සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

New opportunities for South Asian collaboration in space technologies can help reduce poverty and promote sustainable development.

Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites for communications, weather services, land use monitoring and navigation. They have also realised the value of ‘space diplomacy’, or using space related technical cooperation for strengthening foreign relations.

In this week’s Ravaya column (in Sinhala), I look at South Asian countries investing in space technologies, and discuss the prospects for a common South Asian satellite, an idea recently revived by the Indian Prime Minister.

I covered similar ground in English here:

SciDev.Net South Asia Analysis: Space diplomacy can boost development

Satellites over India

2014 ජුනි 30 වනදා චෙන්නායි නුවරට නුදුරු ශ‍්‍රී හරිකොටාහි ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට විදෙස් චන්ද්‍රිකා උඩුගුවන් ගත කළ පසු විද්‍යාඥ පිරිස අමතා නව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විශේෂ කථාවක් කළා. සාක් කලාපයටම පොදු චන්ද්‍රිකාවකින් පණිවුඩ සන්නිවේදනය, කාලගුණ හා භූ තත්ත්ව නිරීක්‍ෂණය වැනි බහුවිධ සේවා සැපයීම හරහා එය ඉන්දියාවෙන් අසල්වැසි රටවලට ත්‍යාගයක් බවට පත් කළ හැකි යැයි ඔහු කියා සිටියා.

පොදු සාක් චන්ද්‍රිකාවක් (SAARC Satellite)ගැන සංකල්පය මුල් වරට නිල වශයෙන් මතු වූයේ 1998දී. බංග්ලාදේහයේ ඩාකා අගනුවර රැුස් වූ සාක් සන්නිවේදන ඇමතිවරු එයට ප‍්‍රතිපත්ති මට්ටමින් එකඟ වුවා. එහෙත් 1999දී ඉන්දියාව හා පාකිස්ථානය අතර ගැටම්කාරි තත්ත්වයක් මතු වීමෙන් පසු එය ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රායෝගික දුෂකරතා මතු වුණා.

වසර 16කට පසු මෝඩි අගමැතිවරයා සාක් චන්ද්‍රිකාවක් යෝජනාව යළිත් මතු කරන්නේ අභ්‍යවකාශ පර්යේෂණ ගැන වඩාත්ම අත්දැකීම් බහුල හා තාක්‍ෂණික හැකියාව ඇති දකුණු ආසියානු රාජ්‍යයේ නායකයා ලෙසයි.

තමන්ගේ දිවුරුම්දීමට සියලූ සාක් රාජ්‍ය නායකයන්ට ඇරයුම් කළ මොඩි දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව නව මට්ටමකට ගෙන යාමට හැකියි. එසේම මේ දක්වා අභ්‍යවකාශ සහයෝගීතාව හරහා චීනය සෙසු ආසියානු රටවලට සමීපවීමට ප‍්‍රතිචාරයක් ලෙසද මෙය විග‍්‍රහ කළ හැකියි.

මේ දක්වා තමන්ගේ චන්ද්‍රිකා උඩුගුවන් ගත කළ දකුණු ආසියාතික (සාක් කලාපීය) රටවල් ඇත්තේ දෙකයි. එනම් ඉන්දියාව හා පාකිස්ථානයයි.

Image courtesy ISRO

Image courtesy ISRO

ඉන්දියාව අභ්‍යවකාශ පර්යේෂණායතනයක් (ISRO) ඇරැඹුවේ 1969දී. එයට මුල් වුණේ එරට අභ්‍යකාශ පුරෝගාමී ආචාර්ය වික‍්‍රම් සරභායි (Dr Vikram Sarabhai, 1919-1971). දියුණු වන රටක් ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය දේශීය සංවර්ධනයට හා පොදුජන යහපතට යොදා ගත හැක්කේ කෙසේද යන්න ගැන පැහැදිලි දැක්මක් ඔහුට තිබුණා. එසේම නිලධාරින්ට වඩා විද්‍යාඥයන්ට හා ඉංජිනේරුවන්ට මුල් තැන දෙන ආයතනික ව්‍යූහයක් හඳුන්වා දුන්නා.

ඉන්දියාව තමන්ගේම චන්ද්‍රිකාවක් මුල්වරට කක්‍ෂගත කළේ 1975දී. භාරතයේ විසූ ශ්‍රේෂ්ඨ ගණිතඥයකුගේ නමින් ආර්යභාතා (Aryabhata) ලෙස නම් කළ එය අභ්‍යකාශ පර්යේෂණ සඳහා යොදා ගත් විද්‍යාත්මක චන්ද්‍රිකාවක් වූවා. එය උඩුගුවනට ගෙන ගියේ සෝවියට් දේශයේ රොකට්ටුවක් මගින්.

තම චන්ද්‍රිකා කක්‍ෂගත කිරීමේ ස්වයං හැකියාව ලබා ගනිමින් 1980දී රෝහිනී නම් දෙවන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැව්වේ එරට විද්‍යාඥයන් විසින්ම තැනූ රොකට්ටුවක ආධාරයෙන්. (මේ රොකට්ටු ආසියාවේ අසල්වැසි රටවලට බෝම්බ හෙළීම සඳහා ද භාවිත කළ හැකි නිසා ඉන්දියාව හා පාකිස්ථානය අතර රොකට් තැනීමේ තරගයක් හට ගත්තා. මේ දක්වා එම හැකියාවෙන් පෙරමුණේ සිටින්නේ ඉන්දියාවයි.)

දැන් ඉන්දියාව අභව්‍යකාශ තාක්‍ෂණයේ හැම පැතිකඩක්ම පාහේ දියුණු කොට තිබෙනවා. සංකීර්ණ චන්ද්‍රිකා තනා උඩුගුවන් ගත කිරීමේ හැකියා මෙන්ම ඈත අභ්‍යවකාශයට අභ්‍යවකාශ යානා යැවීමේ හැකියාව ද ලබා ගෙන සිටිනවා.

මේ වන විට ආසියානු රටකට අයත් විශාලතම පණිවුඩ චන්ද්‍රිකා සංඛ්‍යාවක් (10) කක්‍ෂගත කර ඇත්තේ ඉන්දියාවෙන්. එසේම උඩුගුවනේ සිට පෘථිවියේ ඕනෑම තැනක් සූක්‍ෂමව නීරික්‍ෂණය කොට ඡායාරූප ගත කළ හැකි චන්ද්‍රිකා දුසිමක් ද ඔවුන් සතුයි. දිවා රැය දෙකේම ලොව ඕනෑම තනෙක සිදුවන දේ දැකීමේ හැකියාව මේවාට තිබෙනවා.

ඉන්දියාවෙන් යැවූ කාලගුණ චන්ද්‍රිකා සමස්ත දකුණු ආසියාව, බෙංගාල බොක්ක හා අරාබි මුහුද නිතිපතා නිරික්සමින් කලාගුණ තොරතුරු සපයා දෙනවා. ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් රැසක් කාලගුණ අනාවැකි සඳහා යොදා ගන්නේ මේ චන්ද්‍රිකාවලින් ලැබෙන දත්ත හා ඡායාරූපයි.

තමන්ගේ අවශ්‍යතාවලට චන්ද්‍රිකා තනා උඩු ගුවන්ගත කිරිමට අමතරව වෙනත් රටවල් සඳහා චන්ද්‍රිකා උඩුගුවනට යැවීම ද ව්‍යාපාරික මට්ටමෙන් කිරීම ඉන්දියාව 1999දී ඇරැඹුවා. රුසියාව, අමෙරිකාව හා චීනයට වඩා ලබාදායක එමෙන්ම විශ්වාසදායක සේවයක් සැපයීම ඉන්දියාවේ ISRO ආයතනයේ අරමුණයි. ජුනි 30දා එක්වර විදේශීය චන්ද්‍රිකා 5ක් සාර්ථකව උඩුගුවන් ගත කිරීමත් සමග මේ දක්වා ඉන්දියාව එසේ යවා ඇති විදෙස් චන්ද්‍රිකා ගණන 40ක් බවට පත් වුණා.

ඉන්දියාව හැරුණු විට චන්ද්‍රිකා තනා උඩුගුවනට යවා ඇති අනෙක් එකම දකුණු ආසියාතික රට පාකිස්ථානයයි. පාකිස්ථානයේ මුල්ම චන්ද්‍රිකාව වූයේ Badr-1යි. එය උඩුගුවනට යැවුයේ චීන රොකට්ටුවක් යොදා ගෙන 1990 ජූලි මාසයේ.

Pakistan's first satellite named Badar-1 by SUPARCO

Pakistan’s first satellite named Badar-1 by SUPARCO

අත්හදා බැලීමේ එම චන්ද්‍රිකාව, කරච්චි නුවර පිහිටි පාකිස්ථානු අභ්‍යවකාශ පර්යේෂණ කොමිසමේ (SUPARCO) මූලස්ථානයේ තනා ගෙන යන කාලයේ එය දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණා. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව දේශීය විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් අතින් නිමැවුණු එම චන්ද්‍රිකාව ගැන ඔවුන් සැම මහත් ආඩම්බර වූ බව මට මතකයි. (එසේම කිසිදු ඉන්දියානු මාධ්‍ය නියෝජිතයකුට නොදෙන අවස්ථාවක් මට දුන්නේ මා ලාංකිකයකු වූ නිසා බවත් ඔවුන් කියා සිටියා.)

ඇත්තටම දකුණු ආසියාවේ ජාතික මට්ටමේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහනක් මුලින්ම ඇරැඹුවේ ද පාකිස්ථානයයි. එරටින් බිහිවූ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයකු වූ ආචාර්ය අබ්දුස් සලාම්ගේ (Dr Abdus Salam) මූලිකත්වයෙන් 1960 දශකය මුලදී පටන් ගත් පාකිස්ථානු අභ්‍යවකාශ පර්යේෂණ, 1970 හා 1980 දශකවලදී අධික ලෙස මිලිටරිකරණයට ලක් වූවා. විද්‍යාඥයන්ට වඩා නිලධාරින් හා හමුදා නිලධාරින්ගේ බලපෑමට නතු වූ SUPARCO ආයතනයේ විද්‍යාත්මක ඵලදායිතාව හා නිර්මාණශීලිබව පහළ ගියා. මේ නිසා පුරෝගාමී පාකිස්ථානය අභිබවා ඉන්දියානු අභ්‍යවකාශ වැඩපිළිවෙල ඉදිරියට ගියා.

1990න් පසු තව දුරටත් නිලධාරිවාදයට හසු වී එක තැන පල් වූ පාකිස්ථාන අභ්‍යවකාශ ඒජන්සියේ ඊළඟ චන්ද්‍රිකාව නිම වන්නට 2011 අගෝස්තු දක්වා දිගු කළක් ගතවුණා. PakSat 1-R නම් වූ එහි බහුතරයක් උපාංග චීනයේ තනනු ලැබ එය උඩුගුවන්ගත කළේ ද චීන රොකට්ටුවක් යොදා ගෙනයි. මෙය කෙතරම් දුරට පාකිස්ථාන චන්ද්‍රිකාවක් දැයි එරට ස්වාධීන මාධය ප‍්‍රශ්න කළා.

එතකොට ශ‍්‍රී ලංකාවේ චන්ද්‍රිකාව? මේ ගැන මා දැඩි අවධානයෙන් සිටියත් කිිසිවක් නොලීවේ එහි හිිමිකාරිත්වය හා සැළසුම් ගැන නිරවුල්ව තොරතුරු සොයා ගැනීම අපහසු වූ නිසයි.

සුප‍්‍රීම්සැට් නම් පෞද්ගලික සමාගමක් චීන රජයට හිමි China Great Wall Industry Corporation නම් සමාගම හා එක්ව 2012 නොවැම්බරයේ SupremeSat-I නම් පණිවුඩ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කළා. ඒ ආසන්න දිනවල මෙරට මාධ්‍යවල පුවත් ආවරණයේ ද සමාගමේ පුවත්පත් දැන්වීම්වල ද ප‍්‍රමුඛව කියැවුණේ එය ශ‍්‍රී ලංකාවේ මුල්ම චන්ද්‍රිකාව බවත්, එමගින් අප රට ද අභ්‍යවකාශ යුගයට පිවිසි බවත්. සුප‍්‍රීම්සැට් සමාගමේ වෙබ් අඩවිය (www.supremesat.com) ද මෙයට සමාන අදහසක් ජනිත කළා.

SupremeSat company's promotional newspaper advertisement claiming theirs was Sri Lanka's first satellite: 22 Nov 2012

SupremeSat company’s promotional newspaper advertisement claiming theirs was Sri Lanka’s first satellite: 22 Nov 2012

එහෙත් 2014 අපේ‍්‍රල් 8 වනදා පාර්ලිමේන්තුවේ මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජේ්‍යෂ්ඨ අමාත්‍ය වෛද්‍ය තිස්ස විතාරණ කීවේ සුප‍්‍රීම්සැට් චන්ද්‍රිකාව මුළුමනින්ම චීන-ශ‍්‍රී ලංකා පෞද්ගලික/වාණිජ ව්‍යාපෘතියක් බවයි. එයට ලක් රජයේ කිසිදු නිල සම්බන්ධයක් හෝ ආයෝජනයක් හෝ නැති බව ඔහු අනාවරණය කළා. (එසේම අභ්‍යවකාශය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තවමත් සකසා නැති බවත්, ලාංකිකයකු අභ්‍යවකාශයට යැවීමට රජයේ සැළසුමක් නැති බවත් ඔහු කියා සිටියා.)

සාක් කලාපයේ සෙසු රටවල් වන ඇෆ්ගනිස්ථානය, භූතානය, බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයිනට තමන්ගේ චන්ද්‍රිකා නැහැ. එහෙත් බංග්ලාදේශයේ විදුලි සංදේශන නියාමන කොමිසම එරට භාවිතය සඳහා බංගාබන්ධු (bangabandhu) නම් වන පණිවුඩ චන්ද්‍රිකාවක් තනා ගෙන යනවා. අමෙරිකානු සමාගමක තාක්‍ෂණික ආධාරයෙන් ගොඩ නගන මෙය 2015දී උඩුගුවනට යැවීමට නියමිතයි.

මේ අතර ඇෆ්ගනිස්ථානය, නේපාලය හා මාලදිවයිනට ජාතික චන්ද්‍රිකා තනා කක්‍ෂගත කිරීමට චීනය සාකච්ඡා කරමින් සිටිනවා. චීනයේ මේ තාක්‍ෂණික සහයෝගීතා හරහා තමන්ට වඩා කුඩා ආසියානු රටවල් සමග සබඳතා තර කරමින් තම විදේශ බලපෑම් සඳහා ද එය යොදා ගන්නවා.

1960 දශකයේ සීතල යුද්ධයේ එක් ප‍්‍රබල පෙරමුණක් වූයේ අමෙරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරගයයි. එහිදී අභ්‍යවකාශයේ පුරෝගෘමි ජයග‍්‍රහණ හා මං සළකුණු ලබා ගැනීමට ඒ සුපිරි බලවත් දෙරටම අති විශාල වශයෙන් රටේ මුදල් හා තාක්‍ෂණික හැකියාවන් ආයෝජනය කළා.

එතරම් තීව‍්‍ර නොවූවත් යම් තරමක අභ්‍යවකාශ තරගයක් අද ආසියාවේ අභ්‍යවකාශ හපන්කම් අරභයා චීනය හා ඉන්දියාව අතර තිබෙනවා. එහි එක් පැතිකඩක් නම් සෙසු ආසියානු රාජ්‍ය සමග අභ්‍යවකාශ තාක්‍ෂණ සහයෝගීතාව හරහා තම බලපෑම කලාපයේ වඩාත් පැතිරවීමයි.

මෙය ඉංග‍්‍රීසියෙන් space diplomacy ලෙස හඳුන්වනවා. සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ත‍්‍රික හෝ තානාපති සබඳතා ඉක්මවා යන මෙය ඒ ලොකු රටවල මෘදුබලය නැතහොත් සියුම් බලය (soft power) ප‍්‍රචලිත කිරීමක් ලෙස ද දැකිය හැකියි.

මේ සියුම් තරගයේ දැනට ඉදිරියෙන් සිටින්නේ චීනයයි. තමන්ට වඩා කුඩා රටවලට මුදල් ආධාර, ණය සේවා හා තාක්‍ෂණික සේවා ලබා දෙමින් ඔවුන්ගේම චන්‍ද්‍රිකා නිපදවා උඩුගුවන්ගත කිරීම චීනය කලෙක සිට කරනවා. එහිදී අදාල රටේ දේශීය ප‍්‍රමුඛතා මොනවාද යන්න චීනයට එතරම් වැදගත් නැහැ. ඔවුන්ට ඕනෑ තමන් සමග අභ්‍යවකාශයට පිවිසෙන රටවල් ගණන වැඩි කර ගැනීමටයි.

ඉන්දියාව මේ තරගයට පිවිසෙන්නේ තරමක් පමාවීයි. එහෙත් නව ඉන්දීය රජය යටතේ මේ සඳහා ඉහළ ප‍්‍රමුඛත්වයක් ලැබෙන බව පෙනෙනවා.

විශේෂයෙන්ම ආපදා කළමණාකරණයේදී හැකි තාක් නිවැරදි තොරතුරු හා විද්‍යාත්මක දත්ත හැකිතාක් ඉක්මනින් ලබා ගැනීම අවශ්‍යයි. මෙහිදී සාක් කලාපීය රටවල් දැනට වඩා අභ්‍යවකාශ තාක්‍ෂණයන් යොදා ගත යුතු යයි නව දිල්ලියේ පිහිටි සාක් ආපදා කළමණාකරණ කේන්ද්‍රය (SAARC Disaster Management Centre, SDMC) නිර්දේශ කොට තිබෙනවා.

2011දී ඔවුන් පිළියෙල කළ කලාපීය අධ්‍යයනයට අනුව සාක් රටවල ආපදා කළමණාකරණය නිසි ලෙස සැළසුම් කොට ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය නිරික්‍ෂණ දත්ත සමුදායෙන් දැනට ලැබෙන්නේ 20-30%ක් පමණයි. බහුවිධ ආපදාවලට නිරාවරණය වූත්, අධික ජනගහනයක් වාසය කරන්නා වූත් දකුණු ආසියාවේ ආපදා බලපෑම් අවම කරන්නට මීට වඩා කාලගුණ, භූමි පරිභෝජන හා සාගර තත්ත්ව නිරීක්‍ෂණ අවශ්‍ය බව ඔවුන් කියනවා.

යෝජිත සාක් චන්ද්‍රිකාවට මේ හිදැස මුලූමනින් හො තරමකට හෝ පිරවිය හැකියි. දැනටමත් ඉන්දියාව සිය කාලගුණ චන්ද්‍රිකා හරහා ලබා ගන්නා ඡායාරූප ආසියාවේ හා අප‍්‍රිකාවේ රටවල් 30ක් සමග නිතිපතා බෙදා ගන්නවා.

India-and-Space-Technology

Advertisements
Posted in Asia, Bangladesh, Broadcasting, common property resources, Communicating disasters, Disasters, Education, Environment, Global South, ICT, India, Internet, Media, New media, Pakistan, public interest, Ravaya Column, South Asia, Sri Lanka, Telecommunications, Television. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 3 Comments »

3 Responses to “සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්”

  1. mppgunasinghe Says:

    //එසේම නිලධාරින්ට වඩා විද්‍යාඥයන්ට හා ඉංජිනේරුවන්ට මුල් තැන දෙන ආයතනික ව්‍යූහයක් හඳුන්වා දුන්නා.// මෙවැනි ආයතනික ව්‍යුහයක් ලංකාවට වුවත් වැදගත් විය හැකියි නේද ? නිලධාරී ආයතනික ව්‍යුහය විවිධ ක්ෂෙත්‍රවල බාධාවන් ඇති කරන බවට මත පළවෙනවා නොවේද නාලක හිතවත

  2. Nandasiri Wanninayaka Says:

    අපිට වෙනම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරනවාට වඩා කාගෙහරි එකක සේවය ලබාගන්න එක වාසි නැද්ද? තවමත් අපේ ප්‍රමුඛ අවශ්‍යතා චන්ද්‍රිකාවලට වඩා මෙහායින් කියලයි මට හිතෙන්නේ.

  3. indika27 Says:

    අපි සන්නිවේදන තාක්ෂණය අතින් සැටලයිට් එකක් අවශ්‍ය තැනකට තවම ගිහින් නැහැ. අවශ්‍යතාවයක් සැබැවින්ම නොමැතිව චන්ද්‍රිකාවක් ඉහල යැවීමකියන්නෙ අපරාද වැඩක්..


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: