සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ

Last week, I wrote in my Ravaya column (in Sinhala) about Lankan writer Deeman Ananda (1933-2007), who wrote over 1,000 books of crime fiction, detective fiction and other thrillers in Sinhala from 1960s well into the 1980s.

I had lots of reader responses – many of them thanking me for the info and insights on this neglected writer.

Today, I probe further why a popular and prolific writer like Deeman Ananda was ridiculed and demonized by the literary mainstream and critics. I argue that the artificial and rigid divide between Lankan popular culture and so-called high culture is at the root of such discrimination. Besides Ananda, other creative professionals – from singers and dramatists to comic artists – have also suffered from this misplaced prejudice.

'Giants' of popular culture in Sri Lanka: L to R - Deeman Ananda, Nimal Lakshapathiarachchi, Titus Thotawatte

‘Giants’ of popular culture in Sri Lanka: L to R – Deeman Ananda, Nimal Lakshapathiarachchi, Titus Thotawatte

අපේ රටේ මුළු පරම්පරාවක්ම කියවීමට හුරු කළ ඞීමන් ආනන්ද ලේඛකයා ගැන ලියූ කොලමට විවිධාකාර ප‍්‍රතිචාර ලැබුණා. පණ්ඩිතයන් හා විචාරකයන් කෙතරම් හෙළා දුටුවත් ඔහු පොදු ජනයා අතර තවමත් වීරයකු බව නම් පැහැදිලියි.

ප‍්‍රතිචාර අතර අභව්‍ය එකක් වූයේ මෙරට ‘සිංහල බෞද්ධ සංස්කෘතිය සැළසුම් සහගතව විනාශ කිරීමේ බටහිර කුමන්ත‍්‍රණයක’ ඞීමන් ආනන්ද නියෝජිතයකු වූ බවයි. මේ කුමන්ත‍්‍රණ ‘බිල්ලා’ හැම කථාබහකම ඉන්නවා. මට නම් දැන් අහලා එපා වෙලා.

මීට සති කිහිපයකට පෙර එස්. එම්. බන්දුසීලයන් සමග මා කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී දේශනයක් කළා. 1930-1950 අතර කාලයේ බටහිර ලෝකයේ ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් වූ ලිහිල් හා අඩු මිළැති විද්‍යා ප‍්‍රබන්ධ හා අනෙකුත් ත‍්‍රාසජනක කථා (pulp fiction)ගැන කථා කරමින් අප මතු කළ ප‍්‍රශ්නය වූයේ එයින් ආභාෂය ලැබූ අපේ ජනප‍්‍රිය සංස්කෘතියක් වී ද යන්නයි.

අපට සොයා ගත හැකි වූ ආසන්නම උදාහරණ වූයේ මුල් යුගයේ සිංහල චිත‍්‍රකථා (විශේෂයෙන් ජී. එස්. ප‍්‍රනාන්දු හා සුසිල් පේ‍්‍රමරත්නගේ ශෛලීන්) සහ ඞීමන් ආනන්දගේ ත‍්‍රාසජනක කථායි. මේ දේශනය අවසානයේත්, සයිබර් අවකාශයේත් යම් සංවාදයක් මතු වුණා. එහිදී කියැවුණු එක් වැදගත් කරුණක් නම් ජනප‍්‍රිය සංස්කෘතිය මෙරට හරිහැටි ස්ථාපිතවීමට එරෙහිව යම් අධිපතිවාදී හෝ ගතානුගතික බලවේග නැගී සිටින බවයි.

ලක් සමාජයට සරල අහිංසක වින්දනයක් ලබා දීමට තැත් කළ තවත් බොහෝ ශිල්පීන්ට මේ අත්දැකීම ඇති. මේ විරෝධය ප‍්‍රබල ලෙසින් ඞීමන් ආනන්දට ජීවිත කාලයක් පුරා තිබුණා.

Dayawansa Jayakody

Dayawansa Jayakody

වරක් 1990 දශකය මුලදී ප‍්‍රකාශක දයාවංශ ජයකොඩි එවකට සිටි සංස්කෘතික අමාත්‍ය වි. ජ. මු. ලොකුබණ්ඩාරට යෝජනා කළා මෙරට වැඩිම පොත් ගණනක් ලියූ ලේඛකයා ලෙස ආනන්දට රාජ්‍ය සාහිත්‍ය උලෙළකදී, විශේෂ සම්මානයක් දෙන ලෙස. එයට යන වියදම දැරීමට ද ජයකොඩි කැමතිව සිටියා.

‘‘අවසාන විනිශ්චයේදී ප‍්‍රකාශයකයන් වන අපි සැවොම පොත් මුදලාලිලා. වැඩියෙන්ම පොත් පළ කරන ප‍්‍රකාශකයාට සම්මානයක් දෙනවා නම් වැඩියෙන්ම පොත් ලියූ ලේඛකයාටත් සම්මාන දිය හැකියි කියා මා තර්ක කළා’’ දයාවංශ ජයකොඩි කියනවා.

එහෙත් ඇමතිවරයා වටා සිටි නිලධාරින් හා ‘ප‍්‍රබුද්ධ’ සාහිත්‍යකරුවන් එයට ඉඩ දුන්නේ නැහැ. ඒ තරමට ඔවුන් ආනන්දව කොන් කළා. සමහර විට ඉරිසියාව හා කුහකකම නිසා වෙන්න ඇති.

කලාවෙන් වින්දනයක් ලැබීම පාපයක් හෝ බොළඳ ක‍්‍රියාවක් නොවෙයි. එසේම සරල වින්දනය සඳහා කලා කෘති නිර්මාණය කිරීම කලාව බාල්දු කිරීමක් ද නොවෙයි.

ඞීමන් ආනන්දට පමණක් නොව කරුණාසේන ජයලත් වැනි තරුණ පරපුර අතර කලක් ජනප‍්‍රිය වූ ලේඛකයන් ද සාහිත්‍ය පණ්ඩිතයෝ ප‍්‍රසිද්ධියේ හෙළා දුටුවා. සිත් ගන්නා සුළු ලිහිල් භාෂා ශෛලියකින් හරබර චරිතකථා, නවකථා, කෙටිකථා හා වෙනත් සමාජ විචාරයන් ලියූ ප‍්‍රවීණ පත‍්‍ර කලාවේදී ගුණදාස ලියනගේ සූරින් පවා මෙරට සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඇති තරම් ඇගැයීමට ලක් වුණේ නැහැ.

15 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

ඔවුන් කොන් කිරීම තුලින් සංකේතවත් වූයේ මෙරට සාහිත්‍ය කලා ක්‍ෂෙත‍්‍ර අරක් ගෙන සිටින හා සමස්ත ජන සමාජය වෙනුවෙන් තීරණ ගන්නා අතලොස්සකගේ අධිපතිවාදය හා උද්දච්චකමයි. ජනප‍්‍රිය සංස්කෘතියේ වැදගත්කම හඳුනාගෙන එයට සමාන්තරව පවතින්නට නොදී අකුල් හෙළීම පෙන්නුම් කරන්නේ මේ සංස්කෘතික බහිරවයන්ගේ පටු මානසිකත්වයයි.

මෙය හුදෙක් සාහිත්‍යයට පමණක් නොව පොදුවේ සමස්ත සංස්කෘතියටම අදාල විසමතාවයක්. චිත‍්‍ර කලා ක්‍ෂෙත‍්‍රයේ බහුතරයක් ශිල්පීන් චිත‍්‍රකථා නිර්මාණකරුවන් දැඩි සේ පහත් කොට අවඥාවෙන් සැළකූ හැටි අප මීට පෙර කොලමක සඳහන් කළා.

‘අයාලේ ගිය සිතක සටහන්’ (2007) පොතේ තිස්ස අබේසේකර සූරින් මෙසේ කියනවා: ‘‘මොහිදින් බෙග් අතිශ්‍රේෂ්ඨ කටහඬක් තිබූ ගායකයෙකි. සී.ටී. ප‍්‍රනාන්දුට ද ඒ හා සමාන දුර්ලභ ගණයේ කටහඬක් තිබුණේය. එහෙත් සිංහල සංගීතය වට කොට ගොඩනැගී තිබුණු විචාර ස්ථාවරය, සී. ටී. ප‍්‍රනාන්දුව බැහැර කළේය.’’

1973දී ගුවන් විදුලි සංස්ථාව සියලූ ගායක ගායිකාවන් සඳහා කටහඬ පරික්‍ෂණයක් පවත්වා ශ්‍රේණිගත කරන විට සී. ටී. ප‍්‍රනාන්දු විශිෂ්ඨ ශ්‍රේණියේ ගායකයකු ලෙස වර්ග කළ යුතු බවට සුනිල් සාන්තයන් කියා සිටියත් මඩුල්ලේ සෙසු සාමාජිකයන් දෙදෙනා ඊට එකඟ නොවූ බව අබේසේකර කියනවා. හේතුව? ‘‘සී.ටී.ප‍්‍රනාන්දු පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් දුර්වල වූ’’ නිසා.

සම්භාව්‍ය පිරිස ඔහුට හරිහැටි පිළිගැනීමක් දුන්නේ නැතත් මෙරට සංගීත රසිකයෝ සී. ටී. ප‍්‍රනාන්දුගේ ගීතවලට මහත් සේ ඇළුම් කළා.

H. R. Jothipala (1936-1987)

H. R. Jothipala (1936-1987)

පසු කලෙක එච්. ආර්. ජෝතිපාල හා ජිප්සීස් කණ්ඩායමට එරෙහිව ද මෙබඳු ප‍්‍රතිරෝධ මතු වුණා. ‘ජනප‍්‍රිය’ ලේබල් ගසා කොන් කිරීමට ප‍්‍රබුද්ධයෝ සමහරුන් උත්සාහ කළා.

රේඩියෝ මාධ්‍යය රජයේ ඒකාධිකාරයක්ව තිබූ දශකවල ඒ හරහා හරවත් දේ ප‍්‍රචාරය වූ බව ඇත්තයි. එහෙත් රේඩියෝව ජන සමාජයේ සිටියේ ඉස්කෝලෙ මහත්තයා/ඉස්කෝල් හාමිනේ බඳු ගාම්භීර ස්වරූපයෙන්. එහි වරදක් නැතත් එතරම් හෘදයංගම බවක් තිබුණේ ද නැහැ.

රේඩියෝව ශ‍්‍රාවකයන්ට වඩාත් සමීප කරමින් පවුලේ නෑයකු හෝ ලෙන්ගතු මිතුරකු මට්ටමට ගෙන ආයේ පෞද්ගලික FM නාලිකායි. මේ පරිනාමයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සිරස නාලිකාවට සහ එහි ප‍්‍රධානියා වූ නිමල් ලක්‍ෂපතිආරච්චිට ප‍්‍රබුද්ධ කල්ලියේ දැඩි අප‍්‍රසාදය හා ප‍්‍රතිරෝධය එල්ල වුණා.

හැමදාමත් හැම අසන්නාම ශාස්ත‍්‍රීය සංගීතය, ශාස්තී‍්‍රය සාකච්ඡුා හා ගරු ගාම්භීර ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයන්ම ඇසිය යුතුද? කිසිසේත් නැහැ. 1990 දශකයේ පටන් මෙරට ටෙලිවිෂන් හා රේඩියෝ ග‍්‍රාහකයන්ට තෝරා ගත හැකි පරාසය (choice) පුළුල් වුණා.

මා සංස්කෘතිය ගැන විශාරදයෙක් නොවෙයි. එහෙත් මට තේරෙන හැටියට නම් රටක ජනප‍්‍රිය සංස්කෘතිය දියුණු වූවාට එහි ඓතිහාසික උරුමයට හෝ සම්භාව්‍ය යයි සැළකෙන සංස්කෘතික අංගයන්ට හෝ හානියක් වන්නේ නැහැ. (එසේම සංස්කෘතිය නිතිපතා ජන සමාජය තුළ අලූත් වන ගතික සංසිද්ධියක්. එය කටුගෙයක හෝ ලේඛනාගාරයක හෝ රක්‍ෂිතව තබා ගත හැකි දෙයක් නොවෙයි. එයට තනි හිමිකරුවකු ද නැහැ. එය පොදු ජනයාගේ සම්පතක්.)

ජනප‍්‍රිය සංස්කෘතිය අපට අලූත් දෙයක් ද නොවේ (මෑත දශකවල එයට අලූත් මුහුණුවර හා පැතිකඩ ලැබුණත්). අපේ පැරණි බලි, තොවිල්, ශාන්තිකර්ම, විරිඳු ආදියේ ඇතැම් තැන්වල සරල වින්දනය හා හාස්‍ය රසය ලබා දෙන්නට උත්සාහ කරනවා. අනවශ්‍ය තරමට අහංකාර හා මාන්නාධික වූ රජවාසල ප‍්‍රභූන් (සමහර අවස්ථාවල රජු පවා) උපහාසයට ලක් කළ අන්දරේ ජනප‍්‍රිය සංස්කෘතියේ සංකේතයක්.

අපේ පණ්ඩිතයන් කියන්නේ සරල සංගීතය වෙනුවට ශාස්ත‍්‍රීය සංගීතය, FM නාලිකාවල ලිහිල් කථාබහ (චිට්චැට් කිරීම) වෙනුවට බරපතල ශාස්ත‍්‍රීය සාකච්ඡ පමණක් පොදු අවකාශයේ තිබිය යුතු බවයි. මේ කොලම ලියන්නට පටන් ගත් මුල් වසරේ (2011) මගේ පණ්ඩිත මිතුරන් අවංකවම මට අවවාද කළේ සරල ලිහිල් සිංහල බසකින් ලිවීමෙන් මගේ ප‍්‍රතිරූපය හෑල්ලූ වන බවයි.

මා මෙය දකින්නේ නොමග ගිය විදග්ද බවක් හැටියටයි. ජනප‍්‍රිය සංස්කෘතිය හා සම්භාව්‍ය සංස්කෘතිය තරගකාරී නොවී වර්ධනය විය හැකි බවට පෙර අපර දෙදිගම   ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. අපේ කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, ජපානය වැනි රටවල් සම්භාව්‍ය සංස්කෘතිය හා ජනප‍්‍රිය සංස්කෘතිය යන දෙකටම ඉඩ හා ඇගැයීමක් ලබා දෙනවා. එය සමාජ තරාතිරම් අනුව හෝ උගත්කමේ මට්ටම අනුව හෝ බෙදී ගිය යථාර්ථයක් ද නොවෙයි.

මැංගා (Manga) චිත‍්‍රකථා කියවා රසවිඳින බොහෝ ජපන්නු සම්භාව්‍ය නවකථා ද කියවනවා. බොළඳ යයි පෙනෙන බොලිවුඞ් චිත‍්‍රපට බලන්නට රිසි ඉන්දියානුවෝ බොහෝ දෙනා අතිශයින් කලාත්මක හා සංවේදී සම්භාව්‍ය සිනමා කෘතිවලට ද කාලය මිඩංගු කරනවා. අපේ රටේ මෙන් ප‍්‍රබුද්ධ – පීචං කෘති‍්‍රම ධ‍්‍රැවීකරණයක් ඔවුන්ගේ නැහැ.

වඩාත් පරිනත මාධ්‍ය සංස්කෘතියක් ඇති බි‍්‍රතාන්‍යය, ජපානය හා කොරියාව වැනි රටවලත් සම්භාව්‍ය, ජනප‍්‍රිය හා මේ දෙක අතර දෙමුහුම් වැනි මාධ්‍ය තිබෙනවා. එසේම සම්භාව්‍ය කුලයේ මාධ්‍ය පවා වැඩි ජන අවධානය ලබා ගන්නට සරල වින්දන උපක‍්‍රම යම් තාක් දුරට යොදා ගන්නවා.

බි‍්‍රතාන්‍යයේ BBC කලක් සිටියේ ප‍්‍රභූ නැන්දා කෙනෙක් වගේ. එරට වැසියන්ට එයට දුන් විකට නාමය ආන්ටි බීබ් (Auntie Beeb). එහෙත් අද BBC පවා ජනප‍්‍රිය සංස්කෘතියට යම් තරමකට අනුගත වී තිබෙනවා.

1982දී විකාශයන් ඇරඹූ ජාතික රූපවාහිනියේ මුල් වසරවල තීරක මට්ටමේ සිටි බොහෝ දෙනා ගුවන් විදුලි සංස්ථාවෙන් ආ අයයි. ඊට අමතරව කලා හා සංස්කෘතික ක්‍ෂෙත‍්‍රවල විද්වතුන් කිහිප දෙනෙකු ද සිටියා. මේ අය බහුතරයක් ටෙලිවිෂන් මාධ්‍යය පණ්ඩිත කරන්නට තැත් කරන විට එය වඩාත් සැහැල්ලූ, හෘදයාංගම එහෙත් හරවත් මාධ්‍යයක් බවට පත් කළේ ටයිටස් තොටවත්ත සූරින්. මේ බව ඔහු මිය ගිය අවස්ථාවේ කොලමකින් මා මෙසේ සිහිපත් කළා.

“මුල් යුගයේ මෙරට ටෙලිවිෂන් මාධ්‍යය හැසිර වූ අයගේ තර්කය වුණේ හරවත් දේ රසවත්ව කීමට බැරි බවයි. ඔවුන්ගේ පණ්ඩිතකම වෙනුවට ටයි මාමා අපට ලබා දුන්නේ හාස්‍යය, උපහාසය, රසාස්වාදය මනා සේ මුසු කළ එහෙත් හරවත් ටෙලිවිෂන් නිර්මාණයි. උවමනාවට වඩා ශාස්ත‍්‍රීය, ගාම්භීර හා ‘ප‍්‍රබුද්ධ’ විදියට නව මාධ්‍යය ගාල් කරන්නට උත්සාහ කළ සරසවි ඇදුරන්ට හා සිවිල් සේවකයන්ට ටයි මාමාගෙන් වැදුණේ අතුල් පහරක්.

“ඔහු කළ ලොකු ම සංස්කෘතික විප්ලවය නම් ළදරු රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් පෙළගැස්ම අනවශ්‍ය ලෙසින් ‘පණ්ඩිත’ වන්නට ඉඩ නොදී, එයට සැහැල්ලූ, සිනහබර ශෛලියක් එකතු කිරීමයි. කට වහර හා ජන විඥානය මුල් කර ගත් ටයි මාමාගේ කතන්දර කීමේ කලාව නිසා රූපවාහිනිය යන්තම් බේරුණා. එසේ නැත්නම් සැළලිහිනියා පැස්බරකු වීමේ සැබෑ අවදානමක් පැවතුණා.”

30 Oct 2011: සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

තොටවත්ත ඉතා හොඳින් පෙන්වා දුන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය හරබර අදහස් රටට දෙන්නට මැනවින් යොදා ගත හැකි බවයි. හැමටම එය කළ නොහැකි වුවත්, සරල වින්දනයේ හා උපහාසයේ කිසිදු වරදක් නැහැ. බුම්මාගෙන සිටින පඬි සමාජයකට වඩා සැහැල්ලූවෙන් සිනහවෙන් සිටින සමාජයක් අපට ඕනෑ.

තව තවත් ටයිටස් තොටවත්තලා, නිමල් ලක්‍ෂපතිආරච්චිලා, ඞීමන් ආනන්දලා අපේ සමාජයට අවශ්‍යයි. අද නව මාධ්‍ය හරහා තමන්ගේම ජනප‍්‍රිය සංස්කෘතික හැකියාවන් පෙන්නුම් කරන දක්‍ෂයන් සිටිනවා. ඒ සමහරුන් අප නමින් හඳුනන්නේ නැහැ. එහෙත් ඔවුන් බිහි කරන (බොහෝ විට උපහාසාත්මක) මීම් (meme) ආකාරයේ නිර්මාණ ඉන්ටර්නෙට් හරහා බහුලව බෙදා ගැනෙනවා.

කණගාටුවට කරුණ නම් මෙරට ජනප‍්‍රිය සංස්කෘතිය ගැන උපේක්‍ෂාසහගතව හා ගවේෂණාත්මකව බැලීමට පෙළැඹී ඇත්තේ විද්වතුන් අතලොස්සක් පමණක් වීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්න හා මහාචාර්ය චන්‍ද්‍රසිරි පල්ලියගුරු මේ අතර කැපී පෙනෙනවා.

 

Advertisements

3 Responses to “සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ”

  1. mppgunasinghe Says:

    බොහෝ විචාරකයන්ට විවෘත නිවහල් මනසකින් යම් නිර්මාණයක් දෙස බලන්නට හැකි නොවීම නිසා මතු වූ තත්ත්ය ඔබේ ලිපිය තුළ පෙනීයනවා. ඩීමන් ආනන්දගේ නවකතා අප කුඩා කල කියවූයේ දෙමාපියන්ට ගුරුවරුන්ට රහසේ. ප්‍රබුද්ධයන් මොනවා පැවසුවත් පොත්කියවීමේ පුරුද්ද ඇති කළේ ඩීමන් ආනන්දයන් විසින් බව මගේ පෞද්ගලික අත්දැකීම බව මට සිතෙනවා

  2. තවත් එක රවි යෙක් Says:

    අපේ සංසකෘතියේ ගැබ්වෙලා තියන ඔය බය වගේ එක ගැන වෙන්න ඇති ශත වර්ශයකටත් ඉස්සර අර කාර්ල් මාක්ස් “Oriental despotism” කියලා මොකක්දෝ අපබ්‍රංශයකින් කියලා තියෙන්නේ. අපට ඕක ගැන කියලා දෙන්න උත්සාහ කරපු විද්වත් මහාචාරියතුමා එයාට (කාර්ල් මාක්ස්ට) ඒහෙම ලිව්වා කියල හොඳටම බැන අඞගැහුවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: