Op-ed in BBC Sinhala: කොකා-කෝලාවෙන් ඔබ්බට… (Beyond Coca Cola)

BBC Sinhala home page on 9 September 2015

BBC Sinhala home page on 9 September 2015

 

BBC Online Sinhala has just published an opinion article I wrote on Coca Cola Sri Lanka factory polluting the Kelani River, the main source of water supply for Greater Colombo area in Sri Lanka.

Their version is found at: http://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150909_sp_coca_cola_nalaka#orb-banner

Here is my original submission. BBC Online does not, as a policy, provide links to outside websites, but the version below includes some relevant to my commentary.

කොකා-කෝලා ශ‍්‍රී ලංකා සමාගමේ බියගම පිහිටි කර්මාන්ත ශාලාවෙන් නිකුත් වූ අපද්‍රව්‍යයක් කැලණි ගඟට මුසුවීම මහත් ආන්දෝලනයක් ඇති කොට තිබෙනවා.

මහ මැතිවරණය පැවති අගෝස්තු 17 වැනිදා කොළඹ නගරයේ හා තදාසන්න ප‍්‍රදේශවල ජල නලයේ අසාමාන්‍ය ගන්ධයක් ගැන ලැබුනු පැමිණිලි අනුව ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය කඩිනමින් විපරම් කළා. පැය කිහිපයකට ජල සැපයුම නතර කොට දූෂණයේ මූලාශ‍්‍රය සොයා ගත්තා.

අගෝස්තු 28 වැනිදා දෙවන වරටත් එම කර්මාන්තශාලාවෙන් අපද්‍රව්‍ය කාන්දුවක් සිදු වී නැවතත් කොළඹ හා අවට ජල සැපයුම තාවකාලිකව නතර කෙරුණා.

මාධ්‍ය වාර්තා මුලදී කීවේ මෙයට හේතුව කොකා-කෝලා කම්හලෙන් නිකුත් වූ ඞීසල් තෙල් කාන්දුවක් බවයි. එහෙත් සැප්තැම්බර් 5 වනදා මණ්ඩලයේ සභාපතිවරයා කියා තිබෙන්නේ එය කාබනික රසායනික ද්‍රව්‍යයක් විය හැකි බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවට යවන ලද ජල සාම්පල හරහා ජලයේ මෙතිලින් සාන්ද්‍රණය ඉහළ ගිය බවක් පෙන්නුම් කරන බව ඔහු කියනවා. එහෙත් එයට නිශ්චිත හේතු කාරකය කුමක්දැයි තවමත් නිර්ණය කොට නැහැ.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය කියන්නේ අඹතලේ ජලාශයෙන් ලබා ගත් සාම්පල රසායනාගාර පරීක්ෂාවට ලක් කළ විට එහි ඛනිජ තෙල් මුසු වීමක් හමු වූ බවයි.

ජලාප‍්‍රවාහන මණ්ඩලය හා පරිසර අධිකාරිය ඇතැම් විට පරස්පර විරෝධී ප‍්‍රකාශ කිරීමත්, තමන් සොයා ගත් සියලූ තොරතුරු ප‍්‍රසිද්ධියට පත් නොකිරීමත් ජනතා සැකයට හේතු වනවා.

Coca Cola pollutes Kelani River in Sri Lanka: Cartoon by Dharshana Karunathilake

Coca Cola pollutes Kelani River in Sri Lanka: Cartoon by Dharshana Karunathilake

කි.මී. 145ක් දිග කැලණි ගඟට අයිති ගංගා නිම්න ප‍්‍රදේශය වර්ග කි.මී. 2,292ක්. එය මෙරට වඩාත්ම දූෂිත ජල ප‍්‍රවාහය බව මධ්‍යම පරිසර අධිකාරිය කියනවා.

පිරිපහදු කළ හා නොකළ කර්මාන්ත අපද්‍රව්‍ය, කෘෂිකර්මාන්ත අපද්‍රව්‍ය, ගෘහාශ‍්‍රිත හා නගරාශ‍්‍රිත බැහැර කිරීම් විශාල ප්‍රමාණයක් කැලණි ගඟට එකතු කරනවා. විශේෂයෙන් බතික් හා ලෝහ නිමැවීමේ කර්මාන්ත නිසා කැලණි ගඟ දිනපතා අපවිත‍්‍ර වනවා.

ගංගා පතුළ මුහුදු මට්ටමට වඩා පහත් වීම නිසා මුහුදු ජලයද විටින් විට ගඟ තුළට පැමිණ යම් තාක් දුරට උඩුගං බලා විහිදෙනවා (salt water intrusion). මෙයට හේතුවක් නම් ගං පතුළින් අධික ලෙස වැලි ගොඩ දැමීමයි. කැලණි ගං මෝයට කිමී 14ක් උඩුංගව පිහිටි අඹතලේ ජලාශය දක්වා මුහුදු ජලය ඇදී ආ අවස්ථා තිබෙනවා.

පසුගිය දශක කිහිපය පුරා කර්මාන්තශාලා පිහිටු වන විට පුළුල් සැලැස්මක් යටතේ ඒවා ස්ථානගත කිරීම සිදු වුණේ නැහැ. දියර අපද්‍රව්‍ය යම් පවිත‍්‍ර කිරීමකට (effluent treatment) ලක් කළ හැකි තාක්ෂණය හැම කර්මාන්තශාලාවකටම එක බැගින් ඉදි කිරීම වියදම් අධික කාරියක්. ආයෝජන ප‍්‍රවර්ධන කලාපයන්හි මෙය සීමිත වශයෙන් කරනවා.

එහෙත් කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා රැසකට මේ පහසුකම නැහැ. ඔවුන් හීන් සීරුවේ අවට ඇති කාණුවකට හෝ දිය පාරකට අපද්‍රව්‍ය පිට කරනවා. ඉන්ධන පිරවුම්හල්, මෝටර් කාර්මික ගරාජයන්, ලියවන පට්ටල්, වාත්තු කම්හල් ආදී ස්ථානවලින් ඉවත ලන තෙල් හා අනෙකුත් රසායන ද්‍රව්‍ය ද කාණු ඔස්සේ ගලා ගොස් අවට ජල ධාරාවන්ට එකතු වනවා.

1990 පමණ පටන් මධ්‍යම පරිසර අධිකාරිය කර්මාන්තවලට පරිසර ආරක්ෂණ බලපත‍්‍ර (Environmental Protection License, EPL) නිකුත් කරනවා. ඒ වායු, ද්‍රව හා ඝන අපද්‍රව්‍ය පාලනය කරන්නට නිසි පියවර ගන්නා බවට තහවුරු වූ පසුවයි.

Citizen meme demanding justice for Kelani River after Coca Cola Sri Lanka discharged untreated effluent on 17 and 28 August 2015

Citizen meme demanding justice for Kelani River after Coca Cola Sri Lanka discharged untreated effluent on 17 and 28 August 2015

කොකා-කෝලා සමාගමටත් එබන්දක් තිබුණා. එසේ තිබියදීත් සිදු වූ තෙල්/රසායනික කාන්දුව ‘අත්වැරදීමක්’ බවයි සමාගම කියන්නේ. අගෝස්තු 20 වනදා ක්‍රියාකරිත්වය නතර කළ කොකා-කෝලා කම්හල යළි සැප්තැම්බර් 1 වනදා වැඩ ඇරඹුවේ පරිසර අධිකාරියෙන් කොන්දේසි සහගත අනුමැතියක් ලබා ගෙන බව සමාගම ප්‍රකාශ කරනවා.

කොතරම් ප‍්‍රවේශමින් ක‍්‍රියාත්මක වන කර්මාන්තශාලාවක වුවත් ඉඳහිට වැරදි සිදු විය හැකියි. අනපේක්ෂිත ගැටලූ මතු විය හැකියි. එවන් අවස්ථාවල දිවා රැය නොබලා වහා ක‍්‍රියාත්මක වී හානිය අවම කර ගැනීමට සැලසුමක් (contingency plan) තිබිය යුතුයි.

එසේම හුදු කොකා-කෝලා විරෝධයකට හා බහුජාතික සමාගම් හෙළා දැකීමකට එහා යන පුළුල් ජන ආවේගයකට මේ සිදුවීම අප පෙරළා ගත යුතුයි.

කොකා-කෝලා සිද්ධිය තේමා කරගෙන 2015 සැප්තැම්බර් 5 වැනිදා රාවයට ලිපියක් ලියූ තරිඳු උඩුවරගෙදර කීවේ කොකා-කෝලා සමාගමට එල්ල වන ජන විරෝධයෙන් ඔබ්බට ගොස් සමස්ත කැලණි ගෙඟහි දූෂණය හා එයට දායක වන ලොකු කුඩා ප‍්‍රභවයන් ගැන ද අප දැනුවත් හා සංවේදී විය යුතු බවයි.

මෙයට සමාන්තර අදහසක් ජල සම්පත් පර්යේෂිකාවක් හා ක‍්‍රියාකාරිනියක් වන කුසුම් අතුකෝරල මතු කරනවා. අප හමුවේ තිබෙන්නේ හුදෙක් තනි සමාගමක වරදක් හෝ එක් දූෂණ සිද්ධියක් පමණක් නොවන බවත්, මේ අලුත්ම අර්බුදය සියළුම ප‍්‍රභවයන්ගෙන් ජල සම්පත අපවිත‍්‍රවීම වළක්වා ගැනීමේ වැදගත්කම යළි සිහිපත් කරවන බවත් ඇය කියනවා.

‘‘ගෘහාශ‍්‍රිත අපද්‍රව්‍ය, වැසිකිළි අපද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත අපද්‍රව්‍ය බොහොමයක් ද කිසිදු පවිත‍්‍ර කිරීමකින් තොරව අසල ඇති ජල ධාරාවකට හෝ ජලාශයකට මුදා හැරීම කලෙක පටන් රටේ බොහෝ ප‍්‍රදේශවල කැරෙනවා. මේ ගැන අපි ටික දෙනෙක් හඬ නැගුවත් බොහෝ දෙනකුට එය ප‍්‍රමුඛතාවක් වුණේ නැහැ.’’ ඇය කියනවා.

දැනට මෙරට නිවාසවලින් 45%කට නල ජලය ලැබෙනවා. 2020 වන විට එය 60% දක්වා වැඩි කිරීමට සැලසුම් තිබෙනවා. නල ජලයේ ප්‍රමිතිය සහතික කිරීම ජලසම්පාදන මණ්ඩලයේ වගකීමක්.

නල ජලය නොලබන බහුතරයක් නිවාස පානීය හා වෙනත් ගෙදර දොර අවශ්‍යතා සඳහා වැසි ජලය එකතු කර ගැනීම, මතුපිට ජලය (වැව්, ඇල දොල, ගංගා) හෝ භූගත ජලය මත යැපෙනවා. වැසි ජලය රැස් කිරීමේදී හැර අන් හැම ප‍්‍රභවයකින්ම යම් ජල දූෂක මිශ‍්‍ර විය හැකියි.

උදාහරණයක්: යාපනය දිස්ත‍්‍රික්කයේ චුන්නාකම් ප‍්‍රදේශයේ භූගත ජලය අපවිත‍්‍ර වීම නිසා 18,000කට වැඩි වැසියන් සංඛ්‍යාවක් මාස ගණනක සිට බලවත් හිරිහැරයකට මුහුණ පා සිටිනවා. මේ දූෂණයට චෝදනා ලැබ සිටින්නේ MTD වෝකර්ස් නම් සමාගමට අයත් එහි පිහිටි 30MW ධාරිතාවෙන් යුතු තාප විදුලි බලාගාරයයි.

2009දී ක‍්‍රියාකාරීත්වය ඇරඹූ මේ බලාගාරයෙන් මුදා හරින අපද්‍රව්‍ය තම ළිං ජලය හා භූගත ජල සම්පත දූෂණය කරන බවට එහි වැසියන් නගන චෝදනාව සමාගම ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

තමන් සියලූ පාරිසරික අනුමැතියන් ලබාගෙන නිසි ප‍්‍රමිතීන්ට අනුකූලව ක‍්‍රියාකරන බවත්, අදාළ රාජ්‍ය ආයතනවලට ඕනෑම වෙලාවක පරීක්ෂා කර බැලිය හැකි බවත් බලාගාර සමාගම කියනවා.

12 Feb 2015: Tamil Guardian: Protests continue in Chunnakam over water contamination

School children in Jaffna protesting against Chunnakam water pollution - image from Tamil Guardian

School children in Jaffna protesting against Chunnakam water pollution – image from Tamil Guardian

මෙබඳු චෝදනා ලබන සමාගම්වල ස්ථාවරය තමන් රටේ නීතියට හා ප්‍රමිතීන්ට අනුකූල වන බවයි. බොහෝ සමාගම් ඉන් ඔබ්බට සමාජයීය වගකීමක් භාර ගන්නේ නැහැ.

2013 අගෝස්තුවේ වැලිවේරියේ රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්තශාලාව හා ප‍්‍රදේශවාසීන් අතර හට ගත් මෙබඳුම මතභේදයක් කෙළවර වූයේ පසුගිය රජය හමුදා බලය යොදවා නිර්දය ලෙස ප‍්‍රදේශවාසීන් මර්දනය කිරීමෙන්.

කම්හල් හිමියන් හා රාජ්‍ය ආයතන ගැන මහජන විශ්වාසය පළුදු වී තිබෙනවා. ඔවුන් ඇත්ත කීවත් සැක කරන තරමට විරසකය දුරදිග ගිහින්. හැම ව්‍යාපාරකයාම වංචනික නොවන්නා සේ ම හැම රාජ්‍ය ආයතනයම ධනයට බලයට යට වී රාජකාරි මග හරින්නේ ද නැහැ.

මේ පාර්ශවයන් හා මහජනයා අතර තොරතුරු ගෙන යන ජනමාධ්‍ය හා පරිසරවේදීන්ටද ආවේගශීලී නොවී සංයමයෙන් ගැටලූ විසඳීමට උදව්වීමට වගකීමක් තිබෙනවා.

කර්මාන්තවලට දිරි දීම රටේ නිල ප්‍රතිපත්තිය නිසා වඩාත් සමාජයීය වගකීම් සහගත පිලිවෙතකට ඔවුන් යොමු කර ගත යුතුයි. එසේ නැතිව කර්මාන්ත වැසුවොත් රැකියා අහිමි වන්නේ අපේම ජනතාවටයි. තරුණ බ්ලොග් ලේඛක සෙනෙල් වන්නිආරච්චි කොකා-කෝලා ප්‍රශ්නය පටන් ගත් දිනවලම මෙය පෙන්වා දුන්නා.

Citizen meme courtesy Senel Wanniarachchi, blogger and youth activist

Citizen meme courtesy Senel Wanniarachchi, blogger and youth activist

චුන්නාකම් ජල දූෂනය උතුරේ ජනයාට පමණක් ප්‍රශ්නයක් වෙද්දී කැලණි දූෂනය දකුණේ බොහෝ අයට ආවේගයක් ගෙන දුන්නාග සමාජ ජාලවල විරෝධය මතු වුණා. ඒ ගැන මීම් රූප රැසක් බිහි වුණා.

කොකා-කෝලාවට වඩා දුරදිග යන ප‍්‍රශ්නයක් මෙතැන ඇතැයි මා ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කී විට එම සමාගමට සුදුහුණු ගාන්නට තැත් කරනවා යැයි සමහරුන් මට ද චෝදනා කළා.

සමාගම කැලණි ගඟට අපද්‍රව්‍ය මුදාහැරීමට සමාව අයැද, සම්පූර්ණ හානියට වන්දි ගෙවා දඩයක් ද ගෙවිය යුතුය යන්න මගේ මතයයි. එතැනින් ඔබ්බට කොකා-කෝලා බොන නොබොන එක පෞද්ගලික තේරීමක්. දැනමටත් සංකීර්ණ ප‍්‍රශ්නයක් තවත් ව්‍යාකූල කළ යුතු නැහැ.

Advertisements
Posted in Campaigns, Citizen journalism, citizen media, Communicating disasters, Eco-friendly living, Education for Sustainable Development, Environment, Environmental journalism, News, public interest, Sri Lanka, Sustainable Development, water, youth. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: