සිවුමංසල කොලූගැටයා #172: රන් සේ දිදුලන සරුවපිත්තල මාධ්‍ය ලෝකය

In this week’s Ravaya column (in Sinhala, published on 15 June 2014), I turn the spotlight on the world of media itself. In particular, how the Lankan print and broadcast media exploits freelance writers and other creative professionals who are paid extremely low rates even by highly profitable media companies.

I cite my own experiences with the world of print and broadcasting, where editors and staff journalists have no hesitation in getting outsiders to work for practically free. Is this fair or right, I ask, when the same media stands for social justice in their editorial positions.

Photo by Louie Psihoyos, National Geographic

Photo by Louie Psihoyos, National Geographic

”ටෙලිවිෂන් එකේ කථා කරනවට මහත්තයට හොඳට ගෙවනවා ඇති නේද?”

මා නිතිපතා ගනුදෙනු කරන සිල්ලර කඩේ මුදලාලි වරක් මගෙන් ඇසුවේ බොහෝම නිර්ව්‍යාජවයි. අවුරුදු 45ක් පුරා එකම තැන සිට වෙළඳාම් කරන මුදලාලි, ලෝකය දිහා උපේක්ෂාවෙන් බලා සිටින්නකු මිස ඕපාදුප සොයන්නකු නොවෙයි.

දශක ගණනාවක සිට මා මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිවිෂන් නාලිකාවල වැඩසටහන්වලට සම්බන්ධ වන බව ඇත්තයි. එසේම ටෙලිවිෂන් මාධ්‍යය තුළ දැන්වීම් හා අනුග්‍රාහක ගාස්තු ලෙස අති විශාල මුදල් කන්දරාවක් සංසරණය වන බවත් සැබෑයි.

එහෙත් ටෙලිවිෂන් මාධ්‍යයේ ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරන පූර්ණ කාලීන සේවකයන්ට හෝ පිටත සිට සම්පත් දායකත්වය ලබා මා වැනි අයට හෝ එයට සමානුපාතික අන්දමේ ගෙවීම් නම් ලැබෙන්නේ නැහැ. වසර 35ක් සපිරුණු මෙරට ටෙලිවිෂන් කර්මාන්තයේ වැඩි දෙනකු නොදන්නා යථාර්ථය එයයි.

මාධ්‍ය ලෝකය හා ප්‍රකාශන කර්මාන්තය ක්‍රියාත්මක වන ආකාරය ගැන බොහෝ දෙනකූ දන්නේ නැහැ. එසේම මේ කර්මාන්තවල ඛේදජනක සැබෑ තත්ත්වය අත්දැකීමෙන් දන්නා අය එය ලෙහෙසියෙන් අන් අයට කියන්නේත් නැහැ. මේ නිසා දුර්මත දිගටම සමාජගත වනවා.

ගෙවී ගිය දෙවසර තුළ මා සිංහල පොත් තුනක් එළි දැක් වූ බව දත් ගණකාධිකාරි මිතුරෙක් ඇසුවේ ”ලක්ෂ ගාණක් හම්බ වෙන්න ඇති නේද” කියායි. මෙරට වෙළඳපොලට (යාන්තමින් හෝ) දරා ගත හැකි පරිදි මගේ පොත් මිල කර තිබුණේ රුපියල් 500ට ආසන්න මිලකටයි. එක් පොතකින් පිටපත් දහසක් මුද්‍රණය කරනවා නම් පොතක අලෙවි වටිනාකම ලක්ෂ පහක් බව මගේ මිතුරා ගණන් බැලුවා.

සංඛ්‍යාත්මකව එය නිවැරදි වුවත් ලොව කොතැනකවත් කිසිදු ප්‍රකාශයකු ලේඛකයාට ඒ මුළු මුදල දෙන්නේ නැහැ. එසේ දීමට හැකියාවක් නැත්තේ පොතේ පිටු සැළසුම හා මුද්‍රණයට යන නිෂ්පාදන වියදමත් ඉන්පසු බෙදා හැරීමේ හා අලෙවිකරණ වියදමත් සියල්ල පියවා ගත යුත්තේ පොතේ මිලෙන් බැවින්. පොත් සාප්පුවල පොතක් තබාගෙන විකිණීම සඳහා වට්ටම් වශයෙන් මිලෙන් සියයට 30-40ක් දිය යුතු වනවා.

මේ ආකාරයෙන් බලා ගෙන ගිය විට ලේඛකයාට 10%ට වඩා ඉතිරි වන්නේ නැහැ. යථාර්ථය නොදත් අය සිතන්නේ පොත් ලිවීමෙන් බොහෝ ලේඛකයන් පොහොසත් වන බවයි.

ප්‍රකාශන ෙක්ෂත්‍රයේ ලොව හැම තැනෙකම කර්තෘ භාගය ලෙස ගෙවන්නේ 10%යි. නමුත් ඉන්දියාව, චීනය, ඉංග්‍රීසි කියවන බටහිර ලෝකය ආදි වෙළඳපොලවල (ජනප්‍රිය පොතක) විකිණෙන පිටපත් ගණන අධික නිසා කර්තෘ භාගය 10% බැගින් වුවත් එකතු වී සැළකිය යුතු මුදලක් ලේඛකයාට ලැබෙන අවස්ථා බහුලයි.

එහෙත් පොත් විකිණෙන සංඛ්‍යාව සීමිත වූ අපේ රටේ සාමාන්‍යයෙන් පොතකින් පිටපත් 500ක් හෝ 1,000ක් මුද්‍රණය කැරෙනවා. එය විකිණී ගියොත් ඉන් පසු තවත් 500ක් හෝ 1,000ක් ඊලඟ මුද්‍රණය ලෙස නිකුත් කරනවා. මුල් මුද්‍රණයෙන් ඔබ්බට යන්නේ ජනප්‍රිය බවින් අධික දේශපාලන පොතක්, ප්‍රේම කථාවක්, ආගමික පොතක් හෝ විභාගයකට නිර්දේශ කැරෙන පොතක් පමණයි.

පොත් ලියා පොහොසත් වූ ලේඛකයන් නොවෙයි අඩු තරමින් ලේඛනයෙන් එදිනෙදා ආදායම උපයා ගන්නා වෘත්තීය ලේඛකයන් පවා අපේ රටේ හමු නොවන්නේ මේ නිසයි. එහෙත් පොත් ලියා ධනපතියන් වූ අය ගැන දූසමාන ආරංචි මීට සියවසකට පමණ පෙරත් මෙරට පැතිර ගිය සැටි මාර්ටින් වික්‍රමසිංහයන් එක් තැනෙක ලියා තිබෙනු මට මතකයි.

මාධ්‍ය ලෝකයේ වෙළඳපොළ ආකෘතිය පොත් ප්‍රකාශනයට වඩා වෙනස්. පුවත්පත් බොහෝ කොටම ආදායම් උපයා ගන්නේ පිටුවලින් කොටසක් දැන්වීම්කරුවන්ට විකිණීමෙන්. (පත්තරයක විකිණෙන මිල එහි මුද්‍රණ වියදමවත් ආවරණය කරන්නේ නැහැ.)

එහෙත් හුදෙක් දැන්වීම්වලට පමණක් කිසිවකු පත්‍ර හා සඟරා මිලදී නොගන්නා නිසා හොඳ ප්‍රවෘත්ති, විශේෂාංග හා වෙනත් අන්තර්ගතයන් අත්‍යවශ්‍යයි. බොහෝ මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන මාණ්ඩලික ලේඛකයන්ට හා වාර්තාකරුවන්ට පමණක් මෙය සම්පාදනය කළ නොහැකියි. ඒ නිසා පිටත සිට ලිපි සපයන, නිදහස් ලේඛකයන් (Freelance writers) නමින් හඳුන්වන අයගේ සේවය ලබා ගන්නවා.

මාණ්ඩලික ලේඛකයන්ට මාසික වැටුප්, කාර්යාලීය පහසුකම් හා වෙනත් දීමනා දිය යුතු නමුත් නිදහස් ලේඛකයන්ට ගෙවන්නේ නිර්මාණයකට යම් සුළු ගෙවීමක් පමණයි. ආයතන පරිපාලනය පැත්තෙන් බලන විට මෙය ඉතා සකසුරුවම්කාරි වැඩක්. ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත් ආයතන සියල්ලම පාහේ නිදහස් ලේඛකයන්ට හා විද්වත් ලිපි සපයන්නන්ට ගෙවන්නේ සොච්චමක්.

1984 සිට ජාතික පුවත්පත් හා සඟරාවලට ලිපි ලිවීම ඇරඹු පසු මා ඉක්මනින් වටහා ගත්තේ එකම මාධ්‍ය සමාගමේ සිංහල ප්‍රකාශන ගෙවන ගණන මෙන් හතර පස් ගුණයක් එහිම ඉංග්‍රීසි ප්‍රකාශනවලට ලිවීම සඳහා ගෙවන බවයි. එහෙත් ද්විභාෂිකව ලියන නිදහස් ලේඛකයන් ඉතා ටික දෙනකු පමණක් සිටින බැවින් මේ වෙනස්කම බෙහෝ දෙනා දන්නේ නැහැ.

වරක් මේ ගැන මා විමසූ විට දිවයින පත්‍රයේ එවකට සිටි කතුවරයෙක් කීවේ ”සිංහලෙන් ලියන්නට ඕනෑ තරම් සිටිනවා. පත්තරේ නම දා ගන්නට, ප්‍රසිද්ධ වෙන්නට කැමති අය නොමිලයේ වුණත් අපට සොයා ගත හැකියි” කියායි.

එය සැබෑවක් විය හැකි වුවත් සමාජ සාධාරණත්වය ගැන කතුවැකියෙන් නිතර කථා කරන පත්තර තුළ ම ලේඛක ශ්‍රමය සුරා කෑම මුළුමනින් වැරදි වැඩක්.

එම සංවාදය ඇති වී වසර 25ක් ගත වීත් සිංහල පත්තරවල තවමත් පිටු බාගයක ලිපියකට ගෙවන්නේ රු. 500 – 1,000ත් අතර ගණනක්. එහෙත් එම සමාගම්වලම ඉංග්‍රීසි පත්තරවලින් එක් ලිපියකට රු. 3,000 – 6,000 අතර ගෙවනවා.

මෙරට මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානින් විටින් විට මට ජාත්‍යන්තර සමුළුවලදී මුණ ගැසෙනවා. එබඳු තැන්වලදි ඔවුන් වඩා විවෘතව කථා බහ කරනවා. සිංහල ලේඛකයන්ට හා ඉංග්‍රීසියෙන් ලියන ලේඛකයන්ට විශාල වෙනස්කමක් සහිතව ගෙවීම ගැන මා වරක් එක් ප්‍රධානියකුගෙන් සුහදව විමසුවා.

දෙබිඩි ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන්නට කළමණාකරණයෙන් උපදෙස් දී නැති බව පැහැදිලි කළ ඔහු කීවේ එම ගෙවීම් මට්ටම් නිර්ණය කරන්නේත්, ගෙවීම් නිර්දේශ කරන්නේත් කර්තෘ මණ්ඩල මට්ටමින් බවයි. සිංහල ප්‍රකාශනවල කතුවරුන් බොහෝ විට ලේඛකයන්ට හැකි තාක් අඩුවෙන් ගෙවීම් කොට සිය ප්‍රතිපාදන ඉතිරි කර ගන්නා බවත්, එහෙත් ඉංග්‍රිසි පත්‍ර කතුවරුන් ඊට වඩා ලේඛකයන්ට ගෙවන බවත් ඔහු කීවේ මා විමතියට පත් කරමින්.

Meet the Media!

විද්යුත් මාධ්‍යවල ශ්‍රම සූරා කෑම ඊටත් වඩා දරුණුයි. ටෙලිවිෂන් යනු ඉතා ලාබදායකව පවත්වා ගෙන යන වාණිජ ව්‍යාපාරයක්. ප්‍රේක්ෂකයන් ටෙලිවිෂන් බලන්නේ දැන්වීම් සඳහා නොවෙයි. දැන්වීම්වලින් විශාල ආදායම් උපයා ගන්නට නම් ඒ අතරතුර හරවත් යමක් රසවත් ලෙසින් ඉදිරිපත් කළ යුතුයි. මෙයට බොහෝ කොටම දායකවන්නේ ටෙලිවිෂන් ආයතනවල තනතුරු නොදරණ, බටහිරින් පැමිණෙන ශිල්පීන් හා විද්වතුන්.

ඉන්දියාව, තායිලන්තය, පාකිස්ථානය වැනි රටවල නම් ටෙලිවිෂන් සංවාදවලට සහභාගී වන විද්වතුන්ට හා සමාජ ක්‍රියාකාරින්ට ප්‍රවාහන පහසුකම් සපයා ගෙවීමක් ද කරනවා. එහෙත් අපේ රටේ ඒ අයට බොහෝ විට කිසිම දීමනාවක් ගෙවන්නේ නැහැ. ඉඳහිට කරන ගෙවීම ද ඉතා අඩු මට්ටමක පවතිනවා. එය ප්‍රශ්නයක් හෝ විසමතාවක් බව බොහෝ ටෙලිවිෂන් නිෂ්පාදකවරුන් හෝ ආයතන ප්‍රධානින් පිළිගන්නේත් නැහැ.

”ටෙලිවිෂන් එකේ නොමිළේ පෙනී සිටීමට කැමති ඕනෑ තරම් අය ඉන්නවා. වෛද්‍යවරු, නීතීඥයෝ, ගුරුවරුන්, සූපවේදීන් වැනි අය ටෙලිවිෂන් හරහා සමාජ ප්‍රතිරූප ගොඩ නගා ගන්නවා. අප කරන්නේ ඔවුන්ට වේදිකාවක් දීමයි. හරි නම් ඒ සඳහා ඔවුන් අපට ගෙවිය යුතුයි!” නාලිකා ප්‍රධානියෙක් වරක් මා සමග තර්ක කළා.

රූපවාහිනී නාලිකාවේ පැය බාගයක තරුණ අධ්‍යාපනික වැඩසටහනක් ඉදිරිපත් කිරීමට (පටිගත කිරීමක් සඳහා පැය 4ක් පමණ වැය කළ පසු) 2012දී මට ගෙවනු ලැබුවේ රු. 1,250ක්. එහෙත් ඔවුන් තත්ත්පර 15ක හෝ 30ක වෙළඳ දැන්වීමකට ගුවන් කාලය සඳහා ලක්ෂ ගණනක් අය කරනවා. මේ බව දන්නා අය සිතන්නේ ටෙලිවිෂන් අන්තර්ගතයට දායක වන අප වැනි අයට ද ලක්ෂ ගණනින් නොවුවත් දහස් ගණනින්වත් ගෙවීම් කරනු ඇති කියායි!

ටෙලිවිෂන් මාධ්‍යයේ උච්චතම වාණිජකරණය වන ක්‍රිකට් තරග සජීව විකාශයන්ගේ තත්ත්වය ද මෙයට සමානයි. කලක් තිස්සේ මා සිතා සිටියේ අඩු තරමින් ක්‍රිකට් විස්තර විචාරකයන්ට එම ක්‍රීඩාවට සාපේක්ෂව ඉහළ ගෙවීමක් ලැබෙනවා කියායි.

එහෙත් මෙරට සිටින ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් විස්තර විචාරකයකු මීට දෙවසරකට පමණ පෙර මට කීවේ ලෝක කුසලාන මට්ටමේ එක් දින තරගයක පැය කිහිපයක් සජීව සිංහල විස්තර විචාරය සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ නාලිකාවක් ගෙවන්නේ රුපියල් පන් දහසක් බවයි. (ඉංග්‍රීසි විචාරකයන්ට වැඩිපුර ගෙවනවා.)

ලැබෙන ශිල්පී ගෙවීම ගැන බොහෝ දෙනා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. එහෙත් වැඩි ගෙවීම් ගැන කථා කරන විට මාධ්‍ය ආයතන ප්‍රධානින් කියන්නේ මේ ෙක්ෂත්‍රයට පිවිසී නමක් හදා ගන්නට බලා සිටින නවකයන් ඕනෑ තරම් සිටින බවයි. ඔවුන් නොමිලයේ හෝ තම සේවය ලබා දෙන්නට සූදානම්ලු.

මේ සටකපට තර්ක හරහා සම්පත් දායකයන්ට සදාකාලිකව අඩුවෙන් ගෙවා ශ්‍රමය සූරාකෑමේ හැකියාව ලැබී තිබෙනවා. වසර අවසානයේ තමන් කෝටි ගණන් ලාබ ඉපද වූ බව කියමින් පුරම්බාන්නට ටෙලිවිෂන් නාලිකා පාලකයන්ට ඉඩ ලැබෙනවා.

අපේ රටේ මාධ්‍ය ප්‍රකාශන හා නාලිකාවල ලාබ ලැබීම ඉහළ යද්දී ගුණාත්මක බව පිරිහීමට හේතු ගණනාවක් තිබෙනවා. එයින් එකක් නම් මාණ්ඩලික මාධ්‍යවේදීන්ට හා නිදහස් ලේඛකයන්/විද්වතුන්ට සාධාරණ ගෙවීමක් නොකිරීම. එහෙත් වැඩවසම් මානසිකත්වයෙන් හිමිකරුවන්ට හැකි තරම් ලාබ උපයා දෙන මාධ්‍ය ජ්‍යෙෂ්ඨයන් සිටින තුරු මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි සිතීමට අමාරුයි.

See also:

8 July 2012: සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකිද?

30 Dec 2012: සිවුමංසල කොලූගැටයා #98: ලෝක විනාශ මිථ්‍යාවේ මාධ්‍ය කෙරුවාව

30 June 2013: සිවුමංසල කොලූගැටයා #124: පුවත්පත් කර්මාන්තයේ පරිනාමීය අභියෝග

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: