In this week’s Ravaya column (in Sinhala, published in issue of 3 May 2015), I talk about the Magna Carta, one of the most famous documents in the world. This years marks the 800th anniversary of its adoption in medieval England in 1215.
It was the first formal document stating that a King had to follow the laws of the land (‘Rule of Law’). It guaranteed the rights of individuals against the wishes of the King. This laid the way for trial by jury which means people are tried by their peers and guaranteed the civil rights of the individual.
The Magna Carta established the principle that the people of England, at this stage represented by the Barons, could limit the power of a King, if he was doing things that were not good for the country. It had far-reaching influence on both sides of the Atlantic over the centuries.
However, the Lankan monarchy always remained absolute until it ended in 1815. There were no formal limits to the monarch’s powers, even though Dasa-Raja-Dhamma or the ‘Ten Royal Virtues’ in Buddhism were meant to moderate that power. In practice, many monarchs ignored it.
Those who clamour for the restoration of monarchy in Sri Lanka don’t know — or overlook — just how feudal, unrestrained and unaccountable the monarchy was.

මෙබඳු තත්ත්වයක් මොහොතකට පරිකල්පනය කරන්න.
යම් රටක සර්වබල සම්පන්න රජෙක් සිටිනවා. රාජ්‍ය ආරක්ෂාව හා රාජ්‍ය පාලනය ගැන වග කියනවාට අමතරව ඔහු රටේ සියලූ භූමියේ තනි හිමිකරුවායි. රටේ භාණ්ඩාගාරය ඔහුගේ පෞද්ගලික ධන සම්පත ලෙස සිත් සේ වියදම් කරනවා.
ඔහුට, රජ පවුලට හා ඔහුගේ සමීපතයන්ට රටේ අන් අයට බලපාන නීතිරීති අදාළ වන්නේ නැහැ. ඉහළට එන සියලූ නඩු අසන්නේත්, තීන්දු දෙන්නේත් රජු විසින්. එපමණක් නොවෙයි. රටේ ඕනෑම පුරවැසියකුගෙන් වේතනයක් නොගෙවා බලහත්කාරයෙන් වැඩ කරවා ගැනීමට රජ වාසලට හැකියි. එයට රාජකාරිය යයි කියනවා. රජුට හා ඔහුගේ පුත‍්‍රයන්ට රටේ ඕනෑම කාන්තාවක් හිතුමතයට අන්තඃපුරයට ගෙන යා හැකියි. එම කතුන් පුරවැසියකුගේ දියණියන් හෝ බිරිඳන් වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවෙයි.
කොටින්ම කිවහොත් රටේ වැසියන්ට කිසිදු අයිතිවාසිකමක් නැහැ. මේ කිසිවක් ගැන ප‍්‍රශ්න කළොත් හෝ විවේචනය කළොත් හිරබත් කන්නට හෝ හිස ගසා දැමීමට ලක් වනවා. රජු යම් තරමකට හෝ සවන් දෙන්නේ ආගමික පූජකයන්ට පමණයි. මේ වරප‍්‍රසාදයෙන් පූජකයන් බොහෝ අනිසි ප‍්‍රයෝජන ගන්නවා.
සියලූ සැප සම්පත් හා බලතල ඇතත් රජු නිතරම සිටින්නේ කුමන්ත‍්‍රණ හා පරලොව ගැන බියෙන්…
ඉතිහාසයේ වැඩි කලක් තිස්සේ බොහෝ පාලකයන්ට සීමාරහිත බලතල හිමිව තිබුණා. මේ නිසා බලකාමයෙන් මත් වූ ඇතැම් පාලකයො අත්තනෝමතික හා අන්තවාදී ලෙස ක‍්‍රියා කළා. ඔවුන් නීතියට, සදාචාරයට ඉහළින් යන විට සමනය කර ගන්නට ක‍්‍රමවේදයක් තිබුණේ නැහැ.
පාරම්පරිකව හෝ කුමන්ත‍්‍රණයකින් හෝ යටත් කර ගැනීමකින් හෝ රටක බලයට පත් වන පාලකයා හිතුමතේ ක‍්‍රියා කිරීම ඉතිහාසයේ බොහෝ කලක් පැවතුණු සම්ප‍්‍රදායක්. (ශී‍්‍ර ලංකාවේ 1815න් අවසන් වූ රාජ වංශයටත් එය අදාළයි.)
අද රාජාණ්ඩු ලෝකයේ ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණක් වුවත් අසීමිත බලය අතට ගත් ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හෝ හමුදා පාලකයන් ගැන අපට විටින් විට අසන්නට ලැබෙනවා.
එහෙත් මෙය ශිෂ්ට සමාජවලට කිසිසේත් නොගැලපෙන බවත්, පාලකයා රටේ නීතියට යටත් විය යුතු බවත් අද ලෝක සම්මත පිළිගැනීමයි. දේශපාලන චින්තනය මෙතැනට ගෙන ඒමට තීරණාත්මකව වූ වැදගත් ලියවිල්ලකට 2015දී වසර 800ක් සපිරෙනවා.
එය මැග්නා කාටා (Magna Carta) හෙවත් මහා ප‍්‍රඥප්තිය නමින් 1215දී මධ්‍යකාලීන එංගලන්තයේ සම්මත කරනු ලැබූවක්. පසු කලෙක එය ලෝකයටම බලපෑමක් කළා. මැග්නා කාටාව මානව ඉතිහාසයේ යුක්තිය, සාධාරණත්වය හා මූලික අයිතිවාසිකම් නිරවුල්ව පැහැදිලි කළ හා ප‍්‍රබලව ලේඛනගත කළ මුල්ම ලියවිල්ලයි.

පාර්ච්මන්ට් කඩදාසියේ මුළුමනින්ම ලතින් බසින් ලියැවුණු එය වචන 3,550ක් දිගයි. (එකල ගරු ගාම්භීර භාෂාව වූයේ ලතින්.) කෙටි පරිච්ෙඡ්ද 63කට එය බෙදා තිබෙනවා.
එංගලන්තයේ එවකට සිටි ජෝන් රජු 1215 ජූනි 15 වනදා තම රාජකීය මුද්‍රාව තබා එය නිල ලියවිල්ලක් බවට පත් කළා. එයට පසුබිම වූයේ ඔහුට එරෙහිව රටේ ප‍්‍රභූන් හා මහජනතාවගෙන් මතු වී ආ ප‍්‍රබල විරෝධයයි.
ප්‍රංශයේ නෝමැන්ඩියේදී ලද හමුදාමය පරාජයත්, රජු විසින් රට වැසියන්ට නිර්දය ලෙස සැලකීමත් නිසා දැඩි කලකිරීමට පත් බොහෝ දෙනා ඔහුට එරෙහිව කැරලි ගසන්නට ආසන්න වෙමින් තිබුණා. කිරුල හා පණ බේරා ගැනීම සඳහා යහපාලන ප‍්‍රතිඥා ගණනාවක් දීමට රජුට සිදු වුණා.
ජෝන් රජුගේ මේ පියවරෙන් වුවද ඔහුට රජකම රැක ගත හැකි වූයේ ටික කාලයකට පමණයි. 1216 ඔක්තෝබරයේ ඔහු මිය ගියා. ඔහුගේ අනුප‍්‍රාප්තික ලාබාල තුන්වන හෙන්රි රජු වඩාත් ප‍්‍රගතිශීලි මැග්නා කාටා සංශෝධනයක් සම්මත කළා. 1225දී යළිත් සංශෝධනය කරනු ලැබූ ලියවිල්ල තමයි දැන් ඓතිහාසිකව පිළි ගැනෙන්නේ.
මධ්‍ය කාලීන එංගලන්තයට වැදගත් වූ බොහෝ දේ එහි ඇතුළත් වුවද සදාතනික වටිනාකමක් ඇති ප‍්‍රධානතම සංකල්පය ලෙස එයින් මතු වූයේ නීතියේ ආධිපත්‍යයයි (Rule of Law). එනම් රජුට හිතුමතයට නීති හෝ බදු පැනවීමට නොහැකි බව හා අන් සෑම දෙනා මෙන්ම රජු හා ඔහුගේ පවුල, ඇමතීන් හා ප‍්‍රභූන් ද එක සේ රටේ නීතියට යටත් වන බව පැහැදිලිව පිළිගැනීමයි.
What is the Rule of Law? Simplified explanation
මෙය අද කාලේ ලෝක සම්මත ශිෂ්ට සම්ප‍්‍රදායක් ලෙස අප දැන සිටියත්, ඒ වන තුරු එය සිදු වූයේ නැහැ. රාජ්‍යය යනු තමාය (“I am the State!”) යන අතිශය උද්ධච්ච උපකල්පනය මත පිහිටා තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට රජුට බලය තිබුණා.
ඕනෑම කෙනකු අත්අඩංගුවට ගන්නට, දඬුවම් කරන්නට, මරා දමන්නට, අත්අඩංගුවට ගන්නට, දේපල සින්න කර ගැනීමට හා වෙනත් බලහත්කාරකම් කිරීමට කිසිදු නීතිමය සීමාවක් තිබුණේ නැහැ. කිසිදු හේතුවක් හෝ පදනමක් උවමනා වූයේත් නැහැග
මැග්නා කාටා ප‍්‍රඥප්තියේ 12 හා 14 වන පරිච්ෙඡ්ද මගින් රජුට රිසි පරිදි රටවැසියන්ගෙන් බදු අය කිරීම සීමාවන්ට යටත් කළා. එය යුක්ති යුක්ත විය යුතු බවත්, ජන සම්මත විය යුතු බවත් කියැවුණා.
ඊටත් වඩා වැදගත් වූයේ 39 වන පරිච්ෙඡ්දයයි. ‘රටේ සම්මත නීතියට හා එම නීති මත පදනම් වී කරන නඩු විභාගයකින් මිස වෙනත් කිසිම අයුරකින් මිනිසකු අත්අඩංගුවට ගැනීම, සිරිගත කිරීම, දේපල පවරා ගැනීම, පිටුවහල් කිරීම හෝ කිසි අයුරකින් විනාශ කිරීම නොකළ යුත්තේය.’ යැයි එහි කියැවුණා.
ඊළඟ 40 වන පරිච්ෙඡ්දයේ මෙසේ ප‍්‍රතිඥා දෙනු ලැබුවා. ‘‘මානව අයිතිවාසිකම් හා යුක්තිය කිසිවකුට පමා කිරීම, නොදී සිටීම හෝ මිලකට විකිණීම නොකළ යුත්තේය.’’
අද ලෝකයේ නීතියේ ආධිපත්යය හා මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ මූලධර්ම බවට පත්ව ඇති මේ ප‍්‍රතිඥා මීට වසර 800කට පෙර පැවති වැඩවසම් යථාර්තයට සාපේක්ෂව බෙහෙවින් ප‍්‍රගතිශීලි වූවා.
එසේම මේ හරහා එංගලන්තයේ (පසු කලෙක සමස්ත බි‍්‍රතාන්‍යයේම) රජුගේ බලතල පැහැදිලිව නීතිවලට යටත් කරනු ලැබුවා. රජු නීතියට ඉහළින් හෝ බාහිරින් හෝ සිටීමට ඇති ඉඩකඩ අසුරනු ලැබුවා. මෙය එංගලන්තයට හා බි‍්‍රතාන්‍යයට පමණක් නොව සමස්ත ලෝකයටම ඉතා වැදගත් යහපාලන මූලධර්මයක් හඳුන්වා දුන්නා.
What is Magna Carta? Short animation by the British Library
පාලකයා රටේ නීතියට අනුකූල විය යුතු බව ඊටත් සියවස් ගණනකට පෙර පටන් යුරෝපයේ කෙමෙන් මතුව ආ සංකල්පයක්. පුරාණ රෝමයේත්, ඉන් පසුව ස්පාඤ්ඤය, හංගරිය හා ප‍්‍රංශයේත් විද්වතුන් මේ ස්ථාවරය ප‍්‍රවර්ධනය කළා.
එහෙත් බුද්ධිමය තර්කයක් වශයෙන් පමණක් පැවති එය නීති පොතකට නිල වශයෙන් එක් වූයේ මැග්නා කාර්ටාවේ. එය එතැන් පටන් වඩාත් ශිෂ්ට දේශපාලන හා නීති සම්ප‍්‍රදායක අඩිතාලම බවට පත් වුණා.
ඉනික්බිති එලැඹි සියවස්වල ඇතැම් රජවරුන් නීතියේ නොතකා ක්‍රියා කරන්න තැත් කළ විට ප්‍රභූන් හා විද්වතුන් උද්ඝෝෂන කළා. 17 සියවසේ පටන් බි‍්‍රතාන්‍යය යටත් කර ගත් රටවලට ද නීතියේ ආධිපත්‍යය හඳුන්වා දෙනු ලැබුවා. ආණ්ඩුකාරයාට අසීමිත බලතල තිබුනේ නැහැ. නීතියට යටත්ව හා අධිකරණ ක්‍රමයකට යටත්ව ඔහු යටත් විජිත පාලනය කළා.
1776දී අමෙරිකානු යටත් විජිත නිදහස ප්‍රකාශ කොට අමෙරිකන් එක්සත් ජනපදය පිහිටු වන විට එයට මුල් වූ ප්‍රාරම්භකයෝ නීතියේ ආධිපත්‍යයට සුවිශේෂ තැනක් දුන්නා. පාලකයන්ට වඩා නීතිය ඉහලින් තිබීම එරට මූලිකයි. වැරදි වැඩ කළ ජනාධිපති නික්සන්ට ඉල්ලා අස් වන්නට පවා සිදු වුණා.
1800 ගණන්වල පුවත්පත් නිදහස වෙනුවෙන් අරගල කරන බි‍්‍රතාන්‍ය කතුවරු හා ප්‍රකාශකයෝ මැග්නා කාටාව පදනම් කර ගනිමින් රජු හා රජ පවුල විවේචනය කිරීමේ අයිතිය තමන්ට ඇතැයි තර්ක කළා. සර්වජන ඡන්ද බලය ලබා ගැනීමේ දශක ගණනක ජන අරගලයේදීත් බොහෝ ක්‍රියාකාරිකයෝ මේ ලියවිල්ලේ බුද්ධිමය ආභාෂය ලබා ගත්තා.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව අරගල කළ නෙල්සන් මැන්ඩෙලා ඇතුලු පිරිස තම රටටත් මැග්නා කාටාවේ ලෙසින් නීතිය කාටත් එක සමානව අදාල වන අනාගතයක් ගැන සිහින දුටුවා. රජයට එරෙහිව කැරලි ගසා බරපතල චෝදනා ලබා 1962-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වූ මැන්ඩෙලා එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් තර්ක කරන්නට මැග්නා කාටාව ගෙන හැර දැක්වූවා.
මෙසේ සියවස් අටක් ලොව විවිධ රටවල මානව අයිතීන් හා සාධාරණය උදෙසා මැග්නා කාටාව ප්‍රබෝධක ආවේගය ලබා දී තිබෙනවා.
අවාසනාවකට මෙවැනි බලය සීමා කිරීමක් අපේ රටේ රාජ ඉතිහාසයේ සිදු වුණේ නැහැ. රාජ පාලනය යටතේ අතිශයින් වැඩවසම් ක්රමයක අන්ත අසරණ යටත් වැසියන් ලෙස ඉතිහාසයේ වැඩි කාලයක් අපේ මුතුන් මිත්තෝ ජීවත් වුණා.
මෙරට රාජාවලිය හා ඉතිහාසය දෙස බලන විට දසරාජ ධර්මයෙන්, දැහැමින් සෙමෙන් රජකම් කළ රජුන් සිටියේ කිහිප දෙනකු පමණයි. බහුතරයක් ඉවක් බවක් නොමැතිව බලකාමයෙන් රාජ පාලනය කළ අයයි.
මේ ඓතිහාසික ඇබ්බැහිය නිසාදෝ රජකු හා රාජාණ්ඩුවක් නැවත ලබා ගැනීමේ සිහින දකින සමහර ලාංකිකයන් තවමත් සිටිනවා. එසේම ඡන්දදායකයන් මුසපත් කිරීමේ හොඳ උපක්‍රමයක් ලෙස තමන් “කිරුළු නොපැළ රජකු” ලෙස පෙනී සිටීමට අපේ ඇතැම් දේශපාලකයන් දක්ෂයි…
ජන ප්‍රවාදයෙන්ද මීට උඩගෙඩි ලැබෙනවා. 1815 මාර්තු 2 වනදා කන්ද උඩරට ගිවිසුම අත්සන් තැබීම සමග සමස්ත ලංකා දිවයින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. එයින් ටික දිනකට පසු කුංකුනාවේ හිමියන් බිම දිගේ සීරුවෙන් ඇදී යන කුහුඹු පෙළක් දැක ‘අනේ කූඹියනේ, තොපටත් රජෙක් ඉන්නේ’ නම් කව කී බව කියැවෙනවා.
ඔහු තව දුරටත් කීවේ මෙයයි:
‘රජෙක් ලැබුණෝතින්
එදා කිරිබත් කන්නේ
පෙරහැර කරන්නේ
සාදු නාදෙන් ගිගුම් දෙන්නේ’

මේ රාජ උන්මාදය වත්මන් සමාජයට උචිත වූවක් නොවෙයි. ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මෙයට අදාලව මෑතදී ඔහුගේ ෆේස්බුක් එකේ මෙසේ කියා තිබුණා:
“රජෙක් සදහා වන ෆැන්ටසිමය ආකර්ශනය මිනිස් විෂයේ සැකැස්ම සමග සම්බන්ධිත වූවකි. මෙම ෆැන්ටසිය නවීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිකල්පනය සමග ප්‍රතිවිරෝධී වේග කෙසේ වෙතත් දේශපාලන වශෙයන් ප්‍රජාතන්ත්‍රීකරණය මුහුකුරා ගිය සමාජවල මේ ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සොයාගෙන ඇත. ඒ රජෙක් හෝ රැජනක් සංකේතාත්මක වශයෙන් දේශපාලන ධූරාවලියේ ඉහලින් තබා ගැනීමෙනි. මේ මගින් පොදුජන දේශපාලන ෆැන්ටසිය සහ ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය අතර ඇති විය හැකි ආතතිය සමනය කරගෙන ඇත. අරාබි ලොකය මේ ගැටලුව විසදා නොගැනීම පිළිබද වර්තමානයේ හොදම උදාහරණයයි. ජර්මනියේ හිට්ලර් පිළීබද උදාහරණයද එවැන්නකි. ලංකාවේ මහින්දවාදයද මේ ගැටලුව තුළ හිරවී ඇත. එය විසින් රජෙක් පිළිබද පොදුජන ෆැන්ටසිය හා දේශප්‍රෙමය පිළිබද ව්‍යාජ දෘෂ්ටිවාදී පිරිවැස්ම උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අඩස්සිගත කරනු ලැබ ඇත. මේ ප්‍රවණතාවය පරාජය කිරීම වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛ දේශපාලන අවශ්‍යතාවයයි.”
සියවස් අටකට පෙර මැග්නා කාටාවෙන් පටන් ගත් පුරවැසි පරමාධිපත්‍යයේ දිගු ගමන තවම හමාර නැහැ!
කූඩැල්ලන්ට මොන කොට්ටද ආයිබෝං.
මෙන්න අපේ ලක්‍ෂ පනස් අටක පිරිසක ගේ උදාන ගීතය.
ඔබේ සපත්තුව වැලඳ බදා
ඔබේ සබුක්කුවෙ පහර කකා
ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ
දෙවියනි මුන් අද කරති නිගා
ඉරක් උදාෙවන්නේ කුමටා?
අඳුර තමා මට පරම සැපා
ඒ ඝණ අඳරේ කිරුළු දරන්නට
උතුමාණනි අද වඩිනු සොඳා!
. මැග්නා කාර්ටාව අත්සන් කළත් එංගලන්තයේද තවමත් රජකු සීටී. රාජ උන්මාදය උචිත නැතත් රයිකොලොජිස්ට් පෙන්නා දෙනව වගේ එහෙම හිතන අය ලක්ෂ පණස් අටයි. ඒ කියන්නෙ භාගෙට චුට්ටයි අඩු. ගමණ යායුතුව ඇත්තෙ බෙහොම හෙමින්.
රජෙක් හෝ රැජනක් සංකේතාත්මක වශයෙන් දේශපාලන ධූරාවලියේ ඉහලින් තබා ගැනීම කමක් නැහැ. රජු නීතියට යටත් වීම හා පුරවැසි අයිතිවාසිකම් සුරැකීමයි ඉතා වැදගත්.
නාලක කියන දේට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි. ලංකාවෙ බොහොමයක් මිනිස්සුන්ට තනිකං දෝසයක් තියනවා වගේ. වෙනත් ආකාරයකින් පවසතොත් ලංකාවෙ මිනිස්සු බොහොමයක් තවම ඉන්නෙ පුරාණ රාජයුගය තුළ. මේක රෝගයක් නම් මූණුපොතේ ලියවෙන සටහන්, දමන ලයික් වල එය තවම තියනබවක් පෙන්නුම් කරනවා. මූණු පොතේ ඉන්නේ සාපෙළ දක්වා හෝ උගත් තරුණ කොටස් කියා හිතුවොත්; වැඩිහිටියන් හා නූගත් කොටස්වල මේ රෝගය තවම අසාධ්‍ය තත්ත්වයේ ඇති කියා හිතෙනවා.
http://nelumyaya.com/?p=2019