In this week’s Ravaya column (in Sinhala), I reflect on how IT/ICT has drastically changed how we look for information and knowledge.

2012 දෙසැම්බර් 18 වනදා මගේ අලූත් ම පොත ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ එළිදැක්වීමට සරල හා චාම් රැස්වීමක් කොළඹ ජාතික පුස්තකාලයේ පැවැත්වුණා. පොත් ලියන හා කියවන ඕනෑ ම කෙනකුට විවෘත වූ මේ සභාවට සියයක් පමණ දෙනා සහභාගි වූවා. එයින් බහුතරයක් දෙනා පොතේ පිටපත් එදින මිලදී ගත්තා.
පොත් පිටපත් මා ලවා අත්සන් කරගන්නට පෙළ ගැසුණු පාඨකයන් පිරිසට නුදුරින් තලතුනා වියේ මහත්මයකු තැන්පත්ව බලා සිටියා. සෙසු පිරිස මා සමඟ කථාබහ කර හමාර වූ පසු සෙමින් මට සමීප වූ මේ තැනැත්තා මට කීවේ ටිකක් දුක හිතෙන කථාවක්.
කොළඹට තරමක් දුර බැහැර පෙදෙසක සිට ඔහු පැමිණ තිබුණේ පොතේ පිටපතක් ද රැගෙන ආපසු යාමේ මහත් ඕනෑකමින්. එහෙත් (ගමන් වියදම සිතුවාට වඩා මඳක් වැඩි වූ නිසාදෝ) එදින සහන මිල වූ රු. 350ට රුපියල් පනහක මදි පාඩුවක් මතු වෙලා. ඉතා කාරුණිකව හා අහිංසක ලෙසින් ඔහු මගෙන් ඇසුවේ කුමක් කළ හැකි ද කියා.
මා ඔහුගේ මදිපාඩුව සම්පූර්ණ කොට පොතේ පිටපතක් මිලදී ගන්නට සැළැස් වූයේ ඔහුගේ ආත්ම ගෞරවය රැකෙන පරිද්දෙන්. ඇත්තටම අප පොත්පත් ලියන්නේ මෙබඳු උද්‍යෝගශීලි පාඨකයන්ටයි.
ඒ සමඟ මගේ සිහියට ආවේ දැනුම් පිපාසයෙන් පෙළුණු, එහෙත් අතමිට සරු නොවූ දරුවන් දෙදෙනකු එම අභියෝගය ජය ගත් සැටියි.
මොහොතක් විසිවන සියවසට ආපසු යන්න.
1920 දශකය අගදී එංගලන්තයේ ගම්බද පළාතක ගොවි පවුලක දරුවෙක් පරිනාමය, විශ්වය, ඉතිහාසය හා විද්‍යාව ආදී විෂයයන් ගැන මහත් සේ උනන්දු වනවා. ගමේ පාසලේ කුඩා පුස්තකාලයෙන් ඔබ්බට යන්නට ඔහුට අවශ්‍යයි. එහෙත් තමන්ගේ ම පොත් මිලට ගන්නට ඔහු ළඟ එතරම් මුදල් නැහැ.
මේ නිසා උපක‍්‍රමශීලි වන දරුවා, තමන්ගේ ගමේ පොත් වෙළඳසැලකට ගොස් එහි අලෙවියට තිබෙන සමහර පොත් දිනකට පරිච්ඡ්දය බැගින් කියවනවා. පොත් සැලේ හිමිකරුට ටික දිනකින් මෙය තේරුම් ගියත් දරුවාගේ ධෛර්යය ගැන පැහැදී එයට නිහඬව ඉඩ දෙනවා. ඊට අමතරව පාසල් කෑම විවේකයේ යමක් කන්නට අම්මා අතට දෙන සුළු මුදලින් ද දරුවා අඩු මිලට විකිණෙන පාවිච්චි කළ පොත්පත් හා සඟරා (secondhand) මිල දී ගන්නවා.
1980 දශකය මුලදී ශ‍්‍රී ලංකාවේ කොළඹ ප‍්‍රධාන පෙලේ රජයේ පාසලකට යන තවත් දරුවෙක්, පන්ති කාමරයට හා විෂය මාලාවට කොටු නොවී නව දැනුම සොයා තමන්ගේ ම චාරිකාවක් යනවා. ඉන්ටර්නෙට් නැති ඒ අවධියේ ඔහුට පිහිටට එන්නේ කියවා ඉවතලන ජාත්‍යන්තර පුවත් සඟරා (TIME, Newsweek), විද්‍යා සඟරා හා පතපොතයි.
මරදානේ මැකලම් පාරේ (විජේවර්ධන මාවත) මෙබඳු පොත් විකිණෙන කුඩා පොත්සැල් ඔහුගේ ප‍්‍රියතම ස්ථානයක් වනවා. කැන්ටිමෙන් කන්නට අතට ලැබෙන සීමිත මුදල ඔහුත් බොහෝ සේ වැය කරන්නේ පොත්පත් සඳහායි.
අඩ සියවසක කාල පරතරයක, ලෝකයේ දුරු රටවල් දෙකක වෙනස් වූ පසුබිම් සහිත මේ දරුවන් දෙදෙනා දැනුම සොයා යාමට යොදා ගත් උපක‍්‍රම එක සමානයි. මෙයට සමාන අත්දැකීම් ඇති දැනුම් ගවේෂී තවත් බොහෝ බාල හා වැඩිහිටි අය සිටිනවා.
ඉහත දරුවන් දෙදෙනාගෙන් ලාංකික දරුවා මමයි. එංගලන්ත දරුවා පසු කලෙක විද්‍යා ලේඛකයකු ලෙස ලෝක පූජිත වූ ආතර් සී. ක්ලාක්.
1980 දශකය අග භාගයේ සිට මේ සුවිශේෂි චින්තකයා හා නිර්මාණශීලි ලේඛකයා සමඟ ඔහුගේ පර්යේෂණ සහායකයා ලෙස ක‍්‍රියා කිරීමේ දුර්ලභ අවස්ථාව මට ලැබුණා. ඒ ගැන ආවර්ජනා සමූහයක් මෑතදී එළි දුටු මගේ පොතෙහි ඇතුළත් වනවා. නමුත් තවත් පොතක් පිරවිය හැකි බොහෝ මතකයන් ද තිබෙනවා.
ශ‍්‍රී ලංකාවට ටෙලිවිෂන් ආගමනය 1979දීත්, වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සබඳතාවන් හඳුන්වා දීම 1995දීත් සිදු වුණා. මේ සන්නිවේදන තාක්ෂණයන් වඩාත් ප‍්‍රචලිත වී තොරතුරු සමාජයක් බිහිවීම සමඟ දැනුම සොයා යාමේ අලූත් මාර්ග විවෘත වී තිබෙනවා.
පුද්ගල පරිගණක (Personal Computer) වඩාත් පුළුල්ව අපේ රටේ භාවිතයට ආවේ 1990 දශකයේ. ඒ සමග ම සංගත තැටි (CD-ROM) අපේ අංකුර තොරතුරු සමාජයේ සංසරණය වන්නට පටන් ගත්තා. ඉන්ටර්නෙට් සබඳතා ඇරඹෙන්නට කලින් නව දැනුම ගවේෂණය සඳහා වටිනා අත්වැලක් ලැබුණේ සංගත තැටිවලින්.
සංගත තැටි ආ අළුත අපට ඒවා පෙනුනේ තාක්‍ෂණික මැජික් වගෙයි. බලා ගෙන ගියා ම සංගත තැටියක් කරන්නේ අපූරු වැඩක්. ඉතා විශාල තොරතුරු ප‍්‍රමාණයක් සංයුක්ත විධියට ගබඩා කරනවා. වචන පමණක් නොවෙයි. ඡයාරූප, වෙනත් රූප සටහන්, සිතියම්, වීඩියෝ ඛණ්ඩ, සංගීත භාණ්ඩ, හඩ පට කොටස් වැනි අන්තර්ගතයන් රැසක් එක ම ගබඩා මාධ්‍යයක හසු කර ගෙන තිබෙනවා. එමෙන් ම පහසුවෙන් ඒ අන්තර්ගතයන් අතර සැරිසරන්නට, යමක් ඉලක්කගතව සොයා යන්නට හැකියාව ද තිබෙනවා.
මෙකී හේතු නිසා සංගත තැටියක් කියන්නේ නූතන මැජික් තමයි. 1970 දශකයේ වුණත් මෙබන්දක් ගැන විස්තර කළ හැකි වූවා නම් එය විද්‍යා ප‍්‍රබන්ධයක් හැටියට සැළකෙන්නට ඉඩ තිබුණා.
ආතර් සී. ක්ලාක් තමන්ගේ සුප‍්‍රකට ක්ලාක්ගේ තුන්වන නියමයෙන් (Arthur C Clarke’s Third Law) මෙහෙම කිව්වා: “අතිශයින් දියුණු වූ තාක්‍ෂණයක් අපට මැජික්වලින් වෙන් කර හදුනා ගන්නටත් අපහසුයි.” (“Any sufficiently advanced technology is indistinguishable from magic.”)
සංගත තැටි ලෝකයේ ජනප‍්‍රිය වන්නට පටන්ගත් 1990 දශකයේ මුල් යුගයේ නැෂනල් ජියෝග‍්‍රැෆික් (National Geographic) සගරාවේ ඒ ගැන ලිපියක් සමග අපූරු ඡයාරූපයක් පළ කර තිබුණා. තොරතුරු සමාජයේ ඉදිරි ගමනට පාර කැපූ දැවැන්තයකු වන බිල් ගේට්ස් විශාල ගසක කඹයකින් එල්ලී සිනාසෙමින් සිටිනවා. ඔහු අතේ සංගත තැටියක් තිබෙනවා. ඒ අසලින් මහ කන්දක් වගේ කඩදාසි ගොන්නක් ගොඩ ගසා තිබෙනවා.
මීටර් බර ගානක් උසට විහිදෙන මේ කඩදාසිවල තිබෙන සියළු අන්තර්ගතය අර තනි සංගත තැටියේ ඇති බව ඡයාරූපය ගැන විස්තරයේ කියැවෙනවා. සංගත තැටියේ හපන්කම් ගැන මා දුටු ඉතා ම විසිතුරු පැහැදිලි කිරීම එයයි.
දැනුම් ගවේෂණයට අවශ්‍ය මූලික ගුණාංග එදත් අදත් වෙනස් වී නැහැ. අසීමිත කුතුහලය, දැඩි උද්‍යෝගය, නොසිඳෙන දැනුම් පිපාසය හා චිත්ත ඒකාග‍්‍රතාව ඒ අතර වනවා. පොත් රැසක් ඇති පුස්තකාලයකට පිවිසි විට හෝ වෙබ් අඩවි ලක්ෂ ගණනක් හමුවේ හෝ අවශ්‍ය කුමක් ද කියා අප සීරුවෙන් තෝරා බේරා ගත යුතු වනවා.
එමෙන්ම තොරතුරු නිරවුල්ව හා නිවැරදිව අපේ අවශ්‍යතාවන්ට අදාළ කරගත් විට පමණයි එය දැනුම (knowledge) බවට පත් වන්නේ.