සිවුමංසල කොලුගැටයා #284: දකුණු ආසියානු රජයන්ගේ මාධ්‍ය මර්දනයේ සියුම් මුහුණුවර හඳුනා ගනිමු

East-West Center 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016

East-West Center 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 18 Sep 2016), I discuss new forms of media repression being practised by governments in South Asia.

The inspiration comes from my participation in the Asia Media Conference organized by the Hawaii-based East-West Center in New Delhi, India, from September 8 to 11, 2016. Themed “South Asia Looking East”, it drew over 350 participants from across Asia and the United States.

Speeches and discussions showed how governments are more concerned about international media rights watch groups tracking the imprisonment and physical harassment of media and journalists. So their tactics of repression have changed to unleash bureaucratic and legal harassment on untamed and unbowed journalists. And also to pressurising advertisers to withdraw.

Basically this is governments trying to break the spirit and commercial viability of free media instead of breaking the bones of outspoken journalists. And it does have a chilling effect…

In this column, I focus on two glaring examples that were widely discussed at the Delhi conference.

In recent months, leading Bangladeshi editor Mahfuz Anam has been sued simultaneously across the country in 68 cases of defamation and 18 cases of sedition – all by supporters of the ruling party. Anam was one of six exceptional journalists honoured during the Delhi conference “for their personal courage in the face of threats, violence and harassment”.

In August, an announcement was made on the impending suspension of regional publication of Himal Southasian, a pioneering magazine promoting ‘cross-border journalism’ in the South Asian region. The reason was given as “due to non-cooperation by regulatory state agencies in Nepal that has made it impossible to continue operations after 29 years of publication”.

Bureaucracy is pervasive across South Asia, and when they implement commands of their political masters, they become formidable threats to media freedom and freedom of expression. Media rights watch groups, please note.

”බලවත් රජයක් හා ස්වාධීන මාධ්‍ය අතර ගැටුමකදී නිරන්තරයෙන්ම පාහේ මුල් වට කිහිපය ජය ගන්නේ රජයයි. බලපෑම් හා පීඩන කළ හැකි යාන්ත්‍රණ රැසක් රජය සතු නිසා. එහෙත් අන්තිමේදී ස්වාධීන මාධ්‍ය ජය ලබනවා!”

”කියවන විට ලිවීම සිය මාධ්‍ය කලාව ලෙස නිර්වචනය කර ගත් කීකරු මාධ්‍යවලට නම් කිසිදු රටක රජයකින් හෝ වෙනත් බල කේන‍ද්‍රවලින් තාඩන පීඩන එල්ල වන්නේ නැහැ. එහෙත් එසේ නොකරන, පොදු උන්නතිය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවලට (free press) පන්න පන්නා හිරිහැර කරන සැටි දේශපාලකයන් මෙන්ම නිලධාරී තන්ත්‍රය හොඳහැටි දන්නවා. හීලෑ කර ගත නොහැකි මාධ්‍යවේදීන් හා කතුවරුන් හිරේ දැමීම, ඔවුන්ට පහරදීම හෝ මරා දැමීම බරපතළ ලෝක විවේචනයට ලක් වන නිසා ඊට වඩා සියුම් අන්දමින් මාධ්‍යවලට හිරිහැර කිරීමට දකුණු ආසියානු ආණ්ඩු දැන් නැඹුරු වී සිටිනවා, මාධ්‍ය නිදහසට එල්ල වන ප්‍රකට තර්ජන (භෞතික ප්‍රහාර හා නිල ප්‍රවෘත්ති පාලනයන්) ගැන ඇස යොමා ගෙන සිටින ජාත්‍යන්තර ආයතනවලට පවා මේවා හරිහැටි ග්‍රහණය වන්නේ නැහැ!”

මේ වටිනා විග්‍රහයන්ට මා සවන් දුන්නේ 2016 සැප්තැම්බර් 8-11 දින කිහිපය තුළ ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර මාධ්‍ය සමුළුවකදී (East-West Center 2016 International Media Conference).  අමෙරිකාවේ හවායිහි පිහිටි ඊස්ට්-ටෙස්ට් කේන‍ද්‍රය තවත් කලාපීය හා ඉන්දීය පාර්ශ්වකරුවන් සමග සංවිධානය කළ මේ සමුළුවට රටවල් හතළිහකින් පමණ 350කට වැඩි මාධ්‍යවේදී පිරිසක් සහභාගි වුණා.

මා එහි ගියේ ආරාධිත කථීකයෙක් හා එක් සැසි වාරයක මෙහෙයවන්නා ලෙසින්.

තොරතුරු අයිතිය, විද්‍යුත් ආවේක්ෂණය, සමාජ මාධ්‍ය, ගවේෂණාත්මක මාධ්‍යකරණය, පාරිසරික වාර්තාකරණය ආදී විවිධ තේමා යටතේ සැසිවාර හා සාකච්ඡා රැසක් තිබුණත් වැඩිපුරම අවධානය යොමු වුණේ මාධ්‍ය නිදහසට එල්ල වන පීඩන හා තර්ජන ගැනයි.

මෙය දේශපාලන සංවාදයකට සීමා නොවී මාධ්‍යවල වෘත්තියභාවය, ආචාරධර්මීය ක්‍රියා කලාපය හා මාධ්‍ය-රජය තුලනය ආදී පැතිකඩද කතාබහ කෙරුණා.

Mahfuz Anam speaks at East West Center Media Conference in Delhi

Mahfuz Anam speaks at East West Center Media Conference in Delhi

සමුළුවේ ප්‍රධාන භූමිකාවන් රඟපෑවේ (සහ මාධ්‍ය නිදහස උදෙසා අරගල කිරීම සඳහා පිරිනැමුණු විශේෂ සම්මානයක් හිමි කර ගත්තේ) මෆූස් අනාම් (Mahfuz Anam) මාධ්‍යවේදියායි.ඔහු බංග්ලාදේශයේ අද සිටින ජ්‍යෙෂ්ඨතම එසේම ලොව පිළිගත් පුවත්පත් කතුවරයෙක්. කලක් යුනෙස්කෝ සංවිධානයේ තනතුරක් හෙබ වූ ඔහු සියරට ආවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රිය වීමටයි.

ඔහු එරට මුල්පෙළේ පුවත්පතක් වන Daily Star කතුවරයා මෙන්ම ප්‍රකාශකයාද වනවා. ඩේලි ස්ටාර් බංගල්දේශයේ වඩාත්ම අලෙවි වන ඉංග්‍රීසි පුවත්පතයි. එය මීට වසර 25කට පෙර අනාම් ඇරඹුවේ එරට මිලිටරි පාලනයකින් යළිත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසි පසුවයි.

ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි අයිතිවාසිකම්, විවෘත ආණ්ඩුකරණය හා රාජ්‍ය විනිවිදභාවය වැනි පරමාදර්ශයන් වෙනුවෙන් ඔහුත්, ඔහුගේ පුවත්පතත් කවදත් පෙනී සිටිනවා.

බංග්ලාදේශයේ අතිශයින් ධ්‍රැවීකරණය වී ඇති පක්ෂ දේශපාලනය ඔහු විවෘතවම විවේචනය කරනවා. මේ නිසා දේශපාලකයන් ඔහුට කැමති නැහැ. මීට පෙරද නොයෙක් පීඩනයන් එල්ල වුවත් ඔහුගේ මාධ්‍ය කලාවට ලොකුම තර්ජනය මතු වී ඇත්තේ ෂේක් හසීනා වත්මන් අගමැතිනියගේ රජයෙන්.

බලයේ සිටින ඕනෑම රජයක් සහේතුකව විවේචනය කිරීම අනාම්ගේ ප්‍රතිපත්තියයි. අධිපතිවාදී රාජ්‍ය පාලනයක් ගෙන යන හසීනා අගමැතිනියට මෙය කිසිසේත් රුස්සන්නේ නැහැ. ඇය, ඇගේ ආන්දෝලනාත්මක පුත්‍රයා හා දේශපාලන අනුගාමිකයන් ඩේලි ස්ටාර් පත්‍රයට හිරිහැර කිරීමට පටන් ගත්තේ මීට වසර 3කට පමණ පෙරයි.

එහෙත් එය උත්සන්න වූයේ 2016 පෙබරවාරියේ. එරට ටෙලිවිෂන් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී අනාම් එක්තරා පාපෝච්චාරණයක් කළා. වත්මන් අගමැතිනිය 2007දී විපක්ෂ නායිකාව ලෙස සිටියදී ඇයට එරෙහිව මතු වූ දුෂණ චෝදනා සිය පුවත්පතේ පළ කිරීම ගැන ඔහු කණගාටුව ප්‍රකාශ කළා.

එවකට එරට පාලනය කළේ හමුදාව විසින් පත් කළ,  ඡන්දයකින් නොතේරුණු රජයක්. එම රජය හසීනා අගමැතිනියට එරෙහිව මතු කළ දූෂණ චෝදනා, නිසි විමර්ශනයකින් තොරව සිය පත්‍රයේ පළ කිරීම කර්තෘ මණ්ඩල අභිමතය අනිසි ලෙස භාවිත කිරීමක් (poor editorial judgement) බව ඔහු ප්‍රසිද්ධියේ පිළිගත්තා.

එම දූෂණ චෝදනා එරට වෙනත් බොහෝ මාධ්‍යද එවකට පළ කරන ලද නමුත් මෙසේ කල් ගත වී හෝ ඒ ගැන පසුතැවීමක් සිදු කර ඇත්තේ ඩේලි ස්ටාර් කතුවරයා පමණයි.

කතුවරුන් යනු අංග සම්පූර්ණ මිනිසුන් නොවෙයි. ඔවුන් අතින් ද වැරදි සිදු වනවා. ඒවා පිළිගෙන සමාව අයැද සිටීම අගය කළ යුත්තක්.

එහෙත් මේ  පාපොච්චාරණයෙන් හසීනා පාක්ෂිකයෝ දැඩි කෝපයට පත් වූවා. මහජන ඡන්දයෙන් නොව බලහත්කාරයෙන් බලයේ සිටි රජයක් එකල විපක්ෂ නායිකාවට කළ චෝදනා පත්‍රයේ පළ කිරීම ඇය දේශපාලනයෙන් ඉවත් කිරීමට කළ කුමන්ත්‍රණයක කොටසක් බව ඔවුන් තර්ක කළා.

අනාම් මේ තර්කය ප්‍රතික්ෂේප කරනවා. 2007-8 හමුදාමය රජයට එරෙහිව තමන් කතුවැකි 203ක් ලියමින් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන මෙන් ඉල්ලා සිටි බව ඔහු මතක් කරනවා. එසේම දූෂණ චෝදනා මත හසීනා අත්අඩංගුවට ගත් විට එයට එරෙහිව ප්‍රබල විරෝධතා මතු කළේත් තම පත්‍රය බව ඔහු කියනවා. (2008දී හසීනාගේ අවාමි ලීගය යළි බලයට පත් වූ විට එම චෝදනා සියල්ල කිසිදු  විභාග කිරීමකින් තොරව අත්හැර දමනු ලැබුවා.)

Mahfuz Anam, center, the editor of The Daily Star, Bangladesh’s most popular English-language newspaper, outside a court in Rangpur District, March 2016

Mahfuz Anam, center, the editor of The Daily Star, Bangladesh’s most popular English-language newspaper, outside a court in Rangpur District, March 2016 [Photo courtesy The New York Times]

පෙබරවාරි ටෙලිවිෂන් සාකච්ඡාවෙන් පසු සති කිහිපයක් තුළ රටේ විවිධ ප්‍රදේශවල උසාවිවල අනාම්ට එරෙහිව අපහාස නඩු හා රාජ්‍ය ද්‍රෝහිත්වය (sedition) අරභයා නඩු දුසිම් ගණනක් ගොනු කරනු ලැබුවා. මේ එකම නඩුවකටවත් බංග්ලාදේශ රජය සෘජුව සම්බන්ධ නැහැ. නඩු පැමිණිලිකරුවන් වන්නේ හසීනාගේ පාක්ෂිකයෝ.

මේ වන විට අපහාස නඩු 68ක් හා රාජ්‍ය ද්‍රෝහිත්වයට එරෙහි  නඩු 18ක් විභාග වෙමින් තිබෙනවා. මේවාට පෙනී සිටීමට රට වටේ යාමටත් වග උත්තර බැඳීමටත් ඔහුට සිදුව තිබෙනවා.

නඩු පැවරීමට අමතරව වෙනත් උපක්‍රම හරහාද තම පත්‍රයට හිරිහැර කරන බව අනාම් හෙළි කළා. පත්‍රයට නිතිපතා දැන්වීම් ලබා දෙන ප්‍රධාන පෙළේ සමාගම් රැසක් රාජ්‍ය බලපෑම් හමුවේ නොකැමැත්තෙන් වුවත් එය නතරකොට තිබෙනවා. මේ නිසා ඩේලිස්ටාර් දැන්වීම් ආදායම 40%කින් පහත වැටිලා.

”එහෙත් මධ්‍යම හා කුඩා පරිමානයේ දැන්වීම්කරුවන් දිගටම අපට දැන්වීම් දෙන බවට ප්‍රතිඥා දී තිබෙනවා. මේ ව්‍යාපාරිකයන්ගේ කැපවීම අගය කළ යුතුයි. ආණ්ඩු බලයට නතු නොවී, බිය නොවී, ස්වාධීන මාධ්‍යවලට අනුග්‍රහය දක්වන ව්‍යාපාර ඉතිරිව තිබීම අපට ලොකු සවියක්” අනාම් ප්‍රකාශ කළා.

කුඩා හා මධ්‍යම පරිමාන දැන්වීම් කරුවන්ට අමතරව බංගලාදේශයේ වෘත්තිකයන්, බුද්ධිමතුන් හා කලාකරුවන්ද ඩේලිස්ටාර් හා එහි කතුවරයා වෙනුවෙන් කථා කරනවා. සෙසු (තරඟකාරී) මාධ්‍ය කෙසේ වෙනත් මහජනයා මෙසේ ස්වාධීන මාධ්‍යවල නිදහස වෙනුවෙන් කථා කිරීම ඉතා වැදගත්.

මාධ්‍ය නිදහස රැකීමට වීදි උද්ඝෝෂණ කළාට පමණක් මදි. අන්තවාදීන්ගේ හා මර්දනකාරී ආණ්ඩුවල පීඩනයට ලක් වන මාධ්‍ය ආයතනවලට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම ද අවශ්‍යයි.

නවදිල්ලි සමුළුවේ අවධානයට ලක් වූ තවත් මාධ්‍ය මර්දනයක් නම් නේපාලයේ කත්මණ්ඩු අගනුවරින් පළ කැරෙන හිමාල් (Himal) සඟරාවේ අර්බුදයයි.

Kanak Mani Dixit (left) and Kunda Dixit struggling to save Himal South Asian magazine

Kanak Mani Dixit (left) and Kunda Dixit struggling to save Himal South Asian magazine

හිමාලයට සාමුහිකව හිමිකම් කියන භූතානය, ඉන්දියාව, නේපාලය, ටිබෙටය, පකිස්ථානය හා චීනය යන රටවල් කෙරෙහි මුලින් අවධානය යොමු කළ මේ ඉංග්‍රීසි සඟරාව, වසර කිහිපයකින් සමස්ත දකුණු ආසියාවම ආවරණය කැරෙන පරිදි Himal Southasian නමින් යළි නම් කළා.

සාක් කලාපයේ රටවල (විශේෂයෙන් ඉන්දියාවේ) හොඳ කාලීන පුවත් සඟරා ඇතත් දකුණු ආසියාව ගැන පොදුවේ කථා කරන එකම වාරික ප්‍රකාශනය මෙයයි. ජාතික දේශසීමාවලින් ඔබ්බට ගොස් සංසන්දනාත්මකව හා තුලනාත්මකව සමාජ, ආර්ථීක, දේශපාලනික හා සංස්කෘතික ප්‍රශ්න ගවේෂණය කිරීම දශක තුනක් තිස්සේ හිමාල් සඟරාව ඉතා හොඳින් සිදු කරනවා.

2016 අගෝස්තු 24 වනදා හිමාල් සඟරාවේ ප්‍රකාශකයන් වන දකුණු ආසියානු භාරය (Southasia Trust) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නේපාල රජයේ ආයතනවලින් දිගින් දිගටම මතුව ඇති බාධක හා අවහිර කිරීම් නිසා කණගාටුවෙන් නමුත් සඟරාව පළ කිරීම නතර කරන බවයි.

”හිමාල් නිහඬ කරනු ලබන්නේ නිල මාධ්‍ය වාරණයකින් හෝ සෘජු භෞතික පහරදීමකින් හෝ නොවෙයි. නිලධාරිවාදයේ දැඩි හස්තයෙන් අපට හිරිහැර කිරීමෙන්. කිසිදු දැනුම් දීමකින් හෝ චෝදනාවකින් තොරව අපට ලැබෙන ආධාර සියල්ල අප කරා ළඟා වීම වළක්වා තිබෙනවා. අපේ සියලු ගිණුම් වාර්තා ඉහළ මට්ටමක ඇති බවත්, සියලු කටයුතු නීත්‍යනුකූල බවත් රාජ්‍ය ආයතන සහතික කළත්, අපට එල්ල වන පරිපාලනමය බාධක අඩු වී හෝ නතර වී නැහැ” එම නිවේදනයේ සඳහන් වුණා.

වෘත්තීය කර්තෘ මණ්ඩලයක් මඟින් සංස්කරණය කැරෙන, ලිපි ලියන ලේඛකයන්ට ගරුසරු ඇතුව ගෙවීම් කරන, දැන්වීම් ඉතා සීමිත මේ සඟරාවේ නඩත්තු වියදම පියවා ගත්තේ දෙස් විදෙස් දානපති ආධාරවලින්. සඟරාවට ආධාර ළඟා වීම වැළැක්වීම හරහා එය හුස්ම හිරකර මරා දැමීම එහි විරද්ධවාදීන්ගේ උපක්‍රමයයි.

මෙසේ කරන්නේ ඇයි? හිමාල් සඟරාවේ ආරම්භකයා හා අද දක්වාත් සභාපතිවරයා නේපාල ක්‍රියාකාරීක හා මගේ දිගු කාලීන මිත්‍ර කනක් මානි ඩික්සිත් (Kanak Mani Dixit). 2012 අගෝස්තු 12 මගේ තීරු ලිපියෙන් සිංහල පාඨකයන්ට ඔහුගේ ප්‍රතිපත්තිමය අරගලයන් මා හඳුන්වා දුන්නා.

සිවුමංසල කොලූගැටයා #78: කනක් මානි ඩික්සිත් – හිමාල කඳු සොළවන පුංචි වැඩකාරයා

කනක්ගේ මාධ්‍ය විවේචන හමුවේ දැඩි ලෙසි උරණ වී ඔහුට නිලබලයෙන් පහර දීමට මූලිකව සිටින්නේ නේපාලයේ බලය අයථා ලෙස භාවිත කිරීම විමර්ශනය කරන රාජ්‍ය කොමිසමේ ප්‍රධානියා වන ලෝක්මාන් සිං කාර්කි.

2013 දී කාර්කි මේ තනතුරට පත් කරන විට ඔහු එයට නොසුදුසු බව කනක් ප්‍රසිද්ධියේ පෙන්වා දුන්නා. එහෙත් දේශපාලකයන් පත්වීම ස්ථීර කළ අතර එතැන් පටන් මේ නිලධාරීයා නිල බලය අයථා ලෙස යොදා ගනිමින් සිය විවේචකයන්ට හිරිහැර කිරීම ඇරඹුවා.

2016 අප්‍රේල් මාසයේ දූෂණ චෝදනා මත කනක් ඩික්සින් අත් අඩංගුවට ගෙන ටික දිනක් රඳවා තැබුණා. මේ ගැන එරට හා විදෙස් මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය පළ කළා. අන්තිමේදී කනක් සියලු චෝදනාවලට නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

කනක්ට සෘජුව හිරිහැර කිරීම ඉන් පසු අඩු වූවත් ඔහු සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශන, ස්වේච්ඡා ආයතන හා සිවිල් සමාජ සංවිධානවලට නොයෙක් බලපෑම් කිරීම දිගටම සිදු වනවා.

හිමාල් සඟරාවට හා දකුණු ආසියාව භාරයට හිරිහැර කිරීම මේ ප්‍රහාරයන්ගේ එක් පියවරක්. මේ අත්තනෝමතික නිලධාරියාට දේශපාලන බලයද ඇති නිසා අන් නිලධාරීන්  ඔහුට එරෙහි වීමට බියයි.

රාජ්‍ය තන්ත්‍රයේ මුළු බලය යොදා ගෙන පුංචි (එහෙත් නොනැමෙන) සඟරාවකට හිරිහැර කරන විට එයට එරෙහිව හඬක් නැගීමට බොහෝ නේපාල මාධ්‍ය ආයතන  පැකිලෙනවා. එයට හේතුව මර්දකයා තමන් පසුපස ද එනු ඇතැයි බියයි. මේ අතින් නේපාල තත්ත්වය බංග්ලාදේශයට වෙනස්.

පොදු උන්නතිය වෙනුවෙන් නිර්ව්‍යාජව පෙනී සිටින මාධ්‍ය ආයතනයක් හා කතුවරයෙක් මර්දනයට ලක් වූ විට ඔවුන් වෙනුවෙන් හඬ නැගීම ශිෂ්ඨ සමාජයක කාගේත් වගකීමක්. හිමාල් සඟරාව හා කනක් ඩික්සින් වෙනුවෙන් මේ හඬ වැඩිපුරම මතුව ආයේ ඔහුගේ මෙහෙවර අගයන සෙසු දකුණු ආසියාතික රටවලින්.

මේ ලිපිය ආරම්භයේ මා උපුටා දැක්වූ පලමු උධෘතය මෆූස් අනාම්ගේ. ඊළඟ උධෘතය කනක්ගේ  සොහොයුරු කුන්ඩා ඩික්සිත්ගේ. මෆූස්, කනක් හා කුන්ඩා වැනි කතුවරුන්ට සහයෝගිතාව දැක්වීම නවදිල්ලි සමුළුව පුරාම දැකිය හැකි වුණා.

අවසානයේ මාධ්‍ය ජය ගන්නා තුරු මර්දනයට ලක් වන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ සහයෝගයෙන් සිටීම ඉතා වැදගත්.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: