සිවුමංසල කොලූගැටයා #99: ලෝකෙට ම පෙනෙන අපේ රාත‍්‍රි එළි

Last month, NASA released a series of new images that offer an unprecedented new look at our planet at night. The global composite image, constructed using cloud-free night images from a new generation weather satellite, shows the glow of natural and human-built phenomena across the planet in greater detail than ever before. Each white dot on the map represents the light of a city, fire, ship at sea, oil well flare or another light source. (Explore at: http://earthobservatory.nasa.gov)

This week’s Ravaya column (in Sinhala) is on what these night lights mean. I talk to astrophysicist Dr Kavan Ratnatunga about understanding Sri Lanka at night as it can be seen from space.

Earth at night 2012 NASA composite satellite image

Earth at night 2012 NASA composite satellite image

අප දිනපතා ජීවිතය ගෙවන්නේ තම තමන්ගේ යථාර්ථයේ ඇළී ගැලී සීමිත පරාසයක් තුළයි. එහෙත් ඉඳහිට හෝ පියවර කිහිපයක් පසුපසට තබා විසල් චිත‍්‍රය (bigger picture) බැලිය හැකි නම් අපේ දැක්ම හා චින්තනය වඩාත් පුළුල් වනවා.

මුළු ලෝකය ම එයින් බැහැර සිට බැලීමේ තාක්ෂණික හැකියාව ලැබුණේ අභ්‍යවකාශ යුගයේ උදාවත් සමඟයි. පෘථිවි කක්ෂයට යවන ලද චන්ද්‍රිකා මඟින් පොළොව මතුපිට සිට කිලෝමීටර් සිය ගණනක් ඉහළින් ඡායාරූප ලබා ගැනීම 1960 දශකයේ ඇරඹුණා. 1969-72 කාලයේ හඳ තරණයට ගිය ඇපලෝ අජටාකාශගාමීන් කිමී ලක්ෂ හතරකට වඩා දුර සිට අපේ ග‍්‍රහලෝකය අභ්‍යවකාශයේ අඳුරු පසුබිම තුළ ලස්සන ජිල් බෝලයක් සේ පෙනෙන සැටි ඡායාරූප ගත කළා. 1970න් පසු ලොව පුරා මතුව ආ පරිසර සංරක්ෂණය පිළිබඳ උද්‍යෝගයට අභ්‍යවකාශයේ සිට ගන්නා ලද පෘථිවි ඡායාරූප ද දායක වූ බව පිළි ගැනෙනවා.

අපේ ලෝකයේ ගති සොබා ගැන පුළුල් හැඟීමක් ලබා ගන්නට පමණක් නොවෙයි. භූමි පරිභෝජන රටා, ආපදා හා කාලගුණ තත්ත්වයන් නිරීක්ෂණයටත් චන්ද්‍රිකාවලින් ගන්නා ඡුායාරූප මහත් සේ උදවු වනවා. ඡායාරූප කීවාට දෘෂ්ටි ආලෝක පරාසය පමණක් නොව අධෝරක්ත (infrared) හා වෙනත් පරාසයන් හරහා ද අපේ ග‍්‍රහලෝකය දැන් නිරතුරුව ම නිරීක්සනු ලබනවා.

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා (NASA) ආයතනය අපේ පෘථිවියේ රාත‍්‍රී චන්ද්‍රිකා ඡායාරූප එක් කොට මුළු ලෝකයට ම පොදු රූපයක් නොමිලයේ ඉන්ටර්නෙට් හරහා නිකුත් කිරීම ඇරඹුවේ 1994දී. එහිදී ආසන්න දින ගණනාවක් තිස්සේ ලබා ගත් ඡායාරූපවලින් වඩාත් ම ප‍්‍රශස්ත (වලාකුළු රහිත) ඒවා තෝරා සංයුක්ත රූපයක් සිතියම් ආකාරයට සකසනවා. ගෝලීය වූ ලෝකය ද්විමාන ලෙසින් නිරූපණය කිරීමේ විවිධ සිතියම් ප‍්‍රකේෂපන ක‍්‍රම (map projection) තිබෙනවා.

වඩාත් දියුණු වූ චන්ද්‍රිකාවකින් 2012 වසරේ ලබා ගත් රාත‍්‍රී ඡායාරූප එකතුවක් දෙසැම්බර් මුලදී නාසා ආයතනය නිකුත් කළා. එයට යොදා ගත්තේ 2011 ඔක්තෝබරයේ කක්ෂගත කළ සුවෝමි NPP නම් චන්ද්‍රිකාවයි. ධ‍්‍රැවීය කක්ෂ මාර්ගයක ඇති මේ චන්ද්‍රිකාව දිනකට 14 වතාවක් ලෝකය වටා යනවා. 2012 අපේ‍්‍රල් හා ඔක්තෝබර් මාසවලදී කක්ෂවාර 312ක් පුරා හසු කරගත් අධෝරක්ත ඡායාරූප දහස් ගණනක් අතරින් හොඳ ම රූප සංයුක්ත කොට මේ අලූත් රාත‍්‍රී ලෝක සිතියම් නිර්මාණය කර තිබෙනවා.

හිරු එළිය පතිත වී නැති විට අපේ ලෝකය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ විට කුමක් දැකිය හැකි ද? මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ජනනය වන වීදි හා නිවෙස් ආලෝකය, මුහුදේ නැව් හා බෝට්ටුවල එළි හා තෙල් ළිංවල මහා දැල්ල ආදියට අමතරව ලැව් ගිනි, ධ‍්‍රැවීය ආලෝකයන් (අවුරෝරා) ආදියත් දිස් වනවා.

රාත‍්‍රි කාලයට ලෝකය දෙස බැලීමෙන් අපේ ලෝකයේ ජනාවාස සංකේන්ද්‍රනය වී ඇති සැටි තේරුම් ගත හැකියි. ‘‘මිහිතලයේ මානව ව්‍යාප්තිය හා සාපේක්ෂ සංකේන්ද්‍රනය ගැන දළ හැඟීමක් මේ රාත‍්‍රී රූප දෙස බලා අපට ලද හැකියි’’ මේ කේෂත‍්‍රයේ විශේෂඥයකු වන ක‍්‍රිස් එල්විජ් කියනවා.

එහෙත් විදුලිබල පරිභෝජනය ලොව සෑම තැනෙක ම එක ලෙසින් සිදු වන්නේ නැහැ. උතුරු අමෙරිකාවේ හා බටහිර යුරෝපයේ රාත‍්‍රී ආලෝකයන් ඉතා දීප්තිමත්ව පෙනෙන අතර ඊට වඩා අධික ජන සංඛ්‍යාවක් වෙසෙන චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා බ‍්‍රසීලය වැනි රටවල රාත‍්‍රි ආලෝක සාපේක්ෂව අඩුයි.

1994 සිතියම් සමඟ මේ වසරේ රාත‍්‍රී සිතියම සසඳන විට ආසියාවේ හා ලතින් අමෙරිකාවේ විදුලි ආලෝකයේ පැතිරීම ව්‍යාප්ත වී ඇති සැටි පෙනෙනවා.බිලියන් 7.2ක් වන ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා දැන් වාසය කරන්නේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල. 2050 වන විට එම සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට 70ක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරනවා.

බොහෝ නගර බිහි වී ව්‍යාප්ත වී තිබෙන්නේ වෙරළ ප‍්‍රදේශ හෝ ප‍්‍රධාන ගංගා නිම්න ආශ‍්‍රිතවයි. මේ බව රාත‍්‍රී එළි සිතියම දෙස බැලූ බැල්මට ම පෙනී යනවා. අමෙරිකාව හා ඉන්දියාව වැනි විශාල රටවල ප‍්‍රධාන මහාමාර්ග දෙපස ජනාවාස අධිකයි. මේ මාර්ගවල විහිදීම වීදි ආලෝක නිසා අපට සිතා ගත හැකියි.

South Asia at night - composite satellite image taken in April & Oct 2012

South Asia at night – composite satellite image taken in April & Oct 2012

ලෝක ජනගහනයෙන් සියයට 60කට නිවහන වන අපේ ආසියා පැසිෆික් කලාපයේ රාත‍්‍රී ආලෝක දෙස බැලීමෙන් ආර්ථික සංවර්ධනය හා මිනිස් ජනාවාස පැතිරී තිබෙන අසමාන රටාව තේරුම් ගත හැකියි. ජපානයේ හා නැගෙනහිර චීනයේ ප‍්‍රදේශ රැසක රාත‍්‍රිය දීප්තිමත් වී තිබෙන අතර, ඉන්දුනීසියාව හා ඕස්ටේ‍්‍රලියාව වැනි විශාල රටවල එය පෙනෙන්නේ කිහිප තැනෙක පමණයි.

චීනයට සාපේක්ෂව ඉන්දියාවේ ජන ඝනත්වය ඉහළයි. මේ නිසා රාත‍්‍රී සිතියමේ ඉන්දියාව පුරා ම පාහේ එළි දැකිය හැකියි. එහෙත් ඉන්දියාවේ උතුරු දිග මායිමක් වන හිමාල කඳුවැටිය මුළුමනින් ම අඳුරුයි. හිමාලයෙන් උතුරට වන්නට ඇති චීනයේ අසංවර්ධිත බටහිර ප‍්‍රදේශයේ හා මොංගෝලියාවේ (චන්ද්‍රිකාවට හසු වන තරමේ) එකදු ආලෝකයක්වත් නැහැ. රුසියාවෙත් නාගරික කේන්ද්‍ර කිහිපයක් හැරුණු කොට විශාල ජනශුන්‍ය හෝ අසංවර්ධිත ප‍්‍රදේශ තිබෙන බව පැහැදිලියි.

ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි තත්ත්වය කුමක් ද?

ලෝක මට්ටමේ සිතියමක අපේ දූපත පෙනෙන පරිමාණයෙන් වැඩි විස්තර දැක බලා ගන්නට අපහසුයි. ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල වඩාත් ම ප‍්‍රබල අතර ඊළඟට වැඩියෙන් ම දීප්තියෙන් පෙනෙන්නේ යාපනය අර්ධද්වීපයයි.

කොළඹට අමතරව මහනුවර, ගාල්ල, කුරුණෑගල වැනි ප‍්‍රධාන නගරවලත් රාත‍්‍රී ආලෝක පැහැදිලිව තිබෙනවා.

යාපනය නගරයට උතුරට හා ඊසාන දිගට වන්නට කන්කසන්තුරේ සහ පේදුරු තුඩුව අවට දැඩි ආලෝකයන් පෙනෙනවා. 1994 හා 2003 චන්ද්‍රිකා රාත‍්‍රී සිතියම්වල මුළු උතුරු පළාතේ ම කිසිදු එළියක් සනිටුහන් වී නැහැ. යුද්ධ වකවානුවේ උතුරට විදුලි එළිය සැපයීම අඩාල වූ සැටි අප දන්නවා.

කලක් නාසා ආයතනයේ හබල් අභ්‍යවකාශ දුරදක්න පර්යේෂණවල නිරතව සිටි ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංගගෙන් මේ උතුරේ ප‍්‍රබල ආලෝකයන් ගැන මා විමසුවා. ‘‘මේ තරම් ප‍්‍රබල එළි නිවාස හෝ ව්‍යාපාරික ආයතන නම් විය නොහැකියි. එහෙත් එයට හේතුව මට සිතා ගත නොහැකියි.’’ ඔහු කියනවා.

A closer look at southern India and Sri Lanka at night - composite satellite image taken in April & Oct 2012

A closer look at southern India and Sri Lanka at night – composite satellite image taken in April & Oct 2012

යාපනයට අමතරව වවුනියා, අනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය නගර මුල් කර ගෙන ආලෝක සංකේන්ද්‍රනයක් පෙනෙනවා. එසේ ම මඩකළපුව හා ආරුගම් බොක්ක ප‍්‍රදේශයේත් පැහැදිලි එළි රැසක් තිබෙනවා. මහනුවර සිට යාපනයට දිවෙන කිමී 321ක් දිග A9 මහා මාර්ගයේ කොටස් රාත‍්‍රී එළි නිසා හඳුනාගත හැකියි. අවට දෙපස අඳුරේ තිබියදී මහා මාර්ගය දෙපස පමණක් එළි පෙනෙනවා. මෙබඳු ප‍්‍රධාන මාර්ගවල විහිදීම දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලත් දිස් වනවා.

එහෙත් චන්ද්‍රිකා ඡායාරූපයකට හසු විය හැකි තරම් විදුලි එළි නොමැති ප‍්‍රදේශ රාශියක් අපේ රටේ තිබෙනවා. අඳුර වඩාත් ප‍්‍රබලව ඇත්තේ මන්නාරම හා කතරගම අවට ප‍්‍රදේශවල බවත්, ඒ නිසා මේ ප‍්‍රදේශ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණවලට වඩාත් හිතකර වන බවත් කාවන් කියනවා.

මේ වන විට නාගරික ප‍්‍රදේශවල විදුලි ආලෝකය හා දූවිල්ල නිසා හරිහැටි රාත‍්‍රී අහස බලා ගැනීම අපහසු වී තිබෙනවා. තාරකා විද්‍යාඥයන් කළුවර අහස රැක ගැනීමේ ලෝක ව්‍යාප්ත වෑයමක් (Saving Dark Skies) දියත් කර ඇත්තේ මේ ප‍්‍රවණතාව නිසයි.

අපේ දිවයිනේ ජන සංකේන්ද්‍රනය, නාගරීකරණය හා විදුලිබල පරිභෝජනය ගැන දළ වැටහීමක් මේ රාත‍්‍රී සිතියම් හරහා ලද හැකියි. අප සිතනවාට වඩා ඉහළ මට්ටමේ නාගරීකරණයක් අපේ දිවයිනේ සිදුව තිබෙනවා. 2030 වන විට මෙරට ජනගහනයෙන් අඩක් නගරවල වාසය කරනු ඇතැයි විශේෂඥයෝ අනුමාන කරනවා.

මෑත සතිවල දී හඳුනා නොගත් ආලෝකයන් ගැන කලබල වූ සමහරුන් පිළිබඳව මාධ්‍ය වාර්තා අප දුටුවා. ඒ ගැන වෙන ම විග‍්‍රහ කළ යුතුයි. එහෙත් රාත‍්‍රියට අප තනිව හා සාමූහිකව ආලෝකය සමඟ කරන දේ සමස්තයක් ලෙස අභ්‍යවකාශයේ සිට දැකිය හැකියි.

එසේ ම අප කැමති වූවත් නැතත් චන්ද්‍රිකා ඡායාරූප ඉන්ටර්නෙට් හරහා මුළු ලෝකයට ම නොමිලයේ බලා ගන්නට හැකියි. අප දැන් ජීවත් වන්නේ ගෝලීය වීදුරු ගෙයක (Global Glasshouse) බව අමතක කරන්න එපා!

භෞතික විද්‍යාවේ නියමයන් රජයකට හෝ බලාධිකාරියකට නතු නොවන නිසා ඉහළ අභ්‍යවකාශයේ සිට අපේ රට චන්ද්‍රිකා ඡායාරූප ගත කිරීම නතර කරන්නට කිසිවකුටත් බැහැ. (ලෝකයේ බලවත් රටවල් හමුදා ඔත්තු බැලීම සඳහා ද මේ තාක්ෂණය යොදා ගන්නවා!)

නාසා රාත‍්‍රී අහස වෙබ් අඩවිය: http://earthobservatory.nasa.gov
ගූගල් පෘථිවි සිතියම් ගවේෂණය කරන්නට වෙබ් අඩවිය: http://tiny.cc/GMapN

Asia and Australia at night - globular view

Asia and Australia at night – globular view

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 93 other followers

%d bloggers like this: