සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

In this week’s Ravaya column (in Sinhala), published on 28 December 2014, I explore the nexus between social media, digital technologies and elections by taking the example of the Indonesian presidential election held on 9 July 2014.

Indonesia voting in progress, July 2014

සමාජ මාධ්‍ය පෙරටු කොට ගත් නව වෙබ් තාක්‍ෂණය (web 2.0) ආසියානු රටවල දේශපාලන ක‍්‍රියාදාමයට හා විශේෂයෙන් මැතිවරණවලට කෙසේ බලපානවාද යන්න අප ගිය සතියේ විමසා බැලූවා. එහි බලපෑම තවමත් බොහෝ රටවල මැතිවරණ ප‍්‍රතිඵලවලට තීරණාත්මක නොවුවත් ඉදිරි වසරවලදී එසේ විය හැකි බැවින් දේශපාලන පක්‍ෂ, සිවිල් ක‍්‍රියාකාරිකයන් හා මාධ්‍ය පර්යේෂකයන් මේ ප‍්‍රවණතා ගැන අවදියෙන් සිටීමේ වැදගත්කම මා අවධාරණය කළා.

Last week: සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සමාජ මාධ්‍ය භාවිතය 2014 ඉන්දීය මහ මැතිවරණයට සම්බන්ධ වූ ආකාරය අප උදාහරණයක් ලෙස විග‍්‍රහ කළා. 2014 ජූලි මස ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගත් ඉන්දුනීසියාවේ උදාහරණය අද සලකා බලමු.

ඉන්දියාවට පසු ජනගහනයෙන් ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය (මිලියන් 300) හා ඉන්දුනීසියාවයි (මිලියන් 252). ඉන්දුනීසියාව වසර 30ක් (1968-1998) සුහර්තෝ ජනාධිපතිගේ දරදඬු ඒකාධිපති පාලනයට නතුව තිබුණා. මහජන උද්ඝෝෂණ උත්සන්න වීමත් ඔහුගේ ආධාරකරුවන්ව සිටි බටහිර රටවල් ඔහුගෙන් දුරස්ථවීමත් නිසා සුහර්තෝට බලයේ රැඳී සිටීමට නොහැකි වූවා.

සුහර්තෝ බලයෙන් ඉවත්වීමෙන් පසුව එරට දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් කරනු ලැබුවා. ඔහුගේ දිගු පාලන කාලය තුළ විධායකය වටා කේන්‍ද්‍රගතව තිබූ බලතල සමහරක් පළාත්වලට විමධ්‍යගත කළා.

මුලදී එරට ජනාධිපති හා උප ජනාධිපති තෝරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන්ගේ ඡන්දයෙන්. එය වෙනස් කර සෘජු මහජන ඡන්දයකින් ජනාධිපතිවරයකු තේරීම 2004දී ආරම්භ කළා. 2004 පැවති ජනාධිපතිවරණයෙන් විශ‍්‍රාමලත් ජෙනරාල් සුසිලෝ ‘බංබං’ යුධොයෝනෝ (Susilo ‘Bambang’ Yudhoyono) ජයග‍්‍රහණය කළා. ඒ එවකට බලයේ සිටි මෙගාවතී සුකර්නෝපුත‍්‍රී පරාජය කරමින්.

යුධොයෝනෝ 2009දී නැවතත් ජනාධිපතිවරණයකට මුහුණ දී දෙවන ධූර කාලයකට තේරී පත් වුණා. ඉන්දුනීසියානු ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයකුට ජනාධිපති තනතුර දැරිය හැක්කේ පස් අවුරුදු ධූර කාල දෙකකට පමණයි. ඔහුගේ අනුප‍්‍රාප්තිකයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය 2014 ජූලි 9 වනදා පැවැත්වුණා.

එහි ප‍්‍රධාන තරගකරුවන් දෙදෙනෙකු සිටියා. ගෙරින්ද්‍රා නමින් කෙටියෙන් හැඳින්වුණු පක්‍ෂ ගණනාවක සන්ධානයක් ප‍්‍රබෝවෝ සුබියාන්තෝ : (Prabowo Subianto) නම් හිටපු හමුදා ලූතිනන් ජෙනරාල්වරයෙක්, ව්‍යාපාරිකයෙක් හා දේශපාලකයෙක් ඉදිරිපත් කළා. ඔහු ප‍්‍රභූ පවුලකින් පැවත එන ඉහළ මධ්‍යම පාංතිකයෙක්. මේ දක්වා එරට පාලනය කළේ මේ පැළැන්තියේ අයයි.

ඔහුට අභියෝග කරමින් ඉන්දුනීසියානු ප‍්‍රජාතාන්ත‍්‍රික පක්‍ෂය (PDI-P) ප‍්‍රමුඛ සන්ධානයක් වෙනුවෙන් තරග කළේ ජෝකෝ විදෝදෝ (Joko Widodo) නම් දේශපාලනඥයායි. සාමාන්‍ය පවුලක ඉපිද අගහිඟකම් මැද උගත් ඔහු පසුව වනවිද්‍යා උපාධියක් ලබා ගත්තා. ජාවා දුපතේ සුබ‍්‍රකර්තා නගරයේ නගරාධිපති ලෙස තේරී පත්ව දේශපාලනයට පිවිසි ඔහු ඉනික්බිති ජකර්තා අගනුවර ආණ්ඩුකාරයා ලෙස 2012-14 දෙවසරක කාලයක් සේවය කළා. මේ කාලය තුළ දුෂණ විරෝධී, කාර්යක්‍ෂම පරිපාලනයක් බිහි කිරීමට ඔහු ගත් උත්සාහය නිසාත්, ඔහුගේ ජනහිතකාමී ප‍්‍රතිපත්ති නිසාත් නාගරික ජනයා අතර ඔහු ජනාදරයට පත්ව සිටියා.

Joko Widodo (Left) and Prabowo Subianto on 9 July 2014
Joko Widodo (Left) and Prabowo Subianto on 9 July 2014

නව මාධ්‍ය හා ඩිජිටල් තාක්‍ෂණයන් වඩාත් ඉක්මනින් ජනප‍්‍රිය වන්නේ ළමා හා තරුණ පිරිස අතර නිසා එවන් ජන කොටස් අධික ලෙස සිටින සමාජයන්හි එම තාක්‍ෂණයන් පැතිරෙන වේගය අධිකයි. ඉන්දුනීසියාවේ සමස්ත ජනගහනය වන මිලියන් 252න් හරි අඩක්ම පසු වන්නේ (median age) වයස අවුරුදු 27.5 හෝ ඊට අඩු වයසකයි. එරට නව මාධ්‍ය ව්‍යාප්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාදාමයන්හි තරුණ සහභාගීත්වය ඉහල මට්ටමක පවතින බව මේ වසරේ මැතිවරණවලදී පෙනී ගියා.

2013 වන විට ඉන්දුනීසියාවේ ජංගම දුරකථන ගිනුම් ජනගහනයේ 100කට 112ක් පමණ තිබුණා. (එනම් සමහරුන්ට ගිනුම් එකකට වැඩි සංඛ්‍යාවක් හිමියි.) එරට භාවිත වන ජංගම දුරකථනවලින් 23%ක් ස්මාට්ෆෝන් බවත්, එරට ජනගහනයෙන් 17%ක් පමණ ඉන්ටර්නෙට් නිතිපතා භාවිතා කරන බවත් 2014 දක්වා අලූත් කළ ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන කියනවා.

ඉන්දුනීසියානුවන් සමාජ මාධ්‍යවලට බෙහෙවින් ලැදියි. ඔවුන් බහුතරයක් ඒ හරහා සන්නිවේදනය කරන්නේ තමන්ගේම බසින් (භාෂා ඉන්දුනීසියා). ලෝකයේ ට්විටර් (Twitter) නම් විවෘත සමාජ මාධ්‍යය වැඩිපුරම භාවිත කරන රටක් ලෙස ඉන්දුනීසියාව ප‍්‍රකටයි.

2014 මැද වන විට එරට ට්විටර් භාවිත කරන්නන් මිලියන් 20ක් පමණ සිටියා. ඉන්දුනීසියානුවන් මහත් උද්‍යොගයෙන් ට්විටර් හරහා තොරතුරු, අදහස් හා රූප බෙදා ගන්නා නිසා එරට අගනුවර වන ජකර්තා, ලෝකයේ සමාජ මාධ්‍ය අගනගරය කියාත් සමහරුන් හඳුන්වනවා. (එරට ෆේස්බුක් ගිනුම් සංඛ්‍යාව 2014 මැදදී මිලියන් 11.6ක් වූවා.)

2014 ජනාධිපතිවරණයට පෙර සති කිහිපය තුළ ට්විටර් අවකාශය තුළ විවෘතවත්, ෆේස්බුක් කණ්ඩායම් තුළ බොහෝ දුරට සංවෘතවත් දේශපාලන සංවාද මිලියන් ගණනින් සිදු වුණා. හැම ඡන්ද අපේක්ෂකයකුම නිල සමාජ මාධ්‍ය ගිනුම් හරහා තමන්ගේ ප‍්‍රතිරූපය හා ප‍්‍රතිපත්ති සමාජ ගත කළා.

ඉන්දුනීසියාවේ මැතිවරණ පැවැත්වීම භෞතික වශයෙන් ලොකු අභියෝගයක්. දුපත් 17,500කින් සමන්විත එරට දුපත් 7,000ක පමණ ජනයා වාසය කරනවා. මේ අයට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ජනාවාස පවතින සියලූ දුපත්වල ඡුන්ද පොළවල් 450,000ක් පමණ පිහිටු වනවා. මේ නිසා මැතිවරණ පැවැත්වීමට දැවැන්ත පරිශ‍්‍රමයක් අවශ්‍ය වනවා සේම මැතිවරණ අක‍්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ ද පුළුල්. මැතිවරණ නිරීක්‍ෂණය, සිවිල් සංවිධානවලට පමණක් තනිව කළ හැකි දෙයක් ද නොවෙයි.

ඉන්දුනීසියානු මැතිවරණ ක‍්‍රමයේ මූලික ගණන් කිරීම ඡුන්ද පොළ මට්ටමින් කරනවා. එහි ප‍්‍රතිඵල C1 නම් පත‍්‍රිකාවක අත්අකුරින් සටහන් කැරෙනවා. එතැන් සිට ටිකෙන් ටික ඉහළ පරිපාලන මට්ටම්වලට මේ ගණන් සම්පේ‍්‍රෂණය කොට ඡුන්ද කොට්ඨාශ, උප දිස්ත‍්‍රික්ක, දිස්ත‍්‍රික්ක, පළාත් හා ජාතික මට්ටමේ එකතු කිරිම් කරනවා. රටේ විහිදුණු ස්වභාවය හා විශාල ජන සංඛ්‍යාව නිසා මේ කි‍්‍රයාදාමයට දින 10-12ක් පමණ ගත වනවා.

ඉන්දුනීසියාවේ මැතිවරණ අක‍්‍රමිකතා සංඛ්‍යාව ගෙවී ගිය දශකයේ ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ නිරික්‍ෂණය කරන එරට සිවිල් සමාජ සංවිධානවලට අනුව රාජ්‍ය නිලධාරින් දේශපාලන පක්‍ෂ සඳහා කැම්පේන් කිරීම, සමහර පුදේශවල ඡුන්දදායකයන් බිය වැද්දීම, ඡන්ද ගණන් කිරීමේදී උවමනාවෙන් සංඛ්‍යා වෙනස් කිරීම හා ඡන්දදායකයන්ට අල්ලස්දීම ආදී සියල්ල වාර්තා වනවා. එසේම 1999 මහ මැතිවරණයේදී 3.3%ක් වූ අපතේ ගිය ඡන්ද සංඛ්‍යාව 2004දී 9.7% හා 2009දී 14.4% දක්වා ඉහල ගියා. මෙය ද සැක කටයුතු තත්ත්වයක් බවට නිරීක්‍ෂකයෝ කියනවා.

මැතිවරණ ක‍්‍රියාදාමය සමීපව නිරික්සීම දැනට දශක දෙකක පමණ කලක් පුරා එරට සිවිල් සමාජ සංවිධාන කරනවා. 2014 ජූලි 9 ජනාධිපතිවරණයේදී මෙය තවත් ඉදිරියට ගෙන යාමට නවීන ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණය යොදා ගත්තා.

ඉන්දුනීසියාවේ මැතිවරණ කොමිසම පිරිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකි සෑම දෙයක්ම කරන, බලාත්මක වූත් ජනහිතකාමී වූත් රාජ්‍ය ආයතනයක්. ඡන්ද ගණන් කිරීම නිරික්සන්න දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ට මෙන්ම නිර්දේශපාලනික සිවිල් සමාජ නියෝජිතයන්ටත් එරට අවසරය ලැබෙනවා. එසේම ඔවුන්ට තමන්ගේ ජංගම දුරකථන ඡන්ද ගණන් කරන තැන්වලට ගෙන යාමටත්, භාවිතයටත් කිසිදු තහංචි පනවා නැහැ.

මේ අවසරයෙන් ප‍්‍රයෝජන ගත් සමහර සිවිල් ක‍්‍රියාකාරිකයෝ පහළම මට්ටමේ ඡන්ද ගණන් එකතුව හසු කර ගන්නා C1 පත‍්‍රිකා ජංගම දුරකථන මගින් ඡායාරූප ගත කළා. ජූලි 11 වනදා වන විට (මැතිවරණයෙන් දින 2 කට පසු) ට්විටර් අනුගාමිකයන් 7,000කට වඩා සිටින එක් පුරවැසියෙක් තමා හසු කර ගත් C1 රූප ට්විටර් හරහා සමාජ මාධ්‍යගත කළා.

ඒ දුටු තවත් බොහෝ දෙනා ඒ වන විටත් තම ජංගම දුරකථනවල තිබූ තම ප‍්‍රදේශවල C1 රූප ට්විටර් හා ෆේස්බුක් හරහා බෙදා ගන්නට පටන් ගත්තා. මෙය නිරායාසයෙන් සිදු වුවද ඉක්මනින් රැල්ලක් බවට පත් වුණා.

BAD MATH. This screenshot of a C1 tabulation form from Yogyakarta in Indonesia allegedly shows 100 votes added to presidential ticket Prabowo Subianto and Hatta Rajasa. Screenshot taken from c1yanganeh.tumblr.com
BAD MATH. This screenshot of a C1 tabulation form from Yogyakarta in Indonesia allegedly shows 100 votes added to presidential ticket Prabowo Subianto and Hatta Rajasa. Screenshot taken from c1yanganeh.tumblr.com

KPU නමින් කෙටියෙන් හැඳින්වෙන එරට මැතිවරණ කොමිසමද ඩිජිටල් තාක්‍ෂණයන් යොදා ගන්නවා. KPU විසින් රට පුරා ඡන්ද මධ්‍යස්ථානවලින් අගනුවරට එවන ලද ගණනය කිරීමේ ෆෝර්ම සිය නිල වෙබ් අඩවියට ඉක්මනින් එකතු කළා. ඔවුන්ට අවශ්‍ය වූයේ ද හැකි තරම් පාරදෘශ්‍ය ලෙස ගණනය කිරීම කරන්නයි.

2014 ජූලි 12 වනදා ඉන්ටර්නෙට් තාක්‍ෂණ හැකියාව ඇති පුරවැසියන් කිහිප දෙනකු එක්ව කවාල් පෙමිලූ (මැතිවරණය සුරකිමු) නම් නව වෙබ් අඩවියක් විවෘත කළා (www.kawalpemilu.org). ඡන්ද ගණන් කිරීම හා රට පුරා සංඛ්‍යා එකතු කිරීම සිදුවන තීරණාත්මක දින කිහිපය තුළ පුරවැසියන්ට එය ඩිජිටල් ක‍්‍රම හරහා විමර්ශනය කිරීමට ඉඩ සලසා දීම එහි අරමුණු වුණා.

සරලව කිවහොත් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලදි පුරවැසියන් ඡායාරූපගත කර ගත් C1 පත‍්‍රිකාවල තිබු ඡන්ද සංඛ්‍යා, මට්ටමින් මට්ටමට ඉහළට එකතු වෙද්දී යම් අසාමාන්‍ය වෙනසකට ලක්වේද යන්න සොයා බැලීමට මේ හරහා හැකි වුණා. ක‍්‍රමවේදය සරලව පවත්වා ගැනීම හරහා මූලික පරිගණක හැකියාව ඇති අයට පවා මේ පුරවැසි නිරීක්‍ෂණයට දායකවීමට අවස්ථාව සැළසුණා.

මේ වෙබ් අඩවියේ සිදු වූ කි‍්‍රයාදාමය හඳුන්වන්නේ crowd-sourcing කියයි. බොහෝ දෙනකුගේ දායකත්වයෙන් යමක් නිරවුල් කර ගැනීම හෝ පරිපූර්ණ කර ගැනීම මෙහි අරුතයි. කවාල් පෙමිලූ වෙබ් අඩවියේ විශ්ලේෂණවලින් සොයා ගන්නා තොරතුරු ෆේස්බුක් පිටුවක් හරහා බෙදා හරිනු ලැබුවා.

කවාල් පෙමිලූ හරහා පුරවැසි අධීක්‍ෂණය තීව‍්‍ර වූ බැවින් ඡන්ද එකතු කිරීමේ අවස්ථාවල සිතාමතා කිසිවකු විසින් ඒවා විකෘති කිරීමේ ඉඩකඩ අසුරනු ලැබුවා. මෙය සාර්ථක උපක‍්‍රමයක් බව පෙනි ගියේ ජුලි 16 වනදා වන විට එම වෙබ් අඩවියට සිය ගණනක් සයිබර් ප‍්‍රහාර (Hacking) උත්සාහයන් එල්ල වීම නිසායි. ඒවා බහුතරයක් ආවේ ඉන්දුනිසියාව තුළින්මයි.

කවාල් පෙමිලූ වෙබ් අඩවිය කල්තබා සැළසුම් කරන ලද්දක් නොවෙයි. එය කඩිමුඩියේ බිහි කළේ සිංගප්පූරුවේ වාසය කරන ඉන්දුනීසියානු ජාතික අයිනුන් නජිබ් (Ainun Najib) විසින්. ඒ උත්සාහයට ඉන්දුනීසියාව පුරා පැතිර සිටින පුරවැසියන් 700 දෙනකු ඉන්ටර්නෙට් හරහා ස්වෙච්ඡාවෙන් මැදිහත් වුණා.

මෙයින් ආභාෂය ලැබු තවත් ස්වේච්ඡා සයිබර් ප‍්‍රයත්නයක් වුයේ කවාල් සුආරා http://kawal-suara.appspot.com/ රට පුරා සිටින හත්දහසකට වැඩි පුරවැසි පිරිසකගේ උදව් ඇතිව මේ වෙබ් අඩවිය ද C1 පත‍්‍රිකා සසඳමින් වෙනස් කිරීම් කිසිවක් සිදුව ඇත්දැයි පිරික්සුවා. ඉඳහිට එබන්දක් හමුවූ විට ඒවා වහාම මැතිවරණ කොමිෂමේ හදිසි අවධානයට යොමු කළා.

මේ සයිබර් ප‍්‍රයත්නයන්ගේ සුවිශේෂත්වය වූයේ ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගේම අනුගාමිකයන් එයට සම්බන්ධ වීමයි. ඔවුන්ට අවශ්‍ය වූයේ තම අපේක්‍ෂකයා නියමාකාරයෙන් හා පිරිසිදු ඡන්දයකින් ජය ගෙන රටේ ජනාධිපති වනු දකින්නටයි. ජයග‍්‍රහණය අක‍්‍රමිකතාවලින් කැලැල් වීමට එරෙහිව ඔවුන් ප‍්‍රතිපාක්‍ෂිකයන් සමග සහයෝගයෙන් ක‍්‍රියා කළා. කෙතරම් ආදර්ශවත් ක‍්‍රියාවක්ද?

මැතිවරණ සුරැකීමේ මෙම ස්වේච්ඡා උත්සාහයන් සයිබර් අවකාශයට පමණක් සීමා වූයේත් නැහැ. තව බොහෝ ඉන්දුනීසියානුවන් ගණන් කිරිමේ ස්ථානවලට රැස්ව සාමකාමී හා විනීත ලෙසින් මැතිවරණ නිලධාරින්ගේ ක‍්‍රියාකලාපය නිරීක්‍ෂණය කළා. මේ බොහෝ දෙනකු සංවිධානගත සිවිල් සමාජය නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කැක්කුමක් ඇති සාමාන්‍ය පුරවැසියන්.

අපේ රටේ මෙන් දිනකින් දෙකකින් හමාර නොවී සතියකට වැඩි කාලයක් ගත වන එරට ඡන්ද ගණන් කිරීම නිරික්සනවා යනු සැළකිය යුතු කාලය කැප කිරීමක්. එහෙත් එය කැමැත්තෙන් කිරීමට දහස් ගණනක් පුරවැසියන් පෙරට ආවා. එසේම එම පුරවැසි දායකත්වය අගය කළ මැතිවරණ කොමිසම, නිලධාරිවාදය පෙරට නොගෙන ඔවුන් පිළිගෙන අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. කෙතරම් අපුරුද?

Indonedia Presidential Election 2014 -  official logo
Indonedia Presidential Election 2014 – official logo

ජනාධිපති ධූර අපේක්‍ෂක දෙදෙනාම ඡන්ද ගණන් කරන මුල් දිනවල මූලික ප‍්‍රතිඵල මත පදනම් වී තමන් ජයග‍්‍රහණය කර ඇතැයි කියා සිටියා. මේ නිසා උණුසුම් තත්ත්වයක් වූ අතර ඡන්ද ගණන් කිරීම හැකි තාක් නිවැරදිව කිරීමේ වැදගත්කම තවත් වැඩිවුණා.

මෙම පුරවැසි සහභාගිත්වය මැතිවරණ කාලයේ උත්සන්න වුවත් එය දිගටම පවත්වා ගත හැකි ජනතා ව්‍යාපාරයක් නොවෙයි. එය ස්වයංසිද්ධ වූවක් (spontaneous). සංවිධානගත සිවිල් සමාජයක් අවශ්‍ය වන්නේ මෙබඳු තාවකාලික පෙළගැසීම් වඩාත් විධිමත් ලෙස කිරීමටයි.

2014 ජූලි 22 දා මැතිවරණ කොමිසම නිල ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කළා. මේ මැතිවරණයේදී ඉන්දුනීසියානුවන් 133,574,277ක් ඡන්දය ප‍්‍රකාශ කළා. එය ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවෙන් 69.58%ක්. ප‍්‍රතික්‍ෂෙප වූ ඡන්ද තිබුණේ 1.02%ක් පමණයි. ප‍්‍රකාශිත ඡන්දවලින් 53.15%ක් ලබා ජෝකෝ විදෝදෝ ජනාධිපති තනතුරට පත් වුණා. ප‍්‍රබෝවෝ ලැබුවේ ඡන්ද 46.85%යි. මුලදී මේ ප‍්‍රතිඵලය පිළිගැනීම ඔහු ප‍්‍රතික්‍ෂෙප කළත් පසුව මේ ප‍්‍රතිඵලය නීතිමය වශයෙන් සනාථ වුණා.

ජයග‍්‍රාහක විදෝදෝ ඔක්තෝබර් 20දා තනතුරේ වැඩ භාර ගත්තා. නව දේශපාලන සදාචාරයක් ඇති කිරීමට ඔහු දැනටමත් ක‍්‍රියාකරමින් සිටිනවා.

උදාහරණයකට නොවැම්බරයේ සිංගප්පුරුවේ උගනිමින් සිටින තම පුතාගේ උසස් පෙළ සමත්වීමේ උත්සවයකට ඔහු සාමාන්‍ය පංතියේ ගුවන් මගියකු ලෙස පෞද්ගලික වියදමින් එහි ගියා. ජනාධිපතිවරයාට වෙන් කළ ගුවන් යානයක් එරට තිබුණත් මේ පෞද්ගලික සංචාරයට කිසිදු රජයේ වියදමක් සිදු වනු දැකීමට ඔහු කැමති වුයේ නැහැ. තනතුරේ ලාභ ප‍්‍රයෝජන ගැනීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති අද කාලේ මෙය ජාත්‍යන්තර මාධ්‍ය විසින් පවා වාර්තා කරනු ලැබුවා.

Indonesia's President, Joko Widodo, took a selfie with students at his son's school in Singapore
Indonesia’s President, Joko Widodo, took a selfie with students at his son’s school in Singapore

See also: Technology for Transparency

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: