සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

In this week’s Ravaya Sunday newspaper column (in Sinhala), I’ve written a tribute to Dr Carlo Fonseka, Emeritus Professor of Physiology at the University of Colombo, rationalist and public intellectual, who turned 80 earlier this month.

I’m still working on an English tribute. For now, I’ve covered some of this ground in an English op-ed written in January 2012: Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.
Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.

මා බෙහෙවින් ගරු කරන හා අගය කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් 2013 මාර්තු 4 වනදා 80 විය සම්පූර්ණ කළා.

කාලෝ ෆොන්සේකා යනු විචිත්‍ර වූත්, බහුවිධ පැතිකඩවලින් සැදුම් ලද්දා වූත් අපූරු චරිතයක්. ඔහු වෛද්‍යවරයකු හැටියට පරම්පරා දෙක තුනක ලාංකික වෛද්‍යවරුන්ට උගන්වා, පුහුණු කර තිබෙනවා. කලා රසිකයකු හා ගීත රචකයකු හැටියට ඔහුගේ සෞන්දර්යාත්මක දායකත්වයෙන් ඔහු විද්‍යා-කලා ප්‍රවාහයන් දෙකෙහි ම සිය නිපුනත්වය මනාව පෙන්නුම් කරනවා. වාමාංශික දේශපාලන චින්තනයක් මත පදනම් වී ඔහු සමාජ සාධාරණත්වය හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන සම්ප්‍රදායක් සඳහා ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ පෑවා.

මෙකී නොකී නොයෙකුත් කෝණවලින් කාලෝගේ සමාජ මෙහෙවර ඇගැයීමට ලක් කළ හැකියි. අද මා තැත් කරන්නේ පොදු උන්නතියට කැප වුණු බුද්ධිමතකු (Public Intellectual) හා අදීන හේතුවාදී චින්තකයකු ලෙස ඔහුගේ අඩසියවසකට වැඩි කාලයක උඩුගම් බලා පිහිනීම ගැන මෙනෙහි කරන්නයි.

කාලෝ ෆොන්සේකා යන නාමය මා මුල් වරට ඇසුවේ 1970 දශකය මුලදී ලාබාල පාසල් සිසුවකු ලෙස. ගිනි පෑගීමේ වෛද්‍ය විද්‍යාත්මක සැබෑ තත්ත්වය ගවේෂණාත්මකව හෙළි කරමින්, ඒ සඳහා කිසිදු ගුප්ත බලවේගයක පිහිට අවශ්‍ය නැති බව ප්‍රායෝගිකව පෙන්වීම නිසා ඒ වන විට කාලෝ ලක් සමාජයේ ප්‍රකට හා ආන්දෝලනාත්මක චරිතයක් වී සිටියා. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් 1960දී ඇරැඹූ හේතුවාදීන්ගේ සංගමය හරහා හැම දෙයක් ගැන ම විචාරශීලීව සීතීමේ හා විවෘතව විවාද කිරීමේ සමාජ සංගායනාවක පෙරගමන්කරුවකු බවට මේ තරුණ වෛද්‍ය කතිකාචාර්යවරයා පත් වුණා.

රේඩියෝවෙන් ඔහු අසා සිටි මා මුල් වරට කාලෝට සජීව ලෙසින් සවන් දුන්නේ 1980 දශකයේදී. හරියට ම තැන හා වසර දැන් මතක නැති වුවත් ‘විද්‍යාත්මක චින්තනය’ ගැන දේශනයේ හරය මට අද මෙන් මතකයි.

කාලෝ කෙතරම් ආකර්ශනීය කතිකයෙක් ද යන්න විවාද හා සාහිත්‍ය සංගම් කටයුතුවල නියැලි පාසල් සිසුවකු වූ මා ඉක්මනින් තේරුම් ගත්තා. එදා මෙදා තුර විවිධ අවස්ථාවල කාලෝට සවන්දීමෙන් මෙය තවත් තහවුරු වී තිබෙනවා.

කාලෝ පාසල්, සරසවි, විද්වත්, කලාකරු මෙන් ම දේශපාලන වේදිකාවලත් තැනට උචිත ලෙසින් කථා කිරීමේ අති සමතෙක්. තැනේ සහ වෙලාවේ හැටියට හරබර යමක් සන්සුන්ව, උපහාසාත්මකව හා මනා අංගචලනයන්ගෙන් පරිපූර්ණව කථා කරන ඔහු, කිසි දිනෙක ද්වේෂ සහගතව හෝ අපහාසාත්මකව හැසිරෙනු මා දැක නැහැ. එබන්දක් ගැන ආරංචියක් හෝ නැහැ.

කාලෝ ඉතා හැඟීම්බරව කථා කළ අවස්ථා ද තිබෙනවා. මා දන්නා උදාහරණය විජය කුමාරතුංගයන්ගේ 1988 අවමගුලේ දී ඔහු කළ (රූපවාහිනී හරහා රට ම දුටු) කථාවයි. ජුලියස් සීසර්ගේ අවමගුලේ දී මාක් ඇන්ටනී කළ කථාවට සමාන වූ ඒ කථාව කාලෝගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූවා…

කාලෝ කථාවට මෙන් ම විවාදයටත් සමතෙක්. ප‍්‍රතිමල්ලවයන් කියන දේ සාවධානව අසා සිට, සියුම් හා තර්කානුකූල (එහෙත් සැම විට ම ආචාරශීලී) ලෙසින් ප‍්‍රතිචාර දක්වන්නෙක්. සමහර වෙලාවට යමකු විනාඩි ගණනක් ගරු ගාම්භීරව ගොඩ නගන තර්ක, කාලෝ තත්පර ගණනකින් උපහාසාත්මකව බිඳ හෙළනවා!

දුර සිට ඔහු අගය කළ මා කාලෝ හදුනා ගත්තේ මගේ විද්‍යා ගුරුවර අසංග අබේසුන්දර සූරීන් හරහා. 1980 දශකයෙදී අබේසුන්දරයන් පළ කළ ‘මානව’ ප‍්‍රගතිශීලි විද්‍යා සඟරාවේ පාඨක ප‍්‍රශ්නවලට කාලෝ නිතිපතා පිළිතුරු දුන්නා. මේ පිළිතුරු වාර්තා කර ගන්නට අප කිහිප විටක් කාලෝ හමු වන්නට ගියා. මානව ජෛව විද්‍යාව, පරිනාමය, හේතුවාදය, ගුප්ත සංකල්පවල විද්‍යාත්මක පැත්ත ආදී බහුවිධ මාතෘකා ගැන දැනුම නිරවුල් ව හා අදීනව පළ කිරීමේ ඔහුගේ සහජ හැකියාව මා හරිහැටි දැන ගත්තේ ඒ කාලයේයි.

ඒ හැදුනුම්කම ඔස්සේ පසු කලෙක මාධ්‍යවේදියකු හා විද්‍යා ලේඛකයකු ලෙස මා විවිධ අවස්ථාවල කාලෝ මුණ ගැසී, සම්මුඛ සාකච්ජා පවත්වා තිබෙනවා. අප දෙදෙනා එක ම විද්වත් වේදිකාවේ කථා කොට තිබෙනවා. කාලෝ සැබෑ බුද්ධිමතකු වුවත් උගත්කමේ මාන්නයෙන් හා උද්දච්චකමින් හිස පුම්බා නොගත් ඉතා නිහතමානී චරිතයක්.

මතකයේ රැදුණු එක් අවස්ථාවක් නම් 1986දී සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව නැවත දිස් වූ විට කල්පනා සඟරාවට මා ලියූ විස්තරාත්මක කවරයේ කථාවට ඔහු දැක්වූ අදහස්. වල්ගාතරුව නිසා ලෝකයේ යුධ ගැටුම් උත්සන්න විය හැකි යයි ද, පුද්ගලයන්ට හා සමාජයට අසුබ කාලයක් උදා වන්නේ යයි ද ජ්‍යොතිෂවේදීන් කර තිබූ අනතුරු ඇඟවීම් ගැන විද්‍යාත්මක විග‍්‍රහයක් කරන මෙන් කාලෝගෙන් මා ඉල්ලා සිටියා.

යුද්ධ ගැන ඔහු කීවේ මෙයයි. “1968දී විල් හා ඒරියල් ඩුරාන්ට් කියන ඉතිහාසඥ යුවල වෙඵම් 10කින් සමන්විත, ඉතිහාසය පිළිබඳ විශාල කෘතියක් ප‍්‍රකාශයට පත් කළා. මේ කෘතියේ ඔවුන් කියනවා ඒ වන විට (1968) මිනිසාට අවුරුදු 3,421ක් ඈත අතීතයට දිව යන ලිඛිත ඉතිහාසයක් තිබෙන බවත්, ඒ මුඵ කාලය මුඵල්ලේ ම සංග‍්‍රාම හෝ යුද්ධ නොතිබුණේ අවුරුදු 268ක පමණක් බවත්. ඉතින් යුද්ධ තිබුණු, යුද්ධ පටන්ගත් හැමදාමත් අහසේ වල්ගාතරු පෑවුවා ද? වල්ගාතරු හා සංග‍්‍රාම අතර සම්බන්ධයක් තිබෙතැයි අපට පිළිගන්නට බෑ.”

ඉතිහාසය, දර්ශනවාදය ආදී ක්‍ෂෙත‍්‍රයන්හි කාලෝගේ අවබෝධය කෙතරම් පුඵල් ද යන්නට ඉඟියක් මේ පිළිතුරුවලින් අපට ලැබෙනවා. ඔහු බොහෝ විට කථා කරන්නේ සාක්ෂි හා මූලාශ්‍ර උපුටා දක්වමින්.

ජ්‍යොතිෂය ගැන කථා කිරීම පවා කාලය නාස්ති කිරීමකැයි තාරකා විද්‍යාඥයන් බහුතරයක් කියන පසුබිම තුළ කාලෝ ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා කරන්නේ තමන්ගේ ක‍්‍රමවේදය පහදා දෙන ලෙසටයි.

1986දී කල්පනා සඟරාවට ඔහු කී පරිදි: “මුල් යුගයේ තාරකා විද්‍යාව (astronomy) සහ නක්‍ෂත‍්‍රය හෙවත් ජ්‍යෙති ශාස්ත‍්‍රය (astrology) කියන දෙක ම එකටයි තිබුණේ. පුරාණ බැබිලෝනියානු, ඊජීප්තු වැසියන්ට ඉර-හඳ-තාරකාවල හැසිරීම ගැන අනාවැකි කීමේ සෑහෙන හැකියාවක් තිබුණා. ගැලීලියෝ පවා මුල් කාලයේදී ජීවිකාව ගෙන ගොස් තිබෙන්නේ නක්‍ෂත‍්‍ර අනාවැකි කීමෙන්. ඒත් කල් යාමේදී තාරකා විද්‍යාව සීඝ‍්‍රයෙන් දියුණු වී ආවා. අද ඇත්තට ම තත්පරයට අනාවැකි කිව හැකි විද්‍යාවක් ඇත්නම් ඒ තාරකා විද්‍යාවයි. අනාවැකි කීමේ හැකියාව නක්ෂත‍්‍රයෙන් ගිලිහී ගොසින් තාරකා විද්‍යාවට භාර වී තියෙනවා.

“මෙවර හැලීගේ වල්ගාතරුව පායන විටත් විවිධ භයානක අනාවැකි පළ කර තියෙනවානෙ. ඔය නක්ෂත‍්‍රයේ හා අනාවැකි කාරයන්ගේ හපන්කම් උරගා බලන්නට මේක හොඳ අවස්ථාවක් හැටියටයි මා නම් දකින්නේ. නක්‍ෂත‍්‍රය පරිහරණය කරන අය සමඟ සාකච්ජා කොට, පැහැදිළි, තියුණු අනාවැකි ලබා ගන්නට ඕනෑ. ඒ අනාවැකි, නිගමනවලට එළඔණු ආකාරය ගැන ශාස්තී‍්‍රය පදනමත් ඒ අය අපට කියා දෙන්නට ඕනෑ. ඊට පස්සේ පාලක පරීක්‍ෂණයක් හැටියට, නක්‍ෂත‍්‍රය ගැන මොකුත් නොදන්නා, කිසිම දෙයක් විශ්වාස නොකරන අයටත් ඔය මොනවා හරි අනාවැකි ටිකක් පළ කරන්නට කියනවා. දෙගොල්ලන්ගේ ම අනාවැකි වාර්තා කර තබන්නට ඕනෑ. වල්ගාතරුව ඇවිත් ගියාට පස්සේ, අදාළ කාල සීමාව තුළ නක්‍ෂත‍්‍රකාරයින් කී අනාවැකි කොයි තරම් සැබෑ වුණා ද කියා සොයා බැලිය යුතුයි. එසේ සැබෑ වන්නේ දහයක් කිව්වා ම එකක් – දෙකක් හරි යන (සම්භාවිතාව පිළිබඳ) සංකල්පය මත නම්, නක්‍ෂත‍්‍රයෙන් අනාවැකි කියන්නට බැරි බව පෙනී යාවි….”

Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012
Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012

එදත් අදත් කාලෝ තුළ මා දකින වැදගත් ගුණයක් නම් මෙසේ විවෘත මනසකින් යුතුව ඕනෑ ම සමාජයීය හෝ ශාස්ත්‍රීය හෝ ගැටඟවක් විග්‍රහ කිරීමේ හැකියාවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයකු දක්වා ඉහළට ගියත් ඔහු දේශීය හා පෙරදිග වෛද්‍ය විද්‍යාවන් හෙළා දකින්නේ නැහැ. එසේ ම බටහිර වෛද්‍ය ක්‍රමයට තවමත් තේරුම් ගත නොහැකි වූ සංසිද්ධීන් මිනිස් සිරුරේ හා මනසේ ඇති බව ඔහු නිහතමානීව පිළිගන්නවා.

හේතුවාදියකු හැටියට කාලෝ ප්‍රඥාගෝචරයි. අන්ධ භක්තිය හෝ විශ්වාස වෙනුවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ (facts) හා තර්කානුකූල පදනමක් මත ඕනෑ ම දෙයක් විමර්ශනය කරනවා. එහෙත් විකල්ප දැනුම් ක්‍රම අවඥාවෙන් බැහැර කරන්නේ ද නැහැ.

ගිය වසරේ ගුප්ත විද්‍යාවන් පිළිබඳව ලක්බිම පුවත්පත හා හේතුවාදී සංගමය හරහා කාලෝ නිකුත් කළ ප්‍රසිද්ධ අභියෝගයේ මූලික හරයත් එයයි. ඉන්ද්‍රජාලික හෝ ඇස්බැන්දුම් කිරීමට ඉඩක් නැති සුපරීක්ෂාකාරී තත්ත්වයන් යටතේ ගුප්ත ක්‍රියාවක් සිදු කිරීමටත්, අහම්බයට එහා යන ස්ථීරසාර මට්ටමකට ප්‍රතිඵල පෙන්වීමටත්, කාලෝ සකලවිධ ගුප්තවේදීන්ට ඇරැයුම් කළා. එහෙත් ඔහුගේ අභියෝගය පිළි ගන්නවා වෙනුවට ඇතැම් ගුප්තවේදීන් කළෙ ඔහුට මතවාදීව පහර දීමයි.

විචාරශීලී වීමේ අගය ගැන කාලාම සූත‍්‍රය පාදක කර ගනිමින් කාලෝ කරන විග‍්‍රහය අපේ සමාජයට දිනපතා උදේ සවස අසන්නට සැළැස්විය යුතු බව මගේ හැඟීමයි. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා. (එහෙත් සැබැවින් නිදන අය අවධි කළ හැකි වුවත් බොරුවට නිදන්නන් අවධි කළ හැකිද?)

Carlo Fonseka's open challenge to assorted black magicians of Lanka, 2012 - LKR 1 million to prove themselves (image courtesy Lakbima)
Carlo Fonseka’s open challenge to assorted black magicians of Lanka, 2012 – LKR 1 million to prove themselves (image courtesy Lakbima)

කාලයාගේ ඇවෑමෙන් කාලෝ මෘදු මෙලෙක් වී සිටියි ද?

සමහර හේතුවාදීන් හා නිදහස් මතධාරීන් කියන්නේ කාලෝ පෙර තරම් නිර්දය ලෙස මිථ්‍යාවට පහර නොදෙන බවයි. ඇතැම් විට වයසත් සමඟ කාලෝ පෙරට වඩා ඉවසිලිමත් හෝ උපේක්ෂා සහගත හෝ වී ඇති. එහෙත් අධ්‍යයනයෙන් හා තර්කනයෙන් නිවැරදි යයි ප්‍රත්‍යක්ෂ කර ගත් ස්ථාවරයක රැදී සිටිමින් එය ප්‍රවර්ධනය කරන්නට නම් අද අප දකින කාලෝ එදා ගිනි පෑගූ කාලෝ තරම් ම අධිෂ්ඨානශීලීයි. නීර්භීතයි.

බොහෝ මිථ්‍යාවන් හා ප්‍රශ්නවලට එරෙහිව එකවර මැදිහත් වනු වෙනුවට වැදගත් සමාජයීය ගැටඵ කිහිපයක සැළකිය යුතු වෙනසක් කරන්නට තමන් පසු කාලීනව තීරණය කළ බව කාලෝ වරක් මට කීවා. එසේ ඉලක්කගත වීම හා උපක්‍රමශීලී වීම 21 වන සියවසේ හැම සමාජ ක්‍රියාකාරිකයකුට ම අවශ්‍යයි.

ලෝකයේ දැවැන්ත ම විනාශකාරී ව්‍යාපාරයක් වන දුම්කොළ සමාගම්වලට එරෙහිව දුම්වැටි පාලනය සවිමත් කිරීමට ඔහු ගෙන යන අරගලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ගිනි පෑගීමේ මුලාව හෙළිදරවු කළාටත් වඩා අති විශාල සේවයක් දුම්පානයෙන් ඇති වන ඇබ්බැහිකම දුරලීම හරහා කාලෝට කළ හැකි බව මගේ විශ්වාසයයි. දුම්කොළ ඇබ්බැහියෙන් ලාංකිකයන් මුදා ගැනීමේ උත්සාහය යම් තරමකට සාර්ථක බව පෙනෙනවා.

එහෙත් ඊටත් වඩා ගැඹුරු වූත්, දිගු කාලීනව අතිශයින් හානිකර වූත් ජාතික ව්‍යාධියක් නම් මිථ්‍යාවට, අවිද්‍යාවට හා ව්‍යාජ විද්‍යාවන්ට (pseudo-science) අපේ ඇත්තන්ගේ ඇති දැඩි නැඹුරුවයි. මේ ඇබ්බැහිකමින් ලක් සමාජය මුදා ගන්නට ජීවිත කාලයක් පුරා කාලෝ කරන ව්‍යායාමය කෙදිනක මල්ඵල ගැන්වේ ද?

කාලෝ ගැන සැබෑ රස කථා (anecdotes) රැසක් තිබෙනවා. ඔහුගේ ආත්ම චරිත කථාව ලිවීමට අදහසක් තිබේදැයි ගිය වසරේ මා විමසූ විට එබන්දක් සැළසුම් කර නැති බව පැවසුවා. ඔහු දිගු කලක් පවත්වා ගෙන ආ දිනපොත් ගොන්න ද වේයන් කා විනාශ කරලා. අඩු තරමින් ඔහුගේ මතකයන් ඔහුගෙන් අසා පටිගත කොට සටහන් කර ගන්නට හැකි නම් එයත් අපේ ජාතික මතකයේ (Memory of the Nation) වටිනා කොටසක් වනු ඇති.

කිසි දිනෙක කිසිවකුට ගිනි නොදුන් මේ ජීවකයාට, තවත් දිගු කලක් මේ ගිනි ගත් දිවයිනේ සන්තානය සමනය කරන්නට හැකි වේවා යන්න අපේ පැතුමයි!

ඡායාරූපය: සනී නවගත්තේගම

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

8 thoughts on “සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා”

  1. කාලෝ සැබෑ බුද්ධිමතකු වුවත් උගත්කමේ මාන්නයෙන් හා උද්දච්චකමින් හිස පුම්බා නොගත් ඉතා නිහතමානී චරිතයක්.// ඉතා වැරදියි. රූපවාහිනියට, මාධ්‍යට, ස්ටේජ් එකට එහෙම පෙනුනට , උපරිමේට මාන්නයෙන් පිරි ඩයල් එකක්. අර සුනිල් සාන්ත වගේ.

  2. කාළො කවුද කියලා අහන්න ඔන වෙද්‍යපීඨයේ ළමයින් ගෙන්. රාගම පීඨය පටන් ගන්න කොට ඒකට විරුද්දව නිදහස් අධ්‍යාපනය රක් ගන්න කියලා හෙන සටනක් කරා. එහෙම කරේ එම පීඨය රජයට ගත්තාම පීඨාධි පති වෙන්න. ඊට පස්සේ මිනිහාම පිලියන්දල පුද්ගලික වෙද්‍ය පීටයේ තනතුරු ගත්තා සල්ලි වලට. කාලො කියන්නේ සල්ලි වලට පෙරේත මිනිහෙක්.දැන් මහින්දට කඩේ ගිහිල්ලා SLMC එකේ chirmaman වෙලා පන්දම අල්ලනවා.

  3. I wrote my personal assessment of Carlo Fonseka based on my observation and interactions over the past 25+ years. It is biased, for sure, and not intended to be objective or comprehensive. With more than half a century of public life behind him, Carlo is sure to have disappointed some people.

    I have allowed the negative comments on this moderated blog because I respect dissenting voices — even if they are offered anonymously or using a pseudonym.

  4. I,m not completely agree with you.I’ll try to write some thing about Carlo Fonseka later .But This is good article.I always read your article on Rawaya .

  5. ඔයාට පුලුවන්නම් කාලෝ ෆොන්සේකාගෙන් ගබ්සාවට විරුද්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරගන්න මම ඔයාට ලක්ෂ 10ක් දෙන්නම්

  6. මම කාලෝ ෆොන්සේකාගේ විද්‍යාත්මක දැක්ම ගැන අදහස් දැක්වීමට තරම් සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. වරක් කාලෝ ටෙලිවිෂන් වැඩසටහනකදී එම නාලිකාව කාලෝ ඔහුගේ බිරිඳ ගැන ලියූ ගීතයක් පසුබිමින් වාදනය කළා. ඒ මොහොතේදී ඔහුගේ මුහුණේ තිබූ හැඟුම්බර බව මට තවමත් මතකයි. ඔහුගේ මානව හිතවාදී ගුණය ගෙදරින්ම පටන්ගත් බවයි මට හැඟුණේ.

  7. කොරෝනා කාලේ මතක් වන කාලෝචිත කාලෝ
    සොබා දහම අනුකම්පාවෙන් දුන් තිළිණය ………………කාලෝ
    මිතයා සැධ පහර කපාගෙන උඩහට පීනු ………………කාලෝ
    කෙටි වදනින් දිගු දෙයක් කියන්නා ………………කාලෝ
    යුග පුරුෂයෙකි ඔබ අදටත් කාලෝචිත …………….කාලෝ
    …කාලෝ මහාචාර්ය තුමා මට මුණ ගැසුනේ ‘ හේතුවාදී සන්ගමයේ දී ,කතෝලික පුජකයින් පස්දෙනෙකුගේ [ඒ අතරින් දෙන්නෙක් මා සමග දෙව්සත්හලේ හිටපු එවුන් ] ‘සුව මෙහෙය ‘ ප්‍රෝඩාව පිළිබද මම ලියුව, ලිපිය කියවපු මහාචාර්ය තුමා ,මා හට වෛද්‍ය සිසුන්ව මෝහනය කරන්නට අවස්ථාවත් ලබා දීල ,එතුමාගේ නිර්දෙස ලිපියකුත් ලබා දුන්න ..සියලු මාද්‍ය කාලෝ මහාචාර්ය තුමා ගේ අභාවය පළකරද්දී ‘ ඥානාර්ථ ප්‍රාදීපය ‘ ඒ පිළිබද කිසිවක් පලකලේ නැත්තෙ ,සද්දන්ත මිතයාවම market කරන ,මේ 12 වන සියවසේ ගං කබරයින්…කාලෝ මහාචාර්ය තුමා ගේ හෙවනැල්ලටත් බය නිසා වෙන්න ඇති ,,,12 වන සියවසේ ගං කබරයිනි ,,,,21 වන සියවසේ කාලෝ මග කාලෝචිත බව දන්නා තරුණයන්ගෙන් නම් අඩුවක් නොමැත.ඒ නිසා උබලාගේ පත්තර මහලු මඩම් වලටම බෙදාපල්ලා. –
    -රුවන් ඇන්ටන් දියලගොඩ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: