සිවුමංසල කොලූගැටයා #86: නව අදහස් හා නිපැයුම් බදා ගනිමු ද – බෙදා ගනිමු ද?

In this week’s Ravaya column (in Sinhala), published in issue for 7 Oct 2012, I share my impressions of Sahasak Nimawum, the first national inventors exhibition of Sri Lanka held on Sep 30, Oct 1 and 2 in Colombo.

Organised by Sri Lanka Inventors Commission, it brought together over 900 innovations – including some 400 by school children from around the island.

I spent many hours at the exhibition, talking to dozens of exhibitors and taking hundreds of photos. Clearly, I can only share a few overall impressions in a column like this. I’ll be using the other info in my future writing aimed at critically cheerleading innovation in Sri Lanka.

Sahasak Nimawum 2012 entrance – photo Janaka Sri Jayalath

සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනයේ තෙදින ම මා හැකි තරම් කල් එහි ගත කරමින් 900කට අධික ප‍්‍රදර්ශන කුටිවලින් බහුතරයක් නැරඹුවා. හැකි හැම විටෙක ම නව නිපැයුම්කරුවන් සමඟ ඔවුන්ගේ නිර්මාණ ගැන කථා බහ කළා. මේ තොරතුරු ගවේෂණය නව නිපැයුම් ගැන මා කරන මාධ්‍ය කටයුතුවලට ප‍්‍රයෝජනවත් වන අතරේ එය මගේ දැක්ම පුළුල් කිරිමටත් දායක වුණා.

නව නිපැයුම් තේමාව යටතේ පමණක් ජාතික මට්ටමින් මෙබඳු ප‍්‍රදර්ශනයක් පැවැත්වු ප‍්‍රථම වතාව මෙයයි. මෙරට නව නිපැයුම් එක් තැන් කැරෙන විවිධාකාරයේ ප‍්‍රදර්ශන පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) තම වාර්ෂික සැසිවාරයට අනුබද්ධිතව ඔක්තෝබරයේ පවත්වන Techno ප‍්‍රදර්ශනයේ විශේෂ අංගයක් වන්නේ නව නිපැයුම්කරුවන්ගේ තරඟයයි. ශ‍්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS), ඇතැම් සරසවි හා ප‍්‍රධාන පෙළේ පාසල් ද නව නිපැයුම් තරඟ හා ප‍්‍රදර්ශන සංවිධානය කරනවා. මේ සියල්ල ප‍්‍රශංසනීයයි.

එහෙත් රාජ්‍ය ආයතනයකට ඇති පුළුල් කැඳවීමේ හැකියාව (convening power) ඔවුන්ට නැහැ. සහසක් නිමැවුම් සඳහා දීපව්‍යාප්ත නියෝජනයක් ලබා ගන්නට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එම හැකියාව දක්‍ෂ ලෙස භාවිත කළා. තොරතුරු ඒකරාශි කිරීමේ හා බෙදා හැරීමේ යම් අඩුපාඩු තිබුණත් ප‍්‍රථම උත්සාහයක් හැටියට සහසක් නිමැවුම් පිළිබඳව අපේ ප‍්‍රණාමය කොමිසමේ සමස්ත කාර්ය මණ්ඩලයට ම හිමි වියු යුතුයි.

සහසක් නිමැවුම් අත්විඳි මගේ නිරීක්‍ෂණ කිහිපයක් තිබෙනවා. ප‍්‍රදර්ශනයේ මා සිත්ගත් නව නිපැයුම් ගැන වෙන වෙන ම විස්තර කරනු වෙනුවට මෙබඳු කොලමකින් කළ හැක්කේ ප‍්‍රවණතා ගැන සටහනක් කිරිමයි.

ප‍්‍රදර්ශනය ජාතික වශයෙන් වැදගත් කෙෂත‍්‍ර 7කට තේමා වශයෙන් ගොනු කර තිබුණා. එනම් ආබාධිත පුද්ගලයන් වඩාත් ස්වාධීන කිරීම, ආහාර පාන, පරිසර සංරක්‍ෂණය, බලශක්ති විසඳුම්, පොදුජන ආරක්‍ෂාව, අධ්‍යාපනික උපකාරක, හා පිටරටින් ගෙන්වන දේට නිසි ආදේශක. නිල මට්ටමින් මෙසේ වර්ග කළත් බොහෝ නව නිපැයුම්කරුවන් කරන්නේ තමන් අවට පරිසරයේ හා ජන සමජයේ ප‍්‍රශ්න විසඳන්නට තැත් කිරීමයි.

දිගු කලක් ලක් සමාජයේ නිසි අවධානයට ලක් නොවූ ආබාධිත පුද්ගලයන්ගේ සුවිශේෂී අවශ්‍යතා ගැන නව නිපැයුම්කරුවන් දැන් වැඩියෙන් ප‍්‍රතිචාර දක්වනවා. වැඩි දියුණු කළ කිහිලිකරු, අතක ඇඟිලි අහිමි අයට දෘඩ ග‍්‍රහනය (grip) ලබා දෙන උපාංග, කෘත‍්‍රිම අත් හා පාද ආදීය දේශිය අමුද්‍රව්‍ය යොදා නිපදවීමේ උත්සාහයන් කිහිපයක් තිබුණා. වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරුවන් හා අනෙක් විද්වතුන් බහුතරයක් ආබාධ ඇති අයගේ අවශ්‍යතා දිගින් දිගට නොතකා හරින රටක නව නිපැයුම්කරුවන් ඒවාට විසඳුම් සොයා යාම අගය කළ යුතුයි.

මා දුටු බොහෝ නව නිපැයුම් විප්ලවකාරී නොවූවත් පුද්ගල හෝ නිවෙස් මට්ටමින් එදිනෙදා දිවියේ ආයාසය අඩු කොට ආරක්‍ෂාව ද වැඩි කළ හැකි ආකාරයේ දියුණු කිරිම්. බිම් මට්ටමේ නවෝත්වාදනය ගැන ලොව ප‍්‍රමුඛ පෙළේ විශේෂඥයකු වන ඉන්දියානු ආචාර්ය අනිල් කේ. ගුප්ත පුන පුනා කියන්නේත් අපේ වැනි රටවලට වැඩිපුර ම අවශ්‍ය මේ ආකාරයේ නිපැයුම් බවයි.

Jaffna school girls presenting one of their inventions – Photo by Janaka Sri Jayalath

ගෘහනියන්ට, ගොවීන්ට, කම්කරුවන්ට හා අනෙක් වැඩ කරන ජනතාවට සුළු මට්ටමින් හෝ සහනයක් හා වියදම් ඉතිරි කිරීමක් ගෙන දිය හැකි, නොවිසඳුණු අභියෝග ගැන 2012 ජනවාරි 8 කොලමින් මා විග‍්‍රහ කළා. මේ අභියෝග සමහරකට අපේ පාසල් දරුවන් හා වැඩිහිටි නිපැයුම්කරුවන් දැන් ප‍්‍රතිචාර දක්වනවා. පේටන්ට් මට්ටමට යා හැකි වූවත් – නොවූවත්, පොදු උන්නතිය සළකා බලා මේවා හැකි තාක් ප‍්‍රවර්ධනය කළ යුතුයි.

බුද්ධිමය හිමිකම් රැක ගැනීම හැම නිපැයුම්කරුවකුගේ ම අයිතියක් හා වගකීමක්. එහෙත් අප ගිය සතියේ කථා කළ පරිදි මෙරට ඇතැම් නිපැයුම්කරුවන් පේටන්ට් හඹා යාම උන්මාදයක් කර ගෙන තිබෙනවා. පේටන්ට් එකතු කිරිමෙන් ඔබ්බට නොයන නිපැයුම්කරුවන්ගේ ඔවුන්ට හෝ සමාජයට හෝ එතරම් ප‍්‍රයෝජනයක් නැහැ.

අපේ වැනි රටක වසරකට පේටන්ට් නිකුත් කැරෙන සංඛ්‍යාව ඉහළ නැංවිය යුතු නමුත් එ්වා වෙළඳපොළට හෝ සමාජයට ගෙන ඒම ගැන මීට වඩා උනන්දුවක් ද තිබිය යුතුයි. එමෙන්ම මාධ්‍ය හරහා සහ මහජන ප‍්‍රදර්ශන ඔස්සේ සිය නව අදහස් රටට ඉදිරිපත් කිරීමටත්, ඒ ගැන විචාරයන්ට නිසි ප‍්‍රතිචාර දීමටත් හැකි පෞරුෂය අපේ නිපැයුම්කරුවන් තුළ ඇති කළ යුතුයි.

ප‍්‍රදර්ශනයේ සිය නිර්මාණ පෙන් වූ 400ක් පමණ පාසල් දරුවන් අතර උතුරු නැගෙනහිර පළාත්වලින් ආ දරුවන් රැසක් ද සිටියා. යුද්ධය පැවති කාලයේ ඉතා දුෂ්කර දිවි ගෙවූ ඔවුන් හැම සම්පතක් ම සකසුරුවම් ලෙසින් ප‍්‍රයෝජනයට ගන්නට පෙළැඹුණු බව අනුමාන කළ හැකියි.

එකල විදුලි බලය නොමැතිව, බැටරි අලෙවිය ද තහනම් වූ නිසා බයිසිකල් ඩයිනමෝ හරහා රේඩියෝ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කළ බව මා අසා තිබුණා. බලශක්තිය, ආහාර කල් තබා ගැනීම, කුඩා කර්මාන්ත ආදී ක්‍ෂෙත‍්‍ර රැුසකට උපකාර වන නව අදහස් ත‍්‍රිකුණාමලය, මන්නාරම, යාපනය හා මඩකලපුව දිස්ත‍්‍රිකක්වලින් ආ පාසල් සිසුන් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ඉංග‍්‍රීසි බස හැසිරවීමත්, පෞරුෂයත් ඇතැම් දකුණේ පාසල් දරුවන්ට වඩා ඉහළයි. මේ නිර්මාණශීලිත්වය නිසි මඟට යොමු කිරීම අප කාගේත් වගකීමක්.

සහසක් නිමැවුම් ප‍්‍රදර්ශන කුටි සිය ගණනක් අතර සැරිසරු මට විවිවධාකාරයේ චරිත මුණ ගැසුණා. ඉතා වැඩි දෙනෙකු මගේ සුහද ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේ උද්‍යොගයෙන්. එහෙත් පාසල් සිසුන් ගණනාවකගේ නව නිමැවුම් එක් රුස් කළ එක් තැනෙකදී පමණක් ඒ විවෘත බව තිබුණේ නැහැ. මාධ්‍ය භාවිතය සඳහා ජායාරූප ගැනීම පවා ඔවුන් ප‍්‍රතික්‍ෂෙ කළා. එහි සිටි පාසල් දරුවන් කීවේ තමන්ගේ අදහස් “කොල්ලකෑම වළක්වන්නට” එසේ පියවර ගන්නා බවයි.

බුද්ධිමය හිමිකම් ගැන දැනුවත්වීම ඉතා හොඳයි. ඒත් මහජන ප‍්‍රදර්ශනයකට පැමිණ තොරතුරු බෙදා නොගෙන බදා ගෙන සිටීමේ තර්කානුකූල බවක් නැති බව ඔවුන් තේරුම් ගත්තේ නැහැ. මෙය කොළඹ ආනන්ද විද්‍යාලයේ නිල ස්ථාවරය ද යන්න විමසන්නට ගුරුවරයකු හෝ වැඩිහිටියකු ඒ මොහොතේ එහි සිටියේ නැහැ.

අදහස් “කොල්ලකන්නට” එන්නේ කවුදැයි මා ඇසු විට එයට පිළිතුරු දීමට මේ දරුවන්ට හැකි නොවුවත්, ව්‍යාපාරිකයන්ගෙන් හා විදේශිකයන්ගෙන් ප‍්‍රවේශම් විය යුතු බව එක් අයෙක් යාන්තමට සඳහන් කළා.

ලක් සමාජයේ මෙබඳු “බිල්ලන්” ගැන පුළුල්ව පැතිර ඇති භීතිකාව දැන් කුඩා දරුවන්ටත් වැළදී තිබෙන බව පෙනෙනවා. එහෙත් බොහෝ දෙනෙකු නොදකින අදිසි උවදුරු ගැන ඉඟියක් ද ප‍්‍රදර්ශන කුටි සමහරෙක දී මට අසන්නට ලැබුණා.

පොතෙන් ඉහළට ඉගෙන සමාජ සම්මතයේ උගතුන් යයි කියන පිරිසක් සිටිනවා. බොහෝ නව නිපැයුම් බිහි වන්නේ ඒ උගතුන් හා වෘත්තීය පර්යේෂකයන් අතින් නොව සැබෑ ලෝකයේ ජීවන අරගලයේ යෙදෙන ගැහැණුන් හා මිනිසුන් අතින්.

මෙරට නව නිපැයුම්කරුවන් බහුතරයක් විද්‍යා උපාධිධාරීන් නොවෙයි. ඇතැම් දෙනා තාක්‍ෂණවේදීන් (technicians) හා කාර්මිකයන් (mechanics). තවත් සමහරුන්ගේ ජීවිකාව සම්පුර්ණයෙන් වෙනස් දෙයක්. මේ අය මතු කරන නව අදහස්, ප‍්‍රායෝගික නිපැයුම් දක්වා ගෙන යන්නට යම් විද්වත් දැනුමක් අවශ්‍ය වන අවස්ථා තිබෙනවා. එහිදී මුල් සංකල්පයේ බුද්ධිමය හිමිකම් සුරැකෙන පරිදි ඒ මග පෙන්වීම ලැබිය යුතුයි. එහෙත් බොහෝ විට මෙරට සිදු වන්නේ පොතේ උගතුන්ගේ අධිපතිවාදයට නිපැයුම්කරුවන් නතු වී අසරණවීමයි!

සැබෑ අදහස් කොල්ලකෑම කලක් තිස්සේ සිදුවන්නේ අපේ සමහර සරසවි හා පර්යේෂණායතන තුළයි. (මේ ගැන සාක්ෂි මා ළඟ තිබෙනවා.) පොතෙන් උගත් අපේ උදවිය නව නිපැයුම්කරුවන් ගැන දක්වන අධිමාන ආකල්පය වෙනස් වන තුරු මේ දෙපිරිස අතර සාධාරණාත්මක (equitable) සහයෝගයක් ඇති වන්නේ නැහැ.

“ඔය මජං බාස් උන්නැහේලා සහ කම්මල්කාරයෝත් එක්ක අපි වගේ අයට පුළුවන් ද එකට වැඩ කරන්න?” ඉංජිනේරු ක්‍ෂෙත‍්‍රයේ ආචාර්ය උපාධි ලද මගේ මිතුරෙක් වරක් අවඥවෙන් කීවා. “මහන්සි වෙලා ඉගෙන ගත්තෙ නැත්නම් අපිත් එ් අය වගේ තමයි!”

ආචාර්ය අනිල් ගුප්ත වැනි පුළුල් දැක්මක් ඇති විද්වතුන් නැති අපේ රටේ මෙවැනි අධිපතිවාදීන් තමන්ට රිසි සේ නව නිපැයුම්කරුවන් සියුම් ලෙස ගසා කනවා. මේ ගැන හඬක් නැගීමට පවා නොහැකි තරමට අපේ නිපැයුම්කරුවන් අසරණයි. පේටන්ට් ඉල්ලූම්පත් ඇගැයීමට, සම්මාන විනිශ්චය කිරීමට රාජ්‍ය ආයතන හැම විට ම යොදා ගන්නේ පොතේ උගතුන්. මේ නිසා අධිපතිවාදය තවත් තහවුරු වනවා.

සහසක් නිමැවුම් ප‍්‍රදර්ශනයේ තම නිපැයුම් පෙන් වූ සම්මානලාභී නිපැයුම්කරුවන් සමහරකුටත් මෙබඳු උගතුන්ගෙන් අයුතු යෝජනා ලැබී තිබෙනවා. “ඔබේ නිපැයුම ගැන ආචාර්ය උපාධියක් කරන්නට මගේ ශිෂ්‍යයකුට ඉඩ දෙන්න” යයි එක් උගතකු කියනවා. එබඳු බොහෝ අවස්ථාවල දැඩි උත්සහයෙන් නව අදහස් ගෙන ආ නිපැයුම්කරුවා පත් වන්නේ “පර්යේෂණ සහකාරක” මට්ටමට.

මේ අධිපතිවාදය ගැන විවෘතව සිය නමින් මාධ්‍ය හරහා කථා කරන්නට කිසිදු නිපැයුම්කරුවකු ඉදිරිපත් නොවන්නේ ප‍්‍රතිප‍්‍රහාර එල්ල වීමේ බියෙන්. ඇත්තට ම දරුවන් බිය විය යුත්තේ මේ උගත් මහත්-හොරුන් කරන බුද්ධිමය කොල්ලයන් ගැනයි.

වාර්ෂිකව ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනයක් පවත්වන්නට කොමසාරිස් දීපාල් සුරියආරච්චිට ලොකු ඕනෑකමක් තිබෙනවා. ඉදිරි වසරවලට යෝජනාවක්: තමන්ගේ නිපැයුම් පෙන්වන හා අන් අයගේ නිපැයුම් බලන අතරේ නව නිපැයුම්කරුවන්ට නිරවුල් නීතිමය හා තාක්‍ෂණික මග පෙන්වීම ලබා දෙන සාකච්ඡ පැවැත්විය හැකි නම් අගෙයි.

අපේ ටෙලිවිෂන් නාලිකාවලින් මීට වඩා මෙබඳු ධනාත්මක තොරතුරු ආවරණය වීම ද අවශ්‍යයි. ඉඳහිට සම්මානයක් දිනු නිපැයුම්කරුවකු හුවා දැක්වීම පමණක් මදි. නවෝත්පාදනය වටා බැඳුණු ආර්ථික හා සමාජයීය සාධක ගැන දිගින් දිගට අප සමාජයේත්, මාධ්‍ය හරහාත් සංවාදයක් ගොඩ නැගිය යුතුයි.

තමන්ගේ නව අදහස් හා නිපැයුම්වල අභිමානය පවත්වා ගන්නා අතර සැබෑ හෝ මවා ගත් කොල්ලකෑම්වලට නිසි ආරක්‍ෂිත උපක‍්‍රම ගන්නට නිපැයුම්කරුවන් සවිමත් කළ යුතුයි. බදා ගන්නවා වෙනුවට බෙදා ගැනීම වටිනා බව ඔවුන්ට අප තර්කානුකූලව පහදා දීම අවශ්‍යයි.

Photos: ජනක ශ‍්‍රී ජයලත්

Asurumuni Didula Loliya, a student of Matugama St Mary’s College, shows his mobile colour light – Photo by Janaka Sri Jayalath

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: