සිවුමංසල කොලූගැටයා #166: ආසයි – බයයි! දුපතේ නමයි!

In this week’s Ravaya column (in Sinhala), I write about public perception of risk in Japan and Sri Lanka — and how alarmist exaggerations distort society’s reactions and affect policy responses. I quote from the writing and presentations of Japanese science journalist Hajime Hikino, who has long studied this phenomenon in Japan.

To this, I mix my own observations on Lankan society, and quote from a media interview given by Professor Sudantha Liyanage, dean of applied science at the University of Sri Jayawardenapura, Sri Lanka – a rare public intellectual who calls for measured, scientifically based approach to risk assessment and communication.

Who's leading who in this game?
Who’s leading who in this game?

හජීමේ හිකිනෝ (Hajime Hikino) ජපන් විද්‍යා මාධ්‍යවේදියෙක්. ඔහු කලෙක පටන් සමීපව අධ්‍යයන කරන්නේ හා වාර්තා කරන්නේ අවදානම (risk) ගැන ජපන් ජන සමාජය දක්වන ආකල්ප ගැනයි.

විද්‍යාවේ ප‍්‍රායෝගික භාවිතයන් වන තාක්‍ෂණයෙන් ඉහළට ගොස් ඒ හරහා ආර්ථිකයේත්, ජන ජීවිතයේත් අභිවෘද්ධියක් ළඟ කර ගන්නට ජපානයට හැකිව තිබෙනවා. ඓතිහාසිකව සියුම් දේ කලාත්මකව කරන්නට ජපනා හපනා. ඔවුන් තාක්‍ෂණික අංශයෙන් වැඩියෙන් මතුව ආයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. 1960දශකයේ ඉසුරුබර රටක් බවට පත් වූ ජපානය දැන් ඒ තත්ත්‍වයේ පරම්පරා දෙකකට වඩා ගත කොට තිබෙනවා.

Hajime Hikino
Hajime Hikino

ඒ කියන්නේ දියුණු වන්නට පෙර අගහිඟකම් තිබූ අතීත ජපානය ගැන මතකයන් තිබෙන අය හැමදෙනා දැන් වැඩිමහලූයි. 1960න් පසුව ඉපදී හැදුණු වැඩුණු ජපනුන් හැම දෙයක් ම සුපිරි ආරක්‍ෂාකාරී විය යුතු බවට අපේක්‍ෂා කරනවා.

එහෙත් ලෝකයේ කිසිදු රටකට සියඵ අවදානම් දුරු කළ නොහැකි බවත්, එසේ අපේක්‍ෂා කිරීම යථාර්ථවාදී නොවන බවත් හිකිනෝ කියනවා. ඔහු මෙය හඳුන්වන්නේ Zero Risk Syndrome හෙවත් අවදානම බින්දුව කිරීමේ උන්මාදය හැටියටයි.

ප‍්‍රතිශක්තිකරණ එන්නත්, බලශක්ති ජනනය, ආහාරපාන හා බෙහෙත් ආදී ජීවිතයේ අවශ්‍යතාවන් සම්පාදනය කර ගැනීමේදී නූතන සමාජයේ අප කවුරුත් අවදානම ගැන තක්සේරුවක් කරනවා. මුඵමනින් ආරක්‍ෂිත වීමට නම් විෂබීජහරණය කළ සුවිශෙෂී ඇඳුම් කට්ටලයක් හැඳගෙන, අධී ආරක්‍ෂිත කාමරයක ජීවත් වන්නට සිදු වෙයි. එසේ කළත් ආහාරපාන හරහා නොයෙක් බලපෑම් ඇති විය හැකියි.

අප කරන්නේ යම් පහසුකමක් වෙනුවෙන් ගත හැකි සාධාරණ අවදානම (reasonable risk) කුමක් දැයි නිර්ණය කොට එයට යොමු වීමයි. ගින්දර භාවිතය ඇරැඹූ දා පටන් මානව වර්ගයා මේ කිරා මැන බැලීම කර තිබෙනවා.

‘‘අවදානම ගැන ඕනෑවට වඩා සිතීම නිසා අද ඇතැම් ජපන් ජාතිකයෝ දිගටම බියපත් වූ මානසිකත්වයකට පත් වෙලා. විය හැකියාව ඉතා අල්ප වූ අන්තරායන් ගැනත් ඔවුන් කලබල වනවා. කිසිදු රජයකට, ආයතනයකට හෝ විද්වතකුට මුඵමනින් ආරක්‍ෂිත ජන සමාජයක් සහතික කළ නොහැකියි. එහෙත් සමහර ජපනුන් දැන් එබන්දක් බලාපොරොත්තු වනවා’’ යයි හිකිනෝ කියනවා.

බෝවන රෝගවලින් ආරක්‍ෂාවීමට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම සියවස් දෙකක් තිස්සේ කැරෙන, ලොව ප‍්‍රචලිත උපක‍්‍රමයක්. කිසිදු එන්නතක් සියයට සීයක් ආරක්‍ෂිත නැහැ. ප‍්‍රතිශක්තිකරණයේ සංකල්පය නම් අඩු මාත‍්‍රාවකින් අදාල රෝගකාරකය ශරීරයට හඳුන්වා දී ශරීරයේ ස්වාභාවික ප‍්‍රතිදේහ ජනනය කිරීමයි.

ඉතා කලාතුරකින් අවස්ථාවල මෙබඳු එන්නතක් හරහා එය ඉලක්ක කරන රෝගය වැළදීමට හෝ වෙනත් අනපේක්‍ෂිත අතුරු ආබාධයක් හට ගැනීමට හෝ හැකියි. මේ අවදානම ගැන කලබල වූ සමහර ජපන් ජාතිකයෝ එන්නත් ගැනීමට මැළි වෙනවා.

හිකිනෝ ලයිස්තු ගත කළ නූතන ජපන් භීතිකා ගණනාවක් තිබෙනවා. ජාන තාක්‍ෂණයෙන් දියුණු කළ එළවඵ හා සෝයා බෝංචි ආහාරයට ගැනීම එබන්දක්. ඩයොක්සින් නම් විෂ වායුවක් පිට වේ යයි බියෙන් එළිමහන් ගිනිමැළයන් ඇති කිරීම ද මෑතක පටන් තහනම් කොට තිබෙනවා. ජෛව ආරක්‍ෂිත මට්ටම (Biosafety Level) 4ට වඩා ඉහළ සූක්‍ෂම ගණයේ වෛද්‍ය පර්යේෂණගාර පිහිටුවීම හා කි‍්‍රයාකිරීමට ජපානයේ තව දුරටත් ඉඩ දෙන්නේ නැහැ. වැරදීමකින් හෝ දරුණු විෂබීජයක් එබඳු තැනෙකින් පිට වී බෝවන රෝග ඇති කළ හැකිය යන බිය නිසා.

හිකීනෝ තර්ක කරන්නේ බින්දු අවදානම් උන්මාදය අද ජපන් සමාජය උභතෝකෝටික තත්ත්වයකට පත් කරමින් සිටින බවයි. පූර්ව-තාක්‍ෂණික යුගවල තිබූ අපහසුතා හා අඟහිඟකම්වලට ආපසු යන්න ජපන් සමාජය කැමති නැහැ. එහෙත් ප‍්‍රගතියේ හා සමාජ ප‍්‍රගමනයේ නොවැළැක්විය හැකි යම් අවදානම් සමග ජීවත්වීමට ද බොහෝ ජපනුන් සූදානම් නැහැ. මේ නිසා බිරන්තට්ටු වූ සමාජයක් බිහිව තිබෙනවා. ප‍්‍රතිපත්ති සම්පාදනය ව්‍යාකූල වී ගොසින්.

Businessweek, 6 Dec 2012: Japan’s Fear of Risk Is Getting Dangerous

විද්‍යා හා තාක්‍ෂණ දැනුම අතින් අපට වඩා ඉදිරියෙන් සිටින ජපන් සමාජයේත් මේ පරස්පරයන් මතුවන පසුබිමෙක අපේ රටේ බොහෝ දෙනා නූතන භීතිකාවන් රැසක් මැද දිවි ගෙවීම පුදුමයක් නොවෙයි. 2013 ඔක්තෝබර් 6වනදා කොලමින් මා ‘විසි එක්වන සියවසේ භූතයෝ’’ ලෙස හැඳින් වූයේ මෙබඳු නූතන භිතිකායි.

6 Oct 2013: සිවුමංසල කොලූ ගැටයා#137: නව සියවසට නවීකරණය වූ  ‘භූතයෝ’

මා මතු කළ අදහස්වලට සමාන්තර මත ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් ද 2013 සැප්තැම්බර් 10 වනදා දිවයින පත‍්‍රයේ පළ කොට තිබුණා. කල් ගත වී මා එම වැදගත් ලිපිය කියවූයේ ඉඳහිට හෝ උඩුගං බලා යන විද්වතුන් මෙරට සිටින බවට ඇති වූ ප‍්‍රබෝධයෙන්.

Prof Sudantha Liyanage
Prof Sudantha Liyanage

මහාචාර්ය ලියනගේ මතු කරන මූලික තර්කය නම් විද්‍යා හා තාක්‍ෂණ විෂයයන් ගැඹුරින් හැදෑරූ හා පර්යේෂණ කරන අය වෙනුවට ඒ මාතෘකා ගැන හරි හැටි නොදත් හෝ යන්තම් තොරතුරු සොයා ගත් හෝ උදවිය කරුණු විකෘති කරමින් ලක් සමාජය නොමග යවන බවයි. බිය වද්දන බවයි. මෙය බියකරු ප‍්‍රවණතාවක්.

මහාචාර්ය ලියනගේ කියන්නේ අපේ රටේ විද්‍යා අධ්‍යාපනය හා දැනුම ලද අය සීමිත වීම හා උගත් අයගේ නිහැඬියාව මෙයට ප‍්‍රධාන හේතුව බවයි. (නිහැඬියාවට හේතු ද ඔහු දක්වනවා.)

‘‘යුද්ධය අවසන්වීමෙන් පස්සේ අපේ රටේ ඇති වූ නිදහස හරි හැටි කළමනාකරණය කර ගන්න ජනතාවට නොහැකි වීම එක හේතුවක්. යුද්ධය කාලේ සියල්ල අමතක කර යුද්ධය ගැන පමණක් කතා කළ ජනතාව පශ්චාත් යුද සමයේදී තමුන් දන්න නොදන්න සියලූ දේ ගැන කතා කරනවා.’’

‘‘බොහෝ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යය අද තෝර ගන්නෙ ජනතාව අතර ජනප‍්‍රිය විය හැකි තේමාවන්….අද අපේ රටේ හුඟ දෙනෙක් තමන් හිතන නිගමන හරි කියල හිතනව විතරක් නොමෙයි අන් අයටත් ඒවා පටවන්න උත්සාහ දරනව. මේ සඳහා ඇතැම් විට කණ්ඩායම් වශයෙන් ඔවුන් නැගී සිටින අවස්ථා තිබෙනව. මේ දේශපාලනයම නොමෙයි. මේ බොහෝ අයට චතුර කථිකත්වයක් තියෙනව. මනරම් විදිහට කරුණු ඉදිරිපත් කරන්නත් හැකියාව තියෙනව. නමුත් මේ අය ඒ කරුණු ගැඹුරින් හදාරපු අයවත් එසේ කළ හැකි අයවත් නොවෙයි. මේ කරුණු වැඩි හරියක් අවිද්‍යාත්මකයි. නමුත් චතුර කථිකත්වය හා ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා බොහෝ අවිද්‍යාත්මක දේවල් ජනතාව අතරට රැගෙන යන්න මේ කණ්ඩායම්වලට හැකි වෙලා තියෙනව.’’

ගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇති කළ කිරිපිටිවල DCD රසායනිකය හා බොටිලියුම් බැක්ටීරියාව ඇතැයි කීමත්, රතුපස්වල කර්මාන්ත ශාලාව මැදි කර ගෙන මතු වූ පානීය ජලය පිළිබඳ ප‍්‍රශ්නයත් උදාහරණයට ගනිමින් මහාචාර්ය ලියනගේ මෙය විග‍්‍රහ කරනවා.

‘‘අපේ රටේ අද මේ ඞී.සී.ඞී. සහ කිරිපිටි ගැන විශාල ආන්දෝලනයක් ඇති වී තිබුණත් අපේ රටේ මුළු ආහාර පරිභෝජන රටාව තුළ ම අද අර්බුදයක් තියෙනව….ඞී.සී.ඞී. කිරිපිටි ගැන පමණක් නොමෙයි මේ සියලූ දේ ගැනත් නිවැරැදි දැනුවත් කිරීම් තුළින් සත්‍ය ලෙස කරුණු ජනතාවට අවබෝධ කර දිය යුතුයි. සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජන රටාව පිළිබඳ අපේ රටේ බොහෝ වෛද්‍යවරු පවා කතා කරන්නෙ නෑ. අපේ රටේ තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් හිඟ වීම නිසා අවශ්‍ය සහ අනවශ්‍ය සෑම දෙයකට ම ඇතැම් වෛද්‍යවරුන් අද මැදිහත් වී සිටිනවා. මෙය රටේ සංවර්ධනයට හිතකර තත්ත්වයක් නොමෙයි.’’

8 Sep 2013: සිවුමංසල කොලූ ගැටයා #133: සේනක බිබිලේ ගිය මගෙහි ඉදිරියට යන්නේ කෙසේ ද?

‘‘පසුගිය දිනවල රජරට ප‍්‍රදේශයේ ජනතාව මෙන්ම ගම්පහ රතුපස්වල ප‍්‍රදේශයේ ජනතාවත් පිරිසිදු පානීය ජලය පිළිබඳ බරපතළ ගැටලූවකට මුහුණ පෑව. මේ ප‍්‍රශ්නෙදිත් වැඩිපුරම කතා කළේ ජනතාව සහ විවිධ සංවිධාන. ජලයේ ආම්ලික හෝ භාෂ්මිකතාව, පස්වල ස්වභාවය වැනි මේ ප‍්‍රශ්නයට සැබෑ හේතු සොයා ගත හැකි සාධක පිළිබඳ දන්නා අය හුඟ දෙනෙක් නිහඬයි. ඒ නිසා ඇත්ත යටපත් වී ඇති බව මේ පිළිබඳ මතුවී ඇති මතයක්.’’

‘‘pH අගය 5 – 7අතර ජලය බීමට සුදුසුයි. මම හිතන විදිහට අපේ රටේ  pH අගය 4ට වඩා වැඩි ජලය පානය කළාට ගැටලූවක් ඇති වෙන්නෙ නෑ. එයට හේතුව අපේ රටේ ජනතාව ගන්න සියලූම ආහාර ආම්ලිකයි. ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියේදී විනාකිරි වැනි ආම්ලික දේවලූත් එකතු කරනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතියෙ ජීර්ණ ක‍්‍රමවේදයත් ආම්ලිකයි.’’

‘‘නිසියාකාරව වර්ෂාව නොලැබීමෙන් පානීය ජලයේ සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. විසි වසරක පමණ කාලයක් මේ ප‍්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව පිළිබඳ දත්ත ලබා ගෙන බැලූවොත් එහි සැලකිය යුතු අඩුවීමක් දකින්නට පුළුවන්….වර්ෂාව අඩු වීමත් වාෂ්පීකරණය වැඩිවීමත් නිසා යම් ප‍්‍රදේශයක පානීය ජලයේ සංයුතියේ වෙනසක් වීමට පුළුවන්. එවැනි සාධකත් අපේ අවධානයට යොමු විය යුතුයි.’’

‘‘නමුත් අපේ රටේ එවැනි විමර්ශන සිදු නොවීම අනවශ්‍ය ප‍්‍රශ්න රැසකට හේතුවක් වී තිබෙනව. අපේ රටේ විද්‍යාඥයන්, තාක්ෂණවේදීන් සහ ඉංජිනේරුවන් හිඟ වීම මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුවක්.’’

‘‘මේවා පිළිබඳ විමර්ශනාත්මකව කරුණු දක්වන පුද්ගලයන්ට ශ‍්‍රීලනිප, එජාප, ජවිපෙ හෝ බටහිර ගැති ආදි ලේබල් ගැසීමට ක‍්‍රියා කරන පිරිසකුත් අපේ රටේ ඉන්නව. ඒ නිසා මෙබඳු සිදුවීම් පිටුපස ඇති සත්‍යය හෙළි කළ හැකි පුද්ගලයන් අද නිහඬ වෙලා ඉන්නේ. ඒ නිසා විද්‍යාව වෙනුවට රට පුරා අවිද්‍යාව පැතිර යැමේ ප‍්‍රවණතාවක් අද ඇති වෙලා තියෙනව.’’

මහාචාර්ය ලියනගේ කරන මේ විග‍්‍රහය සමග මා එකඟ වෙතත් ජනතාව විද්‍යාව උගත් පමණට ම රටේ විචාරශීලි චින්තනයක් බිහි නොවන බවත් පෙන්වා දිය යුතුයි. අපේ බොහෝ දෙනා විද්‍යා පෙළපොත් පාඩම් කොට උපාධි ලබා ගත්තාට එම චින්තනය එදිනෙදා ජීවිතයට අදාල කර ගන්නේ නැහැ.

මේ යන විදියට ගියොත් තව ටික කලෙකින් ජපන් සමාජය මෙන් ලක් සමාජයත් ඉදිරියට යාමට බිය වූ හා ආපසු හැරීමට නොකැමති වූ එක් තැන පල්වන පිරිසක් බවට පත් විය හැකියි.

ආසයි – බයයි! මේ ආවේග දෙක තුලනය කර ගැනීම අද කාලයේ හැම සමාජයක් ම මුහුණ දෙන අභියෝගයක්.

 

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

2 thoughts on “සිවුමංසල කොලූගැටයා #166: ආසයි – බයයි! දුපතේ නමයි!”

  1. අවදානම පිළිබඳව සීමාවන් ඉක්මවා ගිය භීතිකාවක් අප ද වැළඳ ගනිම්නි සිටින බව සිංහලෙක් කියවන්නකු වූ මට දක්නට ලැබෙන්නේ ඔබේ මේ ලිපියෙනි. මහාචාර්ය ලියනගේ හා හිකිනෝගේ ගවේශන වටා යමින් ඉතා කදිමට දක්වන මේ අදහස් මීට වඩා අවධාරණය වෙමින් විවිධ මාධ්‍ය හරහා ඒවාට ආවෙනික ක්‍රමයෙන් ජනතාව අතරට පමිණීම වැදගත්වේවි නේදැයි නාලක වැනි විද්වතකුට හෝ කියන්න ඔනෑ බව මට හිතුනා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: