සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

This week, my Ravaya Sunday column (in Sinhala) carries the second part of my long exchange with the late Dr Ray Wijewardene, agro-engineer turned farmer and a leading practitioner in conservation farming in the humid tropics.

Part 1: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

See original English interview published online as: Who Speaks for Small Farmers, Earthworms and Cow Dung?

Ray Wijewardene, photo courtesy his official website

Ray Wijewardene, photo courtesy his official website

අපේ රටේ සමහරුන්ට  ඕනෑ ම විවාදයකදී හෝ කටයුත්තකදී දොස් පැවරීම සඳහා ‘දුෂ්ටයකු’ උවමනායි. සංකීර්ණ අද සමාජයේ සුදු හා කඵ ලෙසින් හැම දෙයක් ම බෙදා වෙන් කළ නොහැකි වුවත් හැම තැනම කුමන්ත‍්‍රණයක් හා ‘බිල්ලෙක්’ දැකීම මෙබඳු ඇත්තන්ගේ මානසිකත්වයයි. තර්කානුකූලව හා නිරීක්‍ෂණ මත පදනම් වී කි‍්‍රයා කරනු වෙනුවට ආවේගශීලි වීම අපේ පරිසරවේදීන් බහුතරයකට තිබෙන ව්‍යාධියක්.

වරක් ඔවුන් සමහරෙක් රේ විජේවර්ධන නම් අදීන චින්තකයාට ප‍්‍රසිද්ධියේ ‘හූ’ කියා අවමන් කරන්නට තැත් කළා. එය 1992දී පමණ සිදු වූ බව මගේ මතකයයි. කොළඹ BMICHහි පැවති ජාතික පාරිසරික ප‍්‍රදර්ශනයකදී. එය සංවිධානය කළ පරිසර අමාත්‍යාංශය මෙරට පස සුරැකීමට SALT වගා ක‍්‍රමය හඳුන්වා දීම නිමිති කර ගෙන රේ විජේවර්ධනට යම් පිළිගැනීමක් ලබා දුන්නා. එය පිරිනැමූ අවස්ථාවේ තමයි අපේ අන්ත හරිතවේදියෝ එයට විරෝධය දැක් වූයේ.

ඔවුන්ට ලොකු ප‍්‍රශ්නයක් වුණේ රේ දුම්කොළ සමාගම සමග එක් වී SALT ක‍්‍රමය දුම්කොළ ගොවීන්ට හඳුන්වා දීමයි. තමන්ට හූ කියු පිරිසට සිනාමුසුව ආචාර කළ රේ, මුවින් නොබැන යන්න ගියා. එහෙත් තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ.

1995 අගදී මා ඔහු සමග කළ දීර්ඝ සාකච්ජාවේදී මේ ගැනත් විමසුවා. අපේ සංවාදයේ දෙවන කොටසෙන් එයත්, රසායනික පොහොර හා වෙනත් කෘෂිරසායනික ගොවිතැනේදී යොදා ගැනීම හා ‘ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ’ ගැනත් කථාබහ කරනවා.

නාලක: ඇතැම් පරිසරවේදීන් මෙන් ඔබත් ගොවිබිමට බාහිරින් රසායනික එකතු කිරීමට මුඵමනින් විරුද්ධ ද?

රේ: මගේ එබඳු මූලධර්මවාදී විරෝධයක් නැහැ! අවශ්‍ය විටෙක අවශ්‍ය පමණට යම් රසායනික පොහොර හා වෙනත් ගොවි උපකාරක ද්‍රව්‍ය භාවිතයේ වරදක් මා දකින්නේ නැහැ. ඉතා වැදගත් කරුණ නම් පසේ සාරය පවත්වා ගැනීමයි.

අප දිගුකාලීනව සිතිය යුතුයි. ශී‍්‍ර ලංකාවේ වටිනා ම සොබා සම්පතක් නම් පසේ සරුබවයි (soil fertility). මෙරට වවා, අස්වනු නෙළා පිටරට යවන බෝග ගැන සිතන්න. (ආහාර බෝග පමණක් නොව වැවිලි බෝග ද එයට ඇතුළත්.) එම අස්වනු හරහා අපේ පොළවේ සරුබව රටින් පිට යනවා. මෙසේ අහිමිවන සරුබව යළිත් අපේ පසට ලබා දිය යුතුයි. නැතිනම් ලක් පොළොව කලකදී මුඩු, නිසරු බිමක් වනවා.

ඉන්දියාවේ මෙන් අපට අවශ්‍ය රසායනික පොහොර රට තුළ ම නිපදවා ගන්නට ඇති තරම් සොබාවික පොහොර නිධි සොයා ගෙන නැහැ. මේ මදිපාඩුව පිරිමසා ගන්නට අපට යම් තරමක රසායනික පොහොර පිටරටින් ගෙනෙන්නට සිදු වනවා.

මා කවදත් අවධාරණය කළේ එසේ ගෙනෙන පොහොර ඉතා සකසුරුවම් ලෙසින්, පසේ සාරය පවත්වා ගන්නා සොබාවික ක‍්‍රම සමග සංයෝජනය කළ යුතු බවයි. කොළ පොහොර, ගොම පොහොර, ගැඩිවිලූන්ගෙන් වැඩ කරවා ගැනීම ආදී සාම්ප‍්‍රදායික කි‍්‍රයා ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

ගොවිතැන නවීකරණය කරමින්, එයට කෘෂිකර්මයයයි ලොකු නමක් ද දෙන අපේ විශෙෂඥයෝ මෙබඳු සරල සොබාවික කි‍්‍රයා ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ නේද?

අවාසනාවකට අපේ සරසවි හා අනෙකුත් පර්යේෂණායතන ගොවිතැනේදී සොබාදහමින් වැඩ කරවා ගැනීම ගැන උනන්දු වන්නේ නැහැ. දශක ගණනක් පුරා අපේ ගොවි (කෘෂි) ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ මේ පණ්ඩිතයෝ. රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ප‍්‍රවර්ධනය කරන්න නම් බහුජාතික විදේශීය සමාගම් සිටිනවා. එහෙත් ගොම පොහොර ප‍්‍රවර්ධනය කරන්නේ කවුද? අහිංසක ගැඩිවිලූන්ගේ ගුණ ගයන්නේ කවුද?

ඝර්ම කලාපීය ආසියාවේ ගොවිතැන් කරන අපට ගැඩිවිලූන් හා ගොම ඉතා වැදගත් සම්පත්. ඉන්දියානුවන් මේ බව තේරුම් අරන්. ඒත් අපේ විශෙෂඥ මහත්වරු හා නෝනාවරු එහි වටිනාකමක් දකින්නේ නැහැ. අපේ කෘෂි විශෙෂඥයන් බටහිර රටවලින් උසස් අධ්‍යාපනය ලබන තාක් කල් ඔවුන් පුහුණු කැරෙන්නේ ඒ රටවල පවතින තත්ත්වයන්ට ගොවිතැන් කිරීමට මිස අපේ අවශ්‍යතා හඳුනාගෙන ප‍්‍රශස්ත ලෙස මෙරට ගොවිතැන දියුණු කරන්නට නොවෙයි.

මෙය බරපතල ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්වත් ද?

නැහැ! සමසීතෝෂ්ණ රටවල පවත්නා දේශගුණික හා පාංශු තත්ත්වයන් වෙනස්. බටහිර ගොවිබිම් වගා කරන්නේ ඒ තත්ත්වයන්ට ගැලපෙන්නයි. එය ඔවුන්ගේ අවශ්‍යතාවය හා අභිමතය. ඒවා උගන්නා අපේ ඇත්තෝ තම රටවලට සුදුසු හා ගැලපෙන ලෙස එම දැනුම අදාල කර ගත යුතුයි. එසේ නොවීම තමා ලොකු ම අභාග්‍යය.

එසේ නොවී අන්ධානුකරණය කැරෙන තාක් කල් ගොම පොහොරට, ගැඩිවිලූන්ට අපේ ගොවිතැනේ හොඳ භූමිකාවක් රඟපාන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉඳහිට විවෘත මනසක් ඇති බටහිර විද්වතෙක් පැමිණ අපේ සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රම ගැන පැහැදී ඒවායේ ගුණ ගයන විට තමයි අපේ විශේෂඥයන්ටත් ඒවා පෙනී යන්නේ!

SALT ක‍්‍රමය ශී‍්‍ර ලංකාවේ භාවිතා කළ මුල් ම පිරිස වූයේ කඳුකර පළාත්වල දුම්කොළ වවන ගොවීන්. දුම්කොළ සමාගම හා ගොවීන් සමග වැඩ කිරීම ගැන අපේ සමහර පරිසරවේදීන් ඔබව දැඩි සේ විවේචනය කළා. ඔබේ ප‍්‍රතිචාරය?

මා දුම්බීම ගැන නොවෙයි එතැනදී අවධානය යොමු කළේ, දුම්කොළ වගා කරන සුඵ ගොවීන් ගැන. ඒ අයත් අපේ මිනිස්සු! ඒ අයත් ගොවීන්. දුම්කොළ වගාව යනු නීත්‍යානුකූල බෝගයක් වැවීමක්. මට  ඕනෑ වූයේ දුම්කොළ වවන සුඵ ගොවීන්ගේ ජීවන මට්ටම නගා සිටු වන අතර කඳුකරයේ පස සෝදාපාලූව ද අඩු කරන්න. දුම්කොළ වවන්නේ ඇයි? ගොවීන්ට එයට හොඳ මිළක් ලැබෙන නිසා. එයට සමාන මිළක් හා ගොවි උපදෙස් ලැබෙනවා නම් එම බෝගය වෙනුවට වෙනත් බෝග වවන්නට ගොවීන් යොමු වේවි. මෙයයි වෙළඳපොළ සමාජයේ යථාර්ථය.

මෙරට දුම්කොළ සමාගම හා ගොවීන් සමග පමණක් නොවෙයි, තේ වැවිලි සමාගම් සමගත් මා වසර ගණනාවක සිට සමීපව වැඩ කරනවා. SALT වගා ක‍්‍රමය අපේ කඳුකරයේ හඳුන්වා දෙන්න.

දුම්කොළ මෙන් ම තේ වගාව නිසාත් කඳුකරයේ මහා පරිමානයේ පස සෝදායාමක් සිදු වූ බව මා දැන සිටියා. මෙයට හේතුව බෝගයක් වගා කරන්නට පෙර එම බිමෙහි සියඵම ගස්, වැල්, පඳුරු ඉවත් කළ යුතුය යන වැරදි විශ්වාසය. සමසීතෝෂ්ණ රටවලට ගැලපෙන මේ ප‍්‍රවේශය අපේ වැනි ඝර්ම කලාපීය රටවලට ගෙඩි පිටින් ආදේශ කිරීමේ බරපතල විපාක අප දුටුවා. කල්ගත වී හෝ මේ වරදින් කඳුකර බෝග වගාව මුදවා ගන්නයි මට  ඕනෑ වුණේ.

එබඳු වගාවන්ට හැකි තාක් කාබනික (ජෛවීය) ද්‍රව්‍ය එකතු කිරීම හරහා පස සෝදා පාඵව අවම වන අතර සාරවත් බව ද වැඩි වනවා.  SALT ක‍්‍රමය මේ වාසි ගෙන දෙනවා. එය ප‍්‍රවර්ධයේදී එයට විවෘත  ඕනෑ ම කෙනකු සමග වැඩ කිරීමට මා සූදානම්. තේ හා දුම්කොළ සමාගම් සමග මා වැඩ කරන්නේ ඔවුන්ට හොඳ කෘෂි ව්‍යාප්ති සේවා තිබෙන නිසා ගොවීන්ට පණිවුඩය ගෙන යාම පහසු නිසයි.

අඵත් තොරතුරු හා ක‍්‍රමවේද හඳුන්වාදීම ඔවුන්ගෙ කළමණාකරුවන් මෙන් ම අන් කාර්ය මණ්ඩලය SALT ක‍්‍රමයේ වටිනාකම ඉක්මනින් හඳුනා ගත්තා. දඩයම්පොළ ආදර්ශ SALT වගාවෙන් ඇරැඹී එය ක‍්‍රමයෙන් කඳුකරයේ අන් ප‍්‍රදේශවලටත් ව්‍යාප්ත කොට තිබෙනවා. පරිසරවේදීන්ට මා කියන්නේ ඒ ප‍්‍රදේශවලට ගොස් එහි ගුණාගුණ දැක බලා ගන්න කියායි!

වාණිජ මට්ටමින් වඩාත් සංවිධානගත වූ බෝග වගාවේදී මෙන් ම තමන්ගේ යැපීම සහා සුඵ පරිමාණයෙන් ධාන්‍ය හා එළවඵ වවන හේන් ගොවීන්ටත් SALT යොදා ගත හැකි ද?

වැසි දියෙන් ගොවිතැන් කරන, විවිධාකාරයෙන් බෝග වවන සුඵ ගොවීන් දැන් ටිකෙන් ටික SALT ක‍්‍රමයට උනන්දු වනු පෙනෙනවා. මෙය හිතකර ප‍්‍රවණතාවක්. බෑවුම් බිමක වූවත්, පැතලි බිමක වුවත් ගොවිතැන් කරන විට පසේ සරුබව රැක ගන්නට උදවු වන සංකල්පයක් නම් කිසි විටෙක පස නිරාවරණය වන්නට නොදීම. අපේ වැනි දැඩි වැසි වැටෙන රටවල පස නිරාවරණය වුණොත් ඉක්මනින් මතුපිට සාරවත් තුනී තට්ටුව සෝදා ගෙන යනවා.

ආසියාවේ හා අපි‍්‍රකාවේ දියුණු වන රටවල් රැසක දැන් SALT ක‍්‍රමය පිළිගෙන භාවිත කරනවා. එහෙත් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තවමත් මෙහි අගයක් පෙනෙන්නේ නැහැ. මේ තරම් ප‍්‍රායෝගික අත්දැකීම් පිලිපීනය, ඉන්දියාව, නයිජීරියාව වැනි රටවලින් මා ලබා තිබියදීත් අපේ සමහර කෘෂි පණ්ඩිතයෝ තවමත් SALT ගැන වැඩිපුර අධ්‍යයනය කළ යුතු යයි කියනවා!

SALT ක‍්‍රමයේ වාසි මේ අයටත් තේරෙනවා. එහෙත් පවතින ක‍්‍රමයෙන් පොඩියක්වත් පිට පනින්නට ඔවුන්ට ලොකු චකිතයක්, නොකැමැත්තක් තිබෙනවා. මේ රටේ කෘෂි ප‍්‍රතිපත්ති හදන හා කි‍්‍රයාත්මක කරන විශෙෂඥයන් හා බලධාරීන් තවමත් සිටින්නේ සමශීතෝෂ්ණ රටවලට ගැලපෙන එහෙත් අපට නොගැලපෙන විවෘත වගාබිම් (open field) සංකල්පයේ එල්බ ගෙනයි. විදේශ අධ්‍යාපනය හරහා මේ අයගේ විචාරශීලි චින්තනය තීව‍්‍ර වනවා වෙනුවට මොට වී තිබෙනවා!

Ray Wijewardene talking about agricultural machinery to staff at a farm in Anuradhapura district, Sri Lanka.

Ray Wijewardene talking about agricultural machinery to staff at a farm in Anuradhapura district, Sri Lanka.

මේ අසා සිටින මට සිතෙන්නේ අපේ රටේ තිරසාර ගොවිතැන දියුණු කිරීමට තිබෙන ලොකු ම බාධකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බවයි. ඔබ එකඟ වනවා ද?

මේ දක්වා (1995 වනතුරු) මගේ නිරීක්ෂණයත් එයයි! යල්පැන ගිය බටහිර ආකෘතීන් මේ තීරකයෝ කරපින්නා ගෙන සිටිනවා. ඔවුන් උගත් බටහිර රටවලත් දැන් මේ මතවාදයන් ප‍්‍රශ්න කොට ඉවත දමන්නට පටන් අරන්.

අනෙක් ලොකු හිදැස (gap) තමයි ගොවිතැන් ගැන පර්යේෂණ කරන කිසිවකු එය කෙලින් ම ගොවීන් වෙත ගෙන යාමට මැදිහත් නොවීම. එය කෘෂි ව්‍යාප්ති නිලධාරීන්ට පවරනවා. මේ නිසා ගොවීන් සමග නිතිපතා සෘජු සන්නිවේදනයක් කෘෂි පර්යේෂකයන්ට ලැබෙන්නේ නැහැ. ප‍්‍රායෝගිකව ගොවිබිමේ මතුවන ගැටඵ හා අභියෝග ගැන, සුඵ පරිමාණ ගොවීන් හා ගෙවිලියන් තරම් හොදින් කිසිදු පර්යේෂකයකු හෝ නිලධාරියෙකු හෝ දන්නේ නැහැ. එහෙත් ඔවුන් ඇති තරම් ගොවීන්ට සවන් දෙන්නේ නැහැ. ගොවීන්ට උපදෙස් දෙනවා පමණයි!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිගු කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සාමීචියේදී වරක් මට මෙසේ කීවා. ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර 50ක් තිස්සේ කළ කී දේ සියල්ල අසාර්ථකයි. ඒ නිසා තමයි අපේ සුඵ ගොවීන්ගෙන් සියයට 90ක් තවමත් දුගී දුප්පත් බවින් මිරිකී සමෘද්ධි සහනාධාර ලබන්නේ!’

තිත්ත ඇත්ත මෙයයි! එය නිලධාරීන් ප‍්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ.

කෙටිකාලීන බෝගවලට වඩා ඔබ නිර්දේශ කරන්නේ අපේ රටේ වඩාත් බහුවාර්ෂික, බහු ප‍්‍රයෝජන ඇති ගස් වැවිය යුතු බවයි. මේ ඇයි?

ඝර්ම කලාපීය රටවල දේශගුණික තත්ත්‍වයන් වඩා හිතකර වන්නේ මාස දෙක තුනකින් අස්වනු නිපදවන කෙටි කාලීන බෝගවලට වඩා වසර ගණනක් තිස්සේ වැවෙන, බොහෝ වතාවක් ඵල දරණ ගස්වලටයි. අපට බැලූ බැල්මට නොතේරුණත්, හිරු එළිය අපේ ගොවිතැන්වලදී සීමාකාරී සාධකයක්: ඝර්ම කලාපයේ අපට දිනකට පැය 11-12ක් පමණ හිරු එළිය ලැබෙනවා. නමුත් වළාකුල් නිසා වසරේ දින රැසක අපේ හිරු එළිය සීමා වනවා. ඉක්මනින් වැඞී, ඵල දැරිය යුතු කෙටිකාලීන වී ආදී බෝගවලට මෙය ප‍්‍රශස්ත තත්ත්‍වයක් නොවෙයි. නමුත් වසර පුරා හිරු එළිය උකහා ගනිමින් වැඩිය හැකි ගස්වලට එය කමක් නැහැ.

අපේ රටේ හිරු එළිය පතනය වීම, තිබෙන පස්වල ස්වභාවය හා වර්ෂාපතන රටා ආදිය සළකා බලන විට අපට වඩාත් ම ගැලපෙන්නේ බහුවාර්ෂික ගස්වලින් ආහාර නිපදවා ගැනීමයි. මෙය සමශීතෝෂ්ණ රටවල හරියට කරන්නට බැරි ඔවුන්ට සීත කාලයට බොහෝ අඩුවෙන් හිරුඑළිය ලැබෙන නිසා.

ඓතිහාසිකව ඝර්ම කලාපීය රටවල ආහාරය වැඩිපුර සපයා ගනු ලැබුවේ ගස්වලින් නෙළා ගන්නා ගඩාගෙඩිවලින්. පුරාවිද්‍යා සාක්‍ෂි වලින් අපට පෙනී යනවා අපේ පැරැන්නෝ ගස් ආහාර බෝග බහුලව ආහාරයට ගත් වග. දෙවන ලෝක යුද්ධ කාලේ පිටරටින් සහල් ගෙන ඒම නතර වූ විටත් අපි කොස්, දෙල්, පොල්, විවිධ අල වර්ග ආදිය යහමින් ආහාරයට ගත්තා. මේවා අපේ ගොවිතැනට වඩා උචිත වනවා පමණක් නොවෙයි සහල්වලට වඩා පෝෂණය අතිනුත් ගුණදායකයි!

අප අද ශී‍්‍ර ලංකාවේ වැඩිපුර කරන ගොවිතැන් මේ රටට උචිත ද යන්න සිතා බැලිය යුතුයි. අප දැන් වඩ වඩාත් කෙටිකාලීන බෝග වවනවා. ඒවායේ කඩිනම් ප‍්‍රභාසංශ්ලේෂණය (හිරු එළියෙන් ඵලදාව නිපදවීම) සිදු වන්නට හිරු එළිය මදි නිසා හැකි තරම් රසායනික පොහොර යොදනවා.

වී යනු සමශීතෝෂ්ණ දේශගුණය ඇති රටක (චීනයේ) උපත ලබා පරිනාමය වී පසු කලෙක මෙරටට පැමිණි විදේශික ශාකයක්! අප වී වවන්නේත් ඉතා අධික ජල ප‍්‍රමාණයක් යොදා ගෙන, අරපරෙස්සමෙන් තොරවයි.

ඉතිරි කොටස ඉදිරි කොලමකින් බලාපොරොත්තු වන්න.

රටේ මෙපමණ දැවෙන ප‍්‍රශ්න තිබියදී මා මේ පැරණි කථාබහක් යළි මතු කරන්නේ ඇයි දැයි පාඨකයන් දෙතුන් දෙනෙක් මගෙන් විමසුවා. මේ ආගිය කථා නොවෙයි. අපට වැරදුනු තැනන් ගැන අපේ රටේ විසූ ඉතා සූක්‍ෂම මොළයක් විසින් කරන ලද ක‍්‍රමීය මට්ටමේ විග‍්‍රහයන්. මෙවන් නිරවුල් අවබෝධයක් නැති නිසා අප සමාජයක් ලෙස රැය වැටුණු වලේ මහා දවාලෙත් යළි යළිත් වැටීම වළක්වා ගැනීම මගේ අරමුණයි.

About these ads

2 Responses to “සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ”

  1. Nandasiri Wanninayaka Says:

    “ඓතිහාසිකව ඝර්ම කලාපීය රටවල ආහාරය වැඩිපුර සපයා ගනු ලැබුවේ ගස්වලින් නෙළා ගන්නා ගඩාගෙඩිවලින්. පුරාවිද්‍යා සාක්‍ෂි වලින් අපට පෙනී යනවා අපේ පැරැන්නෝ ගස් ආහාර බෝග බහුලව ආහාරයට ගත් වග. දෙවන ලෝක යුද්ධ කාලේ පිටරටින් සහල් ගෙන ඒම නතර වූ විටත් අපි කොස්, දෙල්, පොල්, විවිධ අල වර්ග ආදිය යහමින් ආහාරයට ගත්තා. මේවා අපේ ගොවිතැනට වඩා උචිත වනවා පමණක් නොවෙයි සහල්වලට වඩා පෝෂණය අතිනුත් ගුණදායකයි!” – මේ කතාව නම් පිළිගන්නම වෙනවා. කොහොමටත් බත්වල එතරම් ගුණයක් නැති වුණත් පාරම්පරික ආහාරයක් වී තිබෙන නිසා නොකා බැරි මට්ටමට පුරුදුවෙලා. උඩරට පළාතේ, තෙත් කලාපයේ කොච්චර නම් කොස් දෙල් නරක් වෙලා යනවද කන්න කෙනෙක් නැතුව.

  2. RaviP Says:

    /අපට බැලූ බැල්මට නොතේරුණත්, හිරු එළිය අපේ ගොවිතැන්වලදී සීමාකාරී සාධකයක්: ඝර්ම කලාපයේ අපට දිනකට පැය 11-12ක් පමණ හිරු එළිය ලැබෙනවා. නමුත් වළාකුල් නිසා වසරේ දින රැසක අපේ හිරු එළිය සීමා වනවා. ඉක්මනින් වැඞී, ඵල දැරිය යුතු කෙටිකාලීන වී ආදී බෝගවලට මෙය ප‍්‍රශස්ත තත්ත්‍වයක් නොවෙයි. /
    මා ඝර්ම කලාපීය සහ නිවර්තන කලාපීය පරිසර පද්ධති අතර වෙනස ගැන ආසියාතික විද්වතුන් කිහිපදෙනෙතුගේම අදහස් කියවා ඇතත් මෙම අදහස හමුවූයේ මුල් වරට. කෙටි කාලීන බෝග මත පදනම් වූ වියලි කලාපයේ කෘෂි ශිෂ්ඨාචාරය නැවත පරිහානියට ලක්වේවිද? රේ විජේවර්ධන වැනි වියතකු නැවත කවදා බිහිවේවිදැයි සිතා ගැනීමට නොහැකියි. නමුත් එවැනි 100කට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ දැක්ම අවබෝධ කරගත හැකි එක් ජාතික නායකත්වයක් බිහිවීමයි කියා සිතනවා.
    වී සහ බත් ගැන; අපි අතීත සශ්‍රීකත්වය ගැන කොතරම් පුරසාරම් කීවත් එම මූලාශ්‍රවල යටින් කියෙවෙන අරුතක් වන්නේ බත් යනු සුඛෝපබෝගී ආහාරයක් බවත්, තුන්වේලට බත් කෑම ආඩම්බරයට කරුණක් බවත් නේද? අද අපි එම සුඛෝපභෝගී බවින් මත්වෙලා නේද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 87 other followers

%d bloggers like this: