[Main points I made in a TV news interview with national broadcaster Rupavahini on 25 June 2016, within 24 hours of Sri Lanka’s Parliament passing the Right to Information law.]

2016 ජූනි 24 වනදා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී පැය 24ක් යන්නට පෙර ඒ ගැන කෙටි සාකච්ඡාවක් රූපවහිනියට මා ලබා දුන්නා.
නීතිවේදියෙක් නොවන මා මේ නව නීතියේ සමාජයීය වැදගත්කම අවධාරණය කළා. මෙන්න මා කී ප්‍රධාන අදහස්:
රාජ්‍ය පාලනය ගැන තොරතුරු ඉල්ලා ලැබීමේ අයිතිය පුරවැසි අපට මේ ලැබෙන්නේ දිගු ඉතිහාසයේ පළමුවැනි වතාවටයි.
සීමාන්තික බලතල සහිත රජවරුන් අපේ රට පාලනය කළ වසර 2,000ක පමණ කාලයක් තුළ රටේ කිසිදු පරිපාලන තොරතුරක් (හෝ වෙනත් කිසිම අයිතිවාසිකමක්) ඉල්ලීමේ වරම ජනතාවට තිබුණේ නැහැ. අපේ පැරැන්නෝ යටත්වැසියන් මිස කිසි දිනෙක නිවහල් අභිමානවත් පුරවැසියන් වූයේ ද නැහැ.
අධිපතිවාදය, වැඩවසම් මානසිකත්වය, ගතානුගතිකත්වය යන සියල්ල අපට ඓතිහාසිකව උරුම වී තිබෙනවා. සියවස් 25ක ලිඛිත ඉතිහාසයක් ඇති අපේ රටේ විවෘත හා මහජනතාවට වග කියන ආණ්ඩුකරණයක් ඉතා මෑතක් වන තුරු කිසි දිනෙක පැවතියේ නැහැ. මැග්නා කාර්ටා (Magna Carta) වැනි සම්මුතියක් හරහා අපේ රජුන්ගේ බලතල කිසි ලෙසකින් හෝ සමනය වූයේ ද නැහැ.
ලෝකයේ මුල්ම තොරතුරු අයිතිය පිළිබඳ නීතිය ස්වීඩනයේ සම්මත වූයේ 1766දී. එයින් වසර 250ක් සපිරෙන 2016දී ශී‍්‍ර ලංකාවේ තොරතුරු නීතිය සම්මත වීම පමා වී හෝ අප ද ශිෂ්ට ලෝක සමාජයට එක් කරනවා.
මේ වැඩවසම් ඉතිහාසයේ අවස්ථිතියෙන් (inertia of feudal history) කෙමෙන් අත් මිදී සමානාත්මතාවය මත පදනම් වූ නූතන සමාජයක් වෙත යන ගමන ඉතා දුෂ්කරයි. අන්ධකාරයේ දිගු කලක් සිටි සමහරුන්ට දැන් එම තත්ත්වයෙහි දොසක් නොපෙනෙනවා ඇති. එහෙත් ඔවුන්ගේ ප‍්‍රතිරෝධය මැද, ප‍්‍රමාද වී හෝ ලක් සමාජය 21 වන සියවසට රැගෙන එන්නට ප‍්‍රගතිශීලී හා පරමාදර්ශී ටික දෙනකුට හැකි වීම කෙතරම් අපූරු ද?
නමුත් මා කලෙක සිට කියන පරිදි තොරතුරු නීතියක් සම්මත කර ගැනීම යහපාලනයේ එක් මූලික කඩඉමක් පමණයි.
ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එයින් එරට පුරවැසියන් වැඩ ගන්නා පමණටයි. ආවේග, අනුමාන, ඇදහිලි හා කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ මත පදනම් වී නිගමනවලට එළඹීමට හුරුව සිටින අපේ සමාජය තොරතුරු, දත්ත, සාක්ෂි හා හරවත් විග‍්‍රහයන් හරහා ඉදිරියට ගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා…

සාමාන්‍ය ජනතාවට මෙයින් තමන්ට ඇති වාසි පිළිබඳ නිවැරදිව තේරුම් යන පරිදි දැනුවත් කිරීම විශාල ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනයක් වනු ඇත. ඒ සඳහා මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පෙරමුණ ගැනීම මිස වෙනත් මගක් නැත.