සිවුමංසල කොලූගැටයා #234: ජල විදුලි උත්පාදනයේ නොනිමෙන පහන: ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

D J Wimalasurendra (1874 – 1953) was one of the most remarkable engineers in Sri Lanka. Because of his pioneering role in promoting hydro electricity as a source of power for domestic and industrial use, he is known as the ‘Father of Hydro Power in Sri Lanka’.

Trained as a civil and electrical engineer, he made a strong technical and economic case for hydro power in the early 20th Century when the country was totally dependent on imported petroleum for its power generation.

He engaged in a long and often lone struggle – first as a government official, and later as an elected legislator – to see his vision become a reality. His life is a case study in evidence-based policy advocacy by a public intellectual.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 30 August 2015), I explore the first few decades of his life, from birth to 1918. To be continued next week.

D J Wimalasurendra (1874 - 1953) - Father of Hydro Power in Sri Lanka
D J Wimalasurendra (1874 – 1953) – Father of Hydro Power in Sri Lanka

උගතුන් හා වෘත්තිකයන් පාර්ලිමේන්තුවට පත් කර යැවීමේ අගය වෙන කවදාටත් වඩා ලක් සමාජයට දැන් වැටහී ඇති බවක් පෙනෙනවා. එහෙත් 2015 මහ මැතිවරණයේ තරග කළ හැම උගතාම ජය ලැබුවේත් නැහැ.

පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සිට ද උගතුන්ට හා විද්වතුන්ට රටේ ප්‍රතිපත්ති සම්පාදනයට හා ක්‍රියාත්මක කිරීමට දායක විය හැකියි. එයට දැනුම, කැපවීම, එඩිතර බව, උපක්‍රමශීලී වීම මෙන්ම අධිෂ්ඨානශීලී වීම ද ඕනෑ කරනවා. මේ ගතිගුණ මනා ලෙස කැටි කර ගත් දිරිය චරිතයක විස්තර මා හුවා දක්වන්නට කැමතියි.

ඞී. ජේ. විමලසුරේන්ද්‍ර (1874 – 1953) ශ‍්‍රී ලංකාවේ ජලවිදුලි බල උත්පාදනයේ පියා ලෙස අවිවාදයෙන් පිළි ගැනෙනවා. මෙරටින් බිහි වූ විශිෂ්ටතම ඉංජිනේරුවකු වූ ඔහු පිටරටින් ගෙනෙන බලශක්ති ඉන්ධන වෙනුවට අපේම ජල සම්පත යොදා ගෙන පුනර්ජනනීය බලශක්ති විශේෂයක් වන ජල විදුලිය උපදවා ගැනීමට පිළිබඳ පුරෝගාමී අධ්‍යයන කළා.

එතැනින් නොනැවතී එම සංකල්ප ක‍්‍රියාවට නැංවීමට පොළඹවා ගැනීමට උත්සාහ කළා. වෘත්තිකයකු ලෙස ඇරැඹු එම ප‍්‍රයත්නය ඉදිරියට ගෙන යාමට රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු සක‍්‍රීය දේශපාලනයටද පිවිසියා.

රටට වැඩදායක අලූත් දෙයක් කරන්නට තැත් කරන විට අපේ සමාජයේ ගතානුගතිකත්වය එයට හරස් වන සැටිත්, වෘත්තිකයන් පවා බොහෝ විට ඇඟ බේරා ගෙන වැඩ කරනු මිස නවෝත්පාදන කිරීමට උත්සුක නොවන සැටිත් අප දන්නවා. විමලසුරේන්ද්‍රගේ ජීවන චරිතය මෙවන් ප‍්‍රතිරෝධ හා උදාසීනත්වය හමුවේ සැබෑ වෙනසක් කිරීමට අවශ්‍ය අධිෂ්ඨානශීලී බව සංකේතවත් කරනවා.

දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර උපන්නේ 1874 සැප්තැම්බර් 17 වනදා ගාල්ලේදී. ඔහුගේ පෙළපත පරම්පරා ගණනක් තිස්සේ සූක්ෂම ලෝහ කලා ශිල්පයට නම් දරා සිටියා.

ඔහුගේ පියා දොන් ජුවන් දේවපුර විමලසුරේන්ද්‍ර, මුල් ගම වූ දෙවිනුවරින් පළමුව ගාල්ලටත්, ඉන් පසුව කොළඹටත් සංක‍්‍රමණය වුණා. කොළඹදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස රැකියාව කළ ඔහු තම පාරම්පරික ශිල්ප කලා දිගටම කර ගෙන යාමට මරදානේ තමන්ගේම වැඩපොලක් ද ඇරැඹුවා.

1883 – 1890 කාලයේ මෙරට බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ‍්‍රීමත් ආතර් ගෝඞ්න් වරක් විමලසුරේන්ද්‍ර වැඩපොලට පැමිණ ලක් රජයේ එවකට නිල ලාංඡනය රැගත් මුද්‍රාවක් තැනීමට ඇණවුම් කළා. මේ දේශීය ශිල්පියා සියුම් හා අගනා ලෙසින් දියමන්තියෙන් නිම කළ මුද්‍රාව ගැන බෙහෙවින් පැහැදුණු ආණ්ඩුකාරයා ලන්ඩනයට ගිය විටෙක එවකට සිටි වික්ටෝරියා රැජිනට පන්වා තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස බි‍්‍රතාන්‍යයට යාමටත්, එහිදී එරට ලෝහ හා භාණ්ඩ නිපදවන ශිල්පීන්ට ලාංකික ශිල්පක‍්‍රම ඉගැන්වීමටත් විමලසුරේන්ද්‍රගේ පියාට අවස්ථාව ලැබුණා.

19 වන සියවසේ අපේ රටින් බි‍්‍රතාන්‍යයට සිදු කළ මේ දුර්ලභ ගණයේ තාක්ෂණ හුවමාරුව (technology transfer) විමලසුරේන්ද්‍ර පරපුරේ සහජ දක්ෂතා ගැන ඉඟියක් සපයනවා. එවැනි පසුබිමක හැදුණු වැඩුණු දේවපුර ජයසේන තරුණයා ලාබාල වියේ පටන්ම තාක්ෂණික කුසලතාවන්ගෙන් හෙබි, දේශීය දැනුම හා හැකියාව ගැන ආත්ම විශ්වාසය ලද කෙනකු වීම පුදුමයක් නොවෙයි.

විමලසුරේන්ද්‍ර ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ (පසුව ආනන්ද විද්‍යාලය නමින් ප‍්‍රකට වූ) කොළඹ බෞද්ධ ඉංග‍්‍රීසි පාඨශාලාවේ. ඉගෙනුමට හපන් ඔහු ගණිතයට විශේෂ දක්ෂතා පෙන්වුවා.

1893දී ඔහු ලංකා තාක්ෂණික විද්‍යාලය හෙවත් ටෙක්නිකල් කොලීජියට බැඳුණා. එකල උසස් අධ්‍යාපන ආයතන මෙරට තිබුණේ අතලොස්සයි. ඔහු එම කොලීජියෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාවෙන් සුදුසුකම් ලත් මුල්ම ශිෂ්‍යයෙක් වුණා.

උගන්නා අතරම ඔහු කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවේ ආධුනිකයකු ලෙස ප‍්‍රායෝගික අත්දැකීම් ලැබුවා. මෙරට ඉංජිනේරු අධ්‍යාපනය හමාර කළ පසු බි‍්‍රතාන්‍යයේ සිවිල් ඉංජිනේරු ආයතනයේ අනුයුක්ත සාමාජිකත්වයද ලබා ගත්තා (Associate Membership of the Institution of Civil Engineers, AMICE). පසු කලෙක (1912දී) බි‍්‍රතාන්‍යයේ ෆැරඬේ ආයතනයෙන් (Faraday House, UK) විදුලි ඉංජිනේරු විද්‍යාවේ වැඩිදුර පුහුණුවද ලැබුවා.

තරුණ ඉංජිනේරුවකු ලෙස විමලසුරේන්ද්‍ර 1896දී රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට (Public Works Department, PWD) බැඳුණා. 1796දී අරඹන ලද මෙය බි‍්‍රතාන්‍ය පරිපාලනයේ මුලදීම පිහිටවනු ලැබූ, එවකට විශාල වගකීම් සමුදායක් ඉටු කළ ප‍්‍රධාන පෙළේ තාක්ෂණික ආයතනයක්. පාරවල් තැනීම හා නඩත්තුව, පාලම් හා රජයේ ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තුව මෙන්ම රජයේ කර්මාන්ත ශාලාව පරිපාලනයද PWD නමින් ප‍්‍රකට වූ මේ දෙපාර්තමේන්තුව යටතේ සිදු වුණා.

PWD සේවයේදී දිවයිනේ නොයෙක් පළාත්වලට යන්නට හා රටතොට ගැන හොඳ අවබෝධයක් ලබන්නට ඔහුට හැකි වුණා. 1901දී ඔහුට පැවරුණ වගකීමක් වූයේ කැළණි නිම්න ප‍්‍රදේශයේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් කිරීම හා එහි වනාන්තර, ජලය වැනි මානව ප‍්‍රයෝජනයට ගත හැකි සම්පත් ගැන තක්සේරුවක් කිරීමයි.

කැළණි ගඟ දිගින් කි.මී. 145යි (සැතපුම් 90). ලංකාවේ සිවු වන දිගම ගංගාවයි. ශ‍්‍රී පාද කඳු වැටියෙන් ඇරැඹෙන කැළණි ගඟ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ සහ කොළඹ යන දිස්ත‍්‍රික්ක හරහා හෝ මායිමෙන් ගලා ගොස් කොළඹට උතුරින් මුහුදට වැටෙනවා.

එහි ප‍්‍රධාන අතු ගංගා වන්නේ කෙහෙල්ගමු ඔය හා මස්කෙළි ඔයයි. කාසල්රී හා නෝට්න් ජලාශ තනා ඇත්තේ කෙහෙල්ගමු ඔය හරහා වන අතර මස් කෙළි, කැනියොන් හා ලක්ෂපාන ජලාශ මස්කෙළි ඔය හරස් කොට තනා තිබෙනවා.

කැළණි ගංගා නිම්නයේ ගවේෂන කළ විමලසුරේන්ද්‍ර විශේෂ අවධානයක් යොමු කළේ එවකට කිරිවන්එළිය ඇල්ල නම් වූ දියඇල්ලටයි. අඩි 413ක් (මීටර් 126) උසැති මෙය ශ‍්‍රී ලංකාවේ අටවන උසම දිය ඇල්ලයි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මස්කෙළිය ප‍්‍රදේශයේ පිහිටි මෙය හමු වන්නේ මස්කෙළි ඔය හා කෙහෙල්ගමු ඔය එක් වී කැළණි ගඟ බවට පත් වන තැනදී.

මේ දියඇල්ල ඇතුළු උඩරට පිහිටි තවත් දිය ඇලි ගණනාවක් ජලවිදුලිය ජනනය කිරීමට උපකාර කොට ගත හැකි බව විමලසුරේන්ද්‍ර තේරුම් ගත්තා. කඳු මුදුන් සිට කෙමෙන් ගලා හැලෙන දිය කඳන් ඔහු හැඳින්වූයේ ‘සුදුවන් ගල් අඟුරු’ (‘white coal) ලෙසින්.

ශ‍්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත‍්‍රයේ අනාගතය මේ සුනිත්‍ය හෙවත් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවය සමග සමීපව සබැඳෙන බව දුරදක්නා නුවණින් ඔහු වටහා ගත්තා.

ගලා යන ජලයේ ගැබ්ව ඇති චාලක ශක්තිය යොදා ගෙන ‘වතුර රෝද’ කරකවා එයින් යම් වැඩ කර ගැනීම සියවස් ගණනක සිට චීනය ඇතුළු රටවල් ගණනාවක පැවති සම්ප‍්‍රදායක්. එහෙත් විදුලිය පිළිබඳ විද්‍යාත්මක දැනුම මතුව ආයේත්, ගලා හැලෙන ජල කඳකින් විදුලිධාරාවක් නිපදවා ගැනීමේ තාක්ෂණය බිහි වූයේත් 19 වන සියවසේදී.

Generating electricity from flowing water - a simplified diagram
Generating electricity from flowing water – a simplified diagram

මේ වන විට මහා පරිමාණ මෙන්ම මධ්‍යම හා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර දහස් ගණනක් ලොව පුරා තිබෙනවා. අද ලොව සමස්ත විදුලි ජනනයෙන් 16%ක් පමණ උපදවා ගන්නේ ජල විදුලි බලාගාරවලින්.

ශ‍්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය ඇරඹුණේ 1895දී. පෞද්ගලික සමාගමක් කොළඹ නගරයේ වාණිජ වශයෙන් වැදගත් ප‍්‍රදේශවලට විදුලිය සැපයූ මේ සීමිත සේවාව ලබා දුන්නේ කොටුවේ පිහිට වූ ඛනිජ තෙලෙන් වැඩ කළ කුඩා තාප බලාගාරයකින්. 1902දී කොළඹ විදුලිට‍්‍රෑම් රථ හා ආලෝකය සඳහා සමාගමක් (Colombo Electric Tramways and Lighting Company) පිහිටුවා පිටකොටුවේ තාප බලාගාරයක් හරහා විදුලිය ජනනය කරනු ලැබුවා.

මෙරට විදුලි බල ඉතිහාසයේ මුල් දශක කිහිපයේම විදුලිබල සැපයුමක් ලැබුණේ ඉතා සීමිත ප‍්‍රදේශවලට පමණයි. තැන තැන පිහිටුවනු ලැබු කුඩා තාප බලාගාර ඒ අවට රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ස්ථාන හා ඇතැම් නිවාසවලට විදුලිය සැපයුවා. දීපව්‍යාප්ත බෙදා හැරීමේ ජාලයක් හෝ මහා පරිමාණ විදුලි බලාගාර හෝ තිබුණේ නැහැ.

An electric-powered tramcar in Colombo in the early 20th century
An electric-powered tramcar in Colombo in the early 20th century

විමලසුරේන්ද්රයන්ගේ දැක්ම වූයේ පිටරටින් ගෙන එන ඛනිජ තෙල් දහනයක් නොමැතිව, අපේ ජල සම්පත හා කඳුකරයේ බෑවුම් යොදා ගෙන විශාල වශයෙන් ජල විදුලිය නිපදවා රටේ වැඩි ජන පිරිසකට මේ බලශක්තිය ලබා දීමයි. හරහා රටේ ජීවන තත්ත්වය උසස් කරන අතරම කර්මාන්ත නවෝදයක් බිහි වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

1912දී බි‍්‍රතාන්‍යයේ ෆැරඬේ ආයතනයේ වැඩිදුර පුහුණුවෙන් පසු ඔහු තම යෝජනා වඩාත් විස්තරාත්මකව ගොනු කළා. ඒ වසරේම ඔහු ලංකා ඉංජිනේරු ආයතනයට (එවකට Engineering Association of Ceylon, දැන් නම Institution of Engineers Sri Lanka) මේ අදහස ඉදිරිපත් කළත් එහි සාමාජික ඉංජිනේරුවන් අතර එතරම් උනන්දුවක් හට ගත්තේ නැහැ. 1906දී ඇරැඹි ඉංජිනේරු ආයතනය ඒ වන විටත් පැවතියේ ළදරු අවධියේයි.

අධෛර්යය නොවුණු විමලසුරේන්ද්‍ර තම අදහස දිගටම දියුණු කළා. 1913දී නුවරඑළිය නගරයට විදුලිය සැපයීමට නානුඔය හා නුවරඑළිය අතර බ්ලැක්පූල් (Blackpool) නම් ස්ථානයේ කුඩා ජල විදුලි බලාගාරයක් තැනීමට PWD හරහා ඔහු හවුල් වුණා.

ඇතැම් කුඩා දිය පහරවල් හරස් කර ක්ෂුද්‍ර ජල විදුලි බලාගාර තේ වතු සමහරක පිහිටා තිබුනත් මුල් වරට වාණිජ මට්ටමින් ජල විදුලි බලාගාරයක් මෙරට ඉදි කැරුනේ බ්ලැක්පූල්හිදී. ඒ මගින් ජල විදුලි උත්පාදනයේ ශක්‍යතාවය හොඳ හැටි පෙන්නුම් කරනු ලැබුවා.

Laxapana Falls, image courtesy Wikimedia Commons
Laxapana Falls, image courtesy Wikimedia Commons

විමලසුරේන්ද්‍රගේ දැක්ම හා උත්සාහය වෘත්තිමය මට්ටමින් ප‍්‍රසිද්ධියේ අගය කළ අයකු වූයේ එවකට මෙරට සිටි නෙදර්ලන්ත ජාතික ඉංජිනේරුවකු වූ ඉයන් වන් ගීසල් (Ian Van Geyzel). කැළණි ගංගා නිම්නයේ භූවිෂමතා ගැන හොඳ අවබෝධයක් තිබු වන් ගීසල් කිරිවන්එළිය ඇල්ල යොදා ගෙන ජලවිදුලි බලාගාරයක් තැනීමේ විමලසුරේන්ද්‍ර යෝජනාව මහත් උද්‍යොගයෙන් ප‍්‍රවර්ධනය කළා.

මස්කෙළි ඔය හා කෙහෙල්ගමු ඔය හරහා ගලා එන ජලය එකතු කොට ජල විදුලි බලාගාරයක් හරහා යැවුවහොත් ජනනය කර ගත හැකි විදුලියෙන් දළ වශයෙන් විදුලි පහන් ලක්ෂයක් පමණ දැල්විය හැකි වෙතැයි විමලසුරේන්ද්‍ර ගණන් බැලූවා. (මෙය මෙගාවොට් 114.5MWක් පමණ වනවා.) ලක්ෂ-පහන පසුව ලක්ෂපාන ලෙස වඩා කටට හුරු නමක් බවට පත් වුණා.

විමලසුරේන්ද්‍ර යළිත් 1918දී ඉංජිනේරු ආයතනයට වඩාත් විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළා. ‘ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය’ (‘Economics of Hydro Power Utilization in Ceylon‘) නම් වූ එම විද්‍යාත්මක වාර්තාව පළමුවරට මෙරට ප‍්‍රධාන පෙළේ ජලවිදුලි විභවය ඇති ස්ථාන හා ඒවා හරහා විදුලිය ජනනය කිරීමට ගත යුතු පියවර සාකච්ඡා කළා.

එහි සාරාංශයක් මෙසේ දැක්විය හැකියි:

  • මහවැලි ගඟ ජලවිදුලි ජනනයට මෙරට තිබෙන ප‍්‍රධානතම ජල ප‍්‍රභවයයි. කිසිදු ජලාශයක් නොතනා, ගලා යන ගංගා ජලයෙන් පමණක් 95 MW උපදවා ගත හැකියි. එසේ කිරීමට හොඳටම විභවය ඇති ස්ථාන ගණනාවක් ඔහු සිතියම් ගත කළා.
  • මහවැලි ගෙඟ් අතු ගංගාවක් වන කොත්මලේ ඔය හරහා තවත් 47 MW ජනනය කළ හැකියි.
  • කැළණි ගඟ ඇරැඹෙන අබියස ඇති ඇබර්ඞීන් දියඇල්ල යොදා ගෙන 46 MW ජනනය කළ හැකියි.
  • කැළණි ගඟ කිරිවන්එළිය ඇල්ල (දැන් හැඳින්වෙන පරිදි ලක්ෂපාන දියඇල්ල) හා කිතුල්ගල ආසන්නයෙන් තවත් 28 MW ජනනය කළ හැකියි. මෙය සාපේක්ෂව කොළඹට වඩා සමීපයි.

[විමලසුරේන්ද්‍ර 1918දී යොදා ගත් EHP (Effective Horse Power) නමැති අශ්වබල ඒකකය අද භාවිතා කැරෙන මෙගාවොට්වලට පෙරළා ඉහත ගණන් ප‍්‍රකාශ කොට තිබෙනවා.]

විමලසුරේන්ද්‍ර සෙසු ඉංජිනේරුවන්ට කීවේ මෙම ගණන් බැලීම ආරම්භයක් පමණක් බවයි. වේලි හා ජලාශ තනා ජලය රැස් කර ගත් විට මෙයට වඩා විශාල ජලවිදුලි ප‍්‍රමාණයක් ජනනය කිරීමේ ධාරිතාව ලද හැකි බව ඔහු දැන සිටියා.

ජලවිදුලි උත්පාදක ප‍්‍රභවයන් රටේ අගනුවර හා වඩාත් වාණිජමය ප‍්‍රදේශය වන කොළඹ දිස්ත‍්‍රික්කයට දුරින් පිහිටීමට ඔහු විසඳුමක් යෝජනා කළා. එනම් රට පුරා විදුලිය බෙදාහරින ජාතික විදුලිබල සම්පේ‍්‍රෂණ ජාලයක් (national grid) පිහිටුවීමයි.

විමලසුරේන්ද්‍රගේ දැක්ම නිවාසවලට විදුලිය ලබා දීමට පමණක් සීමා වුණේ නැහැ. මෙරට කර්මාන්ත දියුණු කිරීමට විදුලිබලය දරා ගත හැකි මිලට ලබා දීම ඉතා වැදගත් බව ඔහු 1918 වාර්තාවේ අවධාරණය කළා.

‘‘පිටරටින් ගෙනෙන ඛනිජ තෙල් දහනය කොට විදුලිය නිපදවීම දිගු කාලීනව තිරසාර බලශක්ති විසඳුමක් නොවෙයි. (පළමුවන) ලෝක යුද්ධය හමාර වීමත් සමග යුද්ධයට පැටලී සිටි යුරෝපා රටවල් යළිත් ආර්ථික වශයෙන් සක‍්‍රිය වනු ඇති. එවිට ඛනිජ තෙල් හා ගල් අඟුරුවලට ඇති ඉල්ලමු ඉහළ යා හැකියි. ඒවායේ මිල වැඩි වූවොත් ලංකාව වැනි රටවලට විදේශ විනිමය ප‍්‍රශ්න මතු වනවා. අපේ රටේම ජල සම්පතින් විදුලිය නිපදවා ගත හැකි විට මෙසේ විදෙස් බලශක්ති මත මුළුමනින්ම යැපෙන්නේ ඇයි? අප අපේ බලශක්ති ස්වාධීනත්වය (energy independence) ඉලක්ක කර ගෙන සැලසුම් කළ යුතුයි.’’ ඔහු කියා තිබෙනවා.

විදුලි බලය ඇති තරම් ජනනය කරන විට අපේ දුම්රිය පද්ධතියෙන් කොටසක් ධාවනය කිරීමට ද විදුලිය යොදා ගත හැකි බව ඔහු දුරදක්නා නුවණින් යෝජනා කළා.

ඉතිරි කොටස ලබන සතියේ

විමලසුරේන්ද්‍රයන්ගේ 1918 නිබන්ධනය මෙතැනින් කියවන්න: http://elect.mrt.ac.lk/djw_paper.htm

විශේෂ ස්තුතිය: විමලසුරේන්ද්‍ර මුනුපුරු ආචාර්ය නන්දදාස නාරායන

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

2 thoughts on “සිවුමංසල කොලූගැටයා #234: ජල විදුලි උත්පාදනයේ නොනිමෙන පහන: ඞී. ජේ. විමලසුරේන්ද්‍ර”

  1. මෙවැනි උත්තුංග මිනිසුන් විශේෂයෙන් අපේ දරුවන්ට හඳුන්වා දීමේ මාවතකට පාසල් අධ්‍යාපනය මෙහෙයවියයුතු බව නාලකට හැඟෙනවාද ? මෙරට පැවති උදාර චරිත සහ වියතුන් සහ මනුෂ්‍ය සංහතියට විශාල මෙහෙවරක් කළ මිනිසුන් හඳුනා ගැනීමට සැලැස්වීම පාසල් විෂයමාලාවේ මූලික අංගයක් කළහොත් විශාල ආකල්ප වෙනසක් ඇති වෙිවි නොවේදැයි මේ ලිපිය කියවද්දි මට හැඟි ගියා. ඔබේ ලිපිය නිසා පිබිදුන මනසින් ගලා ගිය සිතිවිලි ඇතුව මේ සටහන තිබ්බෙ. ඊ ළඟ කොටස කියවන්නට ආසාවෙන් සිටින තවත් කෙනෙක්මි

  2. Dayabara Nalaka Ayya,liyawilla Wimalasurendrayan gena methek aduwa thibuna his then purawa demme poorna hangumak sithata demin..sthuthi..
    anoo ganan wala mula Pitakotte oyaage parisara teli sansadaye 0001 labaadi sobaadamwediyek wenna ura dunnatath apamana thithi.
    dasaka dekakata aasanna sirilaka soba diwiyen adu wuna kaansiya obage lipi pelin mekee giye sahurdayekuge hamuwakadi denena niramisa sathutada musukaramin,,,,
    diirgaayu wewaa

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: