සිවුමංසල කොලූගැටයා #106: ‘ඔබ මට විශ්වාසයි’ ඕස්ටේ‍්‍රලියාවට හදුන්වා දුන් ලාංකිකයා

In my Ravaya column (in Sinhala) this week, I write about Lentil As Anything, the uncommon restaurant chain in Melbourne, Australia. It has no prices on the menu, no cashier, no cash register. Customers are invited to dine first — and pay what they think their meal was worth. This pay-as-you-feel approach has survived a dozen years, earning its founder Shanaka Fernando honours and accolades.

I wrote about this topic in English in my Ceylon Today column on 23 Jan 2013.

Shanaka Fernando, image courtesy Goodfood.com

Shanaka Fernando, image courtesy Goodfood.com

වෙළඳපොල සමාජයේ හැම භාණ්ඩයකට හා සේවාවකට ම මිළක් නියම කැරෙනවා. එය නිෂ්පාදකයා හෝ අලෙවිකරුවා හෝ විසින් ගන්නා තීරණයක්. භාණ්ඩයේ වටිනාකම, පාරිභෝගික ඉල්ලූම, තරගකාරී සපයන්නන් එයට දී තිබෙන මිළ ආදී සාධක සැළකිල්ලට ගෙන මිළ නියම කිරීම සිරිතයි.

එහෙත් මේ ප‍්‍රවාහයට එරෙහිව, පාරිභෝගිකයාගේ අභිමතය පරිදි ‘සාධාරණ මිළක්’ ගෙවන්නට නිදහස දෙන අවස්ථාද ඉඳහිට හමු වනවා. අපේ බොහෝ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමෙන් පසු එයට සංඛ්‍යාත්මක ගාස්තුවක් ඉල්ලා සිටියේ නැහැ. රෝගියාට දරා ගත හැකි හා සාධාරණ යයි සිතෙන මුදලක්, එසේ නොමැති නම් ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරනු ලැබුවා.

එහෙත් මේ උතුම් පිළිවෙත ධනවාදී ආර්ථික ක‍්‍රමය ස්ථාපිත වූ පාරිභෝගික සමාජයේ වෙනත් ගනුදෙනුවලට සාර්ථකව යොදා ගත හැකි ද? එසේ කළහොත් බංකොලොත් නොවී ව්‍යාපාරයක් කොපමණ කලක් පවත්වා ගත හැකි ද?

මේ ගැන දියුණු හා ධනවාදී රටකින් අසාමාන්‍ය ගනයේ උදාහරණයක් මීට වසර කිහිපයකට පෙර මා අත්දුටුවා ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී.

මෙල්බර්න්, වික්ටෝරියා ප‍්‍රාන්තයේ අගනුවර හා එරට දෙවන විශාලතම නගරයයි. මහා මෙල්බර්න් ප‍්‍රදේශයේ මිලියන් 4කට අධික ජනකායක් වෙසෙනවා. ජන විවිධත්වය අතින් ඉහළ මේ නගරයේ ලොව විවිධ රටවලින් සංක‍්‍රමණය වූවන් හමු වනවා. දේශගුණික, සාංස්කෘතික හා වෙනත් සාධක රැසක් සළකා බැලූ විට ලෝකයේ ජීවත්වීමට වඩාත්ම හොඳ නගරය (world’s most livable city) ලෙස 2011 හා 2012 යන දෙවසරේ ලෝක ව්‍යාප්ත සමීක්ෂණයකදී ඉහළට ම ආවේ මේ නගරයයි.

1996 පටන් කිහිප විටක් මා මෙල්බර්න් නගරයට ගොස් තිබෙනවා. 2006දී මගේ ඔස්ටේ‍්‍රලියානු මිත‍්‍ර සංගීතවේදී හා චිත‍්‍රපට අධ්‍යක්ෂ ඇන්ඩෘ ගාර්ටන් මා අමුතු ආකායේ අවන්හලකට (රෙස්ටුරන්ට් එකකට) කැඳවා ගෙන ගියා. රසවත් නිර්මාංශ (vegetarian) ආහාරවේලක් පමණක් නොව අසාමානය සමාජශීලී අත්දැකීමක් ද පාරිභෝගිකයන්ට ලබා දෙන එහි නම Lentil as Anything. (කෙටි නම: LAA).

ලොව විවිධ සූප ක‍්‍රමවේදවලින් ආභාෂය ලැබූ නිර්මාංශ ආහාර වට්ටෝරු රාශියක් එහිදී ඇනවුම් කළ හැකියි. හැබැයි එහි විශේෂත්වය නිර්මාංශ ආහාර පමණක් තිබීම නොවෙයි. ඔවුන්ගේ කෑම ලයිස්තුවේ (menu) කිසි තැනෙක මිළ ගණන් සඳහන් කර නැහැ. එයට හේතුව ඔවුන්ගේ ක‍්‍රමයෙහි මිළ දර්ශනයක් නොතිබීමයි.

අප කැමති ආහාරවේලක් ඔවුන්ගේ සිත් ගන්නා සුළු අවන්හල ඇතුළේ විවේකීව රස විදීමෙන් පසුව නික්ම යන විට අප ‘සාධාරණ යයි සිතන ගණනක්’ දමා යන්නට කුඩා බාස්කට්ටු තබා තිබෙනවා. එහෙත් හැම පාරිභෝගිකයා ම එසේ කරනවා ද යන්න සෝදිසි කිරීමට සේවකයන් රඳවා නැහැ.

මෙය ‘දන් සැලක්’ නොවෙයි! නොඑසේ නම් දුගී හා අසරණයන්ට සහන සළසන පුණ්‍යායතනයක් ද නොවෙයි. ඔස්ටේ‍්‍රලියානු සමාජයේ හැම තරාතිරමක ම වැසියන් (සහ සංචාරකයන්) යන එන, සම්භාවනීය ලෙසින් පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථානයක්. එක ම වෙනස නම් ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතිය (business model) පදනම් වී ඇත්තේ පාරිභෝගිකයා විශ්වාස කිරීමේ සංකල්පය මතයි.

“අපි අපේ පාරිභෝගිකයන්ට රසවත් හා ගුණදායක ආහාරවේලක් සතුටින් පිළි ගන්වා, එය භුක්ති විදින්නට හිතකර පරිසරයක් පවත්වා ගන්නවා. පාරිභෝගිකයන් ද එවිට හරි දේ කරනවා යයි අප විශ්වාස කරනවා,” LAA කළමණාකරුවන් කියනවා.

මා LAA වෙත කැඳවා ගෙන ගිය ඇන්ඩෘ ගාර්ට්න් කීවේ 2000දී කුඩා පරිමානයෙන් එක් තැනක පටන් ගත් මේ ව්‍යාපාරය 2006 වන විට ජනප‍්‍රිය වී අවන්හල් කිහිපයක් ම විවෘත කර ඇති බවයි. මේ සංකල්පය ලාංකික සංක‍්‍රමනිකයකුගේ අදහසක් බවත් ඇන්ඩෘ කීවා. LAA නිර්මාතෘවරයා ශානක ප‍්‍රනාන්දු (Shanaka Fernando). ඔහු මුණ ගැසීමට මට අවස්ථාවක් නොලැබුණත්, ඔහු ගැන තොරතුරු සමුදායක් සොයා ගත හැකි වුණා.

ඉසුරුබර ලාංකික පවුලක උපන් ශානක ප‍්‍රනාන්දු ළමා විය ගත කළේ ශ‍්‍රී ලංකාවේ බවත්, 1983 කළ ජූලිය ඇතුළු මෑත ඉතිහාසයේ අමිහිරි සිදුවීම් අත්වි`දි බවත් කියැවෙනවා. 1995දී ඔහු ඔස්ටේ‍්‍රලියාවට ගියේ මෙල්බර්න් සරසවියේ නීති විෂයය හදාරන්න.

එහෙත් ටික කලකින් එය අතහැර දැමූ ඔහු තමන්ගේ සිත් ගත් නොයෙක් රැකියා කළා. ත‍්‍රාසජනක ඔංචිල්ලා පදවන්නකු, සජීව විකට ශිල්පියකු (comedian) හා නැට්ටුවකු ලෙස ජීවිකාව උපයා ගන්නා අතර දේශ සංචාරය හා විවිධ සංස්කෘතීන් හැදෑරීම කළ ඔහු මෙල්බර්න් තදාසන්න ප‍්‍රදේශයක මුල් ම LAA අවන්හල 2000දී ඇරඹුවා.

LentilAsAnything_logo

ඒ සඳහා ඔහු සම්බන්ධ කර ගත්තේ ඔහු වැනි ම වෙනත් රටවල සිට ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමනය වූ, අන්ත ධනවාදී ක‍්‍රමය පිළි නොගන්නා ‘ආර්ථික විකල්පවාදීන්’ පිරිසක්. නමුත් ධනවාදයට එරෙහිව විප්ලව කරනවා වෙනුවට ධනවාදී සමාජය තුළ ම වඩාත් සානුකම්පිත ප‍්‍රවේශයක් අත්හදා බලන්නට ඔවුන්ට ඕනෑ වුණා.

“හැම දෙයක්ම ඇති-හැකි අයට පමණක් සීමා වුණු නගරයක හා කාලයක අපි එයට එරෙහිව යන්නට තීරණය කළා. අපේ අවන්හලේ කැෂියර් (අයකැමියෙක්) නැහැ. ගෙවන කවුන්ටරයක්, බිල්පත්, මිළ දර්ශන කිසිවක් නැහැ. නික්ම යන තැන පෙට්ටියක් හෝ බාස්කට්ටුවක් තිබෙනවා. අපේ පාරිභෝගිකයාගේ හෘද සාක්ෂිය අනුව ගණනක් තබා යන්නට අප ඇරැයුම් කරනවා,” ශානක කියනවා.

ඔස්ටේ‍්‍රලියානු සමාජයේ ද දුගී දුප්පත්කම තිබෙනවා. කිසි දිනෙක සිය නිවෙසින් බැහැරව අවන්හලක කෑම වේලක් ගන්නට හැකියාව නැති අය LAA අවන්හල් නිසා සමාජශීලී වීමේ නිදහස අත් විදිනවා. නැතිබැරි අය පවා අති බහුතරයක් හැකි අන්දමින් මුදලක් ඉතිරි කර නික්ම යනවා. එය ඔවුන්ගේ ආත්ම ගරුත්වයයි. ඒ අතර වඩාත් දානපති හැගීමක් ඇති අයට තමන් රස විදි කෑම වේලට වඩා ඉහළ මට්ටමේ ආධාරයක් කිරීමේ විවෘත ඇරැයුමක් ද තිබෙනවා.

නන්නාදුනන පාරිභෝගිකයන්ගේ හිත හොඳකම මත විශ්වාසය තබා ව්‍යාපාරයක් පවත්වාගෙන යා හැකි ද? (අපේ රටේ නම් මෙය අදහන්නටවත් පුළුවන් ද?) මේ ගැන මා LAA අත්දැකීම ලද ඔස්ටේ‍්‍රලියානුවන්ගෙන් විමසා බැලූවා.

මුල් වසර කිහිපයේදී ශානක විකාරකාරයෙක් යයි එරට අනෙක් අවන්හල් හිමියන් හාස්‍යයෙන් බැහැර කොට තිබෙනවා. එසේම රස්තියාදුකාර, කඩාකප්පල්කාරී පාරිභෝගිකයන් ටික දෙනකුගෙන් LAAට අලාබ සිදු වී තිබෙනවා.

එක් අවස්ථාවක ශානක හා LAA සමාගම බංකොලොත් වීම අබියසට ම ගියා. එහෙත් හිත හොඳ පාරිභෝගිකයන් මේ සද්කාර්යය වැසී යන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් මේ වටා ඒක රාශීවීම මේ ව්‍යාපාරයේ ලොකු ම සවිය වෙලා.

මේ අතර නිලධාරිවාදයට මේ අසාමාන්‍ය සංකල්පය තේරුම් ගන්නට අමාරු වුණා. බිල්පත් හෝ මිළ දර්ශන නැති මේ අවන්හලෙන් පාරිභෝජන බද්ද (GST) අය කර ගන්නේ කෙලෙසද? මේ නිසා බදු නිලධාරීන් දිගින් දිගට ම LAAට අරියාදු කළා. අන්තිමේදී මේ ව්‍යාපාරයෙන් ඨීඔ අය නොකළ යුතු බවට අධිකරණ තීන්දුවක් ලබා ගන්නට ශානකට සිදු වුණා.

වසර කිහිපයක් අමාරුවෙන් වැඩ කොට සංකල්පය ස්ථාපිත කළ පසු ප‍්‍රශංසා හා සාර්ථකත්වය ටිකෙන් ටික ළගා වුණා. ඔස්ටේ‍්‍රලියාවේ පොදු ජන උන්නතියට කැපවී ක‍්‍රියා කරන අයට වාර්ෂිකව පිරිනමන වසරේ හොඳම ඔස්ටේ‍්‍රලියානුවා රාජ්‍ය සම්මාන ක‍්‍රමයේ ප‍්‍රජා වීරයා සම්මානය (Australian of the Year – Local Hero) 2007දී ශානක ප‍්‍රනාන්දුට පිරිනැමුණා.

එහි හේතුපාඨයේ LAA හදුන්වා තිබුණේ “ගතානුගතික පාරිභෝගික සමාජය උඩුකුරු යටිකුරු කරමින්, විශ්වාසය මත පදනම් වූ ව්‍යාපාරික සංකල්පයක් සමාජ පර්යේෂණයක් ලෙස ඉදිරියට ගෙන යාමක්” හැටියටයි.

ඕස්ටේ‍්‍රලියානු කැන්බරා අගනුවර පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනයට මුල් ම LAA ‘පින් පෙට්ටිය’ තබා තිබෙනවා. එයට හේතුව LAA අවන්හල් නිසා මුල් වරට සියළු තරාතිරම්වල ඕස්ටේ‍්‍රලියානුවන්ට නිවසින් බැහැරව සිත සැහැල්ලූවෙන්, ආත්ම ගෞරවයක් ඇතිව කෑම වේලක් භුක්ති විදීමේ නිදහස ලැබුණු නිසායි. ජන සමාජයේ සමානාත්මතාවය හා පුද්ගලයන්ගේ ආත්ම ගෞරවය ඉහළින් සළකන ඔස්ටේ‍්‍රලියාව වැනි රටක මේ ඇගැයීම පුදුමයක් නොවෙයි.

LAA අවන්හල් ක‍්‍රමය දැන් ටිකෙන් ටික එරට පාසල් කැන්ටින්වලටත් හදුන්වා දීම ඇරඹිලා. 2008දී මුල් ම LAA ක‍්‍රමයේ කැන්ටිම මෙල්බර්න්හි කොලිංවුඞ් විද්‍යාලයේ පටන් ගත්තා. පාසල් තුළත්, වෙනත් හැම තැනකමත් LAA පිළි ගන්වන්නේ නිර්මාංශ ආහාර පමණයි. හැකි සැම විට ම කාබනික ක‍්‍රමයට වවන ලද එළවළු හා පළතුරු ඔවුන් යොදා ගන්නවා.

1995දී ශිෂ්‍යයකු හැටියට මුල් වරට එහි ගොස්, සරසවි අධ්‍යාපනය හමාර නොකළ ශානක ප‍්‍රනාන්දු අද මෙල්බර්න් නගරයේත්, ඔස්ටේ‍්‍රලියාව පුරාත් පරමාදර්ශී චරිතයක්. තවමත් තමන්ගේ පෞද්ගලික වත්කම් හා හිමිකම් ඉතා අල්පේච්ඡ මට්ටමින් පවත්වා ගන්නා, සරල චාම් ජීවිතයක් ගත කරන, බයිසිකලයෙන් ගමන් යන කෙනෙක්. ඔහුගේ අමුතු අත්දැකීම් ගැන දැන් ව්‍යාපාරිකයන්ට, ශිෂ්‍යයන්ට හා අනෙකුත් සභාවල නිතර දේශන පවත්වන්නට ශානකට ඇරයුම් ලැබෙනවා.

“මගේ පියාගේ ආසාව වූයේ මා BMW කාර් එකක් පදවන, මහා සුවිසල් නිවෙසක වෙසෙන ධනවත් නීතිඥයකු වනවා දකින්නයි. ඔහුගේ පැතුම මා ඉටු නොකළත් මා සිටින්නේ ඉතා සතුටින්. මගේ සේවක පිරිස සමග මා කරන මේ ව්‍යාපාරයෙන් ගුණදායක රසවත් ආහාර සමග සතුට හා සමාජශීලිත්වයත් අපි බෙදා දෙනවා,” ඔහු කියනවා.

LAA සංකල්පය දැක පැහැදීමට පත් වූ සංචාරකයන් තමන්ගේ රටවලත් එය ක‍්‍රියාත්මක කරන්නට තැත් කරනවා. ඒ ගැන සම්පූර්ණ තොරතුරු LAA සතුව නැතත්, අයර්ලන්තයේ Killarney නගරයේ දැනටමත් එබදු අවන්හලක් අරඹා තිබෙනවා යයි ශානක 2012 ඔක්තෝබර් සම්මුඛ සාකච්ඡුාවක දී කියා සිටියා.

ව්‍යාපාරික ලෝකය මේ සංකල්පය Pay-As-You-Please යයි නම් කරනවා. ශානක මුණ ගැසීමේ ලොකු ආසාවක් මට තිබෙනවා. ඔහු මගේ සම වයසේ, අසම්මත මගක ගිය තවත් කෙනකු නිසා.

එවිට මා ඔහුගෙන් අසන ප‍්‍රධාන ප‍්‍රශ්නය: අපේ ලංකාවේ මේ සංකල්පය සාර්ථකව ක‍්‍රියාත්මක කළ හැකි වෙයි ද?

Watch Shanaka speak at TEDx Melbourne 2012:

Shanaka Fernando on Social Enterprise and the Purpose of Money (2010 video)

Advertisements

One Response to “සිවුමංසල කොලූගැටයා #106: ‘ඔබ මට විශ්වාසයි’ ඕස්ටේ‍්‍රලියාවට හදුන්වා දුන් ලාංකිකයා”

  1. Varuna Rathnabharathie Says:

    I’m one of the readers of Ravaya and never miss to read your articles. Just read the article about LAA and thought to give you an example from Sri Lanka, probably you’ve already know this. There’s a small shop in Bibila Ampara road, named “Sadarana Stores”. In that shop the ‘mudalai’ is just talking to the customers and the customers weigh the goods and give money to him. But he never look at the weighing and take the money given by the customer. It’s also a classic model which I’ve never seen in our country. Unfortunately I couldn’t go deep in to this particular person’s thinking, but I’m sure that’ll be very interesting.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: