In this Ravaya column, in Sinhala and printed in the Ravaya newspaper of 3 July 2011,
I point out that a certain speech said to be uttered by a native American chief is, in fact, a latter day script by a filmmaker.
The same ground was covered in English in my April 2009 blog post: ‘Chief Seattle speech’: Global environmental legend, or pervasive myth?
අද්භූත හෝ අහඹු සිදුවීම් පාදක කර ගත් කථාන්තරවලට අපි මිථ්‍යා (myths) යයි කියනවා. දේව විශ්වාස, ඇදහිලි ආදියත් ඇතැම් අය මේ ගණයට ම එකතු කරනවා. ඒවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මිථ්‍යාවන්ට දැඩි ඇල්මක් එදා මෙන් ම අදත් මිනිස් සමාජයේ තිබෙනවා. 21 වන සියවසට පිවිසියත් අප ඇතැම් දෙනකු තවමත් නූතන මිථ්‍යාවන් වැළඳගන්නේ ඒ නිසයි. එබදු මිථ්‍යාවන්, උගත් හා වෘත්තිකයන් සේ පුහුණව ලැබූ අය අතරත් හමුවනවා. ‘සියැටල් නායකයාගේ මහා දාර්ශනික පාරිසරික පණිවුඩය’ එයින් එකක්.
මේ කථාවේ කතුවරයා ලෙස බොහෝ දෙනා සළකන්නේ Chief Seattle නමින් ප‍්‍රකට, 1780-1866 කාලයේ වාසය කළ අමෙරිකාවේ ආදිවාසී ජන නායකයෙක්. (ඉතිහාසයේ වැරදි නම් කිරීමක් නිසා කලක් මේ ජනයාට ‘රතු ඉන්දියනුවන්’ යයි කීවත් අද ඒ නම භාවිතයේ නැහැ.) ඒ ආදිවාසීන්ගේ නිජබිම්වල 16 හා 17 වන සියවස්වල පැමිණ පදිංචි වූ යුරෝපීය සුදු ජාතිකයන් සමග සාමකාමීව සහජීවනය වෙත යොමු වූ නායකයකු ලෙස සියැටල් ඉතිහාසගත වී තිබෙනවා. ඔහුගේ නම විවිධාකාරයෙන් ලියනවා. Sealth, Seathl හා See-ahth වශයෙන්. එහෙත් වඩාත් ම ප‍්‍රකට සියැටල් නායකයා හැටියටයි. මිනිසාගේ පාරිසරික වගකීම් ගැනත්, මිහිතලය හා අප කරන ගනුදෙනුව ගැනත් උදාර අදහස් පළ කළ කෙනකු ලෙස අප ඔහු ගැන අසා තිබෙනවා.
ඊට වසර කිහිපයකට පසු සුදු ජාතික වෛද්‍යවරයකු හා ලේඛකයකු වූ හෙන්රි ස්මිත් මුල් වරට ඒ කථාවේ ඉංග‍්‍රීසි අනුවාදයක් සකස් කළා. ඒ සඳහා ඔහු කිහිප වතාවක් සියැටල් නායකයා මුණ ගැසී කථා බහ කළත් ඔහුගේ අනුවාදයට වැල්වටාරම් හා මනරම් අදහස් එකතු කළ බව ඇන්ඩි කාර් (Andy Carr) නම් අමෙරිකානු පරිසරවේදියා හා පර්යේෂකයා විශ්වාස කරනවා.
1887දී මේ ඉංග‍්‍රීසි අනුවාදය මුල් වරට Seattle Sunday Star පුවත්පතේ පළ වුණා. එයින් පසු විවිධ දාර්ශනික, ආගමික හා පාරිසරික ප‍්‍රකාශනවල එය නැවත නැවතත් පළ කරනු ලැබුවා. 1969 දී අමෙරිකාවේ ටෙක්සස් විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය විලියම් ඇරෝස්මිත් (Prof William Arrowsmith) නැවත වරක් එය කාලානුරූපිත ලෙස සංස්කරණය කළා.
1970 අපේ‍්‍රල් 22 දා අමෙරිකාවෙන් ඇරඹුණු මිහිතල දිනය (Earth Day) සඳහා පරිසරවේදීන් මිලියන් 20ක් දෙනා යොදා ගත්තේ ඒ සංශෝධිත කථාවයි. ඒ වන විට වාත දුෂණය, ජල දුෂණය හා රසායනික ද්‍රව්‍ය අධික ලෙස ආහාරපානවලට මිශ‍්‍රවිම ආදී කරුණු ගැන අමෙරිකානු ජනතාව දැනුවත් වෙමින්, කලබල වෙමින් සිටියා. මේ කාලීන සිතුම් පැතුම් මහාචාර්යවරයාගේ සංශෝධනයට ඔහු ඇතුළත් කළා.
මේ සංශෝධිත කථාව මුල් මිහිතල දිනයේදී ඇසු අය අතර ටෙඞ් පෙරී (Ted Perry) නම් චිත‍්‍රපට තිර රචකයකු ද සිටියා. ඊට ටික දිනකට පසුව එරට කි‍්‍රස්තියානි ටෙලිවිෂන් සමාගමක් (Southern Baptist Television Commission) ඔහුට ඇරයුම් කළා ඒ වන විට සිදුවෙමින් තිබූ පරිසර විපත් පිළිබඳව කිතු දහම පදනම් කරගෙන සාමයිකව විග‍්‍රහ කරන වාර්තා චිත‍්‍රපටයක් රචනා කරන්නට.
සියැටල් නායකයා 1970 දී සිටියා නම්, එවකට මතු වී තිබූ පාරිසරික ප‍්‍රශ්න හා සංවර්ධන පිළිබඳ සංකල්පමය අර්බුද ගැන ඔහු කුමක් කියනු ඇත්දැයි ටෙඞ් පෙරී කල්පනා කළා. මේ අනුව යමින් සියැටල් නායකයාගේ කථාවේ අළුත්ම ප‍්‍රතිනිර්මාණයක් ඔහු ලයාන්විත හා කාව්‍යමය බසින් තිර රචනයකට නැගුවා. මුල් කථාවේ නොතිබුණු දෙවියන් පිළිබඳ ක‍්‍රිස්තියානි සංකල්පත් ඔහු මේ තිර රචනයට එකතු කළා. 1973දී මේ වාර්තා චිත‍්‍රපටය එළි දැක්කේ Home නමින්. චිත‍්‍රපටයට වඩා විශාල ජනප‍්‍රියතාවයක් ලැබුණේ එහි යොදා ගත් සියැටල් නායකයා කළා යැයි කියන දාර්ශනික කථාවටයි.
පසුගිය වසර 40කට අසන්න කාලයක් තිස්සේ ලොව පුරා ප‍්‍රචලිත වී, විවිධ භාෂාවලට පෙරැළී ඇත්තේ මෙසේ හෙන්රි ස්මිත්ගේ මුල් අනුවාදය, විලියම් ඇරෝස්මිත් විසින් කාලානුරූපීව සංශෝධනය කර ටෙඞ් පෙරී විසින් ප‍්‍රතිනිර්මාණය කරන ලද කථාවයි! එඞ්වින් ආරියදාස හා ධර්මසිරි ගමගේ යන ලේඛකයන් මෙහි අගනා සිංහල අනුවාදයන් කර තිබෙනවා.
1980 දශකය අගවන විට ලොව පුරා පාරිසරික ශුද්ධ ලියවිල්ලක මට්ටමට පිළිගැනීමක් ලැබුණු මේ කථාවේ ඓතිහාසික විශ්වාසනීයත්වය ගැන ටික දෙනකු ප‍්‍රශ්න කරන්නට පටන් ගත්තා. සියවසකට වැඩි කාලයක් පුරා සියැටල් නායක කථාවේ පරිනාමය ගැන ජෝන් ස්කල් (John Scull) නම් පර්යේෂකයා විස්තරාත්මකව අධ්‍යයනය කළා. ආදිවාසී නායකයකුගෙන් පටන්ගෙන ක‍්‍රිස්තියානි වාර්තා චිත‍්‍රපටයකින් හමාර වූ ඒ ගමනේදී, මුල් අදහස් විශාල වශයෙන් වෙනස් වී ඇති සැටි ඔහු සාක්‍ෂි සහිතව පෙන්වා දුන්නා. (සාමයික කලා කෘතීන් ගැන මට ප‍්‍රශ්නයක් නැහැ. මෙහිදී අප කථා කරන්නේ පසු කාලීනව සාමයික මුහුණුවරක් දීමෙන් මුල් කෘතිය විකෘති වීම ගැනයි. එහෙත් ‘මුල් කෘතිය’ කුමක්දැයි කිසිවකු හරිහැටි නොදන්නා නිසා සිදු වී ඇති වෙනස්කම් සිතාගන්නටත් අමාරුයි!)
1992 වන විට මේ සැබෑ තත්ත්වය හෙළි කරන ගවේශණාත්මක වාර්තා New York Times හා Newsweek ප‍්‍රකාශනවල පළ වුණා. එහෙත් ඒ වන විට සියැටල් නායක කථාව ලෝක ව්‍යාප්ත මිථ්‍යාවක් බවට පත් වී හමාරයි. ‘සියැටල් නායකයා මෙබදු අදහස් සැබැවින් ම කීවත්, නොකීවත් ඔහු වැනි ශ්‍රේෂ්ඨ පරිසරවේදියකුගේ මුවට මෙබදු අදහස් ආරෝපණය කිරීමේ වරදක් නැතැයි’ පරිසරවේදීන් තර්ක කළා.
එය ප‍්‍රශ්න කරන අයට පරිසරවේදීන්ගෙන් දැඩි විවේචන එල්ල වුණා. ‘සම්ප‍්‍රදායික දැනුම හෙළා දකින්නට උත්සාහ කරන සුදු ජාතික කුමන්ත‍්‍රණයක කොටස්කරුවන්’ හැටියට හදුන්වා දෙනු ලැබුවා. (2009 අපේ‍්‍රල් 22 වනදා මගේ බ්ලොග් අඩවියේ මේ ගැන විග‍්‍රහයක් මා ලියා පළ කළා. එයට ලැබුණු පාඨක ප‍්‍රතිචාර බහුතරයක් ද මේ ආකාරයේ එවායි. ආදිවාසී දැනුම හෙලා දකින බටහිර ඒජන්තයෙකු ලෙස ඇතැම් පාඨකයන් මට අවලාද නැගුවා. (http://tiny.cc/Seattle බලන්න).
ජෝන් ස්කල් මීට වසර කිහිපයකට පෙර මුලින් මතු කළ, මා මතවාදීව එකග වෙන තර්කය මෙයයි. පරිසරය රැකගන්නට අධ්‍යාත්මික හා චින්තනමය වෙනසක් ද අවශ්‍ය බව ඇත්ත. එහෙත් කාව්‍යමය බසින් විසිතුරු වුණු, තාර්කික බවින් හීන වූ මෙබදු ලියැවිල්ලක් කරන්නේ මානව පරිනාමය ගැන අප තුළ මහා කලකිරීමක් හා ඉච්ඡභංගත්වයක් ඇති කිරීමයි. ගොඩ ගන්නට බැරි තරම් අසාධ්‍ය වුණු රෝගියකුගේ මට්ටමට මිහිතලය පත්ව ඇතැයි අදහසක් ද එයින් ජනිත වෙනවා. පරිසරය හා මිනිසා අතර යම් තුලනයක් හා සංහිදියාවක් ඇති කිරීමට අවශ්‍ය මානසික රාමුව මෙය යයි මා සිතන්නේ නැහැ.
1990දී ආචාර්ය ආනන්ද ඩබ්ලිව් පී ගුරුගේ මහාවංශයේ සඳහන් වන ප‍්‍රධාන ඓතිහාසික අවස්ථා පාදක කර ගෙන නිර්මාණාත්මක කෘතියක් ලිව්වා. ‘Voices of Ancient Sri Lanka’ නම් එහි අඩංගු වූයේ මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානවලදී එවකට විසූ රජවරුන් හා අනෙකුත් ප‍්‍රභූන් පවත්වන්නට ඇතැයි අනුමාන කළ හැකි මහජන කථා පෙළක්. එය පසුව ‘ශ්‍රී ලංකා ප‍්‍රතිරාවය’ නමින් සිංහලෙන් ද පළවුණා.
ඒ පොතේ ලියැවී ඇති වදන්මාලා ගුරුගේ සූරීන්ගේ පරිකල්පනයෙන් මතු වූ, ඔහුගේ කෘතහස්ත ශෛලියෙන් ඔප් වැටුණු ඒවායි. සැබැවින් ම ඒ පුද්ගලයන් එම අදහස් කී බවට තිරසාර සාක්‍ෂි නැහැ. එහෙත් එසේ වූ පමණට එම කතා රසවීදීමට අපට බාධාවක් ද නැහැ. සියැටල් නායකයාගේ කථාවත් මෙයට සමාන තත්ත්වයක්.
සියැටල් නායකයා හරබර කථාවක් කරන්නට ඇති. එය ඔහුට ම ආවේණික උපමා, රූපක ආදියෙන් පිරී තිබෙන්නටත් ඇති. එහෙත් අද ලෝකයේ සංසරනය වන විචිත‍්‍ර කථාව සියැටල්ගේ නොව තිර රචක ටෙඞ් පෙරීගේ බව සිහි තබා ගැනීම වැදගත්. චිත‍්‍රපටය පරිකල්පනාවේ නිදහස ඇති කලාවක්. අප සැබෑ ලෝකය හා පරිකල්පනා ලෝකය අතර වෙනස හදුනාගත යුතුයි.
සියැටල් නායකයා මහ පොළවේ පය ගසා ගෙන එහි හද ගැස්ම හදුනාගත් අය බවට විවාදයක් නැහැ. තමන් මිහිතලය සමග නිරන්තර ගනුදෙනුවක් කරමින් සිටින බවත්, එහිදී ඕනෑවට වඩා උකහා ගත්තොත් එහි අහිතකර විපාක විදින්නට සිදුවන බවත් ආදිවාසීන් හොදාකාර දන්නවා. අද ලෝකයේ සංවර්ධන අර්බුදයේ ලොකු ම අභියෝගයත් එයයි. අපේ (සහ අන් ජීවීන්ගේ) පැවැත්මට අවශ්‍ය පාරිසරික ප‍්‍රවාහයන් විනාශ නොකොට අපේ භෞතික අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේ ද?
ප‍්‍රාග්-නූතන යුගයේ හෝ ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට හැකියාවක් නැහැ. අල්පේච්ඡ දිවි පෙවෙතක් ගැන කථා කරන පරිසරවේදීන් පවා එබන්දකට සූදානම් නැහැ. මේ නිසා ප‍්‍රායෝගිකව කළ හැකි තුලනයන් මොනවා ද යන්න හදුනාගෙන ඒ සඳහා අපේ කාලය, ශ‍්‍රමය හා නිර්මානශීලී හැකියාව යොමු කිරීමයි අවශ්‍ය වන්නේ. එසේ නැතිව යටගිය දවසකින් නොතිබුණු රොමෑන්ටික් සිහිනයකට හෝ චිත‍්‍රපට තිරනාටක රචකයෙකුගේ වදන් සිත්තමකට හෝ අපේ ලෝකයේ මහා ප‍්‍රශ්න විසඳන්නට හැකියාවක් නැහැ.
පරිසරවේදීනි, දැන්වත් අවදිවන්න!