සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ

My latest column in Ravaya broadsheet newspaper (in Sinhala) looks at China’s air pollution problems that keep getting worse, taking pollutant readings off the charts. Urban air quality in Winter 2012/13 was so bad that Chinese themselves called it ‘Airpolcalypse‘.

Children wear anti pollution masks at Tiananmen Square in Beijing, Feb 2013

Children wear anti pollution masks at Tiananmen Square in Beijing, Feb 2013

නාගරික ප‍්‍රදේශවල ඉපිද හැදෙන වැඩෙන සමහර දරුවන් වනාන්තර, වන සතුන් හා සොබා දහමේ වෙනත් දායාදයන්ගෙන් දුරස්තවීම බොහෝ රටවල දැකිය හැකියි. එහෙත් වළාකුලෙන් හා මීදුමෙන් තොර වූ පැහැබර නිල් අහස හා බැබළෙන හිරු කිසිදා නොදුටු දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින රටක් ගැන ඔබ අසා තිබෙනවා ද?

පුදුමයි, ඒත් ඇත්තයි. මේ මහජන චීනයේ බේජිං හා ෂැංහයි මහා නගර දෙකෙහි ඇතැම් කුඩා දරුවන්ගේ දෛනික යථාර්ථයයි. චීනයේ මාධ්‍යවේදීන්, පර්යේෂකයන් හෝ විද්වතුන් වන මිතුරන් ගණනාවක් මට සිටිනවා. ඔවුන්ගේ දරුවන්ගේ අත්දැකීමත් මෙයයි.

එයට හේතුව අධික වාත දුෂණය නිසා චීන මහ නගරවල දිවා රාතී‍්‍ර ප‍්‍රකාශ-රසායනික දුමාරයක් (Photo chemical smog) බිහිව තිබීමයි. එය සෞඛ්‍යයට වින කරනවාට අමතරව, දුරදැකීමේ හැකියාව ද සීමා කරනවා. එබඳු ප‍්‍රදේශවල පැහැදිලි අහසක් දැකගන්නට ඇත්තේ ම නැති තරම්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව අද ලෝකයේ අතිශයින් ම දුෂිත වූ වාතය හමුවන නගර 20න් 16ක් ම ඇත්තේ චීනයේ. 2008 බේජිං ඔලිම්පික් තරගාවලියට පෙර එනුවර වාත දුෂණය ගැන දැඩි ජාත්‍යන්තර අවධානය යොමු වුණා. මෙතරම් ප‍්‍රබල ලෙස දුෂිත වාතය ඇති නගරයක තරග වදින කී‍්‍රඩකයන්ට අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි දැයි බිය පහළ වුණා.

තම ජාතියේ ප්‍රෞඩත්වය ඔලිම්පික් සත්කාරය සමග ඉතා සමීපව බද්ධ කර තිබූ නිසා චීන රජය ඔලිම්පික් පැවැත්වෙන්නට සති ගණනකට පෙර පටන් අසාමාන්‍ය පියවර ගත්තා. කර්මාන්ත ශාලා ටික කලකට වැඩ නතර කළා. වාහන නගරයට පිවිසීම දැඩි ලෙස සීමා කළා.

මෙබඳු පියවර හරහා තාවකාලිකව බේජිං හා අවට වාත දුෂණය තරමක් සමනය කර ගෙන ඔලිම්පික් පැවැත්වූවත් එයින් පසු යළිත් පෙර තිබුණාටත් වඩා දුෂණය උත්සන්න වී ඇති බව එරට පාරිසරික හා සෞඛ්‍ය නිලධාරීන් පිළි ගන්නවා.

2013 ජනවාරි – මාර්තු කාලයේ වාත දුෂණ තත්ත්වය ඉතා දරුණූ වුණා. ඇතැම් දිනවල බේජිං නුවර වාත දුෂණ මට්ටම WHO සම්මත උපරිම සීමාවන් මෙන් 30ගුණයක් තරම් ඉහළ ගියා.

Make no mistake: Air pollution kills you slowly

Make no mistake: Air pollution kills you slowly

මෙයට වැඩිපුර ම දායක වූයේ PM2.5 නමින් හඳුන්වන අර්ධ වශයෙන් දහනය වූ ඉතා කුඩා අංශුයි. ආශ්වාසය හරහා පෙනහඵ තුළට ගොස් බරපතල සෞඛ්‍ය හානි කිරීමේ හැකියාව මේවාට තිබෙනවා. දිගු කලක් තිස්සේ PM2.5 අංශු ශරීරගත වූ විට ඒ මගින් ශ්වසන ආබාධ පමණක් නොව පෙනහඵ පිළිකා හා හෘදරෝග ද ඇති කළ හැකි බව දැන් සොයා ගෙන තිබෙනවා.

වාත දුෂණය නිසා මීදුම සහ දුම මිශ‍්‍ර පටලයක් ඇති වී දින ගණනක් තිස්සේ අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල පෙනීම සීමා කළා. දිවා කාලයේ පවා වාහනවල ලයිට් දමා ගෙන පැදවීමට සිදු වූ අතර, ගුවන් ගමන් රැසක් අවලංගු කරනු ලැබුවා.

WHO ගණන් බලන අන්දමට එළිමහනේ වාත දුෂණය නිසා ලොව පුරා වසරකට අවම වශයෙන් මිලියන් 2ක් ජනයා අකාලයේ මිය යනවා. මෙයින් 65%ක් මරණ සිදු වන්නේ ආසියාවේ. ඒ අතරින් චීනය ප‍්‍රධානයි. එරට වසරකට මේ සංඛ්‍යාව මිලියන් 1.2ක් පමණ වනවා. රෝගාතුර වී වසර ගණන් දුක් විඳින සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩියි. දරුවන් හා මහඵ අය වාත දුෂණයෙන් වැඩිපුර පීඩා විඳිනවා.

හැම සීත සෘතුවකදී ම චීනයේ විදුලි පරිභෝජනය ඉහළ යනවා. නිවාස උණුසුම් කරන්නට දැන් බොහෝ නිවැසියන් යොදා ගන්නේ විදුලියයි. විදුලි ජනනයට වැඩිපුර ගල්අගුරු භාවිත කරන එරට විදුලි බලාගාරවලින් මතුව එන වාත දුෂණය කර්මාන්ත ශාලාවලින් පිටවන දුෂණය ඉක්මවා ගොස් තිබෙනවා.

බේජිං දුෂක දුමාරය උත්සන්න වන දිනවලට දැන් අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකාවලට පවා මීදුම් පටලය පෙනෙනවා. එමෙන් ම එම දුමාරය ටිකෙන් ටික සුළං හමන දිශාව අනුව චීනය තුළ වෙනත් ප‍්‍රදේශවලටත්, කොරියාව හා ජපානය වැනි අසල්වැසි රටවලටත් ඇදී යනවා.

මෙය නතර කිරීමට නොහැකි වූවත්, චීනයේ පරිසර දුෂණයෙන් තමන් පීඩාවට පත් විය යුත්තේ ඇයි ද යන්න අද අසල්වැසි රටවල් මතු කරන ප‍්‍රබල ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

දුමාරය උග‍්‍ර වන සීත කාලයට යම් තාවකාලික (පැලැස්තර) විසඳුම් සෙවීමට බේජිං හා ෂැංහයි මහා නගර දෙකේ බලධාරීන් උත්සුක වනවා. අත්‍යවශ්‍ය සේවා නොවන සමහර කර්මාන්ත ශාලා වසා තබන්නටත්, රාජ්‍ය නිලධාරීන්ගේ වාහන ධාවනය දැඩි ලෙස සීමා කරන්නටත් ඔවුන් කි‍්‍රයා කරනවා.

2012 නොවැම්බරයේ තනතුරට පත් චීනයේ අගමැති ලී කේකියැංග් (Li Keqiang) ප‍්‍රතිඥා දුන්නේ තම ධූර කාලය තුළ පාරිසරික සංරක්‍ෂණයට මුල් තැනක් දෙන බවයි. එසේම 2016 වන විට බලශක්තිය සඳහා ගල් අගුරු දහනය නතර කොට විකල්ප ප‍්‍රභවයන් යොදා ගන්නටත්, වාහන දහන දුමාරය වඩා දැඩි ලෙස නියාමනය කරන්නටත් බේජිං බලධාරීන් සැළසුම් කරනවා.

එහෙත් මතුවී ඇති අධික වාත දුෂණය සමනය කරගන්නට වසර කිහිපයක් ගත වනු ඇති. ඒ අතර කාලයේ එළිමහනේ මුවවැසුම් පැළඳගෙන ගමන් කරන්නටත්, නිවෙස් තුළ වාතය පිරිසුදු කරන යන්ත‍්‍ර (air purifiers) භාවිත කරන්නටත් එරට නාගරික වැසියන්ට සිදුව තිබෙනවා.

රෙදි සෝදන යන්ත‍්‍ර, පරිගණක හා ටෙලිවිෂන් මෙන් වාත පිරිසුදු කරන යන්ත‍්‍ර ද චීන මධ්‍යම පාන්තික නිවෙසක අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත් වෙලා. වායුසමන යන්ත‍්‍රවලට වඩා සුක්‍ෂම ලෙසින් වාතයේ දුෂක පෙරා ඉවත් කිරීමේ හැකියාව මේ යන්ත‍්‍රවලට ඇතත් ඒවායේ මිළ අධිකයි. එමෙන් ම ඒවා කි‍්‍රයාත්මක කරන්නට අවශ්‍ය බලශක්තිය ජනනයට තව තවත් ගල් අගුරු හා ඛනිජ තෙල් දහනය කළ යුතුයි. මේ නිසා මෙය කිසිසේත් තිරසාර විසඳුමක් නොවෙයි.

2013 පෙබරවාරියේ චීන කැබිනට් මණ්ඩලය නව ඉන්ධන ප‍්‍රමිතීන් හඳුන්වාදීමට ප‍්‍රතිපත්තියක් හා කාල රාමුවක් අනුමත කළා. එහෙත් ප‍්‍රායෝගිකව මෙය කෙතරම් සාර්ථක වේ ද යන්න සැක සහිතයි.

දශක ගණනාවක් පුරා චීන රජයට අයත් ඛනිජ තෙල් සමාගම් හා විදුලිබල සමාගම් සිය රටේ ප‍්‍රමිතීන් හා පාරිසරික නීතිරීති නොතකා හිතුමතේ කි‍්‍රයා කොට තිබෙනවා. ඔවුන්ට විරුද්ධව රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට නිලධාරිතන්ත‍්‍රය මේ දක්වා කි‍්‍රයා නොකිරීම, වාත දුෂණය මේ තරම් දරුණු වීමට ප‍්‍රධාන හේතුවක්.

චීනයේ පාරිසරික ප‍්‍රශ්න එරට ආර්ථික වර්ධනයට ද බලපෑම් කිරීම ඇරඹිලා. රටක පරිසර දුෂණයේ වටිනාකම ගණනය කිරීම ඉතා අසීරු කාරියක්. අකාලයේ මිය යන ජීවිතවලට මිළක් දෙන්නේ කෙලෙස ද?

එහෙත් අහිතකර වාතය, ජලය හා ආහාර නිසා රෝගී වන අයට ප‍්‍රතිකාර කිරීමේ වියදම හා ඔවුන්ට මග හැරෙන වැඩ කරන දින සංඛ්‍යාවේ අගය ආදිය ගණන් බැලිය හැකියි. මේ අනුව 2010දී පරිසර දුෂණවලින් එරට තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 3.5%ක් නැතහොත් ඩොලර් බිලියන් 230ක් ක්ෂය වූ බව චීනයේ පාරිසරික සැළසුම් පිළිබඳ ජාතික ඇකඩමිය (පරිසර අමාත්‍යාංශය යටතේ ඇති නිල ආයතනයක්) කළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.

මේ සංඛ්‍යාව ඉතා විශාල වුවත් (සංසන්දනය සඳහා සමස්ත ශී‍්‍ර ලංකා ආර්ථිකය ඩොලර් බිලියන් 60ක් පමණ වනවා). එය පරිසර ප‍්‍රශ්නවල සම්පුර්ණ බලපෑම් තක්සේරුවක් නොවන බව එරට විද්වතුන් පිළි ගන්නවා. එමෙන් ම සමහර පාරිසරික තත්ත්වයන්ගේ අහිතකර බලපෑම් (උදා: පිළිකා) හට ගන්නේ වසර ගණන් කල් ගත වී නිසා ආර්ථික විද්‍යාත්මක ගණන් බැලීමකට එය හසු කර ගැනීම අසීරුයි.

බිලියන් 1.3ක් වන චීන ජනතාවට මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස හා වෙනත් භෞතික අවශ්‍යතා සම්පාදනය කිරීමටත්, රට තුළ යටිතල පහසුකම් දියුණු කරන්නටත් චීන රජයට හැකිව තිබෙනවා. ඉස්සර වගේ දැන් කිසිවකුත් සාගින්නේ සිටින්නේ නැහැ.

දුගී බවින් සිය ජනයා ඉහළට එසවීමේදී මෑත ඉතිහාසයේ මහජන චීනය තරම් ඉක්මනට හා මහා පරිමාණයෙන් එය සිදු කළ වෙන කිසිදු රටක් නැහැ. කොමියුනිස්ට් දේශපාලන රාමුවක් තුළ වෙළඳපොල ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වා දෙමින් 1979දී චීනය ඇරැඹු ප‍්‍රතිසංස්කරණ නිසා ගෙවී ගිය වසර 35කට ආසන්න කාලය තුළ මිලියන් 600ක් චීන ජාතිකයන් අන්ත දුගී මට්ටමින් (එනම් දිනකට අමෙරිකානු ඩොලර් 1.25 හෝ රුපියල් 160) අත් මිදී ඊට වඩා ආදායමක් ලබන මට්ටමට පත්ව සිටිනවා. මෙය අගය කළ යුතු මානුෂීය හපන්කමක්.

එහෙත් අතමිට සරු වූ පමණට වඩාත් හිතකර ජීවන මට්ටමක් තවමත් ලැබී නැති බව අති බහුතරයක් චීන ජනතාවට දැන් වැටහෙමින් පවතිනවා. වසර 35 තුළ අධිවේගී ආර්ථික වර්ධනයක් ඔවුන් ලබා ගත්තේ එහි පාරිසරික හා සෞඛ්‍ය විපාක ගැන තැකීමක් නොකර, ඒකායන අරමුණින් ‘සංවර්ධනය’ ගැන පමණක් අවධානය යොමු කිරීම හරහායි.

චීනය දැන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයයි. එය ජපානය ඉක්මවා යමින් එතැනට පත්වූයේ 2010දී. ඉදිරි වසර කිහිපය තුළ, සමහර විට 2016 පමණ වන විට අමෙරිකාව ද අභිබවා මුල් තැනට එන්නට හැකි යයි ආර්ථික විද්‍යාඥයන් අනුමාන කරනවා.

මෑතක් වන තුරු චීනයේ නිල ස්ථාවර වූයේ ‘ටිකක් අපවිත‍්‍රවීම් සිදු වූවත් රටේ ආර්ථික වර්ධනය පවත්වා ගන්නට සැවො ම කැප කිරීම් කළ යුතු බව’යි. දැන් ටිකෙන් ටික මේ ‘අපවිත‍්‍රවීම්’ සුඵ පටු නොවන බව පිළි ගැනෙනවා.

භෞතික සැප සම්පත් අතින් එක් පරම්පරාවක් තුළ ලොකු ඉදිරි පිම්මක් පැන්නත් නිදහසේ එළිමහනේ ඇවිද යන්නට නොහැකි, නිවෙස් තුළට වී යාන්ත‍්‍රිකව පිරිසුදු කරන වාතය ආශ්වාස කරමින් ‘පාරිසරික සිරකරුවන්’ බවට පත් වීමේ තේරුමක් ඇත්දැයි එරට උගත් මධ්‍යම පාන්තිකයන් දැන් වඩ වඩාත් ප‍්‍රශ්න කරනවා. චීන කොමියුනිස්ට් පාලන ඉතිහාසයේ මුල් වතාවට මෙබඳු සංවාද සඳහා තරමක හෝ අවකාශයක් ලබා දී තිබෙනවා.

Chinese social media image protesting air pollution in China, Feb 2013

Chinese social media image protesting air pollution in China, Feb 2013

සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

I have devoted another weekend column in Ravaya newspaper (in Sinhala) to celebrate the memory of the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993). This time, I talk about his time at the United Nations, first as communication chief at UNFPA, and then as Deputy Executive Director at UNICEF.

See also:
සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

Varindra Tarzie Vittachi

Varindra Tarzie Vittachi

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993), වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

1975-80 වකවානුවේ ජනගහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුදලේ (UNFPA) සන්නිවේදන ප‍්‍රධානියා ලෙසත්, 1980-88 වකවානුවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසත් තනතුරු හොබවමින් ටාසි කළේ පත‍්‍ර කලාවේ තමන් ප‍්‍රගුණ කළ නිරවුල් හා සත්‍යවාදී සම්ප‍්‍රදායන් මේ ජාත්‍යන්තර ආයතනවලටත් නිසි ලෙස කාවැද්දීමයි.

එක්සත් ජාතීන් (United Nations) යනු ලෝකයේ රාජ්‍යයන් පමණක් සාමාජිකත්වය දරණ, ආණ්ඩුවල සාමාජික ගාස්තුවලින් නඩත්තු කරන අන්තර්-රාජ්‍ය සංවිධාන පවුලක් (inter-governmental organisations). එය කිසිදු නිර්වචනයකින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) ගණයට වැටෙන්නේ නැහැ.

එ.ජා. සංවිධානවල කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර තරගකාරී මට්ටමින් බඳවා ගන්නා අතර ඔවුන් සියඵ සාමාජික රාජ්‍යයන්ට වගකීමට බැදී සිටිනවා. තනි රටක රාජ්‍ය සේවකයකු බලයේ සිටින රජය සමග ගනුදෙනු කළ යුතු නමුත් එ.ජා. සේවකයෝ රාජ්‍යයන් 193ක් සමග සීරුවෙන් වැඩ කළ යුතුයි. මෙය ලෙහෙසි වැඩක් නොවේ.

ටාසි එ.ජා. සංවිධාන ජාලයේ ඉහළට ම ගිය ලාංකිකයන් ටික දෙනාගෙන් කෙනෙක්. එබදු උසස් තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් හා ලෝක භාෂා 6න් අඩු තරමින් එකකවත් මනා හැකියාව මෙන් ම තීක්‍ෂණ බුද්ධියත්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් සමග ගනුදෙනු කිරීමේදී හොඳ හිත දිනා ගැනීමේ හැකියාවත් තීරණාත්මක සාධක වනවා.

එබදු තනතුරකට ආයාසයෙන් පත්වන බොහෝ දක්‍ෂයන් කරන්නේ තනතුරු රැක ගෙන, කිසිවකුත් උරණ නොකර ආයතනික සීමා තුළ යම් වැඩ කොටසක් කිරීමයි. එහෙත් සහජයෙන් ම පෙරළිකාරයකු වූ ටාසිට මේ ඇඟ බේරා ගෙන වැඩ කිරීමේ කලාව පුරුදු නැහැ. ඔහු UNFPA හා UNICEF ආයතන දෙකෙහි ම බුද්ධිමය හා ආකල්පමය වෙනසක් කළා.

මෙයට උදාහරණ හා රස කථා එමට තිබෙනවා. 1995 වසරේ මාස තුනක් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ මා ගත කළ කාලයේ ටාසි ගැන තොරතුරු විපරම් කරන්නට මා උත්සුක වූණා. ටාසි කළ කී අසාමාන්‍ය දේ ගැන අපූරු මතකයන් තිබු නිලධාරීන් කිහිප දෙනකු මට හමු වුණා.

එ.ජා. සංවිධාන ජාලය තුළ මෙන් ම වෙනත් බොහෝ දෙස් විදෙස් විදවත් ආයතනවලත් සංවර්ධනය ගැන සංවාදවලදී ඕනෑවට වඩා සෙද්ධාන්තික වීම හා ‘ඉන්ටලෙක්චුවල් වීම’ ටාසි නොඉවසූ දෙයක්.

ඔහු ජනගහන අරමුදලේ වැඩ කරන කාලයේ කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම් ගැන ලෝක මට්ටමේ විවාදයක් පැවතුණා. තමන් දරුවන් කීදෙනකු ලබනවා ද, ඔවුන් අතර කාල පරතරය කුමක් විය යුතු ද, උපත් පාලන ක‍්‍රම භාවිතා කරනවා ද ආදී මූලික මානුෂික තීරණ ගැනීමට කාන්තාවන්ට අයිතියක් ඇති බව පිළි ගැනීමට ඇතැම් රටවල් හා පිරිස් නොකැමැති වූණා.

මෙබදු සංවේදී ප‍්‍රශ්නවලදී ආණ්ඩුවලට හැක්කේ අවශ්‍ය ප‍්‍රතිපත්ති හා අයිතීන් තහවුරු කිරීම මිස ඉන් ඔබ්බට පෞද්ගලික තීරණවලට අත පෙවීම නොවන බව ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ මතය වුණා. රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා බුද්ධිමතුන් මහා ලොකු වචන හරඹවලින් මේ තර්ක කරනු බලා සිටි ටාසි, ඉතා සරල එහෙත් ගැඹුරු වැකියකින් මුඵ සංවාදය ම කැටි කර දැක්වූවා. “Governments don’t have babies; people do!” (දරුවන් ලබන්නේ මිනිසුන් මිස ආණ්ඩු නොවේ!)

අනවශ්‍ය ලෙස තාක්‍ෂණික හා නීතිමය විවාදවල පැටලෙන්නට අති සමත් සංවර්ධන කි‍්‍රයාකාරිකයන්ට හා බුද්ධිමතුන්ට ටාසි විටින් විට මෙබදු සරල වැකි හරහා ප‍්‍රායෝගික යථාර්ථය පෙන්වා දුන්නා.

සංවර්ධනය යනු සැබෑ ලෝකයේ නිතිපතා ජීවන අරගලයක යෙදෙන සැබෑ මිනිසුන් හා ගැහැණුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන අතර ඔවුන්ගේ ජීවන බර හැකි තාක් සැහැල්ලූ කිරීම බව ටාසි තරයේ විශ්වාස කළා. එම සංවර්ධනය හරවත් වන්නේ එය පාරිසරිකව හා සමාජයීය වශයෙන් තිරසාර වූ විට පමණක් බවත්, සංවර්ධනය හුදෙක් ආර්ථික වර්ධන ප‍්‍රවණතාවලින් මැනිය නොහැකි බවත් ඔහු දැන සිටියා.

ජාත්‍යන්තර තලයට අපේ වැනි රටවලින් යන බොහෝ විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන් ඉන් පසුව අපේ ම මිනිසුන් ගැන බොහෝ විට කථා කරන්නේ නොදියුණු සතුන් ගැන බදු පහත් වූ ආකල්පයකින්. මෙබදු අවස්ථාවල සැබෑ ලෝකයේ නිරීක්‍ෂණ, යථාර්ථවාදීව හා සානුකම්පිකව විග‍්‍රහ කිරීමට පත‍්‍ර කලාවේදියකු ලෙස තමා ලබා තිබූ පුහුණුව හා අත්දැකීම් ටාසි අවියක් හා සවියක් කරගත්තා.

එ.ජා. සංවිධානය කි‍්‍රයාත්මක වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේදී මෙසේ සත්‍යවාදී වීම අසීරු හා අවදානම් කාරියක්. බොහෝ රටවල විදේශ සේවා නිලධාරීන් එ.ජා. සංවිධානයේදී කරන්නේ තමන්ගේ රටේ තත්ත්වය ගැන අතිශයෝක්තියෙන් සෙසු රටවලට කරුණු කීම හා අමිහිරි සත්‍යයන් හැකි තාක් වසන් කිරීමයි. එය ‘ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ’ විධියේ වැඩක්.

දියුණු වන ලෝකයේ තිත්ත ඇත්ත මෙන් ම ලෝක මාධ්‍ය හරිහැටි වාර්තා නොකළ සුබවාදී ප‍්‍රවණතා ද ටාසි එක සේ ලෝක ප‍්‍රජාවට වාර්තා කළා – විග‍්‍රහ කළා. 1980 දශකය වන විට ටාසි ගැන ලෝක ප‍්‍රජාව තුළ තිබූ ගෞරවනීය පිළිගැනීම නිසා ඔහු කියන දෙයට රාජ්‍ය නායකයන්, ඇමතිවරුන් හා රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ අවධානය යොමු වුණා.

UNFPA ආයතනයේ සිටිය දී ටාසි කළ අමුතු වැඩක් ගැන වසර ගණනක් ගත වීත් එහි කථා කැරෙනවා. රාජ්‍ය නිලධාරී හා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සම්මේලන නිව්යෝක් නුවර එ.ජා. කාර්යාලයේ නිතර පැවැත් වෙනවා. මෙවැන්නක් භාරව සිටි ටාසි, ආරම්භක දිනයේ සියඵ නියෝජිතයන්ට සාම්ප‍්‍රාදායිකව දිවා ආහාරයට ඇරැයුම් කළා. එහෙත් පැයක දිවා කාලය සඳහා ම දුන්නේ කුඩා පාන් ගෙඩියක් (bread-roll) හා වතුර වීදුරුවක් පමණයි.

හැම දෙනා ම විමතියට පත්වූ විට ටාසි ඉතා සන්සුන්ව මෙසේ කියා තිබෙනවා. “නෝනාවරුනි, මහත්වරුනි, තෙවැනි ලොව ප‍්‍රශ්න ගැන කථා කරන්නට මෙහි පැමිණි ඔබ සැමට තෙවැනි ලොව බහුතරයක් දෙනාගේ සාමාන්‍ය දිවා ආහාරය දීම උචිත යයි මා සිතුවා. ඇත්තට ම ඔබ ඉදිරියේ ඇති පිරිසිදු වතුර වීදුරුව හා අඵත් පාන් ගෙඩිය පවා තෙවැනි ලොව අපේ බොහෝ සහෝදර ජනයා නොලබන තරමේ සංග‍්‍රහයක්.”

කිසිදු නියෝජිතයකු මුවින් නොබැන මේ සංග‍්‍රහය නිහතමානීව භුක්ති විදි බවත්, ඒ ගැන තවමත් සමහරුන් කථා කරන බවත් UNFPA නිලධාරියා මට කීවා.

UN Headquarters in New York, photo by Nalaka Gunawardene

UN Headquarters in New York, photo by Nalaka Gunawardene

ටාසිගේ සමහර ප‍්‍රකාශයන් හිතාමතා ම ආන්දෝලනාත්මක ලෙස කරනු ලැබුවා. හැම වසරේ ම සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල එ.ජා. මහා මණ්ඩලයේ සැසිවාරය රාජ්‍ය නායක මට්ටමින් නිව්යෝක් මූලස්ථානයේ පවත් වනවා. බොහෝ රාජ්‍ය නායකයන් එය ඇමතීමට පිරිවරත් සමග දින කිහිපයකට එහි එනවා.

සැසිවාරය ආරම්භක දිනයේ හා විශෙෂ මත ගැටුමක් සිදු වුවහොත් පමණක් (ෆිදෙල් කැස්ත්‍රෝ, ගඩාෆි, නිකිතා කෘෂ්චෙෆ් වැනි පෙරළිකාර චරිත එහි පැමිණි විට) එය ලොව ප‍්‍රධාන පුවත්සේවාවලට ප‍්‍රවෘත්තියක් වනවා. එසේ නැති විට රාජ්‍ය නායකයන් දුසිම් ගණනින් පැමිණීම නිව්යෝක් නුවර මාධ්‍ය ආයතනවලට හෝ අමෙරිකානු මාධ්‍යවලට හෝ පුවත් වටිනාකමක් ඇති කරන්නේ නැහැ. (බොහෝ රාජ්‍ය නායකයන් එහි එන්නේ සිය රටේ මාධ්‍ය හරහා පම්පෝරිය වාර්තා කිරීමටයි.)

මෙබදු එක් අවස්ථාවක කුඩා රටක රාජ්‍ය නායකයකු එ.ජා. මහ සමුඵව අමතන්නට නියමිතව සිටියදී ඒ නියෝජිත පිරිසේ වන්දිභට්ටයකු ටාසිගෙන් ඇසුවේ ‘කොහොමද අපේ ලොක්කාගේ මේ නිව්යෝක් චාරිකාව ලෝක ප‍්‍රවෘත්තියක් කළ හැක්කේ?’ කියා.

ටාසි එක එල්ලේ දුන් උත්තරය: ‘ලොක්කා කියන දෙයින් නම් පුවත් මවන්නට බැහැ. හැබැයි කවුරු හරි ලොක්කට සභාව ඇතුලේ වෙඩි තිබ්බොත් නම් ලෝක ප‍්‍රවෘත්තියක් ෂූවර්!’ (මේ යෝජනාවට නියෝජිතයාගේ ප‍්‍රතිචාරය වාර්තා වී නැහැ.)

James P Grant

James P Grant

ළමා අයිතිවාසිකම් හා සුබ සාධනයට කැප වූ ඹභෂක්‍ෑත්‍ ආයතනයේ ටාසි දෙවැනියාව සිටි කාලයේ එහි ප‍්‍රධානියා වූයේ නොබියව ඇත්ත කථා කළ අමෙරිකානුවකු වූ ජේම්ස් පී. ග‍්‍රාන්ට්. මේ දෙදෙනා ඉතා දක්‍ෂ ලෙස ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග ගනුදෙනු කළා. ග‍්‍රාන්ට් හා ටාසි නිතර භාවිත කළ ප‍්‍රබල රූපකයක් තිබුණා.

එවකට සංඛ්‍යා ලේඛනවලට අනුව වයස 5 සපිරෙන්නට කලින් වළක්වා ගත හැකි බෝවන රෝග හා මන්දපෝෂණය ආදී දරිද්‍රතා සාධකවලින් ලොව පුරා ළමයින් මිලියන් ගණනක් වාර්ෂිකව මිය ගියා. මේ විශාල සංඛ්‍යා සාමාන්‍ය ජනතාවට එක්වර සිතා ගන්නට අමාරුයි.

එනිසා මේ දෙපළ එය මෙසේ ප‍්‍රකාශ කළා. ‘‘කුඩා දරුවන් පුරවා ගත් 747 ජම්බෝ ජෙට් යානා කිහිපයක් බිමට වැටී සියඵ දෙනා ම මිය යන සැටි සිතන්න. එබදු අනතුරු වසරේ හැම දවසක ම සිදු වනවා යයි ද සිතන්න. ලොව පුරා අකල් ළමා මරණ ගණන එයටත් වැඩියි!’’

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලාංකික උරුමය ගැන අතිශයෝක්තියක් හෝ අවතක්සේරුවක් හෝ නැතිව මැදහත්ව කථා කිරීමට ඔහු සමත් වුණා. අපේ හොඳ දේ ආඩම්බරෙන් හුවා දක්වන අතර වැරදි දේ නිර්දය ලෙස විවේචනය කළා. 1990-92දී ජනාධිපති පේ‍්‍රමදාසගේ සමහර ප‍්‍රතිපත්ති රජයේ Daily News පත‍්‍රය හරහා ලිපි ලියමින් ඔහු නොබියව විවේචනය කළ සැටි මට මතකයි.

මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් ගැඹුරු විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා.

ගෙවී යන සියවසේ සංවර්ධනය පිළිබඳ මානව සංහතියේ ප‍්‍රගති වාර්තාව (රිපෝට් කාඞ් එක) සමාලෝචනය කරමින්, එළඹෙන සියවසේ අභියෝග ගැන ඔහු සුභවාදීව කථා කළා. පත‍්‍රකලාව ගැන දැඩි ඇල්මක් කුඩා කල පටන් ම මා තුළ තිබුණත් මෙබදු සංවර්ධන මාතෘකා ගැන මාධ්‍යකරණයට මා යොමු වීමට ටාසිගේ බලපෑම් ද හේතු වූවා.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මේ තලයන්හි සැරිසරන මා ලද විශිෂ්ඨතම ප‍්‍රශංසාවක් හැටියට සළකන්නේ ‘ටාසිගෙන් පසු ලංකාවෙන් බිහි වූ දක්‍ෂ සංවර්ධන සන්නිවේදකයා’ යයි වරක් ජාත්‍යන්තර සමුඵවකදී මා හදුන්වා දෙනු ලැබීමයි.

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්.

සිවුමංසල කොලූගැටයා #111: ලේ හා කදුඵ වලින් ඔබ්බට මාර්ග අනතුරු ගැන සිතමු!

I draw from the Global Status Report on Road Safety 2013, released by WHO in mid March 2013, for this week’s Ravaya column (in Sinhala). I discuss how the attitudes of Lankan road users — pedestrians, cyclists and motorists — contribute to road traffic accidents.

The challenge of reducing Sri Lanka’s alarmingly high rate of road accidents needs technocratic, sociological and attitudinal responses. This isn’t simply a law and order issue, or one that can be fixed by traffic engineering.

Cartoon by W R Wijesoma, first published on 14 February 1994

Cartoon by W R Wijesoma, first published on 14 February 1994

සංකීර්ණ වූ අද සමාජයේ ප්‍රශ්න ඕනෑවට වඩා සරල හා ලිහිල් විග්‍රහ කිරීම අවදානම් සහගතයි. දිගින් දිගට ම ඉහළ නගින මාර්ග අනතුරු ගැන ඇතැම් දෙනා කියන්නේ වාහන සංඛ්‍යාව සීමා කිරීමෙන්, රියදුරන්ට දැඩි දඬුවම් දීමෙන් හා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමෙන් එය පාලනය කර ගත හැකි බවයි.

මේ ක්‍රියාමාර්ග අවශ්‍ය වූවත් සෑහෙන්නේ නැහැ. මාර්ග අනතුරු සිදු වන්නේ හුදෙක් වාහන සංඛ්‍යාව වැඩිවීම නිසා ම නොවෙයි. අපට වඩා වාහන මෙන් ම ජන ඝනත්වය වැඩි රටවල් අනතුරු අවම කර ගෙන තිබෙනවා.

යල් පැනගිය රොමෑන්ටික් මතවාදවලට වඩා අද අවශ්‍ය වන්නේ පර්යේෂණාත්මක තොරතුරු හා විග්‍රහයන් මත පදනම් වී, ආවේගශීලී නොවී තුලනාත්මකව මේ බිහිසුණූ සමාජ ප්‍රශ්නය ක්‍රමානුකූලව විසදීමයි. අනතුරක් සිදු වූ තැන ලේ හා කදුඵ හරහා කරන මතුපිට වාර්තාකරණයෙන් ඔබ්බට සිතා බැලීමේ ලොකු වගකීමක් මාධ්‍යවලටත් තිබෙනවා.

මාර්ග අනතුරු හුදෙක් නීතිමය හා වෛද්‍යමය ප්‍රශ්නයකට වඩා මහා සංවර්ධන අභියෝගයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය WHO මෙන් ම ලෝක බැංකුවත් කියනවා. මාර්ග අනතුරුවලින් රටක දළ දේශීය නිෂ්පාදිතය සියයට 2ක් පමණ අපතේ යන බව ආර්ථීක විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

මාර්ග අනතුරු පිළිබඳ ලෝක තත්ත්ව වාර්තාවක් (Global Status Report on Road Safety 2013) දෙවන වරටත් WHO සම්පාදනය කොට තිබෙනවා. මේ එක්සත් ජාතීන්ගේ විශෙෂිත ආයතනයේ සාමාජික රටවල් 182ක් ලබාදුන් දේශීය දත්ත හා අධ්‍යයනයන් සම්පිණ්ඩනය කරමින් නිමැවුණූ සංසන්දනාත්මක වාර්තාවක්. 2010 අග දක්වා ලැබුණු දත්ත එයට ඇතුළත්. http://tiny.cc/RSR13

මේ වාර්තාවට අනුව ලොව පුරා මාර්ග අනතුරු නිසා වසරකට මිලියන් 1.24ක් (දොලොස් ලක්ෂ හතලිස් දහසක්) දෙනා එතැන ම හෝ අනතුරෙන් දින 30ක් ඇතුළත මිය යනවා. මෙහි සාමාන්‍ය අගය දිනකට 3,400ක්. ශී‍්‍ර ලංකාවේ දිනකට 6 – 7 දෙනකු මාර්ග අනතුරුවලින් මිය යාම ද මෙයට දායක වනවා.

මිය යන සංඛ්‍යාවට වඩා අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තාවකාලිකව හෝ සදහට ම හෝ ආබාධිත වනවා. මේ සංඛ්‍යාව ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගැනීම අපහසු නමුත් එය ලොව පුරා මිලියන් 20 – 50 අතර වෙතැයි අනුමාන කැරෙනවා. ඒ හරහා පවුල්වලට හා රටේ ආර්ථීකයට සිදුවන ඵලදායීතාවයේ පාඩුව අති මහත්.

මාර්ග අනතුරු යනු සංකීර්ණ සාධක රැසක් ඒකරාශි වීමේ ප්‍රතිඵලයක්. එයට වාහනවල තත්ත්වය, රියදුරන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය, මහාමාර්ගවල තත්ත්වය මෙන් ම පදිකයන්ගේ හැසිරීම ද දායක වනවා. අනතුරුවලදී බොහෝ විට පදිකයන් හා පාපැදිකරුවන් වැඩි හානියට පත් වූවත් ඔවුන් මුඟමනින් ම නිර්දෝෂී වන්නේ ද නැහැ.

Roadsafetyමාර්ග අනතුරුවලට බලපාන ප‍්‍රධාන හානිකර සාධක පහක් හදුනාගෙන තිබෙනවා. මෝටර් බයිසිකල් ධාවකයන් හා මගීන් හෙල්මට් නොපැළදීම, වාහන රියදුරන් හා මගීන් ආසන පටි නොපැළදීම, අධී වේගයෙන් ධාවනය, බීමත්කමින් ධාවනය හා කුඩා දරුවන් නිසි ලෙස වාහන තුළ ගෙන නොයාම මේ සාධකයි.

ගිය වසරේ ‘ඔබේ දරුවා අනතුරුවලින් රැක ගන්න’ නම් පොත ලියූ, අනතුරු වැළැක්වීම ගැන ජීවිත කාලය පුරා කැප වී වැඩ කරන විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර, මෙරට මාර්ග අනතුරු සංඛ්‍යා ලේඛන හා රෝහල් අත්දැකීම් දිගු කලක් අධ්‍යයනය කරනවා. ඔහු කියන්නේ බීමතින් රිය පැදවීම මාර්ග ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක් බව සැබෑ වුවත්, තවත් සාධක ගණනාවක් ද තිබෙන බවයි.

ඔහු කියන හැටියට, අධික ලෙස විඩාපත් වී රිය පැදවීම හා නිදිමත නිසා ද සැළකිය යුතු අනතුරු සංඛ්‍යාවක් සිදු වනවා. එහෙත් අනතුරක් සිදු වූ වහා කම්පනය නිසා නිදිමත පහ වී යන බැවින් එය තහවුරු කරන්නට අමාරුයි. (එසේ ම නිදිබර වූ බව පිළිගන්නවා වෙනුවට බොහෝ රියදුරන් කියන්නේ පාරට බල්ලකු හෝ පුසකු පැන්නා වැනි කථාවක්.)

හොඳ අවධියෙන් සිටින රියදුරන් අනතුරුදායක අවස්ථාවල අනිච්ජානුගව (involuntarily) ගන්නා ප‍්‍රතික‍්‍රියා නිසා මාර්ග අනතුරු වළක්වා ගන්නා නමුත් විඩාපත් හා නිදිමත ගතිය සහිත රියදුරන්ට එසේ කරන්නට බැරි බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

විඩාව හුදෙක් ශාරීරික පමණක් නොව මානසිකව ද තිබිය හැකියි (පැය ගණනක් මනස වෙහෙසා එක දිගට පොත්පත්වල හෝ පරිගණකයක වැඩ කළ අයට). ගෙවී ගිය පැය 24 තුළ පැය 5කට වඩා අඩු නින්දක් ලද විටකදී හා අලූයම 2 හා 5 අතර කාලයේ වාහන පැදවීමෙන් වැළකුණොත් අනතුරු 19% අඩු කර ගත හැකි බව නවසීලන්ත පර්යේෂණයකදී හෙළි වී තිබෙනවා.

දියුණු වන ලෝකයේ මාර්ග අනතුරු ප‍්‍රවණතා ගැන ලිපියක් මීට වසර කිහිපයකට පෙර බි‍්‍රතාන්‍යයේ New Scientist විද්‍යා සඟරාවේ පළ වුණා. එය අරඹා තිබුණේ ‘In many Third World countries, it is better to be late than never’ කියායි. එනම් බොහෝ දියුණුවන රටවල ගමනක් යන විට ප‍්‍රමාද වී හෝ ප‍්‍රවේශමින් යාම ඇඟට වඩා ගුණ බවයි.

ඇත්තටම නොනිසි හා අසීමිත කලබලයෙන් රිය පදවන්නෝ අන් අයට වඩා කාලය ඉතිරි කර ගන්නවා ද?

මා රිය පදවන්නේ සෙමින් හා පරීක්‍ෂාකාරීව. මෙය මගේ ඇතැම් මිතුරන්ගේ අවඥාවට හා සරදමට ලක්වනවා. මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් පාරේ ගත කිරීමට සිදු වන බවට ඔවුන් අනතුරු අඟවනවා. මෙය අතිශයෝක්තියක් මිස ඇත්තක් නොවේ.

මෙය පර්යේෂණාත්මක මට්ටමින් සසදා ඇත්දැයි මා දන්නේ නැහැ. එක් පෞද්ගලික අත්දැකීමක් මට තිබෙනවා. කොළඹ සිට මහනුවරට ඇති කිමී 115 දුර යන්නට අවම වශයෙන් පැය තුනක් ගත වනවා. එය ජාත්‍යන්තර මට්ටමින් නම් මන්දගාමී වේගයක්.

මේ ගැන නිතර මැසිවිලි නඟන මගේ නොඉවසිලිමත් මිතුරකුත්, මාත් මීට කලකට පෙර එක ම මොහොතේ වාහන දෙකක මේ ගමනට පිටත් වුණා. අතරමඟ නොනවතා දිගට ම ගමන් කළා.

නලාව (හෝන් එක) නාද කරමින්, අන් අයට සාප කරමින්, වාහන ඉස්සර කරමින් අනෙකවිධ අවදානම් ගනිමින් මගේ මිතුරා රිය පදවන සැටි මා දන්නවා. මගේ සුපුරුදු වේගයෙන් මා මහනුවරට ළඟ වන විට ඔහු එහි ගොස් විනාඩි 10ක් පමණ ගත වෙලා. ඒ තත්පර 600ක වාසියට ඔහු කොතරම් අන්තරායකාරී වුවා ද?

‘ඔබේ රටේ රියදුරන් වාහන එලවන්නේ ඇක්සලරේටරයෙන් ද නැති නම් නලාවෙන්ද?’ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල මාත් සමඟ දින කිහිපයක් මෝටර් රථයකින් ගමන් කළ යුරෝපීය මිතුරෙක් විමතියෙන් මෙන් මගෙන් ඇසුවා. එයට හේතුව අපේ බොහෝ රියදුරන් නිතර නිතර නොඉවසිල්ලෙන් නලාව ගැසීමයි.

රතු එළියට නතර වූ වාහන පේලියක් තැඹිලි එළිය දිස්වත් ම අඩු තරමින් එක් රියදුරෙක්වක් නලාව ගසනවා. පදිකයන්ට පාර හරහා යන්නට අයිතිය ඇති කහ ඉරක් අබියස නතර කළත් පිටුපසින් සිටින සමහර රියදුරන්ට ඉවසිල්ලක් නැහැ. එපමණක් නොවෙයි, වාහන තදබදය ඉතා හොදින් පෙනෙන්නට තිබියදීත් – යන්නට කිසිදු ඉඩක් නැති විටදීත් – සමහරුන් ඔහේ නලාව ගසනවා!

ඇත්තට ම වාහනයකට නලාවක් සවිකර ඇත්තේ හදිසි අවස්ථාවක නාද කිරීමට පමණයි. විනයානුකූලව රථ පදවන ජපානය, සිංගප්පුරුව හා නවසීලන්තය වැනි රටක මහ මගෙහි නලා නාදය ඇසෙන්නේ ඉඳහිටයි. මෙය ඉතා කුඩා දර්ශකයක් වුවත් අපේ රියදුරන්ගේ ආකල්ප හා හැසිරීමේ තිබෙන අඩුපාඩු එයින් පෙන්නුම් කැරෙනවා.

Decade of Action for Road Safetyමා දන්නා ඉතා අපරීක්‍ෂාකාරී හා අන්තරාදායක රියදුරන් අතර පොතේ උගතුන් හා වෘත්තිකයන් ද සිටිනවා. ඔවුන් සමහරුන් දියුණු රටවල රිය පදවන විට මුඵමනින් නීතිගරුක හා ආචාරශීලි වන නමුත් සිය රටේදී ඒ සංයමය කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. මේ ඇයි?

මේ සමහරුන් අපේ රටේදී ආසන පටි පැළඳගෙන රියපදවන්නට කැමති නැහැ. (එය ඇඟට අපහසුවක් යයි සළකන නිසා). තවත් සමහරුන් රිය පදවමින් ජංගම දුරකථනය භාවිත කරන්නේ රථ වාහන පොලීසිය සමඟ හැංගිමුත්තන් කෙළිමින්….

මෙහි ආන්තික උදාහරණයක් නම් වෛද්‍යවරියක් වන මගේ මිතුරියක් දෙහැවිරිදි සිය දරුවා ද රථයේ නංවා ගෙන නිතිපතා හා සිත් සේ ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය පැදවීමයි. Hands-free උපාංගයක් පවා ඇය යොදා ගන්නේ නැහැ. ඇමතුමක් අතරමඟ පොලිස් නිලධාරියකු දුටුවොත් ඇය මඳකට කථාව නතර කරනවා. පොලිස් ඇසට පෙනෙන මානය පසු වූ විට නැවත දුරකථනය අතට ගන්නවා. තමා කිසි දිනෙක නීතියට හසු වී නැති බව ඇය ආඩම්බරයෙන් කියනවා.

අපේ බොහෝ රියදුරන් මේ තරම් නොඉවසිලිමත් ඇයි? බස් රියදුරන් දෛනික ආදායම් ඉලක්කයක් හඹා යන බව අප දන්නවා. එක ම මාර්ගයේ ධාවනය වන බස් රථ තරගයට අධිවේගීව ගමන් කරමින් සියඵදෙනාට අන්තරාවක් ඇති කරන සැටි අප දකිනවා.

එහෙත් ඉවසීමක් නැතිව රිය පදවන්නේ ඔවුන් පමණක් නොවේ. තදබදය පවතින නාගරික මාර්ගවල ලොකු කුඩා වාහන පදවන බොහෝ දෙනකුට නොසන්සිදුණු ආසාවක් තිබෙනවා. අන් හැමදෙනා ම පසුකර තමන් පමණක් කෙසේ හෝ ඉදිරියට යන්න. එහිදී මාර්ග නීති කඩ කිරීම හා ආචාරශීලි නොවී දැඩි ආක‍්‍රමණශීලි ලෙස රිය පැදවීම නිතර සිදුවනවා.

මේ ගැන මෙනෙහි කරන හෝ පර්යේෂණ කරන අය කියන්නේ නිසි ලෙස රියදුරු පුහුණුව නොලැබීම, අධ්‍යාපනයේ දුර්වලකම් හා නීතිය කි‍්‍රයාත්මක වීමේ අඩුපාඩු මීට දායක වන බවයි. එහෙත් මේ සාධක ඉක්මවා යන ආකල්පමය, සමාජයීය හා මානසික හේතූන් ද තිබෙන බව පෙනෙනවා.

කලා ක්‍ෂෙත‍්‍රයෙන් වෙළඳපොල සාර්ථකත්වය ලැබු මගේ මිතුරෙක් රිය පදවන්නේ හැකි සෑම විට ම මහපාරේ රේස් දිවීමේ අරමුණින්. පාරේ කිසිවකුට තමා පසු කර යාමට ඉඩ නොදෙන බවත්, තමා රිය පදවන්නේ ‘පිරිමිකමට සරිලන ලෙසින්’ බවටත් ඔහු උදම් අනනවා. කලාකරුවකු ලෙස මානව හිතවාදය, අවිහිංසාව හා අනුකම්පාව ගැන පෙනී සිටින මේ දෙබිඞ්ඩා, මහ පාරේ රිය පදවන විට ඒ උතුම් ගුණාංග කිසිවක් ප‍්‍රගුණ කරන්නේ නැහැ!

හීනමානය හා වෙනත් පෞරුෂත්ව දුර්වලකම් ඇති අය අතට අධිබලැති වාහන ලැබුණු විට සිදු වන දෙය අප දිනපතා මහමඟ දකිනවා. මේ මානසික තත්ත්වයන්ට හුදෙක් අධ්‍යාපනයෙන් හෝ නිතී මගින් හෝ පමණක් පිළියම් කළ හැකි ද?

මාර්ග අනතුරු ගැන රාජ්‍ය හා ජන අවධානය වැඩි කරන්නට මාර්ග ආරක්ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකයක් (2011-2020) WHO ප‍්‍රමුඛ කරගත් එක්සත් ජාතීන් විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. Decade of Action for Road Safety, 2011-2020.

මාර්ග අනතුරු මුළුමනින් නැති කරන්නට අමාරුයි. එහෙත් නිසි සැළසුම්, විනය හා නීති හරහා එය අවම කර ගත හැකියි.

සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා

සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

In this week’s Ravaya Sunday newspaper column (in Sinhala), I’ve written a tribute to Dr Carlo Fonseka, Emeritus Professor of Physiology at the University of Colombo, rationalist and public intellectual, who turned 80 earlier this month.

I’m still working on an English tribute. For now, I’ve covered some of this ground in an English op-ed written in January 2012: Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.

Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.

මා බෙහෙවින් ගරු කරන හා අගය කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් 2013 මාර්තු 4 වනදා 80 විය සම්පූර්ණ කළා.

කාලෝ ෆොන්සේකා යනු විචිත්‍ර වූත්, බහුවිධ පැතිකඩවලින් සැදුම් ලද්දා වූත් අපූරු චරිතයක්. ඔහු වෛද්‍යවරයකු හැටියට පරම්පරා දෙක තුනක ලාංකික වෛද්‍යවරුන්ට උගන්වා, පුහුණු කර තිබෙනවා. කලා රසිකයකු හා ගීත රචකයකු හැටියට ඔහුගේ සෞන්දර්යාත්මක දායකත්වයෙන් ඔහු විද්‍යා-කලා ප්‍රවාහයන් දෙකෙහි ම සිය නිපුනත්වය මනාව පෙන්නුම් කරනවා. වාමාංශික දේශපාලන චින්තනයක් මත පදනම් වී ඔහු සමාජ සාධාරණත්වය හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන සම්ප්‍රදායක් සඳහා ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ පෑවා.

මෙකී නොකී නොයෙකුත් කෝණවලින් කාලෝගේ සමාජ මෙහෙවර ඇගැයීමට ලක් කළ හැකියි. අද මා තැත් කරන්නේ පොදු උන්නතියට කැප වුණු බුද්ධිමතකු (Public Intellectual) හා අදීන හේතුවාදී චින්තකයකු ලෙස ඔහුගේ අඩසියවසකට වැඩි කාලයක උඩුගම් බලා පිහිනීම ගැන මෙනෙහි කරන්නයි.

කාලෝ ෆොන්සේකා යන නාමය මා මුල් වරට ඇසුවේ 1970 දශකය මුලදී ලාබාල පාසල් සිසුවකු ලෙස. ගිනි පෑගීමේ වෛද්‍ය විද්‍යාත්මක සැබෑ තත්ත්වය ගවේෂණාත්මකව හෙළි කරමින්, ඒ සඳහා කිසිදු ගුප්ත බලවේගයක පිහිට අවශ්‍ය නැති බව ප්‍රායෝගිකව පෙන්වීම නිසා ඒ වන විට කාලෝ ලක් සමාජයේ ප්‍රකට හා ආන්දෝලනාත්මක චරිතයක් වී සිටියා. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් 1960දී ඇරැඹූ හේතුවාදීන්ගේ සංගමය හරහා හැම දෙයක් ගැන ම විචාරශීලීව සීතීමේ හා විවෘතව විවාද කිරීමේ සමාජ සංගායනාවක පෙරගමන්කරුවකු බවට මේ තරුණ වෛද්‍ය කතිකාචාර්යවරයා පත් වුණා.

රේඩියෝවෙන් ඔහු අසා සිටි මා මුල් වරට කාලෝට සජීව ලෙසින් සවන් දුන්නේ 1980 දශකයේදී. හරියට ම තැන හා වසර දැන් මතක නැති වුවත් ‘විද්‍යාත්මක චින්තනය’ ගැන දේශනයේ හරය මට අද මෙන් මතකයි.

කාලෝ කෙතරම් ආකර්ශනීය කතිකයෙක් ද යන්න විවාද හා සාහිත්‍ය සංගම් කටයුතුවල නියැලි පාසල් සිසුවකු වූ මා ඉක්මනින් තේරුම් ගත්තා. එදා මෙදා තුර විවිධ අවස්ථාවල කාලෝට සවන්දීමෙන් මෙය තවත් තහවුරු වී තිබෙනවා.

කාලෝ පාසල්, සරසවි, විද්වත්, කලාකරු මෙන් ම දේශපාලන වේදිකාවලත් තැනට උචිත ලෙසින් කථා කිරීමේ අති සමතෙක්. තැනේ සහ වෙලාවේ හැටියට හරබර යමක් සන්සුන්ව, උපහාසාත්මකව හා මනා අංගචලනයන්ගෙන් පරිපූර්ණව කථා කරන ඔහු, කිසි දිනෙක ද්වේෂ සහගතව හෝ අපහාසාත්මකව හැසිරෙනු මා දැක නැහැ. එබන්දක් ගැන ආරංචියක් හෝ නැහැ.

කාලෝ ඉතා හැඟීම්බරව කථා කළ අවස්ථා ද තිබෙනවා. මා දන්නා උදාහරණය විජය කුමාරතුංගයන්ගේ 1988 අවමගුලේ දී ඔහු කළ (රූපවාහිනී හරහා රට ම දුටු) කථාවයි. ජුලියස් සීසර්ගේ අවමගුලේ දී මාක් ඇන්ටනී කළ කථාවට සමාන වූ ඒ කථාව කාලෝගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූවා…

කාලෝ කථාවට මෙන් ම විවාදයටත් සමතෙක්. ප‍්‍රතිමල්ලවයන් කියන දේ සාවධානව අසා සිට, සියුම් හා තර්කානුකූල (එහෙත් සැම විට ම ආචාරශීලී) ලෙසින් ප‍්‍රතිචාර දක්වන්නෙක්. සමහර වෙලාවට යමකු විනාඩි ගණනක් ගරු ගාම්භීරව ගොඩ නගන තර්ක, කාලෝ තත්පර ගණනකින් උපහාසාත්මකව බිඳ හෙළනවා!

දුර සිට ඔහු අගය කළ මා කාලෝ හදුනා ගත්තේ මගේ විද්‍යා ගුරුවර අසංග අබේසුන්දර සූරීන් හරහා. 1980 දශකයෙදී අබේසුන්දරයන් පළ කළ ‘මානව’ ප‍්‍රගතිශීලි විද්‍යා සඟරාවේ පාඨක ප‍්‍රශ්නවලට කාලෝ නිතිපතා පිළිතුරු දුන්නා. මේ පිළිතුරු වාර්තා කර ගන්නට අප කිහිප විටක් කාලෝ හමු වන්නට ගියා. මානව ජෛව විද්‍යාව, පරිනාමය, හේතුවාදය, ගුප්ත සංකල්පවල විද්‍යාත්මක පැත්ත ආදී බහුවිධ මාතෘකා ගැන දැනුම නිරවුල් ව හා අදීනව පළ කිරීමේ ඔහුගේ සහජ හැකියාව මා හරිහැටි දැන ගත්තේ ඒ කාලයේයි.

ඒ හැදුනුම්කම ඔස්සේ පසු කලෙක මාධ්‍යවේදියකු හා විද්‍යා ලේඛකයකු ලෙස මා විවිධ අවස්ථාවල කාලෝ මුණ ගැසී, සම්මුඛ සාකච්ජා පවත්වා තිබෙනවා. අප දෙදෙනා එක ම විද්වත් වේදිකාවේ කථා කොට තිබෙනවා. කාලෝ සැබෑ බුද්ධිමතකු වුවත් උගත්කමේ මාන්නයෙන් හා උද්දච්චකමින් හිස පුම්බා නොගත් ඉතා නිහතමානී චරිතයක්.

මතකයේ රැදුණු එක් අවස්ථාවක් නම් 1986දී සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව නැවත දිස් වූ විට කල්පනා සඟරාවට මා ලියූ විස්තරාත්මක කවරයේ කථාවට ඔහු දැක්වූ අදහස්. වල්ගාතරුව නිසා ලෝකයේ යුධ ගැටුම් උත්සන්න විය හැකි යයි ද, පුද්ගලයන්ට හා සමාජයට අසුබ කාලයක් උදා වන්නේ යයි ද ජ්‍යොතිෂවේදීන් කර තිබූ අනතුරු ඇඟවීම් ගැන විද්‍යාත්මක විග‍්‍රහයක් කරන මෙන් කාලෝගෙන් මා ඉල්ලා සිටියා.

යුද්ධ ගැන ඔහු කීවේ මෙයයි. “1968දී විල් හා ඒරියල් ඩුරාන්ට් කියන ඉතිහාසඥ යුවල වෙඵම් 10කින් සමන්විත, ඉතිහාසය පිළිබඳ විශාල කෘතියක් ප‍්‍රකාශයට පත් කළා. මේ කෘතියේ ඔවුන් කියනවා ඒ වන විට (1968) මිනිසාට අවුරුදු 3,421ක් ඈත අතීතයට දිව යන ලිඛිත ඉතිහාසයක් තිබෙන බවත්, ඒ මුඵ කාලය මුඵල්ලේ ම සංග‍්‍රාම හෝ යුද්ධ නොතිබුණේ අවුරුදු 268ක පමණක් බවත්. ඉතින් යුද්ධ තිබුණු, යුද්ධ පටන්ගත් හැමදාමත් අහසේ වල්ගාතරු පෑවුවා ද? වල්ගාතරු හා සංග‍්‍රාම අතර සම්බන්ධයක් තිබෙතැයි අපට පිළිගන්නට බෑ.”

ඉතිහාසය, දර්ශනවාදය ආදී ක්‍ෂෙත‍්‍රයන්හි කාලෝගේ අවබෝධය කෙතරම් පුඵල් ද යන්නට ඉඟියක් මේ පිළිතුරුවලින් අපට ලැබෙනවා. ඔහු බොහෝ විට කථා කරන්නේ සාක්ෂි හා මූලාශ්‍ර උපුටා දක්වමින්.

ජ්‍යොතිෂය ගැන කථා කිරීම පවා කාලය නාස්ති කිරීමකැයි තාරකා විද්‍යාඥයන් බහුතරයක් කියන පසුබිම තුළ කාලෝ ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා කරන්නේ තමන්ගේ ක‍්‍රමවේදය පහදා දෙන ලෙසටයි.

1986දී කල්පනා සඟරාවට ඔහු කී පරිදි: “මුල් යුගයේ තාරකා විද්‍යාව (astronomy) සහ නක්‍ෂත‍්‍රය හෙවත් ජ්‍යෙති ශාස්ත‍්‍රය (astrology) කියන දෙක ම එකටයි තිබුණේ. පුරාණ බැබිලෝනියානු, ඊජීප්තු වැසියන්ට ඉර-හඳ-තාරකාවල හැසිරීම ගැන අනාවැකි කීමේ සෑහෙන හැකියාවක් තිබුණා. ගැලීලියෝ පවා මුල් කාලයේදී ජීවිකාව ගෙන ගොස් තිබෙන්නේ නක්‍ෂත‍්‍ර අනාවැකි කීමෙන්. ඒත් කල් යාමේදී තාරකා විද්‍යාව සීඝ‍්‍රයෙන් දියුණු වී ආවා. අද ඇත්තට ම තත්පරයට අනාවැකි කිව හැකි විද්‍යාවක් ඇත්නම් ඒ තාරකා විද්‍යාවයි. අනාවැකි කීමේ හැකියාව නක්ෂත‍්‍රයෙන් ගිලිහී ගොසින් තාරකා විද්‍යාවට භාර වී තියෙනවා.

“මෙවර හැලීගේ වල්ගාතරුව පායන විටත් විවිධ භයානක අනාවැකි පළ කර තියෙනවානෙ. ඔය නක්ෂත‍්‍රයේ හා අනාවැකි කාරයන්ගේ හපන්කම් උරගා බලන්නට මේක හොඳ අවස්ථාවක් හැටියටයි මා නම් දකින්නේ. නක්‍ෂත‍්‍රය පරිහරණය කරන අය සමඟ සාකච්ජා කොට, පැහැදිළි, තියුණු අනාවැකි ලබා ගන්නට ඕනෑ. ඒ අනාවැකි, නිගමනවලට එළඔණු ආකාරය ගැන ශාස්තී‍්‍රය පදනමත් ඒ අය අපට කියා දෙන්නට ඕනෑ. ඊට පස්සේ පාලක පරීක්‍ෂණයක් හැටියට, නක්‍ෂත‍්‍රය ගැන මොකුත් නොදන්නා, කිසිම දෙයක් විශ්වාස නොකරන අයටත් ඔය මොනවා හරි අනාවැකි ටිකක් පළ කරන්නට කියනවා. දෙගොල්ලන්ගේ ම අනාවැකි වාර්තා කර තබන්නට ඕනෑ. වල්ගාතරුව ඇවිත් ගියාට පස්සේ, අදාළ කාල සීමාව තුළ නක්‍ෂත‍්‍රකාරයින් කී අනාවැකි කොයි තරම් සැබෑ වුණා ද කියා සොයා බැලිය යුතුයි. එසේ සැබෑ වන්නේ දහයක් කිව්වා ම එකක් – දෙකක් හරි යන (සම්භාවිතාව පිළිබඳ) සංකල්පය මත නම්, නක්‍ෂත‍්‍රයෙන් අනාවැකි කියන්නට බැරි බව පෙනී යාවි….”

Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012

Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012

එදත් අදත් කාලෝ තුළ මා දකින වැදගත් ගුණයක් නම් මෙසේ විවෘත මනසකින් යුතුව ඕනෑ ම සමාජයීය හෝ ශාස්ත්‍රීය හෝ ගැටඟවක් විග්‍රහ කිරීමේ හැකියාවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයකු දක්වා ඉහළට ගියත් ඔහු දේශීය හා පෙරදිග වෛද්‍ය විද්‍යාවන් හෙළා දකින්නේ නැහැ. එසේ ම බටහිර වෛද්‍ය ක්‍රමයට තවමත් තේරුම් ගත නොහැකි වූ සංසිද්ධීන් මිනිස් සිරුරේ හා මනසේ ඇති බව ඔහු නිහතමානීව පිළිගන්නවා.

හේතුවාදියකු හැටියට කාලෝ ප්‍රඥාගෝචරයි. අන්ධ භක්තිය හෝ විශ්වාස වෙනුවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ (facts) හා තර්කානුකූල පදනමක් මත ඕනෑ ම දෙයක් විමර්ශනය කරනවා. එහෙත් විකල්ප දැනුම් ක්‍රම අවඥාවෙන් බැහැර කරන්නේ ද නැහැ.

ගිය වසරේ ගුප්ත විද්‍යාවන් පිළිබඳව ලක්බිම පුවත්පත හා හේතුවාදී සංගමය හරහා කාලෝ නිකුත් කළ ප්‍රසිද්ධ අභියෝගයේ මූලික හරයත් එයයි. ඉන්ද්‍රජාලික හෝ ඇස්බැන්දුම් කිරීමට ඉඩක් නැති සුපරීක්ෂාකාරී තත්ත්වයන් යටතේ ගුප්ත ක්‍රියාවක් සිදු කිරීමටත්, අහම්බයට එහා යන ස්ථීරසාර මට්ටමකට ප්‍රතිඵල පෙන්වීමටත්, කාලෝ සකලවිධ ගුප්තවේදීන්ට ඇරැයුම් කළා. එහෙත් ඔහුගේ අභියෝගය පිළි ගන්නවා වෙනුවට ඇතැම් ගුප්තවේදීන් කළෙ ඔහුට මතවාදීව පහර දීමයි.

විචාරශීලී වීමේ අගය ගැන කාලාම සූත‍්‍රය පාදක කර ගනිමින් කාලෝ කරන විග‍්‍රහය අපේ සමාජයට දිනපතා උදේ සවස අසන්නට සැළැස්විය යුතු බව මගේ හැඟීමයි. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා. (එහෙත් සැබැවින් නිදන අය අවධි කළ හැකි වුවත් බොරුවට නිදන්නන් අවධි කළ හැකිද?)

Carlo Fonseka's open challenge to assorted black magicians of Lanka, 2012 - LKR 1 million to prove themselves (image courtesy Lakbima)

Carlo Fonseka’s open challenge to assorted black magicians of Lanka, 2012 – LKR 1 million to prove themselves (image courtesy Lakbima)

කාලයාගේ ඇවෑමෙන් කාලෝ මෘදු මෙලෙක් වී සිටියි ද?

සමහර හේතුවාදීන් හා නිදහස් මතධාරීන් කියන්නේ කාලෝ පෙර තරම් නිර්දය ලෙස මිථ්‍යාවට පහර නොදෙන බවයි. ඇතැම් විට වයසත් සමඟ කාලෝ පෙරට වඩා ඉවසිලිමත් හෝ උපේක්ෂා සහගත හෝ වී ඇති. එහෙත් අධ්‍යයනයෙන් හා තර්කනයෙන් නිවැරදි යයි ප්‍රත්‍යක්ෂ කර ගත් ස්ථාවරයක රැදී සිටිමින් එය ප්‍රවර්ධනය කරන්නට නම් අද අප දකින කාලෝ එදා ගිනි පෑගූ කාලෝ තරම් ම අධිෂ්ඨානශීලීයි. නීර්භීතයි.

බොහෝ මිථ්‍යාවන් හා ප්‍රශ්නවලට එරෙහිව එකවර මැදිහත් වනු වෙනුවට වැදගත් සමාජයීය ගැටඵ කිහිපයක සැළකිය යුතු වෙනසක් කරන්නට තමන් පසු කාලීනව තීරණය කළ බව කාලෝ වරක් මට කීවා. එසේ ඉලක්කගත වීම හා උපක්‍රමශීලී වීම 21 වන සියවසේ හැම සමාජ ක්‍රියාකාරිකයකුට ම අවශ්‍යයි.

ලෝකයේ දැවැන්ත ම විනාශකාරී ව්‍යාපාරයක් වන දුම්කොළ සමාගම්වලට එරෙහිව දුම්වැටි පාලනය සවිමත් කිරීමට ඔහු ගෙන යන අරගලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ගිනි පෑගීමේ මුලාව හෙළිදරවු කළාටත් වඩා අති විශාල සේවයක් දුම්පානයෙන් ඇති වන ඇබ්බැහිකම දුරලීම හරහා කාලෝට කළ හැකි බව මගේ විශ්වාසයයි. දුම්කොළ ඇබ්බැහියෙන් ලාංකිකයන් මුදා ගැනීමේ උත්සාහය යම් තරමකට සාර්ථක බව පෙනෙනවා.

එහෙත් ඊටත් වඩා ගැඹුරු වූත්, දිගු කාලීනව අතිශයින් හානිකර වූත් ජාතික ව්‍යාධියක් නම් මිථ්‍යාවට, අවිද්‍යාවට හා ව්‍යාජ විද්‍යාවන්ට (pseudo-science) අපේ ඇත්තන්ගේ ඇති දැඩි නැඹුරුවයි. මේ ඇබ්බැහිකමින් ලක් සමාජය මුදා ගන්නට ජීවිත කාලයක් පුරා කාලෝ කරන ව්‍යායාමය කෙදිනක මල්ඵල ගැන්වේ ද?

කාලෝ ගැන සැබෑ රස කථා (anecdotes) රැසක් තිබෙනවා. ඔහුගේ ආත්ම චරිත කථාව ලිවීමට අදහසක් තිබේදැයි ගිය වසරේ මා විමසූ විට එබන්දක් සැළසුම් කර නැති බව පැවසුවා. ඔහු දිගු කලක් පවත්වා ගෙන ආ දිනපොත් ගොන්න ද වේයන් කා විනාශ කරලා. අඩු තරමින් ඔහුගේ මතකයන් ඔහුගෙන් අසා පටිගත කොට සටහන් කර ගන්නට හැකි නම් එයත් අපේ ජාතික මතකයේ (Memory of the Nation) වටිනා කොටසක් වනු ඇති.

කිසි දිනෙක කිසිවකුට ගිනි නොදුන් මේ ජීවකයාට, තවත් දිගු කලක් මේ ගිනි ගත් දිවයිනේ සන්තානය සමනය කරන්නට හැකි වේවා යන්න අපේ පැතුමයි!

ඡායාරූපය: සනී නවගත්තේගම

සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

This week’s Ravaya column (in Sinhala) is about the rising exports of hazardous pesticides coming to the developing world from China.

Similar ground was covered in English in The Coming Pesticide Tsunami: Made in China?

Filipino rice farmer spraying pesticides

Filipino rice farmer spraying pesticides

1955දී තමන් නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය වසර දහයකට වැඩි කාලයක් ඝර්ම කලාපීය රටවල ගොවීන්ට ප‍්‍රවර්ධනය කිරීමෙන් පසු එය තමන් අතින් සිදුවු ‘ලොකු වරදක්’ යයි කීර්තිමත් ලාංකික ඉංජිනේරු රේ විජේවර්ධන ප‍්‍රසිද්ධියේ කියා සිටියා. හරිත විප්ලවය ආරම්භයේ පටන් එහි පෙරගමන්කරුවකු වූ ඔහු 1960 දශකය අවසන් වන විට එහි මූලික දැක්ම ප‍්‍රශ්න කළා.

ගොවිතැනේදී අධික ලෙස බාහිරින් ගෙනෙන පොහොර, කෘමිනාශක හා වල් නාශක ආදිය නිසා වගාබිමේ සමතුලිතතාව බිඳ වැටෙන බව ඔහු පසුව වටහා ගත්තා. කෙටි කාලීනව අධික අස්වනු ලැබිය හැකි වුවත් හරිත විප්ලව ක‍්‍රමවේදයන් නිසා වසර කිහිපයකින් වගාබිම් නිසරුවීම, පරිසර දුෂණය හා බරපතල සෞඛ්‍ය ගැටඵ මතු වන සැටි දැන් අප දන්නවා.

සියවස් ගණනාවක් තිස්සේ ආසියාව පුරා කුඹුරුවල ගොවීන් වී වගා කළේ කෘෂි රසායනවල පිහිටෙන් නොවෙයි. කුඹුරුවල ස්වාභාවික ව හමුවන කෘමීන්, මකුඵවන්, පක්ෂීන් හා වෙනත් සතුන් සමග පාරිසරික සමබරතාවක් පවත්වා ගන්නා සැටි ඔවුන් අත්දැකීමෙන් දැන සිටියා.

එහෙත් හරිත විප්ලවයේ රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක වගාවට හානි කරන මෙන් ම වගාවට හිතකර සතුන් ද එක සේ විනාශ කළා. රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායන වතුරේ දිය වී ඇල දොල හා ගංගා හරහා සමස්ත පරිසරයට ම මිශ‍්‍ර වුණා. මේ විෂ රසායනික අපේ ආහාරවලට සෘජුව මෙන් ම වක‍්‍රවත් ඇතුඵ වුණා.

මෑත කාලයේ හරිත විප්ලවවාදියෝ සැළකිය යුතු සංඛ්‍යාවක් තමන්ගේ වැරදි පිළිගනිමින්, කල්ගත වී හෝ ඒවා නිවැරදි කරගන්නට තැත් කරනවා. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) කියන්නේ හරිත විප්ලවයේ විශාල කාර්යභාරයක් ඉටු කළ ලෝක ව්‍යාප්ත කෘෂි පර්යේෂණායතන ජාලයේ සාමාජිකයෙක්.

පසුගිය අඩ සියවස තුළ ආසියානු රටවල සහල් නිෂ්පාදනය වැඩි කිරීමට, සහලින් ආසියානු රටවල් ස්වයංපෝෂිත කිරීමට හා ආහාර හිගයන් වළක්වා ගන්නට විශාල පර්යේෂණාත්මක දායකත්වයක් IRRI ලබාදී තිබෙනවා. අධික ලෙස කෘෂි රසායන භාවිත කරමින් අධික අස්වනු හඹා යාම අහිතකර බව දැන් ඔවුන් පිළි ගන්නවා. මේ ගැන ප‍්‍රසිද්ධියේ කථා කරන ජ්‍යෙෂ්ඨ IRRI විද්‍යාඥයෙක් මෑතදී මට මුණ ගැසුණා.

Dr K L Heong of IRRI

Dr K L Heong of IRRI

ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක්. මැලේසියානු ජාතිකයකු වන ඔහු බි‍්‍රතාන්‍යයේ ඉම්ජීරියල් සරසවියෙන් ආචාර්ය උපාධියත්, ලන්ඩන් සරසවියෙන් DSc අධිඋපාධියත් ලැබූ, දශක ගණනක් පුරා ආසියාවේ වී වගාවේ කෘමීන් පිළිබඳ පර්යේෂණ කළ අයෙක්. සත්ත්ව විද්‍යාවට සීමා නොවී ගොවීන්ගේ ආකල්ප පිළිබඳ සමාජ විද්‍යාත්මක ගවේෂණ කරමින් කුඩා පරිමාණයේ වී ගොවීන්ට ඇති ප‍්‍රශ්න හා අවශ්‍යතා මැනවින් හදුනාගත් විද්වතෙක්.

ජෛව ලෝකයේ වැඩිපුර ම ජීවී විශේෂ හමු වන්නේ කෘමීන් වශයෙන්. ගම් නගර, වනාන්තර හා ගොවිබිම් යන සැම තැනෙක ම කෘමීන් සිටිනවා. මෙයින් බහුතරයක් කෘමීන් මිනිස් අපට හෝ බෝගවලට කිසිදු හානියක් කරන්නේ නැහැ. හානි කරන කෘමීන් ගොදුරු කර ගන්නා වෙනත් කෘමීන්, මකුඵවන් හා අනෙකුත් ස්වාභාවික සතුරන් (විලෝපීයයන්) සිටිනවා.

මිනිසා යොදන කෘෂි රසායනික නිසා මේ සමතුලිතතාවය බිඳ වැවෙනවා. බොහෝ වගාබිම්වලට කෘමි නාශක අන්‍යවශ්‍ය පමණක් නොව ඒවායේ ප‍්‍රයෝජනයට වඩා හානිය වැඩි බව 1950 දශකයේ සිට ප‍්‍රබුද්ධ ජෛව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. 1962දී අමෙරිකානු විද්‍යාඥ රේචල් කාසන් නිහඬ වසන්තය පොතෙන් දුන් මූලික පණිවුඩය වූයේත් එයයි (2013 ජනවරි 13 කොලම බලන්න).

ආචාර්ය හියොං කාසන්ගේ පණිවුඩය ප‍්‍රතිරාවය කරන වත්මන් පරපුරට අයත්. දියුණු රටවල කෘෂි රසායනික භාවිතය අඩු වන්නට පටන් ගෙන ඇතත් අපේ වැනි දියුණු වන රටවල ඒවා වැඩි වැඩියෙන් භාවිත වන බව ඔහු කියනවා.

කෘෂි රසායනික සුනාමියක් ළග එන බවත්, එහි බහුතර දායකත්වය ලැබෙන්නේ චීන සමාගම් වලින් බවත් ආචාර්ය හියොං අනතුරු අගවනවා. අපේ පරිසරවේදීන් මෙය නොදන්න හැඩයි.

කලක් තිස්සේ පාරිසරික හා සෞඛ්‍ය කි‍්‍රයාකරිකයන් චෝදනා කරන්නේ බටහිර රටවල භාවිතය තහනම් කළ අධික විෂ ඇති කෘෂිරසායනික, එම රටවල බහුජාතික සමාගම් විසින් දියුණුවන ලෝකයේ තවමත් අලෙවි කරන බවයි. මෙය ඓතිහාසිකව සත්‍ය වුවත් බටහිර රටවල පරිසරවේදීන්ගේ බලපෑම් නිසා එසේ කිරීමේ හැකියාව දැන් සීමා වී තිබෙනවා.

අද වන විට සංඛ්‍යා ලේඛන හරහා පැහැදිලි වන යථාර්ථය නම් අපේ රටවලට අධික විෂ සහිත කෘෂි රසායනික අලෙවි කරන්නේ ප‍්‍රධාන කොට ම චීන හා ඉන්දියානු සමාගම් විසින් බවයි.

”උතුරු – දකුණු විස රසායනික අලෙවිය(North-South dumping) ගැන අපි කලෙක සිට දැන සිටියා. එහෙත් දැන් වැඩිපුර සිදුවන්නේ දකුණු – දකුණු අලෙවියක් (South-South dumping). මේ ගැන අපේ රටවල කි‍්‍රයාකාරිකයන් එතරම් දැනුවත් වී නැහැ,” ආචාර්ය හියොං කියනවා.

skullපසුගිය දශකය තුළ ලෝකයේ විශාලතම කෘමිනාශක නිෂ්පාදකයා හා පිටරට යවන්නා බවට චීනය පත් වෙලා. චීනයේ රාජ්‍ය දත්ත පදනම් කොට ගෙන හියොං මෙය පෙන්වා දෙනවා.

”2000දී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5ක් පමණ වූ චීනයේ කෘමිනාශක නිෂ්පාදනය 2009 වන විට ටොන් ලක්ෂ 20 ඉක්මවා ගියා. එහෙත් එරට තුළ කෘමිනාශක භාවිතය වැඩි වී ඇත්තේ ඉතා සුඵ වශයෙන්. ඒ කියන්නේ මේ අතිරික්කය ඔවුන් පිටරටවලට විකුණනවා.”

මේවා යන්නේ කොහේ ද?

දැඩි පාරිභෝගික හා සෞඛ්‍ය ආරක්‍ෂණ නීති නිසා දියුණු රටවලට යවන්නට බැහැ. එහෙත් එබදු නීති නොමැති හෝ නීති නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන හෝ ආසියානු හා අපි‍්‍රකානු රටවලට ඒවා අලෙවි කරන බව හියොං සාක්ෂි සහිතව පෙන්වා දෙනවා.

මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. සිය රට තුළ අධික විසැති රසායනික භාවිතය ටිකෙන් ටික සීමා කරන්නට 1983 සිට චීනය පියවර ගන්නවා. 2007දී ඕගැනෝ ෆොස්ෆරස් කාණ්ඩයේ කෘමිනාශක ගණනාවක දේශීය භාවිතය තහනම් කළා. එහෙත් මේ කර්මාන්තයේ නිරත චීන සමාගම් 2,000ක් පමණ තිබෙන අතර සිය රට භාවිතය තහනම් වූ කෘමිනාශක පවා තවදුරටත් නිපදවා පිටරට යැවීමට ඔවුන්ට අවකාශ තිබෙනවා.

කිසි රටක් විවෘත ලෝක වෙළඳපොලේ කුමක් අලෙවි කරනවා ද යන්න ගැන අපට සෘජුව බලපෑම් කළ නොහැකියි. එහෙත් අපේ රට තුළට ගෙන ඒමට ඉඩ දෙන්නේ මොනවා ද යන්න තීරණය, අධීක්‍ෂණය හා පාලනය කිරීමට අපට හැකි විය යුතුයි.

ජාතික මට්ටමේ කෘෂි වෙළඳ දත්ත එක්තැන් කරන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN-FAO) සංඛ්‍යා ලේඛන වෙබ් අඩවියට අනුව 2010දී ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනා කෘමිනාශකවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 47 (රුපියල් බිලියන් 5.8 ක්). 2011දී ඒ අගය ඩොලර් 60.15 දක්වා ඉහළ ගියා (රුපියල් බිලියන් 7.5). මේ දෙවසරේ මෙරටට ගෙනා කෘමිනාශක පරිමාවන් එහි සඳහන් නැහැ. එහෙත් හුදෙක් මිළ වැඩි වීම නොව ගෙන ආ පරිමාව වැඩි වීමක් ද සිදුව ඇතැයි අපට අනුමාන කළ හැකියි. බිලියන් ගණන් ගෙවා මෙරටට මේ විෂ අධික ද්‍රව්‍ය ගෙන එන්නේ කොහි සිට ද? http://faostat.fao.org

චීන කෘමිනාශක සමාගම්වල දායකත්වය නිසා පරිමාවෙන් හා වටිනාකමින් වැඩි වන ලෝක කෘෂි රසායනික වෙළදාමෙන් බේරී සිටීමට අපේ රටවල අදාල නීති, රෙගුලාසි හා අධීක්‍ෂණය වහා ම සවිමත් කළ යුතු බවට හියොං අවධාරණය කරනවා. අපේ ආරක්‍ෂාව අප ම සළසා ගතයුතුයි.

”අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි,” හියොං කියනවා.

බොහෝ ගොවීන් තම වගා බිමේ කෘමි ප‍්‍රශ්න ගැන උපදෙස් පතා ගෙන යන්නේ තමන්ට ආසන්න ම කෘෂි රසායනික අලෙවි කරන්නා ළගට. එය ගමේ සිල්ලර කඩයක් විය හැකියි. මේ කුඩා කඩවල මුදලාලිලා තමන් ළග ඒ මොහොතේ තිබෙන හෝ තමන්ට වැඩි ම වෙළඳ වට්ටම ඇති රසායනිකය මුදලාලි ගොවියාට නිර්දේශ කරනවා. අවශ්‍ය මාත‍්‍රාවට වඩා ඉසීමෙන් ඉක්මන් හා හොඳ ප‍්‍රතිඵල ලැබේ යයි වැරදි පිළිගැනීමක් ද ගොවීන් අතර තිබෙනවා.

හියොං කියන්නේ අධික වස විස මෙසේ හිතුමතයට සිල්ලරට අලෙවි කිරීම සිදු වන තාක් කල් කෘෂි රසායනික අවභාවිතය පාලනය කළ නොහැකි බවයි. රටට ගෙන ඒමේදී කුමන කොන්දේසි මත එය කළත් ප‍්‍රායෝගික ව එය කි‍්‍රයාත්මක වන්නේ සිල්ලර වෙළෙන්දා හා ගොවියා අතර ගනුදෙනුවේදීයි.

බොහෝ රටවල කෘෂි රසායනික රටට ගෙන ඒම, බෙදා හැරීම හා අලෙවිය ගැන නීති හා රෙකුලාසි මාලාවක් තිබෙනවා. එහෙත් එය හරියට රජතුමාට හකුරු හැදුවා වගේ වැඩක්. ඉතා පිවිතුරු ලෙසින් හකුරු හදනවා යයි ප‍්‍රතිඥා දුන්නත් වැඬේට බැස්සාම එය කෙරුණේ වෙනස් විධියට. ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි!’ යන කියමන අප අතර තිබෙන්නේ මෙවැනි පරස්පරයන් විස්තර කරන්නටයි.

හැබැයි හකුරුවලට වඩා බෙහෙවින් විස සහිත කෘෂි රසායනික ගැන එබදු දෙබිඩි පිළිවෙතක් තව දුරටත් පවත්වා ගත නොහැකියි.

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධ අලෙවිය උදාහරණයක් ලෙස ගනිමින් හියොං කියන්නේ වට්ටෝරු හරහා බෙහෙත් ගන්නට නම් ඒ සඳහා පුහුණුව හා අවසර ලැබූ ඖෂධවේදියකු සිටින ෆාමසියකට යා යුතු බවයි. සිල්ලර කඩවලට එබදු බෙහෙත් විකුණන්නට ඉඩක් නැහැ. ඖෂධවේදීන් සහතික කිරීම එම වෘත්තිකයන් හරහා ම සිදුවීම බොහෝ රටවල ක‍්‍රමවේදයයි. අවම වශයෙන් එබදු ස්වයං නියාමන ක‍්‍රමයකට වස විෂ විකිණීමත් ඉක්මනින් ම යොමු විය යුතු බව හියොං කියනවා.

”ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්” හියොං කියනවා.

රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතය බොහෝ රටවල රාජ්‍ය කෘෂිකර්ම ප‍්‍රතිපත්තියේ ප‍්‍රබල අංගයක්. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයත් එයයි. කෘෂි රසායනික රටට ගෙන්වීම ලියාපදිංචිය ලත් රාජ්‍ය ආයතන මෙන් ම පෞද්ගලික සමාගම් විසින් ද කලක පටන් කරනු ලබන නීත්‍යානුකූල වෙළදාමක්. එහෙත් ඒවායේ සිල්ලර අලෙවිය නිසි ලෙස නියාමනය හා අධීක්‍ෂණය නොවන බවට වෛද්‍යවරුන් මෙන් ම පරිසර විද්‍යාඥයන් ද පෙන්වා දෙනවා.

මේ ගැන වඩා ප‍්‍රගතිශීලි ආසියානු රටවල් තිබේදැයි මා ඇසුවා. වියට්නාමය හා මැලේසියාව යම් තාක් දුරට කෘෂි රසායනික පාලනයට ප‍්‍රතිපත්තිමය පියවර ගෙන ඇතැයි ද මේ ගැන අත්දැකීම් කලාපීය වශයෙන් බෙදා ගැනීම ඉතා ප‍්‍රයෝජනවත් බව ද ඔහු කීවා. http://tiny.cc/Pestsu

Hazardous Pesticides freely used across Asia

Hazardous Pesticides freely used across Asia

සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

Map of Pakistan, courtesy Lonely Planet

In this week’s Ravaya column (in Sinhala), I take a look at rampant conspiracy theories in Pakistan, arguably the most conspiracy-happy country in South Asia. This is partly inspired by my recent visit to Karachi, a strong contender for the title ‘conspiracy capital of the world’.

From weather extremes to food shortages, and from political violence to maternal health, every aspect of life in Pakistan is linked to a ‘foreign conspiracy’ supposedly meant to undermine the nation.

Some of these tall tales provide harmless amusement, while others have dire consequences for public health and safety. I cite two examples: resistance to polio vaccination, and misplaced and widespread fear of iodised salt.

‘හොඳ කුමන්ත‍්‍රණ කථාවකට අපි කවුරුත් කැමතියි!’

මගේ මාධ්‍ය මිතුරකු ළඟදී මට මෙසේ කීවේ මෑතක පටන් අපේ රටේ වඩාත් ප‍්‍රබලව පැතිර යන නොයෙක් අභව්‍ය හා මායාරූපි (ෆැන්ටසි) කුමන්ත‍්‍රණ කථා ගෙඩි පිටින් විශ්වාස කරන අය සිටින බව මා පෙන්වා දුන් විටයි.

සමහරුන් කියන හැටියට අපේ දුපතට වින කරන්නට, රජය හා ජන සමාජය අස්ථාවර කරන්නට විජාතික දේශපාලනික හා වාණිජ බලවේග රාශියක් පෙළ ගැසී සිටිනවාලූ. මෙබඳු කථාවලින් ජන සමාජයක මානසික තත්ත්වය ගැන දළ හැඟීමක් ලද හැකියි.

එහෙත් අපේ කුමන්ත‍්‍රණ දුපතටත් වඩා බොහෝ සෙයින් මේ ‘කලාව’ ප‍්‍රගුණ කළ රටක් දකුණු ආසියාවේ තිබෙනවා. ඒ තමයි පාකිස්ථානය. මිලියන් 180ක් පමණ ජනගහනයක් වෙසෙන, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වූ මේ රට තරම් කුමන්ත‍්‍රණවාදී කථා බිහි කරන, පතුරුවන හා අදහන තවත් රටක් මට නම් හමු වී නැහැ.

පසුගිය සැප්තැම්බරයේ මා කරච්චි නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ පාකිස්ථානයේ කුමන්ත‍්‍රණවාදී මානසිකත්වය නෙතඟ බැල්මක් ලැබුණා.මගතොටේ දී මෙන් ම සරසවි හා විද්වත් සභාවලත් අතිශයින් නිර්මාණශීලි වූ එහෙත් කිසිදු පදනමකින් තොර භීතිකා හා කුමන්ත‍්‍රණ කථා සංසරණය වන හැටි මා දුටුවා.

එහිදී තර්කානුකූල වීම, සාක්ෂි සොයා යාම හෝ වෙනත් බුද්ධිගෝචර ක‍්‍රියාදාමයක් වෙනුවට ලිහිල් හා ආවේගශීලි පදනමක් මත බොහෝ ජනමාධ්‍ය, වෘත්තිකයන්, දේශපාලකයන් හා අනෙකුත් ජනමතය හසුරුවන්නන් ක‍්‍රියා කරනවා.

එරට දේශපාලකයන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ හා මැතිවරණ පොරොන්දු ආදිය ගැන කිසිදු විශ්වාසයක් නොතබන උගත් නාගරික ජනයා පවා රටට හා ජාතියට එරෙහි බහුවිධ කුමන්ත‍්‍රණ තිබේ යැයි තරයේ අදහනවා.

සරල එදිනෙදා සිදුවීමක් වූවත් පැය හෝ දින කිහිපයක් ඇතුළත ලෙහෙසියෙන් ම විදේශික බලවේගයක හෝ අදිසි හස්තයක බලපෑමක් හෝ බවට පත් කර ගනු ලබනවා. කුමන්ත‍්‍රණයක කොටසක් ලෙස විග‍්‍රහ කැරෙනවා. එය පසුපස සිටින විජාතික බලවේගය ලෙස වැඩිපුර ම නම් කරනු ලබන්නේ අමෙරිකාව හා ඉන්දියාවයි. මීට අමතරව ඉස්ලාම් විරෝධී යැයි සලකා ඊශ‍්‍රාලයත්, පොදුවේ බටහිර රටවල් මෙන් ම ගෝලීය මට්ටමෙන් වෙළඳාමේ යෙදෙන බහුජාතික සමාගම් ද නිතර කුමන්ත‍්‍රණ චෝදනා ලබනවා.

සොබා දහමේ ක‍්‍රියාවන් පවා මේ කුමන්ත‍්‍රණවාදී කථාවලට හසු වනවා. වෙලාවට වැස්ස නොලැබුණොත් එය පාකිස්ථානය ‘මට්ටු කරන්නට’ දියුණු රටක් කළ ‘කාලගුණ පාඩමක්’. එකවර බොහෝ වැසි ලැබී ගංවතුර ඇති වූ විට එයත් විජාතික ‘කාලගුණ ප‍්‍රහාරයක්’.

මේ කුමන්ත‍්‍රණවාදී කථා එරට ප‍්‍රබල ම ජනමාධ්‍ය වන ටෙලිවිෂන් පුවත් නාලිකාවලට Breaking News සඳහා නිරතුරුව මාතෘකා සපයනවා. එබඳු වාර්තාකරණයේදී මෙබඳු කථා බරපතල ලෙස කියන්නටත් වාද විවාද කරන්නටත් මුකරි බව තිබෙන අන්තවාදී විද්වතුන් (ටෙලි-පණ්ඩිතයන්) රොත්තක් ද බිහිව සිටිනවා.

පාකිස්ථානු සමාජයේ සැබෑ ප‍්‍රශ්න හා විසමතා ගැන නොබියව වාර්තා කරන පුවත් නාලිකා අතර (2012 ඔක් 21දා කොලම බලන්න) මෙබඳු කට කථා, ප‍්‍රබන්ධ කථා හා ප‍්‍රලාප බෙදා හරින නාලිකා ද තිබෙනවා. දුෂමාන ආරංචි තහවුරු කිරීමකින් තොරව කාලීන තොරතුරු ලෙස ප‍්‍රචාරය කිරීම නීතිවිරෝධි නොවූවත් සදාචාර විරෝධි හා සමාජ විරෝධි ක‍්‍රියාවක්. මෙය නියාමනය කරන්නට පාකිස්ථානු රජය ඍජු උත්සාහයක් නොගන්නේ මාධ්‍ය නිදහසට හරස් වීමේ චෝදනාව මතු වන නිසා.

පාකිස්ථානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට විශාල නිදහසක් තිබෙනවා. එහෙත් ඒ නිදහස තුළ වගකීමකින් යුතුව ක‍්‍රියා කරන්නේ සමහර මාධ්‍ය පමණ යි. විශේෂයෙන් ම දේශිය බසින් වාර්තාකරණයේ යෙදෙන නාලිකා සමහරක් කෙටිකාලීන ජනප‍්‍රියත්වය සඳහා කුමන්ත‍්‍රණ රටට බෙදීම සරුවට කරනවා!

පාකිස්ථානයේ සාක්ෂරතාව අඩුයි. පිරිමි අකුරු කියවීමේ හැකියාව 70%යි. කාන්තාවන් අතර එය 46%යි. අධ්‍යාපන මට්ටම් සීමිත වීම නිසාත්, දැඩි වැඩවසම්වාදී සමාජයක් නිසාත්, එරට බොහෝ දෙනකු විචාරශීලි වනවා වෙනුවට ආවේගශීලි වීම දැකිය හැකියි. දැඩි ලෙස ආගම්වාදී වීම පාකිස්ථානු සමාජයේ තවත් ලක්ෂණයක්. එරට ජනමතය හැසිරවීමේ විශාල බලයක් පූජකයන්ට තියෙනවා.

එරට නිර්මාතෘ මොහමඞ් අලි ජින්නා පූජක බලය සීමා කොට රාජ්‍යකරණයේ යෙදුණත්, ඉන්පසුව බලයට පත් වූ (හෝ බලය අල්ලා ගත්) නායකයෝ කෙටි කාලීන වාසි තකා සමාජ සංස්ථා දැඩි ලෙස ඉස්ලාමීයකරණය වන්නට ඉඩ දුන්නා. සියලූ දෙනා නොවූවත් බොහෝ ආගමික නායකයන් රටට හා සමාජයට එරෙහිව බහුවිධ බලවේග පෙළ ගැසී ඇති බවට නිතර මොර ගානවා. කුමන්ත‍්‍රණ අදහන පසුබිම සකස් වන්නේ එලෙසයි.

සමහරක් කුමන්ත‍්‍රණ කථා හුදු විනෝදාස්වාදය සපයන අතර, ඉතිරි ඒවා ජනයා මුලා කරමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට, සෞඛ්‍යයට හා යහ පුරුදුවලට හරස් වනවා. මේ දෙවැනි කාණ්ඩයට අයත් දැඩි සේ ප‍්‍රචලිත වූ කුමන්ත‍්‍රණවාදයක් පෝලියෝ ප‍්‍රතිශක්තීකරණයට සම්බන්ධයි.

Polio vaccinaation in Pakistan - AFP Photo

Polio vaccinaation in Pakistan – AFP Photo

මුළු ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමේ දැවැන්ත ප‍්‍රයත්නයක අවසන් අදියරට පිවිස සිටින මේ අවස්ථාවේ පෝලියෝ හමු වන රටවල් තුනක් ඉතිරිව තිබෙනවා. එනම් නයිජීරියාව, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය. පාකිස්ථානයේ 2012 දී වාර්තාගත පෝලියෝ රෝගීන් සංඛ්‍යාව 58යි. http://www.polioeradication.org

මේ මට්ටමට පෝලියෝ පාලනය කර ගත්තේ දශක ගණනාවක සිට පාකිස්ථානු රාජ්‍ය සෞඛ්‍ය සේවය හා ස්වේච්ඡ සංවිධාන විසින් කරගෙන ආ ප‍්‍රතිශක්තීකරණය නිසා. එහෙත් සමහර දෙමවුපියන් තම දරුවන්ට පෝලියෝ එන්නත දීම ප‍්‍රතිකේෂ්ප කරනවා. එයට හේතුව පෝලියෝ එන්නත “ඉස්ලාම් ජාතිය වඳ බවට පත් කරන්නට බටහිර රටවලින් ක‍්‍රියාත්මක කුමන්ත‍්‍රණයක්” යැයි රාවයක් පැතිරීම.

කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නැති මේ කටකථාව මත එල්බ ගෙන තම දරුවන් භයානක පෝලියෝවට ගොදුරු වන්නට ඉඩ දෙන තරමට සමහර දෙමවුපියන් එය අදහනවා!

මහජන සෞඛ්‍යයට විශාල වශයෙන් බලපාන තවත් පාකිස්ථානු මිථ්‍යාවක් අයඞීන් මිශ‍්‍රිත ලූණු වටා ගෙතී තිබෙනවා.

අයඞීන් අපේ ශරීර ක‍්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක්. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් ස‍්‍රාවය කරන හෝමෝන දෙකක් නිපදවීම සඳහා සිරුරට කුඩා පරිමාවලින් අයඞීන් ඕනෑ. මුහුදු මාළු මේ ක්ෂුද්‍ර පෝෂකය ස්වාභාවිකව ලැබෙන හොඳ ප‍්‍රභවයක්. එහෙත් මුහුදු මාළු ලෙහෙසියෙන් හමු නොවන දුර බැහැර ගොඩබිම ප‍්‍රදේශවල වෙසෙන ජනයාට අයඞීන් ඌණතාව හට ගත හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට ලෝක ජනගහනය බිලියන් හතෙන් බිලියන් 2ක් අයඞීන් ඌණතා අන්තරායන්ට මුහුණ දෙනවා. ළමයින් වැඩෙන කාලයේ හරිහැටි අයඞීන් නොලැබීම නිසා ඔවුන් මන්දබුද්ධික විය හැකියි. අයඞීන් ඌණතාව නිසා හට ගන්නා අනෙක් ආබාධය නම් ගලගණ්ඩයයි.

සුළු අමතර වියදමක් දරා විශාල ජන සංඛ්‍යාවකට ලෙහෙසියෙන් අයඞීන් ලබා දීමේ උපක‍්‍රමය ලෙස ලොව පුරා මහජන සෞඛ්‍ය විශේෂඥයන් දැන් පිළි ගන්නේ ලූණුවලට අයඞීන් ස්වල්පයක් එකතු කිරීම. අමෙරිකාවේ අයඞීන් මිශ‍්‍රිත ලූණු අලෙවිය ඇරඹුණේ 1946දී. ගෙවී ගිය දශක කිහිපය තුළ බොහෝ රටවල මෙය හඳුන්වා දී තිබෙනවා.

පාකිස්ථානය අයඞීන් ඌණතාව බහුල රටක්. එරට ජනගහනයෙන් භාගයකට අයඞීන් හරිහැටි ලැබෙන්නේ නැහැ. මේ නිසා දිගුකාලීනව හට ගන්නා දැඩි අලස බව හා අඩු බුද්ධි මට්ටම පාකිස්ථානයේ සමාජ ප‍්‍රගතියට හා ඵලදායීතාවට අහිතකරයි.

එහෙත් “අයිඞීන් මිශ‍්‍රිත ලූණු කන්න එපා!” පාකිස්ථානයේ අන්තවාදීන් ජනතාවට අනතුරු අඟවනවා. ඔවුන් කියන්නේ අයඞීන් එකතු කරන්නේ මුස්ලිම් ජනයා අතර වඳබව ඇති කිරීමට බටහිර කුමන්ත‍්‍රණයක් ලෙස බවයි!

කිසිදු අතුරු ආබාධයක් ඇති නොකරන ලොව පිළිගත් මෙබඳු සරල සෞඛ්‍ය පියවරකට පවා පාකිස්ථානයේ අස්ථාන භීතියක් හා ප‍්‍රතිරෝධයක් මතුවීම සෞඛ්‍ය සේවයකයන් කම්පාවට පත් කරනවා. සෞඛ්‍ය බලධාරීන් හා වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත්, අයඞීන් මිශ‍්‍රිත ලූණු භාවිතය නතර කරන්නට සැළකිය යුතු ජන කොටසක් පෙළඹී සිටිනවා. මෙය සමහර උගත් මධ්‍යම පාන්තික පවුල් අතරත් හමුවන බියකරු ප‍්‍රවණතාවක්.

මේ අස්ථාන භීතියට පසුබිම කුමක් ද?

පාකිස්ථානයේ අධික ජනගහන වර්ධනය දිගු කාලීනව රටට හා සමාජයට ඇති කරන අහිතකර බලපෑම් ගැන 1995දී විද්‍යාත්මකව තක්සේරු කළ එරට රාජ්‍ය නිලධාරීන්, මාතෘ හා ප‍්‍රජනන සෞඛ්‍යය ගැන ජනයා දැනුවත් කිරීමට විශාල පරිමානයේ සන්නිවේදන දියත් කළා. රජයට අයත් PTV ටෙලිවිෂන් නාලිකාව හරහා කාන්තාවන්ට පෝෂණ හා සෞඛ්‍ය දැනුම සරලව කියා දුන්නා. අයඞීන් නිතිපතා ආහාරයේ තිබීම වැදගත් බව ද කියැවුණා.

එම දර්ශනය අවසානයේ එය නිර්මාණය කළේ රජයේ ප‍්‍රාථමික සෞඛ්‍යය හා පවුල් සැළසුම් පිළිබඳ දෙපාර්තමේන්තුව (Department of Primary Health and Family Planning) බව කියැවෙන නාමාවලියක් පෙන්වනු ලැබුවා. අයඞීන් ගැන කථා කොට මොහොතකට පසුව මේ දෙපාර්තමේන්තු නම දිස්වීම නිසා ටික දෙනකු මේ දෙක අනිසි ලෙස සම්බන්ධ කරමින් කුමන්ත‍්‍රණවාදී තර්කයක් මතු කළා.

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy - Network for Consumer Protection)

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy – Network for Consumer Protection)

පවුල් සෞඛ්‍යය යනු පුළුල් විෂයයක්. ළමා හා මාතෘ පෝෂණය, ළමා රෝගවලින් ආරක්ෂා වීම ආදී සංකල්ප සමඟ පවුලක දරුවන් අතර නිසි පරතරයක් පවත්වා ගැනීම හා ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍යය ගැන විශේෂ අවධානය යොමු කිරීම ද එයට ඇතුළත්.

එහෙත් කුමන්ත‍්‍රණවාදියෝ එය පවුල් සෞඛ්‍යය පවුල් සැලසුම් කිරීමට පමණක් ලඝු කොට “ජාතිය කප්පාදු කරන්නට රජය හා විජාතිකයන් ගන්නා උත්සාහයක්” යැයි බොරු බියක් පතුරවනවා. ජන මනස මෙසේ දුෂණය කිරීම හරහා කාන්තාවන් හා දරුවන්ගේ ජීවිතවලට කරන හානිය ගැන කිසිවකු සිතන්නේ නැහැ!

පාකිස්ථානයේ කුමන්ත‍්‍රණ මේනියාව යථාර්ථයෙන් හා වගකීම්වලින් අත්මිදීමේ බොළඳ උත්සාහයක් යැයි එරට ප‍්‍රමුඛ පෙලේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක අධ්‍යක්ෂවරියක් මට කියා සිටියා. “මේ විකාර කථා වැඩිපුර ම අදහන්නෙත් පතුරු වන්නෙත් පිරිමි උදවිය. ඔවුන් කැමතියි කථාන්තර කියමින් එදිනෙදා කළ යුතු දේ කල් දමමින් වගකීම්වලට මුහුණ නොදී සිටින්න. මේක දැන් වසංගතයක් වෙලා!” ඇය කීවා.

ප්‍රෞඪ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන, උගත් මධ්‍යම පාන්තිකයන් විශාල සංඛ්‍යාවක් සිටින, අපට වඩා මාධ්‍ය නිදහස තිබෙන පාකිස්ථානයේ මෙබඳු පසුගාමී මානසිකත්වයක් දැඩි ලෙස මුල් බැස ගත්තේ කෙසේ ද?

අනේ අපේ රටේ නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ! අපි සාක්ෂරතාවයෙන් හා අධ්‍යාපනික මට්ටම්වලින් ඉහළ, ලෙහෙසියෙන් රවටන්නට බැරි මිනිසුන් වෙසෙන දේශයක්…

සිවුමංසල කොලූගැටයා #100: නිහඬ වසන්තයේ අඩ සියවසක යශෝ රාවය

In this week’s Ravaya column (in Sinhala), I look at the lasting influence of Silent Spring, a popular science book that first came out 50 years ago, and is now widely regarded as a book that changed our thinking about the environment.

Its author, marine biologist Rachel Carson (1907 – 1964) was an early practitioner of evidence based policy advocacy. She was measured in what she wrote, and asked more questions than she could answer at the time. Yet the chemicals industry accused her of being anti-progress and scare-mongering. Smear campaigns targeted her as a single woman, and suggested that she was “probably a Communist”. How she weathered this storm holds valuable lessons for all modern day activists.

I covered similar grounds in my English column on 30 Dec 2012: When Worlds Collide #48: The Lasting Echo of Silent Spring

Rachel-Carson-and-Silent-Spring

විද්‍යාඥයන් හා සෙසු විද්වතුන් කොතරම් දුරට සමාජයේ ප‍්‍රශ්න හා අර්බුද ගැන ප‍්‍රසිද්ධියේ කථා කළ යුතු ද? තමන්ගේ විශේෂඥ කේෂත‍්‍රයේ පර්යේෂණ හා ගවේෂණ කරමින් දැනුම පුළුල් කරනවාට අමතරව පොදු උන්නතියට හරවත් ලෙසින් දායක වන්නේ කෙසේ ද? එවිට මතුවන අභියෝග මොනවා ද?

කලක් තිස්සේ විවාදයට ලක්වන මේ ප‍්‍රශ්නවලට සිය චරිතයෙන් පරමාදර්ශයක් සැපයූ අමෙරිකානු සාගර ජෛව විද්‍යාඥවරියක් වූයේ රේචල් කාසන් (Rachel Carson: 1907 – 1964). ඇගේ වඩාත් ම ප‍්‍රකට විද්‍යා ග‍්‍රන්ථය වූ “නිහඬ වසන්තය” (Silent Spring) මුල් වරට පළ වූයේ 1962දී. එය ලියන්නට තුඩු දුන් පසුබිම හා එයින් සිදු වූ සමාජයීය හා ආර්ථික බලපෑම ගැන අඩසියවසක් ගත වීත් තවම වාද විවාද කැරෙනවා. බොහෝ විද්‍යාඥයන්ට මෙන් ම විද්‍යා ලේඛකයන්ටත් ඇය වීරවරියක්.

සමසීතෝෂ්ණ දේශගුණය ඇති රටවල ඍතු හතරක් තිබෙනවා. සීත ඍතුව ගෙවී ගොස් යළි උණුසුම් වීම ඇරඹෙන්නේ වසන්තය සමඟ. සීත ඍතුවට සංක‍්‍රමණය වූ හෝ දිගු නිද්‍රාවට පත් වූ පක්ෂීන් නැවත සක‍්‍රිය වෙමින් පරිසරයේ කුරුළු ගීත අසන්නට ලැබීම එබඳු රටවල වැසියන් උද්දාමයට පත් කරවන පාරිසරික වෙනස්වීමක්.

එහෙත් මෙසේ ගී ගයන්නට පක්ෂීන් නොසිටියහොත් වසන්තය නිහඬ වෙනවා. පක්ෂීන්, පණුවන්, ගොළුබෙල්ලන් ඇතුළු අප අවට පරිසරයේ සිටින තවත් ලොකු කුඩා බොහෝ ජීවින්ට අප භාවිත කරන පළිබෝධ නාශකවල අහිතකර බලපෑම් දැඩි ලෙස දැනෙන බව 1950 දශකය වන විට සංවේදී විද්‍යාඥයන් ටික දෙනෙක් තේරුම් ගත්තා. නිහඬ වසන්තය පොතෙන් කාසන් උත්සාහ කළේ මේ ගැන අනතුරු ඇඟවීමටයි.

එහෙත් එබඳු විකල්ප අදහසක් මතු කිරීම එවකට ඉතා අසීරු කාරියක් වුණා. විද්‍යාව හා තාක්ෂණයට වන්දනා කරමින් සිටි ඒ වකවානුවේ තාක්ෂණයේ අහිතකර විපාක ගැන විවෘත සංවාදයකට පවා බහුතරයක් අමෙරිකාන මාධ්‍ය හා විද්වතුන් උනන්දු වූයේ නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රසායන ද්‍රව්‍ය රැසක් බටහිර රටවල වෙළඳපොළට පැමිණියා. ගෙදර දොරේ, ගෙවත්තේ හා වගා බිම්වල කරදරකාරී කෘමීන්, මීයන් හා වෙනත් සතුන් මර්දනයට කරන්නට ‘ක්ෂණික ප‍්‍රතිඵල’ පොරොන්දු වෙමින් මේ රසායන ද්‍රව්‍ය ප‍්‍රචාරණය කෙරුණා. ඒවා නිපදවන සමාගම් ඉක්මනින් දැවැන්ත ව්‍යාපාර බවට පත් වුණා.

මේ රසායනික සංග‍්‍රාමය සංකේතවත් කළේ DDT කෘමි නාශකයයි. 1873දී මුල්වරට සංයෝජනය කළ මෙහි කෘමි නාශක හැකියාව සොයා ගත්තේ 1939දී. විශේෂයෙන් රෝගවාහක මදුරුවන් මර්දනයට මෙය 1940 දශකයේ පුළුල් ලෙස ලොව පුරා භාවිතයට ආවා. DDT ඉසින ජංගම ඒකක මැලේරියා මර්දනයට මෙන් ම පොදුවේ කෘමි සංහාරයටත් යොදා ගත්තා. (ශී‍්‍ර ලංකාව DDT මහා පරිමාණයෙන් ඉසීම ඇරඹූ මුල් ම ආසියාතික රට වූයේ 1946දී.)

තවත් රසායනික සංයෝග සිය ගණනක් කිසිදු පාලනයකින් තොරව වෙළඳපොළට ආවා. ඉවක් බවක් නැතිව මේවා භාවිතය නිසා අහිතකර පළිබෝධකයන් පමණක් නොව හිතකර ගැඩිවිලූන්, ගෙම්බන්, අහිංසක පක්ෂීන් හා සමනළුන් වැනි සමස්ත ජෛවී ලෝකයට ම හානි වන බවට 1950 මැද භාගය වන විට සාක්ෂි ලැබෙන්නට පටන් ගත්තා.

රේචල් කාසන් කලක් තිස්සේ රාජ්‍ය සේවයේ ක‍්‍රියා කොට එයින් ඉවත්ව පූර්ණ කාලීන විද්‍යා ලේඛනයේ නියැලී සිටියා. ඇගේ මුල් විද්‍යා පොත්වලින් සාගරයේ විචිත‍්‍ර ජෛව හා භෞතික ප‍්‍රවාහයන් ගැන තේරෙන බසින් පාඨකයන්ට පහදා දුන්නා. ‘නිහඬ වසන්තය’ ඇය ගොඩබිම පරිසරය ගැන ලියූ පළමුවන පොතයි.

එය ලියන්නට ඇය වසර පහක් පමණ ගවේෂණ කරමින් තොරතුරු රැස් කළා. අමෙරිකාව පුරා විහිද සිටි විද්‍යාඥයන් ගණනාවකගේ පර්යේෂණ වාර්තා හා අදහස් ලබා ගත්තා. ඇයට ඕනෑ වූයේ සිදු වෙමින් පවතින පාරිසරික විපර්යාසය ගැන මැදහත් ලෙසින් විග‍්‍රහ කරමින් මේ ගැන ජන අවධානය යොමු කරන්නයි. ආවේගශීලි නොවී දැඩි සංයමයකින් ඇය මේ පොතේ අදහස් දක්වා ඇති ආකාරය පරිසරවේදීන්ට මාහැඟි ආදර්ශයක්.

පොතේ ප‍්‍රවේශයේ ඇය මෙසේ ලියනවා: ‘‘අප බොහෝ දෙනෙකු දැන් නිතිපතා භාවිත කරන විවිධ පළිබෝධනාශක නිසා අපට හිරිහැරයක්ව ඇති ජීවින් මෙන් ම කිසිදු කරදරයක් නොකරන ජීවින් ද මරා දමනවා. එමෙන් ම වර්ෂාව හා දිය දහර හරහා මේවා සමස්ත ජෛව නාශක බවට පත් වනවා. මෙය භයානක අත්හදා බැලීමක්.’’

කාසන් කියා සිටියේ පළිබෝධ නාශක මුළුමනින් නතර කළ යුතු යැයි නොවෙයි. පරිසරයේ අන් හැම දෙයක් මෙන් ම පළිබෝධකයන්ටත් ස්වාභාවික තුලන මට්ටමක් ඇති බවත්, ඔවුන් සමූල ඝාතනය කිරීමට තැත් නොකර යම් මට්ටමකට ඔවුන්ගේ පැතිරීම තුලනය කරන්නට සීමිත රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉලක්කගතව යෙදිය හැකි බවත් ඈ පෙන්වා දුන්නා. එමෙන් ම රසායනික පළිබෝධ පාලනයට අමතරව ජෛවී හා භෞතික ක‍්‍රම මඟින් ද පළිබෝධ පාලනය කළ හැකි සැටි උදාහරණ සහිතව ඇය විස්තර කළා.

ඇගේ පොත ප‍්‍රකාශයට පත් වූයේ 1962 සැප්තැම්බරයේ. සති කිහිපයක් ඇතුළත එය ජන ආන්දෝලනයට ලක් වුණා. පොත නිසා වඩාත් කැළඹුණේ රසායන කර්මාන්ත හිමියන්. ඔවුන්ගේ සේවයේ සිටි රසායන විද්‍යාඥයන් පෙරටු කර ගෙන රේචල් කාසන් හා ‘නිහඬ වසන්තය’ නිෂ්ප‍්‍රභ කිරීමේ ප‍්‍රචාරක ප‍්‍රයත්නයක් දියත් කෙරුණා.

ඔවුන් මුලින් කළේ පොතේ කරුණු හා විග‍්‍රහය හුදෙක් හැඟීම්බර කාන්තාවකගේ පරිකල්පනයන් කියන්නයි. එහෙත් ස්වාධීන විද්‍යාඥයන් පොත වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් විට රේචල් කාසන් චරිත ඝාතනය ඇරඹුණා.

සාගර ජෛව විද්‍යාඥවරියක් ගොඩබිම පරිසර පද්ධති ගැන දන්නේ මොනවා ද? කුරුමිණියන් හා කුරුල්ලන් ගැන මැයට මෙතරම් කැක්කුමක් ඇයි? උගත් හා පියකරු කාන්තාවක් වීත් ඇය තනිකඩව දිවි ගෙවන්නේ ඇයි? අමෙරිකානු කර්මාන්ත හා ආර්ථිකය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට දියත් කළ “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” ඇය කොටසක් ද?

සීතල යුද්ධයේ මේ අවධියේ අමෙරිකාවේ ස්වාධීන මතධාරීන්ට ලෙහෙසියෙන් ම අලවනු ලැබු ලේබලය වූයේ කොමියුනිස්ට්කාරයකු යන්නයි. මේ ලේබලයත් ඇයට දෙනු ලැබුවා.

අමෙරිකානු සමාජය ධනවාදී වූවත් ඕනෑ ම මතයක් පුළුල්ව විවාදයට ලක් වීමේ ඉඩකඩ තියෙනවා. එහි වැදගත් භූමිකාවක් ජනමාධ්‍ය රඟ පානවා. කාසන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමඟ සමීපව ක‍්‍රියා කරමින් තමන්ගේ පොත නොකියවූ විශාල ජන සංඛ්‍යාවකට පණිවුඩය ගෙන යන්නට සමත් වුණා.

‘නිහඬ වසන්තය නිසා ඝෝෂාකාරී ගිම්හානයක්’ යැයි හෙඩිමක් සහිතව New York Times පත‍්‍රය දීර්ඝ වාර්තාවක් පළ කළා. එරට ප‍්‍රධාන ටෙලිවිෂන් නාලිකාවක් වන CBSහි ඇය කාලීන පුවත් වැඩසටහන් ගණනාවකට සහභාගි වුණා. රසායන ද්‍රව්‍ය සමාගම්වල ප‍්‍රකාශකයන් සමඟ සංවාද කළා. ඉඩ ඇති පරිදි සරසවි හා විද්වත් සභාවල දේශන හා විවාද කළා. දැඩි අධිෂ්ඨානය හා ධෛර්යයකින් යුතුව ඇය මේ සියල්ල කළේ පියයුරු පිළිකාවකින් රෝගාතුරව එයට ප‍්‍රතිකාර ගන්නා අතරේයි. ඒ තොරතුර ඇය හෙළිදරවු කළේ නැහැ.

පොතේ ආන්දෝලනය නිසා මාස කිහිපයක් ඇතුළත ඒ ගැන නිල පරීක්ෂණයක් කිරීමට ජනාධිපති ජෝන් කෙනඩි නියම කළා. කොංග‍්‍රස් හා සෙනෙට් සභා දෙකෙහි ම කමිටුවල මේ ගැන රේචල් කාසන් සාක්ෂි දුන්නා. උද්දච්ච හා ආක‍්‍රමණශීලි පිරිමින්ගෙන් පිරුණු පරීක්ෂණ මණ්ඩලවල නිර්දය ප‍්‍රශ්න කිරීම් හමුවේ මේ කුඩා කාන්තාව නොසැලී, නොබියව පිළිතුරු දුන්නා.

Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. - AP Photo

Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. – AP Photo

පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන අමෙරිකාවේ මෙබඳු සංවාදයක් ඇරඹුණු විට අවසාන තර්කානුකූල නිමාව දක්වා යාම සිදු වනවා. 1963 නොවැම්බරයේ කෙනඩි මිය ගියා. 1964 අපේ‍්‍රල් මාසයේ වයස 56දී කාසන් පිළිකා රෝගයෙන් මිය ගියා. එහෙත් ඔවුන් දැල් වූ විමර්ශන පහන් සිළුව දිගට ම දැල් වුණා.

අමෙරිකාවේ පරිසර සංරක්ෂණ ඒජන්සිය (EPA) 1970දී පිහිටුවීමට කාසන්ගේ පොත හා සංවාද දායක වූ බව පිළිගැනෙනවා. DDT භාවිතය 1972දී අමෙරිකාවේත්, ඉන්පසු තවත් බොහෝ රටවලත් තහනම් කරනු ලැබුවා. එයටත් වඩා වැදගත් වූයේ ඉවක් බවක් නැතිව පරිසරයට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කිරීම පාලනය කළ යුතු බවට පුළුල් පිළිගැනීමක් ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමෙන් ඉසුරුබර රටවල ස්ථාපිත වීමයි.

මේ බලපෑම් වැදගත් වූවත් ඊටත් වඩා ඓතිහාසික කාර්යභාරයක් මේ පොත හා කතුවරිය ඉටු කළා. එනම් 1960 ගණන්වල පැන නැඟී 1970 හා 1980 දශකයන්හි බලවත් වූ පරිසර සංරක්ෂණය සඳහා පෙළ ගැසුණු ජන සංවිධාන හා සාමාන්‍ය ජනයාට මූලික උත්පේ‍්‍රරකය ලබා දීමයි. අමෙරිකාව වෙනස් කළ මහා පොත් අතරට ‘නිහඬ වසන්තය’ එකතු කොට තිබෙනවා.

Rachel Carson on US postage stamp19 වන සියවසේ වහල් වෙළඳාම හා සේවය නතර කරන්නට හැරියට් බීචර් ස්ටෝව් ලේඛිකාව ලියූ Uncle Tom’s Cabin නවකථාව අමෙරිකානු ජන විඥානයට කළ දිගු කාලීන බලපෑමට සම කළ හැකි බලපෑමක් රේචල් කාසන් ‘නිහඬ වසන්තය’ හරහා කළ බව දැනට එරට සිටින ජ්‍යෙෂ්ඨතම ජෛව විද්‍යාඥයකු වන හාවර්ඞ් සරසවියේ එඞ්වඞ් ඕ. විල්සන් කියනවා.

20 වන සියවසේ අවසානයේ දී ගෙවී ගිය සියවසේ ලෝකයේ චින්තනය වෙනස් කළ චරිත 100ක් ටයිම් සඟරාව නම් කළා. ඒ අතරට ඔවුන් රේචල් කාසන්ගේ නමත් ඇතුළත් කළා. ඇගේ චින්තනමය සෙවනැල්ල තවමත් අමෙරිකාවේ මෙන් ම ලොව පුරා ජනතාවාදී විද්‍යාඥයන් හා පරිසරවේදීන් දිරිමත් කරවන බව සඟරාවේ කතුවරුන් කියා සිටියා.

අඩ සියවසක් තුළ ලෝකයේ සංවර්ධනය හා පරිසරය පිළිබඳ ගැටුම තවත් තීව‍්‍ර වී තිබෙනවා. ‘නිහඬ වසන්තය’ එළි දුටු වසරේ ලෝක ජනගහනය කෝටි 300යි. අද එය කෝටි 710 ඉක්මවා ගොස් තිබෙනවා. මේ ජන සංඛ්‍යාවට ආහාර පාන, මූලික අවශ්‍යතා හා ආදායම් මාර්ග ලබා දීමට සම්පත් හා බලශක්ති පරිභෝජනය අත්‍යවශ්‍යයි. සංවර්ධන තිරසාර කර ගන්නේ කෙසේ ද යන්න තවමත් විද්වතුන් හා දේශපාලකයන් නිරතුරු සංවාද කරනවා.

අටුව කඩා පුටුව හදනවා වගේ සංවර්ධනයකින් වැඩක් නැති බව අද තේරුම් ගෙන තිබෙනවා. එසේ නම් අටුවත් රැක ගෙන පුටුවකුත් හදා ගන්නේ කෙලෙස ද? ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට පරිසරවේදීන් ඇතුළු කිසිවකු සූදානම් නැහැ.

පොදු උන්නතියට විද්වත් මත පළ කරන විද්‍යාඥයන්ට රේචල් කාසන්ගෙන් උගත හැකි පාඩම් මොනවා ද? එඞ්වඞ් විල්සන්ගේ උපදේශය: ‘‘ඔබේ කේෂත‍්‍රයේ ගැඹුරින් හා ඕනෑකමින් දැනුම ගවේෂණය කරන්න. පර්යේෂණ කරන්න. සෙසු විද්‍යාඥයන් අතර පිළිගන්නා විද්වත් නිබන්ධන හා සන්නිවේදන කරන්න. ඒ පිළිගැනීම මත පදනම් වී පොදු උන්නතියට වැදගත් හා තම ක්ෂෙත‍්‍රයට අදාළ ප‍්‍රශ්න ගැන තර්කානුකූලව සංවාද කරන්න. ප‍්‍රතිරෝධයන්ට හා විකල්ප මතවාදයන්ට ඉඩ දෙන්න. එහෙත් ඔබේ පදනම ගැන ඔබට විශ්වාස නම් ඒ ස්ථාවරයේ රැඳී සිටින්න!’’

අහුමුළුවල කසුකුසු ගානවා වෙනුවට නොබියව ජන සමාජයේ ප‍්‍රශ්න ගැන කථා කරනවා නම් අපේ විද්වතුන්ටත් මේ ඔවදන ඉතා වටිනවා.

සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!

In this week’s Sunday column in Ravaya newspaper (in Sinhala), I’ve written about polar explorer Sir Robert Swan’s 2041 campaign to preserve the Antarctica as the world’s last great wilderness.

I covered similar ground in an English column on 11 Nov 2012: When Worlds Collide #41: Hands Off Antarctica! Protecting the Last Great Wilderness

Follow-up column on 2 Dec 2012: සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

Robert Swan and his 2041 campaign for Antarctica

අප බොහෝ දෙනෙකුගේ දැක්ම හා ආකල්ප අපේ වටපිටාව මඟින් පෝෂණය වනවා. මානවයින්ගෙන් බහුතරයකට තමන්ගේ ගම, පළාත හෝ වැඩි ම වුව හොත් උපන් රටෙන් ඔබ්බට පුළුල් වූ චින්තනයක් නැහැ. එහි වරදක් නොමැති වුවත් ඉඳහිට හෝ අප ටික දෙනෙකුවත් ග‍්‍රහලෝකයේ මටිටමින් සිතීම අවශ්‍යයි.

පටු මානව බෙදීම්වලින් සීමා නොවූ මෙබඳු ග‍්‍රහලෝකමය දැක්මක් අත්දැකීමක් මනා සේ ලබන දෙපිරිසක් සිටිනවා. එනම් අජටාකාශගාමීන් හා ධ‍්‍රැව ගවේෂකයන්. අපේ ලෝකයේ පුළුල් චිත‍්‍රය ග‍්‍රහණය කර ගන්නා ඔවුන් වැඩි දෙනෙකු ඉන්පසු ලෝක සාමය, න්‍යෂ්ටික අවිහරණය, පරිසර සංරක්ෂණය වැනි උදාර අරමුණු වලට සිය ජීවිතය කැප කරනවා.

මා විවිධ අවස්ථාවල අමෙරිකානු හා රුසියානු අජටාකාශගාමීන් කිහිප දෙනෙකු හමු වී තිබෙනවා. ධ‍්‍රැව ගවේෂකයකු මා මුල් වරට හමු වුයේ මීට දින කිහිපයකට පෙරයි. ඔහු 56 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික ශ‍්‍රීමත් රොබට් ස්වෝන් (Sir Robert Swan).

ධ‍්‍රැව ගවේෂණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අධික ශීතල, දේශගුණ විසමතා ඇතුළු ආන්තික පාරිසරික තත්ත්වයන් නිසා. උත්තර ධ‍්‍රැවය (ආක්ටික් හිම කඳු) හා දක්ෂිණ ධ‍්‍රැවය පිහිටි ඇන්ටාක්ටිකා අයිස් මහද්වීපය ගවේෂණය කිරීමේ සියවසකට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

මේ වකවානුව තුළ රොබට් ස්වෝන්ගේ පුරෝගාමී වික‍්‍රමය වූයේ කිසිදු යාන්ත‍්‍රික උපකාරයකින් තොරව ධ‍්‍රැව දෙකට ම පා ගමනින් ඇවිද ගෙන යාමයි. 1986 ජනවාරියේ කුඩා කණ්ඩායමක් සමග ඔහු කිලෝමිටර් 1,400ක් ඇන්ටාක්ටිකාව හරහා ගමන් කොට දක්ෂීණ ධ‍්‍රැවයට ළගා වුණා. 1989 මැයි මාසයේ ආක්ටික් අයිස් අතරින් උත්තර ධ‍්‍රැවයටත් පයින් ම ගියා.

Sir Robert Swan, polar explorer

මේ චාරිකාවලින් පසුව ධ‍්‍රැව ප‍්‍රදේශ සංරක්ෂණය කිරීමේ වැදගත්කම හොඳාකාර තේරුම් ගත් ඔහු පාරිසරික ක‍්‍රියාකාරිකයකු වුණා. දැනට දශක දෙකකට වැඩි කාලයක් ඔහු කරන්නේ ලොව පුරා සංචාරය කරමින් පිවිතුරු බලශක්තිය, දේශගුණික විපර්යාස ඇතුළු පාරිසරික තේමා ගැන දේශන කිරීමයි.

ඔහු වඩාත් උනන්දු වන්නේ ඇන්ටාක්ටිකාව පිළිබදවයි. උත්තර ධ‍්‍රැවයට සමීප පෙදෙස්වල එස්කිමෝවරුන් සිටියත් ඇන්ටාක්ටිකාවේ නිත්‍ය මානව ජනාවාස නැහැ. එහි ඇත්තේ විද්‍යා පර්යේෂණාගාර පමණයි. 1957දී ඇරඹුණු මේ පර්යේෂණ කටයුතු දැන් වඩාත් පුළුල වී තිබෙනවා. ඇන්ටාක්ටික් ගිම්හානයේදී විවිධ රටවලින් පැමිණෙන 4,000කට අධික විද්‍යාඥ හා සහායක පිරිසක් සති හෝ මාස කිහිපයක් එහි ගත කරනවා.

ඇන්ටාක්ටිකාව අප සිතනවාට වඩා විශාලයි. බිම් ප‍්‍රමාණයෙන් වර්ග කිමී මිලියන් 14ක්. එනම් ඕස්ටේ‍්‍රලියාව මෙන් දෙගුණයක්! මෙයින් 98% වැසී තිබෙන්නේ කිමී 1.6ක් පමණ ගැඹුරට විහිදෙන අයිස් තට්ටුවකින්. ලෝකයේ මිරිදිය සම්පත්වලින් 70%ක් ම ඇත්තේ මේ අයිස් මහාද්වීපයේයි.

ඇන්ටාක්ටිකාව අසාමාන්‍ය හා විශ්මයජනක තැනක්. එය ලෝකයේ සීතල අධිකතම හා සුළං කුණාටු බහුලතම භූමියයි. එපමණක් නොව වියලි බව අධිකතම ස්ථානයයි. සාමාන්‍යයෙන් අප කාන්තාරයක් දැඩි සේ උණුසුම් යයි සිතනවා. එහෙත් කතරක නිර්වචනය අහසින් ලැබෙන ජල ප‍්‍රමාණය ඉතා අඩු වීමයි. මෙනයින් බලන විට වසරකට මිලි මීටර් 200කට අඩු වර්ෂාපතනයක් හා හිමපතනයක් ලබන ඇන්ටාක්ටිකාව ඇත්තට ම සීතල කාන්තාරයක් (cold desert).

ඇන්ටාක්ටිකාවේ ඓතිහාසිකව ජනාවාස බිහි වූයේ නැහැ. නූතන යුගයේ මුල් වරට මිනිස් ගවේෂකයන් එහි පා තැබුවේ 1895දී. එතැන් පටන් ටිකෙන් ටික මේ මහා අයිස් මහාද්වීපය ගවේෂණයට විවිධ රටවල දේශාටකයන් යොමු වුණා.

ඇන්ටාක්ටිකාවේ මැද පිහිටි දක්ෂිණ ධ‍්‍රැවයට මුලින් ම ළඟා වීමේ බි‍්‍රතාන්‍ය හා නෝර්වීජියානු තරඟයකින් ජය ගත්තේ රෝල්ඞ් අමන්ඞ්සන් (Roald Amundsen) නම් නෝවීජියානු ගවේෂකයා 1912 ජනවාරියේ.

එහෙත් ඇන්ටාක්ටිකාව ඉනික්බ්ති දශක කිහිපයක් අත් හැර දමා තිබුණා. 1957-58 කාලයේ ලෝක භූ භෞතික වර්ෂය නම් ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගිතාවය යටතේ ඇරැඹුණු විද්‍යාත්මක පර්යේෂණාගාර අද වඩාත් පුළුල් මට්ටමින් පවත්වාගෙන යනවා. ඇමෙරිකාව හා යුරෝපීය රටවලට අමතරව ජපානය, ඉන්දියාව වැනි රටවලටත් ඇන්ටාක්ටික් පර්යේෂණාගාර තිබෙනවා.

ඇන්ටාක්ටිකාව අයිති කාට ද? 1959දී රටවල් 12ක් මූලික වී සම්මත කර ගත් ඇන්ටාක්ටික් ගිවිසුම (Antarctic Treaty, www.ats.aq) නම් ජාත්‍යන්තර නීතිය යටතේ එය කිසිදු තනි රටකට අයිති නොවන, ලෝකයටම පොදු බිම් ප‍්‍රදේශයක්. විද්‍යාවට හා සාමයට කැපවුණු මහාද්වීපයක්. ඇමෙරිකාව හා සෝවියට් දේශය නිරත වී සිටි සීතල යුද්ධයේ උච්ච අවධියකදී ඒ දෙරටත් එකඟ වෙමින් ඇන්ටාක්ටික් ගිවිසුම ඇති කර ගැනීම රාජ්‍ය තාන්ත‍්‍රික කේෂත‍්‍රයේ සුවිශේෂී සිද්ධියක්. 1962දී බල පැවැත්වීම ඇරඹි මේ ගිවිසුමට අද රටවල් 50ක් අත්සන් තබා සිටිනවා.

ඇන්ටාක්ටිකාවට යන විවිධ රටවල පර්යේෂකයන් සාමූහිකව ගවේෂණවල යෙදෙන්නේ මේ ගිවිසුමේ රාමුව තුළයි. ඒ අනුව ඇන්ටාක්ටිකාව හමුදා කටයුතුවලට යොදා ගැනීම හා ඛනිජ සම්පත් වාණිජ මට්ටමින් උකහා ගැනීම සපුරා තහනම්.

1991දී මේ ගිවිසුමේ පාරිසරික සන්ධානයක් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී සම්මත වුණා (Madrid Protocol). ඒ අනුව මුළු ඇන්ටාක්ටිකාව ම පාරිසරික රක්ෂිත කලාපයක්. එහි පර්යේෂණ කිරීමට පවා පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තා අවශ්‍යයි. එහි සියළු ජීවීන්ට (සතුන් හා පැළෑටි) රැකවරණය සැළසෙනවා.

මේ මැඞ්රිඞ් සන්ධානය වසර 50ක් බල පවත්වනවා. එය නැවත විමර්ශනයට නියමිත 2041දී. අද ලෝකයේ ඛනිජ සම්පත් පිළිබඳ ගිජු බවක් දක්වන ඇතැම් රටවල් සන්ධානය විමර්ශනය කරන විට එහි සැර බාල කොට ඇන්ටාක්ටික් ඛනිජ සම්පත් ඩැහැ ගැනීමට උත්සාහ කරනු ඇතැයි රොබට් ස්වෝන් ඇතුළු සමහර පරිසරවේදීන්ට බියක් තිබෙනවා.

මේ නිසා ඇන්ටාක්ටික් පාරිසරික රැකවරණය සදහට ම පවත්වා ගන්නට ඔහු 2041 නම් ස්වේච්ඡ පදනමක් අරඹා තිබෙනවා. ග‍්‍රීන්පීස් වැනි ලෝක පාරිසරික ක‍්‍රියාකාරී සංවිධාන ද කලෙක සිට ඇන්ටාක්ටිකාවේ සාමූහික අයිතිය හා පරිසර සුරැකුම ගැන උද්ඝෝෂණ කළත්, එම තේමාවට කැප වූ සංවිධානය ලෙස 2041 කැපී පෙනෙනවා. www.2041.com

”ඇන්ටාක්ටිකාව අද ලෝකයේ ඉතිරි වී තිබෙන විශාල ප‍්‍රමාණයේ අවසාන ස්වාභාවික ප‍්‍රදේශයයි. එය රැක ගැනීම හා මානව සංහතියට පොදු බිමක් ලෙස පවත්වා ගැනීම අපට තිබෙන අභියෝගයයි,” ස්වෝන් කියනවා.

1985 දෙසැම්බර් – 1986 ජනවාරි මාස වල ස්වෝන් ඇතුළු කණ්ඩායම හිම කතර හරහා දිගු ගමනක යෙදුනේ කිසිදු වාහනයක හෝ සත්වයන්ගේ හො උපකාරයක් නැතිවයි. ටික දිනෙකින් තමන්ගේ ඇස් වලට වර්ණය වෙනස් වූ බවත්, පිටතට නිරාවරණය වූ මුහුණු සම පුපුරා ලේ ගලන්නට වූ බවත් ඔහු කියනවා. 20 වන සියවස මුල දී මේ දුෂ්කර චාරිකාවේ යෙදුණු පුරෝගාමී ධ‍්‍රැව ගවේෂකයන්ට එබන්දක් සිදු වී නැහැ. මේ වෙනසට හේතුව කුමක් ද?

ආපසු මිනිස් වාසයට පැමිණි විගස එයට හේතුව ඔවුන් තේරුම් ගත්තා. එනම් දක්ෂිණ ධ‍්‍රැවයට ඉහල වායුගෝලයේ ඇති වූ ඕසෝන් සිදුරයි. 20 වන සියවසේ දශක ගණනක් පුරා විවිධ කාර්මික රසායන ද්‍රව්‍ය වායු ගෝලයට මුදා හැරීම නිසා ටිකෙන් ටික ක්ෂීන වූ ඕසෝන් වියන හරහා හිරුගේ සිට එන හානිකර පාරජම්බුල කිරණ මිහි මතට වැටීමට පටන් ගත්තා. මේ තත්වය වඩාත් උග‍්‍ර වූයේ දක්ෂිණ ධ‍්‍රැවය ආසන්න ප‍්‍රදේශවලයි.

රොබට් ස්වෝන් ඇතුළු ගවේෂක කණ්ඩායම මේ අළුතින් ක්ෂීන වූ ඕසෝන් වියන හරහා එන හානිකර කිරණ වල බලපෑම සෘජුව අත් වින්දා. ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර සොයා ගනු ලැබුවේ ඊට මාස කිහිපයකට පෙර 1985 මුලදී බි‍්‍රතාන්‍ය ඇන්ටාක්ටික් පර්යේෂක පිරිසක් විසින්.

ඊට තෙවසරකට පසු ස්වෝන් ආක්ටික් හිම කඳු අතරින් උත්තර ධ‍්‍රැවයට පයින් යන විට ඊට වෙනස් ආකාරයේ අභියෝගයකට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් උත්තරාර්ධ ගෝලයේ උණුසුම උච්ච වන්නේ වසරේ මැද කාලයේ. එවිට යම් තරමකට ආක්ටික් අයිස් වාර්ෂිකව දිය වනවා. (යලිත් සීත සෘතුවට ඒවා තැන්පත් වනවා.) එහෙත් පොතේ හැටියට අයිස් දියවීමට නියමිත ජූනි මාසයට වඩා දෙමසක් පමණ කලින් ආක්ටික් අයිස් දියවන බව ඔහුට පෙනී ගියා. මේ නිසා සැළසුම් කර තිබූ ගමන් මාර්ගය විටින් විට වෙනස් කිරීමට ඔහුගේ කණ්ඩායමට සිදු වුණා.

මේ අත්දැකීම් නිසා අද අප ග‍්‍රහලෝක මට්ටමින් මුහුණ පා සිටින පාරිසරික ප‍්‍රශ්න ගැන හොඳ ප‍්‍රායෝගික අවබෝධයක් ඔහු ලබා ගත්තා. එහෙත් ඔහු අන්තවාදී හරිතවේදියකු නොවෙයි.

“අප බිහි වන්නට කලින් අපේ පෘථිවිය වසර බිලියන ගණනක් පැවතුණා. අප වඳ වී ගිය දිනෙකත් මේ ග‍්‍රහලෝකය පවතිනු ඇති. අපට තිබෙන අභියෝගය මිහිතලය මත අපේ වර්ගයාගේ හා අපෙන් අනතුරට පත්ව සිටින අනෙක් ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමයි,” ඔහු කියනවා.

ස්වෝන් පිවිතුරු බල ශක්තිය ගැන ලොව පුරා දේශපාලන හා ව්‍යාපාරික නායකයන් දැනුවත් කිරීමේ අරමුණින් දේශන හා සංචාර කරනවා. “පරිසරයට සහජයෙන් නැඹුරු වූ ටික දෙනෙකු අතර මෑතක් වන තුරු කෙරුණු සංරක්ෂණ ව්‍යායාමය, අප සමාජ හා ආර්ථික ප‍්‍රධාන ප‍්‍රවාහයේ කොටසක් කළ යුතුයි. තිරසාර සංවර්ධනය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගන්නට හැකි වන්නේ හැම දෙනා ම එහි කොටස් කරුවන් වූවොත් පමණයි,” ඔහු කියනවා.

මෙබඳු පුළුල් දැක්මක් වැඩි දෙනෙකුට ලබා දීමේ අරමුණින් 2003 සිට වාර්ෂිකව ඔහු කෙටි කාලයන් සඳහා ඇන්ටාක්ටිකාවට තරුණ පිරිස් හා ව්‍යාපාර කළමණාකරුවන් කැඳවා ගෙන යනවා.

ලොකු කුඩා හැම ව්‍යාපාරිකයා ම එක කෝදුවෙන් මැන සැකයට පාත‍්‍ර කරන, ආර්ථික වර්ධනයට ගන්නා රාජ්‍ය ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා මාර්ග මුළුමනින් ප‍්‍රතික්ෂේප කරන මනෝ ලෝකයක ජීවත් වන අපේ ඇතැම් හරිතවේදීන්ට මෙබඳු තතු දන්නා, මහ පොළොව හරිහැටි හඳුනන පාරිසරික ක‍්‍රියාකාරිකයන් හොඳ ආදර්ශයක්.

Composite satellite image of Antarctica

Wanted: Young Lankans for Antarctica!

News feature published in Ceylon Today newspaper on 4 Nov 2012:

Wanted: Young Lankans for Antarctica!

By Nalaka Gunawardene

Sir Robert Swan, polar explorer

Environmentally inclined young Lankan men and women have a new opportunity to broaden their horizons: by joining an international youth expedition to the Antarctica!

This open invitation came from the polar explorer, environmental leader and motivational speaker Sir Robert Swan, who is in Sri Lanka on a short visit.

“Going to the Antarctica – the last great wilderness of the world, twice the size of Australia – is a life changing experience. We want more young people to experience it, and be transformed about what is happening to our environment, and what we can do about it,” he told a packed audience at the Galle Face Hotel on Saturday morning.

British born Swan, the first person in history to walk to both the North and South poles, has dedicated his life to the preservation of Antarctica by the promotion of recycling, renewable energy and sustainability to combat the effects of climate change.

His non-profit foundation, 2041 (www.2041.com), operates the world’s first educational base (E-Base) in Antarctica. Since 2008, it serves as a resource for teachers and an inspiration to young people around the world.

Swan introduced Imalka de Silva, said to be the first Lankan woman to visit Antarctica, who was part of an international team of youth who spent two and a half weeks at E-Base in early 2010.

“I want more young people to have that amazing experience, so that they too can champion the local environmental initiatives in a global context,” Imalka said.

She will soon be launching a new project that seeks to link the business community and environment conservation. Already, MAS Holdings (which organized the Robert Swan talk), Coca Cola (which sponsored his visit to Sri Lanka) and Millennium IT are interested in supporting competitively chosen young Lankans to visit the Antarctica, she revealed.

“Our concern for the environment needs to be broadened into a business opportunity, and only then will society change its ways,” she said.

Robert Swan, who has been spending time with selected youth groups working on environmental issues in Sri Lanka, added: “Sri Lanka can show regional leadership in motivating young people to act on environment and sustainability.”

Sir Robert Swan giving a talk in Sri Lanka – image by 2041.com

Surviving Chemicals and Making Sense of Them: Tips for Journalists

Despite the recent International Year of Chemistry (2011), chemicals don’t get good press in Sri Lanka. If at all they make it to the news, or become a current affairs topic, that is usually as a bad story: a chemical spill, water contamination or suspected pesticide residues in our food.

All these happen, and we should be concerned. But chemicals are everywhere in our modern lives — reducing drudgery, protecting us from disease and overall improving the quality of life. It’s all a question of balancing risks with benefits. Also discerning what we really need as opposed to what we want.

Focusing on bad news is the media’s typical approach, and demonising science and technology is common in many sections of our print and broadcast media. Such posturing also fits well into the prevailing narrative of the ‘whole world being out to undermine, destabilise and destroy us’. So chemical industries must be part of that ‘conspiracy’, no?

Many of Lanka’s environmental activists don’t allow facts and analysis to get in the way of a good scare story. Uncritical journalists and their editors often peddle their half-baked arguments and conspiracy theories unsupported by any evidence. Very few scientists speak out for science and reason.

So when the Centre for Environmental Justice (CEJ), a moderate advocacy group, invited me to talk to a group of journalists and broadcasters at a media workshop, I welcomed the opportunity.

I based my talk on five scientists each of who took on once-revered chemicals and formidable industry interests, all in the public interest. By showcasing these champions of public science, I wanted to show that there are honest, diligent scientists who engage in evidence-based advocacy. Not all scientists are part of some global conspiracy to poison us…

The five are those who worked tirelessly and left their mark in their discipline, and in how we look at chemical and environmental management:
Rachel Carson (1907 – 1964)
Alice Hamilton (1869 – 1970)
Sherwood Rowland (1927 – 2012)
Theo Colborn (1927 – )
Anil Agarwal (1947 – 2002)

I ended by urging journalists to look for credible and moderate scientists who are led by evidence, not conjecture or prejudice. Amplifying their voices is something we in the media are well positioned to do, but don’t do nearly enough.

Presentation to Media workshop on scientific reporting on chemical issues, organised by Centre for Environmental Justice in Colombo, 25 September 2012:

Follow

Get every new post delivered to your Inbox.

Join 61 other followers