සිවුමංසල කොලූගැටයා #222: ඉන්දියානු සාගරයේ වාර්ෂික රිද්මය – මෝසම් සුළං

Not quite singing in the rain - but welcoming it all the same!

Not quite singing in the rain – but welcoming it all the same!

Every year in May, over a billion and a half South Asians join a waiting and guessing game for the mighty rain-carrying oceanic winds, one of the great forces of nature on this planet. Few things – human or natural – evoke such anxiety and anticipation of the South Asian Summer Monsoon, also known as Southwest Monsoon.

The rains that the summer monsoon brings are literally life giving for most parts of South Asia – for drinking, farming, industry and power generation.

An ample monsoon that arrives on time boosts harvests, drives production and generates wealth across South Asia where large numbers are still engaged in farming. A delayed or failed monsoon, on the other hand, causes much concern for governments and communities. Former Finance Minister (now President) Pranab Mukherjee acknowledged this power when he described the monsoon as the country’s “real finance minister”.

The big question – and growing worry – is whether human induced climate change is affecting the Indian Ocean monsoons…and how.

In this week’s Ravaya column (published on 7 June 2015) I explore our close historical and cultural nexus with the Monsoon.

Southwest Monsoon paths and average start dates

Southwest Monsoon paths and average start dates

සොබාදහම් රටාවක් ලෙස නිරිතදිග මෝසම් සුළං (Monsoons) ගෙන එන වැසි ඇරඹෙන්නේ හැම වසරකම මැයි අගදී හෝ ජුනි මුලදී. අප රට තෙත් කලාපයට හා අතරමැදි කලාපයට වැඩිපුරම වර්ෂාපතනය ලැබෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා හමන මේ මෝසම් සුළං හරහායි.

වැසි ගෙනෙන මේ සුළං අපට පමණක් නොවෙයි, සමස්ත දකුණු ආසියාවේ සිටින බිලියන එක හමාරක පමණ ජනයාට බෙහෙවින් වැදගත්.

මෝසම් කියන වචනය බිඳී ඇත්තේ මොසිම් (Mausim) නමැති අරාබි වචනයෙන්. එහි තේරුම නිසි කලට හමන සුළං යන්නයි.

මෝසම් සුළං ලෝකයේ සාගර ආශ‍්‍රිතව සිදුවනවා. උතුරු ඕස්ටේ‍්‍රලියාවට, අප‍්‍රිකාවේ ඇතැම් පෙදෙස් හා දකුණු ඇමරිකාවේ සමහර රටවලට මෝසම් සුළං වැසි ගෙන එනවා.

එහෙත් මෝසම් වඩාත්ම ප‍්‍රබලව බලපාන්නේ දකුණු ආසියාවටයි. එනම් ඉන්දියානු අර්ධද්වීපය හා අවට රටවලටයි. හේතුව එක් පසෙකින් අරාබි මුහුදත් අනෙක් පසින් බෙංගාල බොක්කත් පිහිටීම.

වසරේ මාස හයක් ඉන්දියානු සාගරයේ සුළං නිරිතදිග සිට ඊසාන දිගට හමනවා. ඉතිරි මාස හයේදී සුළං හමන දිශාව ප‍්‍රතිවිරුද්ධ ලෙසට මාරු වනවා. මේ නිසා හැම වසරකම මෝසම් සුළං දෙකක් හට ගත්තත්, වඩාත් වැසි රැගෙන එන්නේ නිරිතදිග මෝසම් ලෙස හඳුන්වන, වසරේ මැද මාසවල සිදු වන සුළං හැමීමයි.

මෙයට තුඩු දෙන ස්වාභාවික සිද්ධි දාමයක් තිබෙනවා. සරලව කිවහොත් උතුරු අර්ධගෝල වසන්තයත් සමග අපේ‍්‍රල් මස සිට උතුරු ඉන්දියාවේ හා හිමාලය ප‍්‍රදේශයේ භූමිය උණුසුමෙන් වැඩි වන්නට පටන් ගන්නවා. එමගින් වායුගෝලයේ අඩු පීඩනයක් ඇති කරනවා. එයට දකුණින් සමකය අවට ඉන්දියානු සාගරයට ඉහළින් වාතය ඊට වඩා සිසිල්. ඒ ප‍්‍රදේශවල වායු පීඩනය වැඩියි.

මේ පීඩන වෙනස නිසා සාගර ප‍්‍රදේශවල සිට භූමි ප‍්‍රදේශ වෙතට සුළං හමන්නට පටන් ගන්නවාග ඒ සුළං සමග සාගරයෙන් උකහා ගත් තෙතමනය සහිත ජලවාෂ්ප ද ඇදී එනවා. මැයි මස අගදී මාලදිවයින හා ශ‍්‍රී ලංකාවට ළඟා වන නිරිතදිග මෝසම් සුළං ජුනි මුලදී දකුණු ඉන්දියාවේ කේරළය හා තමිල්නාඩුව දෙසින් ඉන්දියාවට පිවිසෙනවා. ඉනික්බිති සති කිහිපයක් මුළුල්ලේ මෝසම් සුළං පෙරමුණ ටිකෙන් ටික උතුරට ගමන් කරනවා. උතුරු ඉන්දියානු ප‍්‍රාන්ත හා නේපාලය, භූතානය යන රටවලට වැසි ලැබීම ඇරඹෙන්නේ ජුනි අග පමණ වන විටයි.

දකුණු ආසියාවේ අප සැමට පානයට, ගෙදරදොර භාවිතයට, ගොවිතැනට, විදුලිබල ජනනයට හා වෙනත් කර්මාන්තවලට වැසි ජලය ගෙනැවිත් දෙන මෝසම් සුළං අපේ පණ නල ගැට ගසන ජීව ප‍්‍රවාහය යයි කීම නිවැරදියි.

ඉන්දියානු පරිසරවේදී හා පත‍්‍ර කලාවේදී අනිල් අගර්වාල් (1947-2002) වරක් මෙසේ කීවා. ‘‘මෝසම් සුළං හා වැසි අපට පෙන්වා දෙන්නේ සොබාදහම කෙතරම් සියුම් ලෙසින් ක‍්‍රියා කරනවාද යන්නයි. ජල වාෂ්ප ටොන් මිලියන් 40,000ක් සාගරවලට ඉහළින් සැතපුම් දහස් ගණනක් දුර සුළං මගින් රැගෙන විත් එය විශාල භූමි ප‍්‍රදේශයක් මත වර්ෂාව ලෙස ක‍්‍රමානුකූලව පතිත කරන්නට තුඩු දෙන්නේ උෂ්ණත්වයේ කුඩා වෙනසක් පමණයි. මේ සංකීර්ණ වූත් සියුම් වූත් සොබාදහම් පද්ධති අප හරිහැටි තේරුම් නොගැනීම බොහෝ පාරිසරික අර්බුදවලට මුල් වනවා.’’

ලෝකයේ ඇතැම් රටවලට ජල ප‍්‍රභව ලෙස (වර්ෂාවට අමතරව) ග්ලැසියර හා හිම පතිත වූ කඳු ආදිය ද තිබෙනවා. ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය හා භූතානය එයට උදාහරණ. එහෙත් ශ‍්‍රී ලංකාවට එබඳු ජල සංචිත නැහැ. අපේ දිවයින මතුපිට ගලා යන මෙන්ම භූගත ජලය ලෙස කිඳා බැස ඇත්තේ ද වර්ෂාවෙන් ලැබෙන ජලයයි.

අපට වර්ෂාව ලැබෙන ප‍්‍රධානතම ක‍්‍රමය නම් නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළං. කිලෝමීටර් දහස් ගණනක් පුරා ඉන්දියානු සාගරයට ඉහළින් හමා එන මේ සුළං දේශීය නොව විදේශීය සම්භවයක් සහිත ඒවායි. මේවාට සාපේක්ෂව අන්තර්-මෝසම් කාලවලට හට ගන්නා සංවහන වර්ෂා (Convectional rainfall) හරහා ලැබෙන වර්ෂාපතනය සීමිතයි.

විදේශීය බලවේග අපේ දිවයිනට බලපෑම් කරනවා යයි කෑ මොර දෙන කුමන්ත‍්‍රණවාදීන් නොදන්නා හෝ නොදකින යථාර්ථය මෙයයි. ඉතිහාසය පුරා අපේ රටේ භූමිය, තුරුලතා හා ජනජීවිතයට ප‍්‍රබලතම බලපෑමක් කළ හා කරන ‘විදෙස් බලවේගය’ නම් මෝසම් සුළං දෙකයි.

ඉන්දියානු සාගරයේ වෙළෙඳාම, දේශ ගවේශනය, නාවුක යුද්ධ චාරිකා ආදී විවිධ මානව ක‍්‍රියාකාරකම්වලට මෝසම් සුළං හමන කාල රටාව හා දිශාවන් ඍජුවම බලපෑම් කළා.

Empires of the Monsoon by Richard Hall

Empires of the Monsoon by Richard Hall

2008දී ප‍්‍රකාශිත ඓතිහාසික පාරිසරික විද්‍යා පර්යේෂණයකට අනුව පුරාණ චීනයේ දිගු කලක් පැවති රාජ වංශයන් හා රාජධානි අඩපණ වී බිඳ වැටීමට එක දිගට දුර්වල මෝසම් වැසි ලැබීම හේතු වූවා යයි අනුමාන කැරෙනවා. (ඓතිහාසික වර්ෂාපතනයේ අඩු-වැඞී වීම හිරිටැඹ stalagmite රසායනික විශ්ලේෂණයෙන් සොයාගත හැකියි.) වැසි අඩු වසරවල සහල් ඵලදාව අඩුවීම නිසා සාගතයක් ඇතිවීමත්, ඒ හරහා රජුන්ගේ බල පරාක‍්‍රමය හීන වී යාමත් යළි යළිත් සිදුව තිබෙනවා.

මෝසම් වර්ෂා ලේඛකයන් කුතුහලයටත් මවිතයටත් පත් කළා. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සිට රුඞ්යාඞ් කිප්ලිං දක්වා පෙර අපර දෙදිග ලේඛකයන් රැසක් මෝසම් නම් මහා ප‍්‍රපංචයෙන් ප‍්‍රබෝධක ආවේගය ලබා ගෙන තිබෙනවා.

ඉන්දියානු සාගරයේ ඉතිහාසය (Empires of the Monsoon: A History of the Indian Ocean and Its Invaders) නම් ගවේශනාත්මක කෘතිය 1991දී ලියූ බි‍්‍රතාන්‍ය පත‍්‍ර කලාවේදී හා ඉතිහාසඥ රිචඞ් හෝල් නියන්නේ ‘‘ඉතිහාසයේ බොහෝ කලක් පුරා

එදිනෙදා ජන ජීවිතයට වැඩි බලපෑමක් එල්ල කළේ රාජ්‍ය පාලකයන් නොව සොබාදහමේ රිද්මයයි. ඉන්දියානු සාගරය අවට ජනයාගේ ජීවිත රාජ – ආධිරාජයන්ට වඩා මෝසම් වැසි රටාවලින් පාලනය කැරුණා.’’

Monsoon by Robert D Kaplan

Monsoon by Robert D Kaplan

වඩා මෑතකදී ඉන්දියන් සාගරය හා ඇමරිකානු බල පරාක‍්‍රමය ගැන ‘මෝසම්’ (Monsoon: The Indian Ocean and the Future of American Power, 2010) නමින් පොතක් ලියූ ඇමරිකානු ලේඛක රොබට් ඞී. කප්ලාන් මෝසම් වර්ෂා හැඳින් වූයේ සොබාදහමේ බලපරාක‍්‍රමය සියුම්ව එහෙත් නොවරදින ලෙස ප‍්‍රකාශ වීමක් ලෙසයි. පරිසරයත් සමග තව දුරටත් අනුගත නොවී ජනාකීර්ණ හා අසමතුලිත සමාජයන් ගොඩ නගන ඉන්දියානු සාගර රටවල ජනයා ලොකු අවදානමකට මුහුණ දෙන බව ඔහු කියනවා.

1987දී ඕස්ටේ‍්‍රලියානු ජාතික දේශාටන ලේඛක ඇලෙක්සැන්ඩර් ෆ්‍රෙටර් (Alexander Frater) නිරිතදිග මෝසම ඉන්දියාව හරහා උතුරට ඇදෙන විට ඒ සමග ගොඩබිමින් ගමන් කළා. කේරල වෙරළින් පටන්ගෙන කොඩින්, ගෝව, බෝම්බාය, කල්කටාව හරහා ඔහු ගිය සංචාරය හමාර වූයේ ලෝකයේ වැඩිපුරම වර්ෂාපතනය ලබන ස්ථානය යයි පිළිගැනෙන මෙගාලය ප‍්‍රාන්තයේ චෙරාපුංජි (Cherrapunji) නගරයෙන්.

Chasing the Monsoon by Alexander Frater

Chasing the Monsoon by Alexander Frater

ජනගහනයෙන් ලොව දෙවන විශාලතම රටේ ජනජීවිතය, දේශපාලනය, ආර්ථිකය හා ඉතිහාසය සමග මෝසම් සුළං හා වර්ෂා සබැඳී ඇති සැටි කතාන්දරයක් මෙන් ඔහු විස්තර කරනවා (Chasing the Monsoon, 1990).

නිසි කලට නිසි පමණට මෝසම් සුළං ලැබෙන වසරක ගොවිබිම් සාර වී, අස්වනු වැඩි වී කෘෂි ආර්ථිකයන් ප‍්‍රාණවත් වනවා. එසේම වඩා ලාබදායක ලෙස විදුලිය ජනනය කර ගත හැකි ජල විදුලි ජලාශ පිරී යාම නිසා තාප බලාගාර මත යැපීම සීමා කර ගත හැකි වනවා.

පමා වී පැමිණෙන හෝ දුර්වලව ලැබෙන හෝ මෝසම් වැසි දකුණු ආසියාවේ රජයන්ට හා ජනයාට ගැටලූ රැසක් ඇති කරනවා. ආහාර හිඟයන්, ගොවි ණය අර්බුදයන්, නාගරික ජල හිඟයන් හා විදුලි ජනන වියදම් අධික වීම ආදිය මතුවනවා.

මෙකී සියල්ල සැලකිල්ලට ගත් ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය (හා වත්මන් ජනාධිපති) ප‍්‍රනාබ් මුඛර්ජී වරක් කීවේ ‘ඉන්දියාවේ සැබෑ මුදල් අමාත්‍යවරයා වන්නේ මෝසම් සුළං හා වර්ෂායි’ කියායි. කොතරම් අපූරු හැඳින්වීමක්ද?

මෝසම් සුළං හා වර්ෂා යනු හුදෙක් ස්වාභාවික සංසිද්ධියක් හා ආර්ථික වශයෙන් වැදගත් සාධකයක් පමණක් නෙවෙයි. සමශීතෝෂ්ණ රටවල මෙන් පැහැදිලි ඍතු භේදයක් නොමැති ඝර්ම කලාපීය අපේ වැනි රටවල ජන ජීවිතයට වාර්ෂිකව හුරුපුරුදුු රිද්මයක් ලබා දෙන්නේ නිරිතදිග හා ඊසානදිග මෝසම් වැසි කාලයන්.

මානව ජනාවාස ඇති වන්නටත් පෙර පටන් දකුණු ආසියාවට රිද්මයක් හා ජවයක් සැපයූ මෝසම් සුළං හා වර්ෂා රටා දැන් සිදු වෙමින් පවතින දේශගුණ විපර්යාසයත් සමග කෙසේ වෙනස් විය හැකිද? මෙය බොහෝ කාලගුණ හා දේශගුණ පර්යේෂකයන්ගේ දැඩි අවධානයට ලක් වූ ප‍්‍රශ්නයක්.

හැම වසරේම අපේ‍්‍රල් මාසය වන විට ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එළැඹෙන්නට නියමිත නිරිතදිග මෝසම් වර්ෂා ගැන පුරෝකථනයක් (annual summer Monsoon forecast) කරනවා. අපේ කලාපයේ වඩාත් දියුණු තාක්ෂණය හා ශිල්ප දැනුම ඇති කාලගුණ දෙපාර්තමේන්තුව ඇත්තේ ඉන්දියාවෙයි. මේ නිසා ඔවුන්ගේ විග‍්‍රහයන් සෙසු රටවල් හා පර්යේෂණයන්ගේ දැඩි අවධානයට ලක් වනවා.

2015 අපේ‍්‍රල් 22 වනදා නිකුත් කළ මෝසම් පුරෝකථනයට අනුව මෙරට නිරිතදිග මෝසමෙන් ලැබෙන සමස්ථ වර්ෂාපතනය දිගු කාලීන සාමාන්‍යයෙන් 93%ක් වනු ඇති. එනම් වැස්ස තරමක් අඩුයි.

ඔවුන්ගේ දත්ත විශ්ලේෂණවලට අනුව 2013දී නිරිතදිග මෝසම් වැසි අපේක්ෂි කළාටත් වඩා වැඩි වූ අතර 2014දී එය අඩු වුණා.

එල් නීනෝ (El Nino) නම් දේශගුණික සංසිද්ධිය පවතින වසරවල නිර්තදිග මෝසම් වැසි අඩු වීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. ගිය වසරේ මෝසම් වැසි අඩු වීම ගැන කල් තබා දැන ගත් විට අස්වද්දන කුඹුරු ප‍්‍රමාණය අඩු කරන්නට යැයි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොවීන්ට නිර්දේශ කොට තිබුණා. එහෙත් එය නොතකා හැරි නිසා යල කන්නයේ වී අස්වැන්න 25%කින් අඩු වුණා.

මෝසම් වැසි ගැන විද්‍යාත්මකව කැරෙන පුරෝකථන ගැන ගොවීන් හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ තීරකයන් මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

දේශගුණ විපර්යාස නිසා හට ගන්නා මෝසම් වැසි විසමතා අපට වළක්වා ගන්නට බැහැ. එහෙත් උපක‍්‍රමශීලී ලෙසින් ගොවිතැන් අනුවර්තනය කළ හැකියි. එයට ක‍්‍රමවේදයන් විද්‍යාඥයන් යෝජනා කළ විට ඒවා ගොවීන්ට හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ඉක්මනින් හා තේරෙන බසින් සන්නිවේදනය වීම වැදගත්.

Indian Ocean is South Asian Monsoon's vast playground

Indian Ocean is South Asian Monsoon’s vast playground

ඝර්ම කලාපීය කාලගුණ විද්‍යා අධ්‍යයන ආයතනය නම් ඉන්දියානු පර්යේෂණායතනය කේන්ද්‍ර කර ගෙන දැවැන්ත මෝසම් පර්යේෂණ ව්‍යායාමයක් 2012දී ඉන්දීය රජය දියත් කළා (National Monsoon Mission). දකුනු ආසියාවේත්, එයින් පිටතත් සිටින පර්යේෂකයන් හා පර්යේෂණායතන හවුල් කර ගෙන ඉන්දියානු සාගරයේ මෝසම් සුළං හා වර්ෂා ගැන දැනුම හා අවබෝධය වැඩි කර ගැනීම එහි අරමුණයි.

ඉන්දියානුවන් පමණක් නොවෙයි, ඉන්දියානු සාගර රාජ්‍යයන් බොහොමයක වැසියන් මෝසම් වෘත්තාන්තයේ කොටස්කරුවන්. අපට මතුපිටින් නොතේරෙන මානයක මෝසම් රිද්මයක් අප ජීවිත තුළ ගැබ් වී තිබෙනවාග මෙය වරෙක ඉංග‍්‍රීසියෙන් මේ ගැන ලියූ ලිපියක මා කැටි කළේ: ‘අප සැවොම මෝසම් දරුවෝ’ (“We are all Children of the Monsoon”).

 

Advertisements

2 Responses to “සිවුමංසල කොලූගැටයා #222: ඉන්දියානු සාගරයේ වාර්ෂික රිද්මය – මෝසම් සුළං”

  1. crpsenanayake Says:

    ‘”විදේශීය බලවේග අපේ දිවයිනට බලපෑම් කරනවා යයි කෑ මොර දෙන කුමන්ත‍්‍රණවාදීන් නොදන්නා හෝ නොදකින යථාර්ථය මෙයයි. ඉතිහාසය පුරා අපේ රටේ භූමිය, තුරුලතා හා ජනජීවිතයට ප‍්‍රබලතම බලපෑමක් කළ හා කරන ‘විදෙස් බලවේගය’ නම් මෝසම් සුළං දෙකයි.””

    දෙන්ඩ මල්ලි නියමෙට මේවගේ……….
    පාසලෙන් ඉගෙනගත්තත්ට වැඩි දෙයක් ඔබෙන් මා ඉගෙනගත්තා මෙම ලිපියෙන්


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: