Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites as part of their ‘space diplomacy’ strategies.
Last week in my Ravaya column (in Sinhala), I wrote about space technology capabilities of South Asian countries. This week’s column probes whether or not Sri Lanka needs its own satellite.
10 Aug 2014: සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

දකුණු ආසියානු රටවල් චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා.
එයින් එකක් වූයේ නිදහස ලබා වසර 66ක් ගත වීත් ‘තවමත් අපට අපේම චන්ද්‍රිකාවක් නොතිබීම ලොකු අඩුවක්’ බවයි. එසේම ‘අන් රටවල චන්ද්‍රිකා සේවය 100%ක් විශ්වාස කළ නොහැකි බවත්, ඒ හරහා විදෙස් ඔත්තු සේවා අපේ තොරතුරු ලබා ගත හැකි බවත්’ ශාස්ත‍්‍රාලීය උගතකු තර්ක කළා.
චන්ද්‍රිකා කර්මාන්තය ක‍්‍රියාත්මක වන ආකාරය නොදත් උදවිය මතු කරන මෙබඳු අදහස් සමහර මාධ්‍ය හරහාත් අවිචාරශීලිව පැතිරී යනවා.
හැම රටකටම තමන්ගේ චන්ද්‍රිකාවක් තිබිය යුතුද?
චන්ද්‍රිකා තැනීම, උඩු ගුවන් ගත කිරීම හා එයින් සේවය ලබා ගැනීම වියදම් සහගත මෙන්ම සංකීර්ණ ක‍්‍රියාදාමයක්. ඉන්දියාව, චීනය, රුසියාව හෝ අමෙරිකාව වැනි තාක්‍ෂණිකව බලගතු රටක ආධාරයෙන් වුව ද චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවීම සෙසු ආසියානු රටවල් ඉතා සරුවෙන් ගත යුතු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය තරණයක්.
හැම දියුණු රටක්ම පවා තමන්ගේ චන්ද්‍රිකා නිපදවා නැහැ. අභ්‍යවකාශ තාක්‍ෂණයේදී තනි තනිව හැම දෙයක්ම කරනු වෙනුවට තාක්‍ෂණිකව වඩාත් ඉදිරියෙන් සිටින රටවල් නිපද වූ චන්ද්‍රිකාවලින් හෝ සමාගම් නිපදවා වාණිජමය වශයෙන් ක‍්‍රියාත්මක කරන චන්ද්‍රිකාවලින් හෝ අවශ්‍ය සේවා ලබා ගත හැකියි. එසේ කිරීම තමන්ගේම චන්ද්‍රිකා නිපදවා නඩත්තු කිරීමට වඩා බෙහෙවින් අරපිරිමැසුම්දායකයි.
චන්ද්‍රිකාවක් පෘථිවියට ඉහළ කක්‍ෂයක සිට හෙළන ‘බැල්ම’ තනි රටකට, දේශ සීමාවකට සීමා වන්නේ නැහැ. උදා: ඉන්දියානු චන්ද්‍රිකා අසල්වැසි රටවල් සියල්ලත් ආවරණය කරනවා.
වෙළඳපොල තරගකාරිත්වය නිසා වාණිජ වශයෙන් ඇති පණිවුඩ, දත්ත හුවමාරු, පෘථිවි නිරීක්‍ෂණ හා අනෙකුත් චන්ද්‍රිකා සේවාවන්ගේ මිළ ගණන් කලකට පෙර පැවතියාට වඩා සැළකිය යුතු අන්දමින් අඩු වී තිබෙනවා. මේ නිසා සුපිරි බලවතුන් වීමේ අරමුණක් නැති මධ්‍යම හෝ කුඩා ප‍්‍රමාණයේ රටකට දැවැන්ත ආයෝජනයකින් තමන්ගේම චන්ද්‍රිකා තනනු වෙනුවට එම සේවා වාණිජමය මට්ටමින් ලද හැකියි. නැතහොත් අන්තර්-රාජ්‍ය ගිවිසුම් ඔස්සේ Intelsat ආයතනය හෝ ඉන්දියාවේ ISRO ආයතනයෙන් සහන මිළට ලද හැකියි.
ළඟ එන සුළි සුළං, සුනාමි හා වෙනත් ආපදා ගැන අනතුරු ඇඟවීම්, හදිසියේ මතුව එන SARS හා කුරුළු උණ/සූකර උණ වැනි වසංගත රෝග ගැන අළුත්ම තොරතුරු, න්‍යෂ්ටික විකිරණ කාන්දුවකදී අදාල රටෙන් පිටතට ඒවා විහිද යන ආකාරය ගැන තොරතුරු ආදිය බෙදා ගන්නට රටවල් අතර විද්වත් එකඟත්වයන් තිබෙනවා.
එසේම ගුවන්ගමන් පාලනය, විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ සංඛ්‍යාත භාවිතය පමණක් නොව ලෝකයේ තැනෙකින් තවත් ඕනෑම තැනෙකට ගුවන්/මුහුදු තැපෑලෙන් ලිපියක් යැවිය හැක්කේත් රටවල් අතර අන්‍යෙන්‍ය විශ්වාසය මත පදනම් වූ එකඟත්වයන් පවතින නිසයි. මේ නිසා මතුපිටින් පෙනෙනවාට වඩා එකිනෙකා විශ්වාස කිරීමක් රටවල් අතර දැනටමත් තිබෙනවා.
ප‍්‍රාග්ධන ආයෝජනය අතින් ඉහළ තාක්‍ෂණික යටිතල පහසුකමක් රටවල් විසින් හවුලේ භාවිතයට ගැන මට ද පූර්වාදර්ශ තිබෙනවා. 1969 සිට අමෙරිකානු විද්වත් හා මිලිටරි ආයතන විසින් බිහි කරනු ලදුව 1990 දශකයේ ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බවට පත් වූ ඉන්ටර්නෙට් හොඳ උදාහරණයක්. ඉන්ටර්නෙට් තොරතුරු ගලනය වන්නේ ලොව පුරා ගොඩබිම් හරහා සහ මුහුද යට විහිද ඇති කේබල් රැසක් හරහායි.
World submarine cables map 2014 – by TeleGeography

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධ වන රටවල් කරන්නේ තමන්ට ආසන්නම ගෝලීය කේබල් එකකින් සිය රට තුළ සන්නිවේදන පද්ධතියට ඉන්ටර්නෙට් සබඳතාවය ලබා ගැනීමයි. ඉන් පසු එය රට තුළ හරිහැටි බෙදා ගැනීමට දේශීය පද්ධති නවීකරණය කරනවා. දේශීය පද්ධති නඩත්තුව රාජ්‍ය නියාමනය යටතේ පෞද්ගලික සමාගම් හරහා කිරීම බොහෝ රටවල සම්ප‍්‍රදායයි. ඉන්ටර්නෙට් සම්බන්ධ වන හැම රටක්ම ලොව පුරා තම කේබල් අටවන්නේ නැහැ. එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් ද නැහැ.
තොරතුරු සමාජයේ හැම සේවාවක්ම අපම සම්පාදනය කර ගත යුතුයි යන තර්කය වෙනත් ක්‍ෂෙත‍්‍රවලට ආදේශ කළොත් ඉන්ටර්නෙට් සේවා සඳහා අපට අපේම ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බිහි කරන්නට සිදු වේවි. එසේම වසර 150ක් පමණ තිස්සේ අප රට සම්බන්ධ වී සිටින විදෙස් තැපැල් සේවා භාවිතය වෙනුවට විදෙස් ලියුම් බෙදන්නට අපේ තැපැල්කරුවන් ලොව පුරා යවන්නට ඕනෑ වේවි.
චන්‍ද්‍රිකාවක් තැනීම හරහා රටක විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වේය යන්න තවත් තර්කයක්. මෙහිදී කරන අධික ප‍්‍රාග්ධන හා නඩත්තු වියදමට සාපේක්‍ෂව කෙතරම් පර්යේෂණාත්මක වාසි ලද හැකි දැයි රටක් කල් තබා තක්සේරු කළ යුතුයි.
අභ්‍යවකාශ තාක්‍ෂණය භාවිත කිරීම සඳහා පෙළගැසීම තුළින් විද්‍යා, තාක්‍ෂණ හා ඉංජිනේරු ශිල්ප හැකියාව පුළුල් වන බව සැබෑයි. එහෙත් එයට අපේම චන්‍ද්‍රිකාවක් තිබීම අවශ්‍ය නැහැ.
වඩාත් උපක‍්‍රමශීලි ප‍්‍රවේශය වන්නේ අපට වඩා දියුණු රටක් හෝ ගෝලීය සමාගමක් හෝ සතු චන්‍ද්‍රිකා හරහා දත්ත හා සේවා මිළට ගැනීමයි. එසේ ලබන සේවාව දේශීයව අදාල කර ගන්නට රට තුළ ආයතනික හා මානව සම්පත් දියුණු කිරීම අවශ්‍ය වනවා. සීමිත මහජන මුදල් යෙදිය යුත්තේ මේ ආයෝජනවලටයි.
නවීන චන්‍ද්‍රිකාවක් නිපදවීමට අවම වශයෙන් ඩොලර් මිලියන 100ක් වැය වනවා. චන්‍ද්‍රිකාවේ කාර්යය හා ධාරිතාව අනුව මෙය තවත් වැඩි විය හැකියි. පවතින විනිමය අනුපාතයට අනුව මෙය රුපියල් බිලියන් 13ක් පමණ වනවා. එයට අමතරව චන්‍ද්‍රිකාවක් උඩුගුවනට යැවීමට රොකට් සේවාව සඳහාත්, රක්‍ෂණය හා නඩත්තුව සඳහාත් අධික වියදම් දැරිය යුතුයි.
ජාතික ආඩම්බරය සඳහා ඩොලර් මිලියන සිය ගණනක් මහජන මුදල් වැය කිරීමට පෙර එම සේවාවන්ම ඊට වඩා ලාබදායි, සකසුරුවම් ක‍්‍රමයකින් ලැබිය හැකි බව පෙන්වා දිය යුතුයි.
අභ්‍යවකාශ තාක්‍ෂණය අතින් පෙරමුණේ සිටින ඉන්දියාව හා චීනය බඳු රාජ්‍යයන්ගේ සේවය ලද හැකිව තිබියදී ශ‍්‍රී ලංකාව තමන්ගේම චන්‍ද්‍රිකාවක් සඳහා මහජන මුදල් ආයෝජනය කිරීම සාධාරණීකරණය කළ නොහැකියි.
පෞද්ගලික ආයෝජනයන් නම් මොනවා කළත් කමක් නැතැයි කියන්නත් බැහැ. මන්ද අවසානයේ පෞද්ගලික සමාගම් සේවා මිල කරන්නේ තම පිරිවැය හා නඩත්තු වියදම් පියවා ගෙන නිසා. අද සාපේක්‍ෂව අඩු වියදමට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා මෙරට ලද හැකියි. එහෙත් පෘථිවි කක්‍ෂයේ සුදු අලියකුගේ වියදම ද අන්තිමේදී එයට එකතු වුණොත් කුමක් විය හැකිද?
හැම දකුණු ආසියාතික රටක්ම තමන්ගේම චන්‍ද්‍රිකා උඩු ගුවන් ගත් කළා යයි මොහොතකට සිතමු. සාමාන්‍යයෙන් කුඩා රටකට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ධාරිතාවක් නවීන චන්‍ද්‍රිකාවලට තිබෙනවා.
එම අතිරික්තය සඳහා සැළසුම්කරුවන්ගේ අරමුණ විය හැක්කේ අසල්වැසි රටවලට එය වාණිජමය මට්ටමින් (එම දත්ත හා සේවාවන්) අලෙවි කළ හැකි බවයි. එහෙත් හැම රටක්ම පාහේ තමන්ගේ චන්‍ද්‍රිකාවක් හෝ කිහිපයක් උඩුගුවන්ගත කළ විට අතිරික්ත ධාරිතාවය අලෙවි කරන්නට ඉතිරි වන්නේ කවුද?
අපේ කලාපයේ දැනටමත් ඉන්දියානු, චීන, තායි හා මැලේසියානු වැනි රාජ්‍යයන්ට හෝ සමාගම්වලට අයත් චන්ද්‍රිකා තරගකාරිව සේවා සපයනවා. විශේෂයෙන් පණිවුඩ චන්‍ද්‍රිකා හා පෘථිවි නිරීක්‍ෂණ චන්‍ද්‍රිකා සේවා අද වන විට දියුණු කර්මාන්තයන්.
චන්ද්‍රිකා ගණනාවක් සතු අත්දැකීම් බහුල රටවල් සමග අලූතෙන් පිවිසෙන රටකට හෝ සමාගමකට සාර්ථකව තරග වදින්නට අමාරුයි. අන්තිමේදී අපේ නම උඩුගුවනේ රැඳවීමේ දැවැන්ත ආයෝජනය ද වෙනත් බොහෝ බර උසුලන ලක් වැසියන්ගේ කර පිටටම වැටීමේ අවදානමක් තිබෙනවා.
මේ නිසා තම දේශීය අවශ්‍යතාවය ඉක්මවා යන ධාරිතාවක් සහිත අධිවියදම් සහගත චන්‍ද්‍රිකා තැනීම ආර්ථික වශයෙන් කෙතරම් දුරට සාධාරණ දැයි මැදහත්ව විමසිය යුතුයි.
රටේ හා කලාපීය අවශ්‍යතාවන් ඉක්මවා ගිය මහා පරිමාණ යටිතල පහසුකම් (විදෙස් ණය යොදා ගෙන) බිහි කිරීම පිළිබඳව දැනටමත් මෙරට වෙනත් ප‍්‍රබල උදාහරණ තිබෙනවා. එයින් අප පාඩම් උගත යුතුයි.
ආර්ථික සහයෝගීතාව, ඉන්දියානු සාගර කලාපීය ආරක්‍ෂාව ආදි කරුණු අරභයා ඉන්දියාව හා චීනය යන කලාපීය බලවතුන් දෙදෙනා තුලනය කිරීමේ අත්දැකීම් ශ‍්‍රී ලංකාවට තිබෙනවා. අභ්‍යවකාශ සහයෝගීතාව සම්බන්ධයෙන් ද මෙබන්දක් කළ හැකියි.
මෙහිදී දේශීය වශයෙන් විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රමුඛතා මොනවාද යන්න පැහැදිලිව හඳුනා ගෙන, එයට වඩාත් කාර්යක්‍ෂම හා පිරිමැසුම්දායක ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය යොදා ගන්නේ කෙසේදැයි පළමුව තීරණය කළ යුතුයි. ඉන් පසු අපේ අවශ්‍යතාවලට වඩාත් සරිලන සහයෝගීතාව ඉන්දියාව, චීනය හෝ වෙනත් (ජපානය, රුසියාව, අමෙරිකාව වැනි) රටකින් ලබා ගැනීමට දිගු කල් දැක්මක් හා සැළසුමක් අවශ්‍යයි.
එසේ නැතිව ශ‍්‍රී ලංකාවට කලාපීය බලවතුන් දෙදෙනාගේ අභ්‍යවකාශ තරගයේ අන්ධ අතකොලූවක් වීම අවශ්‍ය නැහැ. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශවලට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය ද මේ තීරණවල හවුල්කරුවකු වීම වැදගත්.
One thought on “සිවුමංසල කොලූගැටයා #181: අනේ අපටත් චන්ද්‍රිකා?”