සිවුමංසල කොලූගැටයා #108: අහස ‘මුර කරන’ තාරකා විද්‍යාඥයෝ

In this week’s Ravaya column (in Sinhala), I write about asteroid impact hazards and what can be done to protect our planet.

I have covered similar ground in English in these two recent columns:

23 Dec 2012: When Worlds Collide #47: Avoiding the ‘Mother of All Tsunamis’

24 Feb 2013: When Worlds Collide #55: ‘Wake-up Call’ from Outer Space

Earth in danger

කළුවර රැයක, අහස දෙස සෑහෙන වේලාවක් ඕනෑකමින් බලා සිටියොත් අහසේ එක තැන බබලන තරු අතර හිටිහැටියේ ගමන් කරන කුඩා ආලෝක දැක ගත හැකියි. කඩා වැටෙන තරු (Shooting Stars) යනුවෙන් නම් කැරෙන මේවා විද්‍යාඥයින් හදුන්වන්නේ උල්කා (meteors) කියායි.

අභ්‍යාවකාශයේ ගමන් කරමින් තිබෙන ග‍්‍රහ කැබලිවලට meteoroids හෙවත් උල්කාෂ්ම යැයි කියනවා. මේවායින් සමහරක් අපේ පෘථිවියේ වායුගෝලයට ඇතුළු වීමෙන් පසු වාතය සමග දැඩි ලෙස ඝර්ෂණය වීම (ඇතිල්ලීම) නිසා ගිනියම් වී දීප්තිමත් වනවා. මෙය දිවා කාලයේ මෙන් ම රාත‍්‍රි කාලයේත් සිදු වුවත් අපට පෙනෙන්නේ රාත‍්‍රියට පමණයි. එබදු දීප්තිමත් වූ වස්තූන්ට උල්කා (meteors) යයි කියනවා.

බහුතරයක් උල්කා ප‍්‍රමාණයෙන් කුඩා නිසා වායුගෝලය ඉහලදී මුළුමනින් දැවී අළු බවට පත් වනවා. එහෙත් ඉඳහිට එසේ දැවී අළු නොවී මහපොළවට කඩා වැටෙන උල්කාවලට, කඩා වැටීමෙන් පසු උල්කාපාත (meteorites) යන නම යෙදෙනවා. මේ උල්කාපතවලින් අති බහුතරයක් ද හානියක් කිරීමට හැකියාවක් නැති තරම් කුඩායි.

නමුත් ප‍්‍රමාණයෙන් විශාල උල්කාපාත ද කලාතුරකින් කඩා වැටෙනවා. 2013 පෙබරවාරි 15 වනදා රුසියාවේ සයිබීරියාවේ වාර්තා වූයේ මෑත දශක වලදී එසේ හමු වූ විශාලතම උල්කාපාතයයි.

මේ උල්කාපාතය ගැන ලොව පුරා පිහිටුවා ඇති සංවේදී උපකරණ හරහා ලබා ගත් තොරතුරු මත යම් ගණන් බැලීමක් කර තිබෙනවා. වායුගෝලයට ඇතුළු වීමට පෙර මීටර් 17ක් (අඩි 55) පළල් වූ එහි බර ටොන් 10,000ක් පමණ වන්නට ඇති. අවධ්වනික (infrasound) දත්තවලට අනුව මේ වස්තුව වායුගෝලයට ඇතුළු වී ඒ හරහා ගමන් කළ කාලය තත්පර 32.5ක්.

මේ තරමේ උල්කාපතයක් ඇද වැටීම දළ වශයෙන් වසර 100කට වරක් සිදුවීමේ හැකියාව ඇතැයි ඇමෙරිකානු අභ්‍යාවකාශ ඒජන්සිය නාසා (NASA) කියනවා. මේ උල්කාපතය හා එදින ම පෘථීවියට ආසන්න වූ (එහෙත් ගැටීමකින් තොරව යළිත් අභ්‍යවකාශයට ඇදී ගිය) 2012DA14 නම් ග‍්‍රහකය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් නාසා අවධාරණය කළා. මේ සිදුවීම් දෙක එක ම දිනයක සිදුවීම අසාමාන්‍ය ගණයේ අහම්බයක් (coincidence) පමණයි.

මීට පෙර විශාලතම උල්කාපාතය වාර්තා වූයේ ද රුසියාවෙන්. 1908 ජූනි 30 වනදා සයිබීරියාවේ තුංගුස්කා (Tunguska) නම් ජනශූන්‍ය ස්ථානයේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බවට සාක්ෂි පසුව සොයා ගනු ලැබුවා. එය රුසියානු හා ජාත්‍යන්තර විද්‍යාඥයන් විසින් දීර්ඝ ලෙස පර්යේෂණවලට ලක් වූ තැනක්.

Siberian meteor of 15 Feb 2013 breaks up in the sky

Siberian meteor of 15 Feb 2013 breaks up in the sky

පෙබරවාරි 15 වනදා සයිබිරියානු උල්කාපාතය ගැන තාරකා විද්‍යාඥයන්ට කල් තබා අනතුරු ඇඟවීමට හැකි නොවූයේ ඇයි?

ඒ උල්කාපාතය සාපේක්ෂව කුඩා එකක්. එබඳු ග‍්‍රහ කැබලි ලක්ෂ ගණනක් අභ්‍යාවකාශයේ ගමන් කරමින් තිබෙනවා. අපේ පෘථිවිය ද අධික වේගයෙන් සුර්යයා වටා නිරතුරුව ගමන් කරනවා. මේ චලනයන් නිසා විටින් විට එබඳු ග‍්‍රහ කැබලිවල ගමන් මාර්ගය (කක්ෂය) හා අපේ පෘථිවියේ කක්ෂය එකිනෙකට මුණ ගැසීම සිදු වනවා. උල්කාපාත ඇද වැටීමට තුඩු දෙන්නේ එයයි.

විටින් විට ග‍්‍රහ කැබලි ඇද වැටීම අද ඊයේ පමණක් නොව පෘථිවි ඉතිහාසය පුරා ම සිදුව ඇති බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. නාසා ආයතනය කියන පරිදි: “පෘථිවිය බිහිවු කාලයේ පටන් ම මෙබඳු ග‍්‍රහ කැබලි ගැටීම සිදුවී තිබුණත් විශාල ගැටුම් ඉතා දුර්ලභයි. අප දන්නා හැටියට මහා පරිමානයේ ග‍්‍රහ කැබලි ගැටුමක් අන්තිමට සිදු වූයේ මීට වසර මිලියන් 65කට පමණ පෙරයි. ඒ ගැටුම නිසා එවකට මිහිපිට විසූ ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී ගියා. අද තාරකා විද්‍යාඥයන් නිරතුරු අහස නිරික්සන්නේ එබඳු තර්ජනයක් ඇති කළ හැකි ග‍්‍රහ කැබැල්ලක් කල් තබා හඳුනා ගන්නටයි.”

පෘථිවිය අසලට පැමිණීමේ හැකියාව ඇති ග‍්‍රහ කැබලිවලට Near-Earth Obects හෙවත් NEO යන නම දී තිබෙනවා. පසුගිය දශක කිහිපයක තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ මගින් මෙබඳු NEO 10,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඒවා නිරතුරු අධීක්ෂණය කැරෙනවා. මේ සඳහා දුරදක්න නිරීක්ෂණ මෙන් ම පරිගණක තාක්ෂණය ද යොදා ගන්නවා. http://neo.jpl.nasa.gov

ග‍්‍රහ කැබලි ගැටීම්වල විශාලත්වය මැනීම සඳහා ටොරීනෝ ගැටුම් මාපකය (Torino Impact Scale) නම් දර්ශකයක් තාරකා විද්‍යාඥයන් භාවිතා කරනවා. 1997දී මෙය නිර්මාණය කළේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ (MIT) මහාචාර්ය රිචඞ් බින්සල්. එය 1999 ජුනි මාසයේ ඉතාලියේ ටියුරින් (ටොරීනෝ) නුවර පැවති ලෝක තාරකා විද්‍යාඥ සමුළුවකදී සම්මත කර ගත් නිසා ඒ නම යෙදෙනවා.

බින්දුවේ සිට 10 දක්වා ආරෝහණ පිළිවෙලට විහිදෙන ටොරීනෝ මාපකයේ අවම අගය (0) යොදන්නේ කිසිදු ගැටුමක් සිදු නොවනල පෘථිවියට ආසන්න කක්ෂවල ගමන් කරන ග‍්‍රහ කැබලි හා වායුගෝලයේ ඉහළදී දැවී අළුවී යන කුුඩා ග‍්‍රහ කැබලිවලටයි. එතැනින් පටන්ගෙන ටිකෙන් ටික උත්සන්න වන ගැටුම් මාපකයල වඩාත් බරපතල වන්නේ අංක 5 සිට ඉහළටයි.

කුඩා ග‍්‍රහ කැබැල්ලක් ඇද වැටීම නිසා ප‍්‍රාදේශීය මට්ටමින් ව්‍යවසනයක් නිසා රටකට හෝ රටවල් ගණනාවකට හානි විය හැකියි. ටොරීනෝ මාපකයේ 5 – 7 පරාසයේ අන්තරායක් බරපතල විපාක ගෙන දිය හැකි අතර 8 – 10 පරාසයේ නම් මුළු ග‍්‍රහලෝකයට ම තර්ජනයක් ඇති කළ හැකියි.

ග‍්‍රහ කැබලි ගැටීම ගැන සියළු තොරතුරු අප තවම දන්නේ නැහැ. මේ ගැන දිගට ම පර්යේෂණ කළ යුතුයි. එමෙන්ම අයාලේ යන ග‍්‍රහ කැබලිවල ගමන් මාර්ග හා හැසිරීම මුළුමනින් කල් තබා කීම අපහසුයි. තාරකා විද්‍යාඥයන් කරන්නේ තිබෙන හොඳම නිරීක්ෂණ හා භෞතික විද්‍යා දැනුම පදනම් කරගෙන සම්භාවිතාව (විය හැකියාව) ගණනය කිරීමයි.

ග‍්‍රහ කැබලි ඇද වැටෙන ස්ථානය අනුව එහි හානිය වෙනස් වනවා. 1908 තුංගුස්කාවට හානි කළ ග‍්‍රහ කැබැල්ල ජනාකීර්ණ ප‍්‍රදේශයකට ඉහළ අහසේ පුපුරා ගියා නම් හානිය ඊට බොහෝ වැඩි වන්නට ඉඩ තිබුණා.

පෘථිවි මතුපිටින් තුනෙන් දෙකකට වඩා වැසී ඇත්තේ සාගරයෙන්. මේ නිසා ග‍්‍රහ කැබැල්ලක් සාගරයට ඇද වැටීමට ඇති ඉඩ වැඩියි. එයින් ජීවිත හානිය වැළකේ යයි බැලූබැල්මට පෙනුනත් එබඳු අවස්ථාවක සුනාමි තරංග ජනනය වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයෝ කියනවා.

2003දී ඔස්ටේ‍්‍රලියානු තාරකා විද්‍යාඥ ආචාර්ය ඩන්කන් ස්ටීල් (Dr Duncan Steel) මේ ගැන ගණන් බැලීම් කළා. මීටර් 200ක් දිග ග‍්‍රහකයක් තත්පරයට කිමී 19ක වේගයෙන් සාගරයට ඇද වැටුණොත් කුමක් විය හැකි ද යන්න පරිගණක යොදා ගෙන ඔහු සොයා බැලූවා.

එබඳු ග‍්‍රහකයක් ඇදවැටීමෙන් TNT මෙගාටොන් 600ක් පිපිරීමට සමාන චාලක ශක්තියක් එකවර මුදා හැරෙන බවත්ල එය මෙතෙක් ලොව අත්හදා බලා ඇති ප‍්‍රබලතම න්‍යෂ්ටික බෝමිබයේ බලය මෙන් දහගුණයක් බවත් ඔහු වාර්තා කළා. මේ අතිවිශාල ශක්තියෙන් 10%ක් පමණ සුනාමි තරංග බවට පත් වී ලෝකයේ සාගර හරහා ඇදී ගොස් වෙරළ ප‍්‍රදේශවලට මහ විපත් කළ හැකි යයි ද ඔහු කියා සිටියා.

හැම තාරකා විද්‍යාඥයා ම මේ ගණන් බැලීම පිළිගන්නේ නැහැ. සමහරුන් කියන්නේ ආචාර්ය ස්ටීල් වුවමනාවට වඩා මේ අනතුර විශාල කොට දැක්වූ බවයි.

එහෙත් සමස්ත තාරකා විද්‍යා ප‍්‍රජාව එක හඬින් කියා සිටින්නේ අන්තරාදායක ග‍්‍රහ ගැටුමක් වසර ගණනාවකට ඉහත සිට කල් තබා හඳුනා ගෙන එය වැළැක්වීමේ පියවර ගත යුතු බවයි. මේ සඳහා අවශ්‍ය අභ්‍යවකාශ තාක්ෂණය අද ඇමෙරිකාව, රුසියාව, චීනය වැනි බලවත් රටවලට තිබෙනවා.

මේ ග‍්‍රහ ගැටුම් ගැන ලෝකයේ අවධානය මුලින්ම යොමු කළේ විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයන් හා වෘතාන්ත චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්. 1973දී ප‍්‍රකාශිත රාමා හමුව (Rendezvous With Rama) නම් නවකථාවේ ආතර් සී. ක්ලාක් පෙන්වා දුන්නේ එබඳු අයාලේ යන ග‍්‍රහ කැබලි නිතිපතා නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවයයි. ඔහු එයට Spaceguard (අහස මුරකිරීම) යයි නමක් ද යෝජනා කළා. 1990 දශකයේ නාසා ඇතුළු අභ්‍යවකාශ ඒජන්සි මේ නමින් එබඳු නිරීක්ෂණ ව්‍යායාමක් දියත් කළා.

Deep Impact Movie Poster1979දී නිෂ්පාදිත Meteor නම් හොලිවුඞ් චිත‍්‍රපටයෙන් කියැවුණේ පෘථිවියට ඇදී එන ග‍්‍රහ කැබැල්ලක් ගැටීම වළක්වා ගන්නට ලෝකයේ ජාතීන් භේද ඉවත දමා එක්සත් වන සැටියි. 1998දී තැනූ Deep Impact චිත‍්‍රපටයේ නම් එබඳු ග‍්‍රහක ගැටුමක් වළක්වා ගන්නට නොහැකි වනවා. එහෙත් මානව සංහතියෙන් ටික දෙනකු පමණක් පණ බේරා ගෙන ශිෂ්ටාචාරය යළි අරඹනවා. ඒ වසරේ ම නිපද වූ Armageddon චිත‍්‍රපටයේ ඇදී එන ග‍්‍රහකය වෙත යවන අභ්‍යවකාශ යානාවක් ග‍්‍රහකයේ ගමන් මග වෙනස් කොට ගැටුම වළක්වා ගන්නට උත්සාහ කරනවා.

ගැටුමක් ඇති වන මාර්ගයක ඇදී එන ග‍්‍රහකයක් වසර හෝ දශක ගණනාවකට කලින් හඳුනා ගතහොත් එයට ඉතා සුළු තල්ලූවක් දීමෙන් එහි ගමන් මග වෙනස් කළ හැකියි. එහෙත් එය ඉතා සීරුවෙන් කළයුතු සංකීර්ණ තාක්ෂණික මෙහෙයුමක්.

එසේ ගමන්මග වෙනස් කළ නොහැකි නම් ඈත අභ්‍යාවකාශයේදී න්‍යෂ්ටික බෝමිබයක් පුපුරවා ග‍්‍රහකය කුඩා කැබලිවලට කඩා දැමිය හැකියි. එහෙත් එහිදී කැබලි සමූහය මුල් ග‍්‍රහකය ඇදී ආ මාර්ගයේ ම තවදුරටත් ගමන් ගන්නවා. එක මහ ග‍්‍රහකයක් වෙනුවට කුඩා ග‍්‍රහ කැබලි “වැස්සක්” ඇද වැටී විශාල ප‍්‍රදේශයකට විමධ්‍යගත හානි සිදු කළ හැකියි.

පෘථිවිය සමීපයට ඒමේ හැකියාව ඇති සමහර NEO සොයා ගන්නට පෘථිවිය මත පිහිටි විශාලතම දුරදක්නවලට පවා අපහසුයි. මේ නිසා එයට කැප වුණු අභ්‍යවකාශ දුරදක්නයක් උඩුගුවන් ගත කිරීමේ අවශ්‍යතාවය කලෙක සිට විද්‍යාඥයන් පෙන්වා දුන්නා. අඟහරු ලෝකයට ගවේෂණ යානා යවන්නට නැතිනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නඩත්තු කරන්නට යන වියදමට වඩා අඩු වියදමකින් මෙය කළ හැකියි. මේ ගැන එකඟතාවයක් ඇතත් අවශ්‍ය මුදල් යෙදවීමට කිසිදු අභ්‍යවකාශ ඒජන්සියක් ඉදිරිපත් වී නැහැ.

මේ නිසා B612 පදනම නම් අමෙරිකානු ස්වේච්ඡ ආයතනයක් පෞද්ගලික සමාගම් කිහිපයක් ද සමඟ එකතු වී මහජන ආධාර හා සමාගම් අනුග‍්‍රහයෙන් Sentinel (මුරකරුවා) නම් අභ්‍යවකාශ දුරදක්නයක් උඩුගුවන්ගත කරන්නට දැන් සැළසුම් කරනවා. 2018දී සූර්ය කක්ෂයකට යැවීමට නියමිත මේ දුරදක්නය වසර 6ත් තුළ අප මෙතෙක් නොදත් භෑධ විශාල සංඛ්‍යාවක් සොයා ලේඛන ගත කොට නිරීක්ෂණයට ලක් කරනු ඇති.

Earth threatening asteroid - artist's imagination

Earth threatening asteroid – artist’s imagination

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: