This is the (Sinhala) text of my Sunday column in Ravaya newspaper on 5 August 2012. This week, I trace the moving images coverage of the Olympics, from the early days of cinema to the modern instantaneous live coverage that makes the whole world watch the Games as they unfold.
I covered similar ground in my English column on 29 July 2012: When Worlds Collide #26: Olympics on TV – How the World is One! (But no, I don’t translate – even my own writing.)
2012 ලන්ඩන් ඔලින්පික් උළෙල, 116 වසරක නූතන ඔලිම්පික් ඉතිහාසයේ මාධ්‍ය මගින් වැඩියෙන් ම ආවරණය කැරෙන හා වඩාත් ම ඩිජිටල් ඔලිම්පික් උළෙල බවට පත්ව තිබෙනවා.
ලන්ඩන් ඔලිම්පික් සංවිධායකයන් වෙතින් නිල මාධ්‍ය ආවරණ පහසුකම (media accreditation) ඉල්ලූම් කළ ලෝක ව්‍යාප්ත මාධ්‍යවේදී සංඛ්‍යාව 22,000 ඉක්මවා ගොස් තිබෙනවා. එතරම් සංඛ්‍යාවක් නිල නොවන අයුරින් ද විවිධාකාර ඩිජිටල් මාධ්‍ය හරහා තමන් රිසි තරග ඉසව් හා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගැන වාර්තාකරණයක යෙදෙනු ඇතැයි සංවිධායකයන් අනුමාන කරනවා.
ලන්ඩන් නුවර මෙවර පැවැත් වෙන්නේ ඔලිම්පික් තරඟ මාලාවේ 30 වැන්නයි. 1896දී ග‍්‍රීසියේ ඇතන්ස් නුවර මුල් ම නූතන ඔලිම්පික් උළෙල පවත්වන විට තිබුණේ මුද්‍රිත හා ඡායාරූප මාධ්‍යයන් පමණයි. එහෙත් එතැන් පටන් කෙටි කලක් ඇතුළත සිනමාව (1900), රේඩියෝ මාධ්‍යය (1910) හා ටෙලිවිෂනය (1927) බිහි වී කෙමෙන් ප‍්‍රචලිත වූවා. අළුතෙන් බිහි වූ හැම මාධ්‍යයක් ම ටික කලෙකින් ඔලිම්පික් ආවරණයට යොදා ගනු ලැබූ පරිදි ඉන්ටර්නෙට් හා ජංගම දුරකථන ද අද එම මාධ්‍ය මිශ‍්‍රණයට එක් ව තිබෙනවා.
ඔලිම්පික් තරගාවලි හැකි තාක් සජීව, විස්තරාත්මක හා විචිත‍්‍ර ලෙසින් ලොව පුරා සැමට වාර්තා කිරීමේ අභියෝගය එදා මෙන් ම අදත් පවතිනවා. එයට යොදා ගන්නා මෙවලම් හා තාක්ෂණයන් වෙනස් වූවත් එහි මුඛ්‍ය අරමුණ නම් මුළු ලොවට පොදු මහා ක‍්‍රීඩා උත්සවය කොයි කාගේත් ග‍්‍රහණයට හසු කර දීමයි.
ඔලිම්පික් තරග ඉසව් මෙන්ම ආරම්භක හා අවසන් කිරීමේ සංදර්ශනාත්මක උත්සවයන් සජීව ලෙසින් ටෙලිවිෂන් මාධ්‍යයෙන් විකාශය කිරීම ලොව බොහෝ ටෙලිවිෂන් ආයතනවල අවශ්‍යතාවයයි.
ඔලිම්පික් ව්‍යාපාරයේ පාලක මණ්ඩලය ලෙස ක‍්‍රියාකරන, ආණ්ඩුවලින් පරිබාහිර සංවිධානය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවයි (International Olympic Committee, IOC). එය ජාතික ඔලිම්පික් කමිටුවල නියෝජනය ලබන ලෝක මට්ටමේ සම්මේලනයක්. එහි සාමාජිකත්වය දරණ ජාතික ඔලිම්පික් කමිටු 205ක් තිබෙනවා. (ආණ්ඩුවලට පමණක් සාමාජිකත්වය හිමි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193යි.)
සමස්ත ඔලිම්පික් ව්‍යාපාරය එහි ආරම්භක උතුම් අරමුණු හා සාරධර්මවලට අනුකූල වන පරිදි පවත්වා ගෙන යන ෂධක් සංවිධානය, ඔලිම්පික් තරගාවලි ටෙලිවිෂන් හරහා ආවරණය කිරීමත් නියාමනය කරනවා. ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ හැකි තාක් ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයන්ට ඔලිම්පික් විකාශ නැරඹීමට අවස්ථාව උදාකර දීමයි. මේ නිසා නිදහසේ ගුවනට සංඥා විසුරුවා හරින, ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි (free-to-air, terrestrial) ආකාරයේ ටෙලිවිෂන් නාලිකාවලට ඔලිම්පික් විකාශ වරම දීමට ෂධක් කැමතියි. එමෙන් ම රටක හැකි තාක් ජන සංඛ්‍යාවට නැරඹිය හැකි පරිදි ඇතැම් විට නාලිකා කිහිපයකට එම විකාශ වරම ලබා දෙනවා.
මේ සාරධර්මය උරගා බැලෙන සිදුවීමක් මෙරට සිදු වුණා. ලන්ඩන් ඔලිම්පික් මෙරට විකාශය කිරීමේ වරම ආසියා පැසිෆික් විද්යුත් මාධ්‍ය සංගමය (ABU) හරහා නිල වශයෙන් මෙරට රූපවාහිනී සංස්ථාවට මෙන් ම සිරස/ඵඔඪ මාධ්‍ය ජාලයට ද ලැබී තිබුණා. එහෙත් ශ‍්‍රී ලංකාවේ ඔලිම්පික් විකාශ වරම තනිකර ම තමන්ට ලැබිය යුතු බව කියමින් රූපවාහිනී සංස්ථාව අධිකරණයට ගියා. කොළඹ වාණිජ මහාධිකරණය වෙතින් තහනම් නියෝගයක් ද ලබා ගත්තා.
එයට එරෙහිව අභියාචනා කරමින් සිරස/MTV මාධ්‍ය ජාලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ප‍්‍රබල තර්කයක් වූයේ මෙවර ලන්ඩන් ඔලිම්පික් තරග ඉසව් විශාල සංඛ්‍යාවක් එක්වර පැවැත්වෙන බවත්, දින 16ක් පුරා පැය 3,000කට වැඩි ටෙලිවිෂන් වාර්තාකරණයක් සජීව ලෙසින් සිදු වන බවත්. මෙය කිසිදු තනි නාලිකාවකට විකාශය කිරීමට නොහැකි තරම් විශාල ගුවන් කාලයක් නිසා එක ම රටක බහු විධ නාලිකාවලට ඔලිම්පික් විකාශයන් කිරීමට ඉඩ ලැබීම ඔස්සේ පේ‍්‍රක්ෂකයන්ට වැඩි පරාසයක ඔලිම්පික් තරග ඉසව් බලන්නට ඉඩ ලැබෙන බව ද ඔවුන් පෙන්වා දුන්නා.
ඔලිම්පික් තරගාවලි රූපගත කිරීම ඇරඹුණේ 1908 දී ලන්ඩන් උළෙලින්. එවකට නිහඬව පැවති සිනමාවේ සීමිත තාක්ෂණික පහසුකම් යොදා ගෙන එහි උත්සව හා තරග ඉසවූ චිත‍්‍රපට ගත කළා.
මුල පටන් ම සිනමාකරුවන් අවධානය යොමු කළේ හුදෙක් ඔලිම්පික් උළෙලේ උත්සව අසිරිය, තරග ජයග‍්‍රහණය හා පදක්කම් බෙදා දීම ගැන පමණක් නොවෙයි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මානුෂික හැඟීම්, තරඟකාරීත්වය ඔස්සේ මතු ව එන දේශානුරාගය හා ධීරභාවය (human spirit) හා පරාජිතයන්ගේ හැඟීම් ආදිය ගැනත් සමීප දසුන් හරහා හසු කර ගන්නට ඔවුන් උත්සාහ කළා.
මේ සඳහා සැබෑ ලෝකයේ, තිර නාටක නැතිව දිග ශැරෙන සංත‍්‍රාසමය හා හැඟීම් බරිත අවස්ථා රැුසක් හැම ඔලිම්පික් උළෙලක ම තිබෙනවා. සංවේදී ඡුායාරූප හා චිත‍්‍රපටකරුවන්ට මානුෂික කතාන්දර ආකරයක් ලෙස ඔලිම්පික් තරගාවලී දැකිය හැකියි. අද දවසේ රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන් ගණයට වැටෙන සිදුවීම් එවායේ එමට තිබෙනවා.
1908න් පසුව පැවැත් වූ සියළු ඔලිම්පික් තරගාවලි චිත‍්‍රපට කැමරා හෝ ටෙලිවිෂන් කැමරා හෝ මගින් රූපගත කරනු ලැබුවා. තරගාවලියේ උච්ච අවස්ථා කැටි කොට ගත් වාර්තා චිත‍්‍රපටයක් නිපදවීමේ සම්ප‍්‍රදාය ඇරඹුණේ 1924 පැරිසියේ පැවති ඔලිම්පික් උළෙලත් සමගයි. 1920 දශකයේ නිපදවනු ලැබූ ටෙලිවිෂන් තාක්ෂණය යොදා ගෙන 1930 මැද වන විට රූප විකාශය කිරීම ඇරඹුණු විට ඔලිම්පික් වාර්තාකරණයට ඉක්මනින් එය සම්බන්ධ වුණා.
ඔලිම්පික් තරගාවලියක් එය පැවැත්වෙන ක‍්‍රීඩාංගනයකින් බාහිර තැනෙක සිට එවේලේ ම නැරඹීමේ (සජීව) හැකියාව මුල් වරට ලැබුණේ 1936දී ජර්මනිය බර්ලින්හි පැවැත්වූ උළෙලේදී. බර්ලින් හා පොස්ඩාම් දෙනුවර එ සඳහා විශේෂයෙන් සැකසූ මහජන පේ‍්‍රක්ෂකාගාරවල සිට ඔලිම්පික් ඉසවු නැරඹීමේ සීමිත පහසුකම ජර්මන් තාක්ෂණවේදීන් ලබා දුන්නා.
එහෙත් බර්ලින් ඔලිම්පික් උළෙල ගැන වඩාත්ම වැදගත් හා කල් පවත්නා චලන චිත‍්‍ර මතකය නම් ජර්මන් සිනමාවේදිනී ලෙනි රයිෆෙන්ස්ටාල් (Leni Riefestahl) අධ්‍යක්ෂණය කළ Olympia නම් වූ නිල වාර්තා චිත‍්‍රපටයයි.
ඇය හිට්ලර්ගේ නාසිවාදයේ ප‍්‍රචාරණ කටයුතුවලට පක්ෂග‍්‍රාහී ව කටයුතු කළා යයි චෝදනාවක් හා ආන්දෝලනයක් ඇතත්, ඇගේ සිනමාවේ නිර්මාණශීලී බව හා නව්‍යකරණය ගැන විවාදයක් නැහැ. අද ක‍්‍රීඩා තරග ඉසව් රූපගත කොට සංස්කරණය කිරීමේදී යොදා ගන්නා බොහෝ ශිල්ප ක‍්‍රමවල පෙරගමන්කරුවා ඇයයි. මන්ද චලනය (slow-motion), අසාමාන්‍ය රූ රාමු සඳහා කැමරාකරුවන් තරග ධාවන පථ තුළට කිඳා බැස්වීම, පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර සඳහා කැමරාවක් නරඹන්නන් අතරට ඇවිද ගෙන යාම, ජල ක‍්‍රීඩාවලදී පිහිනුම් තටාකයට ඉහළින්, බිම් මට්ටමින් මෙන්ම දිය යටින් ද රූපගත කිරීම් ආදිය හරහා ඔලිම්පික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගති සොබා, ආවේග හා ප‍්‍රතිචාර ඔවුන්ටත් නොදැනීම පාහේ හසුකර ගෙන හෘදයාංගම කථාන්තර බවට එක් තැන් කිරීමේ රූප කථා සම්ප‍්‍රදායට ඇගෙන් ලැබුණ ආභාෂය ඉමහත්.
දෙවන ලෝක යුද්ධය නිසා වසර 12ක විරාමයකින් පසු ඔලිම්පික් තරගාවලියක් යළිත් 1948දී ලන්ඩන් නුවර පැවැති අවස්ථාවේ ලන්ඩනයේ සිට සැතපුම් 50ක අරයක දුරින් පිහිටි නිවාසවලට ලක්ෂ 5ක් ජනයාට නිවසේ සිට තරග නැරඹීමට හැකි මට්ටමට ටෙලිවිෂන් තාක්ෂණය දියුණු වී තිබුණා.
එහෙත් රටකින් රටකට ටෙලිවිෂන් සංඥා එසැනින් යැවීමේ හැකියාව පැවතුණේ නැහැ. 1952 හෙල්සින්කි ඔලිම්පික් ටෙලිවිෂන් හරහා විකාශය නොවූ අතර 1956 මෙල්බර්න් ඔලිම්පික් විකාශය ඔස්ටේ‍්‍රලියාවට පමණක් සීමා වුණා. එම තරගාවලියේ සංවිධායකයන් ටෙලිවිෂන් වාර්තාකරණයට අවශ්‍ය තාක්ෂණය සම්පාදනය කර තිබුණත් වෙනත් රටවලින් ආ ටෙලිවිෂන් ආයතන එ සඳහා සංවිධායකයන් ඉල්ලා සිටි සුළු ගාස්තුව ගෙවීම ප‍්‍රතික්ෂේප කළා. ඔලිම්පික් වැනි මහජන ක‍්‍රීඩා උත්සවයක් රූපගත කිරීමට මුදල් ගෙවිය යුතු නැතැයි ඔවුන් තර්ක කළා.
එහෙත් මේ තර්කය වෙනස් කොට මුල්වරට ඔලිම්පික් තරගාවලියක් ආවරණය සඳහා ටෙලිවිෂන් ආයතන ගාස්තුවක් ගෙවූයේ 1960 රෝමයේ පැවති උළෙල සඳහායි. සමස්ත ගාස්තුව එවකට ඇමෙරිකන් ඩොලර් මිලියන් 1.2 යි. අද ඩොලර් බිලියන ගණනින් අලෙවි වන ටෙලිවිෂන් විකාශ වරම් ගාස්තු සමග සසඳන විට මෙය සුළු මුදලක්.
ලෝකයට ම එකවර ඔලිම්පික් උළෙලක් සජීව ලෙසින් ටෙලිවිෂන් හරහා දැක බලා ගැනීමේ හැකියාව ලැබුණේ 1964 තෝකියෝ තරගාවලියේ සිටයි. 1945දී බි‍්‍රතාන්‍ය විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් මුල්වරට යෝජනා කළ පණිවුඩ චන්ද්‍රිකා සංකල්පය, අමෙරිකානු සමාගම් විසින් සැබෑවක් බවට පත් කළේ 1960 දශකය මුලදී. මුල්ම පණිවුඩ චන්ද්‍රිකාවක් වූ සින්කොම් 3 (Syncom 3) යොදා ගෙන තෝකියෝවේ ඔලිම්පික් දර්ශන යුරෝපයට හා අමෙරිකාවට සජීව ලෙසින් විකාශය කරනු ලැබුවා.
1964න් පසු අඩ සියවසකට ආසන්න කාලයක් තුළ පවත්වන 12 වන ඔලිම්පික් තරගාවලිය මේ දිනවල අප ටෙලිවිෂන් හරහා නරඹනවා. මේ හැම උළෙලක් ම සජීව ලෙසින් ලොව පුරා විකාශය කෙරුණු අතර ශ‍්‍රී ලංකාවේ මුල්වරට එය සිදුවූයේ 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලත් සමගයි.
වේලා කලාපයන් (time zones) අනුව අපේ දිවා කාලයේ හෝ රාත‍්‍රී කාලයේ සිදු වන ඔලිම්පික් ඉසව් එසැනින් නැරඹිම හරහා අප ලෝක ව්‍යාප්ත තොරතුරු සමාජයේ කොටස්කරුවන් මෙන් ම මාෂල් මැක්ලූහන් හා ආතර් සී. ක්ලාක් වැනි සන්නිවේදන විශාරදයන් කල් තබා දුටු විශ්ව ගම්මානයේ පදිංචිකරුවන් ද වනවා.
මෙය හැම කෙනකු ම එක සේ ආවඩන සංසිද්ධියක් ද නොවෙයි. ටෙලිවිෂන් විකාශ වරම් හරහා ලැබෙන අති විශාල මුදල් ප‍්‍රමාණයත්, නිල අනුග‍්‍රාහක වරම ලබන සමාගම් එ සඳහා ගෙවන ගාස්තුවක් නිසා ඔලිම්පික් ව්‍යාපාරය වාණිජකරණය වී ඇතැයි සමහරුන් චෝදනා කරනවා.
අන් හැම දෙයක්ම මිළ මුදලට විකිණෙන වත්මන් පාරිභෝගික සමාජයේ ඔලිම්පික් පමණක් ස්වේච්ඡාවෙන්, නොමිලේ හෝ ලාබෙට කිරීමේ ප‍්‍රායෝගික හැකියාවක් නැති බව අප පිළිගත යුතුයි. එමෙන්ම මේ වන විට ඔලිම්පික් තරගාවලි පත්ව තිබෙන දැවැන්ත පරිමානයට අනුව සුවිසල් ආයෝජන නොමැතිව උළෙලක් පැවැත්වීම සිතන්නටවත් බැරි දෙයක්. (ලන්ඩන් උළෙලට රටවල් 205කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10,500 ක් පමණ ක‍්‍රීඩා 26ක ඉසව් 300කට වැඩි ගණනක තරක කරනවා.)
ඔලිම්පික් තරග ඉසව් එසැනින් ලෝකයේ ඕනෑ ම තැනෙක සිට ග‍්‍රහණය කිරීමේ හැකියාව අද වන විට ටෙලිවිෂන් මාධ්‍යයට අමතරව ඉන්ටර්නෙට් සබඳතා ඇති පරිගණක මෙන්ම ජංගම දුරකථන හරහා ද ලැබෙනවා.
මේ ප‍්‍රවණාතාව වඩාත් ප‍්‍රබල වන විට ටෙලිවිෂන් ඔලිම්පික් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවේදැයි සැකයක් තිබෙනවා. IOC මෙන් ම ඔලිම්පික් සංවිධානය කිරීමේ වරම ලබා ගන්නා සත්කාරක නගර ද සිය වියදමින් විශාල කොටසක් පියවා ගන්නේ ටෙලිවිෂන් විකාශ අයිතිය අලෙවියෙන්. එසේ ලබා ගන්නා විකාශ අතරතුර වෙළඳ දැන්වීම් පෙන්වීම හරහා ටෙලිවිෂන් ආයතන ආදායම් උපයා ගැනීම වෙළඳපොල ආකෘතියයි.
වෙළඳ දැන්වීම් රහිත වෙබ් මාධ්‍ය හරහා (උදා: YouTube) ඔලිම්පික් සජීව ලෙසින් නරඹන්නට හැකි නම් පේ‍්‍රක්ෂකයන් සමහරෙක් සජීව ටෙලිවිෂන් වෙතින් ඉවත් වෙයිද? 2008 බේජිං ඔලිම්පික් උළෙල නැරඹූ ලෝක ව්‍යාප්ත සමස්ත ටෙලිවිෂන් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව බිලියන් 4.3ක් (කෝටි 430) වුණා. මෙවර ලන්ඩන් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව එය අභිබවා යයි ද? නැතිනම් එයට අඩු වෙයි ද?
මේ ප‍්‍රශ්ණවලට පිළිතුරු ළඟදී ම දැනගත හැකියි. එහෙත් වෙබ් මාධ්‍ය ප‍්‍රගමනය හමුවේ සාම්ප‍්‍රදායික ටෙලිවිෂන් මාධ්‍යවලට මෙන් ම ඔලිම්පික් සංවිධායකයන්ට ද අළුත් විදියට සිතන්නට අභියෝග මතු වී තිබෙනවා.




















සිවුමංසල කොලූගැටයා #66: රේඩියෝවෙන් ‘අපේකරණය’ කළ ක‍්‍රිකට් ක‍්‍රීඩාව
12 May 2012 — Nalaka GunawardeneFour years ago, I wrote in a book review: “Here we have, straight from the original source, the story of how cricket became the de facto national past-time, if not our national addiction or religion! Like it or hate it, cricket is an integral part of our popular culture. Radio (and later TV) cricket commentaries take much of the credit (or blame, in some people’s view) for building up this uncommon fervour that occasionally unites our otherwise utterly and bitterly divided nation.”
In this week’s Ravaya column (in Sinhala), I dip into broadcasting history of Ceylon/Sri Lanka to find out more about the origins of live cricket commentaries in Sinhala. A principal source is the book I reviewed in 2008 soon after it came out: Palitha Perera Samaga Sajeeva Lesin (Live with Palitha Perera).
I refer to the pioneers of Sinhala cricket broadcasting over radio: Karunaratne Abeysekera and Palitha Perera. The duo drew guidance from their seniors like D M Colombage and H M Gunasekera.
Palitha Perera, who did the first ball-by-ball cricket commentary in Sinhala in March 1963, is still engaged in this enthralling practice nearly half a century later. He is now one of the three seniormost cricket commentators in the world with the longest track record.
L to R – H M Gunasekera, Palitha Perera, Karunaratne Abeysekera
කෘතහස්ත නිවේදක, මාධ්‍යවේදී හා මාධ්‍ය පරිපාලක එච්. එම්. ගුණසේකර සූරීන් අප අතරින් වියෝ වී දස වසක් පිරෙන්නේ මැයි 11 වනදාටයි. රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය දෙකෙහි ම හපන්කම් කළ ඔහු, අපට ගැලපෙන විද්යුත් මාධ්‍ය කලාවක් බිහි කරන්නට විශාල මෙහෙවරක් ඉටු කළා. ඔහු ගැන ගුණ සැමරුමක් වෙනුවට ඔහුත් යම් තරමකට සම්බන්ධ වූ මෙරට විද්යුත් මාධ්‍ය කලාවේ ජයග‍්‍රහණයක් ගැන අද මා විග‍්‍රහ කරනවා. ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දේශීයකරණය හෙවත් අපේකරණය කරන්නට රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් වූ කථාවයි.
ජාති, ආගම්, කුල, දේශපාලන පක්‍ෂ හා වෙනත් සාධක නිසා දැඩි ලෙස භේද වූ අපේ රටේ සියළු දෙනා එක්සත් කරන දුර්ලභ පොදු සාධකයක් නම් ක‍්‍රිකට් ක‍්‍රීඩාවයි. එංගලන්තයේ බිහි වී, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් මෙරටට හදුන්වා දෙනු ලැබ, දශක ගණනාවක් අපේ ඉහළ පැළැන්තියේ අයට සීමා වී තිබූ කි‍්‍රකට්, මුළු රටම ආදරයෙන් වැළඳ ගත්තේ කෙලෙස ද? අපේ දේශීයත්වයට සමීප තවත් ක‍්‍රීඩා තිබුණත් ඒ සියල්ල අභිබවා බාල-මහලූ-නාගරික-ගැමි-දුප්පත්-පොහොසත් හැම දෙනකු ම අතර වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව හා ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල අංගයක් බවට ක‍්‍රිකට් පත් වූයේ කෙසේ ද?
එය අහම්බෙන් සිදු වූවක් නොවෙයි. නිල බලයෙන් දියත් කළ මහ ව්‍යාපෘතියක් ද නොවෙයි. එයට බොහෝ කොට ම හේතු වූයේ රේඩියෝ මාධ්‍යය හරහා සිංහලෙන් ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයයි. මේ සංස්කෘතික විප්ලවයේ අක්මුල් ගැන මා විපරම් කළා.
සිංහලෙන් ක‍්‍රිකට් තරග පිළිබඳ සාරාංශයන් රේඩියෝවෙන් ඉදිරිපත් කිරීම 1960දී ඇරඹුවේ නිවේදක කරුණාරත්න අබේසේකර විසින්. ඉරිදා දිනවල පස්වරු 5 සිට 6 දක්වා ඔහු ඉදිරිපත් කළ ‘සරස්වතී මණ්ඩපය’ වැඩසටහනෙන් ආනන්ද-නාලන්දා වාර්ෂික ක‍්‍රිකට් තරගයේ අවසන් දිනයේ අන්තිම පැය ආවරණය කළා.
ඔහු එසේ විවර කර දුන් මගෙහි ඉදිරියට ගිය ඊළග පුරෝගාමියා වූයේ 1961-62 වසරවල නාලන්දා පිළට ක‍්‍රීඩා කළ පාලිත පෙරේරායි. 1963 ජනවාරියේ ගුවන් විදුලි සේවයට බැදුණු ඔහු, ඒ වසරේ මාර්තුවේ ආනන්ද-නාලන්දා සමස්ත ක‍්‍රිකට් තරගය ම සජීව රේඩියෝ විස්තර ප‍්‍රචාරයක් කිරීමට යෝජනා කළා. එයට අවසර දුන්නේ එවකට සිංහල අංශයේ කථා සම්පාදක වූ එච්. එම්. ගුණසේකරයි.
පාලිත නාලන්දාවේ ආදි ශිෂ්‍යයකු වූ නිසා (සමබරතාව රැක ගනු පිණිස) ඔහුගේ සහයට කෙනකු ආනන්දයෙන් සොයා ගන්නා ලෙසත් එච්. එම්. පාලිතට කීවා. ඒ අනුව පාලිත පෙරේරාත් ආනන්දයේ එවකට විද්‍යා ගුරුවරයකු වූ රඝුනාත් වීරසූරියත් 1963 මාර්තු පැවති 34 වැනි ආනන්ද නාලන්දා ක‍්‍රිකට් තරගයෙන්. ක‍්‍රිකට් තරගයේ මුල් ඕවරයේ සිට අන්තිම ඕවරය දක්වා සමස්ත ක‍්‍රීඩා තරගය ම සජීව ලෙසින් සිංහලෙන් විස්තර ප‍්‍රචාරය කළා.
කොළඹ බොරැල්ලේ, වනාතමුල්ලේ පිහිටි ඕවල් ක‍්‍රීඩාංගනයේ (දැන් පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගනය) පැවති මේ තරගයේ විස්තර ප‍්‍රචාරය කිරීමේදී තාක්‍ෂණික මෙන් ම භාෂාමය අභියෝගවලට මුහුණ දුන් සැටි පාලිත ලියා තිබෙනවා. මේ ඉතිහාසය අද බොහෝ දෙනා දන්නේ නැති බවත්, දැන ගත්ත ද වැරදි අර්ථකථන නිසා ඒ දැනුම විකෘති වී ඇති බවත් පාලිත කියනවා.
කරුණාරත්න අබේසේකර 1960දී සංක්ෂිප්ත විස්තර ප‍්‍රචාර සිංහලෙන් අරඹන විට ඒ සඳහා ඔහුගේ රේඩියෝ ගුරුවරයා වූ ඞී. එම්. කොළඹගේ සූරීන්ගේ උපදෙස් ලද බව කරුගේ පුතු දිලීප අබේසේකර කියනවා. එල්ලේ ක‍්‍රීඩාවේ හමුවන පිත්ත, පන්දුව, කඩුල්ල වැනි වචන එලෙසින් ම ක‍්‍රිකට් සඳහා ද යොදා ගත් අතර වෙනත් යෙදුම් අවශ්‍යතාවයේ හැටියට සැනෙකින් සකසා ගනු ලැබුවා.
Live with Palitha Perera
මුල් වසර කිහිපයේ පාලිත උපයෝගී කර ගත්තේ ක‍්‍රිකට් මූලධර්ම හා දර්ශනයට අනුකූල වූත්, සිංහල ශ‍්‍රාවකයන්ගේ දෙසවනට ගෝචර වූත් වචන හා යෙදුම් මාලාවක්. විජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාව අපේකරණයට මෙසේ උචිත වදන් පෙළක් බිහිකර ගැනීම තීරණාත්මක වූවා.
එහෙත් සිංහල පණ්ඩිතයන්ට මේ තරුණ නිවේදකයාගේ නව්‍යකරණය නොසෑහෙන්නට ඇති. ඒ නිසාදෝ ලංකා ගුවන්විදුලියේ (Radio Ceylon) අධ්‍යක්‍ෂ පාලිතට කියා සිටියා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් සකසන ලද පාරිභාෂික ක‍්‍රිකට් වචන ලැයිස්තුවක් භාවිත කරන ලෙස. මේ අනුව පාලිත ඊළග ආනන්ද-නාලන්දා තරගයේදී මේ වචන යොදා විස්තර ප‍්‍රචාරය ඇරඹුවා.
ඒ යුගයේ ඕවල් ක‍්‍රීඩාංගනයේ වටේ ඇති මණ්ඩපවල කණුවල ලවුඞ්ස්පීකර් සවි කර විස්තර ප‍්‍රචාර එවේලේ ම එතැන සිටි සැමට සවන්දීමේ අවස්ථාව ලබා දී තිබුණා. Slips ක‍්‍රීඩකයන්ට සිංහල පණ්ඩිතයන් දී තිබූ යෙදුම “ලූහුට්ටා”. මේ අනුව පාලිතට කියන්නට සිදු වූයේ මෙවැනි විස්තර ප‍්‍රචාරයක්: “වැට රකින්නා ළගින් ම ලූහුට්ටන් පේලියක් ඉන්නවා. පළමුවැනි ලූහුට්ටා, දෙවැනි ලූහුට්ටා, තුන්වැනි ලූහුට්ටා….. දැන් මෙන්න ලූහුට්ටන් අතරින් පන්දුව ලූහුටලා හතරේ සීමාවට යනවා…!”
ටික වේලාවකින් කාර්මික නිලධාරී එඞ්මන්ඞ් තිලකරත්න පැමිණ පාලිතට මෙහෙම කිව්වා: “පාලිත මොනවද ඔය කියවන්නේ? අර පැවිලියන් එකේ ඉන්න මිනිස්සු එක දිගට හූ කියනවා ඕක අහලා!”
සජීව ප‍්‍රචරයේ රැදී සිටින අතර ගුවන්විදුලි අධිකාරීන්ට දන්වා උපදෙස් ගන්නැයි පාලිත ඔහුට කීවා. පාරිභාෂික වචන ලැයිස්තුව වහා නතර කිරීමට අනුමැතිය ලැබුණා. එදා මේ රටේ කි‍්‍රකට් ලෝලීන් හූ කිව්වේ පාලිතට නොවේ, අයෝග්‍ය වදන් පෙළක් බලෙන් සිංහල ශ‍්‍රාවකයන් මත පටවන්නට තැනූ සිංහල බක පණ්ඩිතයන්ටයි!
ඉනික්බිති සිදු වූ දෙය යළිත් පාලිතගේ ම වචනවලින්: “එහෙත් වැරැදීම් හා ප‍්‍රයර්ථන මගින් මා විසින් ම සකසා ගන්නා ලද ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර ප‍්‍රකාශයට ඇවැසි පාරිභාෂික වචන කෝෂය හා විස්තර යෙදුම් දිගට ම භාවිතයට ගත්තෙමි. හැත්තෑවේ දශකය පටන් ගන්නා විට එය රට ම පිළිගන්නා තරමට රටේ ව්‍යාප්ත වී තිබුණි. ඔප මට්ටම් කොට සාදා නිමවා තිබූ මෙම වචන කෝෂය ඊට පසු ආ මාධ්‍ය පරිහරනය කරන්නන් විසින් ලෙහෙසියෙන් ම භාවිතයට ගනු ලැබිණ.”
‘නොඉඳුල් ඕවරය’ යන්න කරු යෝජිත සිංහල වචනයක් වන අතර, ‘තණතිල්ල’ හා ‘නිලකුණු ඕවරය’ මහාචාර්ය විනී විතාරණ සූරින්ගේ නිමැවුම් බව පාලිත කියනවා. “දැවී යාම හදපු හැටි මටවත් මතක නැහැ. නමුත් දැන් එය ඉතා සමීප ලෙසින් සමාජගත වෙලා”, පාලිත මෑතදී මා සමග කීවා.
“අද ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන සියළු මාධ්‍යයන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අරභයා භාවිතා කරන ක‍්‍රිකට් වචන කෝසයේ 95%ක නිර්මාණකරු මම වෙමි. මේ රටේ ක‍්‍රිකට් සිංහල සන්නිවේදන සාහිත්‍යයක් බිහි වීම සඳහා මගෙන් කෙරුණු මේ දායාදය පිළිබඳව කවුරුත් හෝ පිළිගැනිමක් හෝ සඳහනක් හෝ නොදැක්වීම කණගාටුවට කරුණකි,” යයි පාලිත සිය පොතේ ලියා තිබෙනවා (182-3 පිටු).
1963 මුල් ම සජීව සිංහල ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයට යොදාගත් විස්තර විචාරක අට්ටාලය ගැනත් කථාවක් තිබෙනවා. ලංකා ගුවන්විදුලියට එවකට තිබූ එක ම ඇලූමීනියම් අට්ටාලය (gentry) ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රකාශකයන් දෙදෙනාට වෙන් වුණා. එක අට්ටාලයේ සිට එකවර භාෂා දෙකකින් රේඩියෝ ප‍්‍රචාරයක් කළ නොහැකි නිසා අඹ ලී භාවිත කරමින් අඩි 5ක් පමණ උස කුඩා වේදිකාවක් තනා එය සිංහල විස්තර ප‍්‍රකාශකයන්ට දුන්නා. ඒ මත වරකට එක් අයෙකුට පමණක් පුටුවක් තබා හිඳ ගැනීමට ඉඩ තිබුණු අතර, හිසට උඩින් කිසිදු ආවරණයක් තිබී නැහැ.
Cricket in Sri Lanka – More than a game
1963න් ඇරඹි පන්දුවෙන් පන්දුවට කරන සජිව ක‍්‍රීකට් විස්තර ප‍්‍රචාර ඉන් පසු සෑම වසරක ම ප‍්‍රධාන පාසල් ක‍්‍රිකට් තරග සඳහාත්, විටින් විට විදේශ ක‍්‍රිකට් කණ්ඩායම් මෙරටදී ශ‍්‍රි ලංකා පිල සමග තරග කරන විටදීත් ලබා දීමට පාලිත මුල් වුණා. ඒ සඳහා සහාය විස්තර ප‍්‍රචාරකයන් ලෙස තිලක සුදර්මන්ද සිල්වා, අමරබන්දු රූපසිංහ, මයිකල් කරුණාතිලක හා සිරිසෝම ජයසිංහ ආදීන් ද හවුල් කර ගත්තා.
1970 වන විට ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රචාර අභිබවා සිංහල විස්තර ප‍්‍රචාර බෙහෙවින් ජනප‍්‍රිය වුණා. 1971 කැරැුල්ලෙන් පසු රාජකීය-සාන්ත තෝමස් කි‍්‍රකට් තරගයට ද සිංහල විස්තර ප‍්‍රචාරයක් අවශ්‍ය වුණා. මේ අනුව 1972දී එම තරගයේ විස්තර ප‍්‍රචාරයට පෙමසර ඈපාසිංහ ද හවුල් කර ගත්තේ පාලිත විසින්. සුප‍්‍රකට ‘පාලිත-ඈපා සුසංයෝගය’ ඇරඹුණේ තැන් සිටයි.
ක‍්‍රිකට් ගමට ගොස් එය මුළු රටේ ජනප‍්‍රියවීමට තීරණාත්මක ලෙස හේතු වූයේ කරු හා පාලිත අරඹා, පසුව ඈපා ද සමග පෙරට ගෙන ගිය සුමට හා හුරුබුහුටි ශෛලිය බවට විවාදයක් නැහැ. අද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ වැජඹෙන සැවොම පාලිත හා ඈපා උගුරේ කෙළ ලේ රහ මතු වන තුරු කළ උදයෝගශීලී විස්තර ප‍්‍රචාරයන්ට ණය ගැතියි!
ශ‍්‍රි ලංකාව ටෙස්ට් ක‍්‍රිකට් වරම් ලබා 1982 පෙබරවාරියේ කොළඹ දී එංගලන්ත පිළට එරෙහිව කළ මංගල ටෙස්ට් තරගය එවකට අලූත් රූපවාහිනී සංස්ථාව හරහා මෙරට පේ‍්‍රකෂකයන්ට ගෙන ඒමේදී ප‍්‍රධාන විස්තර ප‍්‍රචාරකයා වුයේත් පාලිත පෙරේරායි. පාලිත-ඈපා සුසංයෝගය එසේ රේඩියෝවෙන් ටෙලිවිෂනයට ද සංක‍්‍රමණය වුණා.
මාධ්‍යය ක්ෂේත‍්‍රයේ ඇතැම් නොකටයුතුකම්වලට එරෙහිව දැඩි ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක සිටීම නිසා විස්තර ප‍්‍රචාරවලින් පාලිත ඉවත් කළ අවස්ථා ද තිබෙනවා. ක‍්‍රීඩාගාරයක් අසලටවත් නොගොස්, තරගයක ටෙලිවිෂන් විකාශයක් බලමින් එය රේඩියෝවෙන් විස්තර කථනය කිරිම ඔහු එසේ ප‍්‍රතික්ෂේප කළ එක් අහිතකර ප‍්‍රවණතාවක්. එහෙත් ඇතැම් රේඩියෝ විස්තර ප‍්‍රචාර දැන් සිදු වන්නේ මේ අයුරින්.
ඇතැම් වැරදි සහගත සිංහල යෙදුම් ක‍්‍රිකට් වචන කෝෂයට කොහේදෝ සිට එක් වී දැන් මුල බැස ගෙන තිබෙනවා. හොඳ උදාහරණයක් නම් ‘තුන් ඉරියව්ව’යි. ඉංග‍්‍රිසියෙන් all-rounder යන්නට නිවැරදි සිංහල යෙදුම ‘සියලූ අංශවල දස්කම් පාන්නා’ වුවත් වැරදි යෙදුම තවමත් පුළුල්ව භාවිත වනවා.
ක‍්‍රිකට් අපේකරණයට දායක වූ පුරෝගාමී මාධ්‍ය චරිත ගැන මීට වඩා දැනුවත්කමක්, කෘතඥපූර්වක බවක් තිබිය යුතුයි. අද දැවැන්ත ව්‍යාපාරික මට්ටමට පත්ව ඇති ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩාව එතැනට ආවේ ක‍්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ක‍්‍රීඩා ලෝලීන්ගේ උනන්දුව හා කැපවීම මෙන් ම ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරකයන්ගේ උද්‍යොගය හා දායකත්වය නිසා ද බව කිව යුතුයි.
See also:
Palitha Perera: The man who refused to be His Master’s Voice
The Island, 8 Oct 2009: Palitha Perera: ‘Singhalising’ Colonial Cricket