සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

In this week’s Ravaya column (appearing in the print issue of 1 May 2016), I return to the topic of Sri Lanka’s new Right to Information (RTI) law that has recently been tabled in Parliament.

Over 15 years in the making, the RTI law is to be debated in June and expected to be adopted with multi-party consensus. The law represents a transformation across government by opening up hitherto closed public information (with certain cleared specified exceptions).

While media can also benefit from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). For this, citizens need to understand the RTI process and potential benefits. Media can play a major role in explaining RTI law, and promoting its use in many different ways to promote the public interest and to nurture a culture of evidence-based advocacy for good governance and public accountability.

In this column, I look at how RTI can benefit citizens, and share examples from other South Asian countries where even school children are using RTI to solve local level problems that affect their family, school or local community.

RTI Law is like a key that opens government information
RTI Law is like a key that opens government information

වසර 15ක පමණ සිවිල් සමාජ අරගලයකින් පසුව ශ‍්‍රී ලංකාවේ තොරතුරු අයිතිය තහවුරු කැරෙන නව නීතිය කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ සභාගත කොට තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙය විවාදයට ගෙන සම්මත වීමට නියමිතයි.

2015 අපේ‍්‍රල් මාසයේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දැනටමත් තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙරට මූලික මානව අයිතියක් ලෙස පිළිගෙන හමාරයි. මේ නීතිය කරන්නේ එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදය බිහි කිරීමයි.

එසේම තොරතුරු අයිතියට අදාළ වන්නේ කුමන රාජ්‍ය ආයතන හා කිනම් ආකාරයේ තොරතුරුද, හෙළිදරව් කළ නොහැකි තොරතුරු වර්ග මොනවාද (ව්‍යතිරේක) හා හෙළිදරව් කළ යුතු තොරතුරු නොදී සිටින රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පුරවැසියන්ට ගත හැකි පරිපාලනමය ක‍්‍රියාමාර්ග මොනවාද ආදිය මේ පනතෙන් විස්තර කැරෙනවා.

මේ කෙටුම්පත භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකියි. http://www.parliament.lk/uploads/bills/gbills/english/6007.pdf

මේ හැකියාව තිබියදීත් පනත් කෙටුම්පත නොකියවා අනුමාන හෝ  ඕපාදුප මත පදනම් වී මේ ගැන දුර්මත පතුරු වන අයත් සිටිනවා. (මෑතදී මට දුරකථනයෙන් කතා කළ එක් ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙක් ඇසුවේ තොරතුරු පනත මගින් මාධ්‍යවේදීන්ට හා සෙසු පුරවැසියන්ට දඬුවම් දීමට අදහස් කරනවාද කියායි!)

තොරතුරු අයිතිය හා නීතිය ගැන මීට පෙර කිහිප වතාවක් අප මේ තීරු ලිපියේ සාකච්ඡා කළා. යළිත් මේ තේමාවට පිවිසෙන්නේ තවමත් මේ සංකල්පය ලක් සමාජයට ආගන්තුක නිසායි.

ලෝකයේ මුල්ම තොරතුරු නීතිය සම්මත වී 2016ට වසර 250ක් සපිරෙනවා. 1766දී එම නීතිය හඳුන්වා දුන්නේ ස්වීඩනයේ. එදා මෙදාතුර රටවල් 100කට වැඩි ගණනක තොරතුරු නීති සම්මත කරගෙන තිබෙනවා.

අපේ සාර්ක් කලාපයේ තොරතුරු නීතියක් නොමැතිව සිටි එකම රට ශ‍්‍රී ලංකාවයි. ශිෂ්ට සම්පන්න ජන සමාජයකට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයකට අත්‍යවශ්‍ය යැයි සැලකෙන මේ නීතිය ප‍්‍රමාද වී හෝ අපට ලැබීම හොඳයි. එහෙත් මේ නීතිය සාර්ථක වන්නේ එය ගැන සමස්ත ජන සමාජයම දැනුවත් හා උද්‍යෝගිමත් වූ විට පමණයි.

බොහෝ නීති පනවන්නේ රජයට යම් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගන්න. එහෙත් තොරතුරු නීතිය මහජනයා අතට ලැබෙන, ඔවුන් බලාත්මක කළ හැකි නීතියක්.

A009-001(1)

තොරතුරු නීතිය මාධ්‍යවේදීන් සඳහා යයි මතයක් පවතිනවා. හිටපු ජනාධිපතිවරයා වරක් කතුවරුන් අමතමින් කීවේ ‘ඔබට තොරතුරු නීතියක් මොකටද?  ඕනෑ දෙයක් මගෙන් අහන්න’ කියායි!

මාධ්‍යවේදීන්ටද තොරතුරු නීතිය උපකාර වෙතත් තමන්ට අවශ්‍ය සැඟවුණු තොරතුරු සොයා යෑමේ උපක‍්‍රම ඔවුන් සතුව තිබෙනවා. එවැනි ආයතනික හෝ සිවිල් බලයක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ට රාජ්‍ය ආයතන සතු තොරතුරු ඉල්ලා ලබාගන්නට අයිතියක් තහවුරු කරන්නේ තොරතුරු නීතිය මගින්.

මහජන මුදලින් නඩත්තු කැරෙන මහජන සේවයට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකලාපය විමර්ශනය කිරීමට එම මහජනයාට ඇති අයිතිය තහවුරු කිරීමයි  තොරතුරු නීතිය මගින් කරන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එහි තමන්ට තිබෙන ප‍්‍රායෝගික වැදගත්කම හා එය භාවිතය ගැන මහජනයා දැනුවත් වූ තරමටයි.

නීතිඥ ගිහාන් ගුණතිලක 2014දී ලියූ, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය පළ කළ තොරතුරු නීතිය පිළිබඳ අත්පොතෙහි මේ ප‍්‍රයෝජන උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා.

උදාහරණ 1: අපේ නිවෙස ඉදිරියෙන් දිවෙන පාර අබලන් වී තිබූ නිසා එය පිළිසකර කරනු ලබනවා. එහෙත් එහි ප‍්‍රමිතිය හා නිමාව සැක සහිතයි. මේ ගැන පුරවැසියන් ලෙස අපට කුමක් කළ හැකිද?

තොරතුරු අයිතිය යටතේ පාර පිළිසකර කිරීමට අදාළ පළාත් පාලන ආයතනයෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ විමසිය හැකි වනවා. ඒ සඳහා කොපමණ මහජන මුදල් ප‍්‍රතිපාදන වෙන් කළාද, කොන්ත‍්‍රාත් දීමට ටෙන්ඩර් කැඳ වූවාද, වැය කළ මුදල් ද්‍රව්‍යවලට හා වේතනවලට බෙදී ගියේ කෙසේද ආදි සියල්ල හෙළි කිරීමට අදාළ ආයතනයට සිදු වනවා.

බොහෝ විට මේ තොරතුරු පිටු රැසකින් සමන්විත ෆයිල් එකක් විය හැකියි. එය ලද පසු අධ්‍යයනය කොට මහජන මුදල් නිසි ලෙස වැය වී ඇත්ද හා එසේ නැතිනම් ඇයිද යන්න දත හැකියි. මේ දක්වා සැකය හා අනුමානය පදනම් කර ගෙන කළ තර්ක හා චෝදනා මින් පසු තොරතුරු සාක්ෂි මත පදනම්ව කළ හැකි වනවා.

උදාහරණ 2: හැම වසරකම රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරන ක‍්‍රියාදාමයක් නම් රජයේ පාසල්වලට දරුවන් ඇතුළු කර ගැනීමයි. ක‍්‍රමවේදයක් ස්ථාපිත කොට තිබෙත්, නිසි පාරදෘශ්‍යභාවයක් නැති නිසා අක‍්‍රමිකතා හා දුෂණ රැසකට ඉඩ පෑදී තිබෙනවා.

තොරතුරු නීතිය යටතේ මේ ක‍්‍රමවේදය ගැන  ඕනෑම රජයේ පාසලකින් විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසි අපට හැකි වනවා. දරුවන් ඇතුළු කිරීමට යොදා ගත් නිර්ණායක මොනවාද, ඉල්ලූම් කළ සමස්ත සංඛ්‍යාව අතරින් තෝරා ගත් දරුවන් ඒ නිර්ණායක සියල්ල සපුරා සිටියාද, ප‍්‍රතික්ෂේප කිරීමට නිශ්චිත හේතු මොනවාද ආදි සියලූ තොරතුරු හා තීරණ හෙළි කරන ලෙස තොරතුරු නීතිය යටතේ අපට බල කළ හැකියි.

උදාහරණ 3: ගොවිතැන් වැඩිපුර කරන ප‍්‍රදේශයක ගොවීන්ට ජලය ලබා දීමට නව ඇළ මාර්ග ඉදි කිරීමට මහජන මුදල් වෙන් කැරෙනවා. එය එසේ කළ බවත්, මාධ්‍ය හරහා වාර්තා වනවා. එහෙත් මාස හා වසර ගණනක් ගෙවී ගියත් ඇළ මාර්ග ඉදි වන්නේ නැහැ. කුමක් වූවාදැයි නොදැන ගොවීන් වික්ෂිප්තව සිටිනවා.

තොරතුරු නීතිය යටතේ තව දුරටත් නොදන්නාකමින් හා අවිනිශ්චිත බවින් කල් ගෙවිය යුතු නැහැ. වාරි ඇළ මාර්ග සඳහා වෙන් කළ ප‍්‍රතිපාදනවලට කුමක් වූවාද,  එය වෙනත් දෙයකට යොදා ගත්තාද, නැතිනම් වැය නොකිරීම නිසා යළිත් භාණ්ඩාගාරයට ගියාද, එසේ නම් ඒ සඳහා වගකිව යුත්තේ කවුද ආදි මේ සියල්ල ගැන පරිපාලන තොරතුරු  ඕනැම පුරවැසියකු ඉල්ලා සිටියොත් හෙළි කිරීමට අදාළ රාජ්‍ය ආයතනයට සිදු වනවා. එහිදී තොරතුරු ඉල්ලීම පීඩාවට පත් ගොවීන්ට පමණක් නොව සියලූ පුරවැසියන් සතු අයිතියක්.

උදාහරණ 4: රටේ බහුතරයක් ජනයා සෞඛ්‍ය සේවා සඳහා යන්නේ රජයේ රෝහල්වලට. මහජන මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියේ අඩුපාඩු තිබෙනවා. වාර්ෂිකව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අති විශාල මුදලක් වෙන් කළත්, පරිපාලන දුර්වලතා නිසා හැම විටම නිසි ප‍්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

තමන්ට අදාළ රජයේ රෝහලක කටයුතු සිදු වන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් ආයතනයේ පරිපාලන තොරතුරු ඉල්ලීමට නව නීතිය යටතේ පුරවැසියන්ට අයිතියක් ලැබෙනවා.

බෙහෙත් හිඟය, රෝග විනිශ්චයට උපකාර වන පරීක්ෂණ පහසුකම් ක‍්‍රියාත්මක නොවීම, වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම ආදි  ඕනෑම කරුණක් ගැන අනුමාන හා සැකයක් මත පදනම් වී චෝදනා කරනු වෙනුවට සැබෑ තොරතුරු ලබා ගෙන, ඒවා විමර්ශනය කොට වඩාත් නිවැරදි නිගමනවලට එළැඹීමට හැකි වනවා.

තවත් උදාහරණ  ඕනෑ තරම් අපට පරිකල්පනය කළ හැකියි.

Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka
Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka

රජයේ ආයතනයක ඇති වන පුරප්පාඩු පිරවීමේදී නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළාද කියා දැන ගැනීමට එම තනතුරුවලට ඉල්ලූම් කළ, එහෙත් නොලද  ඕනෑම කෙනකුට හැකි වනවා. පොලිසිය සමග කැරෙන ගනුදෙනුවලදී දැනට වඩා පාරදෘශ්‍ය වීමට පොලිස් තන්ත‍්‍රයට තොරතුරු නීති හරහා බල කළ හැකියි.

තොරතුරු ඉල්ලා සිටින මහජනයා නොතකා සිටීමට හෝ අනවශ්‍ය ලෙස කල් දමමින් රස්තියාදු කිරීමට ඇති අවකාශ ඇහිරීම අලූතෙන් පිහිටුවීමට නියමිත තොරතුරු කොමිසමේ වගකීමයි. ව්‍යතිරේකවලට සම්බන්ධ නොවූ වෙනත්  ඕනෑම තොරතුරක් නොදී සිටින (මධ්‍යම, පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමේ) රාජ්‍ය ආයතන ගැන මෙකී තොරතුරු කොමිසමට පැමිණිලි කළ හැකි වනවා.

තොරතුරු නීතිය මෙවලමක් කර ගෙන යහපාලනය ඉල්ලා සිටීම පුරවැසි අප සැමගේ යුතුකමක් හා වගකීමක්.

තොරතුරු නීතිය ප‍්‍රාන්ත මට්ටමින් 1990 දශකයේ මැද භාගයේ පටන්ද ජාතික මට්ටමින් 2005 සිටද ක‍්‍රියාත්මක වන ඉන්දියාවේ එම නීතිවලින් වැඩිපුරම ප‍්‍රයෝජන ගන්නේ සාමාන්‍ය පුරවැසියෝ. මාධ්‍ය හෝ සිවිල් සංවිධානවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

තොරතුරු අයිතිය බාල මහලූ, උගත් නූගත් හැම පුරවැසියෙකුටම හිමි වන්නක්. ඡන්ද බලය මෙන් යම් වයස් සීමාවකින් ඔබ්බට ගිය පසු ලැබෙන්නක් නොවෙයි.

foi-laws

ඉන්දියාවේ පාසල් සිසුන් හා ළාබාල දරුවන් පවා තොරතුරු නීතියෙන් ප‍්‍රයෝජන ගන්නවා. මේ ගැන රසවත් උදාහරණයක් ගිය වසරේ වාර්තා වුණා.

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරට සමීප නිසාමාබාද් දිස්ත‍්‍රික්කයේ වයස 10-12 අතර පාසල් සිසුන් තොරතුරු නීතිය යටතේ මහජන තොරතුරු ඉල්ලා අවස්ථා හතරකදී සාර්ථකව එය ලබා ගත්තා.

දස හැවිරිදි මනෝජ්ට තිබූ ප‍්‍රශ්නය බීඩි එතීමේ නිරත වූ මව්පියන්ගේ දරුවන්ට කම්කරු දෙපාර්තමේන්තුව දෙන ඉන්දියානු රුපියල් 1,000ක වාර්ෂික ශිෂ්‍යාධාරය නොලැබීමයි. මව්පියන් සුසුම් හෙළමින් සිටින අතර මනෝ්ජ් මේ අසාධාරණයට අදාළ තොරතුරු ඉල්ලා කම්කරු දෙපාර්තමේන්තුවට ගියා. මෙයින් කලබලයට පත් කම්කරු නිලධාරීන් ශිෂ්‍යාධාර හිඟ මුදල් ලබා දී ප‍්‍රමාදයට හේතු දක්වන ලියුමක් ද මේ දරුවාට යැව්වා.

මෙයින් දිරිමත් වූ මනෝජ් තම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා එය ලබා ගත්තා. එයද තොරතුරු නීතිය යටතේයි.

මේ දෙස බලා සිටි ඔහුගේ පාසල් සගයෝ වෙනස් ප‍්‍රශ්න ගැන තොරතුරු ඉල්ලීම් ගොනු කරන්න පටන් ගත්තා. කවීතා නම් ළාබාල දැරිය තම ගමට හරියට බස් සේවාවක් නොතිබීමට හේතු විමසා සිටියා. අදාළ නිලධාරීන් ප‍්‍රතිචාර නොදැක් වූ විට ඇය තොරතුරු නීති ඉල්ලීමක් ගොනු කළා.

ප‍්‍රාන්ත රජයට හිමි බස් සමාගම මුලින් කීවේ එම මාර්ගයේ බස් ධාවනය පාඩු ලබන බවයි. එහෙත් දැරිය ඉල්ලූ තොරතුරුවලින් එය එසේ නොවන බව ගම්වාසීන්ට පෙනී ගියා. අන්තිමේදී බස් සේවය නැවත ස්ථාපිත කිරීමට රාජ්‍ය බස් සමාගමට සිදු වුණා. මේ නිසා ඒ ගමින් අවට පාසල්වලට යන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවුණා.

මෙවන් උදාහරණ විශාල ගණනක් ගෙවී ගිය දශකයේ ඉන්දියාවෙන් වාර්තාගතයි. අපට වඩා සාක්ෂරතාවෙන් අඩු ඉන්දීය මහජනයා මෙතරම් නිර්මාණශීලීව හා ධෛර්යමත්ව තොරතුරු නීතිය තම ප‍්‍රශ්න විසඳීමට යොදා ගන්නා සැටි තොරතුරු නීතිය ලැබීමට ආසන්න ලක් සමාජයට මාහැඟි ආදර්ශයක්.

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

One thought on “සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!”

  1. අවස්ථානුකූලව ඉතාම වැදගත් ලිපියක් ; ස්තුතියි නාලක. මෙවැනි සරළ උදාහරණ මගින් පැහැදිිලි කරදෙමින් සාමාන්‍ය පුරවැසියන් අතරට දැනුම ගලායන වැඩ පිළිවෙලක අවශ්‍යතාව ඉතා තදින් දැනෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: