සිවුමංසල කොලූගැටයා #121: රාවය නවීකරණයේ ගෝලීය යථාර්ථය

Ravaya, Sri Lanka’s only newspaper owned by its journalists and editors, has embarked on a process to modernise itself — and sparked off a debate on how new investments should be raised. Some loyal readers are concerned what might happen to the newspaper’s editorial independence when private capital comes in.

In this week’s Ravaya column, I place this debate in the context of economic survival challenges of the newspaper industry worldwide. I take the experience of the Guardian (UK) and the New York Times to explore what changes in strategy and funding they have adopted, and with what degree of success.

The biggest challenge, I argue, is that the newspaper industry must find how to engage the web as a central part of its content creation, dissemination and archiving.

USS Print

රාවය පුවත්පතේ අන්තර්ගතය මෙන්ම බාහිර ආකෘතිය ද වඩාත් ශක්තිමත් තත්ත්‍වයකට පත් කිරීමේ අවශ්‍යතාවය ආරම්භක කතුවරයා මෑතදී මැනවින් පහදා දුන්නා. එහි අවශ්‍යතාවය බහුතරයක් පාඨකයන් පිළිගන්නා නමුත් එය කුමන ක‍්‍රමවේදයක් හරහා ඉටු කර ගත යුතු ද යන්න ගැන සංවාදයක් ඇති වී තිබෙනවා.

සංවාදශීලී පුවත්පතේ අනාගතය ගැන මෙසේ පුඵල් සංවාදයක් ඇති වීම හොඳ දෙයක්. එහෙත් හැම දෙනාගේ ම අංග සම්පූර්ණ (perfect) දැක්ම සාක්ෂාත් කර ගන්නවා ද නැතහොත් ප‍්‍රායෝගික හා උපයෝගික (pragmatic) මට්ටමින් පැවැත්ම තහවුරු කරගනිමින් කෙමෙන් පරිනාමය වනවා ද යන්න රාවය හිමිකරුවන් හා කතුවරුන්ට තීරණය කරන්නට සිදු වනවා.

නව මාධ්‍ය භාවිතයේ මා වසර ගණනක සිට නියැලී සිටියත්, සාම්ප‍්‍රදායික මාධ්‍ය වන පුවත්පත්, සඟරා, රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා ද ලක් සමාජයට අවශ්‍ය යැයි කියන ස්ථාවරයේ මා සිටිනවා. ඇතැම් බ්ලොග් රචකයන් මෙන් පුවත්පත්වලට ගැරහීමට හෝ පත්තර කලාවේ අවමගුල ගැන අනාවැකි කීමට හෝ මා කැමති නැහැ.

එහෙත් සන්නිවේදන තාක්‍ෂණයේ හා ජන සමාජයේ විපර්යාසයන් සමඟ පුවත්පත් හා සෙසු ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ද පරිනාමය විය යුතුයි. එසේ නොවී එක තැන පල්වන මාධ්‍යවලට තමන්ගේ පාඨකයන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩු වී ගොස් වෙළඳපොල තුළ තව දුරටත් රැදී සිටීමට නොහැකි තත්ත්‍වයක් උදා වනවා.

2011 නොවැම්බර් මාසය පුරා කොලම් හතරක් ලියමින් පුවත්පතේ අනාගතේ යන තේමාව මා විවිධ කෝණවලින් විග‍්‍රහ කළා. ජාත්‍යන්තරව මතු වන නව සන්නිවේදන ප‍්‍රවණතා මෙරට දැනෙන්නට පටන් ගන්නේ තරමක් කල් ගත වී බවත්, එම කාලාන්තරයෙන් ප‍්‍රයෝජන ගනිමින් ඉස්මතුව එන හා නොවැළැක්විය හැකි නවීකරණ අභියෝගවලට මුහුණදීමට අපේ මාධ්‍ය පෙළ ගැසිය යුතු බවත් මා අවධාරණය කළා.

6 Nov 2011: සිවුමංසල කොලූගැටයා #39: පුවත්පතේ අනාගතේ ඩයිනසෝර් මාවත ද?
13 Nov 2011: සිවුමංසල කොලූගැටයා #40: පුවත්පතේ අනාගතේ 2 – ළඟ ළඟ එන මහා මාරුතය
20 Nov 2011: සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?
27 Nov 2011: සිවුමංසල කොලූගැටයා #42: සයිබර් අවකාශයේ කරනම් ගසන්නට පෙර…

පුවත්පත් යනු ලෝකයේ හැම තැනක ම නිෂ්පාදන වියදමට වඩා සැළකිය යුතු අඩු මිළකට අලෙවි කැරෙන අමුතු ආකාරයේ භාණ්ඩයක්. ඓතිහාසිකව පුවත්පත් කර්මාන්තයේ මූල්‍යමය ආකෘතිය වූයේ පිරිවැයෙන් වැඩි කොටසක් වෙළඳ දැන්වීම් හරහා ලබා ගන්නා අතර සාපේක්‍ෂව කුඩා ප‍්‍රතිශතයක් පමණක් පිටපත් අලෙවියන් ලබා ගැනීමයි.

පිටපත් අලෙවිය දිනපතා හෝ සතිපතා පත්තර ලෑලිවලින් මෙන් ම ග‍්‍රාහකත්වය කල් තබා අලෙවියෙන් ද සිදු කළ හැකියි. නමුත් මේ ආකෘතිය සාර්ථක වන්නේ අවශ්‍ය තරම් දැන්වීම් ලැබේ නම් පමණයි. ලෝකයේ ආර්ථික වශයෙන් වඩාත් සාර්ථක පුවත්පත් ආයතන, මහා පරිමාන දැන්වීම්කරුවන් මෙන් ම ලූහුඩු දැන්වීම් ද මනා ලෙස තමන් වෙතට ඇද ගන්නට සමත්ව සිටිනවා.

එහෙත් පසුගිය දශකය තුළ දැන්වීම්කරුවන් වඩ වඩාත් ඉන්ටර්නෙට් දැන්වීම්වලට යොමු වීම නිසා පුවත්පත්වල අත්දුටු දැන්වීම් ආකෘතිය ඉරිතලා ගිහින්. බටහිර රටවල බහුතරයක් පුවත්පත් ආයතන අද බරපතල ආර්ථික ප‍්‍රශ්නයකට මුහුණ දී ඇත්තේ ඉන්ටර්නෙට් අභියෝගය ජය ගන්නේ කෙසේ ද යන්න තවමත් හරිහැටි පැහැදිලි නොමැති වීම නිසායි.

මේ ගැන ෙසෙද්ධාන්තිකව විග‍්‍රහ කරනවා වෙනුවට සැබෑ පුවත්පත් උදාහරණයට ගනිමින් කථා කළ හැකියි. මා බටහිර උදාහරණ ගන්නේ නවීකරණ අභියෝගවලට මුලින් ම හා ප‍්‍රබලවම මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇති නිසයි.

The Guardian now comes out in many formats, many media

The Guardian now comes out in many formats, many media

ආර්ථික මට්ටම් අතින් බෙහෙවින් වෙනස් වූවත් මූලික අරමුණු හා ආකෘතිය අතින් රාවයට යම් තරමක සමාන්තර බවත් ඇති බි‍්‍රතාන්‍ය පුවත්පතක් වන්නේ ගාඩියන් The Guardian පුවත්පතයි. 1821දී මැන්චෙස්ටර් ගාඩියන් ලෙසින් ඇරඹුණු මේ පුවත්පත, මුල පටන් ම ලිබරල් චින්තනයට හා සංවාදයට මුල් තැන දෙන ප‍්‍රකාශනයක් වුණා.

එහි ඉතිහාසයේ වඩාත් ප‍්‍රකට කතුවරයා වූ C P ස්කොට් 1872 සිට 1929 දක්වා වසර 57ක් එම තනතුර දැරූ අතර 1907දී එහි හිමිකරුවන්ගෙන් අයිතිය මිළදී ගත්තා. ස්කොට් හට අවශ්‍ය වූයේ අන්තර්ගතය ස්වාධීන වූත්, ආර්ථික වශයෙන් ස්ථාවර වූත් පදනමකින් පුවත්පත පවත්වා ගෙන යන්නටයි. මේ සඳහා 1936දී එහි හිමිකාරිත්වය ස්කොට් භාරකාර අරමුදල (The Scott Trust) නම් ලාබ නොලබන පදනමකට පවරනු ලැබුවා. 2008දී මේ අරමුදල සීමාසිහත සමාගමක් බවට පත් කරනු ලැබුවත්, මුල් අරමුණු දිගට ම පවත්වා ගෙන යන බවට නව භාරකරුවන් කර්තෘ මණ්ඩලයට ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥා දී තිබෙනවා.

ස්කොට් අරමුදල (දැන් සීමාසහිත සමාගම) කරන්නේ ගාඩියන් පුවත්පත, එම සමාගමේ ඉරිදා ප‍්‍රකාශනය වන Observer පුවත්පත ඇතුඵ එම ආයතනය පළ කරන ප‍්‍රකාශන ගොනුවෙහි මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීමයි. ප‍්‍රකාශනවල කතුවරුන් පත් කිරීම හැරුණු කොට වෙනත් කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්ති හෝ එදිනෙදා පුවත් පිළිබඳ කිසිදු තීරණයකට හිමිකාර භාරය/සමාගම මැදිහත් වන්නේ නැහැ. එය ප‍්‍රකාශනවල ස්වාධීනත්වය සඳහා ස්කොට් පවුල විසින් හඳුන්වා දෙන ලද ගෞරවනීය සම්ප‍්‍රදායක්.

ගාඩියන් පුවත්පත බහුවිධ මතිමතාන්තර සඳහා ඉඩ ලබා දෙන, පාලක හා අධිපති පන්තියෙන් දුරස්ථ බව පවත්වා ගන්නා ප‍්‍රකාශනයක්. වෙළඳපොල මුල් තැනට ඒමට වඩා ඉහළින් සිය ස්වාධීනත්වය රැක ගැනීම සළකන ආකාරයේ පුවත්පතක්. කලක් වාමාංශීය නැඹුරුවක් ඇති බවට සළකනු ලැබූවත්, එය වෙළඳපොල ආර්ථිකය පිළි ගන්නා සහ එම රාමුව තුළ වඩාත් සංවේදී හා සමානාත්මතාව අගයන (egalitarian) සමාජයක් බි‍්‍රතාන්‍යයේ බිහි කිරීමට පෙනී සිටින ප‍්‍රකාශනයක්.

බි‍්‍රතාන්‍යයේ දිනපතා පුවත්පත් අතර ගාඩියන් පුවත්පතට සුවිශාල අලෙවියක් නැහැ. දිනපතා පුවත්පත් 11න් ගාඩියන්ට ඇත්තේ 10 වැනි තැනයි. 2012 දෙසැම්බරයේ එහි සාමාන්‍ය දෛනික අලෙවිය පිටපත් දෙලක්ෂයක් පමණ වූවා. (දක්‍ෂිණාංශික නැඹුරුවක් ඇති Daily Telegraph පත‍්‍රය පිටපත් ලක්‍ෂ පහ මාරක් ද, ප‍්‍රභූ පන්තිය නියෝජනය කරන The Times පත‍්‍රය පිටපත් ලක්‍ෂ හතරක් පමණ ද අලෙවි වනවා.)

එහෙත් ගාඩියන් වෙබ් අඩවිය පුවත්පත් කලාවේ සාරධර්ම රැක ගනිමින් විචිත‍්‍ර වූත්, විවිධාකාර වූත් අන්තර්ගතයන් ලබා දෙන බැවින් එය බි‍්‍රතාන්‍ය පුවත්පත් වෙබ් අඩවි අතර වෙබ් පාඨකයන් (visitors) පැමිණෙන සංඛ්‍යාව අතින් දෙවැනි තැන ගන්නවා.

ගාඩියන් පුවත්පත දැන් කලෙක පටන් ම ලාබයක් නොව පාඩු ලබන ප‍්‍රකාශනයක්. Observer පත‍්‍රය ද කලෙකින් නිෂ්පාදන වියදම් ආවරණය වන තරම් ආදායමක් ලබා නැහැ. ස්කොට් භාරයේ පවුම් මිලියන් 190ක් පමණ අරමුදල් තිබෙන නිසා එදිනෙදා පඩි ගෙවීම් හා මුද්‍රණ වියදම් පිරිමසා ගත හැකියි. එමෙන් ම හොදින් විකිණෙන හා ලාබ ලබන විශෙෂිත සඟරා (උදා: මෝටර් රථ පිළිබඳ Auto Trader) කිහිපයක් ඔවුන්ට තිබෙනවා. ඒවායේ ලාබයෙන් ප‍්‍රධාන පුවත්පත් දෙකේ වියදමට අභ්‍යන්තර සහනාධාරයක් (cross-subsidy) ලැබෙනවා.

එසේ වුවත් වඩාත් තිරසාර මූල්‍යමය පදනමක් ඉදිරි වසර පහ තුළ උදා කර ගැනීමට වසර දෙසීයකට ආසන්න ඉතිහාසයක් ඇති ගාඩියන් පත‍්‍රයට අවශ්‍ය වී තිබෙනවා. පරම්පරා ගණනක් පුවත්පතේ කීර්තිනාමය තහවුරු කළ උසස් මට්ටමේ පුවත් වාර්තාකරණය හා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය කිසි ලෙසකින් හෝ දියාරු නොකර, නවීකරණය හා තරුණ ග‍්‍රාහකයන්ට වඩාත් සමීපවීමේ ඉලක්ක ද්විත්වය හඹා යන්නට කතුවරුන් හා කළමනාකරුවන් දස අතේ උපක‍්‍රම සොයනවා.

ගාඩියන් මුද්‍රිත පිටපත් අලෙවිය (වෙනත් බි‍්‍රතාන්‍ය පුවත්පත් සමග ම) ටිකෙන් ටික පහළ බසිමින් තිබෙනවා. සමීක්‍ෂණ වලින් පෙනී යන්නේ බහුතරයක් පාඨකයන් මැදිවියේ හා වයෝවෘද්ධ අය බවයි. මේ ජනගහන පරාසය තුළ කොටු වූ ප‍්‍රකාශනයකට දිගු කාලීන වෙළඳපොල විභවයක් නැති බව ගාඩියන් කතුවරුන් හොදාකාර දන්නවා.

ගාඩියන් මුද්‍රිත පිටපත් අලෙවිය අඩු වන අතර එහි වෙබ් පාඨක පිරිස දිගින් දිගට ම ඉහළ යමින් තිබෙනවා. ඩිජිටල් ග‍්‍රාහකත්ව ක‍්‍රමයක් හඳුන්වා දී මාසයකට පවුම් 10ක මිළක් නියම කර ඇතත්, ගාඩියන් වෙබ් අඩවිය තවමත් නොමිළයේ ලෝකයේ ඕනෑ ම තැනෙක සිට කියවිය හැකියි. http://www.guardian.co.uk

එයට හැම පැය 24කදී ම අඵත් අන්තර්ගතයන් 400ක් පමණ එකතු කරන අතර මීට පෙර පළ කරන ලද මිලියන් තුනකට අධික ලිපි හා පුවත් අංග එහි තිබෙනවා. 2012 මැදදී එයට දිනකට මිලියන් 4ක් පමණ වෙබ් පාඨකයන් ඇදී ආවා. මුද්‍රණ වියදම් නැතත් මෙතරම් සුවිසල් වෙබ් අඩවියක් ප‍්‍රශස්ත තාක්‍ෂණික මට්ටමින් පවත්වා ගැනීමේ සැළකිය යුතු වියදමක් තිබෙනවා.

වෙබ් අඩවියට ම කැපවූ ගාඩියන් කාර්ය මණ්ඩලයක් ද සිටිනවා. සංවේදී හා සුක්‍ෂම ලෙසින් යම් තරමකට දැන්වීම් බැනර් වෙබ් අඩවියේ අඩංගු කළත් කියවන්නාගේ අවධානය බිෙදන විදියේ ගොරහැඩි වෙබ් දැන්වීම් පිළිවෙතක් ඔවුන්ට නැහැ.

එසේ ම සමහර තරගකාරී පුවත්පත් වෙබ් අඩවි කරන්නාක් මෙන් පැපිරාට්සි මට්ටමේ උද්වේගකාරී ඡයාරූප හා ඕපාදුප පළ කිරීමක් ද නැහැ. තම ප‍්‍රතිරූපය හා කීර්තිනාමය හෑල්ලූ කර නොගෙන සාර්ථක වෙබ් අඩවියක් පවත්වා ගැනීම අද කාලේ අසීරු හා ප‍්‍රශංසනීය කාරියක්.

ගාඩියන් වෙබ් අඩවියට නොමිලයේ පිවිසී එහි වත්මන් හා සංරක්‍ෂිත අන්තර්ගතය කියැවීමට ඕනෑ ම කෙනෙකුට අවකාශය තිබිය යුතුය යන පරමාදර්ශයේ එහි කතුවරුන් සිටිනවා. එහෙත් මේ වන විට තරගකාරී පුවත්පත් ගණනාවක් සිය වෙබ් අඩවි පරිශීලනයට කුඩා පරිමානයේ අය කිරීම් කරනවා.

Faced with declining sales, British newspapers are keen to find how to engage readers through new formats and strategies

Faced with declining sales, British newspapers are keen to find how to engage readers through new formats and strategies

රූපට් මර්ඩොක් සමාගමට අයත් The Times හා Sunday Times පුවත්පත් මෙසේ අය කිරීම් කිරීමේ ආකෘතියට යොමුව සිටිනවා. ඒ අතර අමෙරිකාවේ ඉතා ලිබරල් හා සම්භාවනීය පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් (New York Times) පත‍්‍රය ද පහත බසින මුද්‍රිත අලෙවිය හමුවේ සිය වෙබ් අඩවිය අර්ධ වශයෙන් අය කිරීමේ ක‍්‍රමයකට නතු කොට තිබෙනවා. තවමත් ඔවුන්ගේ බොහෝ පුවත් හා ලිපි නොමිළයේ ඉන්ටර්නෙට් හරහා කියවිය හැකි වුවත් දිනපතා එයට ප‍්‍රවේශ වී සියඵ ලිපි කියවීමට නම් කුඩා ගෙවීමක් කළ යුතුයි. (එහෙත් Washington Post පත‍්‍රය එබන්දක් නොකර දිගටම සිය වෙබ් අඩවි පරිශීලනය නොමිළයේ ම ලබා දෙනවා.)

1851දී අරඹා අද දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යන නිව්යෝක් ටයිම්ස් පුවත්පත, සියවසකට වැඩි කාලයක් කිහිප දෙනෙකුගේ හිමිකාරිත්වය යටතේ පැවතුණා. 1960 ගණන්වල එය කොටස් වෙළඳපොලට කොටස් ප‍්‍රමාණයක් නිකුත් කළත් සුල්ස්බර්ගර් පවුලේ බහුතර හිමිකාරිත්වය (88%) හරහා ඔවුන්ට තීරණාත්මක බලපෑමක් තිබෙනවා.

2009 ජනවාරියේ නිව්යෝක් ටයිම්ස් සමාගම ලෝකයේ ධනවත් ම පුද්ගලයා වන මෙක්සිකානු ටෙලිකොම් ව්‍යාපාරික කාලෝස් ස්ලිම්ගෙන් (Carlos Slim) ඩොලර් මිලියන් 250ක් ණයට ගත්තා. ඉන්පසු ස්ලිම් එහි තවත් ආයෝජන කළා. 2011 ඔක්තෝබර් වන විට ස්ලිම්ගේ කොටස් එකතුව 8.1%ක් වූවා.

වෙළඳ ඒකාධිකාරයන් ඇතුඵ විවිධ ව්‍යාපාරික අක‍්‍රමිකතා ගැන ස්ලිම්ට එරෙහිව ඇති චෝදනා ගැන ස්වාධීනව හා උද්‍යොගශීලිව තව දුරටත් වාර්තා නොකරන බවට මාධ්‍ය විචාරකයන් සමහරක් දෙනා නිව්යෝක් ටයිම්ස් පත‍්‍රයට දොස් පවරනවා.

මේ අතර ගාඩියන් පත‍්‍රය ද තමන්ගේ ඇතැම් විශෙෂාංග සඳහා දානපතියන්ගේ අනුග‍්‍රහය ලබා ගන්නවා. ලෝකයේ අද විශාලතම දානපති පදනම වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් දියුණුවන ලෝකයේ ප‍්‍රශ්න හා තොරතුරු වාර්තාකරණයට මූල්‍යමය ආධාර ලැබෙනවා. එය එසේ තිබියදිත් ගේට්ස් පදනමේ යම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා කලාපයන් සාධක සහිතව විවේචනය කිරීමේ පුවත්පත් කලා නිදහස ද ගාඩියන් මාණ්ඩලික ලේඛකයන්ට ලබා දී තිබෙනවා.

මේ සියල්ලෙන් පෙනී යන්නේ පරම්පරා පරතරය, නවීන තාක්‍ෂණය හා වෙළඳපොල අවිනිශ්චිත බව යන ප‍්‍රබල අභියෝග හමුවේ මුඵමනින් ම නොසැළී සිටීමට සියවසකට වඩා ඉතිහාසයක් ඇති බටහර පුවත්පත් දැවැන්තයන්ට පවා නොහැකිව ඇති බවයි.

ආරම්භකයන්ගේ උතුම් අරමුණු රැක ගනිමින්, පාඨකයන්ගේ විශ්වාසය පවත්වා ගනිමින්, කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය හා ව්‍යාපාරික සාර්ථකත්වය තුලනය කිරීම අද ලොව පුරා ලොකු කුඩා පුවත්පත්වලට ඇති පොදු හා දුෂ්කර කාරියයි. එය කිසිසේත් ලෙහෙසි පහසු දෙයක් නොවෙතත්, නව අත්හදා බැලීම් හා නව්‍යකරණය හරහා 21 වන සියවසට ගැලපෙන විසඳුම් සොයා යාමේ අවස්ථාව එළැඹ තිබෙනවා.

රාවය නවීකරණය කිරීමේ අභියෝගය විග‍්‍රහ කළ යුත්තේ ගෝලීය තොරතුරු සමාජය පුරා හමා යන විපර්යාසයේ සැඩ සුළංවලට සාපේක්‍ෂවයි. එම නවීකරණ ගමනේදී හැම කෙනකු ම සතුටු කරන්න රාවයට බැරි වේවි.

මේ ගැන තව දුරටත් ලබන සතියේ කථා කරමු.

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 82 other followers

%d bloggers like this: