සිවුමංසල කොලුගැටයා #277: බියෙන් තොරව වටහා ගත යුතු ඩයස්පෝරා සාධකය

In this week’s Ravaya column (appearing in the print issue of 31 July 2016), I explore the many faceted phenomenon called the Sri Lankan diaspora.

I emphasize why it is very important for everyone in Sri Lanka to understand the diaspora factor in all its nuances and complexity. Simplistic perceptions have dominated public discourse for too long, and we owe ourselves a more informed approach to this topic

Most media outlets narrowly and negatively interpret the term ‘diaspora’ mean only a section of oversease Lankans of Tamil ethnicity who supported terrorism. This is not merely a case of semantics, as diaspora engagement for national reconciliation is hampered by these persistent misconceptions.

I point out that sympathisers of Tamil Eelam were/are only a small part of the spectrum that includes people of ALL ethnicities, social backgrounds and professional skills originating from Sri Lanka who have spread to different parts of the world for over 150 years.

I refer extensively to The Encyclopedia Of The Sri Lankan Diaspora, a multi-author, academic volume published by the National University of Singapore in 2013.

I also draw insights from the Roadmap for Engagement with Overseas Sri Lankans, released in July 2016 by International Alert, Sri Lanka on behalf of the Young Political Leaders Forum.

The latter report’s opening para says: “With nearly three million Sri Lankans living across the world (approximately fourteen percent of the country’s population) Sri Lanka’s diaspora-to-population ratio is known as one of the highest in the South Asian region. This ratio is the product of different waves of migrations that are mainly attributed to: post-colonial developments, the need for better economic prospects, political instability – including the JVP insurrection and the 30-year civil war, and education opportunities. As such, the Sri Lankan diaspora is by nature not considered to be homogenous as it represents the many social, political, ethnic and religious ideologies and experiences that exists in Sri Lanka.”

Nalaka Gunawardene column in Ravaya, 31 July 2016

Nalaka Gunawardene column in Ravaya, 31 July 2016

ඩයස්පෝරා!

මේ වචනය ඇසෙන විට සමහරුන් ආවේගශීලී වනවා. ඒ එය හරිහැටි තේරුම් නොගැනීම නිසායි. නොදන්නා දෙයට බියවනු වෙනුවට එය අධ්‍යයනය කොට අවබෝධය ලැබීම වැදගත්.

දකුණු ආසියාතික ඩයස්පෝරා සමුළුවක් මෑතදී සිංගප්පූරුවේ පැවැත්වුණා. එහි මුඛ්‍ය දේශනය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහට ඇරැයුම් කර තිබුණා. සෙසු කථීකයන් අතර විදේශ ඇමති මංගල සමරවීර හා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සිටියා.

ඩයස්පෝරා සාධකය ජාතික සමගියට හා සංවර්ධනයට කෙසේ යොදා ගත හැකිද යන්න මේ දිනවල විවිධ සභාවල කතා වෙනවා.

සමහරුන් කැමති වූවත්, නැතත් ඩයස්පෝරා සාධකය නොතකා සිටීමට බැහැ. එසේම දුර්මතධාරීන් සිතන හැටියට ඩයස්පෝරා යනු ඒකමිතික, ලංකා විරෝධී පිරිසක් නොවෙයි. මොකක්ද මෙහි ඇත්ත නැත්ත?

ඩයස්පෝරා යන වචනය, ග්‍රීක භාෂාවේ ඩයස්පේරෝ (diaspeiro) වෙතින් බිඳී ආවක්. එහි මුල් අරුත විහිදයාම හෙවත් පැතිර යාමයි. ප්‍රබල නගර රාජ්‍යවල වැසියන් පසුව වෙනත් ප්‍රදේශවලට විසිර ගොස් තම බලපෑම් පතුරුවා ටිකෙන් ටික අධිරාජ්‍යයක් වීම එහි මුල් කතාවයි.

ඉතිහාසය මුළුල්ලේ විවිධාකාරයේ ඩයස්පෝරා බිහි වී තිබෙනවා. විටින් විට නොයෙක් බිම්වලින් නික්ම ගිය හෝ පිටුවහල් කෙරුණු යුදෙව් ඩයස්පෝරාව මින් වඩාත් ප්‍රකටයි.

අද වන විට සම්භවයටත් වඩා අනන්‍යතාව පිළිබඳ හැඟීම හරහා ඩයස්පෝරාවන් ඒකරාශී වනවා. ඓතිහාසික නිජබිමකට ඇති මානසික බැඳීම මෙහි පොදු සාධකයයි.

Rogers Brubaker

Rogers Brubaker

රොජර්ස් බෘබේකර් (Rogers Brubaker) නම් ඇමෙරිකානු සමාජ විද්‍යාඥයා 2005දී විග්‍රහ කළ හැටියට ඩයස්පෝරා නිර්වචනය ක්‍රමයෙන් පුළුල්වෙමින් තිබෙනවා. අද වන විට නිජබිමෙන් දුරස්ථ වූ හැම ජන කොටසක්ම යම් ඩයස්පෝරාවකට අයත් ලෙස පිළිගැනෙනවා. එසේම සදහටම උපන් රට හැර නොගියත් රැකියා සඳහා වසර ගණනකට විදෙස් ගතවන විශාල සංඛ්‍යාවක් ද තාවකාලික ඩයස්පෝරාවක් ලෙස දැකිය හැකියැ’යි ඔහු කියනවා.

බෘබේකර් කියන්නේ තව දුරටත් පොදු නිජබිමකට වඩා පොදු සංස්කෘතික උරුමයකට සම්බන්ධිත අයද ඩයස්පෝරා ලෙස සංවිධානය වන බවයි. මේ සඳහා උදාහරණ ලෙස ලොව පුරා විවිධ රටවලින් ආ, නොයෙක් තැන්වල ජීවත් වන ප්‍රංශ බස කතා කරන්නන්, පෘතුගීසි බස කතා කරන්නන් මෙන්ම ලිංගික සුළුතරයන්ද ඔහු සඳහන් කරනවා.

නව සන්නිවේදන තාක්ෂණයන් පැතිර යාම හරහා ඩයස්පෝරා තුළ සන්නිවේදනය වඩාත් පහසු වී තිබෙනවා. එනිසා මේ සියවසේ ඩයස්පෝරා සාධකය වඩාත් ප්‍රබලව මතු වී තිබෙනවා.

මෙය රටක දියුණුවට හා ජාතික අනන්‍යතාව ප්‍රබල කිරීමට කෙසේ යොදා ගත හැකිද? මෙය ඩයස්පෝරා එකක් හෝ කිහිපයක් ඇති රටවල් අද මුහුණ දෙන අභියෝගයක්.

ශ්‍රී ලංකා ඩයස්පෝරාවන් ගැන පර්යේෂණාත්මක කරුණු එක්තැන් කළ අගනා ග්‍රන්ථයක් 2013දී සිංගප්පුරුවේ ජාතික සරසවිය (NUS) ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලාංකික ඩයස්පෝරා විශ්ව කෝෂය (The Encyclopedia Of The Sri Lankan Diaspora)  නම් වූ එය, පෙර අපරදෙදිග විවිධ රටවලට විවිධ වකවානුවල නොයෙක් හේතු නිසා සංක්‍රමණය වූවන්ගෙන් බිහිව ඇති බහුවිධ ඩයස්පෝරා ගැන තොරතුරු සම්පිණ්ඩනය කරනවා.

Encyclopedia Of The Sri Lankan Diaspora (NUS, 2013)

Encyclopedia Of The Sri Lankan Diaspora (NUS, 2013)

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව නම් මහා කාණ්ඩය තුළ උප කාණ්ඩ රාශියක් සිටිනවා.

1950-1970 වකවානුවේ (විශේෂයෙන්ම සිංහල රාජ්‍ය භාෂාව වීමෙන් පසු) මෙරට හැරදා ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල පදිංචියට ගිය බර්ගර්වරුන් එක් නිශ්චිත කාණ්ඩයක්.

1983 කළු ජූලියට පෙර බටහිර රටවලට ගිය, වැඩිපුරම වෘත්තිකයන්ගෙන් සමන්විත වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන්ට අයත් ලාංකික ඩයස්පෝරාව මුල් පරපුරේ කාණ්ඩයක් ලෙස දැකිය හැකියි.

1983න් පසු යුද්ධය නිසා මෙරට හැරයාමට සිදුවූ බහුතරයක් දෙමළ ජාතිකයන් වුවද මෙරට අස්ථාවරත්වය හා අවිනිශ්චිත බව නිසා දශක තුනක යුද සමයේ සංක්‍රමණය වූ සිංහල හා මුස්ලිම් පවුල් සංඛ්‍යාවද සැලකිය යුතුයි. මෙකී නොකී සැවොම ඩයස්පෝරා තුළ සිටිනවා.

ඩයස්පෝරාව පටු හා ඍණාත්මක ලෙසින් විග්‍රහ කිරීම සමහර සිංහල මාධ්‍යවල හා අන්තවාදී සිංහල වෙබ් අඩවිවල සිරිතයි. ඩයස්පෝරා යනු මුළුමනින්ම බෙදුම්වාදයට පක්ෂවූත්, කොටි සංවිධානයට උදව් කළාවූත් දෙමළ ජාතිකයන්ගෙන් සැදුම්ලත් ඒකමිතික පිරිසක් යයි ඔවුන් සිතනවා.

එය හැම අතින්ම වැරදියි. ලාංකික ඩයස්පෝරාවන් එකක් නොව ගණනාවක් සිටිනවා. එය ජාතිකත්වය හෝ ගෝත්‍රික ලේබල මත සංවිධානය වූ පිරිස් පමණක් නොවෙයි. ගෙවී ගිය සියවසකට වැඩි කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් පිටවී ලෝකයේ වෙනත් රටක පදිංචියට ගිය විවිධාකාර ජන කොටස්, පරම්පරාවන් එයට අයත්.

එසේම විදේශගත සියලු දෙමළ ලාංකිකයන් බෙදුම්වාදී අනුග්‍රාහකයන්යැයි කීමද වැරදියි. බෙදුම්වාදයට පක්ෂ, විපක්ෂ, අවිනිශ්චිත හා ආකල්ප තුනටම අයත් පිරිස් ඒ අතර සිටිනවා. එසේම බෙදුම්වාදය පිළිනොගත්තද යුද්ධ සමයේ සිදුවූ අසාධාරණකම් පිළිබඳ නිල මට්ටමේ වගවීමක් අවශ්‍යයැයි කියා සිටින දෙමළ ඩයස්පෝරා පිරිසක් ද සිටිනවා.

මේ විවිධත්වය වටහා ගන්නට නොහැකි වූ හෝ එය තැකීමට නොගන්නා හෝ සිංහල දැඩි මතධාරීන් දේශපාලනයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ද සිටිනවා. එසේම සිංහල හා මුස්ලිම් ඩයස්පෝරා ගැන අසාවත් නැති ඩයස්පෝරා-විරෝධීයැ’යි කියා ගන්නා අය මට හමු වී තිබෙනවා. එයින් පෙනෙන්නේ දැනුමේ හා දැක්මේ දිළිඳුබවයි.

Peter Reeves (1935–2015)

Peter Reeves (1935–2015)

ශ්‍රී ලංකා ඩයස්පෝරා විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ඔස්ට්‍රේලියාවේ පර්ත් සරසවියේ දකුණු ආසියාතික ඉතිහාසය පිළිබඳ සම්මාන මහාචාර්ය පීටර් රීව්ස් (Peter Reeves).

තාවකාලිකව මෙරටින් බැහැරව සිටින ශ්‍රමිකයන්ද ඇතුළුව මිලියන් තුනක් පමණ ලාංකිකයන් (හෝ ලාංකික සම්භවය ඇත්තන්) ලෝකයේ විවිධ රටවල දැන් සිටිනවා. ඉන්දියානු, පාකිස්තානු හා බංග්ලාදේශ් ඩයස්පෝරා මීට වඩා සංඛ්‍යාත්මකව විශාලයි. එහෙත් රටේ ජනගහනයට සාපේක්ෂව වැඩිම ඩයස්පෝරා ප්‍රතිශතයක් ඇති දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව බව පීටර් රීව්ස්ගේ විග්‍රහයයි.

ඔහු කියන්නේ නූතන යුගයේ ලාංකික ඩයස්පෝරා ඇරැඹෙන්නේ අග්නිදිග ආසියාවේ මලයාව (දැන් මැලේසියාව) හා සිංගප්පූරුව බලා 19 වන සියවසේදී සංක්‍රමණය වූ ලාංකිකයන්ගෙන් බවයි. පසුකාලීනව යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, මැදපෙරදිග ආදී කලාපවලට මෙය පුළුල් වුණා.

මේ ඩයස්පෝරා බිහි කළ දේශීය සාධක මෙන්ම ගෝලීය සාධකද රැසක් තිබෙනවා. ඩයස්පෝරා සංසිද්ධිය අධ්‍යයනයේදී මේ සංකීර්ණත්වය හා විවිධත්වය හඳුනා ගැනීම ඉතා වැදගත්.

එසේම ඩයස්පෝරා අනන්‍යතාව හුදෙක් ඓතිහාසික සම්භවයට සීමා නොවී සංස්කෘතික බැඳීම්වලට පැතිරෙන බව ඔහු කියනවා. මේ අනන්‍යතා සාධකය අතිශයින් පෞද්ගලික තීරණයක් බවත් එය වෙනස් වන සැටි සියුම්ව අධ්‍යයනය කළයුතු බවත් ඔහුගේ මතයයි.

Tharman Shanmugaratnam

Tharman Shanmugaratnam

මේ ග්‍රන්ථයට පෙරවදනක් ලියන සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය හා නියෝජ්‍ය අගමැති තර්මන් ෂන්මුගරත්නම් (Tharman Shanmugaratnam) මෙසේ කියනවා: ‘ශ්‍රී ලාංකික සම්භවය ඇති ජනයා විවිධ රටවලට සංක්‍රමණය වී එම රටවල කැපී පෙනෙන සුළුතරයක් බවට පත් වීමේ අපූරු ක්‍රියාදාමයන් මුල්වරට පර්යේෂණාත්මකව ලේඛනගත කැරෙන්නේ මේ විශ්වකෝෂයෙන්. වෛද්‍ය, අධිකරණ, විද්‍යා, ඉංජිනේරු, ගුරු වෘත්තිය, පරිපාලන ක්ෂේත්‍රය හා දේශපාලනය වැනි ක්ෂේත්‍ර ගණනාවක ඔවුන් විශිෂ්ටත්වයට පත්ව සිටිනවා. එසේම සංස්කෘතික හා සාමයික ක්ෂේත්‍රවල නායකත්වයට ළඟා වී සිටිනවා. වෙනත් බොහෝ ඩයස්පෝරාවන් ඉක්මවා යන මේ හැකියාවන් ඔවුන් ලැබීමට, සහජ කුසලතාවන් මෙන්ම ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් යටත්විජිත පාලන සමයේ ශ්‍රී ලංකාවේ පැවතීමද හේතු වී තිබෙනවා. මේ උරුමයන් ප්‍රයෝජනවත් වුවද තමන් සංක්‍රමණය වී පදිංචියට තෝරා ගත් රටවල යථාර්ථයන්ට අනුගත වීමට හා එහි අවස්ථාවලින් ඵල ලබන්නට හැකි වීමද ලාංකික ඩයස්පෝරාවන්ගේ සාර්ථකත්වයට දායක වනවා. ඔවුන් වඩාත්ම හපන්කම් දක්වන්නේ අධ්‍යාපන සුදුසුකම් හරහා. සමාජයේ ඉහළ නැගීමට අවකාශය ඇති රටවලයි.’

ශ්‍රී ලාංකික ඩයස්පෝරා යටත්විජිත පාලන කාලයේ පටන් පරම්පරා ගණනාවක් තිස්සේ මවුරටින් සංක්‍රමණය වූවන්ගෙන් සමන්විතයි. මලයාවට හා සිංගප්පූරුවට ලාංකිකයන් යන්නට පටන් ගත්තේ 1874දී එම රාජ්‍යයන් බ්‍රිතාන්‍ය පාලනයට එක් වීමෙන් පසුවයි. පරිපාලන සේවා තනතුරු සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් ලාංකිකයන්ට වඩාත් කැමති වූයේ ඔවුන්ගේ ඉංග්‍රීසි හැකියාව, වෙහෙස වී වැඩ කිරීමට කැමැත්ත, විශ්වාසවන්ත බව ආදී ගතිගුණ නිසා බව විශ්වකෝෂය කියනවා.

එසේ නිල වශයෙන් ඒ දෙරටට ගිය ලාංකිකයන්ට අමතරව ව්‍යාපාරික අවස්ථා සොයා ගෙන එහි ගිය තවත් ලාංකික පිරිස් සිටියා. සිංහල හා දෙමළ ජන කොටස් දෙකේම ව්‍යවසායකත්වයට ළැදි, අලුත් රටක ආගන්තුක අත්දැකීම් ලැබීමේ අභියෝගයට මුහුණ දුන් අය දුසිම් ගණනින් එහි ගියා. ඔවුන් කඩසාප්පු පවත්වා ගෙන යාම, වැවිලි කර්මාන්තය, අවන්හල් හා හෝටල්, ගොඩනැගිලි කොන්ත්‍රාත් වැඩ මෙන්ම ප්‍රවාහනය ආදී විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවලට යොමු වුණා.

මේ බොහෝ දෙනකු යළි මවුරට ආවේ නැහැ. ඔවුන්ගේ පරම්පරාවලින් පැවත එන්නෝ අද වන විට එරටවල පුරවැසියන්. එහෙත් ලාංකික උරුමය ගැන යම් මතකයක් හා හැඟීමක් බොහෝ අයට තිබෙනවා.

තර්මන් ෂන්මුගරත්නම් ද ලාංකික සම්භවය ඇත්තෙක්. ඔහු පෙරවදනේ මෙසේ ද කියනවා: ‘මලයාව හා සිංගප්පූරුව වෙත පැමිණි දෙමළ, සිංහල, බර්ගර් හා මුවර් ජාතීන්ට අයත් ලාංකිකයෝ එකිනෙකා සමග සුහදව හා සාමූහිකව ක්‍රියා කළා. එසේම ඔවුන් තමන් සංක්‍රමණය වූ රටවල සමාජයන්ට හා ප්‍රජාවන්ට මැනවින් බද්ධ වූවා. අද වන විට ලාංකික සම්භවය ඇති සැවොම තමන් පළමුව සිංගප්පූරු ජාතිකයන් යයි සිතනවා. එහෙත් පාරම්පරික උරුමය තව දුරටත් ඔවුන්ගේ අනන්‍යතාවයේ වැදගත් අංගයක් ද වනවා.’

යුරෝපයේ රටවලට හා අමෙරිකාවට සංක්‍රමණය වූ ලාංකිකයන් ද යම් දිනෙක මේ ඒකාග්‍රතාවට ළඟා වේද? මෙය තව කල් ගත වනු ඇතැ’යිද ලාංකික ඩයස්පෝරා ගති ලක්ෂණ දිගටම පරිණාමය වනු ඇතැ’යිද ෂන්මුගරත්නම් කියනවා.

Patrick Mendis, Distinguished Senior Fellow, SPP. Photo by Creative Services/George Mason University

Patrick Mendis, Distinguished Senior Fellow, SPP. Photo by Creative Services/George Mason University

ඩයස්පෝරා විශ්වකෝෂයට උපදෙස් දුන් ලොව පුරා විසිරි ලාංකික සම්භවය සහිත විද්වතුන් සය දෙනෙක්. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර පදවිය දැරූ වෛද්‍ය මහාචාර්ය ඩේවිඩ් ඩී ක්‍රෙට්සර් මෙන්ම මගේ මිත්‍රයකු වන ආර්ථීක විද්‍යාඥ ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් ද ඔවුන් අතර සිටියා.

1970 ගණන්වල සිට අමෙරිකාවේ ජීවත් වන ඔහු අමෙරිකානු සරසවිවල ඉගැන්වීමට අමතරව එරට විදේශ අමාත්‍යාංශයේ (රාජ්‍ය දෙපාර්තමේන්තුව) උපදේශක හා තානාපති තනතුරු හොබවා තිබෙනවා. දැන් ජෝර්ජ් මේසන් සරසවියේ මහාචාර්යවරයකු වන පැට්‍රික් අමෙරිකාවේ ලාංකික ඩයස්පෝරාවේ කැපී පෙනෙන චරිතයක්.

‘පොදුවේ සලකා බලන විට ලාංකික ඩයස්පෝරා යනු මුල් රටට හා සංක්‍රමණික රටවලට ධනාත්මකව බලපෑ ප්‍රවාහයක් ලෙස මා දකිනවා. 1980 දශකය වන තුරු බහුතරයක් ලාංකික ඩයස්පෝරා සාමාජිකයන් වූයේ බුද්ධිමය හෝ ව්‍යාපාරික අරමුණු උදෙසා සංක්‍රමණය වූවන්. මෙය වෙනස් වූයේ යුද්ධයත් සමගයි. යුරෝපයට හා කැනඩාවට වඩා මෑතදී සංක්‍රමණය වූ දෙමළ ප්‍රජාව ටිකෙන් ටික සංවිධානය වී මවුරටෙහි දේශපාලන ප්‍රවාහයන්ට බලපෑම් කිරීමට සමත්ව සිටිනවා. එසේම සංක්‍රමණය වූ රටවල දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික (විදෙස් සබඳතා) ප්‍රතිපත්තිවලටද ඇතැම් විට ඔවුන් බලපෑම් කරන්නට තැත් කරනවායැ’යි පැට්‍රික් කියනවා.

මෙය අනර්ථකාරී සංසිද්ධියක් ලෙස සලකනු වෙනුවට සාකච්ඡා හරහා යම් එකඟතාවන්ට පැමිණ ජාතික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වයද ලබා ගත හැකි ක්‍රම සෙවිය යුතුය යන්න ඔහුගේ මතයයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: