Sri Lanka’s mainstream media – especially in the Sinhala language (and perhaps in Tamil too?) – lacks sensitivity and restraint when reporting and/or commenting on incidents of violence – covering suicide, homicide, rape and child abuse – as well as on topics like mental illness and HIV/AIDS.
This is my cumulative impression having closely watched different print and broadcast media outlets for over a quarter century. It is good that some younger professionals recognise the need to improve in this respect – to correct the ways of industry seniors who have set bad precedents for long.
I was thus happy to speak at a recent public forum on sensitive media reporting, organised by Sri Lanka Young Journalists Association and held in Colombo on 9 June 2015. In my remarks, I tried to understand why large sections of Lankan media so lacks sensitivity, respect for privacy and respect for societal diversity. This is a complex sociological situation that I cannot fully explain, but among the reasons I cited are: cultural orthodoxy, gender insensitivity, heightened competition among media groups for market share; and an overall lack of professionalism.
I sum up my remarks, and some discussion points, in this week’s Ravaya column (published on 28 June 2015).

තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය ජුනි 9 වැනිදා කොළඹදී සංවිධානය කළ මහජන සංවාදයේ තේමාව වූයේ ‘සංවේදී සිදුවීම් වාර්තාකරණය’යි.
උතුරේ පුණ්ඩතිවුහි ලිංගික අපරාධයට ලක්වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය එම සිදුවීම තරම්ම කම්පනයක් ඇති කිරීමට සමත් වුණා.
ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? දැනට අප අසන දකින භාවප‍්‍රකෝපකාරී හා සංත‍්‍රාසය දනවන පුවත් හා රූප වඩාත් සංවේදී තලයකට ගෙන යා හැකිද? එසේ කිරීමේදී මාධ්‍ය නිදහසට හානි නොකර, මාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රායෝගික සාධක ද සැලකිල්ලට ගෙන ආචාරධර්මීය රාමුවක් සකසා ගන්නේ කෙසේද?
මෙවැනි හරවත් ප‍්‍රශ්න පැය තුනක් පුරා එදින සාකච්ඡා වුණා. එහිදී මා පළ කළ අදහස් කිහිපයකුත් සංවාදයට ලක් වූ අදහසුත් බෙදාගැනීම මේ කොලමේ අරමුණයි.
සිදුවීම් ලෙස මතු වන්නේ සමාජය තුළ පවතින කැකෑරෙන හා කැළඹෙන ප‍්‍රවණතායි. හරවත් මාධ්‍යකරණය යනු එදිනෙදා සිදුවීම් සමබරව හා සංවරව වාර්තා කරනවාට අමතරව ඒ සිදුවීම්වලට තුඩු දෙන සමාජ සාධක හා ප‍්‍රවණතාද හඳුනා ගෙන විග‍්‍රහ කිරීමයි. මේ දෙවැනි වගකීම ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට පර්යේෂකයන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ මගපෙන්වීම හා උදව් අවශ්‍යයි.
එහෙත් ප‍්‍රවණතා හෝ සමාජ විද්‍යාත්මක හේතු සාධක සොයා යනවා වෙනුවට සිදුවීම් උවමනාවට වඩා සරල ලෙසින්, මතුපිටින් හා සමාජ අවස්ථාවලදී විකට ලෙසින් මාධ්‍ය වාර්තා කරනු අප දකිනවා.
විද්‍යුත් මාධ්‍යවේදියෙක් වරක් මට කීවේ ‘මේ තමයි අපේ මාධ්‍යයේ හැටි. විනාඩියෙන් දෙකෙන් ඕනෑම ස්ටෝරි එකක් අපි හසු කර ගත යුතුයි. පත්තර විශේෂාංග ලිපි නැතිනම් විශ්වවිද්‍යාල නිබන්ධ අපේ මාධ්‍යවල කරන්න බැහැ.’
රේඩියෝ හා ටෙලිවිෂන් ආවරණයේදී සීමිත ගුවන් කාලය අභියෝගයක් බව ඇත්තයි. එහෙත් එය කලබල හා අසංවේදී වාර්තාකරණයට හේතුවක් නොවෙයි. අතිශය සංකීර්ණ සමාජ ප‍්‍රශ්න කෙටියෙන් හා හරබරව වාර්තා කරන ආසියානු හා ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතන තිබෙනවා. එනිසා මෙතැන ඇත්තේ මාධ්‍යයේ සීමාවක් නොව අපේ ඇත්තන්ගේ ආකල්පමය හා ශිල්ප හැකියාවන්ගේ සීමාවන්.

අතිශයින් කනගාටුදායක හා සංවේදී සිදුවීමක් නම් සියදිවි නසා ගැනීමයි. 1990 දශකය වන විට ජනගහනයට සමානුපාතිකව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව සිටියා. 1996න් ඇරැඹී ප‍්‍රතිපත්ති මට්ටමින් ගත් යම් පියවර නිසා මේ ප‍්‍රවණතාව දැන් තරමකට සමනය වී තිබෙනවා. (එය වෙනම විග‍්‍රහ කළ යුතුයි.)
සියදිවි හානි කර ගැනීම ජීවන ගමනක ඛේදජනක අවසානයයි. ඒ හැම එකකටම පසුබිම් වන සිදුවීම් මාලාවක් තිබෙනවා. අපේ සමහර මාධ්‍ය එවන් ඛේදවාචකයක තෝරා ගත් පැතිකඩ පමණක් තලූ මරමින් රස කරමින් වාර්තා කරනවා. ඒ මදිවාට කාටුන් ආකාරයේ රූප පවා අඳිනවා.
සියදිවි හානිකර ගැනීම් ආවරණයේදී සංවේදී විය යුතු සාධක ගැන දශකයකට වැඩි කලෙක පටන් මාධ්‍ය පුහුණු වැඩමුළු හා දැනුවත් කිරීම් කොට තිබෙනවා. උදාහරණයට භාවිත කළ ක‍්‍රමය විස්තර නොකරන්නට හා අදාළ පුද්ගලයාගේ හා පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට වග බලා ගත යුතුයි.
එහෙත් අපේ රටේ ප‍්‍රවෘත්තියැ’යි කියා පෙන්වන සමහර ටෙලිවිෂන් නාටකත්, සමහර පුවත්පත් වාර්තාත් මේ සංවරය පවත්වා ගන්නේ නැහැ. ඔවුන් දුකට පත් අයගේ කදුළු හා ලේ සොයමින් රට වටා යනවාග සිදුවීම වන විට හරියට එතැන සිටියාක් මෙන් විස්තර වාර්තා කරනවා.
අපේ සංවාදයේදී මතු වූ එක් උදාහරණයක් නම් එක්තරා ටෙලිවිෂන් නාලිකාවක් විස සහිත කනේරු ඇට ගැන සමීප රූප පෙන්වමින්, පෙර තරම් මේවා දිවි හානියට දැන් දැන් යොදා නොගන්නේ මන්දැයි වාර්තා කිරීමයි! සිංහල පුවත්පත් බොහොමයක් දිවි හානි කර ගැනීම් වාර්තා කරන්නෙ ද සුචරිතවාදී හෝ විකට ලෙසින්.
සමාජ විද්‍යා, මානව විද්‍යා, මනෝවිද්‍යා කෝණවලින් සීරුවෙන් විග‍්‍රහ කොට ග‍්‍රහණය කර ගත යුතු දිවි හානි කරගැනීම් අපේ මාධ්‍ය සරල හා සිල්ලර ලෙසින් විග‍්‍රහ කරනවා. එහිදී බොහෝ වාර්තාකරුවන්ට (හා ඒ ගැන කතුවැකි ලියන අයට) ඉක්මනින් සොයා ගත හැකි ‘දුෂ්ටයකු’ අවශ්‍යයි. මෙකී ‘දුෂ්ටයා’ පවත්නා රජය, වෙළෙඳපොළ ආර්ථිකය, නව තාක්ෂණයක් (ජංගම දුරකතන, ඉන්ටර්නෙට්) හෝ පුද්ගලයකු විය හැකියි.
සංකීර්ණ ප‍්‍රශ්නයක් මෙසේ සිල්ලරට ලඝු කිරීම හරහා ද අපේ මාධ්‍යකරණය සමස්ත සමාජය ගැන අසංවේදී වනවා.

එසේම තමන් හුවා දක්වන ‘දුෂ්ටයන්ට’ ඉක්මන් විසඳුම් සමහර මාධ්‍ය යෝජනා කරනවා. සංවාදයේදී සමාජ විද්‍යාඥ ආචාර්ය හරිනි අමරසූරිය කීවේ: ‘‘දුෂ්ටයා පුද්ගලයකු නම් ගල් ගසා මරන්න, මරණීය දණ්ඩනය නියම කරන්න, නැතිනම් අධිකරණ ක‍්‍රමයට පරිබාහිරව දඬුවම් කරන්න සමාජයේ ඇතැම් අය යෝජනා කරන විට මාධ්‍ය ඒවා උලූප්පා දක්වනවා. සමස්ත අපරාධවලට අපේ සමාජයේ හා බහුතරයක් මාධ්‍යවල ප‍්‍රතිචාරය ඉතා බියජනකයි. සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලට අතිශය සරල විග‍්‍රහයන් හා ඉක්මන් විසඳුම් යෝජනා කිරීම ද මාධ්‍යයේ වගකීම වන්නේ?’’
මාධ්‍ය මෙන්ම සමස්ත ලක් සමාජයද අසංවේදී වන තවත් අවස්ථාවක් නම් මානසික සෞඛ්‍යයයි.
මානසික රෝගාබාධ ඕනෑම මානව සමාජයක 10%ක් පමණ හමු වනවා. අපේ වැනි ප‍්‍රචණ්ඩත්වය ඉහළ, පශ්චාත් යුද සමාජයක මෙය 20%ක් හෝ ඊටත් වැඩිවිය හැකියි.
මානසික රෝගා බාධ විවිධාකාරයි. ඒවා සියල්ල එක ගොඩට නොදැමිය යුතු බවත්, ඒ කිසිවක් කරුමයක් හෝ පාපයක් නොව මොළයේ රසායනික අසමතුලිතතාවකින් හටගන්නා තත්ත්වයන් බවත් මනෝ විද්‍යාඥයන් කියනවා. එසේම නිසි ප‍්‍රතිකාර (උපදේශන, බෙහෙත් හෝ රෝහල් ගත වීම) හරහා මේ රෝග සමනය කිරීමට හෝ සුවපත් කිරීමට හැකියි. ඕනෑම කෙනකුට හටගත හැකි මේ රෝග තත්ත්වයන් යමකු කොන් කිරීමට හෝ හංවඩු ගැසීමට (stigma) හේතුවක් නොවෙයි.
ගතානුගතික ලක් සමාජය මානසික රෝගවලට සංවේදී හෝ සානුකම්පිත නැහැ. ඔවුන් පිස්සන් ලෙස කොන් කිරීම තවමත් සිදු වනවා. සමහර මාධ්‍ය (විශේෂයෙන් ටෙලිනාට්‍ය හා විකට වැඩසටහන් හරහා) මේ අසංවේදීත්වය තවත් ප‍්‍රබල කරනවා.
අංගොඩ පිහිටි මානසික රෝග පිළිබඳ ජාතික රෝහලට ගොස් එහි අධ්‍යක්ෂවරයා හා සෙසු වෛද්‍යවරුන් හමු වන්නටත්, ඔවුන් මුහුණ දෙන යථාර්ථය දැන ගන්නටත් මීට දෙවසරකට පමණ පෙර මට අවස්ථාවක් ලැබුණා. ඒ මානසික සෞඛ්‍ය ගැන සානුකම්පිත බැල්මක් හෙලන අසාමාන්‍ය ගණයේ සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් වන ‘පේ‍්‍රමය නම්…’ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු විටදී, (2014 අගදී නිමා වූ මෙය තවමත් මහජන ප‍්‍රදර්ශනයට පැමිණ නැහැ.)
මනෝ වෛද්‍ය විද්‍යාව හා ප‍්‍රතිකාර ක‍්‍රම මෑත දශකවල බෙහෙවින් දියුණු වී තිබෙන බව මා එදා වැඩමුලුවේදී දැන ගත්තා. රෝහල්ගත වී ප‍්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ මානසික රෝග හට ගත් ටික දෙනකුට පමණයි. බහුතරයක් දෙනාට උපදේශනය, මානසික සහනය හා (වෛද්‍ය අධීක්ෂණය යටතේ) බෙහෙත් ගැනීමෙන් තත්ත්වය පාලනය කර ගන්නට හෝ සුවය ලබන්නට හෝ හැකියි.
මේ මූලික තොරතුරු පවා නොදන්නා හෝ නොතකා සිටින මාධ්‍ය එමට තිබෙනවා. පුළුල් සමාජ ප‍්‍රශ්නයක විසඳුම් සෙවීමට දායක වනු වෙනුවට එය තවත් උග‍්‍ර කරන්නටත්, එයින් ‘චීප් ත‍්‍රිල්’ගැනීමටත් අසංවේදී මාධ්‍ය ආවරණය දායක වනවා.

සියදිවි හානිකර ගැනීම්, මානසික සෞඛ්‍යය මෙන්ම HIV/AIDS ගැනත් අපේ මාධ්‍ය වාර්තාකරණය පවතින්නේ නොදියුණු මට්ටමකයි.
විටින් විට HIV/AIDS මෙරට තත්ත්වය ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශය පවත්වන වැඩමුළුවලදී අසන එක් ප‍්‍රශ්නයක් නම්: ‘දැන් අපේ ස්කෝර් එක කීයද?’
මේ විමසන්නේ HIV ආසාදනයේ උච්ච අදියර වන AIDS නිසා මිය ගිය සංඛ්‍යාව ගැනයි. හරියට ක‍්‍රීඩා තරගයක ලකුණු අසනවා වගේ. මෙය උපුටා දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය කීවේ සමස්ත සමාජයේ සංවේදී බව මෙවන් මාධ්‍ය ආකල්ප හා වාර්තාකරණය හරහා මරා දැමෙන බවයි.
HIV ආසාදිතයන් ගැන නිර්දය වූත්, අනුකම්පා විරහිතවූත් ආකල්ප මෙරට මාධ්‍යවේදීන් මෙන්ම සෙසු සමාජයේත් බහුලයි. එයට එක් හේතුවක් නම් HIV ආසාදනය හුදෙක් ලිහිල් හා අනාරක්ෂිත ලිංගික චර්යාවලින් සිදු වන බවට ඔවුන් විශ්වාස කිරීමයි. නැතිනම් අනෙක් ආසාදන ක‍්‍රම (එන්නත් ඉඳිකටු යළි භාවිතය, ආසාදිත රුධිරය ඒ බව නොදැන පාරවිලයනය කිරීම, ආසාදිත මවකගෙන් ඇතැම්විට උපදින දරුවාට සම්පේ‍්‍රෂණය වීම) ඔවුන් නොතකා හරිනවා. හේතුව, සුචරිතවාදී ප‍්‍රහාර එල්ල කළ හැක්කේ ලිංගික සාධකය පදනම් කර ගෙන පමණක් නිසා විය යුතුයි.
HIV ආසාදිතයන් හැකි තාක් හඳුනාගෙන, ඔවුන් සිය පුවත්පතින් නම් කර සමාජ නින්දාවට ලක් කළ යුතුයැ’යි නිතර කී සිංහල පුවත්පත් කතුවරයකු මීට දශකයකට හමාරකට පෙර සිටියා. මෙබඳු ආන්තික ස්ථාවරයන් දැන් මඳක් වෙනස් වී ඇතත්, තවමත් HIV/AIDS වාර්තාකරණය බොහෝ මාධ්‍ය කරන්නනේ සංවේදීව හෝ සානුකම්පිතව නොවෙයි.
HIV ආසාදිතයන් වැළඳගන්නා නේපාලය නමින් මීට කලකට පෙර මා කොලමක් ලිව්වා (2011 දෙසැම්බර් 11දා රාවය:) කුමන හෝ ආකාරයකින් HIV ශරීර ගත වී, දැන් බෙහෙත්වල උපකාරයෙන් ජීවත් වන දිරිය ගැහැනුන් හා මිනිසුන් හෙළා දකිනු වෙනුවට ඔවුන් සමාජ ආශ‍්‍රයට ගන්නට හා ඔවුන්ට උපකාර වන්න නාගරික හා ග‍්‍රාමීය නේපාල ජාතිකයන් පටන් ගත්තේ මීට දශකයකටත් පෙරයි. මෙය දැන් එරට මාධ්‍ය වාර්තාකරණයේ ද දැකිය හැකියි. ලක් සමාජය හා මාධ්‍ය කවදා එතැනට පැමිණේද?

ජුනි 9 වැනිදා සංවාදයෙන් මතු වූ මූලික කරුණු කිහිපයක් තිබෙනවා.
මාධ්‍යවේදීන් සුචරිතවාදීන් වීම හරිද? මෙයට නම් කිසිදු පිළිගත හැකි හේතුවක් මා දන්නේ නැහැ. පුද්ගල නිදහස ගරු කරන නූතන සමාජයේ නීතියට ඔබ්බෙන් යන සුචරිතවාදයක් කිසිවකු මත බලෙන් පැටවිය නොහැකියි.
හැම අසංවේදී වාර්තාකරණයක්ම තනිකර මාධ්‍යවල වරදක්ද? නැතිනම් අසංවේදී ජන සමාජයේ පිළිබිඹුවක්ද? මේවා පුළුල්ව විවාදයට ලක් විය යුතුයි.
මාධ්‍ය කළ යුත්තේ කුහක හා ගතානුගතික සමාජයේ ආකල්ප එලෙසින්ම (කැඩපතක් මෙන්) හසු කර ගැනීම පමණක්ද? නැතිනම් සංවේදී හා දැනුවත් මාධ්‍යවලට සමාජයේ පෙරගමන්කරුවන් වීමට හැකිද? එසේ විය හැකි නම් එය ඉතා අගෙයි. එසේ බැරි නම් අඩුම තරමින් ඇවිලෙන සමාජ ගිනි ජාලාවලට තවත් පිදුරු නොදමා පසෙකට වන්නයැ’යි මා එදා විවෘත ඉල්ලීමක් කළා.
ස්වයං ඇගයීමකින් පසු හෝ සෙසු සමාජයේ බලපෑම නිසා හෝ අපේ රටේ මාධ්‍ය තමන්ගේ ශෛලිය හා ප‍්‍රමුඛතා වෙස් කර ගත් අවස්ථා ද තිබෙනවා.
කලකට ඉහත පුවත්පත් මහත් ඕනෑකමින් රස කරමින් වාර්තා කළ දෙයක් වූයේ උසාවිවල දිග හැරෙන දික්කසාද නඩුයි. එහෙත් අද එබන්දක් කෙරෙන්නේම නැති තරම්. ඇත්තටම ඒ පුද්ගලික කථාවල කිසිදු මහජන වැදගත්කමක් නැහැ.
එසේම මීට දශකයකට පමණ පෙර වන තුරු ආබාධිතයන් හඳුන්වනු ලැබුවේ කොරා, අන්ධයා, බීරා, අංගවිකලයා ආදී යෙදුම්වලින්. එහෙත් මේ වන විට සමාජයත්, මාධ්‍යයත් ඊට වඩා සංවේදී හා සානුකම්පිත යෙදුම් භාවිත කරනවා. කලක් තිස්සේ සමාජ ක්‍රියාකරිකයන් ගෙන ගිය දැනුවත් කිරීම් මේ වෙනස ඇති කළා.
මෙයින් පෙනෙන්නේ ඕනෑකම තිබේ නම් අප කාටත් දැනට වඩා සංවේදී විය හැකි බවයි. අපේ මාධ්‍යකරුවන්ට අද තිබෙන තේරීම නම් තමන් සෙසු සමාජයට ඉදිරියෙන් යනවා ද නැතිනම් ශිෂ්ටත්වයට යන සමාජ පරිනාමීය ගමනේ අන්තිමයා වනවා ද යන්නයි.

ඡායරූප: තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය
වාර්තාකරණයේ සංයමයක් ණැතුවා වගේම වාර්තා ගැන පසු විපරමකුත් (follow up) නෑ!
//එයට එක් හේතුවක් නම් HIV ආසාදනය හුදෙක් ලිහිල් හා අනාරක්ෂිත ලිංගික චර්යාවලින් සිදු වන බවට ඔවුන් විශ්වාස කිරීමයි.
I have heard that most females in SL have infected HIV from their husbands? is it true? :)
great article. http://nelumyaya.com/?p=3418