සිවුමංසල කොලූගැටයා #256: විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?

In this week’s Ravaya column (appearing in issue of 7 February 2016), I reflect on the value of independence of thought and critical thinking. It coincides with the 68th anniversary of Sri Lanka’s political independence from Britain observed on Feb 4.

I argue that for much of Sri Lanka’s recorded history, we had open frontiers that welcomed traders, scholars, pilgrims, artistes, missionaries and others from the East and West. This was the ‘ehi-passika‘ (meaning ‘come and see’) formula in Buddhism, which made our kings and courtiers open-minded.

Such engagement had their pros and cons, but on the whole, the island nation was richer for the free flow of genes, ideas and technologies. It was only during the last five centuries – out of 25 in recorded history – that the balance was lost due to European colonisation.

Indeed, the island’s fauna, flora and people would be radically different today if such influences and cross-fertilisation didn’t happen. Excepting our aboriginal veddahs, all other races are immigrants from elsewhere. All our religious faiths are also ‘imported’. Sri Lanka today is a result of endless assimilating and remixing.

Yet, today, many Lankans are highly apprehensive of the outside world.

They constantly warn of elaborate international plots to ‘undermine and destabilise’ Sri Lanka. The usual suspects include cocktail of acronyms – among them the CIA, MI5, RAW, the IMF (and its twin, the World Bank), certain UN agencies and an assortment of supposedly ‘evil’ multinational corporations.

Worryingly, an alarmingly high number of Lankans take these imaginary scenarios for real. High levels of literacy and schooling make little difference. Our media often peddle — and amplify – these for cheap thrills or higher ratings.

We will not be a free nation until and unless we can develop independent and critical thinking.

Tagore, Mahagama Sekera, Amaradeva

Tagore, Mahagama Sekera, Amaradeva

දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි.

නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන කතා කිරීමත්, අපට අතහැරුණු අවස්ථා සහ ගිය වැරදි මාර්ගයන් ගැන දුක් වීමත් සමහරුන්ගේ ප‍්‍රියතම ආවර්ජනයයි.

මගේ අරමුණ චින්තන ස්වාධීනත්වය නොහොත් අදීනව සිතීමේ හැකියාව සමාජයක් ලෙස අප පොදුවේ ලබා ගෙන ඇත්දැයි විපරම් කිරීමයි.

නිදහසෙන් පසු රටේ තීරණ ගත් දේශපාලන නායකයන්ගේ දැක්මේ අඩුපාඩු හා බරපතල දෝෂයන් තිබූ බවට අප දන්නවා. එහෙත් සමාජයක් ලෙස පුරවැසියන් හා ඡන්දදායකයන් වන අපේ චින්තනයේ දුර්වලතා බොහෝ විට අප දකින්නේ නැහැ. නැතිනම් නොදුටුවා සේ සිටිනවා.

උපතේදී අහම්බෙන් ලද (ජාතිය, ආගම, කුලය ආදී) හෝ පසු කලෙක ආරෝපණය වූ (උගත් පාසල, කැමති දේශපාලන පක්ෂය ආදී) හෝ ලේබල කන්දරාවක් අලවා ගෙන, ඒවා වෙනුවෙන් කුලල් කා ගනිමින් සිටිනවා. මෙහි ස්වාධීන චින්තනයක් කොහින්ද?

එහෙත් අපේ ඉතිහාසගත උරුමය මෙය නොවෙයි. ශ‍්‍රී ලංකාව භෞතිකව දුපතක් වුවද ශිෂ්ටාචාරමය වශයෙන් ගත් විට එය කිසි දිනෙක ඉතිහාසයේ හුදෙකලා වූ දිවයිනක් වූයේ නැහැ.

සහශ‍්‍රකයන් ගණනාවක් පුරා අප රට ලෝකය සමග ගනුදෙනු කොට තිබෙනවා. අනුරාධපුර යුගයේ රජුන් පුරාණ ග‍්‍රීසියේ හා රෝමයේ පාලකයන් සමග විදේශ සබඳතා පවත්වා තිබෙනවා. ඉන්දියානු සාගරයේ දේශාටනයේ යෙදුණු චීන, පර්සියන් හා යුරෝපීය වෙළෙඳුන්/ගවේෂකයන් මෙහි යාම ඒම නිතර සිදු වුණා.

ඓතිහාසිකව අපේ ශිෂ්ටාචාරය ලෝකයට විවෘතව තිබූ අතර එයින් අපේ අනන්‍යතාවලට හෝ සංස්කෘතියට හෝ හානියක් වූයේ නැහැ. පිටතින් ආ දැනුම, භාණ්ඩ හා සම්ප‍්‍රදායන් හරහා අපේ දිවයිනේ විචිත‍්‍රත්වය තවත් වැඩි වූවා පමණයි. අද රටේ වෙසෙන (වැදි ජනයා හැර) අන් සියලු ජාතීන් පිටරටකින් මෙහි ආ සංක්‍රමණිකයන්.

ලෝකය අපට හිරිහැර කොට අප රටක් ලෙස අස්ථාපිත හා බෙලහීන කරන්නට සැරසී සිටී යන මානසිකත්වය අපේ සමහරුන්ට සාපේක්ෂව මෑතදී ආරෝපණය වූවක්. මේ නිසා ඔවුන් ලෝකයම ගැන බියෙන්, සැකෙන් හා කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් විපරීත මානසිකත්වයෙන් කල් ගෙවනවා.

1948දී ලද දේශපාලන හා පරිපාලනමය නිදහස මෙන්ම අප ආයාසයෙන් වර්ධනය කර ගත යුතු චින්තනයේ නිදහස ද (independence of thought) මා අගය කරනවා. එනයින් බලන විට අපේ සමාජයේ බහුතරයක් දෙනා චින්තන නිදහස තවම ලබා නැහැ!

ස්වාධීනව සිතන රටක් හා ජාතියක් කුමන සුපිරි බලවතකුට හෝ ඇත්තටම යටත් කර ගන්නට බැහැ. එසේම මොන දේශපාලන නිදහස තිබුණත් තර්කානුකූලව සිතීමේ විචාරශීලී හැකියාව සමාජයට නැතිනම් එය නිදහස් සිතුවිලිවලට ඉඩක් නොදෙන, පටු හා ගතානුගතික සමාජයක් වනවා. අපේ සමාජය එවැන්නක්.

එවන් සමාජයන්හි නව නිපැයුම් හා නවෝත්පාදන එතරම් පැන නගින්නේ නැහැ. තරුණ අදහස් උදහස්වලට නිසි තැනක් නැහැ. බහුතරයක් තරුණ තරුණියන් බලා සිටින්නේ කෙසේ හෝ රටින් නික්ම ගොස් වෙන රටක වාසය කිරීමටයි. සමාජ විද්‍යා සමීක්ෂණවලින් මෙය තහවුරු වනවා.

සමාජයේ හැම කෙනකුම එකම අච්චුවේ, එකම ශෛලියකට ජීවත් විය යුතුය යන ආකල්පය ද සැබෑ නිදහස් හා පරිනත සමාජයකට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. සංඛ්‍යාත්මක බහුතරය කරන කියන දෙයට වෙනස් මගක යන වමත් හුරු වූවන්, නිර්මාංශ භක්ෂිකයන්, නිර්ආගමිකයන් ආදීන්ට අපේ ගතානුගතික සමාජයේ මතු වන ප‍්‍රශ්න, සමච්චල් හා හෙළා දැකීම් වැඩියි. ලිංගික සුළුතරයකට අයත් වූවන්ට (සමරිසි, සන්ක්‍රාන්ති ලිංගික හා ද්විලිංගික) නම් සමාජ ප‍්‍රතිරෝධය එළිපිටම ප‍්‍රබලව පැන නගිනවා.

මේ සියල්ල වැඩවසම් හා වහල් මානසිකත්වයක් මත පදනම් වූ පසුගාමී සමාජයක ලක්ෂණයි. සංස්කෘතික හා මානව විවිධත්වය ඉවසා දරා ගැනීමට බැරිකමයි. ඉතින් අප නිවහල් සමාජයක්ද?

බහුතරයකට විචාරශීලීව හා පුළුල්ව සිතීමට බැරි වීමේ තවත් බරපතල සමාජ ප‍්‍රතිඵලයක් නම් මිථ්‍යාව, අවිද්‍යාව හා ව්‍යාජ විද්‍යාවන් අන් කවරදාටත් වඩා ප‍්‍රචලිතවීමයි.

මා කවදත් කියන පරිදි ඕනෑම කෙනෙකුට කැමති දෙයක් විශ්වාස කිරීමට පුද්ගල නිදහස තිබෙනවා. එහෙත් තමන්ගේ ඇදහීම නිල බලය හරහා සමාජය පිට පැටවීමට ඉඩ නොතිබිය යුතුයි.

උදාහරණයකට රාහු කාලය විශ්වාස කිරීම වැනි ප‍්‍රාථමික ක‍්‍රියා තනි පුද්ගලයකුට කළ හැකි වුවත් එය රටේ දරුවන් ලක්ෂ ගණනකට බලපාන විභාග කාලසටහනකට අදාළ කිරීමට අධ්‍යාපන බලධාරීන්ට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

ජ්‍යොතිෂය වැනි අවිද්‍යාත්මක ගුප්ත ව්‍යාපාර තම නිවසේ හෝ කඩයක හෝ සිට කිරීමට එය ප‍්‍රගුණ කරන අයට නිදහස ඇතත් ඒවා ටෙලිවිෂන් නාලිකා හරහා රටටම බෙදීම බෙහෙවින් විවාදාත්මකයි. සියලූ ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකා විකාශයන්ට යොදා ගන්නේ පොදු දේපලක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. ඒ නිසා පත්තර හා වෙබ් අඩවිවලට වඩා වගකීම් සමුදායක් විද්‍යුත් මාධ්‍යවලට තිබෙනවා.

දකුණු ඉන්දියානු ප‍්‍රාන්තයක් වන කර්ණාටකයේ පාලක කොංග‍්‍රස් පක්ෂය මෑතදී යෝජනා කර ඇත්තේ ටෙලිවිෂන් නාලිකා බොහොමයක ජනප‍්‍රිය වී තිබෙන ජ්‍යොතිෂ වැඩසටහන් තහනම් කළ යුතු බවටයි. එයට හේතුව ලෙස කර්ණාටක මහ ඇමති සිද්ධරාමයියා කියන්නේ මිථ්‍යාවන් අධික ලෙස ජන සමාජයේ පැතිරවීමට මේ වැඩසටහන් දායක වන බවයි.

මෙය ජ්‍යෙතිෂකරුවන්ගේ ප‍්‍රකාශන නිදහස බාධා කිරීමක්ද?

ඇත්තටම නැහැ. අවිද්‍යාත්මක බව තහවුරු කරන ලද තොරතුරු මාධ්‍ය හරහා සමාජගත කිරීමෙන් සිදු වන සමාජ හානියට වැට බැඳීමක් පමණයි. (එසේ නැතුව ප‍්‍රකාශන නිදහස යන තර්කය පිළිගත හොත් ඕනෑම හොර වෙදකුට, යකදුරකුට හෝ පිරමිඞ් ආකාරයේ මූල්‍ය වංචාකරුවකුටත් මාධ්‍ය හරහා එම නිදහසම දෙන්නට සිදුවේවි!)

සාක්ෂරතාව මෙතරම් ඉහළ ගිය, අධ්‍යාපන මට්ටම්ද උසස් වූ අපේ වැනි සමාජයක උගත් උදවිය පවා ලෙහෙසියෙන් මිථ්‍යා හා ව්‍යාජ විද්‍යාවන්ට රැවටෙන්නේ ඇයි? මෙය වෙනම විග‍්‍රහ කළයුතු සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්.

එහෙත් චින්තනයේ නිදහසේ නාමයෙන් මෝඩකමට හා අන්ධ විශ්වාසයට නිදහස ලැබීම නම් සමාජයකට අතිශයින් හානිකරයි.

පරමාදර්ශී චින්තන නිදහස ඉතා මැනවින් හසු කර ගන්නා කවියක් මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් මීට සියවසකට පෙර රචනා කළා. ‘චිත්තෝ ජේතා භොයිශුන්යෝ’ නමින් බෙංගාලි බසින් ලියූ එය ඔහු විසින්ම 1911දී ඉංග‍්‍රීසියට පෙරළනු ලැබුවා. 1912දී ලන්ඩනයේ පළ කරන ලද ගීතාංජලී කාව්‍ය සංග‍්‍රහයේ 35 වන කවිය ලෙස ඇතුළත් වූ මෙය සියවසක් පුරා ඉන්දියාවේත්, බංග්ලාදේශයේත් පුළුල්ව උපුටා දැක්වෙන දාර්ශනික අදහස් මාලාවක්.

සිංහල රසිකයන් මේ කව හඳුනා ගත්තේ මහගම සේකරයන් විසින් ගීතයක් ලෙස රචනා කරනු ලැබ අමරදේවයන්ගේ හඬින් ගයනු ලැබූ පසුවයි. පරමාදර්ශී නිදහස ගැන සිහින මවන කාගේත් පැතුම විය යුත්තේ මේ තාගෝර්-සේකර-අමරදේව ගීයේ අදහස් මාලාවයි.

“පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!

”සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!

”පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා කම්කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!”

 

Advertisements

6 Responses to “සිවුමංසල කොලූගැටයා #256: විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?”

  1. mppgunasinghe Says:

    විචාර බුද්ධිය වර්ධනයට ඉවහල්වන නිදහස්ව සිතන්නට හැකිඅන්දමට දරුවන් දියුණු කරන පරමාර්ථය ද සහිතව අධ්‍යාපනය සැලසුම්වන රටක් බවට පත්වේවා

  2. තිවංක විශ්වනාත් ජයසේකර Says:

    සමාජ විචාරකයන් ද මේ මොහොතේ සිදුකරනුයේ බොරදියේ මාළුබෑමකි. සියල්ලෙන් මිදී තම ගොඩ වැඩි කර ගනිමින් අනුගාමික පරපුරක් නිර්මාණය කර ගැනීමේ මෙලෝ රහක් නැති ඔවුන්ගේ ක්‍රියාවන් වලට මාධ්‍ය තුළින් ලැබෙනුයේ ද විවේචනයක් හෝ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමක් නො ව තොරොම්බල් කිරීමකි. මොහොත පසු කිරීම ස්වාධීනව කළ හැක්කක් නො වේ. නමුත් හුදෙකලා වීමට වඩා කළ හැකි දෙයක් ද නැත. මංද සියල්ල සිදුවනුයේ ස්වභාවධර්මයේ නියමයානුකූලව ය.

  3. Amila Chathuranga (@indika27) Says:

    අපේ රටේ සනාථ නොකෙරුන මතවාද උගන්වන්නේ ටෙලිවිශනය හරහා පමණක් නොවෙයි. නිවැරදිව පුරාවිද්‍යාත්මකව ගවේශනය නොකල පොත් වල තිබෙන කාරණා කිහිපයක් ඉතිහාසය ලෙස නමකින් අපිට උගන්වනු ලබනවා.. ඉතිහාසය උගන්වන්නෙ නැතිව ලමයින්ට පුරාවිද්‍යාත්මකව සනාථ කල කරුණු කිහිපයක් දක්වනවා නම් හොදයි..
    උදාහරණ විදියට යම්කිසි ඉතිහාස කතාන්දරය්ක සත්‍ය වෙන්න ..
    ඒ හා සම්බන්ධ ලෝක ඉතිහාසය සමග බද්ද වෙන්න ඕනි..
    භූගෝලිය සාධක හමුවන්නට ඕනි..
    වෙනත් ඔප්පු කල හැකි සාධක තිබෙන්නට ඕනි..

    නමුත් අද අපි දිග කතාන්දර ඉගෙන ගන්නෙ ඔය කියන එකක්වත් නැතිව හුදෙක් පොතක පතක තිබූ කතාන්දර උගෙන ගන්නා වැනි ආකාරයකින්..

  4. Thisara Says:

    තර්කනය, අන් මත ඉවසීම වගේ දේවල් සීග්‍රයෙන් නැති වී යන දේවල් වෙලා… ඒ තැන ගන්නේ මිත්‍යා මත සහ ජාති ආගම්… මගේ පරම්පරාවේ අය වැඩ ඇරිලා ගෙදර යන්නේ නැතිව පන්සල් වලට ගිහින් බුදුරැස් විහිදෙන හැටි බැලුවා කියනකොටත් මට දැනෙන්නේ විශ්වාස කල නොහැකි බවක්… පාසලේ විද්‍යාව, ගණිතය ඉගෙන ගත්ත, අපේම දෙමව්පියන්ගේ මිත්‍යා විශ්වාස වලට හිනා වුණු අපිට එහෙම වුණේ කොහොමද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: