සිවුමංසල කොලූගැටයා #221: ගෝලීය නැණ සේවා වෙළෙඳපොළට ලාංකික බුද්ධිමය ශ‍්‍රමය

Sri Lanka is emerging as an important global destination for Information Technology supported Business process outsourcing (IT-BPO).

This knowledge service industry is one of many benefits of improving telecommunications services and IT capability in the country. It is creating many well-paid jobs, and generating growing volumes of foreign exchange for Sri Lanka’s economy (USD 720 million in 2013).

According to the industry’s trade lobby/chamber Sri Lanka Association of Software and Services Companies (SLASSCOM): “The growing IT-BPO industry…offers a unique advantage for Small and Medium Enterprises (SME) to enjoy premium access to a high quality talent pool, which is becoming increasingly challenging in large established destinations such as India and China. The environment is also highly conducive for establishing high-in-demand niche competency centers out of competition for even larger global services companies.”

In this week’s Ravaya column (published on 31 May 2015) I look at the current status, benefits and challenges of Sri Lanka’s BPO/BPM industry, and highlight its potential to create high-end jobs for educated and skilled professionals, thus containing – if not reversing – brain drain.

Image courtesy Keells.com website

Image courtesy Keells.com website

නව සන්නිවේදන තාක්ෂණ හා ජාලයන් හරහා නව ආදායම් මාර්ග විවර වී තිබෙනවා.

මේ අවස්ථා ස්වයංරැකියා බවට පත් කර ගෙන, රටට බරක් නොවී, සාම්ප‍්‍රදායික රැකියා සොයමින් ලත නොවී හොඳ ආදායම් ලබන දක්ෂ තරුණ තරුණියන් දහස් ගණනක් දැනටමත් මෙරට සිටිනවා.

ඔවුන් නැණසේවා ආර්ථිකයේ (knowledge economy) පෙරගමන්කරුවන්.

තොරතුරු සන්නිවේදන හා තාක්‍ෂණ සේවා (ICT) රටේ ආර්ථිකයකට කරන දායකත්වය මෑත වසර කිහිපයේ ඉහළ ගොස් තිබෙනවා. දියුණු රටවල අවශ්‍යතා සඳහා පරිගණක මෘදුකාංග නිෂ්පාදනය, දත්ත සේවා සැපයීම හා තොරතුරු තාක්‍ෂණ උපදේශක සේවා ලබා දීම ආදී නව ව්‍යාපාර අවස්ථා රැසක් සන්නිවේදන තාක්‍ෂණයන් හරහා උදා වී තිබෙනවා.

ඉංගි‍්‍රසියෙන් outsourcing යයි කියන මේ කි‍්‍රයාවට සිංහලෙන් බහිස්සේවාර්ථනය යයි කියනවා. සරල අරුත තම අවශ්‍යතාවයක් පිටරටකට යවා නිසි ප‍්‍රමිතියට එහෙත් සාපේක්‍ෂව අඩු වියදමකින් කර ගැනීමයි. තොරතුරු තාක්‍ෂණ outsourcing ව්‍යාපාරවලට පණ්ඩිත වදන් වෙනුවට අපට “බාහිර නැණසේවා සම්පාදනය” යයි කිව හැකියි (මේ යෙදුම යෝජනා කළේ අජිත් පැරකුම් ජයසිංහ).

මුල් යුගයෙ හුදෙක් දත්ත ඇතුලුකිරීම (data entry) හා ටයිප් කිරීම වැනි සරල මට්ටමේ සේවාවලට සීමා වී තිබූ මේ කර්මාන්තය දැන් ඉතා දියුනුයි.

දියුණු රටවල සමාගම්, සරසවි, මාධ්‍ය ආයතන හා රාජ්‍ය ආයතන පවා තම නැණ සේවා සඳහා ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය වැනි (ඉංගී‍්‍රසි හා තාක්‍ෂණික හැකියාව පවතින) රටවල සමාගම් හා පුද්ගලයන් වෙත එනවා. මේ සේවාලාභීන් (clients) හා සේවා දායකයන් (service providers) කිලෝමීටර් දහස් ගණනක් දුර සිටියත් ඔවුන් යා කැරෙන්නේ ඉන්ටර්නෙට් හරහායි.

Global BPO market 2013 - image courtesy - brand-taxi.com

Global BPO market 2013 – image courtesy – brand-taxi.com

තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාර හරහා ආදායම වැඩි කර ගන්නට අවශ්‍ය ශ‍්‍රම බලකාය හා කළමණාකාරිත්වය අප රටට තිබෙනවා. දැනටමත් අපේ ලොකු හා මධ්‍යම පරිමානයේ දත්ත සේවා සමාගම් මෙන්ම කුඩා පරිමානයේ තනි තාක්‍ෂණවේදින් ද ලෝක තොරතුරු වෙළඳපොලට තම සේවා අලෙවි කරනවා.

මේ ව්‍යාපාර සඳහා අඛණ්ඩ හා ප‍්‍රමිතිගත විදුලි සැපයුමත්, ඉහළ වේග සහිත පුළුල් කලාප ඉන්ටර්නෙට් (broadband internet) සබඳතාත් අත්‍යවශ්‍යයි. රජයට කළ හැක්කේ මේ අයට නිසි යටිතල පහසුකම් සහතික කිරීමත්, ව්‍යාපාරික බදු සහන හා අනුමැතියන් ආදිය ලෙහෙසියෙන් ලබා දීමත්.

බාහිර නැණසේවා 2013දී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන් 720ක් (රුපියල් බිලියන් 95ක්) උපයා දුන්නා. 2016 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන් 1ක් (රුපියල් බිලියන් 133ක්) තරම් ඉහළ ආදායමක් ඉපයිය හැකි බවට ගණන් බලා තිබෙනවා.

ඒ. ටී. කීර්නි (A T Kearney) නම් ජාත්‍යන්තර අධ්‍යාපන සමාගම 2013දී කළ සංසන්දනාත්මක ඇගැයීමකට අනුව මෙම නැණ සේවා කර්මාන්තයට පිවිස සිටින රටවලින් ප‍්‍රමුඛයන් 25 අතර ශ‍්‍රී ලංකාව ද සිටිනවා.

විදේශීය වෙළෙඳපොළ වෙනුවෙන්ම බාහිර නැණසේවා සම්පාදනය කරන දේශීය සමාගම් සිය ගණනක් තිබෙනවා. මේවායෙන් බහුතරයක් එක් වී තමන්ගේ කර්මාන්තය තවත් ව්‍යාප්ත කරන්නට තොරතුරු තාක්ෂණ වෙළෙඳ මණ්ඩලයක් Sri Lanka Association of Software and Services Companies (SLASSCOM) පිහිටුවා ගෙන තිබෙනවා.

තනි සමාගම් තම සේවා ප‍්‍රචාරණය කරනු වෙනුවට ශ‍්‍රී ලංකාව විශිෂ්ට ගණයේ සේවා සපයන රටක් ලෙස සාමූහිකව ප‍්‍රවර්ධනය ඔවුන්ගේ අරමුණයි. එය සම කළ හැක්කේ දහස් ගණනින් මෙරට සංචාරක සේවා සමාගම් හා ආයතන තිබෙන අතර සංචාරක ගමනාන්තයක් හා අත්දැකීමක් ලෙස පොදුවේ ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමට. සංචාරක කර්මාන්තයේ මේ භූමිකාව සංචාරක මණ්ඩලය හරහා රජය කළත් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ එබන්දක් උවමනා නැහැ.

හුදෙක් ප‍්‍රතිපත්ති හා නීති මට්ටමේ සහයෝගය පමණක් රජයෙන් ලබා ගනිමින්, අවම රාජ්‍ය මැදිහත්වීමක් තුළ තමන්ගේ කර්මාන්තය ලෝක මට්ටමෙන් දියුණු කිරීමට අපේ සමාගම් සමත්. මේ ක්ෂේත‍්‍රයේ ගෝලීය දැවැන්තයකුව සිටින ඉන්දියාව අනුගමනය කළේ ද මේ ආකෘතියමයි.

මේ ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකා සමාගම්වල සාමූහික ප‍්‍රගතිය සමාලෝචනය කරන 2014 විග‍්‍රහයක් SLASSCOM පළ කොට තිබෙනවා. එයට පෙරවදනක් ලියන එහි සභාපති හා තොරතුරු තාක්ෂණ ව්‍යාපාරික මධු රත්නායක කියන්නේ 2007දී ඇමරිකානු ඩොලර් මිලියන් 213ක් විදේශ විනිමය රටට උපයා දුන් මෙම කර්මාන්තය 2013 වන විට එය ඩොලර් මිලියන් 720ක් දක්වා ශීඝ‍්‍රයෙන් වර්ධනය වූ බවයි.

Sri Lanka's IT and BPM Sector Revenues - from SLASSCOM's Report, Sri Lankan IT-BPM Industry Review 2014

Sri Lanka’s IT and BPM Sector Revenues – from SLASSCOM’s Report, Sri Lankan IT-BPM Industry Review 2014

එසේම 2007දී රැකියා අවස්ථා 33,700ක් ජනනය කළ මේ කර්මාන්තය 2013 වන විට 75, 100 දෙනකුට ඍජු රැකියා ලබා දුන් බවත් ඔහු කියනවා. 2007-2013 කාලය තුළ විදෙස් වෙළෙඳපොළ සඳහා තොරතුරු තාක්ෂණ සේවා මෙරට සිය සපයන ලාංකික සමාගම් ගණන 170 සිට 220 දක්වා ඉහළ ගියා.

මේ සමාගම් වැඩිපුර ලබා දෙන නැණසේවා මොනවාද?

එක් ප‍්‍රධාන කාණ්ඩයක් නම් මූල්‍ය හා ගිණුම්කරණ ක්ෂේත‍්‍රයයි. බොහෝ බටහිර හා ඈතපෙරදිග සමාගම් තමන්ට විශ්වාස කළ හැකි හා නිසි ශිල්පීය හැකියාව ඇති දකුණු ආසියාතික සමාගම් හරහා තමන්ගේ ඇතැම් මූල්‍යමය විශ්ලේෂණ සේවා ඉටුකර ගන්නවා. තොරතුරු තාක්ෂණ මෙවලම් හා ඉන්ටර්නෙට් සබඳතා මෙහිදී හුදෙක් ව්‍යාපාරික මාධ්‍යයක් පමණයි. වඩා වැදගත් වන්නේ සියුම් මූල්‍යමය විශ්ලේෂණ කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම හා අත්දැකීම්.

තවත් එක් ප‍්‍රධාන සේවා කාණ්ඩයක් Product Engineering යයි කියනවා. මෙය සරල තේරුම නම් වෙළෙඳපොළ රුචි අරුචිකම් විස්තරාත්මකව අධ්‍යයනය කරමින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් වැඩි දියුණු කිරීමයි. නූතන පාරිභෝගික සමාජය හා ගෝලීය වෙළෙඳපොළ ප‍්‍රවණතා ගැන මනා අවබෝධයක් තිබීමත්, සැලසුම් නිර්මාණ (design) හැකියාවත් මෙයට අවශ්‍යයි.

මීට අමතරව විවිධාංගීකරණය හරහා (diversification) මේ කර්මාන්තය තුළ නව විභවයන් සොයා යන්නට අපේ සමහර සමාගම් සමත්ව සිටිනවා. නීති ලේඛන සම්පාදනය, වාස්තු විද්‍යාත්මක ගෘහ සැලසුම් කිරීම, වෛද්‍ය විද්‍යා ක්ෂේත‍්‍රයේ ලේඛන අවශ්‍යතා ඉටු කර දීම, මේ සේවා පරාසයට අයත්.

Madu Ratnayake, Chairman of SLASSCOM - image courtesy ReadMe.lk

Madu Ratnayake, Chairman of SLASSCOM – image courtesy ReadMe.lk

මෙම නැණ සේවා සපයන ලාංකික සමාගම්වලට තව බොහෝ දුර යෑමට හා ව්‍යාපාර පුළුල් කිරීමට විභවයක් ඇතැ’යි රත්නායක කියනවා. ‘‘රජය තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා පර්යේෂකයන් යන පාර්ශ්ව තුනම සහයෝගයෙන් ලාංකික නැණ සේවා සඳහා ආවේණික වූ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවකාශයන් (niche) සොයා යා යුතුයි. ඉහළ උගත්කම් හා දස්කම් ඇති ශ‍්‍රම බලකායක් අප රට සිටීම එහිදී අපට වාසියක්. එසේම නවීන ලෝකයේ ඉක්මනින් වෙනස්වන පාරිභෝගික චර්යා හා සමාජ ප‍්‍රවණතා මනා සේ තේරුම් ගැනීමද වැදගත්. මේ සුවිශේෂී නැණ සේවාවන් නිසි ප‍්‍රමිතීන්ට යටත්ව තරගකාරී මිලකට අපේ සේවාලාභීන්ට සැපයිය යුතුයි.’’

SLASSCOMහි ඉලක්කය නම් 2022 වන විට වාර්ෂිකව නැණසේවා ක්ෂේත‍්‍රය හරහා විදෙස් සේවාලාභීන් වෙතින් ඩොලර් බිලියන 5ක් ආදායම් මෙරටට උපයාදීමටයි.

දැනටත් මේ කර්මාන්තය රටට විදේශ විනිමය උපයාදීම අතින් 6 වන තැනට පත්ව සිටිනවා. සංසන්දනය සඳහා දැනට වැඩිපුරම විදේශ විනිමය උපයන්නේ විදෙස්ගතව සිටින ලාංකික ශ‍්‍රමිකයන්. නොපුහුණු, පුහුණු හෝ විශේෂඥ ක්ෂේත‍්‍රවල රැකියා හරහා ඔවුන් 2013දී මෙරටට එවූ සමස්ත උපයා ගැනීම්වල එකතුව ඩොලර් බිලියන 6 ඉක්ම වූවා.

Sri Lanka IT Workforce - from SLASSCOM's Report, Sri Lankan IT-BPM Industry Review 2014

Sri Lanka IT Workforce – from SLASSCOM’s Report, Sri Lankan IT-BPM Industry Review 2014

බොහෝ කොටම ශ‍්‍රම වෙළෙඳපොළේ පහත ස්ථරයන්හි සේවා ලබා දෙමින් අපේ ජනයා මිලියන් දෙකක් පමණ දෙනා විදෙස්ගත වී උපයන මේ මුදල්වලින් තමයි හැම රජයක්ම එදිනෙදා වියදම් පිරිමසා ගන්නේ.

2022 වන විට ඩොලර් බිලියන 5 ආදායම් ඉලක්කය හඹා යන්නට නම් ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ප‍්‍රශස්ත මට්ටමක පැවතිය යුතුයි. දකුණු ආසියාවේ අන් රටවලට සසඳන විට දවසේ පැය 24 පුරා අඛණ්ඩ විදුලිබල සැපයුමක් මෙරට පවතින බවත්, ජාත්‍යන්තර විදුලි සංදේශ කේබල් සබඳතා තුනක් හරහා මෙරට ගෝලීය දත්ත ජාලවලට නිතිපතා සම්බන්ධව ඇති බවත්, මීට අමතරව චන්ද්‍රිකා සබඳතා ද ගණනාවක් ඇති බවත් SLASSCOM සිය වෙබ් අඩවියේ කියනවා.

එහෙත් ප‍්‍රශ්න හා අභියෝග ද තිබෙනවා. තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව මෑතදී පැවති විද්වත් සංවාදයකදී මෙයින් කිහිපයක් මතු කළා. Broadband ඉන්ටර්ටේ සේවාවල දත්ත ගලා යන වේගය ප‍්‍රමිතියකින් තොරව අඩු වැඩි වීම එයින් එකක්. එසේම ඉන්ටර්නෙට් හරහා සංඥා යවා ප‍්‍රතිචාර ලබා ගෙන එක් හුවමාරුවක් සම්පූර්ණ කරන්නට ගත වන (latency නමින් හඳුන්වන) කාලය ජාත්‍යන්තර ප‍්‍රමිතියට වඩා වැඩි වීම තවත් ගැටලූවක්. මේ නිසා සජීව දත්ත විශ්ලේෂණවලට බාධා පැමිණෙනවා.

මෙරට සිට ගෝලීය වෙළෙඳපොළට නැණසේවා සපයන ලාංකික තාක්ෂණවේදීන් ගණනද ඉහළ යමින් පවතිනවා. ඔවුන් පුද්ගල මට්ටමින් විවිධ නැණසේවා ව්‍යාපෘති භාර ගෙන ඉටුකර දී ගෙවීමක් ලබනවා.

තනි පුද්ගල මට්ටමේ දැනුම් සේවා සපයන්නන්ට විදෙස් රටවල සිට ගෙවීම් ලද හැකි සරල ක‍්‍රමයක් වන්නේ PayPal. මේ හරහා ගෙවීම් ලැබීමට තවමත් මෙරට නියාමන අනුමැතිය මහබැංකුව ලබා දී නැහැ. මෙය හදිසි අවශ්‍යතාවක් බව වෘත්තිකයන් වසර ගණනක් සිට මුදල් අමාත්‍යාංශයට හා මහ බැංකුවට කියනවා. යහපාලනය යටතේත් වැඬේ කල් යනවා. නව තාක්ෂණ ක්ෂේත‍්‍ර හරහා ආදායම්, විදේශ විනිමය හා රැකියා අවස්ථා ජනය කිරීම ගැන ගතානුගතික පරිපාලන නිලධාරීන්ට වැටහීමක් නැතිවා විය යුතුයි.

පරම්පරාවකට පෙර අපේ රටේ දක්ෂතම හා ඉහළින්ම උගත් තරුණ තරුණියෝ විදෙස් රටවල ඉහළ වැටුප් ගෙවන රැකියා වෙත ඇදී ගියා. තනි පුද්ගල මට්ටමේ එම තීරණවලට දොස් කියන්නට බැහැ. නැණ සේවා කර්මාන්තය නිසා මෙය ටිකෙන් ටික වෙනස් වනවා.

ලෝක මට්ටමේ වැටුප් නොවූවත් මෙරට මට්ටමින් ඉහළ වැටුප් ලබන අතර මෙරටම සිටීමේ අවස්ථාව දැන් ඔවුන්ට තිබෙනවා.

මේ නිසා බුද්ධි ගලනය සීමා වනවාට අමතරව රටට අභිමානවත්, බුද්ධිමත් ශ‍්‍රම වෙළෙඳපොළක් ලෝක මට්ටමින් ගොඩ නැගෙනවා. ගෘහ සේවිකාවන්, කම්කරුවන්, රියදුරන් ලෙසින් මෙරට ශ‍්‍රමය පිටරට යනවාට අමතරව, වෘත්තිකයන්ට හා තාක්ෂණවේදීන්ට මෙරට සිටම ලොව නන් දෙස විසිරී සේවාලාභීන්ට නැණ සේවා ලබා දිය හැකියි.

See also:

Baseline Sector Analysis of the Business Process Outsourcing industry of Sri Lanka (LIRNEasia & ICTA, 2006)

Key markets for Sri Lanka IT and BPM industries - From SLASSCOM's Report, Sri Lankan IT-BPM Industry Review 2014

Key markets for Sri Lanka IT and BPM industries – From SLASSCOM’s Report, Sri Lankan IT-BPM Industry Review 2014

 

Advertisements
Posted in digital media, ICT, Innovation, Internet, Ravaya Column, Sri Lanka, Telecommunications. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 1 Comment »

One Response to “සිවුමංසල කොලූගැටයා #221: ගෝලීය නැණ සේවා වෙළෙඳපොළට ලාංකික බුද්ධිමය ශ‍්‍රමය”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: