with Dr Abdus Salam, Asia Technology Oct 1989

Nalaka Gunawardene’s interview with Dr Abdus Salam, Asia Technology Oct 1989

සිවුමංසල කොලූගැටයා #183: සන්නිවේදනය දැන් මූලික මානව අවශ්‍යතාවක්

mandela

Although it has been discussed for centuries, there is no universally accepted definition of basic human needs. During the 1970s, basic needs emerged as a key topic in development debates. Various studies – catalysed by UN agencies and the Club of Rome – tried to define it.

In 1976, the International Labour Organization (ILO) prepared a report that identified basic needs as food, clothing, housing, education and public transportation. It partially drew on ILO’s country reports on Columbia, Kenya and Sri Lanka. Since then, different development agencies have adopted variations of the original ILO list. National planners have used the concept to benchmark economic growth.

The ground reality has changed drastically since those heady days. In view of the rapid evolution of information society, communication should be considered a basic human need. This is the basic thrust in my latest Ravaya column (in Sinhala).

See also my related writing on revisiting basic needs:

13 Dec 2013: Op-ed in The Communication Initiative: Can Development Community catch up with Nelson Mandela?

 25 Nov 2012: When Worlds Collide #43: Toilets or Telephones? That’s the Wrong Question!

16 July 2008: Op-ed in Groundviews.org: Mobile Phones in Sri Lanka: Everyman’s new trousers?

Mobile revolution across Asia - photo courtesy TVE Asia Pacific

‘‘හැම කොල්ලයි බල්ලයිම ජංගම දුරකථන අරන් ගමන් යනවා. හරියට ඒ උපකරණය පාවිච්චි කරන්නවත් නොදන්නා අයට මේ පහසුකම දිය යුතුද?’’

මීට වසර කිහිපයකට පෙර මේ අදහස පළ කරනු මා ඇසුවේ විශ‍්‍රාමගිය පරිපාලන නිලධාරියකු විසින්. එය නිමිත්තට ගනිමින් 2008 මැදදී මා ලිපියක් ලියුවා. එහි මූලික හරය වූයේ සමාජයේ උස් මිටි, උගත් නූගත්, ඇති නැති පරතරයන් අභිබවා යන්නට ජංගම දුරකථනයට හැකිව ඇති බවයි.

නිදහස ලැබීමෙන් පසු පළමු දශකය හා දෙක පමණ කාලයේ කලිසම කා අතරත් පැතිර ගිය සැටිත්, වරප‍්‍රසාද ලත් උදවිය අන් අය කලිසම් අඳිනවාට එරෙහිව තර්ක කළ සැටිත් මා සිහිපත් කළා. කලිසම අඳින්නට හැකි දැන උගත් (විශේෂයෙන් ඉංග‍්‍රීසි උගත්) පිරිමින්ට පමණක් යැයි ලක් සමාජයේ ප‍්‍රචලිත වූ මතය පහව ගියේ 1970 පමණ වන විටයි.

කලක් තිස්සේ නිල බලය හා ධන බලය යන සාධකවල සංකේතයක් වූ දුරකථනය කොයි කාටත් මිලට ගෙන භාවිත කළ හැකි පොදුජනතාවගේ උපකරණයක් වූයේ වසර 2000න් පමණ පසුවයි. අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් දෙනාට දුරකථනයක් හිමියි. නැතහොත් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිත කළ හැකියි. මේ බොහෝ දෙනකු එම වරම ලැබුවේ දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්ති නිසාත්, ජංගම දුරකථනවල උපකරණ මිල පහත වැටීම නිසාත්.

එහෙත් තවමත් මේ ප‍්‍රවණතාවට නොකැමති, එහි දොස් සොයන පිරිසක් අප අතර සිටිනවා. රැකියාවක නිරත නොවූ අයට, කාන්තාවන්ට හා වයෝවෘද්ධ අයට දුරකථන මොනවාටදැයි ඔවුන් අසනවා. බටහිර රටක උගත් ප‍්‍රගතිශීලි මනසක් ඇති මගේ මිතුරකු ද නිතර කියන්නේ ජංගම දුරකථන සේවා හරහා විදෙස් හවුල්කාර සමාගම් අපේ රටේ ධනය පිටරට අදින බවයි.

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

ජංගම දුරකථනවලටත් වඩා මේ විවේචකයන්ගේ ප‍්‍රතිරෝධය එල්ල වන්නේ ඉන්ටර්නෙට් මාධ්‍යයටයි. සිසුන්, ගුරුවරුන් හෝ පර්යේෂකයන් නොවන අයට ඉන්ටර්නෙට් නිතිපතා භාවිතයක් අවශ්‍ය නැති බවටත්, එයට ඉඩදීම හරහා නාස්තිකාර ඇබ්බැහිකම් අපේ ජනයාට හුරු පුරුදු වන බවට මේ අය තර්ක කරනවා.

“ඌණ සංවර්ධිත රටකට මේ තරම් සන්නිවේදන සේවා කුමකද?” මෙය ඔවුන් මතු කරන තවත් ප‍්‍රශ්නයක්. අද වන විට මෙරට (ඇන්ටෙනාවකින් හසු කර ගෙන නොමිලයේ බැලිය හැකි) ටෙලිවිෂන් නාලිකා 21ක් ද FM රේඩියෝ නාලිකා 50ක් පමණ ද තිබෙනවා. මේ තරම් විද්‍යුත් මාධ්‍ය සේවා අප රටට අනවශ්‍ය බවත්, මේවා ජන මනස මොට කරන බවටත් මේ අය තර්ක කරනවා.

(සාමාන්‍ය ජනයාට මෙතරම් සන්නිවේදන සේවා අවශ්‍ය නැතැයි කියන අතරම ඔවුන් තම දරුවන්ට නම් කේබල් ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් පහසුකම් හා ජංගම දුරකථන ලබා දෙනවා. කලකට පෙර පොදු ජනයාට ඉංග‍්‍රීසි උගන්නට එපා කියූ පාලකයෝ තම දරුවන්ට හිමින් සැරේ ඉංග‍්‍රීසි ඉගැන්වූවාක් මෙන්!)

දුරකථන සේවාවක් ලබා ගැනීමට වසර ගණනක් පොරොත්තු ලේඛනයක සිටීම හා සාපේක්‍ෂව ලොකු මුදලක් ගෙවීම ආදී දුෂ්කරතා අප බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙනවා. මේ වන විට දුරකථන උපකරණ මිළත්, ඇමතුම් ගාස්තුත් ලෝකයේ අඩුම මට්ටමක පහත බැස ඇතත් පරණ මතකයන් මත පදනම් වී සමහරුන් තවමත් ප‍්‍රතිචාර දක්වනවා විය හැකියි. මේ උදවිය තම දැනුම අළුත් කරගත යුතුයි.

ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වලට ගැරහීම පිටුපස තවත් දුර්මතයක් තිබිය හැකියි. එනම් දුරස්ථ සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවක් නොව ද්වීතියික එකක් බවටත්, එයට මුදල් වියදම් කිරීම නාස්තියක් බවටත් ගතානුගතික ලක් සමාජයේ තවමත් ඇති පිළිගැනීමයි.

මූලික මානව අවශ්‍යතා (basic human needs) නිර්වචන කිහිපයක් තිබෙනවා. කාටත් පිළිගත හැකි මූලික අවශ්‍යතා ලයිස්තුවක් සම්පාදනය කරන්නට සංවර්ධනය පිළිබඳ පර්යේෂකයන් හා ක‍්‍රියාකාරියන් 20 වන සියවසේ මැද පටන් විවිධ උත්සාහයන් ගත්තා. ආහාර පාන, ඇඳුම් හා නිවාස සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය වුවත් බෙහෙත්, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ආදිය මූලික අවශ්‍යතා ද නැතහොත් ද්වීතියික අවශ්‍යතා ද යන්න ගැන විද්වතුන් වාද කළා.

1976දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) කොලොම්බියාව, කෙන්යාව හා ශ‍්‍රී ලංකාව යන රටවල කළ අධ්‍යයන මත පදනම් වී මූලික අවශ්‍යතා ලයිස්තුවක් යෝජනා කළා. එයට අයත් වූ අවශ්‍යතා 5 නම්: ආහාර පාන, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය හා පොදු ප‍්‍රවාහනයයි.

මේ වනතුරු බොහෝ ජාතයන්තර හා දේශීය මට්ටමේ ප‍්‍රතිපත්ති සම්පාදනයේදීත්, විද්වත් සාකච්ඡාවලත් යොදා ගැනෙන්නේ මේ ලයිස්තුවයි. එහෙත් ගෙවී ගිය දශක හතරකට ආසන්න කාලය තුළ ලෝකය බෙහෙවින් වෙනස් වී, තාක්‍ෂණය ප‍්‍රගමනය වී තිබෙනවා. 21 වන සියවසට ගැලපෙන මූලික මානව අවශ්‍යතා විමර්ශනයට කාලය ඇවිත්.

මූලික අවශ්‍යතා සමාලෝචනය කළ යුත්තේ අද තොරතුරු සමාජයේ මානවයන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂාවන් ගැන ද සංවේදී වෙමින්. එසේ නොමැතිව උගත්කමේ උඩඟුබව හෝ පන්ති භේදයේ කුහකකම වැනි සාධක පෙරටු කර ගෙන නොවෙයි.

Afghan kids carrying frame of a TV set, photographed by Reza Deghati

Afghan kids carrying frame of a TV set, photographed by Reza Deghati

1990 දශකය මැදදී එක්සත් ජාතීන්ගේ ආයතන වෙනුවෙන් ආසියාවේ විවිධ රටවල දුත මෙහෙවරවල යෙදෙන විට මා හොඳාකාර දුටු දෙයක් නම් අඩු ආදායම් ලාභී නාගරික පැල්පත් වාසීන් පවා අතට මුදලක් ලද විගස වර්ණ ටෙලිවිෂන් යන්ත‍්‍රයක් ගන්නට තිබූ නැඹුරුවයි. බැංකොක්, ජකර්තා, මැනිලා, බොම්බාය, ඩාකා වැනි ආසියාවේ මහා නගර හැම එකකම පාහේ මේ ප‍්‍රවණතාව දැකිය හැකි වුණා.

තම නිවසට හරිහැටි වහලක් නැති, නිසි වැසිකිළි පහසුකම් නැති ජනයා ඒවාට වඩා ටෙලිවිෂනයට මුල් තැනදීම බොහෝ සංවර්ධන ක‍්‍රියාකාරිකයන් විමතියට පත් කළා. විද්වතුන් සමහරක් දෙනා එම පෞද්ගලික තීරණය හෙළා දුටුවා. ඒ ගැන මගේ මතය වූයේ නවීන සන්නිවේදනය මාධ්‍යවලට සමීප වීමට දුප්පතුන්ට ද එක හා සමාන අයිතියක් ඇති බවයි.

නිරතුරු එකිනෙකා අතර සන්නිවේදනය කර ගැනීමටත්, මාධ්‍ය හරහා තොරතුරු ග‍්‍රහනයත් මානවයන්ගේ මූලික ශිෂ්ටාචාරමය අවශ්‍යතාවක් බව ආතර් සී. ක්ලාක් දශක ගණනක් තිස්සේ අවධාරණය කළා. මානව සන්නිවේදනය ගැන සමීපව අධ්‍යයනය කළ ඔහු කීවේ සමාජශීලි සත්ත්වයකු වන මානවයාට සන්නිවේදනය, වාතය, ජලය හා ආහාර තරමට ම අවශ්‍ය බවයි.

ගෙවී ගිය වසර 15 පමණ තුළ ජංගම දුරකථන භාවිතය ලෝකයේ ඉතා ඉක්මනින් පැතිර ගියා. 2013 අග වන විට බිලියන් 7.3ක ලෝක ජනගහනය අතර ජංගම දුරකථන ග‍්‍රාහකත්වයන් බිලියන් 6කට වඩා භාවිතයේ තිබුණා. එනම් වයස 18ට වැඩි මානවයන්ගෙන් බහුතරයක් අද කුමන හෝ මට්ටමේ ජංගම දුරකථනයක් භාවිත කරන බවයි. ඒ බොහෝ දෙනකු කිසිදා ස්ථාවර දුරකථනයක් භාවිතා නොකර කෙලින්ම ජංගම දුරකථනයක් හිමි කර ගත් අයයි. (එසේම මෙටරත්, වෙන බොහෝ රටවලත් ස්ථාවර දුරකථන හිමිකම් සංඛ්‍යාව කෙමෙන් අඩු වෙමින් තිබෙනවා.)

වෙනස් වන ලෝක ස්ථාර්ථය සමග මානව සමාජයේ අපේක්‍ෂා හා අවශ්‍යතා ද පරිනාමය වනවා. මීට පරම්පරාවකට දෙකකට පෙර ‘සුඛෝපභෝගී’ යයි හඳුන්වා සීමිත පිරිසකට වෙන් කර තිබූ විදුලි බලය, නල ජලය ආදි පහසුකම් දැන් කොයි කාටත් ලබාදීමේ අවශ්‍යතාවය පිළිගැනෙනවා.

මේ ගොන්නටම සන්නිවේදන අවශ්‍යතාවය ද එක් වී ඇති බව මුලින්ම වටහාගත් නායකයකු වූයේ නෙල්සන් මැන්ඩෙලා (ධූර කාලය 1994-1999). 1995දී දකුණු අප‍්‍රිකාවේ නව ජංගම දුරකථන ජාලයක් විවෘත කරමින් ඔහු කථාවක කීවේ ‘එකිනෙකා සමග සබඳතා පවත්වා ගැනීමට අප කවුරුත් ඉතා කැමතියි. එය මූලික මානව අවශ්‍යතාවක්’ කියායි.

ඒ වන විට මුළු අප‍්‍රිකා මහද්වීපයේම මිලියන් 800ක් ජනයාට ස්ථාවර හා ජංගම දුරකථන සියයට 1කට වඩා තිබුණේ නැහැ. එහෙත් එළැඹෙන වසරවල මේ සේවා පැතිර යනු ඇති බව මැන්ඩෙලා දුරදක්නා නුවණින් දැන සිටියා.

මැන්ඩෙලාට තිබූ ඒ විවෘත මනස හා අළුත් දේ විචාරශීලීව වැළඳ ගැනීමේ හැකියාව අපේ බොහෝ අයට නැහැ. කොයි කාගේත් සාක්කුවේ හෝ අත් බෑගයේ හමුවන ජංගම දුරකථනයගැන තවමත් වපර ඇසින් බලන්නේ ඒ නිසායි.

හැම දුරකථන ඇමතුමක්ම අධ්‍යාපනික, ව්‍යාපාරික හෝ වෙනත් ප‍්‍රායෝගික කටයුත්තක් සඳහාම විය යුතුද? ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සමීක්‍ෂණවලින් පැහැදිලි වන්නේ දුරකථන භාවිතයේ ලොකුම වටිනාකම ලෙස අඩු ආදායම්ලාභීන් සලකන්නේ මානව සබඳතා පවත්වා ගැනීම හා හදිසියකදී සම්බන්ධ වීමේ හැකියාවයි. ආර්ථික හා ජීවනෝපාය වාසි එන්නේ ප‍්‍රමුඛත්වයෙන් ඉන් පසුවයි.

http://lirneasia.net/projects/2010-12-research-program/teleusebop4/

සන්නිවේදනයට ඇති අයිතිය සියළු මානවයන්ගේ මූලික අයිතියක් බවට ආයතන හා විද්වත් කණ්ඩායම් පිළිගෙන තිබෙනවා. උදාහාරණයකට ලෝක රතු කුරුස හා රතු අඩසඳ සංවිධානවල සම්මේලෙනය (IFRC) ඔවුන් වාර්ෂිකව නිකුත් කරන ලෝක ආපදා වාර්තාවේ 2005 කලාපයේ (World Disasters Report 2005) තර්ක කළේ හදිසි අවස්ථා හා ආපදාවලට ලක්වූ ජනයාට ආහාර පාන, තාවකාලික නිවාස හා බෙහෙත් මෙන්ම සන්නිවේදන පහසුකම් ද අත්‍යාවශ්‍ය සහන සේවාවක් ලෙස සැලකිය යුතු බවයි.

wdr2005-coverවිශේෂයෙන්ම ආපදාවකදී හෝ යුද්ධයකදී පවුල් විසිරෙනවා. පවුලේ සාමාජිකයන් හෝ නෑ හිතමිතුරන්ට කුමක් සිදුවී දැයි නොදැන එයින් බලවත් සේ කම්පාවට හා දුකට පත් වන සංඛ්‍යාව ඉහළයි. ‘‘විපතට පත්වූ ජනයාට කෑම බීම, බෙහෙත් හා තාවකාලික නවාතැන් තරමටම තොරතුරු සන්නිවේදනය ද වැදගත් වනවා. කලට වේලාවට ලැබෙන තොරතුරු නිසා ජීවිත හා ජීවිකා බේරා ගත හැකිවාක් මෙන්ම කැළඹුණු සිත් සතන් සන්සුන් කළ හැකියි. මේ නිසා තොරතුරු හා ඒවායේ නිසි සන්නිවේදනයත්, විපතට පත් වූවන්ට සන්නිවේදන පහසුකම් සැලසීමත් ආපදාවන්ට ප‍්‍රතිචාර දැක්වීමේ එක් අනිවාර්ය අංගයක් විය යුතුයි’’ IFRC කියා සිටියා.

http://www.ifrc.org/Global/Publications/disasters/WDR/69001-WDR2005-english-LR.pdf

මීට පරම්පරාවකට දෙකකට පෙර තිබූ යථාර්ථය දැන් වෙනස්. අපේ රටේ වුවත් බොහෝ පවුල්වල සාමාජිකයෝ නැතිනම් නෑ හිතමිතුරෝ රටේ හා ලෝකයේ දුර තැන්වල පදිංචිව සිටිනවා. රැකියා කරනවා. අපේ ජනගහනය මිලියන් 20.5ක් වන විට (2012 සංගණනය හා එතැන් සිට ප‍්‍රක්‍ෂෙපනය) විදේශගත ලාංකිකයන් ගණන මිලියන් 2ක් පමණ වනවා. මේ දෙපිරිස අතර සන්නිවේදන තාක්‍ෂණයන් (විශේෂයෙන් ජංගම දුරකථන හා පරිගණක Skype) හරහා කැරෙන නිරතුරු කථාබහක් තිබෙනවා. එම පහසුකම් ලැබීමේ හැකියාව වැඩි වී වියදම අඩු වී තිබෙනවා.

මේ පසුබිම තුළ සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවක් ලෙස පිළිගැනීම ප‍්‍රායෝගිකයි. එසේම එය සාක්‍ෂාත් කිරීමට රටට අමතර ආයෝජන දැරීමට සිදු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ 1960-1970 දශකවල පැවති යථාර්ථයට අනුගත වූ මූලික අවශ්‍යතා පිළිබඳ පරණ සංකල්ප නැවත විමසා බලා 21 සියවසට අලූත් කර ගැනීමේ බුද්ධිමය විවෘත බව පමණයි.

See also:

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

Posted in Africa, Arthur C Clarke, Broadcasting, Communicating development, Communicating disasters, Communicating research, Digital Divide, Disasters, Global South, Human rights, Humanitarian action, Humanitarian emergencies, hunger, ICT, Internet, New media, Poverty, Ravaya Column, Sanitation, Sri Lanka, Sustainable Development, Television, United Nations. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »