සිවුමංසල කොලූගැටයා #143: නව නිපැයුම්කරුවන්ට එරෙහි සමාජ ප‍්‍රතිරෝධයක් ඇයි?

In this week’s Ravaya column (in Sinhala), I discuss Lankan society’s resistance to innovators and inventors — those who try out new ways of solving problems. Must these attempts always lead to patents and awards? Not necessarily, I argue. The spirit of innovation is far more important than pieces of paper that authenticate them!

I quote Dr Suranga Nanayakkara, of Singapore University of Technology and Design, and Deepal Sooriyaarachchi, Commissioner, Sri Lanka Inventors’ Commission, and draw on my own impressions of having hosted two TV series introducing Lankan innovators and inventors.

Innovation is rare!

නව නිපැයුම් හා නිපැයුම්කරුවන් හඳුන්වා දෙන වැඩසටහනක් කරන පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක නිෂ්පාදකවරයෙක් මෑතදී තමන් මුහුණ දෙන දුෂ්කරතාවයක් ගැන මට කියා සිටියා. එනම් අඵත් දෙයක් කළ හෝ කරන්නට උත්සාහ කරමින් සිටින හෝ පාසල් සිසු නැතිනම් තරුණ වියේ කෙනකු වැඩසටහනෙන් පෙන් වූ විගස ඔහුගේ/ඇයගේ අසල්වාසීන් තමන් අමතා එය විවේචනය කරන බවයි.

‘මේක අපට ලොකු ප‍්‍රශ්නයක් වෙලා. අඵත් දේ කරන අය ගැන කථා කරන්න අපි කැමතියි. ඒත් බොරුකාරයන්ට හා අනුකාරකයන්ට ටෙලිවිෂන් ප‍්‍රචාරය දෙනවා යන චෝදනාව අපට නිතර ලැබෙනවා’ මේ නිෂ්පාදකයා කියනවා.

මෙවන් අවලාදවලින්  බේරෙන්නට මින් පසු නව නිපැයුම් තරගයක සම්මානයක් දිනා ගත් හෝ බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් බලපත‍්‍රයක් ලැබූ හෝ අය පමණක් වැඩසටහනෙන් හඳුන්වා දෙන්නට ඔවුන් තීරණය කරලා.

නව නිපැයුම් ගැන මාධ්‍ය හරහා සන්නිවේදනය කරන විට විචාරශීලි වීම ඉතා හොඳයි. එබඳු ටෙලිවිෂන් වැඩසටහන් මාලා දෙකක් ඉදිරිපත් කොට ඇති මගේ අත්දැකීම වන්නේත් මුඵමනින් ම අභව්‍ය හා අදහා ගත නොහැකි නිපැයුම් ගැන කියා ගෙන මාධ්‍ය හරහා තාවකාලික ප‍්‍රචාරයක් ගන්නට තැත් කරන අය ද ඉඳහිට සිටින බවයි.

ජලයේ මිශ‍්‍ර කළ ශාක නිස්සාරවලින් මෝටර් රථ ධාවනය කරන බවට හා කිසිදු බාහිර බලශක්තියක් නොයොදා දිගින් දිගට කි‍්‍රයා කරන යන්ත‍්‍ර (Perpetual Motion machines) තැනූ බව කියන පුද්ගලයන් මට හමු වී තිබෙනවා. භෞතික විද්‍යාවේ මූලධර්ම උල්ලංඝනය කැරෙන මෙබඳු ‘නිපැයුම්’ සැබෑ නොවන බව නිර්ණය කිරීම ලෙහෙසියි. (එහෙත් අපේ කොල්ලකුගේ හපන්කමක් කියා අනවශ්‍ය ලෙස එබඳු දේට මාධ්‍ය ප‍්‍රචාරය ලබා දෙන මාධ්‍යවේදීන් එමට සිටිනවා!)

ටෙලිවිෂන් ආවරණයට විරෝධය දක්වන අසල්වාසීන් බහුතරයකගේ තර්කය වී ඇත්තේ අදාල පාසල් සිසුන් හෝ තරුණ නිපැයුම්කරුවන්ගේ උත්සාහය ඒ ආකාරයේ ලොව මුල් ම නිපැයුම නොවන බවයි. එනිසා ම එය ‘කොපිකැට් නිර්මාණයක්’ යයි ලේබල් ගසා කොන් කර දමන්නට සමහරුන් තැත් කරනවා.

අඵත් දෙයක් හදන්නට – කරන්නට තැත් කරන විට එය ලෝකෙන් ම ප‍්‍රථම වතාවට විය යුතු යයි කිසිදු නීතියක්, සම්ප‍්‍රදායයක් නැහැ. ගතානුගතික උදාසීනයන් බහුතරයක් අතර ඉඳහිට හෝ යමක් දියුණු කිරීමට සිතන ටික දෙනකු සිටීම ඉතා වැදගත්. රටක්, සමාජයක් දියුණු වන්නේ එබන්දන්ගේ උත්සාහයන් හරහා.

සරල උදාහරණයක් ගනිමු. ගෙදරදොර කරදරකාරී පලිබෝධක මීයන් අල්ලා ගන්නට මී කතුරක් භාවිතය සමහරුන්ගේ සිරිතයි. මීයා හීන්සීරුවේ එන යන සතෙක් නිසා ඇල්ලීම ලෙහෙසි නැහැ. මී කතුර (mousetrap) සඳහා විවිධ සැළසුම් හා ආකෘති වෙළඳපොලේ තිබෙනවා. එහෙත් වඩා හොඳ මී කතුරක් නිපදවීමේ උත්සාහය තවමත් නව නිපැයුම්කරුවන් අතහැර දමා නැහැ.

අමෙරිකාවේ පේටන්ට් කාර්යාලය ඇරඹුණේ 1838දී. එදා මෙදා තුර වසර 175ක කාලය තුළ එරට වැඩිපුර ම පේටන්ට් බලපත‍්‍ර නිකුත් කර ඇත්තේ විවිධාකාරයේ මී කතුරු සඳහායි. එනම් පේටන්ට් 4,400ක් පමණ. නොයෙක් උපක‍්‍රම හරහා මීයන් කොටු කර ගැනීමේ සූක්‍ෂම සැළසුම් මේ අතර තිබෙනවා. ඒ හැම එකක ම යම් සුවිශේෂි බවත් ඇතැයි නිර්ණය කිරීමෙන් පසුවයි පේටන්ට් ලබා දී ඇත්තේ.

මේ තරම් මීකතුරු ගැන උනන්දුවක් ඇති වන්නට ඔබේ රටේ මී උවදුරු තදබල ලෙස තිබෙනවා දැයි අමෙරිකානු මිතුරකුගෙන් මා ඇසුවා. ඔහු කීවේ අන් හැම රටක ම සිටින මට්ටමට මීයන් එරටත් හමු වන නමුත් අඵත් දේ හදන්නට හා අත්හදා බලන්නට ඇති දැඟලිල්ල අතින් නම් අමෙරිකානුවන් ඉදිරියෙන් සිටින බවයි. (එරට වෙළඳපොළට පිවිස ඇත්තේ මී කතුරු සැළසුම් දුසිම් දෙකක් පමණ වූවත් අන් නිපැයුම්කරුවන්ගේ සාර්ථක උත්සාහයන් රාජ්‍ය මට්ටමින් පිළිගැනීමට ලක්ව තිබෙනවා. එහි කිසිදු වරදක් නැහැ.)

ශී‍්‍ර ලංකාවේ නව නිපැයුම්කරුවන්ට සීමාකාරී සාධක ලෙස කි‍්‍රයා කරන සමාජයීය ආකල්ප හා ප‍්‍රතිරෝධයන් ගැන අප මේ කොලමින් විටින් විට විග‍්‍රහ කොට තිබෙනවා. චින්තනයේ හා දැක්මේ පටු බව නිසා සමහර නව නිපැයුම්කරුවන් පවා තම කුසලතාවලින් හරි හැටි ප‍්‍රයෝජන නොගන්නා අවස්ථා තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #36: ස්ටීව් ජොබ්ස් – අසම්මතය සුන්දර කළ ‘විකාරකාරයා’

සම්පත් හා පහසුකම් හිඟ වීමටත් වඩා අපේ නව නිපැයුම් අඩුවීමට ප‍්‍රබලතම හේතුවක් නම් අඵතෙන් යමක් කරන්නට යන  ඕනෑ ම කෙනකුට අපේ ගතානුගතික හා වැඩවසම් සමජයෙන් එල්ල වන අනිසි ප‍්‍රතිරෝධයයි. උඩුගම් බලා පිහිනීමට තරම් වීරිය හා ධෛර්ය ඇත්තේ නව නිපැයුම්කරුවන් අතර ටික දෙනකුට පමණයි.

නව්‍යකරණය (innovation) යනු නව නිපැයුම් නිපදවීමට (invention) වඩා පුඵල් සංකල්පයක්. අඵත් ආකාරයකට සිතා සමාජයේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම නව්‍යකරණයේ මූලික හරයයි. එය ගැජට්වලට සීමා වන්නේ නැහැ. තාක්‍ෂණික නව්‍යකරණය මෙන්ම සමාජයීය නව්‍යකරණය ද (social innovation) ඉතා වැදගත්.

මේ දෙවැනි කාණ්ඩයට හොඳ උදාහරණයක් ලෙස ශී‍්‍ර ලංකා අක්‍ෂිදාන ව්‍යාපාරය දැක්විය හැකියි. ඇස් දන් දීමේ උතුම් සංකල්පය නවීන වෛද්‍ය විද්‍යා තාක්‍ෂණය හා ස්වේච්ඡා ව්‍යාපාරයක් හරහා කි‍්‍රයාත්මක කිරීම හරහා ලෝක පූජිත වූ මානුෂික මෙහෙවරක් කිරීමට ශී‍්‍ර ලංකාවට හැකිව තිබෙනවා.

එහෙත් සමහර සංකල්ප හා යෝජනාවල ප‍්‍රායෝගික බව හා සමාජ-ආර්ථික වටිනාකම තක්සේරු කිරීම ලෙහෙසි නැහැ. මා මීට පෙර පහදා දී ඇති පරිදි අපේ රටේ එබඳු ඇගැයීම් කිරීම මුඵමනින් පොතේ උගතුන්ට භාර කිරීම ද සුදුසු නැහැ. (උගත් අධිපතිවාදය පතුරුවමින් ඔවුන් අන් අය කරන දේ හෙළා දැකීමට හෝ අදහස් කොල්ලකෑමට හෝ හොඳහැටි ඉඩකඩ ඇති බැවින්.)

සිවුමංසල කොලූගැටයා #86: නව අදහස් හා නිපැයුම් බදා ගනිමු ද – බෙදා ගනිමු ද?

රෝග වාහකයකු ලෙස මහජන සෞඛ්‍යයට බරපතල තර්ජන එල්ල කරන මදුරුවන් මර්දනය කිරීම උදාහරණයකට ගන්න. රුපවාහිනී නාලිකාවේ ‘මාලිමා’ වැඩසටහන් මාලාව මා ඉදිරිපත් කරන කාලයේ (2012 වසර) ඩෙංගු මර්දනයට උපකාර විය හැකි  ඕනෑ ම නව නිපැයුමක් හෝ සංකල්පයක් සඳහා අප විවෘත ආරාධනයක් කළා.

මදුරු බෝවීම හා පැතිරීම සීමා කළ හැකි විවිධාකාරයේ සරල සැකසුම් හා යෝජනා අපට ලැබුණා. එයින් සමහරක් පාසල් සිසුන්ගේ නිර්මාණ. අසල්වැසි දරුවන් ඩෙංගු රෝගයෙන් මිය යාම නිසා කම්පාවට පත් සමහර පාසල් සිසුන් දැඩි අධිෂ්ඨානයෙන් මදුරු මර්දන ක‍්‍රම සොයා ගිය සැටි අප දුටුවා.

මෙවන් හැම නිපැයුමක් ම පේටන්ට් හෝ සම්මාන මට්ටමට නොයන්නට ඉඩ තිබෙනවා. එහෙත් ඒවායේ සමාජ මෙහෙවර ඉතා ඉහළයි. එබඳු අත්හදා බැලීම් කිරීමට හා ඒවාට මාධ්‍ය හරහා යම් ඇගැයීමක් දීමට විවෘත සමාජයක අවකාශ තිබිය යුතුයි. පේටන්ට් හා සම්මාන වන්දනාව හමුවේ ගැටඵ විසඳන අසම්මත චින්තනය මොටවීමට ඉඩ නොදිය යුතුයි.

සිවුමංසල කොලූගැටයා #47: ගැටළු විසඳන අසම්මත චින්තනයට ඉඩ දෙන්න!

Dr Suranga Nanayakkara
Dr Suranga Nanayakkara

දැනට විදේශ රටවල (සිංගප්පුරුව, අමෙරිකාව) පේටන්ට් හතරක් ලබා සිටින, සිංගප්පුරුවේ තාක්‍ෂණය හා නව නිර්මාණ සඳහා ම කැප වු සරසවියේ (Singapore University of Technology and Design, SUTD) සහාය මහාචාර්යවරයකු ද වන ආචාර්ය සුරංග නානායක්කාරගෙන් අපේ මේ පේටන්ට් මානසිකත්වය ගැන මා විමසුවා.

ඔහුගේ පිළිතුර: ‘මා සතු පේටන්ට් වලින් මුදල් ඉපැයීමට හැකි වේ යැයි මා නම් සිතන්නේ නැහැ. මගේ මූලික අරමුණ වුයේ පේටන්ට් කිරීම හරහා මගේ විද්වත් දැනුම ප‍්‍රමිතිගත කිරිම හා බෙදාහදා ගැනීමයි. යම් සංකල්පයක් ගැන පේටන්ට් එකක් නිකුත් කර තිබූ පමණට අන් අය එයට සමාන දේ කිරීම වළකින්නේ ද නැහැ. තනි පේටන්ට් එකක් සතු පුද්ගලයකු එය හරහා සැළකිය යුතු ආදායමක් උපදවා ගන්නේ ඉතා කලාතුරකින්. පේටන්ට් එකක් ළඟ තබා ගෙන කවර හෝ ව්‍යාපාරික සමාගමක් පැමිණ එය මිළදී ගනිතැයි සිත සිතා සිටීම කාලය නාස්තියක් ලෙසයි මා දකින්නේ. ඔබට නව්‍යකරණය හා නව අදහස් හරහා සමාජයට වැඩක් කිරීමට සැබැවින්ම  ඕනෑ නම්, ඒ අදහස් හැකි තාක් පුඵල්ව බෙදා හදා ගත යුතුයි. වෙනත් නව නිපැයුම්කරුවන් හා අනෙකුත් උනන්දුවක් දක්වන අය සමඟ සහයෝගයෙන් කි‍්‍රයා කිරීමෙන් ඒ අදහස් ප‍්‍රායෝගික මට්ටමට ගෙන යා යුතුයි. ගැටඵ විසදීමට දායක විය යුතුයි. එසේ නැතිව පේටන්ට් බදා ගෙන සිහින මවමින් සිටීමෙන් කාටවත් ප‍්‍රයෝජනයක් නැහැ!’’

සිවුමංසල කොලූගැටයා #85: අපට සිටින්නේ නව නිපැයුම්කරුවන් ද? පේටන්ට්ධාරින් ද?

මේ අතර රජයේ නව නිපැයුම් කොමිසමේ අධිපති (කොමසාරිස්) දීපාල් සූරියාරච්චි කියන්නේ නව නිපැයුම්කරුවන් කලාකරුවන් වැනි සේම සළකා කි‍්‍රයා කිරීමට සමාජයට වගකීමක් ඇති බවයි.

 

Deepal Sooriyaarachchi
Deepal Sooriyaarachchi

වසරකට පෙර මා සමග සම්මුඛ සාකච්ඡාවක් කරමින් දීපාල් කීවේ: ‘‘නව නිපැයුම්කරුවන් සිටින්නේ තමන් ජීවත් වන කාලයට වඩා ඉදිරියෙන්. ඔවුන් විය හැකියාවන් හා කළ හැකියාවන් ගැන නිතර සිතනවා (’possibility thinkers’). මේ දැක්ම හා නැඹුරුව ඇත්තේ සමාජයක ටික දෙනකුට පමණයි. ඔවුන් රැක බලා ගෙන දිරිමත් කිරීමට අවශ්‍ය ඒ නිසායි. ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩා තරගවලින් සම්මාන දිනා සිය රට එන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගුවන් තොටුපලේ දී පිළිගන්නා අන්දමට ම නව නිපැයුම් තරග දිනා ආපසු එන නව නිපැයුම්කරුවන්ට ද අප හරසර දැක්විය යුතුයි.’’

මෙවැනි ගරු සැළකිලි රාජ්‍ය ආයතනයකින් ලබා දීම ප‍්‍රශංසනීයයි. එහෙත් එය පමණක් මදි. මෙරට මාධ්‍ය ආයතන හා ජන සමාජය ද අපේ නව නිපැයුම්කරුවන්ගේ අදහස් හා නිර්මාණ තුලනාත්මකව ඇගැයීමට ලක් කළ යුතුයි. අන්ධ ලෙසින් චීයර් කිරීම වෙනුවට විචාරශීලීව දිරිමත් කිරීම අවශ්‍යයි.

මට හැකි හැම අවස්ථාවකම මා කරන්නට තැත් කරන්නේත් එයයි.

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

One thought on “සිවුමංසල කොලූගැටයා #143: නව නිපැයුම්කරුවන්ට එරෙහි සමාජ ප‍්‍රතිරෝධයක් ඇයි?”

  1. නව නිපැයුම්කරුවන්ට පමණක් නොව පාරම්පරිකව එල්බ සිටින අදහසකට පවා එරෙහිව උඩුගම් බලා පිහිනීමට තරම් වීරිය හා ධෛර්ය ඇත්තේ සමාජයේ ස්වල්පයකටයි. සම්මානයක් දිනා ගත්තේ නම්, පේටන්ට් බලපත්‍රයක් ලැබූවේ නම් හෝ රාජ්‍ය මට්ටමින් පිළිගැනීමට ලක් වූවොත් පමණක් එවැනි භාණ්ඩයක අගයක් ඇතැයි ද එයින් අවශ්‍යතාවය වඩා හොඳින් පිරිමැසේවි යැයි ද සිතන හුරුව බහුතර සමාජයේ ස්වභාවයයි. සම්මාන හා රාජ්‍ය පිළිගැනීම් සඳහා දේශපාලනමය බලපෑම් සිද්ධ වෙන බැවින් පක්ෂයේ අය බඩුව බාල වුවත් බාරගන්නා ස්වභාවය ද විපක්ෂයේ අය බඩුව හොඳ වුනත් එහි දෝෂ දකින ස්වභාවය ද ලංකාවෙන් දකින්නට පුළුවන්. ගතහැකි වැඩේ සාර්ථක මට්ටම ගැන විමසමින් බඩුව දිහා බලන්නට කවදා පටන් ගනිවී ද?

    කොපිරයිට් තිබිය යුතු යැයි පිළිගත්තාට මම පේටන්ට් වලට අකමැතියි. ඒකත් හැබැයි පාරම්පරිකව එල්බ සිටින අදහසකට එරෙහිව උඩුගම් බලා පිහිනන අතලොස්සකට අයිති අදහසක්. කෙටියෙන් කිව්වොත් කොපිරයිට් යනු පුද්ගලයා විසින් තම නව නිෂ්පාදනයට කියන අයිතිය වෙද්දී පේටන්ට් යනු රජය විසින් දෙන අවසරයකි. බඩුවක් නිර්මාණය කරන්නාට එයට ඇති අයිතිය කුමක්දැයි තීරණයට රජයක මැදිහත්වීමක් අවශ්‍ය නැත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: