In this week’s Ravaya column (in Sinhala), I discuss the brutal, almost inhuman pressures the formal education system — schools, teachers and most parents — exert on our children.
I explored similar ground in an English essay written 10 years ago, titled Let’s Restore the Joy of Learning!
My daughter was six at the time, and I was hoping she would be spared the worst of the Lankan educational system as she grew up. Alas, things have only become worse in that decade. I’ve tried to buffer her from the worst excesses: while she does not have parental pressure to ‘get ahead at any cost’, she is being driven by her school to ‘perform’ so as to ‘maintain the school’s glory’!
See also my June 2010 blog post: Why isn’t school very cool? Have we asked our kids yet?

කලක් මගේ සහෘදයකු වූ ජ්‍යෙෂ්ඨ කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් කාලීන දේශපාලන හා සමාජයීය ප‍්‍රවණතා ගැන විනිවිද දකින සියුම් දැක්මක් තිබූ කෙනෙක්. ඔහු සිය කාටූන් හරහා විටින් විට මතු කළ තේමාවක් වූයේ විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ අධික විෂයානුබද්ධ දැනුම හා අසංවේදී ක‍්‍රියා නිසා පීඩාවට පත් වන අපේ දරුවන් ගැනයි. ඔහු එය සංකේතාත්මකව නිරූපනය කළේ සිරුරේ ප‍්‍රමාණයටත් වඩා විශාල වූ පොත් කර ගසා ගෙන ආයාසයෙන් ගමන් කරන පාසල් දරුවකුගේ රූපයකින්.
සැබෑ ජීවිතය විප‍්‍රරූපණය කිරීමට (caricaturise) කාටූන් ශිල්පීන්ට නිර්මාණාත්මක නිදහසක් තිබෙනවා. එහෙත් මීට වසර 15කට 20කට පෙර විජේසෝමයන් කී දේ ඇත්තට ම සිදු වනවා. මහ පොත් ගොන්නක් ගෙන යාම නිසා ශාරීරික ආබාධවලට පත් දරුවන් ගැන වෛද්‍යවරුන් වාර්තා කරන්නේ වසර ගණනාවක සිට. මේ නිසා වඩාත් ශ‍්‍රමක්ෂතා විද්‍යානුකූලව (ergonomically) සැකසූ බෑගයක් දරුවන්ට දීමේ උත්සාහයක් තිබෙනවා. එය හොඳ ප‍්‍රතිචාරයක් වුවත් ප‍්‍රශ්නයේ මුල එතැන නොවෙයි.
මෙතරම් පෙළ පොත් කන්දරාවක ඇති දැනුම් සම්භාරයක් නිසි සේ උකහා ගන්නට අපේ දරුවන්ට ස්වාභාවික හා සාධාරණ ධාරිතාවක් තිබේ ද? නැත්නම් නිල අධ්‍යාපන තන්ත‍්‍රයත්, දෙමවුපියනුත්, ජන සමාජයත් නිර්දය ලෙසින් මේ බර දරුවන්ගේ සිරුරට හා මනසට පටවන්නේ ඇයි?
විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ හොඳ මෙන් ම නරක ද තිබෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට අවංකව උද්ඝෝෂණය කරන අය පවා ක‍්‍රමීය මට්ටමින් පාසල් හා සරසවි ක‍්‍රමයේ දුර්වලතා ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.
මා මේ දැවැන්ත සමාජ ප‍්‍රශ්නය ගැන කථා කරන්නේ සෙද්ධාන්තිකව නොවෙයි. නුදුරු දිනයක තරගකාරී ප‍්‍රසිද්ධ විභාගයකට පෙනී සිටින දියණියක් මටත් සිටිනවා. උවමනාවට වඩා අතිශයින් පුම්බන ලද විෂයය මාලාවන් ගණනාවක බර කර ගසා ගෙන දැනුම් කන්දක් නගින්නට ඇය හා ඇගේ මිතුරියන් ගන්නා මහත් වූ ආයාසය මා බලා සිටින්නේ කම්පාවෙන් හා වේදනාවෙන්.
ගෙවී යන සෑම සතියක ම මට සිහි වන්නේ මා පාසල් යන කාලයේ නැරඹූ සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ නාට්‍යයයි. පාසලත්, ටියුෂන් පන්තියත් යන දෙකෙන් එහාට හරිහැටි නිදා ගන්නවත්, හුස්ම ගන්නවත් ඉස්පාසුවක් නැති, අතිශය පීඩාකාරී තත්ත්වයක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසු සිසුවියන් කල් ගත කරනවා. දැන් දැන් මේ තත්වය පහේ ශිෂ්‍යත්වයටත් අදාල වන බව වාර්තා වනවා.
දශක කිහිපයක් තිස්සේ අප බොහෝ දෙනෙකු (කැමති වුවත් නැති වුවත්) යෙදී සිටින්නේ මහා ලාංකික මූසික තරගය (Great Lankan Rat Race) නම් නොනවතින තරග දිවීමකයි. එයට කුඩා කල සිට ම දෙමවුපියන්, ගුරුවරුන් හා පාසල් විසින් දරුවන් සූදානම් කරන්නේ මහත් ඕනෑකමින්.
අවසාන විනිශ්චයේදී හොදින් උගෙන, විභාග ඉහළින් සමත්වී රටට ලෝකයට වැඩ දායක කෙනෙකු වීම උතුම් අරමුණක්. එහෙත් බෙහෙවින් පටු හා ඒකාකාරී ලෙසින් සකස් වූ අධ්‍යාපන ක‍්‍රමයක සීමිත අවස්ථා සඳහා අතිශය තරගකාරීව එකිනෙකා සමග කුලල් කා ගන්නට දරුවන්ට සිදුව තිබෙනවා. මෙබඳු නිර්දය පොර බැදීමකදී වඩාත් සංවේදී, ස්වාභාවයෙන් ආක‍්‍රමණශීලී හෝ තරගකාරී නොවන, තමන්ගේ ම පරිකල්පන ලෝකයට නිමග්න වූ දරුවන් මුළු ගැන්වෙනවා.
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලූපුල් පෙරේරා මේ පිළිබඳව විවෘතව අදහස් දක්වන විද්වතෙක්. කය, මනස හා පෞරුෂත්වය යන සියල්ල වර්ධනය කරන සමබර ඉගැනුමක් වෙනුවට ඉතා විශාල තොරතුරු ප‍්‍රමාණයක් ආයාසයෙන් ස්මරණය කිරීමට ළමයින්ට බල කරන අපේ අධ්‍යාපන ක‍්‍රමය ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට දැඩි අහිතකර බලපෑම් කරන බව ඔහු නිතර පෙන්වා දෙනවා.
ඔහුගේ ම වචන වලින් මෙය කෙටියෙන් කියන්නේ ‘පොත නැමැති උගුලේ පැටලිලා – පීඩනයට පත් වෙලා’ යනුවෙන්.
සමාජයට හා රටට අවශ්‍ය වන්නේත්, අධ්‍යාපනයේ අවසන් අරමුණ වන්නේත් ඇවිදින දැනුම් කෝෂ්ඨාගාර බිහි කරන්නට නොව, දැනුම, බුද්ධිය හා සමාජයීය කුසලතා යන සියල්ල මනාව තුලනය කරගත් පුද්ගලයන් බවට පාසල් දරුවන් පත් කරන්නටයි. එහෙත් වත්මන් ක‍්‍රමයේ යාන්ත‍්‍රික ලෙස කරුණු උගැනීමටත්, අතිශය තරගකාරී විභාගවලදී එය වැමෑරීමටත් දෙන විශාල ප‍්‍රමුඛතාවය නිසා පූර්ණ පෞරුෂයක් දියුණු කිරීමට තිබෙන අවස්ථා මග හැරී යන බව ඔහු කියනවා.
මෙබඳු තොරතුරු සමුදායක් මතක තබා ගැනීමට තැත් කිරීම අද වැනි තොරතුරු සමාජය ඉදිරියට ගිය කාලයක තව දුරටත් අවශ්‍ය හෝ ප‍්‍රයෝජනවත් හෝ වේද?
තොරතුරු මහ ගොඩක් ධාරණය කරගත් පමණට එය දැනුම බවට පත් වන්නේ නැහැ. දැනුම යනු අවබෝධය හා අදාලත්වය අනුව මනස තුළ සකසා ගත් තොරතුරුයි.
අපේ මොළය තොරතුරු දැනුම ලෙස ගබඩා කර ගන්නා ක‍්‍රම දෙකක් ඇති බව වෛද්‍ය පෙරේරා කියනවා. එකක් කෙටි කාලීන මතකයයි. අනෙක දිගු කාලීන මතකයයි. අප දිනපතා ලබන බොහෝ අත්දැකීම් හා අපට හමුවන තොරතුරු කෙටි කාලීන මතකයේ තාවකාලිකව රැඳුනත් දිගු කාලීන මතකයට ඒවා බහුතරයක් කිඳා බසින්නේ නැහැ.
තොරතුරක් එසේ කිඳා බසින්නට නම් අප යමක් විමර්ෂණය කොට, මනසින් කිරා මැන බලා ඕනෑකමින් ග‍්‍රහණය කළ යුතුයි. එය කාලය හා ශ‍්‍රමය වැය වන, සෙමෙන් හා ඉවසීමෙන් කළ යුතු ක‍්‍රියාවක්. දුවන ගමන් කළ හැකි දෙයක් නොවේ.
කලා, විද්‍යා, වාණිජ කෙෂ්ත‍්‍රවල ඕනෑ ම විෂයයක් උගැනීමේදී එය ක‍්‍රමානුකූලව, ආසාවෙන් කිරීම වඩාත් ප‍්‍රතිඵලදායක ක‍්‍රමයයි. එහෙත් අති විශාල ලෙස පුළුල් කරන ලද විෂයමාලාවන් සීමිත පාසල් කාලයක් තුළ උගැනීමේ අභියෝගයට මුහුණ දෙන විට මේ ප‍්‍රශස්ත ක‍්‍රමවේදයන්ට ඉඩක් ඉතිරි වන්නේ නැහැ.
සරල උපමාවකින් මොළය කළයකටත්, දැනුම ජලයටත් සමාන කරමින් වෛද්‍ය පෙරේරා කියන්නේ කළයකට ජලය පිරවිය යුතු රටාවක් හා සංයමයක් ඇති බවයි. අධිවේගීව කළයක් පුරවන්නට තැත් කළොත් එහි ස්වාභාවික ධාරිතාව දක්වා හෝ හරිහැටි පිරෙන්නේ නැහැ. ඊටත් කලින් පිටාර ගලන්නට පටන් ගන්නවා.
මිනිස් මොළය මීට වඩා අතිශයින් සංකීර්ණ වුවත් මේ උපමාව ක‍්‍රියාවලිය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත්. අද අධ්‍යාපන ක‍්‍රමය අධිවේගීව යන ගමනෙන් දරුවන්ටත්, රටටත් ප‍්‍රශස්ත ප‍්‍රතිඵල ලබා ගන්නට නොහැකි වී තිබෙනවා. හෙමින් හෙමින් සීමිත පරාසයක් වුව හොදින් ප‍්‍රගුණ කිරීම මීට වඩා ප‍්‍රයෝජනවත්.
දැනුම ඉතා ඉක්මනින් පුළුල් වන අද කාලයේ අපේ දරුවන්ට ඒ නව ලොවත් සමග පෙරට යන්නට නම් මෙකී අධිවේගී ධාවනය අත්‍යවශ්‍ය බවට සමහරුන් තර්ක කරනවා. විෂයය මාලාවන් සංශෝධනය වන හැම විටෙක ම ඒවා තව තවත් විශාල කිරීමට හේතුව ලෙස දක්වන්නේ මෙයයි.
එහෙත් මෙය තව දුරටත් පිළිගත හැකි තර්කයක් නොවේ. අද අපට අවශ්‍යව ඇත්තේ ඇවිදින දත්ත ගබඩා බිහි කිරීම නොව තොරතුරු සාගරයේ නිසි ලෙස සැරිසරමින් යාමේ කුසලතාවයත්, සොයා ගත් තොරතුරු දැනුම ලෙස අදාල කර ගෙන ගැටළු විසදීමේ හැකියාවත් ඇති පුද්ගලයන් බිහි කිරීමයි.
ලේඛකයකු, කවියකු, සාහිත්‍ය විචාරකයෙකු හා 18 වන සියවසේ ප‍්‍රාඥයකු ලෙස පිළි ගැනෙන ඉංග‍්‍රීසි ජාතික සැමුවෙල් ජොන්සන් (1709 – 1784) ඉංග‍්‍රීසි භාෂාවේ මුල් ම ශබ්දකෝෂය සම්පාදනය කළා. ඔහුගේ කාලයේ ලොව පැවති දැනුම් ප‍්‍රමාණය අදට වඩා බෙහෙවින් සීමිත වුවත් එවකට පවා හැම තොරතුරක් ම යාන්ති‍්‍රක ලෙස ධාරණය කිරීමේ තේරුමක් නැති බව ඔහු දැන සිටියා.
දැනුම පිළිබඳව හොඳ ම උපදේශයක් ඔහු දී තිබෙනවා: ”දැනුම (knowledge) දෙයාකාරයි. එක්කෝ යම් විෂයයක් ගැන අප හොඳින් දන්නවා. නැතිනම් ඒ ගැන තොරතුරු සොයා ගත හැකි ක‍්‍රමවේදයන් හා මූලාශ‍්‍රයන් අප දන්නවා. පුස්තකාලයකට පිවිසෙන අප මුලින් කළ යුත්තේ එහි සූචිය පරිශීලනය කරන සැටි දැන සිටීමයි.”
ලේඛකයකු වීම ගර්වයක් හැටියට සැළකූ මගේ පාසල් මිතුරකු සිටියා. ලේඛන කලාවට ලැදියාවක් තිබූ අප ඒ සඳහා නිර්මාණශීලී අත්හදා බැලීම් කරමින් ශිල්පීය ක‍්‍රම ප‍්‍රගුණ කර ගන්නා අතර ඔහු කළේ ශබ්දකෝෂ කටපාඩම් කිරීම පමණයි. පසු කලෙක ඔහු බර වචන දහස් ගණනක් දත්, එහෙත් හරිහැටි එක් රසවත් වැකියක් හෝ ඡ්දයක් හෝ ලියා ගන්නට නොහැකි අවසනාවන්ත තත්ත්වයට පත් වුණා.
තොරතුරු ගබඩා කිරීමේ පටු අරමුණින් කරන උගැනීමේ අවසන් ප‍්‍රතිඵලයත් මීට සමාන්තරයි. (ලේඛකයකු ලෙස මා යොදා ගත්තේ එදිනෙදා වචන සීමිත සංඛ්‍යාවක්. සංකීර්ණ සංකල්ප පවා සරල එදිනෙදා බසින් ප‍්‍රකාශ කිරීම තමයි සන්නිවේදනයේ අභියෝගය!)
දැනුම් කන්ද තරණය කිරීමේ දුෂ්කර කි‍්‍රයාවේ කිසිදු දොසක් නොදකින බොහෝ දෙමවුපියන්, ගුරුවරුන් හා පාසල් ප‍්‍රධානීන් සිටිනවා. ඔවුන් ඇතැම් දෙනාගේ මතය නම් අද කාලයේ ළමුන් සහජයෙන් “අලස” බවත්, මෙබඳු දරදඩු විනයකට යටත් නොකළොත් ඔවුන් කිසි දිනෙක සිය උත්සාහයෙන් විෂයයන් උගෙන විභාග සමත් නොවනු ඇති බවත්. ඉඳහිට ඇතැම් දරුවන් ගැන මෙය අදාල විය හැකි වුවත්, මානසික හිංසනයක් පොදුවේ සාධරණීකරණය කරන්නට මෙය තර්කයක් ලෙස යොදා ගැනීම බිහිසුණුයි.
තරග විභාග ආසන්න වන විට ඇතැම් දරුවන් මානසික රෝගවලට ගොදුරු වන්නේත්, ආන්තික අවස්ථාවල සිය දිවි නසා ගන්නේත් මේ දැඩි පීඩනය දරා ගත නොහැකි වූ විටයි. කලකට ඉහත ඉඳහිට වාර්තා වූ මෙබඳු අවාසනාවන්ත සිදුවීම් දැන් හැම තරග විභාගයක් ගැන ම වාර්ෂිකව අසන්නට ලැබෙනවා.
2002දී ඉංග‍්‍රීසි ලිපියක් ලියමින් මා තර්ක කළේ මේ කුරිරු අධ්‍යාපන ක‍්‍රමය අපේ රටේ ඉතා පුළුල්ව හා ආයතනගතව සිදු වන ළමා අපයෝජනයක් බවයි. දශකයක් ගත වීමෙන් පසු ඒ තත්ත්වය උග‍්‍ර වී ඇතත් විසඳුමක් පෙනෙන්නට නැහැ.
විජේසෝමගේ කාටූන් හා සෝමලතා සුබසිංහගේ නාට්‍ය හරහා කලක් තිස්සේ ලක් සමාජයට කියන දෙය තව දුරටත් නොසළකා සිටීමට බැරි මට්ටමට ප‍්‍රශ්නය උඩු දුවා ඇති බව පෙනෙනවා. කුහකකම්, පටු මානසිකත්වයන් හා බොරු මානයන් පසෙක දමා අපේ දරුවන් බිහිසුණු අධ්‍යාපන ක‍්‍රමයෙන් බේරා ගත යුතුව තිබෙනවා.
උගත්කම ඉහළින් අගය කරන සමාජයක් මේ ආකාරයට දැනුම හඹා යන්නට හා එය ඊළඟ පරපුරට කාවද්දන්නට තැත් කිරීම තේරුම් ගත හැකියි. එහෙත් අප කරන දෙයින් හොඳට වඩා නරකක් සිදු වේ නම් ඒ ගැන යළිත් සිතා බැලිය යුතුයි නේද?
පසු ගිය වසරක ආපසු මව් රට ගොස් දිගටම ඉන්නට සිතා ළමයින් පාසල් යැවුවා . හතර වසරේ උන් මා දියණියගේ පොත් බෑගය ගැන කම්පාවට පත් මා ගුරුතුමිය සමග කතා කළා . එදිනෙදා ගෙදර වැඩ ඇති පොත් පමණක් ගෙදර ගෙන යාමට වැඩ පිළිවෙලක් සකස් කළා . ස්වල්ප ප්‍රමාණයකින් බර අඩු වුනා . අච්චු පොත් කොටස් කීපයකින් මුද්‍රණය කිරීම , සටහන් ලිවිම වෙනුවට ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රම යොදා ගැනීම ටිකක් අපහසු වුවත් දිගු කාලින යහපත් පල උදාකරාවී .
අපි ආපසු ආවා . කඩදාසි භාවිතය අඩු පාසලක ඔවුන් ඉන්නේ . නමුත් පහේ පන්තියේ දියණියට පාසලෙන් දුන් පරිගණකය දිනපතා ගෙනයනවා . ලොකු බරක් . මවක් ලෙස මා කණගාටුවෙන් ඒ බර ගැන .
මේ මි පොරය අපට පමණක් නොවේ . ආසියාවටම පොදුයි. ජපන් කොරියන් සිංගප්පුරු ළමයි ලෝකේ කොහේ උන්නත් අමතරව තමන්ගේ විෂය මාලාව සිය බසින් හදාරනවා .
තරගයක් නැතුව ළමා කාලය සතුටින් ගෙවනා මගේ ළමයි ආපසු ආ කල දේශීය පාසලකට දමන්න නොහැකියි . අනෙක් අතට මි පොරයට හසු නොවූ ඔවුන් අනාගතයේ දවසක අධි තරඟයට හුරු වූ සමාජයක අතරමන් වේද ?? ඉඳහිට මට එසේද සිතෙනවා
This phenomenon completely connected with the crisis of capitalist system. Solving problems of development of society is the remedy for all this kind of secondary problems of capitalist crisis.