සිවුමංසල කොලූගැටයා #159: අයින්ස්ටයින්ටත් වැරදුණු තැන – පරමාණු බෝම්බය

TIME cover, 1 July 1946: Misleading & inaccurate

TIME cover, 1 July 1946: Misleading & inaccurate

There is a popular myth that links Albert Einstein with the atomic bomb. In the months following the dropping of atom bombs on Hiroshima and Nagasaki, both TIME and Newsweek did cover stories that linked the theoretical physicist with the development of this weapon of mass destruction. Both stories assigned great weight to a letter Einstein had written to President Franklin Roosevelt in August 1939 warning of the destructive potential of an atomic chain reaction.

The reality was more complex. “Had I known that the Germans would not succeed in producing an atomic bomb,” he later told Newsweek, “I never would have lifted a finger.”

He pointed out, correctly, that he had never actually worked on the bomb project. And he correctly claimed: “My participation in the production of the atom bomb consisted in a single act: I signed a letter to President Roosevelt.”

See: On My Participation In The Atom Bomb Project by Albert Einstein

This history forms the backdrop to my Sunday column in Ravaya (in Sinhala), inspired by the high levels of interest in my previous columns on Einstein the humanist and on his 1922 visit to Ceylon. In this column, I trace how Einstein’s the pacifist became a campaigner for nuclear disarmament in the last decade of his life.

Einstein quote - World War IV

විද්‍යාවේ හා තාක්‍ෂණයේ ප‍්‍රගමනයේ සමහර ඵල විපාක කල් තබා මුළුමනින් තක්සේරු කිරීම අපහසුයි.  එය විද්‍යාවේ වරදක් නොව එය හසුරුවන මානව සමාජයේ දුර්වලතාවක්.

ගල් යුගයේදී ඉතා ප‍්‍රාථමික මට්ටමේ ගල් පතුරු මෙවලම් හා අවි ලෙස භාවිතයට ගත් ආදි මානවයාත් නූතන අපත් අතර ඇත්තේ වසර 8,000ක පමණ කාල පරතරයක්. පරිනාමීයව බලන විට එය එතරම් දිගු කාලයක් නොවෙයි.

එදා මානවයාටත් අද අප සතු මොළය හා ආවේගයන් ම තිබුණා. එහෙත් නූතන මානවයන් අති ප‍්‍රබල අවි ආයුධ තැනීමේ හැකියාව ලබා සිටිනවා. ගල් යුගයේ ආවේගයන් හා ප‍්‍රචණ්ඩත්වය නවීන විද්‍යාවේ අහිතකර යෙදීම් සමග සංකලනය වීමේ උච්ච අවස්ථාව නම් න්‍යෂ්ටික අවි ආයුධයි.  නැතහොත් පරමාණු බෝම්බයි.

පරමාණුක න්‍යෂ්ටිය තුළ ගැබ්ව ඇති අති මහත් ශක්තිය නිදහස් කර ගැනීමේ  හැකියාව විද්‍යාඥයන් ටිකෙන් ටික ලබා ගත්තේ 20 වන සියවස මුල් භාගයේදී.  අර්නස්ට් රදර්ෆඞ්, එන්රිකෝ ෆර්මි ඇතුළු තවත් විද්‍යාඥයන් ගණනාවකගේ සොයා ගැනීම් එයට උපකාර වුණා. පදාර්ථයේ ස්වභාවය සොයා ගෙන ගිය බුද්ධි ගවේෂණයක පසු කාලීන ප‍්‍රතිඵල ලෙස න්‍යෂ්ටික බලශක්තිය මෙන් ම න්‍යෂ්ටික බෝම්බ ද බිහි වුණා.  මුල් සොයා ගැනීම් කළ විද්‍යාඥයන්ට එයට දොස් කිව නොහැකියි.  එම දැනුම භාවිත කිරීමේ තීරණ ගනු ලැබුවේ දේශපාලකයන් විසින්.

1939 මැද වන විට ලෝකය සිටියේ තවත් මහා යුද්ධයක අභිමුඛවයි.  හිට්ලර්ගේ ව්‍යාප්තවාදය ගැන තව දුරටත් දෙගිඩියාවක් පැවතුණේ නැහැ.  එසේම සෙසු ලෝකයාට නැති මහා පරිමාන ආයුධ තැනීම සඳහා ජර්මනියේ විද්‍යාඥයන්ට නාට්සි පාලකයන් විසින් අසීමිත සම්පත් හා පහසුකම් දෙනු ලැබුවා. ලෝකයේ රොකට් තාක්‍ෂණය ඉදිරි පිම්මක් පැන්නේ මේ යුගයේ ජර්මන් පර්යේෂණ නිසා.

දරුණු ආක‍්‍රමණිකයකු හමුවේ දැඩි සාමවාදියකුට (pacifist) පවා තමන්ගේ ප‍්‍රතිපත්ති නැවත විමසන්නට සිදු වනවා. සාමවාදියකු වූ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් 1932 දෙසැම්බරයේ ජර්මනියෙන් පිටත්ව අමෙරිකාවේ පදිංචියට ගියේ සුළු ජාතීන්ට හා නිදහස් මතධාරීන්ට මවු රට තත්ත්වය අවදානම් වූ බැවින්. 1933 ජනවාරියේ හිට්ලර් මැතිවරණයක් හරහා ජර්මනියේ නායකයා බවට පත් වුණා.

අන්ත ජාතිකවාදී ජනපි‍්‍රය රැල්ලක් හරහා බලයට පත් වූ හිට්ලර් ආඥාදායකත්වයක් කරා ගමන් ගනිද්දී ස්වයං පිටුවහල් වූවකු ලෙස අයින්ස්ටයින් එය බලා සිටියේ මහත් වේදනාවකින්. ඔහු වඩාත් විමතියට පත් වුයේ හිට්ලර්ගේ දරදඩු ප‍්‍රතිපත්තිවලට හා (දෙවන ලෝක යුද්ධයට පාර කැපූ) රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වයට ජර්මනියේ සමහර බුද්ධිමතුන් හා කලාකරුවන් ප‍්‍රසිද්ධියේ ආවඩනු දැකීමෙන්. යුදෙව්වන් කෲර ලෙස මර්දනයෙන් ඇරඹුනත් නාට්සි ප‍්‍රචණ්ඩත්වය එතැනින් නතර නොවන බවට අයින්ස්ටයින් කල් තබා කළ අනතුරු ඇඟවීම එලෙස ම සිදු වුණා.

ප‍්‍රචණ්ඩත්වය හා යුධකාමය මුළුමනින් පිළිකුල් කළත්, නාට්සි වියරුවට එරෙහිව හැකි සෑම පියවරක් ම ගැනීමේ අවශ්‍යතාවය අයින්ස්ටයින් පිළි ගත්තා. මේ නිසා නොකැමැත්තෙන් වූවත් දෙවන ලෝක යුද්ධයේදී මිත‍්‍ර පාක්‍ෂික රටවල කි‍්‍රයා කලාපය ඔහු අනුමත කළා.

පරමාණුක න්‍යෂ්ටියේ ඉමහත් බලය යොදා ගෙන අවියක් තැනීම නාට්සින්ගේ ඉලක්කය වී ඇතැයි 1939 වන විට සෙසු රටවල භෞතික විද්‍යාඥයින් අනුමාන කළා.  ආක‍්‍රමණශීලි නාට්සින්ට මෙවැනි අවියකින් ලැබෙන වාසිය සුළුපටු නොවන බව ඔවුන්  තේරුම් ගත්තා.

ලොව ප‍්‍රමුඛ පෙළේ භෞතික  විද්‍යාඥයන් සමග කඩිනම් සාකච්ඡාවලින්  පසුව 1939 අගෝස්තු 2 වනදා අයින්ස්ටයින් එවකට අමෙරිකානු  ජනාධිපති රූසවෙල්ට් වෙත ඓතිහාසික ලියුමක් ලිව්වා. එහි හරය වූයේ මෙයයි.  ‘‘මෑතදී සොයා ගත් න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාදාමය නම් සංසිද්ධිය යොදා ගෙන මෙතෙක් නොවූ විරූ අති ප‍්‍රබල බෝම්බ  නිපදවිය හැකියි.  මෙය තවමත් ෙසෙද්ධාන්තික මට්ටමේ තිබුණත් ඒ ගැන වැඩිදුර පර්යේෂණ කරන (ඇමරිකානු) විද්‍යාඥයන් සමග ඔබේ රජය නිල සබඳතා පවත්වා ගත හැකි නම් අගෙයි. එසේම සරසවි පර්යේෂණාගාර මට්ටමෙන් කැරෙන මේ අධ්‍යයනවල වැඩිපුර අරමුදල් අවශ්‍යයි.”

Einstein's letter to President Roosevelt, 2 Aug 1939 - page 1 of 2

Einstein’s letter to President Roosevelt, 2 Aug 1939 – page 1 of 2

Einstein's letter to President Roosevelt, 2 Aug 1939 - page 2 of 2

Einstein’s letter to President Roosevelt, 2 Aug 1939 – page 2 of 2

බෝම්බ නිපදවන්නට යයි එක එල්ලේ නොකීවත් මේ ලියුම නිසා අළුත් භෞතික විද්‍යා පර්යේෂණ ගැන අමෙරිකානු රජය දැනුවත් වූවා. පරමාණු අවියක් තැනීමේ රහසිගත ‘මැන්හැට්න් ව්‍යාපෘතිය’ (Manhattan Project) හරිහැටි ඇරඹුණේ 1941දී.  එයට අයින්සිටයින්ගේ සෘජු සම්බන්ධයක් තිබුණේ නැහැ.  මන්ද නිල හා හමුදා මට්ටමේ කිසිදු කාරියකට ඔහු කවදත් නොකැමති වූ නිසා.

පසු කලෙක හෙළි වූ පරිදි ජර්මනියේ රහසිගත පරමාණුක පර්යේෂණ යම් මට්ටමකින් ඔබ්බට සාර්ථක නොවූ නිසා නාට්සින්ට පරමාණු බෝම්බයක් තැනීමට නොහැකි වුණා.  එහෙත් හිට්ලර් මේ අවියෙන් සන්නද්ධ වූවොත් මතු විය හැකි බිහිසුණු තත්ත්වය ගැන 1939-45 කාලයේ පැවතුණ දෙවන ලෝක යුද්ධය පුරාම මිත‍්‍රපාක්‍ෂික රටවල් බියෙන් සිටියා. සතුරා අධිතක්සේරු කර තිබූ බව ඔවුන් තේරුම් ගත්තේ පසුවයි.

A mushroom cloud rises 20,000 feet over Nagasaki, Japan on Aug. 9, 1945, moments after an atomic bomb was dropped

A mushroom cloud rises 20,000 feet over Nagasaki, Japan on Aug. 9, 1945, moments after an atomic bomb was dropped

මිත‍්‍ර පාක්‍ෂික ප‍්‍රහාරයන් හමුවේ නාට්සි ජර්මනිය 1945 මැයි 8 වනදා පරාජය වී යටත් වුණා.  එහෙත් පෙරදිග යුද්ධය දිගට ම පැවතුණා.  ජපන් රණකාමී වියරුව අවසන් වූයේ අමෙරිකානු ගුවන් හමුදාව 1945 අගෝස්තු 6 වනදා හිරෝෂිමාවටත් අගෝස්තු 9 වනදා නාගසාකි නුවරටත් පරමාණු බෝම්බ හෙළීමෙන්.  ඊට දින කිහිපයකට පසු අගෝස්තු 15දා ජපානය යටත් වුණා.

රාජ්‍ය හා හමුදා සබඳතා කිසිවක් නැතිව ප‍්‍රින්ස්ටන් සරසවියේ බුද්ධි ගවේෂණයේ යෙදී සිටි අයින්ස්ටයින්,  හිරෝෂීමාවට බෝම්බ හෙළීම ගැන දැන ගත්තේ (සෙසු ලෝකයා මෙන්) රේඩියෝ ප‍්‍රවෘත්ති හරහායි.  එයින් දැඩි ලෙස සැලූණු ඔහු ‘මහා ඛේදවාචකයක්’ යයි කෙටියෙන් කී බව ඔහුගේ ලේකම්වරිය පසුව වාර්තා කළා.

Hiroshima Nuclear (atomic) Bomb attack on Japan (6 Aug 1945): documentary with re-enactments and survivor testimonies

1922දී ජපන් සංචාරයේදී තමන් දැක බලා ගත් සුන්දර හිරෝෂිමාවට අත් වූ ඉරණම ගැන අයින්ස්ටයින් මහත් කම්පාවට පත් වූවා.  හිරෝෂිමා බෝම්බයෙන් සිදු වූ විපත ගැන අමෙරිකානු මාධ්‍යවේදී  ජෝන් හර්සි   (John Hersey) 1946දී නිව්යෝකර් (The New Yorker) සඟරාවට ලියූ ගවේෂනාත්මක ලිපියේ පිටපත් රැසක් මිළට ගෙන ඔහු මිතුරන් අතර බෙදා හැරියා.

හිට්ලර් පරමාණු බෝම්බයක් හැදුවොත් සිදුවිය හැකි ව්‍යසනයට සූදානමක් ලෙස අමෙරිකාවත් එම අවිය නිපදවිය යුතු යයි 1939දී තමන් ගත් ස්ථාවරයේ විපාක ඔහු තේරුම් ගත්තා.  මැන්හැට්න් ව්‍යාපෘතිය යටතේ මුල් පරමාණු බෝම්බ තැනූ බහුතරයක් භෞතික විද්‍යාඥයන්ගේ විරෝධය ද නොතකා අමෙරිකානු ජනාධිපතිවරයා හා හමුදාව ජපානයට එරෙහිව එය භාවිත කළ බව ඒ වන විට අයින්ස්ටයින්ට ආරංචි වී තිබුණා.

ළඟදීම සෝවියට් දේශයත්, අනෙක් බලගතු රටවලූත් න්‍යෂ්ටික අවිවලින් සන්නදධ වන බවත්, මෙය ඉතිහාසයේ කිසිදා නොතිබුණු අන්දමේ භයානක අවි තරගයක ආරම්භය බවත් ඔහු ඉක්මනින් වටහා ගත්තා.

සිය ජීවිතයේ අන්තිම වසර කිහිපය ඔහු කැප කළේ න්‍යෂ්ටික අවිහරණය සඳහා ජනමතය ගොඩ නංවන්නයි. රණකාමයෙන් හා දේශප්‍රේමයෙන් මත් වූ භෞතික විද්‍යාඥයන් ටික දෙනෙකු ද සිටි නමුත් බහුතරයක් විද්‍යාඥයන් හා බුද්ධිමතුන් අයින්ස්ටයින් සමග එකඟ වුණා.

අයින්ස්ටයින් න්‍යෂ්ටික අවිහරණ ව්‍යාපාරයක් (nuclear disarmament movement) දියත් කළා. 1945 දෙසැම්බරයේ නිව්යෝක් නුවර නොබෙල් ත්‍යාගලාභීන්ගේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් අමතමින් ඔහු කීවේ ‘අප යුද්ධය දිනා ගත් නමුත් සාමය දිනා ගෙන නැහැ’ කියායි. (The war is won, but the peace is not.)

Listen as Albert Einstein Calls for Peace and Social Justice in 1945

භෞතික විද්‍යාඥයින්ගේ දැනුමෙන් තැනූ න්‍යෂ්ටික බෝම්බ භාවිත කිරීමේ අභිමතය හා තීරණය පවතින්නේ දේශපාලකයන් හා හමුදා නිලධාරින් අතේ බවත්, රණකාමය හා පටු දේශපාලන අරමුණු පෙරටු කර ගත් මේ උදවිය ආවේගශීලිව ක‍්‍රියා කිරීමේ හැකියාව ඉතා ඉහළ බවත් ඔහු කියා සිටියා.

Albert Einstein at press conference in 1950

Albert Einstein at press conference in 1950

1950 අමෙරිකාවේ ප‍්‍රධාන පෙළේ NBC ටෙලිවිෂන් නාලිකාවේ සජීව උදෑසන වැඩසටහනකට සහභාගී වෙමින් අයින්ස්ටයින් එරට රජයේ න්‍යෂ්ටික අවි ප‍්‍රතිප්ති සහමුලින් විවේචනය කළා.  ‘‘භයානක අවි ආයුධවලින් සන්නද්ධවීම හරහා ආරක්‍ෂාව සැලසේ යයි සිතීම මුලාවක්.  සතුරාත් අපත් මරාගෙන මැරෙන මෙබඳු බිහිසුනු අවි නිසා නිරායුධ  අහිංසක ජනයා මිලියන් ගණනක් දෙනා අවදානමට ලක් වනවා.  සැබෑ ජාතික ආරක්‍ෂාව සළසා ගත හැක්කේ අන්‍යෙන්‍ය විශ්වාසය හා සහයෝගිතාවයෙන් පමණයි’’ ඔහු ප‍්‍රකාශ කළා.

Albert Einstein Warns of Dangers in Nuclear Arms Race

ලෝක යුද්ධය දිනා සුපිරි බලවතකු ලෙස මතුව සිටි අමෙරිකානු රාජ්‍ය තන්ත‍්‍රය මෙසේ තර්කානුකූලවත්, අදීනවත් විවේචනය කිරීමේ හැකියාව හා එඩිතරකම අයින්ස්ටයින් සතු වූවා.  විකල්ප මත දැරීමට අමෙරිකානු ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා දී ඇති නිසා ඔහුට එරෙහිව කිසිදු නිල ප‍්‍රතිචාරයක් එල්ල වූයේ නැහැ.

නමුත් පසුව හෙළිදරව් වූයේ අයින්ස්ටයින් කොමියුනිස්ට්කාරයකු දැයි සෝදිසි කරනු ලැබූ බවයි. (එවකට රාජ්‍ය තන්ත‍්‍රය විවේචනය කළ හා විකල්ප මතධාරී හැමට  දුන් ලේබලය වූයේ කොමියුනිස්ට්කාරයා යන්නයි!) 1950 දශකයෙ කොමියුනිස්ට් භීතිකාවෙන් පෙලූණු අමෙරිකානු අපරාධ පරීක්‍ෂණ ඒජන්සිය (FBI) අයින්ස්ටයින්ට කොමියුනිස්ට් සබඳතා ඇත්දැයි ඔත්තුකරුවන් හරහා දැඩි ලෙස විමර්ශනය කළත් කිසිවක් සොයා ගත හැකි වූයේ නැහැ.

The Campaign for Nuclear Disarmament symbol, designed by Gerald Holtom in 1958

The Campaign for Nuclear Disarmament symbol, designed by Gerald Holtom in 1958

මේ අතර න්‍යෂ්ටික අවි පිටුදැකීම සඳහා යුරෝපීය බුද්ධිමතුන් පෙළගස්වමින් සිටි බි‍්‍රතාන්‍ය දාර්ශනික බර්ට්රන්ඞ් රසල් ඒ සඳහා විද්වත් ප‍්‍රකාශයක් කෙටුම්පත් කර තිබුණා. එය, එකිනෙකා සමග තරගයට න්‍යෂ්ටික අවි තැනීමේ නොයෙදී සාමකාමීව හා සාකච්ඡා මාර්ගයෙන් ජාතීන් අතර මතභේද සමනය කර ගන්නා ලෙසට ලෝකයේ බලගතු රටවල් සියල්ලට කළ බුද්ධිමය ආයාචනයක්.

ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයන් 11 දෙනකු (එයින් 10 දෙනෙකු  නොබෙල් ත්‍යාගලාභින්) අත්සන් කළ එම ප‍්‍රකාශය 1955 අපේ‍්‍රල් මුලදී අයින්ස්ටයින් මුළුමනින් අනුමත කළා. එය අනුමත කොට දින කිහිපයක් ඇතුළත  1955 අපේ‍්‍රල් 18 වනදා අයින්ස්ටයින් මිය ගියා.

1955 ජූලි 9 වනදා ලන්ඩනයේදී එම ප‍්‍රකාශය රසල් – අයින්ස්ටයින් ප‍්‍රඥප්තිය (Russell-Einstein Manifesto) ලෙසින් නිකුත් කරනු ලැබුවා. නිරායුධකාරණය පිළිබඳව එදා මෙදා තුර ලියැවුණු හරවත්ම ලේඛනයක් ලෙස එය පිළි ගැනෙනවා. http://www.pugwash.org/about/manifesto.htm

Russell Einstein Manifesto, July 1955

Russell Einstein Manifesto, July 1955

‘‘තෙවන ලෝක යුද්ධය සඳහා කුමන බිහිසුණු අවි ආයුධ යොදා ගැනෙයි ද කියා මට හරි හැටි කිව නොහැකියි.  එහෙත් සිවු වන ලෝක යුද්ධයකට නම් ඉතිරි වන්නේ ගල්පතුරු හා කෝටු කැබලි පමණයි!’’  අයින්ස්ටයින්ගේ එක් ප‍්‍රකට ප‍්‍රකාශයක් වූ මෙය, අවි ආයුධ බදා ගෙන භයානක සෙල්ලමක නිරතව සිටින ලොව ප‍්‍රබල රටවලට හා සෙසු මානව සංහතියට අනතුරු ඇඟවීමක් ද වනවා.

දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වූ පසුවත් අයින්ස්ටයින් තම ජර්මන් විරෝධය නතර කළේ නැහැ. හිට්ලර්ට එරෙහි වනවා වෙනුවට ඔහුට උඩගෙඩි දී ඔහුගේ යුදෙව් මර්දනයට හා යුද්ධයට සහයෝගය දුන් දහස් ගණන් ජර්මන් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් අයින්ස්ටයින්ගේ දැඩි විවේචනයට ලක් වුණා. තම සියළු විද්‍යාත්මක පොත්වල නව මුද්‍රණ ජර්මන් බසින් පළ කිරීමට ඔහු අවසර දුන්නේ නැහැ. එසේම ජර්මන් සරසවි හා විද්වත් සමිති සමග ගනුදෙනු කළේ ද නැහැ.

මෙකී නොකී පිළිවෙත් හා කි‍්‍රයාමාර්ග හරහා අයින්ස්ටයින් ලෝකයට ම ආදර්ශයක් දුන්නා. එනම් මවුබිමට ඇති ජාති ආලයට වඩා මානව වර්ගයාට ඇති මානුෂික වගකීම් උසස් වන බවයි. මේ දෙක අතර තෝරා ගන්නට සිදු වුව හොත් උසස් තේරීම වන්නේ මවුබිම නොව මානව සංහතිය හා මානව සාරධර්ම බවයි.

16 Feb 2014: සිවුමංසල කොලූගැටයා #156: අයින්ස්ටයින්ගේ ලංකා සංචාරය ගැන තොරතුරු මතු වෙයි

23 Feb 2014: සිවුමංසල කොලූගැටයා #157: ජීවිත කාලයම පිටස්තරයකු වූ ඇල්බට් අයින්ස්ටයින්

One Response to “සිවුමංසල කොලූගැටයා #159: අයින්ස්ටයින්ටත් වැරදුණු තැන – පරමාණු බෝම්බය”

  1. mppgunasinghe Says:

    ලෝකය දකින්නට වෑයම් කරන දරුවන්ට මේ ලිපිය ඉතාම වටිනවා. ගොඩක් ස්තුතියි නාලක ගුණවර්ධනයෙනි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: