සිවුමංසල කොලූගැටයා #192: “විද්‍යාඥයන් දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි” – අබ්දුස් සලාම්

Twenty-five years ago, I interviewed the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: theoretical physicist Dr Abdus Salam (1926 – 1996).

Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.

In last week’s Ravaya column (in Sinhala), I profiled the accomplished South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world. This week, I render into Sinhala segments of the two interviews I did with him – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.

Dr Abdus Salam (1926 – 1996)

Dr Abdus Salam (1926 – 1996)

නොබෙල් ත්‍යාගය මුදල් අතින් ලෝකයේ ලොකුම ත්‍යාගය නොවෙයි. එයට වඩා වැඩි මුදලක් දෙන විද්‍යා, කලා හා සාමයික ත්‍යාග තිබෙනවා. එහෙත් සමාජ පිළිගැනීම හා මාධ්‍ය උනන්දුව සළකා බැලූ විට නම් උසස්ම ත්‍යාග වන්නේ නොබෙල් ත්‍යාගයි.

නොබෙල් ත්‍යාගලාභීන් ලෝකපූජිත වනවා. බොහෝ ත්‍යාගලාභීන් එය තමන්ගේ පර්යේෂණ, නිර්මාණ හෝ සමාජ අරගලයන් සඳහා ප‍්‍රබල උපකාරයක් බවට පත් කර ගන්නවා.

නොබෙල් ත්‍යාගලාභියකු මට මුල් වරට හමු වූයේ 1989දී. ඒ වන විට 23 වන වියේ සිටි, අඩු අත්දැකීම් තිබූ මා බලාපොරොත්තු වූයේ බෙහෙවින් ගරු ගාම්භීර චරිතයක්. එහෙත් සැබැවින්ම මට මුණ ගැසුණේ චින්තනය අතින් ගාම්භීර හා උදාර වුවත් චරිත ගතියෙන් ඉතා මිත‍්‍රශීලි හා නිහතමානි කෙනෙක්.

ඔහු තමයි ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). පාකිස්ථානයේ මුල්ම (හා මෑතක් වනතුරු එකම) නොබෙල් ත්‍යාගලාභියා. 1979 භෞතික විද්‍යා ත්‍යාගයේ සමලාභියා. දියුණුවන ලෝකයේම අයින්ස්ටයින් ලෙස හඳුන්වනු ලැබූ විශිෂ්ඨ භෞතික විද්‍යාඥයා.

ඔහුගේ චරිත කථාව පසුගිය කොලමින් මා සැකෙවින් විස්තර කළා. ඔහු ශ‍්‍රී ලංකාවට ආවේ 1989 මැදදී. ඔහුගේ සමීප මිතුරකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ ඇරැයුමින්. මහනුවර මූලික අධ්‍යයන ආයතනයේත්, කොළඹදීත් ප‍්‍රසිද්ධ දේශන කිරීමට අමතරව ඔහු අපේ විද්වතුන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් මුණ ගැසී සාකච්ඡා කළා.

මේ රැස්වීම් අතරතුර ඔහු පැය බාගයක පමණ සම්මුඛ සාකච්ඡාවක් මට ලබා දුන්නා. අප කථා කළේ භෞතික විද්‍යාව ගැන නොවෙයි. (එදත් අදත් ඔහුගේ විෂයය මට ග‍්‍රහණය කර ගන්නට අමාරුයි.) විද්‍යාව හා තාක්‍ෂණය ඔහුගේ හා අපේ රට වැනි රටවල සංවර්ධනයට හරවත් හා තිරසාර ලෙසින් කෙසේ යොදා ගත හැකිද යන්න ගැනයි. ඇත්තටම එය භෞතික විද්‍යාව තරම්ම ඔහුට සමීප මාතෘකාවක්.

එදා මෙදා තුර මට හමු වී ඇති බොහෝ විද්‍යාඥයන්ට වඩා විවෘතව හා විචාරශීලීව විද්‍යාව හා තාක්‍ෂණයේ සමාජයීය බලපෑම්, වගකීම් හා සීමාවන් ගැන සලාම් කථා කළා. අප මේ සංවාදය කළ අවධියේ දියුණු වන රටවල් සිටියේ අදටත් වඩා බොහෝ දුගී බවින් මිරිකී හා පසුගාමීවයි. රටේ ජනතාවට ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය වැනි අවශ්‍යතා සම්පාදනය කිරීමටවත් ඇති තරම් මුදල් නොමැති පසුබිමක විද්‍යා පර්යේෂණ හා ආයතන සඳහා වැඩිපුර මුදල් වෙන් කරන්නේ කෙසේදැයි යන තර්කය ප‍්‍රබලව මතු වුණා.

සලාම් මෙය විග‍්‍රහ කළේ ක‍්‍රමීය විශ්ලේෂණයකින් හා දිගු කාලීන දැක්මකින්. දියුණු රටවල් හා නොදියුණු රටවල් අතර ප‍්‍රධානතම වෙනස නම් දියුණු රටවල් විද්‍යා හා තාක්‍ෂණය ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම බව ඔහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නා.

ගෙවී ගිය වසර 25 තුළ සමාජ ආර්ථික යථාර්ථය බෙහෙවින් වෙනස් වී ඇතත් අපේ සංවාදයේ කොටස් තවමත් අදාල යයි මා සිතනවා. ඒ නිසා උධෘත කිහිපයක් මෙන්න.

Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972

Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972

නාලක: දියුණුවන රටවලට ඉක්මනින් විසඳා ගත යුතු අවශ්යතා හා ගැටළු තිබෙනවා. විද්යවේ රතිඵල එන්නේ කාලයාගේ ඇවෑමෙන්. ඉතින් විද්යාවෙන් සංවර්ධන රශ්න විසඳන්නේ කෙලෙසද?

සලාම්: රටක් සංවර්ධන සැළසුම් හදන විට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් සිතිය යුතුයි. අඩුතරමින් වසර 20-25ක් පමණ ඉදිරි දැක්මක් අවශ්‍යයි. දකුණු කොරියාව, ඉරානය, වෙනසියුලාව වැනි රටවල් කිහිපයක් විද්‍යාව හා තාක්‍ෂණය හරහා ආර්ථික සංවර්ධනය තියුණු කර ගැනීමේ ක‍්‍රමෝපායයන් හඳුනාගෙන ඒ සඳහා මහජන මුදල් වැඩියෙන් යොදන්නට පටන් ගෙන තිබෙනවා. විද්‍යාවන් අතරින් තේරීමක් කිරීමත් වැදගත්. ජාතික ධනය ඉපදවිය හැකි භූ විද්‍යාව හා භෞතික විද්‍යාවන්, රටේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය හැකි වෛද්‍ය විද්‍යා හා අණුක ජිව විද්‍යාවන් (molecular biology) සඳහා මුල් තැන දිය යුතු යයි මා සිතනවා.

බොහෝ රටවල සංවර්ධන හා ආර්ථික රතිපත්ති සම්පාදනයට විද්යාඥයන් සම්බන්ධ නැහැ. ඔවුන් කෙසේ දායක විය යුතුද?

රටක දැවෙන සමාජ, ආර්ථික ප‍්‍රශ්න විසඳීමේදී තමන්ට වැදගත් කාර්යභාරයක් තිබෙන බව බොහෝ විද්‍යාඥයන් තවමත් වටහා ගෙන නැහැ. එසේම ඔවුන් දේශපාලන ක‍්‍රියාදාමයෙන් දුරස්ථව සිටිනවා. මා සිතන්නේ මෙය වෙනස් විය යුතු බවයි. තම වෘත්තීය ගරුත්වය රැක ගන්නා අතර විද්‍යාඥයෝ රට කරවන දේශපාලකයන් සමග නිරතුරු සංවාද කළ යුතුයි. පර්යේෂණවලට යොදවන මහජන මුදල්වලින් කෙටි හෝ දිගු කාලීන ප‍්‍රතිලාභ ලැබෙන බව හා ලැබෙන සැටි පෙන්වා දිය යුතුයි.

කියන්නේ අද කාලේ හොඳ පර්යේෂණ කොට ඒවා පිළිගත් විද්වත් සඟරාවල පළ කිරීම පමණක් මදි?

කොහෙත්ම සෑහෙන්නේ නැහැ. තමන්ගේ හොඳ පර්යේෂණවල ප‍්‍රතිඵල අපතේ නොයාමට නම් විද්‍යාඥයෝ ජාතික ප‍්‍රතිපත්ති හා පොදු උන්නතිය පිළිබඳ කතිකාවක යෙදිය යුතුයි. එසේම විද්‍යාවේ අහිතකර බලපෑම් ගැන අවංකව තක්සේරුවකට සූදානම් විය යුතුයි.

නවීන විද්යාව හා තාක්ෂණය අද ලෝකයේ බොහෝ රශ්නවලට දායක වී ඇතැයි කෙරෙන චෝදනාව එතකොට සනාථ වනවා නේද?

චෝදනා එල්ල කිරීමක් හෝ බාර ගැනීමක් හෝ ගැන නොවෙයි මා කථා කරන්නේ. අප කවුරුත් අපේ වෘත්තීමය ක‍්‍රියාවල වගකීමට මුහුණ දිය යුතුයි. බොහෝ විට තනි විද්‍යාඥයකු ගේ තනි පර්යේෂණයක දිගු කාලීන ප‍්‍රතිඵල කෙසේ ඇතිවේදැයි එක්වරම කියන්නට අමාරුයි. පෙනිසිලින් ප‍්‍රතිජීවකය සොයාගත් විද්‍යාඥයා ඒ නිසා ජීවිත රැසක් බේරා ගන්නට දායක වුණා. එහෙත් කලක් යන විට මේ හරහා ජනගහන වර්ධනය වඩාත් සීඝ‍්‍ර වුණා. එයට ප‍්‍රතිජීවක සොයා ගත් විද්‍යාඥයන්ට සෘජුව දොසක් කිව නොහැකියි.

එහෙත් විද්‍යාවේ භාවිතයන් නිසා මතුවන පසු කාලීන ප‍්‍රතිඵල ගැන විද්‍යා ප‍්‍රජාව ලෙස අප සාමුහිකව වගකීමක් දරනවා. පරමාණුවේ ස්වභාවය සොයා ගෙන කළ මූලික භෞතික විද්‍යා පර්යේෂණ නිසා ලෝකයේ හා විශ්වයේ ස්වභාවය ගැන අප බොහෝ දේ දැන ගත්තා. එහෙත් ඒ දැනුම නිසාම භයානක න්‍යාෂ්ටික අවි ද බිහි වුණා. න්‍යෂ්ටික අවි සමග ජීවත්වීමට අද ලෝකයට සිදුව තිබෙනවා.

සංවර්ධනය අර්ථ දැක්වීම පිළිබඳ පොදු එකඟතාවයක් නැහැ. දළ ජාතික නිෂ්පාදිතය (GNP) වැඩි කිරීම පමණක් සංවර්ධනය කියන්නේ?

මෙය විශාල සංවාදයක්. මේ සංවාදයේ මෑතක් වන තුරු ප‍්‍රබලව මතු වූයේ ආර්ථික විද්‍යාඥයන්ගේ මතවාද පමණයි. 20 වන සියවසේ බොහෝ රටවල සංවර්ධන ප‍්‍රතිපත්ති සකස් කොට ඇත්තේ වැඩිපුරම ආර්ථික විද්‍යාඥයන්ට උවමනා හැටියටයි. මේ නිසා විසමතා රැසක් මතුව තිබෙනවා. මේවා වෙනස් කිරීමට නම් සෙසු විද්‍යාඥයෝ සංවර්ධන සංවාදවල පිවිස නිරතුරුව දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි.

මගේ සහෝදර විද්‍යාඥයන් බොහෝ දෙනකු තම රටේ දළ ජාතික නිෂ්පාදන සංඛ්‍යා ලේඛනවත් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ මේවා ඔවුන්ගේ වෘත්තීයට අදාල නැත කියායි. මේ ආකල්පය නිසා විද්‍යාඥයන් ස්වයං පිටුවහල්වීමක් කර ගෙන තිබෙනවා.

තමන්ට සමාජයේ තීරක මට්ටමේ බලපෑමක් කළ නොහැකි යයි මැසිවිලි නගන විද්‍යාඥයෝ තමන් කෙතරම් රටේ ජාතික සංවාදවලට සම්බන්ධ වී ඇත්දැයි මොහොතක් මෙනෙහි කළ යුතුයි.

ආර්ථික විද්යාඥයෝ නම් ඇති තරම් දේශපාලන තන්තරයට සමීපයි නේද?

ඒ අය තමයි ලොකුම ප‍්‍රශ්නය! ආර්ථික විද්‍යාඥයෝ දේශපාලකයන්ට නිතර කියන්නේ භෞතික විද්‍යා, ජීව විද්‍යා වැනි ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් රටට විදයම් අධික කරන, එහෙත් එයට සමානුපාතික ප‍්‍රතිලාභ ගෙන නොදෙන පිරිසක් බවයි. එසේම අප වැනි විද්‍යාඥයෝ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයනු වෙනුවට හුදෙක් දැනුමේ ප‍්‍රවර්ධනය සඳහා පමණක් පර්යේෂණ කරන බවයි.

ආර්ථික විද්යාඥයන්ගේ මේ පටු දැක්ම වෙනස් කළ හැකිද?

එසේ කරන්නනට මට ලොකු ඕනෑකමක් තිබෙනවා. එයට ඔවුන් සමග අප නිතර සංවාද කළ යුතුයි. දේශපාලන ක‍්‍රියාදාමය ගැන සෙසු විද්‍යාඥයන්ට වඩා හොඳ අවබෝධයක් ආර්ථික විද්‍යාඥයන්ට තිබෙනවා. එයින් අන් විද්‍යාඥයන් ආදර්ශ ගත යුතුයි. පැත්තකට වී අපේ පාඩුවේ පර්යේෂණ කළාට පමණක් මදි.

රටේ දේශපාලන, සමාජයීය හා සංස්කෘතික ප‍්‍රශ්නවලදී පුරවැසියන් හා විද්වතුන් ලෙස විද්‍යාඥයන් සම්බන්ධ විය යුතු යුතුයි. මා පකිස්ථානයේත්, තුන්වන ලෝකයේ අන් සැම රටකමත් විද්‍යාඥයන්ට කලක සිට දෙන අවවාදය මෙයයි.

එහෙත් විද්යාඥයෝ හා ඔවුන්ගේ විද්වත් සංගම් කියන්නේ දේශපාලකයන් තමන්ට සවන් නොදෙන බවයි. බීරි අලින්ට වීනා වාදනය කොට ඵලක් තිබේද?

එහෙම කියලා අත හරින්න බැහැ! විද්‍යාඥයන් වන අප මීට වඩා ව්‍යක්ත හා සූක්‍ෂම ලෙස අපේ විෂය ක්‍ෂෙත‍්‍රයන් සමාජගත කළ යුතුයි. ප‍්‍රතිප්තිත සම්පාදකයන්ට බණ දේශනා නොකර ඔවුන් මුහුණ දෙන දෛනික අභියෝග ද හඳුනා ගත යුතුයි. කළ හැකි හා කළ යුතු ඉතාම හොඳ පියවරට වහා ඉඩක් නැතිනම් ඊළඟට හොඳම පියවර කුමක්ද (second best policy options) ආදි වශයෙන් නම්‍යශීලී විය යුතුයි.

ප‍්‍රතිපත්ති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම දියණුවන රටවල සැම විටම තර්කානුකූල හා සාක්‍ෂිමත පමණක් පදනම් වූවක් නොවෙයි. එය විකාරරූපී විය හැකියි. කෙටි කාලීන අරමුණු මත පදනම් විය හැකියි. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් ඇති රටවල ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයන් ටික දෙනෙකුට පමණක් ඉතිරි කොට අපට මුළුගැන් වී සිටිය නොහැකියි. ටිකෙන් ටික හෝ විද්වතුන් වන අප එම සංවාදවලට ප‍්‍රවේශ වී ඒවා වඩාත් තර්කානුකූල හා තිරසාර මට්ටමට වෙනස් කළ යුතුයි. එසේ නැතිව පර්යේෂණවලට හෝ උසස් අධ්‍යාපනයට වැඩිපුර ප‍්‍රතිපාදන ඉල්ලා උද්ඝෝෂණ කිරීම පමණක් මදි. පර්යේෂණවලට ප‍්‍රතිපාදන වැඩි කිරීම ද අවශ්‍යයි.

එයට මුදල් ජාතික භාණ්ඩාගාරයේ නැත්නම්, ණය වී හෝ මුදල් සොයා ගත යුතුද?

ණය ගන්නවාට වඩා රටක තිබෙන මහජන මුදල් කෙසේ යොදනවා ද යන්නයි වැදගත්. ලෝකයේ ඉසුරුබර රටවල් සාමුහික ලෙසත්, දියුණුවන රටවල් සාමුහික ලෙසත් ගෙන මා ඔවුන්ගේ මහජන මුදල් ප‍්‍රතිපාදන බෙදා හරින සැටි ගැන අධ්‍යයනය කළා. පොදුවේ ගත් විට මේ දෙපිරිසම අධ්‍යාපනයට එක හා සමාන ප‍්‍රතිශතයක් වෙන් කරනවා. ආරක්‍ෂක කටයුතු හා හමුදා වියදම් සඳහා ද ගෝලීය උතුරු හා දකුණු ප‍්‍රතිපාදන ප‍්‍රතිශතයක් ලෙස සමීපයි.

එහෙත් සෞඛ්‍ය, විද්‍යා පර්යේෂණ වැනි ක්‍ෂෙත‍්‍රවලදී එසේ නැහැ. ගෝලීය උතුරේ රටවල් තම වැසියන්ගේ සෞඛ්‍ය සඳහා යොදන මුදල් ප‍්‍රතිශතයෙන් තුනෙක් එකයි දකුණේ රටවල් වෙන් කරන්නේ. විද්‍යා පර්යේෂණ සඳහා දකුණේ රටවල් සොච්චමක් වැය කරන විට උතුරේ රටවල් (හමුදාමය නොවන සිවිල් පර්යේෂණ සඳහා) එමෙන්ම හත් අට ගුණයක් වෙන් කරනවා.

අද ලෝකයේ ඇති නැති පරතරටය ඓතිහාසික සාධක තිබෙනවා. එහත් ඒවා තව දුරටත් ප‍්‍රබල වීමට මෙසේ විද්‍යාවට හා පර්යේෂණවලට දකුණේ රටවල නිසි තැනක් නොලැබීමත් දායක වන බව මගේ විග‍්‍රහයයි.

Nalaka Gunawardene's interview with Dr Abdus Salam, Asia Technology Oct 1989

Nalaka Gunawardene’s interview with Dr Abdus Salam, Asia Technology Oct 1989

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: