සිවුමංසල කොලූගැටයා #118: ලෝකයට ම වස විස බෙදන චීනය

I return to China’s massive environmental woes in my weekend column in Ravaya broadsheet newspaper (in Sinhala).

Last week, we looked at China’s air pollution problems; today, we discuss serious contamination of food and water caused by widespread pollution unchecked by lack of regulation and local level corruption.

We also compare China’s current experience with Japan’s pollution problems in the 1950s and 1960s. The big difference: democratic system in Japan enabled citizens to effective protest industrial excesses, petition courts and force government to enforce strict regulation. Can this happen in China?

Last week’s column: සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ

China Environment Pollution

මුදල් වැඩි වූ පමණට රටක් සංවර්ධනය වේද යන්න කලක සිට කැරෙන විවාදයක්. එහෙත් දුගී දුප්පත්කම තව දුරටත් පවතින්නට ඉඩ හැරීම ද ශිෂ්ට සමාජයක් නොකළ යුතු දෙයක් බව අද පිළි ගැනෙනවා.

අධිවේගී ආර්ථික සංවර්ධනය හඹා යන චීනයේ අද මතුව තිබෙන දරුණු වාත දුෂණය ගැන අප ගිය සතියේ කථා කළා. එයට අමතරව ජලය, භූමිය හා ආහාරපාන දුෂණය වීමේ විශාල අභියෝගයන්ට ද අද චීනය මුහුණ දී සිටිනවා.

පාරිසරික ප‍්‍රශ්න කෙමෙන් ගොඩ නැගී එන නිසා ඒවා වඩාත් ප‍්‍රබලව පෙනෙන්ට පටන් ගත්තේ පසුගිය වසර 10-15 කාලය තුළයි. වාත දුෂණය, ජල දුෂණය, ආහාර වස විසවීම ඇතුඵ මහජන සෞඛ්‍යයට හා ජන ජීවිතයට කෙලින්ම වින කරන පාරිසරික ප‍්‍රශ්න රැසක් ඉතා ප‍්‍රබල ලෙසින් චීනයේ මතු වී තිබෙනවා.

2013 වසර චීන පාරිසරික අර්බුදයන් උඩු දුවන, තීරණාත්මක වසරක් විය හැකියි. මීට සති කිහිපයකට පෙර ෂැංහයි නුවර අසබඩ Huangpu ගංගාවේ දහස් ගණනක් මිය ගිය ඌරන් පාවී එන්නට පටන් ගත්තා. ලෝකයට ම සෞඛ්‍ය තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව ඇති අඵත් කුරුඵ උණ ප‍්‍රභේදයක් මේ දිනවල චීනයේ පැතිරෙමින් තිබෙනවා.

මීට පෙර කුරුඵ උණ, සූකර උණ හා SARS රෝගකාරකය ආදිය මතුවී පැතිර ගියේ චීන සත්ත්ව ගොවිපල වලින් බව තහවුරු වී තිබෙනවා. වසංගත රෝග හා පරිසර දුෂණය ද චීනයේ නිපදවා පිටරට යැවීම දැන් මහා පරිමාණයෙන් සිදු වන හැඩයි.

මේවා හුදෙක් තැන තැන සිදු වන හුදකලා පරිසර දුෂණ නොව ක‍්‍රමීය මට්ටමෙන් සමස්ත ජන ජීවිතය ගිළ ගන්නා දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා. මේ ගැන චීන මධ්‍යම පාන්තික ජනතාව වඩාත් විවෘතව කථා කිරීම හා ප‍්‍රශ්න කිරීම එරට ඒක පාක්‍ෂික, සංවෘත දේශපාලන ක‍්‍රමයට අද ලොකු ගැට`ඵවක් බවට පත්ව තිබෙනවා.

චීනයේ පාරිසරික ප‍්‍රශ්න යනු වන විනාශය, ජෛව විවිධත්වය හීනවීම ආදී හරිත ප‍්‍රශ්නවලට වඩා මහජන සෞඛ්‍යයට සෘජුව බලපාන, ජීවත්වීමේ හා යහපත් සෞඛ්‍යයට ඇති මානව අයිතියට තර්ජනය කරන ආකාරයේ ප‍්‍රශ්නයි.

චීනයේ බොහෝ ප‍්‍රදේශවල ජලය හා ආහාරවලට රසායනික විෂ ද්‍රව්‍ය මුසුවීමේ බරපතල තත්ත්වයක් අද මතු වී තිබෙනවා.

ලෝකයේ පාරිභෝගික අවශ්‍යතා ලාබයට සපයන්නට දිවා රාති දහස් ගණන් භාණ්ඩ නිෂ්පාදනය කරන චීන කර්මාන්ත ශාලා අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මෙයින් සමහරක් රජයට අයත් අතර තවත් ඒවා විදේශ ආයෝජකයන් විසින් පිහිට වූ ඒවා.

හැකි ඉක්මනට, හැකි තරම් ලාබෙට බඩු නිපදවන්නේ සේවකයන්ට ඉතා අඩු වැටුප් ගෙවමින් හා අපද්‍රව්‍ය කිසිදු සැළකිල්ලකින් තොරව ඉවත දමමින්. මේ කි‍්‍රයා නියාමනය කරන්නට නීති ඇතත් ඒවා හරිහැටි කි‍්‍රයාත්මක වන්නේ නැහැ. නැතිනම් ව්‍යාපාරිකයෝ අදාල නිලධාරීන්ට පගා ගෙවමින් අධීක්‍ෂණය මොට කරනවා. කෙටි කාලීන ලාබ ලැබුණත් මේ නිසා සිදු වන්නේ මුඵ රට ම වස විසෙන් පිරී යාමයි.

චීනයේ වගා කරන කිසිදු ආහාරයක් බය නැතිව කන්නට බැරි බව එරට උගත් ඉහළ මධ්‍යම පාන්තිකයන් දැන් හොඳාකාර දන්නවා. ඇති හැකි අය දැන් බොහෝ කොට (වඩාත් දැඩි පාරිසරික නියාමනයක් තිබෙන) යුරෝපීය රටවලින් ගෙන එන ආහාර පාන වැඩි මිළක් ගෙවා පරිභෝජනය කරනවා. එහෙත් මෙසේ කළ හැක්කේ ටික දෙනෙකුට පමණයි.

චීනයේ ආහාරවලට වසවිස එකතු වන්නේ හුදෙක් පරිසර දුෂණය හරහා වක‍්‍ර ලෙස පමණක් නොවෙයි. අධික ලාභ ඉපයීමේ තන්හාවෙන් මඩනා ලද ඇතැම් ගොවියෝ හා වෙළෙන්දෝ ඕනෑකමින් ම ආහාරවලට නොයෙක් රසායන ද්‍රව්‍ය මුසු කරනවා. ඒවායින් විසවීමට හැකි යයි ඔවුන් දන්නේ හෝ තකන්නේ හෝ නැහැ.

බිළිඳුන්ට දෙන කිරිපිටිවල මෙලමීන් නැමැති රසායනිකයක් හමු වී මහත් කලබැගෑනියක් හටගත්තේ 2008දී. චීනයේ ම කොටසක් වන, එහෙත් නීති කී‍්‍රයාත්මක කිරීම හා නියාමනය අතින් වඩාත් දියුණු වූත් දුෂණ අඩු වූත් හොංකොං විශෙෂ ප‍්‍රදේශයේ සිට ළදරු කිරිපිටි හැකි තාක් චීනයේ සෙසු ප‍්‍රදේශවලට ගෙන යාම ජයට කැරෙනවා. මේ නිසා දැන් එය පාලනය කරන්නට පවා සිදු වෙලා.

ඉසුරුබර හැම චීන පවුලක් ම ජීවත්වීමට වඩාත් හිතකර ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, බි‍්‍රතාන්‍යය, හෝ කැනඩාව වැනි රටක අමතර පුරවැසිකම ලබා ගෙන දෙවැනි ගෘහස්ථයක් දැන් සැළසුම් කරනවා යයි පසුගියදා ජාත්‍යන්තර පුවත් සගරාවක් වන ‘ටයිම්’ හෙළි කළා.

එම සගරාවේ චීන වාර්තාකාරිය හැටියට වසර කිහිපයක් එහි වාසය කරන හැනා බීච් (Hannah Beech) කීවේ: ‘මා දන්නා හැම සුපිරි පැළැන්තියේ චීන පවුලකට ම රට හැර දා යාමේ ක‍්‍රමානුකූල සැළැස්මක් තිබෙනවා. එය රටට ද්‍රෝහිවීමක් නොව තමන්ගේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව සඳහා කරන මානුෂික තීරණයක්’.

මෑතදී බේජිං නුවර වෙළඳපොළකදී පිරිපුන් බවින් යුතු දොඩම් ගෙඩි කිහිපයක් මිළට ගන්නට තමා උත්සාහ කළ බවත්, ඒවා අදහා ගන්නට බැරි තරම් තැඹිලි පාටින් යුතු වූ නිසා සමීපව පරීක්‍ෂා කළ බවත් හැනා බීච් වාර්තා කරනවා.

ටිකක් කථා බහා කරද්දී වෙළෙන්දා පිළිගත්තේ මේවාට තැඹිලි පාට ඩයි තවරා ඇති බවයි. ‘බය වෙන්න එපා – කෑවාට හානියක් නැහැ’ ඔහු කියා තිබෙනවා. මෙසේ කීවේ නොදන්නාකමට ද සටකපටකමට ද?

ෂැංඩොං ප‍්‍රාන්තයට ගිය ගමනකදී එහි ඇපල් ගොවියකු සමග කළ කථා බහක් ඇය සිහිපත් කරනවා. ඇය සමග සුහද වූ පසු ඔහු අවවාද කළේ ‘ෂැංඩොං සිට එන ඇපල් කන්න එපා. අපි නොයෙක් රසායන යොදා ගෙන ගෙඩි ඉක්මනින් පුෂ්ටිමත් කරනවා. ඒ වගේ ම තත්ත්ව පාලක නිලධාරීන්ටත් ගතමනාවක් දීලා ඔවුන් නිහඩ කරනවා’ කියායි.

හැනා බීච් මේ වාර්තාව ලිව්වේ හුදෙක් පත‍්‍රකලාවේදීනියක ලෙස පමණක් නොවෙයි. ලාබාල දරුවන් සිටින මවක් ද හැටියටයි. තමන්ගේ දරුවන්ට නොදැනුවත්ව ම වස විස දීමෙන් වළකින්නේ කෙසේදැයි ඇය නිතිපතා විපරම් කරනවා.

heilongjiang‘මගේ දරුවන්ට හා ඔවුන්ගේ පාසලේ සෙසු දරුවන්ට එළිමහනේ සෙල්ලම් කරන්නට බැහැ. වාත දුෂණය එතරම් ම දරුණු නිසා. අවුරුදු පහේ දරුවෝ වාත දුෂණ දර්ශකයේ අංක ගැන කථා කරන්නට පටන් අරන්. වායු සමනය කළ නිවාස හා පාසල් ගොඩනැගිලි ඇතුලේ කොටු කර ගෙන අප දරුවන් හදනවා. මගේ තුන් හැවිරිදි තවමත් බහ තෝරන දියණිය උගත් මුල් ම චීන වචනයක් වූයේ පරිසර දුෂණයට එම බසෙහි හමු වන යෙදුමයි. කෙතරම් යසඉසුරු තිබුණත් මෙබඳු ජීවන තත්ත්වයක් නිසා පීඩාවට පත් වනවා නම් එහි තේරුමක් ඇත්ද?’

ඇය මෙන් ම මේ ප‍්‍රශ්න මතු කරන චීන දෙමව්පියන් ලක්‍ෂ ගණනක් අද සිටිනවා. ඔවුන්ට දෙන්නට හරිහමන් අවංක උත්තරයක් චීන රජයට නැහැ.

එසේම වඩාත් උගත්, සන්නිවේදන තාක්‍ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ චීන මධ්‍යම පාන්තිකයන් මිලියන් 300කට අධික සංඛ්‍යාවක් පෙර මෙන් නොදන්නාකමේ අන්ධකාරයේ ගාල් කොට තැබිය නොහැකියි. රටේ ලෝකයේ සිදු වන්නේ කුමක් ද යන්න ගැන දැන් ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා.

මේ වසරේ ජනවාරියේ නාගරික ප‍්‍රදේශවල වාත දුෂණය උග‍්‍ර වූ විට ඒ ගැන නිදහසේ තොරතුරු වාර්තා කරන්නට මාධ්‍යවලට බලධාරීන් විසින් ඉඩ දෙනු ලැබුවා. මෙය චීනයේ අඵත් ප‍්‍රවණතාවක්. බොහෝ විට වසංගතයක්, ආපදාවක් හෝ වෙනත් අනතුරක් ගැන සැබෑ තොරතුරු වාර්තාකරණයට චීන කොමියුනිස්ට් පක්‍ෂය හා රාජ්‍ය නිලධාරීන් සීමා දමනවා. එහෙත් ජංගම දුරකථන හා ඉන්ටර්නේට් භාවිතය වඩාත් ප‍්‍රචලිත වෙත් ම මෙබඳු වාරණයන් සාර්ථක නොවන බව දැන් චීන බලධාරීන් තේරුම් අරන්.

අගනුවර හා වෙනත් ප‍්‍රධාන නගරවල පරිසර දුෂණ දත්ත පිළිබඳව සාපේක්‍ෂව යම් විවෘත භාවයක් හටගෙන ඇතත්, සෙසු නගරවල මේ තත්ත්වය ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් තිබෙනවා. එනම් තමන්ගේ අකාර්යක්‍ෂමතාවයන් වසා ගන්නට පිණිස පාරිසරික දත්ත නිකුත් කිරීම ප‍්‍රමාද කිරීම හා වසන් කිරීම.

1990 – 2005 වකවානුව තුළ චීනයේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් ලෙස 8.7%ක් වූවා. 2013දී 7.5% ක වර්ධනයක් ද 2011 – 2015 පස් අවුරුදු සැළසුම් කාලය තුළ සාමාන්‍ය ආර්ථික වර්ධනය 7%ක් වනු ඇතැයි ද අනුමාන කැරෙනවා. තරමක් වර්ධන වේගය අඩු වී ඇතත් තවමත් චීන ආර්ථිකය යන්නේ අධිවේගී ධාවනයෙන්. එය හරියට පාලනයකින් තොරව කඩා ගෙන බිඳ ගෙන පෙරට යන මකරකු වගේ.

චීනයේ මෙන් අධිවේගී ආර්ථික වර්ධනයක් 1950 – 1970 වකවානුවේ ජපානයේ ද සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුබෑමට පත් වුණු ජපානය පරම්පරාවක් ඇතුළත ආර්ථික වශයෙන් හිස එසවූවත් එහි දැඩි පාරිසරික විපාක අත්වින්දා. චීනය මෙන් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවතින ජපානයේ මේ විපාකවලට එරෙහිව මහජන උද්ඝෝෂණ නැගී ආ විට එයට ඉක්මන් ප‍්‍රතිචාර දක්වන්නට එරට දේශාපලකයන්ට හා නිලධාරීන්ට සිදු වුණා.

මේ දෙරටේ අධිවේගී වර්ධනයේ ක‍්‍රමවේදයන් සමාන වූවත් පාරිසරික විපාකවලට ප‍්‍රතිචාර දැක්වීමේදී නම් ජපානය චීනයට වඩා ඉතා ජනතාවාදී වූ බව කිව යුතුයි. යස ඉසුරු පතා සියල්ල කැප කිරීමේ කෙටි කාලීන ගිජු බවට ජපන් සමාජය යොමු කරන්නට ජපන් සමාගම් තැත් කළත් එරට රාජ්‍ය නිලධාරීන් හා ස්වාධීන අධිකරණයත්, සැබෑ ජනතා සංවිධානත් එම උත්සාහයට ඉඩ දුන්නේ නැහැ.

Video: Japan’s Lessons on the Economy and the Environment: Our Pollution Experience (Sinhala version)

සිවුමංසල කොලූගැටයා #115: ගම හා නගරය අතර අතරමං වූ ලක් සමාජය

In this weekend’s Ravaya column (in Sinhala), I ask: are there real cities in Sri Lanka that embody liberal values and distinctive identities that cities – both in the East and West – have. If not, what are our urban areas? Over-built neighbourhoods to which residents have transplanted their village mindsets — including feudalism that is rampant in our villages?

I covered similar ground in an English column last week:
When Worlds Collide #63: Looking for Real Cities in Sri Lanka

Colombo Harbour - image courtesy SriLankan Airlines

Colombo Harbour – image courtesy SriLankan Airlines

‘‘පළමුවෙන් ම කිව යුත්තේ මට වෙනත් බොහෝ දෙනෙකුට මෙන් සුන්දරත්වයෙන් මතක් කළ හැකි, නිවාඩුවකට එසේත් නැති නම් වසරකට වරක් එළැඹෙන සිංහල අලූත් අවුරුද්දට ගොස් පී‍්‍රතියෙන් ගත කළ හැකි ගමක් නැති බව ය. ලස්සන ගහ කොළ, තුරුලතා, ගංගා, විල්, ජලාස මා උපන් ගමෙහි නැත. ‘කොඩි ගහයට’ උපන් මා ‘අමු කොළඹ’යෙකි. දුවිල්ල, ඝෝෂාව, රඵ පරඵ කට හඩ, උස් ගොඩනැගිලි, තට්ටු නිවාස, මුඩුක්කු, කර්මාන්ත ශාලා මේ සියල්ල සහිත නගරයකින් මේ කථාව මා ආරම්භ කළ යුතු ය.’’

ප‍්‍රවීන පත‍්‍ර කලාවේදී ඒ. ඞී. රන්ජිත් කුමාර සූරීන් 1997දී ලියූ ‘කොස් ගස් හන්දිය’ නම් ආත්ම චරිත කථාව ඇරඹෙන්නේ එලෙසයි. ගම ගැන මගේ කථාවත් මීට ටිකක් සමානයි.

කොළඹට බෙහෙවින් තදාසන්න පිටකෝට්ටේ ඉපිද හැදී වැඞී එවක් පටන් ඇතුල් කෝට්ටේ, නාවල හා නුගේගොඩ ආදී අවට නගරවල වෙසෙන මට ද වර්ණනා කරන්නට තරම් ගමක් නැහැ. මගේ වගතුග අසන සමහරුන් දුර බැහැර ගමක් මට නොතිබීම ගැන අනුකම්පාවෙන් කථා කරනවා. එහෙත් ගම පිළිබඳ අතිශයෝක්තියක් හෝ රොමැන්ටික් එල්බ ගැනීමක් නැති මට, නගර ගැන වඩා මැදහත්ව සිතිය හැකියි.

සිංහල දෙමළ අවුරුදු කාලයට කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ජනයා හා වාහන අඩු වනවා. දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලින් පැමිණ පදිංචිව සිටින බොහෝ දෙනා තමන්ගේ ගම්බිම් බලා යාම ඊට හේතුවයි. ටික දිනකට හෝ උපතින් ම නාගරිකයන් වන අපට අපේ නගරය ඉතිරි වනවා.

ගමෙන් කොළඹට ආ මගේ සමහර මිතුරන් සෘජුව හෝ වක‍්‍රව හෝ මා වැන්නවුන් දකින්නේ අක්මුල් නැති (rootless), ‘සංකර’ වූ පාවෙන්නවුන් හැටියටයි. කලක් මා ඔවුන් සමඟ තර්ක කළෙ ඔවුන් තම ගම්වලට ලැදි වන තරමට ම මා මගේ උපන් නගරයට ලැදි වන බවයි.

වසරේ බොහෝ කාලයක් නගරවල වෙසෙමින්, එහෙත් නගරවලට දොස් තබමින් (සැබෑ ලෝකයේ තව දුරටත් ඉතිරිව නැති හෝ සොයා ගන්නට ඉතා අපහසු) සුන්දර ගමකට ආවඩන අයත් සමඟ මා දැන් වාද කරන්නේ නැහැ.

ගමෙහි තවදුරටත් ජීවත් නොවූවත්, ගම් වශයෙන් සැබැවින් ම හැදින්විය හැකි සමාජයන් එන්න එන්න දුර්ලභ වූවත් අපේ බොහෝ දෙනා ගම නැමැති රොමැන්ටික් සංකල්පයේ දැඩි සේ එල්බගෙන සිටිනවා. අතීතකාමය (nostalgia) මෙන් ම කාලානුරූපව වෙනස්වීමට ඇති නොකැමැත්ත ද එයට හේතු විය හැකියි.

19 වන සියවස අගදී රුසියාවේ ප‍්‍රභූ පැළැන්තිය ගැන ලියෝ ටෝල්ස්ටෝයි වරක් කීවේ ‘ඔවුන් සිය රටේදීත් විදේශිකයෝ, පිටරටවලදීත් විදේශිකයෝ’ කියායි. ඉහත ආකාරයේ මගේ මිතුරන් නගරයේදීත් පිටස්තරයෝ හා (තවදුරටත් ගමට ඔවුන් නොගැලපෙන නිසා) ගමේදීත් පිටස්තරයෝ යයි මට විටෙක සිතෙනවා.

නගරයක් යනු කුමක් ද?

උස ගොඩනැගිලි, පුඵල් හා බහුධාවන තීරු ඇති මහා මාර්ග, තට්ටු නිවාස, වෙනත් යටිතල පහසුකම්, කාර්යාල සංකීර්ණ, සාප්පු සංකීර්ණ ආදිය ඒකරාශි වූ පමණටම යම් තැනක් නගරයක් බවට පත් වනවා ද? භෞතික සාධකවලට අමතරව චින්තන මට්ටමේ නාගරික අනන්‍යතාවයක් ඇත් ද?

මේ ප‍්‍රශ්න අධිවේගී ලෙස නාගරීකරණයට ලක්වන බොහෝ රටවල විවාදයට ලක්ව තිබෙනවා. ලෝක මට්ටමින් බැලූවහොත් මේ වන විට මානව සංහතියෙන් හරි අඩකටත් ටිකක් වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ නගරවලයි.

නගර බිහි වීම ශිෂ්ටාචාර පරිනාමයේ එක් අවස්ථාවක්. එයට උදාහරණ මොහන්ජොදාරෝ, ඇතන්ස්, රෝමය මෙන් ම සහස‍්‍රයක් මෙරට රාජධානියව පැවැති අනුරාධපුරයත් දැක්විය හැකියි. කලාකරුවන්, චින්තකයන්, විද්‍යාඥයන් බොහෝ විට බිහි වන්නේ නගරවල සමාජ-ආර්ථික තෝතැන්න හරහා.

මේ නිසා නගර යනු හුදෙක් ‘ගම්මාන මත පරපෝෂිත වූ, සංකර මිනිසුන් වෙසෙන, මනුසත් බවෙහි ශුෂ්ක භූමි’ ලෙස සමහර ග‍්‍රාමවාදීන් කරන ලිහිල් විග‍්‍රහය පිළි ගන්නට අමාරුයි.

එහෙත් අපේ රටේ සැබැවින් ම නගර ලෙස ශිෂ්ටාචාර සම්ප‍්‍රදායට අනුගත වන ප‍්‍රපංචයන් අද දවසේ තිබේ ද? නොඑසේ නම් ඇත්තේ නාගරික ප‍්‍රදේශ පමණක් ද? අනුරාධපුරයෙන් පසු හරිහමන් එක නගරයක්වත් මෙරට බිහිවී ඇත් ද? නැතිනම් ඒ ඇයි?

ණයට ගත් විදේශ මුදල් විශාල ලෙස වැය කරමින් අධිධාරිතාවකින් යුතු යටිතල පහසුකම් ගොඩනැගු පමණට පසුගාමී වූ ස්ථානයක් හා ප‍්‍රජාවක් ක්ෂණික නගරයක් බවට පත් කළ හැකි ද? මේ ප‍්‍රශ්න අප පුඵල් ලෙස සංවාදයට ලක් කළ යුතුයි.

Manu Joseph

Manu Joseph

2013 ජනවාරියේ මනු ජෝසෆ් (Manu Joseph) නම් ඉන්දියානු පත‍්‍ර කලාවේදියා සහ ගත්කතුවරයා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට ලිපියක් ලියමින් තර්ක කළේ සීඝ‍්‍රයෙන් දියුණු වන නූතන ඉන්දියාවේ වචනයේ පරිසමාප්තයෙන් නගරයක් යයි කිව හැකි එකක්වත් බිහිව නැති බවයි.

පෙරඅපර දෙදිග ම නූතන සමාජයන් නගර හැටියට හදුනා ගන්නා ප‍්‍රපංචයේ මූලික ලක්‍ෂණ ගෙන හැර බැලූ විට එබදු ගතිසොබා එක් තැන් කරන එකදු නගරයක් වත් ඉන්දියාවේ නැතැයි ද ඒ වෙනුවට ඇත්තේ ග‍්‍රාමීය විසමතා හා අගතීන් ජනාකීර්ණ නාගරික ප‍්‍රදේශවලට ගෙඩිපිටින් ම බද්ධ කිරීම පමණක් යයි ද ඔහු කියා සිටියා.

2011 ඉන්දීය ජන සංගණනයට අනුව මිලියනකට හෝ වැඩි ජන සංඛ්‍යාවක් වෙසෙන, පරිපාලනමය වශයෙන් නාගරික යයි හදුන්වන ප‍්‍රදේශ 46ක් ඉන්දියාව පුරා විසිර තිබෙනවා. (සංසන්දනය සඳහා කොළඹ නගරයේ පදිංචිකරුවන් සංඛ්‍යාව ද මිලියනයක් පමණ වනවා.) මේ අතර අතිවිශාල නගර (Megacities)ලෙස වර්තමානයේ හදුන්වන, ජනගහනය මිලියන් 10ට වඩා වැඩි නාගරික ප‍්‍රදේශ තුනක් ද ඉන්දියාවේ තිබෙනවා (මුම්බායි, දිල්ලිය, කොල්කතාව).

මෙසේ තිබියදීත් මනු ජෝසෆ් ප‍්‍රබලව තර්ක කරන්නේ සංකල්පමය වශයෙන් නගරයක තිබිය යුතු විවෘත මානසිකත්වය (ලිබරල්වාදී බව) ස්වාධීන මතධාරිත්වය හා ගතානුගතික වාර්ගික බෙදීම් හා ලේබල් වලින් නිදහස් වී සිතීමේ හා කි‍්‍රයා කිරීමේ හැකියාව, නාගරික ප‍්‍රදේශවල වෙසෙන උගත්-නූගත්, ධනවත්-දිළිදු, බාල-මහලූ බොහෝ ඉන්දියානුවන්ට නොමැති බවයි.

මේ නිසා නාගරික පහසුකම් ඇති ස්ථානවල පදිංචි වූවත් ඔවුන් තවමත් සිතන්නේ, කථා කරන්නේ හා තීරණ ගන්නේ ගමේදී කළ කී විදියට ම බවත්, මේ නිසා ඉන්දියාවේ සැබෑ නගර බිහිව නැති බවත් ඔහු කියනවා.

ඉතින් ගමේ විදියට සිතීමේ ඇති වරද කුමක් ද?

නගරයක ඉපිද උසස් මධ්‍යම පාංතික පසුබිමක හැදුණු වැඩුණු මහත්මා ගාන්ධි, ඉන්දියානු ගම ගැන බෙහෙවින් වර්ණනාත්මකව කථා කළ අයෙක්. ‘ඉන්දියාවේ ආත්මය හමුවන්නේ ගම්වලයි.’ ඔහු කියා තිබෙනවා.

මෙය සැබෑ වුවත්, සම්පුර්ණ සත්‍යය නොවෙයි. ‘‘ඉන්දියානු ගම, සමහරුන් සිතන තරම් සරල හෝ පිවිතුරු හෝ නැහැ. ඉන්දියාවේ සමාජ විසමතා හා ප‍්‍රශ්න බොහොමයක් පැන නගින්නේ ගමෙන්. ගමේ යථාර්ථය හොදින් ම දන්නේ ගම්වල ජීවත්වන කුලවතුන් හෝ ධනවතුන් නොව පීඩිත ජනතාවයි.’’ ජෝසෆ් කියනවා.

ඉන්දියානු ගම ගැන යථාර්ථවාදීව විග‍්‍රහ කළ අයෙක් නම් ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූ ආචාර්ය බී. ආර්. අම්බෙඞ්කාර්. මීට 60 වසරකට පෙර ඔහු කීවේ මෙයයි: ‘‘ඉන්දියානු උගතුන් හා බුද්ධිමතුන් ගම නිර්මල හා පූජනීය දෙයක් ලෙස හුවා දක්වන්නට හරි කැමතියි. එහෙත් ඔවුන් නොදකින බිහිසුනු යථාර්ථයක් හැම ගමක ම තිබෙනවා. ඉන්දියානු ගම යනු පටු මානසිකත්වයේ, වර්ගවාදී බවෙහි, වැඩවසම් ක‍්‍රමයේ හා නොදන්නාකමේ ඇලී ගැලී සිටින පසුගාමී සමාජයක්.’’

Mahatma Gandhi (L) and Dr B R Ambedkar

Mahatma Gandhi (L) and Dr B R Ambedkar


එදා මෙදා තුර නිදහස් ඉන්දියාවේ ආර්ථික හා සමාජ ප‍්‍රගතිය නිසා මේ යථාර්ථය එතරම් වෙනස් වී නැතැයි ද, ගම්වල තිබූ සමාජ විසමතා නාගරික ප‍්‍රදේශවලටත් ප‍්‍රතිරෝපණය කිරීම නම් හොඳ හැටි සිදුව ඇතැයි ද ජෝසෆ් කියනවා.

21 වන සියවසේ ඉන්දියාවේ නවීකරණය පිළිබඳ සංවාදයේ මූලික සාධකයක් වී ඇත්තේ පීඩිත හා ගතානුගතික ගමේ සංකල්පයේ අන්ධ ලෙස එල්බගත් පිරිස් සැබෑ නගර බිහිවීමට එරෙහිව මතවාදීව, ප‍්‍රතිපත්තිමය හා භෞතික ලෙසින් කි‍්‍රයා කිරීමයි. ඔහු කියන හැටියට (සහ මාත් මුඵමනින් එකඟ වන පරිදි) නාගරික ප‍්‍රදේශ යනු සැබෑ නගර නොවෙයි!

මනු ජෝසෆ් මේ ලිපිය ලියන්නට ආසන්න ම හේතුව වූයේ 2012 දෙසැම්බර් 16 වනදා නවදිල්ලියේ ගමන් කරන බස් රථයක් තුළදී මිනිසුන් හය දෙනෙකු විසින් තරුණියක සමූහ දුෂණය කිරීමයි. මේ ප‍්‍රවෘත්තියත් සමඟ ස්තී‍්‍ර දුෂණය හා හිංසනයට පමණක් නොව නගරවල ආරක්‍ෂාව, නීතිය හා සාමය ආදි කරුණු ගැන ප‍්‍රබල ජනමතයක් ඉන්දියාව පුරාම මතු වුණා.

මෙබදු අපරාධවලට නූතනත්වය හා ‘සංකර වූ කාන්තාවන්’ ද වගකිව යුතු බවට ප‍්‍රතිමතයක් ද ඇතැම් ගතානුගතික පිරිස් මතු කළා. මේ ප‍්‍රතිමතය නියෝජනය කළේ පසුගාමී ග‍්‍රාමීය මානසිකත්වයයි.

සාම්ප‍්‍රදායික ඉන්දියානු ගමේ පීඩිතයන් අතර වැඩිපුර ම පීඩිත කාන්තාවන් බවත්, ගැමි මානසිකත්වය නගරවලට එලෙසින් ම ඔසවා ගෙන ආ අය කාන්තා හිංසනයේ වරද කාන්තාවන් මත ම පටවන්නට තැත් කිරීම පුදුමයක් නොවන බවත් ජෝසෆ් කියනවා.

‘‘මෙබදු අපරාධ ලෝකයේ ඕනෑ ම රටක, ඕනෑ ම නගරයක සිදු විය හැකියි. එහෙත් මේ සිදුවීමට පසු ඉන්දියාව සිසාරා මතුව ආ මධ්‍යම පාන්තික ආවේගයන් රජයට හා බලධාරීන්ට කෙලින් ම චෝදනා කළේ අපේ නගර එකක්වත් කාන්තාවන්ට ආරක්‍ෂාකාරී නැති බවයි.’’

ජෝසෆ් ඇතුඵ වෙනත් ප‍්‍රබුද්ධ ලේඛකයන් හා බුද්ධිමතුන් මෙය දකින්නේ ඉන්දියාව අධිවේගීව නවීකරණය වීමේදී මතු වන සංකල්පමය පරස්පරයක් හා අභියෝගයක් හැටියට. අධිවේගී මාර්ග, පාලම්, තට්ටු නිවාස, හෝටල් හා සාප්පු සංකීර්ණ ගොඩ නඟන වේගයට මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස් කරන්නට කිසිදු රජයකට බැහැ.

ශී‍්‍ර ලංකාවේ නාගරීකරණය ඉන්දියාවේ පරිමාණයට හා වේගයට වඩා අඩු වුවත් මේ පරස්පරයන් හා මත ගැටුම් අපටත් අදාලයි. එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත ඉවසා දරා ගැනීමේ හා සංවාද කිරීමේ හැකියාවෙන් නම් ශී‍්‍ර ලංකාව සිටින්නේ ඉන්දියාවට වඩා බොහෝ පිටුපසින්.

සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

I have devoted another weekend column in Ravaya newspaper (in Sinhala) to celebrate the memory of the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993). This time, I talk about his time at the United Nations, first as communication chief at UNFPA, and then as Deputy Executive Director at UNICEF.

See also:
සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

Varindra Tarzie Vittachi

Varindra Tarzie Vittachi

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993), වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

1975-80 වකවානුවේ ජනගහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුදලේ (UNFPA) සන්නිවේදන ප‍්‍රධානියා ලෙසත්, 1980-88 වකවානුවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසත් තනතුරු හොබවමින් ටාසි කළේ පත‍්‍ර කලාවේ තමන් ප‍්‍රගුණ කළ නිරවුල් හා සත්‍යවාදී සම්ප‍්‍රදායන් මේ ජාත්‍යන්තර ආයතනවලටත් නිසි ලෙස කාවැද්දීමයි.

එක්සත් ජාතීන් (United Nations) යනු ලෝකයේ රාජ්‍යයන් පමණක් සාමාජිකත්වය දරණ, ආණ්ඩුවල සාමාජික ගාස්තුවලින් නඩත්තු කරන අන්තර්-රාජ්‍ය සංවිධාන පවුලක් (inter-governmental organisations). එය කිසිදු නිර්වචනයකින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) ගණයට වැටෙන්නේ නැහැ.

එ.ජා. සංවිධානවල කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර තරගකාරී මට්ටමින් බඳවා ගන්නා අතර ඔවුන් සියඵ සාමාජික රාජ්‍යයන්ට වගකීමට බැදී සිටිනවා. තනි රටක රාජ්‍ය සේවකයකු බලයේ සිටින රජය සමග ගනුදෙනු කළ යුතු නමුත් එ.ජා. සේවකයෝ රාජ්‍යයන් 193ක් සමග සීරුවෙන් වැඩ කළ යුතුයි. මෙය ලෙහෙසි වැඩක් නොවේ.

ටාසි එ.ජා. සංවිධාන ජාලයේ ඉහළට ම ගිය ලාංකිකයන් ටික දෙනාගෙන් කෙනෙක්. එබදු උසස් තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් හා ලෝක භාෂා 6න් අඩු තරමින් එකකවත් මනා හැකියාව මෙන් ම තීක්‍ෂණ බුද්ධියත්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් සමග ගනුදෙනු කිරීමේදී හොඳ හිත දිනා ගැනීමේ හැකියාවත් තීරණාත්මක සාධක වනවා.

එබදු තනතුරකට ආයාසයෙන් පත්වන බොහෝ දක්‍ෂයන් කරන්නේ තනතුරු රැක ගෙන, කිසිවකුත් උරණ නොකර ආයතනික සීමා තුළ යම් වැඩ කොටසක් කිරීමයි. එහෙත් සහජයෙන් ම පෙරළිකාරයකු වූ ටාසිට මේ ඇඟ බේරා ගෙන වැඩ කිරීමේ කලාව පුරුදු නැහැ. ඔහු UNFPA හා UNICEF ආයතන දෙකෙහි ම බුද්ධිමය හා ආකල්පමය වෙනසක් කළා.

මෙයට උදාහරණ හා රස කථා එමට තිබෙනවා. 1995 වසරේ මාස තුනක් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ මා ගත කළ කාලයේ ටාසි ගැන තොරතුරු විපරම් කරන්නට මා උත්සුක වූණා. ටාසි කළ කී අසාමාන්‍ය දේ ගැන අපූරු මතකයන් තිබු නිලධාරීන් කිහිප දෙනකු මට හමු වුණා.

එ.ජා. සංවිධාන ජාලය තුළ මෙන් ම වෙනත් බොහෝ දෙස් විදෙස් විදවත් ආයතනවලත් සංවර්ධනය ගැන සංවාදවලදී ඕනෑවට වඩා සෙද්ධාන්තික වීම හා ‘ඉන්ටලෙක්චුවල් වීම’ ටාසි නොඉවසූ දෙයක්.

ඔහු ජනගහන අරමුදලේ වැඩ කරන කාලයේ කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම් ගැන ලෝක මට්ටමේ විවාදයක් පැවතුණා. තමන් දරුවන් කීදෙනකු ලබනවා ද, ඔවුන් අතර කාල පරතරය කුමක් විය යුතු ද, උපත් පාලන ක‍්‍රම භාවිතා කරනවා ද ආදී මූලික මානුෂික තීරණ ගැනීමට කාන්තාවන්ට අයිතියක් ඇති බව පිළි ගැනීමට ඇතැම් රටවල් හා පිරිස් නොකැමැති වූණා.

මෙබදු සංවේදී ප‍්‍රශ්නවලදී ආණ්ඩුවලට හැක්කේ අවශ්‍ය ප‍්‍රතිපත්ති හා අයිතීන් තහවුරු කිරීම මිස ඉන් ඔබ්බට පෞද්ගලික තීරණවලට අත පෙවීම නොවන බව ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ මතය වුණා. රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා බුද්ධිමතුන් මහා ලොකු වචන හරඹවලින් මේ තර්ක කරනු බලා සිටි ටාසි, ඉතා සරල එහෙත් ගැඹුරු වැකියකින් මුඵ සංවාදය ම කැටි කර දැක්වූවා. “Governments don’t have babies; people do!” (දරුවන් ලබන්නේ මිනිසුන් මිස ආණ්ඩු නොවේ!)

අනවශ්‍ය ලෙස තාක්‍ෂණික හා නීතිමය විවාදවල පැටලෙන්නට අති සමත් සංවර්ධන කි‍්‍රයාකාරිකයන්ට හා බුද්ධිමතුන්ට ටාසි විටින් විට මෙබදු සරල වැකි හරහා ප‍්‍රායෝගික යථාර්ථය පෙන්වා දුන්නා.

සංවර්ධනය යනු සැබෑ ලෝකයේ නිතිපතා ජීවන අරගලයක යෙදෙන සැබෑ මිනිසුන් හා ගැහැණුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන අතර ඔවුන්ගේ ජීවන බර හැකි තාක් සැහැල්ලූ කිරීම බව ටාසි තරයේ විශ්වාස කළා. එම සංවර්ධනය හරවත් වන්නේ එය පාරිසරිකව හා සමාජයීය වශයෙන් තිරසාර වූ විට පමණක් බවත්, සංවර්ධනය හුදෙක් ආර්ථික වර්ධන ප‍්‍රවණතාවලින් මැනිය නොහැකි බවත් ඔහු දැන සිටියා.

ජාත්‍යන්තර තලයට අපේ වැනි රටවලින් යන බොහෝ විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන් ඉන් පසුව අපේ ම මිනිසුන් ගැන බොහෝ විට කථා කරන්නේ නොදියුණු සතුන් ගැන බදු පහත් වූ ආකල්පයකින්. මෙබදු අවස්ථාවල සැබෑ ලෝකයේ නිරීක්‍ෂණ, යථාර්ථවාදීව හා සානුකම්පිකව විග‍්‍රහ කිරීමට පත‍්‍ර කලාවේදියකු ලෙස තමා ලබා තිබූ පුහුණුව හා අත්දැකීම් ටාසි අවියක් හා සවියක් කරගත්තා.

එ.ජා. සංවිධානය කි‍්‍රයාත්මක වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේදී මෙසේ සත්‍යවාදී වීම අසීරු හා අවදානම් කාරියක්. බොහෝ රටවල විදේශ සේවා නිලධාරීන් එ.ජා. සංවිධානයේදී කරන්නේ තමන්ගේ රටේ තත්ත්වය ගැන අතිශයෝක්තියෙන් සෙසු රටවලට කරුණු කීම හා අමිහිරි සත්‍යයන් හැකි තාක් වසන් කිරීමයි. එය ‘ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ’ විධියේ වැඩක්.

දියුණු වන ලෝකයේ තිත්ත ඇත්ත මෙන් ම ලෝක මාධ්‍ය හරිහැටි වාර්තා නොකළ සුබවාදී ප‍්‍රවණතා ද ටාසි එක සේ ලෝක ප‍්‍රජාවට වාර්තා කළා – විග‍්‍රහ කළා. 1980 දශකය වන විට ටාසි ගැන ලෝක ප‍්‍රජාව තුළ තිබූ ගෞරවනීය පිළිගැනීම නිසා ඔහු කියන දෙයට රාජ්‍ය නායකයන්, ඇමතිවරුන් හා රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ අවධානය යොමු වුණා.

UNFPA ආයතනයේ සිටිය දී ටාසි කළ අමුතු වැඩක් ගැන වසර ගණනක් ගත වීත් එහි කථා කැරෙනවා. රාජ්‍ය නිලධාරී හා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සම්මේලන නිව්යෝක් නුවර එ.ජා. කාර්යාලයේ නිතර පැවැත් වෙනවා. මෙවැන්නක් භාරව සිටි ටාසි, ආරම්භක දිනයේ සියඵ නියෝජිතයන්ට සාම්ප‍්‍රාදායිකව දිවා ආහාරයට ඇරැයුම් කළා. එහෙත් පැයක දිවා කාලය සඳහා ම දුන්නේ කුඩා පාන් ගෙඩියක් (bread-roll) හා වතුර වීදුරුවක් පමණයි.

හැම දෙනා ම විමතියට පත්වූ විට ටාසි ඉතා සන්සුන්ව මෙසේ කියා තිබෙනවා. “නෝනාවරුනි, මහත්වරුනි, තෙවැනි ලොව ප‍්‍රශ්න ගැන කථා කරන්නට මෙහි පැමිණි ඔබ සැමට තෙවැනි ලොව බහුතරයක් දෙනාගේ සාමාන්‍ය දිවා ආහාරය දීම උචිත යයි මා සිතුවා. ඇත්තට ම ඔබ ඉදිරියේ ඇති පිරිසිදු වතුර වීදුරුව හා අඵත් පාන් ගෙඩිය පවා තෙවැනි ලොව අපේ බොහෝ සහෝදර ජනයා නොලබන තරමේ සංග‍්‍රහයක්.”

කිසිදු නියෝජිතයකු මුවින් නොබැන මේ සංග‍්‍රහය නිහතමානීව භුක්ති විදි බවත්, ඒ ගැන තවමත් සමහරුන් කථා කරන බවත් UNFPA නිලධාරියා මට කීවා.

UN Headquarters in New York, photo by Nalaka Gunawardene

UN Headquarters in New York, photo by Nalaka Gunawardene

ටාසිගේ සමහර ප‍්‍රකාශයන් හිතාමතා ම ආන්දෝලනාත්මක ලෙස කරනු ලැබුවා. හැම වසරේ ම සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල එ.ජා. මහා මණ්ඩලයේ සැසිවාරය රාජ්‍ය නායක මට්ටමින් නිව්යෝක් මූලස්ථානයේ පවත් වනවා. බොහෝ රාජ්‍ය නායකයන් එය ඇමතීමට පිරිවරත් සමග දින කිහිපයකට එහි එනවා.

සැසිවාරය ආරම්භක දිනයේ හා විශෙෂ මත ගැටුමක් සිදු වුවහොත් පමණක් (ෆිදෙල් කැස්ත්‍රෝ, ගඩාෆි, නිකිතා කෘෂ්චෙෆ් වැනි පෙරළිකාර චරිත එහි පැමිණි විට) එය ලොව ප‍්‍රධාන පුවත්සේවාවලට ප‍්‍රවෘත්තියක් වනවා. එසේ නැති විට රාජ්‍ය නායකයන් දුසිම් ගණනින් පැමිණීම නිව්යෝක් නුවර මාධ්‍ය ආයතනවලට හෝ අමෙරිකානු මාධ්‍යවලට හෝ පුවත් වටිනාකමක් ඇති කරන්නේ නැහැ. (බොහෝ රාජ්‍ය නායකයන් එහි එන්නේ සිය රටේ මාධ්‍ය හරහා පම්පෝරිය වාර්තා කිරීමටයි.)

මෙබදු එක් අවස්ථාවක කුඩා රටක රාජ්‍ය නායකයකු එ.ජා. මහ සමුඵව අමතන්නට නියමිතව සිටියදී ඒ නියෝජිත පිරිසේ වන්දිභට්ටයකු ටාසිගෙන් ඇසුවේ ‘කොහොමද අපේ ලොක්කාගේ මේ නිව්යෝක් චාරිකාව ලෝක ප‍්‍රවෘත්තියක් කළ හැක්කේ?’ කියා.

ටාසි එක එල්ලේ දුන් උත්තරය: ‘ලොක්කා කියන දෙයින් නම් පුවත් මවන්නට බැහැ. හැබැයි කවුරු හරි ලොක්කට සභාව ඇතුලේ වෙඩි තිබ්බොත් නම් ලෝක ප‍්‍රවෘත්තියක් ෂූවර්!’ (මේ යෝජනාවට නියෝජිතයාගේ ප‍්‍රතිචාරය වාර්තා වී නැහැ.)

James P Grant

James P Grant

ළමා අයිතිවාසිකම් හා සුබ සාධනයට කැප වූ ඹභෂක්‍ෑත්‍ ආයතනයේ ටාසි දෙවැනියාව සිටි කාලයේ එහි ප‍්‍රධානියා වූයේ නොබියව ඇත්ත කථා කළ අමෙරිකානුවකු වූ ජේම්ස් පී. ග‍්‍රාන්ට්. මේ දෙදෙනා ඉතා දක්‍ෂ ලෙස ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග ගනුදෙනු කළා. ග‍්‍රාන්ට් හා ටාසි නිතර භාවිත කළ ප‍්‍රබල රූපකයක් තිබුණා.

එවකට සංඛ්‍යා ලේඛනවලට අනුව වයස 5 සපිරෙන්නට කලින් වළක්වා ගත හැකි බෝවන රෝග හා මන්දපෝෂණය ආදී දරිද්‍රතා සාධකවලින් ලොව පුරා ළමයින් මිලියන් ගණනක් වාර්ෂිකව මිය ගියා. මේ විශාල සංඛ්‍යා සාමාන්‍ය ජනතාවට එක්වර සිතා ගන්නට අමාරුයි.

එනිසා මේ දෙපළ එය මෙසේ ප‍්‍රකාශ කළා. ‘‘කුඩා දරුවන් පුරවා ගත් 747 ජම්බෝ ජෙට් යානා කිහිපයක් බිමට වැටී සියඵ දෙනා ම මිය යන සැටි සිතන්න. එබදු අනතුරු වසරේ හැම දවසක ම සිදු වනවා යයි ද සිතන්න. ලොව පුරා අකල් ළමා මරණ ගණන එයටත් වැඩියි!’’

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලාංකික උරුමය ගැන අතිශයෝක්තියක් හෝ අවතක්සේරුවක් හෝ නැතිව මැදහත්ව කථා කිරීමට ඔහු සමත් වුණා. අපේ හොඳ දේ ආඩම්බරෙන් හුවා දක්වන අතර වැරදි දේ නිර්දය ලෙස විවේචනය කළා. 1990-92දී ජනාධිපති පේ‍්‍රමදාසගේ සමහර ප‍්‍රතිපත්ති රජයේ Daily News පත‍්‍රය හරහා ලිපි ලියමින් ඔහු නොබියව විවේචනය කළ සැටි මට මතකයි.

මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් ගැඹුරු විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා.

ගෙවී යන සියවසේ සංවර්ධනය පිළිබඳ මානව සංහතියේ ප‍්‍රගති වාර්තාව (රිපෝට් කාඞ් එක) සමාලෝචනය කරමින්, එළඹෙන සියවසේ අභියෝග ගැන ඔහු සුභවාදීව කථා කළා. පත‍්‍රකලාව ගැන දැඩි ඇල්මක් කුඩා කල පටන් ම මා තුළ තිබුණත් මෙබදු සංවර්ධන මාතෘකා ගැන මාධ්‍යකරණයට මා යොමු වීමට ටාසිගේ බලපෑම් ද හේතු වූවා.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මේ තලයන්හි සැරිසරන මා ලද විශිෂ්ඨතම ප‍්‍රශංසාවක් හැටියට සළකන්නේ ‘ටාසිගෙන් පසු ලංකාවෙන් බිහි වූ දක්‍ෂ සංවර්ධන සන්නිවේදකයා’ යයි වරක් ජාත්‍යන්තර සමුඵවකදී මා හදුන්වා දෙනු ලැබීමයි.

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්.

සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)

Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi

සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා

India has the highest number of road accidents in the world: 15 people die every hour from road accidents, and 60 more are seriously injured. Yet, 80% of accident victims don’t receive any medical care within the crucial ‘Golden Hour’ — the immediate period following a traumatic injury when there is the greatest chance to prevent death with prompt treatment.

Piyush Tewari, a young entrepreneur, set up the SaveLIFE Foundation in 2008 to enable bystander care, or community driven emergency response, until more professional help arrives.

In this week’s Ravaya column, in Sinhala, I describe how one determined young man is making a difference for hundreds of people injured on the mean streets of India. Last week, I also wrote an English column covering the same topic.

Piyush Tewari

Piyush Tewari

ශිවාම් බාජ්පායි 17 හැවිරිදි ඉන්දියානු තරුණයෙක්. මීට වසර කිහිපයකට පෙර ඔහු මාර්ග අනතුරකට ලක් වුණා. මහ දවාලේ මහ නගරයක බරපතල ලෙස තුවාල ලබා ඔහු මහ මග වැටී සිටියා. විනාඩි 40ක් පුරා කිසිවෙකුත් ඔහුගේ උදව්වට ආවේ නැහැ. අන්තිමේදී අධික රුධිර වහනයෙන් ඔහු මිය ගියා.

අනතුරෙන් තුවාල ලද විගස ඔහු වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමූ වූවා නම් මේ අකල් මරණය වළක්වා ගත හැකිව තිබුණා. එහෙත් මෙබදු අවස්ථාවක බොහෝ දෙනෙකු උදවු කරන්නට ඉදිරියට එන්නේ නැහැ. එසේ කළොත් පොලීසිය එම අනතුරේ වගකීම ඔවුන් මත පටවන නිසා. එමෙන්ම ඉන්දියාවේ නාගරික හා ග‍්‍රාමීය බොහෝ දෙනාට හදිසි අනතුරකදී මූලික ප‍්‍රථමාධාර දීමට පවා දැනුමක්, පුහුණුවක් නැහැ.

ශිවම්ගේ ඥාති සොහොයුරා මේ පවුලේ මරණය ඔස්සේ කම්පාවට පත් වී ඒ ගැන තව දුරටත් තොරතුරු ගවේෂණය කලා. පියුශ් තිවාරි නම් වූ ඔහු පෞද්ගලික අංශයේ මූල්‍ය සමාගමක ඉහළ විධායක නිලධාරියකු වුණා. සොයා ගත් තොරතුරුවලින් ඔහු මවිතයට පත් වුණා.

මාර්ග අනතුරුවලින් ලෝකයේ මුල් තැන ගන්නේ ඉන්දියාවයි. එරට වසරකට එක් ලක්ෂ තිස් දහසක් පමණ මාර්ග අනතුරු නිසා මිය යනවා. දිවා රාත‍්‍රී හැම පැයක ම 15 දෙනකුට මරු කැඳවන තවත් 60 දෙනකුට බරපතල තුවාල ගෙන දෙන මේ මාර්ග අනතුරුවලට හේතු රැසක් තිබෙනවා. අධික වේගය, බීමත්කම, හෙල්මට්, ආසන පටි හා ළමා ආසන භාවිතය අඩුවීම ඒ අතර තිබෙනවා.

ඉන්දියාවේ 15-40 අතර වයසේ පසුවන පිරිමි හා ගැහැණු දෙපිරිසේ ම අකල් මරණවලට ප‍්‍රධාන හේතුව මාර්ග අනතුරුයි. “මෙය අප නොදැනීම ජාතික මට්ටමේ වසංගතයක තත්ත්වයට පත් වෙලා,” තිවාරි කියනවා.

පොලිස් නිළධාරීන්, වෛද්‍යවරුන්, හදිසි සේවා සපයන්නන් ආදී බොහෝ දෙනා සමග කථා බහ කිරීමෙන් ඔහු සොයා ගත්තේ අනතුරට පත් වන අති බහුතරයකට (80%) නිසි කලට ප‍්‍රථමාධාර හෝ වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබෙන බවයි!

මිලියන් 16කට වැඩි ජනකායක් වෙසෙන දිල්ලි නාගරික ප‍්‍රදේශයේ 2008දී තිබුණේ මහජන ගිලන්රථ 35ක් පමණයි. බොහෝ වෙලාවට අනතුරට පත් වූවන් ළග ඇති රෝහලකට ගෙන යන්නේ පොලිස් හදිසි ආපදා මෝටර්රථවලින්. එහෙත් පොලිස් නිළධාරීන්ට වුව ද තුවාල ලැබූවකු ඔසවන, රැගෙන යන හා තාවකාලික සහනයකට පත් කිරීම ගැන මූලික දැනුමක් නැති බව තිවාරිට පෙනී ගියා.

මාර්ග අනතුරු නිසා ඇති වන ජීවිත විනාශය හා තුවාලවීම් ලෝක ව්‍යාප්ත මහජන සෞඛ්‍ය තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පිළි ගන්නවා. මාර්ග අනතුරු පිළිබඳව රටවල් 178ක දත්ත ඒකරාශී කර විග‍්‍රහ කරමින් 2009දී ලොව පළමු වතාවට WHO මාර්ග ආරක්ෂාව පිළිබඳ ලෝක වාර්තාවක් සම්පාදනය කලා. (Global Status Report on Road Safety, 2009).

ඒ වාර්තාව පෙන්වා දුන්නේ වසරකට අඩු තරමින් මිලියන් 1.4ක් දෙනා මාර්ග අනතුරුවලින් මිය යන අතර තවත් මිලියන් 20-50ක් අතර අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තාවකාලිකව හෝ සදාකාලිකව එයින් පීඩාවට පත් වන බවයි. මාර්ග අනතුරුවල අවදානමට වඩාත් මුහුණ දෙන්නේ පදිකයන්, පාපැදිකරුවන් හා මෝටර් බයිසිකල් පදවන්නන් බව WHO සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

විශේෂයෙන් අඩු හා මධ්‍යම ආදායම් ලබන (දියුණුවන) රටවල මාර්ග අනතුරු සිදුවීම වාහනවලට සාපේක්ෂ ඉතා වැඩි බව WHO කියනවා. අපේ වැනි රටවල් සියල්ලේ භාවිත වන මෝටරථ, මෝටර් බයිසිකල් හා බර වාහන සංඛ්‍යාව එකතු කළ විට ලෝකයේ සමස්ත වාහනවලින් එය 48%යි. එහෙත් මාර්ග අනතුරුවලින් 90%ක් ම සිදු වන්නේත් මේ රටවලයි. මෙයට හේතුව හුදෙක් වාහන සංඛ්‍යාව පමණක් නොව, මාර්ග සැළසුම, රියදුරු විනය, නීතිය ක‍්‍රියාත්මක කිරීම හා අනතුරු පිළිබඳ මහජන දැනුවත්කම ආදී සාධක රැසක් අපේ රටවල ඇති පමණින් නොතිබීමයි.

මාර්ග අනතුරු ගැන රාජ්‍ය හා ජන අවධානය වැඩි කරන්නට මාර්ග ආරක්ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකයක් (2011-2020) WHO ප‍්‍රමුඛ කරගත් එක්සත් ජාතීන් විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. Decade of Action for Road Safety, 2011-2020.

මාර්ග අනතුරු මුළුමනින් නැති කරන්නට අමාරුයි. එහෙත් නිසි සැළසුම්, විනය හා නීති හරහා එය අවම කර ගත හැකියි. එබදු පිළිවෙතකට සමාන්තරව අනතුරු සිදු වූ විට නිසි ප‍්‍රතිකාර ලබා දීමේ හැකියාව ද දියුණු කළ යුතුයි.

දියුණු රටවල අනතුරුවලින් මරණ හා සදාකාලික ආබාධ සිදුවීම අඩු වන්නේ මෙසේ පශ්චාත් අනතුරු ප‍්‍රතිචාර දැක්වීම ප‍්‍රශස්ත නිසායි. රටක් දියුණු වනවා කියන්නේ අධිවේගී මහාමාර්ග තැනීම හා නවීන වාහන ධාවනය පමණක් නොවෙයි. අනතුරකදී එයට පාත‍්‍ර වූවන්ට කාර්යක්ෂමව නිසි ප‍්‍රතිකාර ලැබෙන ක‍්‍රමවේදයන් ද අවශ්‍යයි.

තුවාල ලැබූවකුට හැම තත්පරයක් හා විනාඩියක් ම තීරණාත්මකයි. නිසි ප‍්‍රථමධාර ක්ෂණිකවත් හා වඩා විධිමත් වෛද්‍ය ප‍්‍රතිකාර ඉනික්බිතිවත් ලැබුණොත් අධික රුධිර වහනය හා කම්පනය නිසා මිය යෑමට ඇති ඉඩ අඩු වනවා. හදිසි ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ මෙය රන් හෝරාව (Golden Hour)ලෙස හදුන්වනවා.

During a training course for police officers, Piyush Tewari (centre), teaches vital lessons in basic trauma care

During a training course for police officers, Piyush Tewari (centre), teaches vital lessons in basic trauma care

තුවාලවීමේ ස්වාභාවය අනුව පණ බේරා ගන්නට හා සදාකල් ආබාධවීම් වළක්වන්නට තිබෙන කාල ප‍්‍රමාණය අඩු වැඩි විය හැකියි. බොහෝ විට අපේ මාර්ගවල සිදු වන්නේ විනාඩි ගණන් තුවාලකරුවන් කිසිදු පිළිසරණක් නොලබා වැටී සිටීමයි. නැතහොත් හරිහැටි ප‍්‍රථමාධාර දැනුම නැති අය විසින් කඩිමුඩියේ රෝහලකට ගෙන යාමේදී කොදු නාරටිය හෝ වෙනත් අස්ථි බිදී ඇත්නම් ඒවායේ හානිය වැඩි වීමයි.

අධික වාහන තදබදය නිසා නාගරික ප‍්‍රදේශවල තුවාල ලැබූවන් රෝහලකට ගෙන යාම ප‍්‍රමාද වනවා. මේ නිසා අනතුර සිදු වූ තැන ම ඉක්මනින් ලබා දෙන මූලික ප‍්‍රතිකාර තීරණාත්මකයි.

මේ ජාතික උවදුරට ප‍්‍රජා මට්ටමේ ප‍්‍රතිචාරයක් දක්වන්නට තිවාරි පෙරට ආවා. බොහෝ මධ්‍යම පාංතිකයන් මෙබදු ප‍්‍රශ්නයකදී රජය එය විසඳන තුරු බලා සිටියත් ඔහු සිතුවේ පොදු අභියෝගයක් ලෙස සැමදෙනා ම එය භාරගත යුතු බවයි.

මේ අනුව 2008 පෙබරවාරියේ SaveLIFE Foundation (දිවි සුරකින පදනම) නම් ස්වේච්ඡ ආයතනයක් (ඔව්, NGO එකක්!) ආරම්භ කළා. එහි අරමුණ මාර්ග අනතුරුවලින් විපතට පත් තුවාලකරුවන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලැබෙන තුරු ප‍්‍රථමාධාර හා වෙනත් සහන සැළසීමයි.

මේ සඳහා පොලිස් නිලධාරීන් මෙන් ම සාමාන්‍ය ජනතාව ද ප‍්‍රථමාධාර ගැන දැනුවත් කිරීම ඇරඹුවා. අතපය හෝ පිට කොන්ද බිදී ඇති කෙනෙකු ප‍්‍රවේශමෙන් ඔසවන හැටි, රුධිර වහනය අවම කරන හැටි, තාවකාලිකව නතර වූ හෘද ස්පන්දනය නැවත පණ ගන්වන හැටි ආදී පරිපූරක වෛද්‍ය (para-medical) පියවර ගැන 2012 මැද වන විට පොලිස් නිලධාරීන් 3,500ක් පමණ පුහුණු කර තිබෙනවා. ඒ නවදිල්ලි නාගරිකය, උත්තර් ප‍්‍රදේශ් හා මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තවලයි.

තිවාරිට මුලින් ඕනෑ වූයේ දිල්ලි නාගරිකයේ සාමාන්‍ය ජනයා 10,000කටත් කෙටි කාලීන පුහුණුවක් හරහා මේ දිවි සුරකින දැනුම ලබා දෙන්නයි. එය ප‍්‍රායෝගිකව කිරීම අපහසු වූ විට ඔහු මෝටර් බයිසිකල් වලින් අනතුරු සිදු වූ තැනට ඉක්මනින් ඒමට සැදී පැහැදී සිටින 45 දෙනකුගේ ස්වේච්ඡ බලකායක් ඇරඹුවා.

අනතුරක් ගැන ජංගම දුරකථන හරහා ඔවුන්ට දැනුම් දෙනවා. ඒ වහා ම එතැනට පැමිණෙන ඔවුන් මුල් ප‍්‍රතිචාර දක්වන්නන් (first responders) ලෙස විවිධ ප‍්‍රථමාධාර හා තුවාලකරුවන්ට ආරක්ෂිත පියවර ගන්නවා. ඒ අතර රෝහල් හා පොලීසිය සමග ද සම්බන්ධීකරණය කරනවා.

මේ ප‍්‍රජා මූලික ක‍්‍රමවේදයෙන් දැනටමත් සිය ගණනක් ජීවිත බේරාගෙන තිබෙනවා. දිවි සුරකින පදනම හා තිවාරිට මේ ගැන දෙස් විදෙස් පැසසුම් ලැබෙනවා. 2010දී රෝලෙක්ස් සම්මානය ඔහුට පිදීම සමග මේ සංකල්පය ජාත්‍යාන්තර අවධානයට පත් වුණා. (http://tiny.cc/PTewari)

පදනමේ කටයුතු පුළුල් වීම නිසා එයට සිය මුළු කාලය හා ශ‍්‍රමය යොදවන්නට තිවාරි 2011දී තමන්ගේ ව්‍යාපාරික රැුකියාවෙන් අස් වුණා. දානපතියන්ගේ අනුග‍්‍රහයෙන් හා රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් ඔහු දැන් දිවි සුරකින ක‍්‍රමවේදය මුළු ඉන්දියාවටත්, ඉන් ඔබ්බටත් ව්‍යාප්ත කරන්නට ක‍්‍රියා කරනවා.

ව්‍යාපාරික ෙක්‍ෂත‍්‍රයෙන් ගෙනා ගැටළු විසදීමේ කළමණාකාරිත්ව හැකියාව මෙහිදී ඔහුට උපකාර වනවා. මාර්ග අනතුරු අවම කිරීමට ප‍්‍රතිපත්ති, නීති හා තාක්ෂණික මට්ටමින් ද ඔහු අවධානය යොමු කරනවා.

උදාහරණයක් හැටියට අනතුරක් දුටු විට තුවාලකරුවන්ට පිහිටට එන හොඳ මිනිසුන්ට (Good Samaritans) නීතිමය ව්‍යාකූලතා මතුවන්නට ඉඩ නොතබා ඔවුන් ආවරණය වන පරිදි එරට නීති සංශෝධනය කරන්නට ඉන්දියානු බලධාරීන් එකග කරවා ගත්තා. මේ අනුව පොලීසි හා උසාවි ගානේ රස්තියාදු වීමේ මෙතෙක් තිබූ ක‍්‍රමවේදය ළගදී ම වෙනස් කෙරෙනු ඇති බව පසුගිය නොවැම්බරයේ නව දිල්ලියේදී තිවාරි මට කියා සිටියා.

තුවාලකරුවකු රෝහලකට ගෙන ගිය විට ඉන්දීය වෛද්‍යවරුන් ද මුලින් ම කරන්නේ නීතිමය ෆෝර්ම පිරවීමයි. ලෙඩාට ප‍්‍රතිකාර කරන්නේ ඉනික්බිතිවයි! හේතුව රෝගියා මිය ගියහොත් වෛද්‍යවරුන්ට වගකීම පැවරෙන නිසා.

“අප හදන්නේ වෛද්‍යවරුන්ට නීතිමය ආරක්ෂාව දෙන අතර සමස්ත ප‍්‍රතිචාර ක‍්‍රියාවලිය කාර්යක්ෂම කරන්නයි. හැම තත්පරයක් ම තුවාලකරුවන්නේ වාසියට හරවා ගන්නයි,” තිවාරි කියනවා.

දිගු කාලීනව මාර්ග අනතුරු වැළැක්වීම සඳහා නීතිමය, අධ්‍යාපනික හා ආකල්පමය වෙනස්කම් කිරීමට ද දිවි සුරකින පදනම ක‍්‍රියා කරනවා.

දැනටමත් පදනමේ ආකෘතිය නයිජීරියාවේ අත්හදා බලනවා. ළගදී ම තවත් රටවලට තම අත්දැකීම් බෙදා ගන්නට කැමැති බවත්, ශ‍්‍රී ලංකාවටත් 2013දී එය හදුන්වා දෙන්නට සැදී පැහැදී සිටින බවත් තිවාරි කියනවා.

“රියදුරන්, මගීන් හෝ පදිකයන් හැටියට අප සැවොම මාර්ග අනතුරුවලට දිනපතා නිරාවරණය වනවා. අපේ පොදු ආරක්ෂාව අප එකමුතු වී ක‍්‍රියා කළ යුතුයි. මේ අනතුරු වසංගතය පාලනය කර ගන්නට එක ම ක‍්‍රමය එයයි.” තිවාරි අවධාරණය කරනවා.

ඉහළ මධ්‍යම පාංතික පසුබිමකින් එන, විදෙස් අධ්‍යාපනය ලැබූ පියුශ් තිවාරි වැනි දක්ෂ තරුණ තරුණියන් පොදු උන්නතිය හා සමාජ ප‍්‍රශ්න සඳහා කැප වීම දැන් ඉන්දියාවේ ප‍්‍රවණතාවක්. අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසර සංරක්ෂණය, ළමා අයිතිවාසිකම්, කුල භේදය තුරන් කිරීම වැනි උතුම් අරමුණු සඳහා ඔවුන් මැදිහත් වෙන්නේ ආවේගශීලීව නොව තාක්ෂණය, කළමණාකාරිත්ව දැනුම හා පර්යේෂණාත්මක ප‍්‍රවේශයකින්. අපේ සමාජ ක‍්‍රියාකාරිකයන්ට ඉන්දියාවේ මේ නව පරපුරෙන් බොහෝ දේ උගත හැකියි.

සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

Map of Pakistan, courtesy Lonely Planet

In this week’s Ravaya column (in Sinhala), I take a look at rampant conspiracy theories in Pakistan, arguably the most conspiracy-happy country in South Asia. This is partly inspired by my recent visit to Karachi, a strong contender for the title ‘conspiracy capital of the world’.

From weather extremes to food shortages, and from political violence to maternal health, every aspect of life in Pakistan is linked to a ‘foreign conspiracy’ supposedly meant to undermine the nation.

Some of these tall tales provide harmless amusement, while others have dire consequences for public health and safety. I cite two examples: resistance to polio vaccination, and misplaced and widespread fear of iodised salt.

‘හොඳ කුමන්ත‍්‍රණ කථාවකට අපි කවුරුත් කැමතියි!’

මගේ මාධ්‍ය මිතුරකු ළඟදී මට මෙසේ කීවේ මෑතක පටන් අපේ රටේ වඩාත් ප‍්‍රබලව පැතිර යන නොයෙක් අභව්‍ය හා මායාරූපි (ෆැන්ටසි) කුමන්ත‍්‍රණ කථා ගෙඩි පිටින් විශ්වාස කරන අය සිටින බව මා පෙන්වා දුන් විටයි.

සමහරුන් කියන හැටියට අපේ දුපතට වින කරන්නට, රජය හා ජන සමාජය අස්ථාවර කරන්නට විජාතික දේශපාලනික හා වාණිජ බලවේග රාශියක් පෙළ ගැසී සිටිනවාලූ. මෙබඳු කථාවලින් ජන සමාජයක මානසික තත්ත්වය ගැන දළ හැඟීමක් ලද හැකියි.

එහෙත් අපේ කුමන්ත‍්‍රණ දුපතටත් වඩා බොහෝ සෙයින් මේ ‘කලාව’ ප‍්‍රගුණ කළ රටක් දකුණු ආසියාවේ තිබෙනවා. ඒ තමයි පාකිස්ථානය. මිලියන් 180ක් පමණ ජනගහනයක් වෙසෙන, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වූ මේ රට තරම් කුමන්ත‍්‍රණවාදී කථා බිහි කරන, පතුරුවන හා අදහන තවත් රටක් මට නම් හමු වී නැහැ.

පසුගිය සැප්තැම්බරයේ මා කරච්චි නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ පාකිස්ථානයේ කුමන්ත‍්‍රණවාදී මානසිකත්වය නෙතඟ බැල්මක් ලැබුණා.මගතොටේ දී මෙන් ම සරසවි හා විද්වත් සභාවලත් අතිශයින් නිර්මාණශීලි වූ එහෙත් කිසිදු පදනමකින් තොර භීතිකා හා කුමන්ත‍්‍රණ කථා සංසරණය වන හැටි මා දුටුවා.

එහිදී තර්කානුකූල වීම, සාක්ෂි සොයා යාම හෝ වෙනත් බුද්ධිගෝචර ක‍්‍රියාදාමයක් වෙනුවට ලිහිල් හා ආවේගශීලි පදනමක් මත බොහෝ ජනමාධ්‍ය, වෘත්තිකයන්, දේශපාලකයන් හා අනෙකුත් ජනමතය හසුරුවන්නන් ක‍්‍රියා කරනවා.

එරට දේශපාලකයන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ හා මැතිවරණ පොරොන්දු ආදිය ගැන කිසිදු විශ්වාසයක් නොතබන උගත් නාගරික ජනයා පවා රටට හා ජාතියට එරෙහි බහුවිධ කුමන්ත‍්‍රණ තිබේ යැයි තරයේ අදහනවා.

සරල එදිනෙදා සිදුවීමක් වූවත් පැය හෝ දින කිහිපයක් ඇතුළත ලෙහෙසියෙන් ම විදේශික බලවේගයක හෝ අදිසි හස්තයක බලපෑමක් හෝ බවට පත් කර ගනු ලබනවා. කුමන්ත‍්‍රණයක කොටසක් ලෙස විග‍්‍රහ කැරෙනවා. එය පසුපස සිටින විජාතික බලවේගය ලෙස වැඩිපුර ම නම් කරනු ලබන්නේ අමෙරිකාව හා ඉන්දියාවයි. මීට අමතරව ඉස්ලාම් විරෝධී යැයි සලකා ඊශ‍්‍රාලයත්, පොදුවේ බටහිර රටවල් මෙන් ම ගෝලීය මට්ටමෙන් වෙළඳාමේ යෙදෙන බහුජාතික සමාගම් ද නිතර කුමන්ත‍්‍රණ චෝදනා ලබනවා.

සොබා දහමේ ක‍්‍රියාවන් පවා මේ කුමන්ත‍්‍රණවාදී කථාවලට හසු වනවා. වෙලාවට වැස්ස නොලැබුණොත් එය පාකිස්ථානය ‘මට්ටු කරන්නට’ දියුණු රටක් කළ ‘කාලගුණ පාඩමක්’. එකවර බොහෝ වැසි ලැබී ගංවතුර ඇති වූ විට එයත් විජාතික ‘කාලගුණ ප‍්‍රහාරයක්’.

මේ කුමන්ත‍්‍රණවාදී කථා එරට ප‍්‍රබල ම ජනමාධ්‍ය වන ටෙලිවිෂන් පුවත් නාලිකාවලට Breaking News සඳහා නිරතුරුව මාතෘකා සපයනවා. එබඳු වාර්තාකරණයේදී මෙබඳු කථා බරපතල ලෙස කියන්නටත් වාද විවාද කරන්නටත් මුකරි බව තිබෙන අන්තවාදී විද්වතුන් (ටෙලි-පණ්ඩිතයන්) රොත්තක් ද බිහිව සිටිනවා.

පාකිස්ථානු සමාජයේ සැබෑ ප‍්‍රශ්න හා විසමතා ගැන නොබියව වාර්තා කරන පුවත් නාලිකා අතර (2012 ඔක් 21දා කොලම බලන්න) මෙබඳු කට කථා, ප‍්‍රබන්ධ කථා හා ප‍්‍රලාප බෙදා හරින නාලිකා ද තිබෙනවා. දුෂමාන ආරංචි තහවුරු කිරීමකින් තොරව කාලීන තොරතුරු ලෙස ප‍්‍රචාරය කිරීම නීතිවිරෝධි නොවූවත් සදාචාර විරෝධි හා සමාජ විරෝධි ක‍්‍රියාවක්. මෙය නියාමනය කරන්නට පාකිස්ථානු රජය ඍජු උත්සාහයක් නොගන්නේ මාධ්‍ය නිදහසට හරස් වීමේ චෝදනාව මතු වන නිසා.

පාකිස්ථානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට විශාල නිදහසක් තිබෙනවා. එහෙත් ඒ නිදහස තුළ වගකීමකින් යුතුව ක‍්‍රියා කරන්නේ සමහර මාධ්‍ය පමණ යි. විශේෂයෙන් ම දේශිය බසින් වාර්තාකරණයේ යෙදෙන නාලිකා සමහරක් කෙටිකාලීන ජනප‍්‍රියත්වය සඳහා කුමන්ත‍්‍රණ රටට බෙදීම සරුවට කරනවා!

පාකිස්ථානයේ සාක්ෂරතාව අඩුයි. පිරිමි අකුරු කියවීමේ හැකියාව 70%යි. කාන්තාවන් අතර එය 46%යි. අධ්‍යාපන මට්ටම් සීමිත වීම නිසාත්, දැඩි වැඩවසම්වාදී සමාජයක් නිසාත්, එරට බොහෝ දෙනකු විචාරශීලි වනවා වෙනුවට ආවේගශීලි වීම දැකිය හැකියි. දැඩි ලෙස ආගම්වාදී වීම පාකිස්ථානු සමාජයේ තවත් ලක්ෂණයක්. එරට ජනමතය හැසිරවීමේ විශාල බලයක් පූජකයන්ට තියෙනවා.

එරට නිර්මාතෘ මොහමඞ් අලි ජින්නා පූජක බලය සීමා කොට රාජ්‍යකරණයේ යෙදුණත්, ඉන්පසුව බලයට පත් වූ (හෝ බලය අල්ලා ගත්) නායකයෝ කෙටි කාලීන වාසි තකා සමාජ සංස්ථා දැඩි ලෙස ඉස්ලාමීයකරණය වන්නට ඉඩ දුන්නා. සියලූ දෙනා නොවූවත් බොහෝ ආගමික නායකයන් රටට හා සමාජයට එරෙහිව බහුවිධ බලවේග පෙළ ගැසී ඇති බවට නිතර මොර ගානවා. කුමන්ත‍්‍රණ අදහන පසුබිම සකස් වන්නේ එලෙසයි.

සමහරක් කුමන්ත‍්‍රණ කථා හුදු විනෝදාස්වාදය සපයන අතර, ඉතිරි ඒවා ජනයා මුලා කරමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට, සෞඛ්‍යයට හා යහ පුරුදුවලට හරස් වනවා. මේ දෙවැනි කාණ්ඩයට අයත් දැඩි සේ ප‍්‍රචලිත වූ කුමන්ත‍්‍රණවාදයක් පෝලියෝ ප‍්‍රතිශක්තීකරණයට සම්බන්ධයි.

Polio vaccinaation in Pakistan - AFP Photo

Polio vaccinaation in Pakistan – AFP Photo

මුළු ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමේ දැවැන්ත ප‍්‍රයත්නයක අවසන් අදියරට පිවිස සිටින මේ අවස්ථාවේ පෝලියෝ හමු වන රටවල් තුනක් ඉතිරිව තිබෙනවා. එනම් නයිජීරියාව, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය. පාකිස්ථානයේ 2012 දී වාර්තාගත පෝලියෝ රෝගීන් සංඛ්‍යාව 58යි. http://www.polioeradication.org

මේ මට්ටමට පෝලියෝ පාලනය කර ගත්තේ දශක ගණනාවක සිට පාකිස්ථානු රාජ්‍ය සෞඛ්‍ය සේවය හා ස්වේච්ඡ සංවිධාන විසින් කරගෙන ආ ප‍්‍රතිශක්තීකරණය නිසා. එහෙත් සමහර දෙමවුපියන් තම දරුවන්ට පෝලියෝ එන්නත දීම ප‍්‍රතිකේෂ්ප කරනවා. එයට හේතුව පෝලියෝ එන්නත “ඉස්ලාම් ජාතිය වඳ බවට පත් කරන්නට බටහිර රටවලින් ක‍්‍රියාත්මක කුමන්ත‍්‍රණයක්” යැයි රාවයක් පැතිරීම.

කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නැති මේ කටකථාව මත එල්බ ගෙන තම දරුවන් භයානක පෝලියෝවට ගොදුරු වන්නට ඉඩ දෙන තරමට සමහර දෙමවුපියන් එය අදහනවා!

මහජන සෞඛ්‍යයට විශාල වශයෙන් බලපාන තවත් පාකිස්ථානු මිථ්‍යාවක් අයඞීන් මිශ‍්‍රිත ලූණු වටා ගෙතී තිබෙනවා.

අයඞීන් අපේ ශරීර ක‍්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක්. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් ස‍්‍රාවය කරන හෝමෝන දෙකක් නිපදවීම සඳහා සිරුරට කුඩා පරිමාවලින් අයඞීන් ඕනෑ. මුහුදු මාළු මේ ක්ෂුද්‍ර පෝෂකය ස්වාභාවිකව ලැබෙන හොඳ ප‍්‍රභවයක්. එහෙත් මුහුදු මාළු ලෙහෙසියෙන් හමු නොවන දුර බැහැර ගොඩබිම ප‍්‍රදේශවල වෙසෙන ජනයාට අයඞීන් ඌණතාව හට ගත හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට ලෝක ජනගහනය බිලියන් හතෙන් බිලියන් 2ක් අයඞීන් ඌණතා අන්තරායන්ට මුහුණ දෙනවා. ළමයින් වැඩෙන කාලයේ හරිහැටි අයඞීන් නොලැබීම නිසා ඔවුන් මන්දබුද්ධික විය හැකියි. අයඞීන් ඌණතාව නිසා හට ගන්නා අනෙක් ආබාධය නම් ගලගණ්ඩයයි.

සුළු අමතර වියදමක් දරා විශාල ජන සංඛ්‍යාවකට ලෙහෙසියෙන් අයඞීන් ලබා දීමේ උපක‍්‍රමය ලෙස ලොව පුරා මහජන සෞඛ්‍ය විශේෂඥයන් දැන් පිළි ගන්නේ ලූණුවලට අයඞීන් ස්වල්පයක් එකතු කිරීම. අමෙරිකාවේ අයඞීන් මිශ‍්‍රිත ලූණු අලෙවිය ඇරඹුණේ 1946දී. ගෙවී ගිය දශක කිහිපය තුළ බොහෝ රටවල මෙය හඳුන්වා දී තිබෙනවා.

පාකිස්ථානය අයඞීන් ඌණතාව බහුල රටක්. එරට ජනගහනයෙන් භාගයකට අයඞීන් හරිහැටි ලැබෙන්නේ නැහැ. මේ නිසා දිගුකාලීනව හට ගන්නා දැඩි අලස බව හා අඩු බුද්ධි මට්ටම පාකිස්ථානයේ සමාජ ප‍්‍රගතියට හා ඵලදායීතාවට අහිතකරයි.

එහෙත් “අයිඞීන් මිශ‍්‍රිත ලූණු කන්න එපා!” පාකිස්ථානයේ අන්තවාදීන් ජනතාවට අනතුරු අඟවනවා. ඔවුන් කියන්නේ අයඞීන් එකතු කරන්නේ මුස්ලිම් ජනයා අතර වඳබව ඇති කිරීමට බටහිර කුමන්ත‍්‍රණයක් ලෙස බවයි!

කිසිදු අතුරු ආබාධයක් ඇති නොකරන ලොව පිළිගත් මෙබඳු සරල සෞඛ්‍ය පියවරකට පවා පාකිස්ථානයේ අස්ථාන භීතියක් හා ප‍්‍රතිරෝධයක් මතුවීම සෞඛ්‍ය සේවයකයන් කම්පාවට පත් කරනවා. සෞඛ්‍ය බලධාරීන් හා වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත්, අයඞීන් මිශ‍්‍රිත ලූණු භාවිතය නතර කරන්නට සැළකිය යුතු ජන කොටසක් පෙළඹී සිටිනවා. මෙය සමහර උගත් මධ්‍යම පාන්තික පවුල් අතරත් හමුවන බියකරු ප‍්‍රවණතාවක්.

මේ අස්ථාන භීතියට පසුබිම කුමක් ද?

පාකිස්ථානයේ අධික ජනගහන වර්ධනය දිගු කාලීනව රටට හා සමාජයට ඇති කරන අහිතකර බලපෑම් ගැන 1995දී විද්‍යාත්මකව තක්සේරු කළ එරට රාජ්‍ය නිලධාරීන්, මාතෘ හා ප‍්‍රජනන සෞඛ්‍යය ගැන ජනයා දැනුවත් කිරීමට විශාල පරිමානයේ සන්නිවේදන දියත් කළා. රජයට අයත් PTV ටෙලිවිෂන් නාලිකාව හරහා කාන්තාවන්ට පෝෂණ හා සෞඛ්‍ය දැනුම සරලව කියා දුන්නා. අයඞීන් නිතිපතා ආහාරයේ තිබීම වැදගත් බව ද කියැවුණා.

එම දර්ශනය අවසානයේ එය නිර්මාණය කළේ රජයේ ප‍්‍රාථමික සෞඛ්‍යය හා පවුල් සැළසුම් පිළිබඳ දෙපාර්තමේන්තුව (Department of Primary Health and Family Planning) බව කියැවෙන නාමාවලියක් පෙන්වනු ලැබුවා. අයඞීන් ගැන කථා කොට මොහොතකට පසුව මේ දෙපාර්තමේන්තු නම දිස්වීම නිසා ටික දෙනකු මේ දෙක අනිසි ලෙස සම්බන්ධ කරමින් කුමන්ත‍්‍රණවාදී තර්කයක් මතු කළා.

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy - Network for Consumer Protection)

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy – Network for Consumer Protection)

පවුල් සෞඛ්‍යය යනු පුළුල් විෂයයක්. ළමා හා මාතෘ පෝෂණය, ළමා රෝගවලින් ආරක්ෂා වීම ආදී සංකල්ප සමඟ පවුලක දරුවන් අතර නිසි පරතරයක් පවත්වා ගැනීම හා ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍යය ගැන විශේෂ අවධානය යොමු කිරීම ද එයට ඇතුළත්.

එහෙත් කුමන්ත‍්‍රණවාදියෝ එය පවුල් සෞඛ්‍යය පවුල් සැලසුම් කිරීමට පමණක් ලඝු කොට “ජාතිය කප්පාදු කරන්නට රජය හා විජාතිකයන් ගන්නා උත්සාහයක්” යැයි බොරු බියක් පතුරවනවා. ජන මනස මෙසේ දුෂණය කිරීම හරහා කාන්තාවන් හා දරුවන්ගේ ජීවිතවලට කරන හානිය ගැන කිසිවකු සිතන්නේ නැහැ!

පාකිස්ථානයේ කුමන්ත‍්‍රණ මේනියාව යථාර්ථයෙන් හා වගකීම්වලින් අත්මිදීමේ බොළඳ උත්සාහයක් යැයි එරට ප‍්‍රමුඛ පෙලේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක අධ්‍යක්ෂවරියක් මට කියා සිටියා. “මේ විකාර කථා වැඩිපුර ම අදහන්නෙත් පතුරු වන්නෙත් පිරිමි උදවිය. ඔවුන් කැමතියි කථාන්තර කියමින් එදිනෙදා කළ යුතු දේ කල් දමමින් වගකීම්වලට මුහුණ නොදී සිටින්න. මේක දැන් වසංගතයක් වෙලා!” ඇය කීවා.

ප්‍රෞඪ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන, උගත් මධ්‍යම පාන්තිකයන් විශාල සංඛ්‍යාවක් සිටින, අපට වඩා මාධ්‍ය නිදහස තිබෙන පාකිස්ථානයේ මෙබඳු පසුගාමී මානසිකත්වයක් දැඩි ලෙස මුල් බැස ගත්තේ කෙසේ ද?

අනේ අපේ රටේ නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ! අපි සාක්ෂරතාවයෙන් හා අධ්‍යාපනික මට්ටම්වලින් ඉහළ, ලෙහෙසියෙන් රවටන්නට බැරි මිනිසුන් වෙසෙන දේශයක්…

සිවුමංසල කොලූගැටයා #97: ‘ආසියාවේ ටයිටැනික්’ ඛේදවාචකයට වසර 25යි

This week’s Ravaya column (in Sinhala) is dedicated to the memory of the world’s worst peace-time maritime disaster in terms of lives lost.

No, it wasn’t the sinking of the Titanic. It’s a disaster that happened 75 later, on the other side of the planet – in Asia.

It is the sinking of the MV Doña Paz, off the coast of Dumali Point, Mindoro, in the Philippines on 20 December 1987. That night, the 2,215-ton passenger ferry sailed into infamy with a loss of over 4,000 lives – many of them burnt alive in an inferno at sea.

Nobody is certain exactly how many lives were lost — because many of them were not supposed to be on that overcrowded passenger ferry, sailing in clear tropical weather on an overnight journey.

For an English version of this info, see: Remembering Asia’s Titanic: The Doña Paz tragedy that killed over 4,000 in Dec 1987

Dona Paz tragedy - image from the survivor website

ටයිටැනික්! ගිලෙන්නට බැරි යයි එහි නිපැයුම්කරුවන් කියූ. එහෙත් මංගල චාරිකාවේදී ම පාවෙන මහ අයිස් කුට්ටියක ගැටී ගිලී ගිය සුඛෝපභෝගී මගී නෞකාව ගැන අප දන්නවා. මුළු ලෝකය ම කම්පා කළ ඒ ඛේදවාචකය සිදු වී සියවසක් පිරුණේ මේ වසරේ.

1912 අපේ‍්‍රල් 14/15 රාත‍්‍රියේ අනතුරට ලක් වන විට ටයිටැනික් නැවේ මඟීන් හා කාර්ය මණ්ඩලය 2,224ක් සිටියා. එහෙත් ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ එයින් අඩකට පමණයි. ඒ නිසාත්, ගිලෙන නැවේ ආපදා රේඩියෝ සංඥ අවට ගමන් කරමින් සිටි වෙනත් නැව් හරිහැටි ග‍්‍රහණය කර නොගත් නිසාත් ජීවිත 1,514ක් විනාශ වුණා.

මේ අනතුරෙන් පසු මගී ප‍්‍රවාහනය කරන සියලූ ම නෞකා හා බෝට්ටු සඳහා ජීවිතාරක්ෂක උපක‍්‍රම රැසක් හඳුන්වා දෙනු ලැබුවා. ලොව කොතැනක කුමන ආකාරයේ නැවක් වුවත් මේ ආරක්ෂිත පියවර ගනිමින් සේවක මණ්ඩලයේ හා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. බොහෝ රටවල මේ සඳහා දේශීය නීති හා රෙගුලාසි තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර නාවුක නීති යටතේ ද පැහැදිලි නිර්දේශ හා දණ්ඩන තිබෙනවා. ඒ සියල්ල තිබියදීත් දියුණු වෙමින් පවතින රටවල කලින් කලට මහ මුහුදේ නාවුක අනතුරු ඇති වෙනවා.

ටයිටැනික් අනතුරටත් වඩා බිහිසුණු හා එමෙන් දෙගුණයකටත් වඩා ජීවිත හානි කළ, ඉතිහාසයේ මහා ම නෞකා අනතුර සිදු වී මේ මාසයට වසර 25ක් පිරෙනවා. ‘ආසියාවේ ටයිටැනික්’ ලෙස හඳුන්වන මේ අනතුර ගැන බහුතරයක් ආසියානුවන් පවා දන්නේ නැහැ. එයට හේතුවක් නම් ජාත්‍යන්තර මාධ්‍ය හා ජනප‍්‍රිය සංස්කෘතිය හරහා මේ අනතුර මහා ප‍්‍රවෘත්තියක් බවට පත් නොවීම.

මේ අනතුර සිදු වූයේ 1987 දෙසැම්බර් 20 වනදා පිලිපීනයේ. දුපත් 7,000කට අධික සංඛ්‍යාවක් ඇති කොදෙව් පෙළකින් සමන්විත පිලිපීනයේ ප‍්‍රධාන පෙළේ මගී ප‍්‍රවාහන ක‍්‍රමය වන්නේ දුපත් අතර ධාවනය වන මගී නෞකායි. මේවා හරියට අපේ දුර ධාවන බස් සේවා වගෙයි. නියමිත කාල සටහනට ගමන් කරන, මූලික පහසුකම් පමණක් ඇති මෙබඳු මගී නෞකා ඉංග‍්‍රීසියෙන් Passenger Ferries ලෙස හඳුන්වනවා. එරට විශාලත්වය නිසා සමහර විට දිනක් දෙකක් ගත වන නැව් ගමන් තිබෙනවා.

සියයට 90ක් කතෝලික ජනගහණයක් සිටින පිලිපීනයේ ලොකු ම උත්සවය නත්තලයි. 1987 නත්තලට දින පහකට පෙර ලෙයිට් (Leyte) දුපතේ සිට මැනිලා අගනුවරට එන්නට සිය ගණනක් සාමාන්‍ය පිලිපීනුවෝ දොඤ්ඤ පාස් (Doña Paz, DP) නම් ටොන් 2,215ක් බර මගී නැවට ගොඩ වුණා. හෙමින් යන මේ ගමනට පැය 24ක් ගත වනවා.

ළඟ එන නත්තල නිසා නැවේ ධාරිතාවට වඩා වැඩි ඉල්ලූමක් තිබුණා. අපේ බස් වගේ ම මේ රටේ නැව්වලත් දරා ගත හැකි සංඛ්‍යාවට වඩා මගීන් නංවා ගන්නවා. පවතින ආරක්ෂණ නීති බිඳ හෙළමින්, ටිකට් නොමැතිව අත යට මුදලට සිය ගණනක් මගීන් DP නැවට නංවා ගනු ලැබුවා. නිල මගී ලැයිස්තුවේ සිටියේ මගීන් 1,493ක් හා කාර්ය මණ්ඩලය 59ක් පමණයි. එහෙත් එදින නැව තුළ 4,000ක් පමණ සිටින්නට ඇතැයි අනුමාන කැරෙනවා. එයින් දහසක් පමණ ළාබාල දරුවන්.

MV Doña Paz in 1984, three years before its tragic end - Photo courtesy Wikimedia Commons - lindsaybridge

පැය විසි හතරේ ගමන රැය තිස්සේ දිවෙන නිසා නැවේ මගීන් හැකි පමණින් රැය පහන් කරන්නට සූදානම් වුණා. මුහුද තරමක් රළු වූවත් කාලගුණය යහපත්ව තිබුණා. නැව මද වේගයෙන් ගමන් කරමින් සිටියා.

රාත‍්‍රී 10.30ට පමණ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව එක් වර ම මේ මගී නෞකාව තවත් නැවක හැපුණා. විවෘත මුහුදේ නැව් දෙකක් ගැටීමට ඇති ඉඩ ඉතා අඩුයි. තම ගමන් මඟ ගැන නැවියන් අවට නැව්වලට රේඩියෝ මඟින් නිතිපතා දැනුවත් කළ යුතුයි.

DP නැවේ මහා අවාසනාවට එය ගැටුනේ MT Vector වෙක්ටර් නමැති තෙල් ප‍්‍රවාහනය කරන නැවක. එය කැල්ටෙක්ස් පිලිපීන සමාගමට අයත් පෙට‍්‍රල්, ඞීසල් හා භූමිතෙල් බැරල් 8,800ක් රැගෙන බටාන් සිට මස්බාතේ දක්වා යමින් සිටියා.

නැව් දෙක ගැටීමත් සමඟ ම වෙක්ටර් නැවේ තෙල් තොගයට ගිනි ඇවිළුණා. විනාඩි කිහිපයක් ඇතුළත ගින්න මගී නෞකාවටත් පැතිරුණා. ගැටුමෙන්, පිපිරීමෙන් හා ගින්නෙන් වික්ෂිප්ත වූ මගීන් මේ අත දුවන්නට ගත්තා.

මර බියෙන් ඇතැමුන් මුහුදට පැන්නත් ඔවුන්ට අත් වූයේ බියකරු ඉරණමක්. ඒ වන විට තෙල් කාන්දු වී මුහුද මත ඉසිරී ගොස් ගින්න ඒ මතුපිට ද පැතිර තිබුණා. මේ නිසා මුහුදත් ගිනි ජාලාවක්. මුහුදට පැන්න අයට දිගින් දිගට ම කිමිදෙමින් සිටිනු හැර හුස්මක් ගන්නටවත් මතුපිටට එන්නට නොහැකි වුණා.

ඉතා අවාසනාවන්ත ලෙසින් නැවේ සිටි අය හා නැවෙන් මුහුදට පැන්න බොහෝ දෙනා පිලිස්සී හෝ ගිලී මිය ගියා. හාර දහසකට අධික යැයි අනුමාන කෙරෙන මගී සංඛ්‍යාවෙන් අමාරුවෙන් පණ බේරා ගත්තේ 26 දෙනෙතු පමණයි. මේ මහා ඛේදවාචකය ගැන අප දන්නා සියල්ලට පදනම ඒ අයගේ සාක්ෂියි.

මේ අනතුර සිදු වන විට DP මගී නැව ගමන් කරමින් සිටියේ මින්දෝරා හා පනායි දුපත් දෙක අතර පිහිටි ටබ්ලාසි සමුද්‍ර සන්ධියේ. ඒ ප‍්‍රදේශයේ මුහුදේ ගැඹුර මීටර් 545ක් (අඩි 1,790) පමණ වනවා. ගැටුමෙන් පැය දෙකකට පමණ පසු DP නැවත් පැය හතරකට පසුව වෙක්ටර් තෙල් නැවත් මුළුමනින් මුහුදේ ගිලී ගියා.

දිවි ගලවා ගත් ටික දෙනා බේරා ගනු ලැබුවේ ගැටුම සිදු වී පැය එක හමාරකට පමණ පසු එතැනට අහම්බෙන් ආ තවත් නැවක් මගින්. ගිනිගත් මහ මුහුදේ දැවී ගිය මළ සිරුරු අතර මහත් ආයාසයෙන් පිහිනමින් සිටි ටික දෙනා මේ නැව විසින් බේරා ගත්තා. වෙරළාරක්ෂක සේනාව (Coastguard) මේ අනතුර ගැන දැන ගන්නා විට පසුවදාට එළි වී තිබුණා. ඒ වන විට සියල්ල සිදු වී හමාරයි!

නත්තලට අභිමුඛව සිදු වු මේ මහා අනතුරෙන් සමස්ත පිලිපීනය කම්පා වී ගියත් ඛේදවාචකයේ තවත් අදියර ගණනක් ඉතිරි වී තිබුණා. ඒවා දිග හැරුණේ අනතුර ගැන රාජ්‍ය පරීක්ෂණයක් හා අධිකරණ නඩු විභාගයක් ඇරඹුණු පසුවයි.

DP නැවේ අයිතිකරු සුල්පිචියෝ ලයින්ස් නැව් සමාගම තරයේ කියා සිටියේ නිල මගී ලේඛනයේ සිටි 1,493 දෙනා හැරෙන්නට කිසිවෙකු අනතුර අවස්ථාවේ ඒ නැවේ සිටි බවට “සාක්ෂි” නැති බවයි. එසේ ම නැව අධික ලෙස මගීන් පටවා ගත් බවට කෙරෙන ප‍්‍රකාශ ඔවුන් ප‍්‍රතික්ෂේප කළා. (බොහෝ මගීන් මුළුමනින් ම දැවී අළු වී ගිය නිසා අනතුර සිදු වූ අවට මුහුදෙන් සොයා ගත හැකි වූයේ මළසිරුරු 108ක් පමණයි. තවත් මළ සිරුරු ගණනාවක් අවට දුපත්වල වෙරළට ගසා ගෙන ගොස් හමු වුණා. බහුතරයක් මගීන් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර අතුරුදහන් වූවා.)

DP නැවේ සමස්ත කාර්ය මණ්ඩලය ම අනතුරෙන් මිය ගියා. මේ පසුබිම තුළ ඇත්තට ම සිදු වූයේ කුමක් ද යන්න ගැන නැව් සමාගම් දෙකේත්, පණ බේරා ගත් අයගේත් නීතිඥයන් වසර ගණනාවක් තිස්සේ තර්ක විතර්ක කළා.

අනතුර සිදු වන විට නැව් දෙක ම මඳ වේගයෙන් ගමන් කරමින් සිටි බවත්, කාලගුණය යහපත් වූ නිසා දුර පෙනීම හොඳින් තිබූ බවත් තහවුරු වුණා. වෙනත් නැව් හෝ බෝට්ටු නොතිබූ විවෘත මුහුදේ මෙතරම් ඉඩ තිබිය දී මේ නැව් දෙක ගැටුණේ නැවියන්ගේ දැඩි නොසැලකිල්ල නිසා බවට දිවි ගලවා ගත්තවුන්ගේ නීතිඥයන් අවධාරණය කළා.

එසේ ම තම ගමන් මාර්ගය ගැන හැම නැවක් ම ඪ්‍යත්‍ රේඩියෝ මඟින් අවට නැව්වලට දැනුම් දිය යුතුයි. DP නැවේ රේඩියෝ බලපත‍්‍රය හොර එකක් බවත්, වෙක්ටර් නැවේ රේඩියෝ බලපත‍්‍රය කල් ඉක්ම වූ එකක් බවත් හෙළි වුණා. අයථා මාර්ගයෙන් අනුමැතිය ලබා ගෙන ක‍්‍රියාත්මක වූ මේ නැව් දෙකේ හරිහැටි රේඩියෝ භාවිතයක් තිබී නැහැ.

අනතුර සිදු වූ සැන්දෑවේ DP නැවේ කාර්ය මණ්ඩලය සාදයක් පවත්වමින් සිටි බවට දිවි ගලවා ගත්තවුන් කියා සිටියා. මේ නිසා නැවේ සුක්කානම හැසිරවීම අත්දැකීම් අඩු කනිෂ්ඨ නාවුකයකුට පවරන්නට ඇත්දැයි සැකයක් මතු වුණා. එහෙත් එය තහවුරු කර ගන්නට කිසිවකු ඉතිරිව සිටියේ නැහැ.

වසර ගණනක් ගත වූ අධිකරණ විභාගයේ අවසන් නිගමනය වූයේ මේ අනතුරට සාධක ගණනාවක් හේතු වූ බවයි. දුෂණය හා වංචාව හරහා නීතිය හරිහැටි ක‍්‍රියාත්මක නොවීම, අඩු පුහුණුවක් ලද නැවියන් අධික ලෙස වෙහෙසී සිටීම, දුරස්ථ සන්නිවේදනය නොකිරීම හා අනතුරින් පසු උදව්වට පැමිණීමේ බරපතළ ප‍්‍රමාදයන් නිසා ජීවිත හානිය ඉතා වැඩි වූවා.

මියගිය අයගේ පවුල්වලට හා දිවි ගලවා ගත් අයට වන්දි ගෙවීම වසර 25ක් ගතවීත් තවම හරිහැටි සිදු වී නැහැ. නැව් හිමිකාර සමාගම් මෙන් ම තෙල් හිමි කැල්ටෙක්ස් සමාගමටත් එරෙහිව පිලිපීනයේත්, අමෙරිකාවේත් නඩු පවරනු ලැබුවා. එහෙත් නීතිඥ තර්ක විතර්කවලට ලක් වෙමින් මෙය තවමත් දික් ගැස්සෙනවා.

Asia's Titanic - NatGeo poster for 2009 film

2009දී මේ අනතුර ගැන http://natgeotv.com/asia/asias-titanic නම් ගවේෂණාත්මක වාර්තා චිත‍්‍රපටයක් නැෂනල් ජියෝග‍්‍රැෆික් නාලිකාව සඳහා නිපදවනු ලැබුවා. පිලිපීන ජාතික යෑම් ලරානාස් (Yam Laranas) අධ්‍යක්ෂණය කළ මේ චිත‍්‍රපටය් තොරතුරු ගවේෂණය හා සහාය නිෂ්පාදනය කළේ මගේ පිලිපීන මිතුරියක් වන බේබි රූත් විලරාමා (Baby Ruth Villarama).

ඇය මාස ගණනක් පුරා ඇය දිවි ගලවා ටික දෙනා මෙන් ම මියගිය අයගේ පවුල්වල ඥතීන් හමුවෙමින් සංවේදී ලෙසින් කථාබහ කරමින් තොරතුරු රැස් කළා. එය තම වෘත්තීය ජීවිතයේ ඉතා දුක්මුසු හා අභියෝගාත්මක අත්දැකීමක් බව ඇය කියනවා.

‘‘දශක දෙකකට වැඩි කාලයක් ගතවීත් මේ අයට ප‍්‍රීතිමත් නත්තලක් නම් යළි උදාවන්නේ නැහැ. හැම නත්තල් සමයක ම ඔවුන්ට ඒ අනතුරේ මතකයන් අළුත් වනවා. අනතුරෙන් පසු සිදු වූ අසාධාරණකම් හා එයින් මතු වූ අසරණකම ගැන ඔවුන් යළි යළිත් කම්පා වනවා,’’ ඇය කියනවා.

වාර්තා චිත‍්‍රපටය නිම කරන්නට වසර 3ක් ගත වුණා. එහි සියලූ කරුණු යළි යළිත් තහවුරු කරන්නට නිෂ්පාදන කණ්ඩායමට සිදු වුණේ නැව් හා තෙල් සමාගම්වල නීතිඥයන් මේ වාර්තාකරණය දැඩි විමසිල්ලෙන් බලා සිටි නිසයි.

‘‘වාර්තා චිත‍්‍රපටයක් සඳහා මොවුන්ගේ දුක හා කම්පනය රූගත කළ යුතු ද යන සදාචාරමය ප‍්‍රශ්නයට අප මුහුණ දුන්නා. එහෙත් මේ ආසියාවේ ටයිටැනික් ඛේදවාචකය ගැන හරි කථාව ලෝකයට කියන්නටත්, විපතට පත් වූවන්ට හා පවුල්වලට කවදා හෝ සාධාරණයක් ඉටු කිරීමට ගෙන යන අරගලයට දායක වන්නටත් අපට මහත් සේ ඕනෑ වුණා,’’ යැයි බේබි රූත් කියනවා.

ඇගේ අවසන් තක්සේරුව: ‘‘ටයිටැනික් නැවේ මඟීන් බහුතරයක් ධනවත් හා බලවත් උදවිය. එහෙත් දොඤ්ඤ පාස් නැවේ ගිය සියලූ දෙනා ම දුප්පත් අසරණ මිනිසුන්, ගැහැනුන් හා ළමයින්. ඔවුන් ගැන අපේ රටේ මාධ්‍ය හා බලධාරීන් පවා එතරම් උනන්දුවක් නැහැ. මේ ඓතිහාසික විසමතාව යම් තරමකට හෝ සමතුලිත කරන්නට Asia’s Titanic චිත‍්‍රපටය උපකාර වනු ඇතැයි අප පතනවා.’’

Watch the NatGeo film in full on Doña Paz survivors’ website

සිවුමංසල කොලූගැටයා #88: පාකිස්ථානයට තිත්ත ඇත්ත කියන ටෙලිවිෂන් නාලිකා

In this week’s Ravaya column (in Sinhala), I reflect on my recent visit to Pakistan, after 15 years.

When I last visited, in 1997, there were only state owned radio and TV channels. That changed in 2002 when private ownership was allowed. In a decade, private broadcasting has grown and expanded — especially in news and current affairs TV channels, which are now a dominant factor in Pakistan’s everyday life.

What does this mean for media pluralism, governance and social order in a country as complex as Pakistan? Are 24/7 news channels part of the problem or part of the solution? Since the genie cannot be sent back into the lamp, how best can its powers be harnessed for the public interest?


“ඇෆ්ගනිස්ථානයට යාබදව තිබෙන විකාර දේශය” හැටියට මගේ මිය ගිය පාකිස්ථානු මිතුරිය සනියා හුසේන් ඇගේ උපන් බිම හදුන්වා දෙන්නට පුරුදුව සිටියා. එය වඩාත් තිව‍්‍ර ලෙස දැනුනේ ඉංගී‍්‍රසියෙන් කී විටයි. ‘I live in Absurdistan, located next to Afghanistan!’

සනියා තමාගේ මවු රටට ඇලූම් කළ, එරට පොදු ජන උන්නතියට මාධ්‍යවේදිනියක හා සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස විශාල සේවයක් කළ අයෙක්. එහෙත් සිය රටේ දැවෙන ප‍්‍රශ්න හා දැඩි සමාජ විසමතා ගැන නොවලහා කථා කිරීමටත්, සමාජ සාධාරණත්වය හා ප‍්‍රජතාන්ත‍්‍රවාදය උදෙසා උද්ඝෝෂණ කරන්නටත් ඇය පසුබට වූයේ නැහැ.

පාකිස්ථානය අද ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක්. ඉස්ලාමීය මූලධර්මවාදය ප‍්‍රවර්ධනය කොට පිටරට පටවන බවට බටහිර රටවල් පාකිස්ථානයට චෝදනා නගනවා. මෙය එරට රජය හා ජන සමාජය එක එල්ලේ පිලි ගත්තේ නැතත්, නීතිය හා සාමය රැක ගැනීම පිළිබද බරපතල ගැටළු මතුවී ඇති බවට නම් ඔවුන් හැම කෙනකු ම එකග වනවා.

වසර 15කට පසු මා මෑතදී යළිත් පාකිස්ථානයට ගියා. එහි වඩාත් ම ජනාකීර්ණ වූත්, වානිජමය කේන්ද්‍රස්ථානය වූත් කරච්චි නගරයේ දින කිහිපයක් මා ගත කළේ එරට ටෙලිවිෂන් වාර්තාකරුවන් හා නිෂ්පාදකයන් සඳහා පුහුණු වැඩමුළුවක ප‍්‍රධාන පුහුණුකරුවා හැටියටයි. මේ නිසා කෙටි කාලයක් තුල එරට ජන සමාජය හා දේශපාලන ප‍්‍රවාහයන් ගැන මාධ්‍යවේදී මිතුරන් රැසක් සමග කථා බහ කරන්නට ඉඩ ලැබුණා. ඊට අමතරව මගේ පැරණි පාකිස්ථානු මිතුරු මිතුරියන් කිහිප දෙනකු ද හමුවුණා.

පාකිස්ථානය වැනි සංකීර්ණ රටක ප‍්‍රශ්න ගැන කෙටි සංචාරයකින් තේරුම් ගත නොහැකියි. එහෙත් මා ඇසූ දුටු ඇතැම් දේ අපටත් අදාල යැයි සිතෙනවා.

පාකිස්ථානය වෙන ම රටක් ලෙස බිහිවූයේ 1947 අගෝස්තුවේදී බි‍්‍රතාන්‍ය පාලකයන් නික්ම යද්දී ඔවුන් පාලනය කළ භාරතය, ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදීමත් සමගයි. එදා මෙදා තුර ගෙවී ගිය වසර 65 තුළ ඉන්දියාව දිගට ම ප‍්‍රජාතන්ත‍්‍රික රටක් ලෙස පැවතුනත් පාකිස්ථානය කිහිප වාරයක් හමුදා ආඥාදායකත්වයට නතු වූවා. (නිදහසෙන් පසු වසර 32ක් පාකිස්ථානය පාලනය කර ඇත්තේ හමුදා පාලකයන්.)

Map of Pakistan, courtesy Lonely Planet

පාකිස්ථානයේ හා ඉන්දියාවේ මුල සිට ම ස්ථාපිත වූ එක් ප‍්‍රබල සමාජ සංස්ථාවක් නම් ජනමාධ්‍යයි. මුළුමනින් ස්වාධීන වූ ජනමාධ්‍ය ලෝකයේ කිසි රටක නැහැ. එහෙත් බලයේ සිිටින රජයට, හමුදා හා ආගමික නායකයන්ට හෝ වෙනත් බලාධිකාරයන්ට දැඩි සේ නතු නොවූ, අදීන මාධ්‍ය සම්ප‍්‍රදායක් මේ දෙරටේ තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන තම සීමා ඉක්මවා ජනමතය හසුරුවන බවට චෝදනා ඇතත්, එයින් පෙනෙන්නේ රූකඩ ලෙස නැටවෙන මාධ්‍යවලට වඩා ඔබ්බට පරිනාමය වූ සංකීර්ණ මාධ්‍ය පද්ධතියක් එහි ඇති බවයි.

පාකිස්ථානයේදී මා හමු වූ පුවත්පත් කතුවරුන්, ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් හා මාධ්‍ය හිමිකරුවන් අතර විවිධ දේශපාලන මත දරණ අය සිටියා. ඇතැම් දෙනා ජාතිකවාදී වන අතර සමහරුන් ලිබරල්වාදීන්. එරට ඇති මහා ප‍්‍රශ්නවල මූලයන් ගැන ඔවුන්ට ඇත්තේ වෙනස් වූ විග‍්‍රහයන්. ඇතැමුන් බොහෝ ප‍්‍රශ්නවලට මුල ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යයි තර්ක කරන අතරේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව විවිධ කූඨ උපක‍්‍රම මගින් පාකිස්ථානයට හිරිහැර කරන බවයි.

එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත දරණ මාධ්‍යවේදීන් එක් හඩින් එකග වන තනි සාධකයක් තිබෙනවා. එනම් කාගේවත් පටු අරමුණු සඳහා තමන්ගේ මාධ්‍ය කලාව හා කර්මාන්තය පාවා නොදෙන බවයි.

අපේ රටේ මෙන් ම පාකිස්ථානයේත් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් යුගයේ පැවතුණේ රාජ්‍ය ඒකාධිකාරයන් හැටියටයි. 1990දී මා මුල් වරට පාකිස්ථානයට ගියේ එරට රාජ්‍ය ටෙලිවිෂන් ආයතනය වූ PTVහි ආරාධිතයෙකු ලෙස. එවිට සියා උල් හක් ඒකාධිපති පාලනය අවසන් වී, බෙනාසීර් භූතෝ අගමැතිනිය ලෙස සිය ප‍්‍රථම ධුර කාලය අරඹා තිබුණා. එහෙත් සියාගේ අනුගාමිකයන් වෙනුවට ඇගේ දේශපාලන හිතවතුන්ට රාජ්‍ය මාධ්‍ය ආයතන තනතුරු දීමට එහා යන ප‍්‍රතිසංවිධානයක් ඇය කළේ නැහැ. ඇයට පසුව බලයට ආ නවාස් ෂරීෆ් කළේත් නැහැ. (එරට මුද්‍රිත මාධ්‍ය නම් රාජ්‍ය ග‍්‍රහණයෙන් පිටත වඩාත් ස්වාධීනව කි‍්‍රයා කරනවා.)

අන්තිමේදී 2002දී පෞද්ගලික අංශයට පාකිස්ථාන විද්යුත් මාධ්‍ය කේෂත‍්‍රයට එන්නට ඉඩ සලසා දුන්නේ මහජන ඡුන්දයෙන් බලයට ආ නායකයෙකු නොව හමුදා පාලක පාර්වේස් මුෂාරෆ් (Pervez Musharraf). ඒ කාර්යයට මූලික වූයේ පාකිස්ථානයේ මාධ්‍ය පර්යේෂණ හා ප‍්‍රතිපත්ති මට්ටමින් ඉහළ දැනුමක් හා දැක්මක් ඇති ජාවෙඞ් ජබාර් (Javed Jabbar). කලක් මුෂාරෆ්ගේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු, රටේ විශාලත්වය නිසා පණිවුඩ චන්ද්‍රිකා හරහා මේ නාලිකාවල සංඥා විකාශය කළ යුතු යයි නිර්දේශ කළා.

ගෙවී ගිය දශකයක කාලය තුල ටෙලිවිෂන් හා FM නාලිකා විශාල සංඛ්‍යාවක් බිහි වී පාකිස්ථානු සමාජයේ ප‍්‍රචලිත වී තිබෙනවා. මේවා නාගරික ප‍්‍රදේශවලට සීමා වී නැහැ. රටට ම දැනෙන්න, රට ම ආවරණය කරන්නට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික නාලිකා දැන් සමත්. Geo TV, Aaj TV වැනි නාලිකා ප‍්‍රවෘත්ති ආවරණය හරහා තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා. අද පාකිස්ථානයේ ප‍්‍රබල ම සමාජ සංස්ථාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනා කියන්නේ ප‍්‍රවෘත්ති ටෙලිවිෂන් නාලිකා බවයි.

තරගකාරීත්වය නිසා එරට රාජ්‍ය මාධ්‍ය ආයතන ද පෙරට වඩා විවෘත, ජනතාවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා. රට තුළ දේශපාලනය හා වෙනත් කරුණු ගැන බහුවිධ හා ප‍්‍රතිවිරුද්ධ මත දැරුවත් මේ සියළු නාලිකා නොවැරදී ම එකග වන කාරණා ද තිබෙනවා. තමන්ගේ ප‍්‍රතිවාදියා ලෙස බොහෝ පාකිස්ථානුවන් හදුනා ගන්නා ඉන්දියාව ගැන නාලිකා විග‍්‍රහය බොහෝ විට එක සමානයි.

පෞද්ගලික හිමිකාරිත්වයට ටෙලිවිෂන් කේෂත‍්‍රයට පිවිසෙන්නට ඉඩ සළසා දුන් මුෂාරෆ් ජනාධිපතිවරයාට අන්තිමේදී බලය හැර දමා යන්නට පාර කැපුවෙත් ඒ ටෙලිවිෂන් නාලිකා සමහරක් වීම දෛවයේ සරදමක්. එහෙත් 2002දී විද්‍යුත් මාධ්‍ය කේෂත‍්‍රය පුළුල් නොකර සිටියා නම් පාකිස්ථානුවන් හොර රහසේ ඉන්දියාවේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා බැලීමට යොමු වෙනවා. ජාවඞ් ජබාර් සූක්ෂම ලෙසින් කලේ දේශීයත්වය මතු කරන පෞද්ගලික නාලිකාවලට ඉඩ දීමයි.

එහෙත් අද ඇතැම් පුවත් නාලිකා උවමනාවට වඩා බලවත් වී ඇත් ද? මේ ගැන එරට මාධ්‍ය හා සමාජ පර්යේෂකයන් අතර ලොකු විවාදයක් තිබෙනවා.

බටහිර රටවල ඇත්තේ කලක් තිස්සේ සෙමින් පරිනාමය වූ ටෙලිවිෂන් සංස්කෘතියක්. ලෝකයේ මුල් ම පැය විසි හතරේ පුවත් ටෙලිවිෂන් නාලිකාව CNN බිහි වූයේ 1980දී. ඒ වන විට අඩ සියවසකට වඩා පැරණි ටෙලිවිෂන් සංස්කෘතියක් ඇමෙරිකාවේ තිබුණා. එහෙත් සියල්ල සීඝ‍්‍රගාමීව සිදු වන අද කාලයේ, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල එබදු පරිනත බවක් ලබන්නට කලින් පැය විසි හතරේ පුවත් නාලිකා බිහි වුණා.

ප‍්‍රවෘත්තියක් උවමනාවට වඩා පුම්බමින් දිගට ඇද ගෙන යාම දකින්නට හැක්කේ මේ නිසයි. මේ Breaking News කලාව හොඳට මෙන් ම නරකටත් සිටින, දෙපැත්ත කැපෙන දැලි පිහියක්. එය අතට ගෙන ඇති මාධ්‍යවේදීන්ගේ සංවරබව හා ආචාර ධර්ම ගරු කිරීමේ නැඹුරුව මත පුවත් ටෙලිවිෂන්වල සමාජ මෙහෙවර තීරණය වනවා.

පාකිස්ථානයේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට පැලැස්තර විසදුම් වෙනුවට ක‍්‍රමීය විසදුම් සෙවිය යුතු බව එරට විද්වතුන් පිළි ගන්නවා. එහෙත් ඒ විසදුම් ගැන එකගත්වයක් නැහැ. රටේ බහුතරයක් ජනයා දැඩි දුප්පත්කමින්, නූගත්කමින් හා වැඩවසම් සම්ප‍්‍රදායන්ගෙන් මිරිකී සිටිනවා. බොහෝ දියුණුවන රටවල මේ සමාජ විසමතා ඇතත් පාකිස්ථානයේ ඒවා ඉතා තීව‍්‍ර මට්ටමක තිබෙනවා.

පාරම්පරිකව ධනය හා බලය නතු කර ගත් සුළුතරයක්, සෙසු ජනයා බලහත්කාරයෙන් තලා පෙලා ගෙන සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා රැකියා අවස්ථා වැනි මූලික මානව අවශ්‍යතා සඳහාවත් මේ පීඩිතයන්ට සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැහැ. රදල ඉඩම් හිමියන් මුළු පළාතක් ම හිමි කර ගෙන එහි ජනයා වහලූන් සේ පාගා ගෙන සිටීම සුලබ දෙයක්. මෙබදු ප‍්‍රදේශවල ගැහැණු දරුවන් පාසල් යැවීමට හෝ සමාජ සුබසාධන සේවා සැපයීමට හෝ රදලයන් රජයට ඉඩ දෙන්නේ නැහැ.

මේ අසාධාරණකම් සොයා යමින් බිම් මට්ටමේ වාර්තාකරණය ඔස්සේ ඒවා මතු කිරීමට පාකිස්ථාන පුවත් ටෙලිවිෂන් නාලිකා ක‍්‍රියා කරනවා. මේ නිසා එරට සමාජ කලබගෑනියක් ඇති වෙලා. වාර්තාකරුවන් හා කැමරා කණ්ඩායම් ගම් දනවුවල සැරිසැරීම නිසා රදලයන්ට, දේශපාලකයන්ට හා නිලධාරින්ට වංචනික හා අසාධාරණ ක‍්‍රියා කරන්නට බැරි වී තිබෙනවා.

2010 මැද දී පාකිස්ථානයේ ඉන්දුස් ගංගාව පිටාර ගැලීම නිසා මහ ගංවතුරක් ඇති වුණා. මිලියන් 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා. මේ අසීරු අවස්ථාවේ පවා පුවත් නාලිකා ප‍්‍රධාන නගරවලින් දුර බැහැර ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වය ගැන හරවත්ව හා සංයමයෙන් වාර්තා කළා.

වාර්තාකරණයේදී ලිහිල්ව නැතිනම් ගෞරවාන්විතව ආවරණය වන සුපිරි පැලැන්තියක් (sacred cows) ඇත්දැයි මා විමසුවා. ආගමික නායකයන්ට හා විනිසුරුකරුවන්ට තනතුරේ ගෞරවය රැකෙන පරිදි වාර්තාකරණය කළත්, ඔවුන්ගේ අක‍්‍රමිකතා හෝ දුෂණ හෝ ගැන තොරතුරු ලැබුණොත් දෙගිඩියාවකින් තොරව එය හඹා යන බව ඔවුන් කියනවා.

දේශපාලකයන් හා හමුදාව නිරතුරු මාධ්‍ය අවධානයට හා විවේචනයට ලක් වන බවත්, දරදඩු හමුදා පාලනයන් පවතින විටදී පවා පාලකයින්ට තමන් දණ නැමුවේ නැති බවත් එරට මාධ්‍ය සිහිපත් කරන්නේ අභිමානයෙන්.

මෙතරම් පිටකොන්දක් පාකිස්ථානු මාධ්‍යවලට ලැබුනේ කොහොම ද? එය ගැඹුරින් විග‍්‍රහ කල යුතුයි. කෙටි පිළිතුර නම් වෙනත් ව්‍යාපාරික අරමුණුවලට වඩා මාධ්‍ය ව්‍යාපාරයෙන් ම සාධාරණ ලෙස මුදල් උපයා ගන්නා හිමිකරුවන් සිටීමත්, සමාජයේ වෙනත් වෘත්තිකයන් හා උගතුන් මාධ්‍යවලට සහය දැක්වීමත්. මෑත කාලයේ පාකිස්ථානයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වූ සෑම විට ම පාහේ වීදි උද්ඝෝෂණවලට මාධ්‍යවේදීන් පමණක් නොව නීතිඥයන්, සරසවි ඇදුරන්, විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් පවා එක් වුණා.

පාකිස්ථානයේ පුවත් ටෙලිවිෂන් නාලිකාවලට ඇත්තේ දශකයක අත්දැකීම්. ඒ මත වඩාත් ජනතාවට වග කියන, බලපෑම්වලට නතු නොවන ටෙලිවිෂන් මාධ්‍ය කලාවක් සාදා ගත යුතු බව එරට ටෙලිවිෂන් පරිපාලකයන් හා මාධ්‍යවේදීන් පිළි ගන්නවා.

මැජික් ලාම්පුවෙන් එළියට පැමිණ ලොකු වැඩ කරන පුවත් ටෙලිවිෂන් යෝධයාව ආයෙත් ලාම්පු ඇතුලේ සිර කරන්නට බැරි බව එරට පාලකයන් දන්නවා. ඔවුන් කවුරුත් දැන් තැත් කරන්නේ යෝධයාගේ ජවය හා උද්‍යෝගය පොදු උන්නතියට වඩාත් ප‍්‍රශස්ත ලෙසින් යොදා ගන්නටයි.

සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

This is the text of my (Sinhala language) column in Ravaya newspaper of 23 September 2012. I review two new books, both of much public interest, and written by two senior professionals who have been passionately committed to public safety for decades.

Protect Your Child from Injury (in Sinhala) is written by Dr Wijaya Godakumbura, while Traffic Signs, Road Markings and Traffic Signals is authored by T Perinpanayagam, a retired senior police officer.

T Perinpanayagam (left) and Dr Wijaya Godakumbura: Life-long commitment to safety


මේ සාහිත්‍ය මාසයයි. කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සතියයි. මේ නිසා මෑතදී මට හමුවූ පොත් දෙකක් ගැන අද කථා කරනවා.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ අළුත් පොත් සිය ගණනක් එළි දකිනවා. (මගේ 2011 කොලම් අතරින් 44ක් අඩංගු පොතක් ද ඒ අතර වනවා.) අතිශයින් විවිධ වූ රසිකත්වයකට හා පාඨක සමුහයකට දායාද කැරෙන මේ පොත් අතර නිර්මාණාත්මක මෙන්ම දැනුම වඩන පොත් ද තිඛෙනවා. පොතක අගය තීරණය වන්නේ එය පාඨකයන්ට සමීප වන ආකාරයටයි.

ඇතැම් පොත් චින්තන විප්ලවයන් කරන අතරේ තවත් පොත් ඉතා ප්‍රායෝගික ලෙසින් ජීවිතය අර්ථවත්, සාරවත් කර ගන්නට අත්වැලක් සපයනවා. හැම පොතකට ම ජීවිත බේරන්නට බැහැ. එබඳු පොත් ලියැවෙන්නේ ඉඳහිටයි. ගෙවී ගිය සති කිහිපය තුළ දිවි සුරකින දැනුම කැටි කර ගත් හරවත් පොත් දෙකක් එළි දක්වන උත්සවයන් මෙහෙයවීමේ වරම මට ලැබුණා. ඒවා ලියා ඇත්තේ මා අගය කරන, පොදු උන්නතියට කැපවුණු වෘත්තිකයන් දෙදෙනකු විසින්.

එයින් එක ලේඛකයෙක් දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ වෛද්‍යවරයෙක් හා නව නිපැයුම්කරුවෙක්. අනෙක් ලේඛකයා සිය කැපවීම නිසා ජනාදරයට පත් වූ හා ජාත්‍යාන්තර පිළිගැනීමක් ලද පොලිස් නිලධාරියෙක්.

Protect Your Child from Injury – Book by Dr Wijaya Godakumbura

සුදීප ආරක‍ෂිත කුප්පි ලාම්පුවේ (www.safebottlelamp.org) නිපැයුම්කරුවා හා ප්‍රවර්ධකයා ලෙස ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජෝති විජය ගොඩකුඹුර මා මීට පෙර හඳුන්වා දී තිඛෙනවා (2012 ජනවාරි 15 කොලම). වසර 45ක් තිස්සේ මාධ්‍ය හරහා සෞඛ්‍ය දැනුම ඛෙදා දෙන ඔහු 1971දී ලියූ “වෛද්‍යවරයෙක් කථා කරයි” නම් කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වුණා. දශක හතරකට පසු ඔහු ලියූ දෙවන සිංහල පොත නම් කර ඇත්තේ “අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න” කියායි.

වාර්ෂිකව ලොව පුරා මිලියන් 5.5ක් (ලක‍ෂ 55 ක්) දෙනා විවිධ අනතුරුවලින් මිය යන අතර ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යාව 12,000ක් පමණ වනවා. වැඩි වශයෙන් පුවත් වාර්තාකරණයට හසු වන්නේ මෙයින් සියයට 22ක් පමණ වන මාර්ග අනතුරුයි. එයට අමතරව දියේ ගිලීම්, පිලිස්සීම්, වැටීම්, විෂවීම්, මිනිමැරුම්, සියදිවි නසා ගැනීම් හා වෙනත් හදිසි අනතුරු නිසා නිකරුණේ හා අකාලයේ බොහෝ ජීවිත විනාශ වන සැටිත්, ඒ අතරින් ළමා ජීවිතවලට සිදුවන අනතුරු වැඩියෙන් ම ඛේදජනක වන සැටිත් වෛද්‍ය ගොඩකුඹුර සංඛ්‍යා ලේඛන දක්වමින් විස්තර කරනවා.

ළමයින්ට අනතුරු වීමේ හැකියාව වැඩියි. ඔවුන්ගේ අනතුරු හඳුනා ගැනිමේ හැකියාව අඩු අතර කුතුහලය හා හැම දෙයක් ම ගවේෂණය කිරීමේ ආසාව ඉහළයි. මේ සංයෝගය ඇතැම් විට මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන බව ඔහු කියනවා.

“ඔවුහු දණ ගෑම, ගස් මතට නැගීම, පටු ස්ථාන අතරින් රිංගා යෑම, ගේට්ටුව මත පැද්දීම, තරප්පු අත්වැල දිගේ පහතට ලිස්සා යාම, දිවීම වැනිදේට ආශා කරති. යමක් අල්ලා ගැනීමේ සහ එය මුඛය තුළට දැමීමේ හැකියාව කුඩා කාලයේදීම වර්ධනය වන හෙයින් වස ශරිරගතවීමේ ප්‍රවණතාවයක් තිබේ. ආවරණයක් නැති ළිඳකට දණ ගා යන බිළිඳා, තම සෙවනැල්ල දැක එය අල්ලන්නට උත්සාහ කරයි. ගිනිදැල් දැකීමෙන් ආශ්වාදයක් ලබන හෙයින් යමක් දැල්වීමට අවස්ථාවක් ලදහොත් ඔවුන් එසේ කිරීමට ඉඩ ඇත.”

මෙකී නොකී විවිධාකාරයේ අනතුරු වීමේ හැකියාව අප හැමගේ ගෙදර, වත්ත පිටියේ, මහමඟ, කඩමණ්ඩිවල හා කාර්යාලවල එමට තිඛෙනවා. ඩෙංගු මදුරු උවදුර ගැන රජයට හා පළාත් පාලන ආයතනවලට දොස් තබන අප, ගෙදරදොරේ වෙනත් දිසි හා අදිසි අනතුරුවලින් අපේ දරුවන් බේරා ගන්නට කළ හැකි සියල්ල කරනවා ද? අනතුරුවලින් ජීවිත හානි සිදුවූ විට අසීමිත ලෙස කඳුළු සළන අපේ ටෙලිවිෂන් නාලිකා, අනතුරු වැළැක්වීමට පුළුල් ලෙස ජාතික සංවාදයක් ඇති කරන්නට සෑහෙන ගුවන් කාලයක් කැප කරනවා ද?

සෑම දිනක ම වළක්වා ගත හැකිව තිබු හදිසි අනතුරක් වළක්වා නොගත් හෙයින් දරුවකු අහිමිවීම නිසා ලෝකයේ පවුල් 2,000ක් අධික මානසික පීඩාවට පත් වන බවත්, දරුවන් පස් වැනි වියට පා තබන විට ඔවුන්ගේ ජීවත්වීමට ඇති විශාලතම බාධකය හදිසි අනතුරු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) උපුටා දක්වමින් වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

අනතුරු දෙආකාරයි. “හිතාමතා ම කෙරෙන” හා “ඉබේ සිදුවන” (නොහොත් හදිසි අනතුරු) වශයෙන්. එහෙත් ගැඹුරට සිතීමේදී කිසිදු අනතුරක් ඉබේ සිදු නොවන බවත්, හදිසි අනතුරු සිදු වනවා නොව “සිදු වන්නට බොහෝ දෙනා ඉඩ හරින” බවත් ඔහු තර්ක කරනවා.

මෙයට ප්‍රධාන හේතු වන්නේ නොදන්නාකම හා නොසැලකිල්ලයි. “මේ බව වටහා ගෙන තමාගේ නොදන්නාකම හෝ නොසැලකිල්ල නිසා තමාගේ හෝ වෙනත් අයකුගේ දරුවකුව අනතුරක් වීමට ඉඩ නොතැබීම අප සැමගේ වගකීමයි,” ඔහු අවධාරණය කරනවා.

අනතුරුවලින් සියයට 95ක ම ළමා මරණ සිදු වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළු අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලයි. එමෙන්ම සෑම එක් මරණයකට ම සාපේක‍ෂව දහසක් දෙනා අනතුරුවලට මුහුණ පා දිවි ගලවා ගන්නවා. එහෙත් ඒ ඇතැම් දෙනා සදහට ම දුබලතා, සමේ කැලැල් හෝ මෝළයේ ආබාධ සමඟ ජීවත් වනවා.

ළමයින් අනතුරුවලින් බේරා ගැනීම දෙමවුපියන්ගේ හා සෙසු වැඩිහිටියන්ගේ වගකීමක් වන අතර එයට තුඩු දෙන සමාජ හා ආර්ථීක සාධක ගැන සමස්ත සමාජයට හා රජයට ද වගකීමක් පැවරෙනවා. උදාහරණ නම් ක්‍රීඩා පිට්ටනි නැතිකමින් මහ පාරේ සෙල්ලම් කරන ළමයින්, මහමාර්ග හා දුම්රිය මාර්ග අයිනේ (මිදුලක් නැතිව) නිවාස පිහිටා තිබීම, තාප්ප රහිත ළිං, වැටක් රහිත තරප්පු පේලි, අඩු මිළැති අනාරක‍ෂිත කුප්පි ලාම්පු භාවිතය.

වෛද්‍ය ගොඩකුඹුර කියන්නේ නැතිබැරිකම ළමා අනතුරුවලට විවිධාකාරයෙන් දායක වන බවයි. උදා: ළමයින් හට සුපරික්‍ෂාව ලබා දීමට අපහසුවීම හා දැනුම, තොරතුරු හා සේවා ලබා ගැනීමට අඩු ආදායම්ලාභීන්ට අවස්ථා හිඟ වීමයි.

අනතුරු වළක්වා ගැනීමේ දශක ගණනක සිය දැනුම හා අත්දැකීම් වෛද්‍ය ගොඩකුඹුර මේ පොතේ සරලවත් තර්කානුකූලවත් කැටි කොට තිබෙනවා. ඔහු එය තුන් ආකාරයකට වර්ග කරනවා. අනතුරක් මුළුමනින් ම වළක්වා ගැනීම ප‍්‍රාථමික ක‍්‍රියා මාර්ගයයි. යම් හෙයකින් අනතුරක් වූ විට ශාරිරික අනතුරු අවම කිරීම (උදා: ආසන පටි හා හෙල්මට් භාවිතය) ද්විතීය ක‍්‍රියා මාර්ගයයි. අනතුරකින් ශාරිරික හානි වූ විට ඵල විපාක අවම කිරීම තෘතීය ක‍්‍රීයා මාර්ගයයි (උදා: ප‍්‍රථමාධාර නොපමාව ප‍්‍රතිකාර දීම, නිසි පුනරුත්ථාපනය).

මේ පොතේ මා දකින සුවිශේෂත්වය නම් අනතුරු වළක්වා ගන්නට, එක් එක් අයට ගත හැකි ලොකු හා කුඩා පියවර නිරවුල්ව ඉදිරිපත් කර තිබීමයි. මෙය දුවන ගමන් කළ මාධ්‍ය වාර්තාවක් නොවෙයි. කලක් තිස්සේ මහත් ඕනෑකමින් හා ක‍්‍රමීය මට්ටමින් අධ්‍යයනය කොට, මනසින් හා හදවතින් කරන විග‍්‍රහයක්.

බෝවන රෝග වළක්වා ගන්නට රජය හා සමාජය දක්වන උනන්දුව අනතුරු වැළැක්වීමට ලැබී නැති බවත්, අනතුරුවලින් ආරක්‍ෂිත සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සියළු තොරතුරු දැනටමත් සෞඛ්‍ය හා අනෙකුත් අදාල බලධාරීන් සතුව ඇති බවත් කතුවරයා පෙන්වා දෙනවා.

Book on Traffic Signals, Road Signs and Traffic Lights, by T Perinpanayagam

අනතුරුවලින් සංඛ්‍යාත්මකව වැඩි ප‍්‍රතිශතයකට වග කියන මාර්ග අනතුරු ගැන සිය ජීවිත කාලය පුරා මහත් කැපවීමෙන් ක‍්‍රියා කරන විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටී. පෙරින්පනායගම් මහතාගේ නවතම කෘතිය ”රථවාහන සංඥ, මාර්ග සළකුණු හා ආලෝක සංඥ” නමින් පසුගියදා ප‍්‍රකාශයට පත් වුණා.

වෛද්‍ය ගොඩකුඹුර මෙන් ම පෙරින්පනායගම් මහතා ද දිවි සුරකින්නට සිය දිවිය කැප කළ, තම ක්‍ෂෙත‍්‍රයේ ගැටළු හා අභියෝග මනා සේ අධ්‍යයනය කොට, මහත් ඕනෑකමින් සන්නිවේදනය කරන්නෙක්.

අපේ මහාමාර්ගවල කලක සිට පැවත එන රථවාහන සංඥ හා මාර්ග සළකුණු මෙන් ම අළුත් ඒවා ද දැන් දක්නට ලැබෙනවා. ඒ ගැන අළුතින් රිය පදවන්නට පටන් ගන්නා අයටත් කලක් තිස්සේ රිය පදවන හැමටත් නිරවුල් හා පැහැදිලි දැනුමක් ලබා දීම මේ කතුවරයාගේ අරමුණයි.

නමුත් හුදෙක් රියදුරන්ට පමණක් නොවෙයි. මහමග ඇවිදින, බයිසිකල් හා මෝටර් සයිකල් පදවන සැමටත් අදාළ ප‍්‍රායෝගික දැනුම හා උපදෙස් මෙහි අඩංගුයි. එපමණක් නොවෙයි රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට හා මාර්ග සළකුණු පිහිටුවීම හා නඩත්තු කිරීම කරන පළාත් පාලන ආයතන සහ (මාර්ග අධිකාරිය වැනි) සෙසු රාජ්‍ය ආයතනවලටත් වැදගත් වන සංකල්පමය නිරවුල් බව මේ පොතෙන් සැකෙවින් හා සරලව ලබා දෙනවා.

1957දී උප පොලිස් පරික්‍ෂකයකු ලෙස ශ‍්‍රී ලංකා පොලිසියට බැඳුණු පෙරින්පනායගම් මහතා 1993-1997 කාලය තුළ රථවාහන පරිපාලනය පිළිබඳ මෙරට මුල් ම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කොට විශ‍්‍රාම ගියා. රථවාන පොලිස් නිලධාරීන් පළඳින විශේෂිත සුදු ඇඳුම, තොප්පිය හා සුදුපටිය 1987දී ඔහු විසින් නිර්මාණය කරන ලද්දක්.

ආරක්‍ෂිත මහාමාර්ග හා ප‍්‍රවේශම්කාරී මාර්ග භාවිතය ගැන ඔහුගේ උනන්දුව පොඩියක්වත් අඩු වී නැහැ. මාර්ග හා රථවාහන පුහුණු අධ්‍යාපන ආයතනයේ සභාපති හැටියටත්, දෙස් විදෙස් විද්වත් සමිති සමාගම් ගණනාවක ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් ඔහු සිය ක්‍ෂෙත‍්‍රයේ සක‍්‍රියව නිරතව සිටිනවා.

2011-2020 කාලය මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. එයට දේශීය වශයෙන් අනුබල දෙන්නේ WHO සංවිධානයයි. ශ‍්‍රී ලංකාවේ දිනකට මාර්ග අනතුරු 150ක් සිදු වන අතර එයින් ජීවිත අහිමි වන සංඛ්‍යාව 6 දෙනෙකු පමණ වන බවත්, 1977-2007 දක්වා 30 වසරක කාලය තුළ මාර්ග අනතුරු නිසා ලාංකිකයන් 40,000කට වැඩි පිරිසක් මිය ගිය බවත් WHO දේශීය නියෝජිත ආචාර්ය එෆ්. ආර්. මේථා පොතට පණිවුඩයක් ලියමින් කියනවා.

මේ පොත් දෙකේ ම කතුවරුන් අපට මතක් කරන්නේ අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට ඔබ්බෙන් තවත් සමාජ බලපෑම් රැසක් ද ඇතිවන බවයි. දිවි ගලවා ගෙන ආබාධිත වන අය, නැවතත් රැකියාවක් කිරීමේ වරම අහිමි වන අය නිසා ඔවුන්ගේ පවුල්වලට, සමාජයට හා ආර්ථිකයට ඇති වන විපාක එක එල්ලේ ගණන් බැලීම පවා අපහසුයි.

සියළුම අනතුරුවලින් තොරවු රටක් හෝ සමාජයක් හෝ නැහැ. එහෙත් පොදු හා පෞද්ගලික පියවර තුළින්, දැනුවත්වීම හා අවධි වූ සිහියෙන් ක‍්‍රියා කිරීම හරහා අනතුරු අවම කරගත් දියුණු රටවල් මෙන් ම දියුණු වන රටවල් ද තිබෙනවා.

වෛද්‍ය ගොඩකුඹුර හා පෙරින්පනායගම් වැනි විද්වතුන්ගේ දැනුමෙන් හා දැක්මෙන් ලක් සමාජය නිසි ඵල නෙළා ගන්නට නම් රාජ්‍ය, විද්වත්, පෞද්ගලික හා ස්වෙච්ඡ සංවිධාන ඒ උතුම් අරමුණු වටා ඒකරාශි විය යුතුයි. ඒ සඳහා ඇස් හා මනස විවර කරවන මේ පොත් දෙක, සෑම ගෙදරක ම තිබිය යුතුයි.

සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

This week’s Ravaya column (in Sinhala) is about a maverick scientist: Dr Yang Saing Koma. For 15 years, this Cambodian agronomist has driven a grassroots revolution that is changing farming and livelihoods in one of the least developed countries in Asia.

A champion of farmer-led innovation in sustainable agriculture, Koma founded the Cambodian Centre for Study and Development in Agriculture (CEDAC) in 1997. Today, it is the largest agricultural and rural development organisation in Cambodia, supporting 140,000 farmer families in 21 provinces.

He has just been honoured as one of this year’s six recipients of the Ramon Magsaysay Awards — the Asian Nobel Prize. I wrote about him in a recent English column too.

Dr Yang Saing Koma, visionary behind Cambodia’s rice farming revolution – photo courtesy Cornell University SRI website

ලක් ගොවීන් රසායනික පොහොරට දැඩි සේ ඇබ්බැහි වීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. එ අතර කෘෂි විද්‍යා ක්‍ෂෙත‍්‍රය ද මනාව දත් පාඨකයකු කීවේ “ශ‍්‍රී ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට මෙබඳු ගෝලීය ප‍්‍රවණතාවලට එරෙහිවීමට අවශ්‍ය වුවත් ලෙහෙසියෙන් කළ නොහැකි බවයි”.

ඕනෑ ම ඇබ්බැහිකමකින් අත්මිදීම අසීරුයි. එහෙත් අපේ රට ඇතැම් දෙනා සිතන තරම් කුඩා හෝ “අසරණ” හෝ නොවන බව මා මීට පෙර මේ කොලමින් සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා. ඕනෑකම හා අධිෂ්ඨානය ඇත්නම් අපේ අයාලේ ගිය කෘෂි ක්‍ෂෙත‍්‍රය නැවතත් යහපත් ප‍්‍රතිපත්ති හා පුරුදුවලට යොමු කර ගත හැකියි.

ගෝලීය පසුබිම තුළ අපේ රටේ “අසරණකම” ගැන අශූභවාදී තර්ක කරන අයට මා ගෙන හැර දක්වන්නේ අපටත් වඩා කුඩා, දුගී බවින් අධික ආසියානු රටවල් යහ අරමුණු සාර්ථක ලෙස ජය ගන්නා හැටියි. රසායනික පොහොර මත අධික ලෙස යැපීමේ හරිත විප්ලව සංකල්පයෙන් මෑතදී ඉවත් වූ කාම්බෝජයේ උදාහරණය මා අද මතු කරන්නට කැමතියි.

1958 සිට පිලිපීනයේ ස්වාධීන පදනමක් විසින් වාර්ෂිකව පිරිනමනු ලබන රේමන් මැග්සායිසායි ත්‍යාගය (Ramon Magsaysay Award) ආසියානු නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වනවා. එය පිරිනමන්නේ සිය රටට, සමාජයට හා ලෝකයට සුවිශේෂී සේවයක් කරන අයටයි.

2012 මැග්සායිසායි ත්‍යාග අගෝස්තු 31 වනදා පිලිපීනයේ මැනිලා අගනුවරදී උත්සවාකාරයෙන් පිරිනමනු ලැබුවා. එහිදී මහජන සේවය සඳහා වන මැග්සායිසායි ත්‍යාගය කාම්බෝජයේ ආචාර්ය යැං සයිංග් කෝමාට (Dr. Yang Saing Koma) හිමි වුණා. සිය රටෙහි ගොවිතැන් කටයුතුවල නිහඬ විප්ලවයක් කරමින් සහල් නිෂ්පාදනය වැඩි කරන අතර ගොවීන්ගේ ජීවන තත්ත්වය හා ආත්ම අභිමානය දියුණු කිරීම ත්‍යාගයේ හේතු පාඨය ලෙස සඳහන් වුණා.

ආසියාවේ වඩාත් දුගී දුප්පත්කම වැඩි රටක් වන කාම්බෝජයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් 930යි. එරට සමස්ත ආර්ථික නිෂ්පාදනයෙන් සියයට 33ක් ලැබෙන්නේ බෝග වගාවෙන් හා සත්ත්ව පාලනයෙන්. එරට මිලියන් 14ක ජනයාගෙන් තුනෙන් දෙකක් ජීවිකාව සපයා ගන්නේ් වී ගොවිතැනින්.

සිය රටේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට නම් වී ගොවිතැනින් පටන් ගත යුතු බව ජර්මන් සරසවියකින් ශෂ්‍ය විද්‍යාවේ ආචාර්ය උපාධියක් ලබා 1995දී සිය රට පැමිණි ආචාර්ය කෝමා මනා සේ වටහා ගත්තා. එහෙත් බටහිරින් උගෙන අපේ වැනි රටවල ආපසු පැමිණ එ් දැනුම ගෙඩි පිටින් ආසියානු සමාජවලට ආරෝපණය කරන උගතුන්වට වඩා කෝමා වෙනස් චරිතයක්.

ඔහුට ක‍්‍රමීය චින්තනයක් තිබෙනවා. ප‍්‍රශ්නවල මුල සොයා ගවේෂණය කිරීමත්, රෝග ලක්‍ෂණවලට මතුපිටින් ප‍්‍රතිකර්ම යොදනවා වෙනුවට රෝග නිධාන සොයා ප‍්‍රතිචාර දැක්වීමත් ඔහුගේ ක‍්‍රමවේදයයි.

ගොවීන්ගේ අවශ්‍යතාවන්ට කේන්ද්‍ර වූ ගොවිතැන් පිළිවෙත් මතු කර ගැනීම මුල පටන් ම කෝමාගේ ප‍්‍රමුඛතාවය වුණා. බොහෝ රටවල් කරන්නේ ජාතික අස්වනු ඉලක්ක සාදා ගෙන, එවා සාක්ෂාත් කරන්නට ගොවීන් ඉත්තන් සේ යොදා ගැනීමයි. එ මහා පරිමාණ ව්‍යාපෘතිවලදී, කෙටි කාලීන අධික අස්වනු ලැබීම සඳහා උවමනාවට වඩා කෘෂි රසායන ද්‍රව්‍ය යොදමින් කඩිනම් අරගලයක් කරනවා. දේශපාලන උද්යෝගපාඨ හා ජාතිකාභිමානී ප‍්‍රකාශ හමාර වූ පසු ණය බරිත වූ ගොවීන් ගැන නිලධාරීන් හෝ දේශපාලකයන් හෝ තකන්නේ නැහැ (අඩු තරමින් ඊළඟ මැතිවරණය එලඹෙන තුරු!)

මේ ක‍්‍රමයට වෙනස් වූ, කළබල නැති, ගොවි හිතකාමී හා පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් ප‍්‍රගුණ කරන්නට 1997දී කෝමා ගොවි කටයුතු අධ්‍යයන හා සංවර්ධනයට කැප වූ කාම්බෝජියානු කේන්ද්‍රය (Cambodian Centre for Study and Development in Agriculture, CEDAC) නම් රාජ්‍ය නොවන, ස්වෙච්චා සංවිධානය ඇරඹුවා. වසර 15ක් තුළ CEDAC ගොවි කටයුතු හා ග‍්‍රාම සංවර්ධනය පිළිබඳ කාමිබෝජයේ විශාලතම ජනතා සංවිධානය බවට පත් වී තිබෙනවා. අද ඔවුන් පළාත් 21ක ගොවි පවුල් 140,000ක් සමඟ ගනුදෙනු කරනවා. ගොවි තොරතුරු ජාල හරහා තවත් විශාල ගොවි ජනතාවක දැනුම වැඩි කරනවා.

Dr Yang Saing Koma photo courtesy Friedrich Naumann Foundation Southeast & East Asia

ආචාර්ය කෝමා අප සාමාන්‍යයෙන් සිතින් මවා ගන්නා ආකාරයේ (රැවුල වවා ගත්, උද්‍යොගපාඨ කියමින් මොර දෙන) විප්ලවවාදියකු නොවෙයි. ඔහු සිරුරින් කෙසග, සිහින් හඬින් කථා කරන, ඉතා ආචාරශීලී පුද්ගලයෙක්. එහෙත් මේ කුඩා මිනිසා චින්තන විප්ලවයක් හරහා කාම්බෝජ ගොවිතැන නව මගකට යොමු කර තිබෙනවා. උගත්කමේ මාන්නය පොඩියක්වත් නැති මේ අපුරු විද්‍යාඥයා ගොවීන්, කෘෂි පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් මෙන් ම අදාළ පෞද්ගලික සමාගම් නියෝජිතයින් සමඟත් සාමූහිකව කටයුතු කරමින් පොදු උන්නතියට ක‍්‍රියා කරන අයෙක්.

කෝමා සහ CEDAC ආයතනයේ බලපෑම ඉතා හොඳින් කියා පාන උදාහරණය නම් වී වගාවේ SRI ක‍්‍රමය (System of Rice Intensification) කාම්බෝජයේ ව්‍යාප්ත කිරීමයි. දශකයක් තුළ වී ගොවීන් 100,000කට වැඩි දෙනෙකු SRI ක‍්‍රමයට නම්මවා ගන්නටත්, එ් හරහා එරට වී අස්වැන්න 60%කින් වැඩි කරන අතර රසායනික පොහොර හා දෙමහුම් වී ප‍්‍රභේද භාවිතය බොහෝ සෙයින් අඩු කිරීමටත් හැකි වී තිබෙනවා.

2002දී ටොන් මිලියන 3.82ක් වූ කාම්බෝජ වාර්ෂික වී නිෂ්පාදනය 2010 වන විට ටොන් මිලියන් 7.97 දක්වා ඉහළ ගියා. මේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් SRI ක‍්‍රමය හරහා ලැබුණු බව එරට රජය පිළි ගන්නවා. 2005දී කාම්බෝජය නිල වශයෙන් SRI ක‍්‍රමය එරට වී නිෂ්පාදන ක‍්‍රමෝපායක් බවට පත් කළා.

වී වගාවේ SRI ක‍්‍රමය මුලින් ම අත්හදා බලා හඳුන්වා දුන්නේ අප‍්‍රිකා මහද්වීපයට සමීප මැඩගස්කාරයේයි. 1980 ගණන්වල සුළුවෙන් ඇරඹි මේ ක‍්‍රමය මේ වන විට වී වගා කරන ඝර්ම කලාපයේ බොහෝ රටවල පැතිරී තිබෙනවා. SRI ක‍්‍රමය මෙරටට හඳුන්වා දී ඇතත් එතරම් ප‍්‍රචලිත වී නැහැ.

SRI ක‍්‍රමයේදී උත්සාහ කරන්නේ වඩාත් සකසුරුවම් ලෙසින් වාරි ජලය යොදා ගෙන වී වගා කිරීමට. සාම්ප‍්‍රදායිකව කුඹුරුවලට විශාල ජල ප‍්‍රමාණයක් යොමු කරනවා. 1990 ගණන්වලදී ආචාර්ය රේ විජේවර්ධන වරක් මට කීවේ වී කිලෝ එකක් නිපදවන්නට වාරි ජලය ටොන් 20ක් පමණ යොදන බවයි. මේ ජලයෙන් ඉතා වැඩි ප‍්‍රමාණයක් කරන්නේ වෙල් යායේ වල් පැළෑටි බිහි වීම වැළැක්වීම. වී ශාකය වර්ධනයට එතරම් ජලය කන්දරාවක් උවමනා නැහැ.

වල් පැළෑටි පාලනය සඳහා ජලය වෙනුවට තෙත කොළරොඩු (leaf mulch) යොදන SRI ක‍්‍රමයේදී කුඹුරුවල ජල අවශ්‍යතාවය බාගයකටත් වඩා අඩු කරනවා. ජල හිඟයට නිතර මුහුණ දෙන අද කාලේ මෙය විශාල සහනයක්.

SRI ක‍්‍රමයේ තවත් වෙනසක් නම් ඉතා ලාබාල (දින 10-12) වියේදී ගොයම් පැළ නිශ්චිත දුරකින් කුඹුරේ සිටුවීමයි. එමෙන් ම ගොයම් පැළ අතර (පසට නයිට‍්‍රජන් පොහොර තනා දීමේ ස්වභාවික හැකියාව ඇති) වෙනත් බෝග වවන්නට (inter-cropping) ගොවීන් උනන්දු කරවනවා. මෙබඳු පියවර කිහිපයක් හරහා අඩු ජලයක් හා අඩු රසායනික පොහොර යොදා වුවත් හොඳ අස්වැන්නක් ලද හැකියි.

1999දී SRI ක‍්‍රමය ගැන විදෙස් සඟරාවක ලිපියක් කියවූ ආචාර්ය කෝමා මුලින් එය තමන්ගේ වෙල් යායේ අත්හදා බැලූවා. ”මට උවමනා වුයේ මේ සංකල්ප කාම්බෝජයේ තත්ත්වයන්ට ගැලපෙනවා ද යන්න තහවුරු කර ගන්නයි. එය ප‍්‍රතිථල පෙන්වන විට මා අසල්වැසි ගොවි මහතුන් කැඳවා එය පෙන්නුවා. මුලින් ඔවුන් මේ ක‍්‍රමය විශ්වාස කළේ නැහැ. මා සතු සියළු දැනුම ඔවුන්ට දී මා කිව්වේ එය අත්හදා බලන්න කියායි”.

මෙසේ කුඩා පරිමාන වී ගොවීන් ටික දෙනෙකුගෙන් පටන් ගත් කාම්බෝජයේ SRI ක‍්‍රමය වසර කිහිපයක් තුළ රට පුරා ව්‍යාප්ත වී ගියා. එය ඉබේ සිදු වුයේ නැහැ. කෝමා හා CEDAC ආයතනය ආදර්ශක කෙත් යායන් පවත්වා ගෙන ගියා. රට පුරා සංචාරය කරමින් ගොවීන්ට ශිල්පක‍්‍රම කියා දුන්නා. ගොවි සඟරාවක්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය හරහා අත්දැකීම් බෙදා ගත්තා.

“මා හැම විට ම අපේ ගොවීන්ට කියන්නේ පොතේ උගතුන් වන අප කියන දේ එක විට පිළි ගන්නට එපා. ඔබ ම අත්හදා බලන්න. ඔබේ ගැටළු විසඳමින් වැඩි අස්වනු ලබා දෙන ක‍්‍රමවේදයක් පමණක් දිගට ම භාවිත කරන්න.”

කෝමා, ගොවීන්ගේ සහජ බුද්ධිය හා ප‍්‍රායෝගික දැනුම ඉතා ඉහළින් අගය කරන අසාමාන්‍ය ගණයේ උගතෙක්. “ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ සිටින ඉහළ ම විශේෂඥයන් වන්නේ කුඩා පරිමාණයේ ගොවියන් හා ගෙවිලියන්. විද්‍යාව ෙසෙද්ධාන්තිකව උගත් අප වැනි අය ගොවීන්ගෙන් ගුරුහරුකම් ලද යුතුයි! ඔවුන්ගෙන් උගනිමින්, ඔවුන් සමඟ ගොවිතැනේ ගැටළු විසඳීම කළ යුතුයි!”

කෝමා මෙසේ කියන විට මට සිහි වන්නේ ආචාර්ය රේ විජේවර්ධනගේ එ සමාන ආකල්පයන්. (2011 අගෝස්තු 21 හා 28 කොලම් බලන්න.) මූණ ඉච්ඡවට ගොවි රජා හා ගොවි මහතා ආදී යෙදුම් භාවිතා කළත් අපේ පොතේ උගතුන් හා පර්යේෂකයන් ගොවීන් ගැන දරණ ආකල්ප මා හොඳාකාර දැක තිබෙනවා. ලොව පුරා මේ පොත-කෙත අතර පරතරය තිබෙනවා.

කාම්බෝජයේ කෘෂිවිද්‍යා උපාධිධාරීන් ගොවි බිමට ගෙන ගොස් ඔවුන් සැබැවින් ම ගොවිතැනට යොමු කරන්නට කෝමා උත්සාහ කරනවා. SRI ක‍්‍රමයේ සාර්ථකත්වයෙන් පසු ඔහු තෝරා ගෙන ඇති ඊටත් වඩා භාර දුර අභියෝගය නම් එරට ගතානුගතික සරසවි හා වෘත්තීය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ දැක්ම පුළුල් කිරීමයි.

“මා හැම ගොවියකු ම දකින්නේ මනුෂ්‍යයකු හැටියටයි. ඔවුන්ට උපතින් ලද සහජ බුද්ධියත්, කුසලතාවයත් තිබෙනවා. එයට අමතරව අප බොහෝ දෙනාට නැති ප‍්‍රායෝගික අත්දැකීම් රැසක් තිබෙනවා. අප උත්සාහ කරන්නේ ගොවීන්ට ගෞරවාන්විතව සළකමින් ඔවුන් සමඟ සහයෝගයෙන් ගොවිතැන් කටයුතු වඩාත් ඵලදායී හා පරිසර හිතකාමී කරන්නටයි.” ඔහු කියනවා.

පරිසර හිතකාමී ගොවිතැනේදී අළුත් සංකල්ප හා ක‍්‍රමවේදයන් ගොවින් තුළින් ඉස්මතු කිරිමේ අරමුණින් ආසියාව හා අප‍්‍රිකාව පුරා කි‍්‍රයාත්මක වන PROLINNOVA නම් පර්යේෂණ ජාලයකට 2004 සිට CEDAC ආයතනය සම්බන්ධ වී සිටිනවා. මේ ජාලයේ දශකයක ක‍්‍රියාකාරකම් ගැන කෙටි වාර්තා චිත‍්‍රපට මාලාවක් 2010-11දී මා නිෂ්පාදනය කළා. එහි එක් කතාවක් සඳහා අප තෝරා ගත්තේ කාම්බෝජයේ ප‍්‍රති-හරිත විප්ලවයයි.

“ගොවියාට සවන් දෙන්න. ඔහුගේ මතයට ගරු කරන්න. සෙමින් සෙමින් පවත්නා තත්ත්වය වෙනස් කරන්න!” විනාඩි 40ක් පුරා ඔහු පටිගත කළ විඩියෝ සම්මුඛ සාකච්ඡව පුරා නැවත නැවතත් කීවේ මෙයයි. සාකච්ඡවේ ඉංග‍්‍රිසි පිටපත කියවන්න http://tiny.cc/KomaInt

විද්‍යා ගුරුකුලවාදයක් හෝ දේශපාලන මතවාදයක් හෝ කුමන්ත‍්‍රණ මානසිකත්වයක් නැති මේ දාර්ශනික කෘෂි විද්‍යාඥයාට අවශ්‍ය කාම්බෝජයේ ගොවීන්ගේ ජිවන මට්ටම නඟා සිටුවමින් එරට පරිසරය හා සොබා සම්පත් රැක ගැනීමයි. ඔවුන් දෙදෙනා කිසි දිනෙක මුණ නොගැසුනත්, කාම්බෝජයේ රේ විජේවර්ධන හැටියට යං සයින් කෝමා මා දකින්නේ එ නිසයි.

කෙටි වාර්තා චිත‍්‍රපට නරඹන්න: http://tiny.cc/ProFilms

Follow

Get every new post delivered to your Inbox.

Join 59 other followers