සිවුමංසල කොලූගැටයා #179: දියේ ගිලෙන ජීවිත බේරා ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I look at how to prevent death and disability caused by drowning in Sri Lanka.

Around 1,200 people die every year in Sri Lanka from drowning — several times the number of deaths from dengue fever, but this distributed tragedy gets much less public and media attention.

Most victims are children and young adults, and some die while trying to save another from drowning. Most of these deaths are preventable – if only adequate safety precautions are taken.

I quote extensively from a Sinhala book (Protect Your Children from Accidents) written by consultant surgeon Dr. Wijaya Godakumbura.

For same advice in English, see his Nov 2013 article: Accidents are preventable Drowning, the silent killer, by Dr. Wijaya Godakumbura

Drowning - HELP!

අපේ රට දුපතක් වුවත් බොහෝ දෙනකුට හරි හැටි හෝ කොහෙත්ම පිහිනීමේ හැකියාව නැහැ. එසේ නොතිබියදීත් මුහුදේ හෝ අභ්‍යන්තර ජලාශවල ස්නානයට යාමෙන් බොහෝ ගිලීම් අනතුරු සිදු වනවා.

විශේෂයෙන්ම (මතුපිටට හරි හැටි නොපෙනෙන) ගැඹුරු තැන්, දිය පහරවල්, දියසුළි ගැන නොදැනුවත් වීමත්, බීමත්ව සිටියදී දියට බැසීමත් නිසා පිහිනීමේ හැකියාව ඇති අය පවා ගිලී මිය යන්නට පුළුවනි.

ශ‍්‍රී ලංකාවේ වසරකට 1,200ක් පමණ දෙනා දියේ ගිලී මිය යනවා. මුහුද, ගංගා, දිය ඇලි, ජලාශ, වැව් හා ළිං ආශ‍්‍රිතව මේ අවාසනාවන්ත අකල් මරණ සිදු වනවා. වැඩිපුර මිය යන්නේ අවුරුදු 15-35 අතර වයස්වල පිරිමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන්නේ ලොව පුරා අහම්බෙන් හා අනපේක්‍ෂිතව සිදු වන මරණ සඳහා හේතුවන සාධක අතරින් දියේ ගිලීම තුන්වන තැන ගන්නා බවයි.

ලෝකය පුරා වසරකට දියේ ගිලීමෙන් මිය යන සංඛ්‍යාව ලක්‍ෂ හතරක් පමණ වන බවත්, මිය යා නොදී බේරා ගන්නා තවත් සමහරුන්ට දරුණු ශාරීරික හා මානසික දුබලතා ඇති වන බවත් WHO කියනවා. ලෝක මට්ටමෙන් දියේ ගිලෙන අයගෙන් තුනෙන් දෙකක් පමණ පිරිමින්. වැඩි දෙනකු ළමයින් හා තරුණයන්.

ජාතික වෙරළාරක්‍ෂක සේවයේ අධ්‍යක්‍ෂ රෙයර් අද්මිරල් ආර්. සී. විජේගුණරත්න මෑතදී මාධ්‍යවලට පවසා තිබුණේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිපුර රැස් වන ස්ථානවලට ජීවිතාරක්‍ෂකයන් පත් කිරීමට සැළසුම් කරන බවයි. දැනට මොවුන් සිටින්නේ සීමිත වෙරළ ස්ථාන කිහිපයක පමණයි.

Model Life Saving Post at Wellawatta - image courtesy Sri Lanka Coastguard website
Model Life Saving Post at Wellawatta – image courtesy Sri Lanka Coastguard website

අභ්‍යන්තර ජලාශවල දියේ ගිලීම් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවත් සංඛ්‍යා ලේඛනවලින් පෙනෙනවා. අනතුරුදායක ස්ථාන හඳුනා ගෙන විධිමත් ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා නම් තාක්‍ෂණික උපදෙස් දීමට වෙරළාරක්‍ෂක හමුදාව සූදානම් යයි ඔහු කියනවා.

සියළු පිහිනුම් තටාකවල ජීවිතාක්‍ෂකයකු සේවයේ රැුඳී සිටීම නීතියෙන් අනිවාර්යයි. එහෙත් එය ප‍්‍රායෝගිකව සිදු වන්නේ නැහැ.

Cover of Dr Godakumbura's book
Cover of Dr Godakumbura’s book

2012දී ‘අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න’ නම් ග‍්‍රන්ථය ලියූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර පෙන්වා දෙන්නේ දියේ ගිලීම මුළුමනින් වළක්වා ගත හැකි අනතුරක් බවයි. එහෙත් නිසි දැනුම, අවබෝධය හා අවධානය නැති නිසා හැම වසරකම දහසකට වඩා ලාංකිකයන් ගිලී මිය යනවා.

‘‘මෙය ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව මෙන් කිහිප ගුණයකි. කණගාටුවට කරුණ නම් වැඩිපුර මිය යන්නේ ළමයින් හා තරුණයන් වීමත්, සමහරුන් මිය යන්නේ තවත් අයකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමෙන් වීමත්ය. මේ බොහෝ මරණ වළක්වා ගත හැකිය. එහෙත් දැනට (2012 මාර්තු දක්වා) ලංකාවේ මේ ගැන පුද්ගල උනන්දුව හා වැළැක්වීමේ උපාය මාර්ග අල්පවීම පුදුම සහගත මෙන්ම කණගාටුදායකය.’’

23 Sep 2012: සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

ශ‍්‍රී ලංකාවේ දියේ ගිලීම් බහුතරයක් සිදු වන්නේ ගංගා, වැව් හා මුහුද වැනි විවෘත ජලාශවල බවත්, සීමිත ගිලීම් සංඛ්‍යාවක් බැම්මක් නැති ළිං හා පිහිනුම් තටාකවල ඇති වන බවත් වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

දියේ ගිලීමට ආසන්නව සිට බේරා ගන්නා අයගෙන් දළ වශයෙන් 70%ක් සම්පූර්ණ සුවය ලබනවා. 5%කට සදාකාලික මොළයේ ආබාධ සහිතව ජීවත් වන්නට වනවා. ඉතිරි 25% මිය යනවා.

දියේ ගිලීමකදී පෙනහළු ජලයෙන් පිරෙනවා. එවිට රුධිරයට නිතිපතා අවශ්‍ය ඔක්සිජන් ලබා ගත නොහැකි වනවා. මොළයට යන රුධිරයේ ඔක්සිජන් අඩු වී, පළමුව සිහිය නැති වී දෙවනුව හදවත නවතිනවා.

දියේ ගිලූණු කෙනකු ගොඩට ගත් පසු හැම තත්පරයම තීරණාත්මක නිසා රෝහලකට ගෙන යන තුරු ප‍්‍රථමාධාර දිය යුතුයි. ගොඩගත් වහා ම ගිලූණු තැනැත්තා හුස්ම ගන්නවා දැයි සොයා බලා එසේ නොකරයි නම් පෙනහළුවල ජලය ඉවත් වන්නට සළස්වා කෘත‍්‍රිම ශ්වසනය (මුඛයෙන් මුඛයට) Cardio Pulmonary Resuscitation (CPR) සහ හදවත් ස්ථම්බනය කළ යුතුයි. ජීවිතාරක්‍ෂකයෝ මෙය හොඳින් දන්නවා.

ඔවුන් කෙනකු ළඟ නැතිනම් තරමක් දුරට හෝ ඒ ප‍්‍රථමාධාර දීමට අසල සිටින අය තැත් කළ යුතු යයි වෛද්‍ය ගොඩකුඹුර කියනවා. ඒ සඳහා මූලික ප‍්‍රථමාධාර දැනුමත් හා පුහුණුවක් තිබිය යුතුයි. මේ හැකියාව පුළුල් කිරීමෙන් වසරකට දියේ ගිලෙන ජීවිත රැසක් බේරා ගත හැකියි.

කුඩා කාලයේදී ළමුන්ට පිහිනීමේ පුහුණුව ලබාදීම වැදගත් පියවරක්. එය අවුරුදු 2දී වුවද කළ හැකියි. මෙයට පිහිනුම් තටාකම අවශ්‍ය නැති බවත්, වෙනත් නොගැඹුරු ජලාශ පවා යොදා ගත හැකි බවත් වෛද්‍ය ගොඩකුඹුර කියනවා. වැව් පොකුණුවල උණ බම්බු ආධාරයෙන් පිහිනුම් පුහුණුව දෙන ක‍්‍රමයක් (අපට වඩා දුප්පත්) බංගලාදේශයේ කැරෙන බව ඔහු පෙන්වා දෙනවා.

අද අපේ රටේ සිය ගණනක් පාසල්වල පිහිනුම් තටාක ඉදිකර ඇතත් ජීවිතාරක්‍ෂාව ගැන නිසි අවධානයක් යොමු වේද? මේ පහසුකම් යොදා ගෙන පාසලේ සියළු දරුවන්ට මූලික පිහිනීමේ හැකියාව ලබා දෙයිද? ඔහු මෙබදු ප‍්‍රශ්න මතු කරනවා.

Dr Wijaya Godakumbura - after saving thousands of lives by inventing safe bottlelamp, he has turned to preventing drowning
Dr Wijaya Godakumbura – after saving thousands of lives by inventing a safe bottlelamp, he has turned to preventing drowning

ජලයට බැස විනෝද වීමේදී දියේ ගිලෙන හා මිය යන අයගෙන් 25-50%ක් පමණ මත්පැන් පානය කර ඇති බව හෙළි වී තිබෙනවා. සමබරතාව, සම්බන්ධීකරණය, නිරීක්‍ෂණය හා ක්‍ෂණිකව ක‍්‍රියා කිරිමේ හැකියාව මත්පැන් මගින් තාවකාලිකව මොට කරන නිසා ගිලෙන්න යන විට පණ බේරා ගන්නට අමාරු වනවා.

‘මත්පැන් බී රිය පැදවීමට විරුද්ධ වන්නා සේම පිහිනීම් හා ජල ක‍්‍රීඩා කරන තැන්වල ද මත්පැන් භාවිතයට සම්බාධක පැනවිය හැකි නම් අකාල මරණ සමහරක් වළක්වා ගත හැකි’ යයි වෛද්‍ය ගොඩකුඹුර නිර්දේශ කරනවා.

ගංගා හා ජලාශවල ගමන් කරන හැම යාත‍්‍රාවකම ජීව කබා (life jackets) පැළඳීම අනිවාර්ය කළ යුතුයි. හදිසි අනතුරකදී යාත‍්‍රාව දියබත් වුවත් නොගිලී දිය මතු පිට පාවෙමින් සිටීමටත් බේරා ගන්නා තුරු පණ රැක ගැනීමටත් එය මහෝපකාරි වනවා.

දෙමව්පියන් හා අන් වැඩිහිටියන්ගේ නිසි අවධානය නැති වීමෙන් ගෙදර තුළදී පවා දරුවන්ට දියේ ගිලීමේ අනතුරු සිදු විය හැකියි. කුඩා දරුවකු නෑවීමේදී වතුර බේසමක් හෝ බාල්දියක් තුළ පුරවා ගන්නා වතුරේ ගිලී මිය ගිය ඉතා අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී ඇතැයි වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

අප නිවෙස් හා ගෙවතුවල අදිසි අන්තරායන් ගැන මනා අවබෝධයක් හෝ තක්සේරුවක් නොමැතිවීම මේ අනතුරුවලට හේතුවයි.

‘‘අපේ රටේ නීතියට අනුව සියලූම ළිං වටා බැම්මක් බැඳ තිබිය යුතුයි. එහෙත් පෞද්ගලික ගෙවතුවල හා ගොවි බිම්වල මෙය හරිහැටි කරන්නේ නැහැ. අනපේක්‍ෂිත ලෙසින් බඳු ළිංවලට වැටී, දියේ ගිලී මරණයට පත් වන හෝ සදාකාලිකව ආබාධිත වන දරුවන් හා වැඩිහිටියන් සංඛ්‍යාවක් සිටිනවා. එබඳු අනතුරුදායක ළිං හිමියන්ට විරුද්ධව නීති ක‍්‍රියාත්මක විය යුතුයි‘‘ ඔහු තව දුරටත් කියනවා.

දියේ ගිලීම වැළැක්වීමේ සිව් වැදෑරුම් ක‍්‍රම:

  • බලාපොරොත්තු නොවූ අන්දමින් දියට වැටීම වැළැක්වීම (ළිං වටා තාප්ප, බෝට්ටු පෙරළීම වැළැක්වීම ආදිය)
  • ඔවුන් සහ හිතාමතා ම දියට බට අය ගිලීම වැළැක්වීම (ජීව කබා සහ වෙනත් පාවෙන උපකරණ භාවිතය, අනාරක්‍ෂිත ස්ථානවල ස්නානය නොකිරීම ආදිය)
  • තමාට අනතුරක් ඇති නොවන අන්දමට ගිලෙන්නට යන අය ගොඩට ගැනීම.
  • ගිලීම නිසා ශ්වසනය අඩපණ වී මරණාසන්න වූ විට වහා කෘත‍්‍රිම ශ්වසනය සහ හෘද ස්ථම්බනය ලබා දී රෝහලට ගෙනයාම.

දියේ ගිලීම් වළක්වා ගැනීමට පවුල්, ප‍්‍රජා හා ජාතික මට්ටමින් පියවර රැසක් ගත හැකියි. අවදානම් ස්ථාන අවම කිරීම ඉන් ප‍්‍රධානයි.

  • අනාරක්‍ෂිත ළිං හා වෙනත් විවෘත වලවල් එක්කෝ වසා දමන්න.
  • නැත්නම් ළිං වටා තාප්පයක් හා ඊට උඩින් (දැලක් වැනි) ආවරණයක් යොදන්න.
  • ළමුන්ට පිහිනීම පුහුණු කරන්න. එහෙත් එම හැකියාව මත ම විශ්වාසය නොතබා සුපරික්‍ෂාකාරි වීමට දෙමව්පියන් වග බලා ගත යුතුයි.
  • අනාරක්‍ෂිත තැන්වල නෑමෙන් සහ අනෙක් අය බේරා ගැනීමට දියට පැනීමෙන් වළකින්න. කඹයක් හෝ රිටක් වැනි දෙයකින් ගිලෙන්නට යන අය ගොඩ ගැනීමට උත්සාහ කරන්න.
  • පිහිනුම් තටාකයකදී එක් මොහොතකට වුව ද කුඩා දරුවන් ගැන අවධානය නැති නොකරන්න.
  • තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වන්නේ නම්, පිහිනුම් තටාකය වටා ආවරණයක් ගොඩ නගන ලෙස අනෙක් දෙමව්පියන් සමග එකතු වී ඉල්ලා සිටින්න.
  • කෘති‍්‍රම ශ්වසනය සහ හදවත් ස්ථම්බනය අධ්‍යනය කරන්න. ඒ සම්බන්ධ දර්ශන පෙන්වන ලෙස ටෙලිවිෂන් සමාගම්වලින් සමූහ වශයෙන් ඉල්ලා සිටින්න.
Rip currents - image courtesy Wikipedia
Rip currents – image courtesy Wikipedia

පිහිනීමට හැකි වූ පමණින් හැම ජලාශයක් හා මුහුදු වෙරළක්ම ඒ සඳහා සුදුසු වන්නේ ද නැහැ. සමහර විට ඉතා හොඳින් පිහිනීමේ හැකියාව ඇති අය පවා හදිසි දියවැල් සමග පොර බැඳීමට නොහැකිව ගිලී මිය ගිය අවස්ථා තිබෙනවා.

Rip currents නමින් හඳුන්වන මුහුදු රළ විශේෂය බොහෝ දියේ ගිලීම්වලට හේතු වන්නක්. මුහුදු පත්ලේ භූමි ස්වභාවය හා රළ පහරේ ස්වභාවය මත මෙබඳු දිය දහරාවල ප‍්‍රබලත්වය අඩු වැඩි විය හැකියි. පිහිනීමට දත්තකු පවා විනාඩියක් තුළ අඩි 200ක් පමණ දුරක් ගසා ගෙන යාමට ඒවාට හැකියි.

එබන්දක් සිදුවන තැනෙක ඉනවටක් දියේ බැස සිටින්නකු පවා ආරක්‍ෂිත නැති බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. එම ආකාරයේ දිය දහරකට ගසා යන කෙනෙකු එයට එරෙහිව පිහිනන්නට තැත් කොට එනිසාම අධික විඩාවට පත් වී අවසානයේ මුහුදේ ගිලී මිය යනවා. එබඳු අවස්ථාවක පැත්තකට පිහිනීම කළ හැකි එකම දෙයයි. මුහුදු වෙරළට යන සෑම කෙනෙකුම මේ දිය දහරා ගැන දැනුවත් වීම වැදගත්.

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

3 thoughts on “සිවුමංසල කොලූගැටයා #179: දියේ ගිලෙන ජීවිත බේරා ගන්නේ කෙසේද?”

  1. අපේ අය කොහේ හරි ට්‍රිප් එකක් ගියාම අතරමග නොදන්නා තැනවල නාන්න හදන්නේ හරියට වතුර දැකලා නැති අය වගෙයි. ඒ අතරම මත්පැන් බීලා නාන්න යනවා!

  2. දියේ ගිලීම් වලකා ගැනීම පිණිස පාසල් විෂයමාලාවේ වෙනස්කම් ඇති කිරීම තුළිනුත් කිසියම් පිටිවහලක් ලැබිය හැකියි නේද ? ඇතැම් පාසල් කීපයක පිහිනුම් තටාක වැනි දෑ ඇතත් බොහොමයක් පාසල් වලට එය සිහිනයක්වත් නොවේ. එහෙත් ප්‍රථාමධාර පාඩම් වැනි ඒකකයක් නැවත ප්‍රතිසංස්කරණය කරමින් පිහිනුම් කුසලතා ලබා දීම වැනි පියවරක් සඳහා තටාකයක් නැතිවීම දැඩි බාධකයක් නොවන බව සිතිය හැකියි නොවේද ?

  3. ළමුන්ට පිහිනීම ඉගැන්වීම වැදගත්. ඒ එක්කම දෙමාපියන් දරුවන් සමග ගොස් ස්වාභවික ජලාශ්‍ර වල ප්‍රවේසමෙන් නාන්න යන අවස්ථාව ලබා දී ඒ දේ වගකීමක් ඇතුව කරන විදිය පොඩි උන්ට කියා දීමත්, පොඩි අයට ඇති ස්වභාවික උනන්දුවක් වන වතුරේ ක්‍රීඩාවට යම අවස්ථාවක් නිසි රැකවරණය සහිතව ලබා දීමත් වැදගත්. මොකද ගොඩක් ළමයි මැරෙන්නෙ ගෙවල් වලට හොරා නාන්න ගිහින්. හේතුව බොහෝවිට ඒ දෙමාපියො තමන්ගෙ දරුවව ඉස්කෝල්ටයි පන්තියටයි හැර වෙන කොහෙවත් නොයවා පරෙස්සම් කිරීම.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: